25 April, 2024

Blog

රජ පවුලට ගොටුව ඇල්ලීම රාජකාරිය කරගත් වීරවංශ, 13 සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය

උපුල් වික‍්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

“අපි කියන්නේ පළාත් සභා අහෝසි කරන්න කියල නෙමේ, ව්‍යවස්ථාදායකය අසරණ වෙලා ඉන්නවා, ඒක ටිකක් ශක්තිමත් කරන්න.”- විමල් වීරවංශ

විමල් වීරවංශගේ ඉහත ප‍්‍රකාශය දැකීමෙන් පසු 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිවී ඇති අර්බුදය පිලිබඳ කෙටි අදහසක් පලකිරීමට සිත්විය. ඉහත ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනයේ හය හතර නොතේරෙන ළදරුවෙකු වුවත් පශ්චාත් භාගයෙන් සිනහ වනු නොඅනුමානය. නමුත් අවාසනාවකට, වර්තමානයේ බහුතර ශ‍්‍රී ලාංකික ජනයා සිතන පතන ආකාරය දේශපාලනයේ හය හතර නොතේරෙන ළදරුවන්ටත් අන්තය. අඩුම තරමින් සංකල්පීයව හෝ තවමත් උත්තරීතරයයි පිළිගැනෙන අධිකරණයට පවා අමු අමුවේ වංචා කල මිනීමරුවන් පහල වුයේ ජාතියේ පිනකට යැයි අදහන ජනතාවක් සිටීමම එයට කදිම සාක්ෂියකි. ඉහත ප‍්‍රකාශය කරන විමල් වීරවංශගෙන් ඇසීමට ඇත්තේ තමුන්ගේ හෙළුව වසාගෙන සිටින්නේ සීතාම්බරපට වලින්ද? එසේත් නැත්නම් හෙළුවෙන් සිටීම තමුන්ට ලජ්ජාවට කරුණක් නොවේද? යන්නයි. මන්ද, කොන්දේසි විරහිතව රජ පවුලට ගොටුව ඇල්ලීම රාජකාරිය කරගත් තමුන් වැන්නන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත් දෙකම ඉස්සීමෙන් ව්‍යවස්ථාදායකයේ මරණයට දායක වූ නිසාවෙනි. විධායක ජනාධිපතිධූරය හඳුන්වා දෙමින් ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යවස්ථාදායකය දුර්වල කල අතර, 18 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිධූරයේ වාර දෙකේ සීමාවද අහෝසි කරමින් මහින්ද රාජපක්ෂ ඇතුළු විමල් වීරවංශද අයත් වත්මන් රජය විසින් ව්‍යවස්ථාදායකයේ මරණය සනිටුහන් කරමින් විධායක ජනාධිපතිධූරය අසම සම තත්වයට පත් කළේය. එමගින් තමන්ද ඇතුළුව සමස්ථ ව්‍යවස්ථාදායකයම, විධායකය විසින් ගනු ලබන තීරණ අනුමත කිරීම පමණක් සිදු කරන හුදු එහෙයියන් පිරිසක් බවට පත්වන විටත් ඔවුන් එයට සහය දැක්වුයේ තාවකාලික පුද්ගලික ලාභ ප‍්‍රයෝජන පෙරදැරි කරගෙන මිස වෙනයම් කරුණක් නිසා නොවේ.

13 වැනි සංශෝධනයට එරෙහිව විමල්, චම්පික ඇතුළු ජාතිවාදී නඩය ව්‍යවස්ථාදායකය, රට, ජාතිය, ආගම නමින් නැවතත් කිඹුල් කඳුළු හෙලනු දක්නට ලැබේ. මෙයින් ගම්‍ය වන්නේ අනෙකුත් ජාතීන් සහ ආගම්වලට අයත් වූවන් ජීවත් විය යුත්තේ තමන් කැමති ආකාරයට මිස ඔවුන් කැමති ආකාරයට නොවන බැව් හඟින සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ආකල්පයයි. එනම්, දෙමළාට දෙමළ වීම නිසා ප‍්‍රශ්නයක් තිබේද නැද්ද යන්න තීරණය කරන්නේත් එසේ ප‍්‍රශ්නයක් තිබේනම් එයට විසඳුම් තීරණය කරන්නේත් සිංහලයා මිස දෙමළා නොවේ.
ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමට ප‍්‍රධානතම බාධකය එල්.ටී.ටී.ඊ. සංවිධානය බවත් ඔවුන් විනාශ කිරීමෙන් ශ‍්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත්කළ හැකිබව ඇදහූ ඔවුහු එල්.ටී.ටී.ඊ.සංවිධානය පමණක් නොව හතලිස් දහසකට ආසන්න දෙමල ජනයාද ඝාතනය කරමින් තම මනදොල පිනවා ගත්හ. නමුත් සත්‍ය තත්වය නම් මිලිටරි යුද්ධය අවසන් වීමෙන් වසර හතරකට අධික කාලයක් ගතවී ඇතත් මේ වන තෙක්ම රටට ස්ථිරසාර සාමයක් උදාවී නොමැත. මේ මොහොත වනවිට 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක් රජය තුලම ඇති කිරීමෙන් පෙනී යන්නේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් ලබාදීම වෙනුවට එය දිගින් දිගටම ඇද ගෙන යාමේ රජයේ කූට උත්සහයයි. ”යුද්ධයෙන් දිනූ කිසිවෙක් හෝ කිසිවක් නොමැත” යන බර්ට‍්‍රන් රසල්ගේ සුප‍්‍රසිද්ධ කියමන ඇස් පනා පිට ඔප්පු කරමින් දෙමල ජනයාට එරෙහිව මුදාහල වෛරය සහ මර්ධනය මේ වනවිට මුස්ලිම් සහ සිංහල ජනයාට එරෙහිවත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. වෙනසකට ඇත්තේ එදා ත‍්‍රස්තවාදී ක‍්‍රියා ලෙස හඳුනා ගත් ක‍්‍රියාවන් අද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකුල ක‍්‍රියා ලෙස නාමකරණය වී තිබීම පමණි.

13 වැනි සංශෝධනය යනු ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට යම් දුරකට හෝ විසඳුමක් ගෙන ඒමේ අරමුණින් ඉන්දියාවේ මැදිහත්වීම මත ව්‍යවස්ථාවට එක් කල සංශෝධනයකි. පළාත් සභා හරහා මධ්‍යම රජය සතු බලතල යම් දුරකට විමධ්‍යගත කිරීම එහි මුලික අරමුණ විය. මේ හරහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට අයුතු බලපෑම් කල බවට චෝදනා කරන “දේශපේ‍්‍රමීන්ට” මතක් කල යුත්තේ 13 වැනි සංශෝධනයට පෙර ශ‍්‍රී ලංකාව තුල කිසිදු බාහිර බලපෑමකින් තොරව ගෙන ආ විවිධ විසඳුම් (1958 ද්‍රවිඩ භාෂා විශේෂ විධි විධාන පනත, 1968 ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම වැනි) ක‍්‍රියාත්මක කිරීමටත් ඉඩ නොදුන්නේ එවැනි ”දේශපේ‍්‍රමීන්ම” බවයි. ඉන්දියාව මැදිහත් නොවුනේ නම් 13 වැනි සංශෝධනයට අත් වන්නේත් එවැනිම ඉරණමක් බව සහතිකය. අනෙක් අතට බාහිර බලපෑමකින් තොරව සිංහල මහා ජාතිය විසින් තමන්ගේ අයිතීන් ලබා නොදෙන බව සුළු ජාතීන් තුල තහවුරු කලේ සිංහල මහා ජාතියම මිස අන් කවරෙකුවත් නොවේ.
පළාත් සභා සුදු අලියෙක් බවත් පළාත් සභා හරහා රට බෙදෙන බවටත් තර්ක විතර්ක ඉදිරිපත් වෙන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නට යාමේදීය. නමුත් ඒ පිටුපස ඇති සත්‍ය කාරණය වන්නේ “ජයග‍්‍රහණයෙන්” මත්වී සිටින රජය ඇතුළු සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට උතුරු පළාත් සභාවේදී හිමිවීමට නියමිත නියත පරාජය දරා ගත නොහැකි වීමයි. රජය පවසන ආකාරයට යුද්ධයේ මිලිටරි ජයග‍්‍රහණය සහ හුදු භෞතික සංවර්ධනය, දෙමල ජනයා පෙර සිටි තත්වයෙන් ඉහලට ගෙන ඒමට සමත් වුයේ නම් හෝ අනාගතයේදී එසේ වේ යැයි දෙමල ජනයා විශ්වාස කරන්නේ නම් උතුරේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මෙතරම් බිය වන්නේ ඇයි? එමෙන්ම, පළාත් සභා සුදු අලියෙකු වීමට ප‍්‍රධානතම හේතුව ඒවායේ අවශ්‍යතාවය ඇති පළාත් වල පළාත් සභා ක‍්‍රියාත්මක නොවී අනෙකුත් පළාත් වල පමණක් ක‍්‍රියාත්මක වීමය. සැබවින්ම කල යුතුව තිබුනේ උතුරු සහ නැගෙනහිර පමණක් පළාත් සභා ක‍්‍රියාත්මක කර අනෙකුත් පළාත් සභා අහෝසි කිරීමය. හාස්‍යජනක කාරණයක් නම්, පසුගියදා පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධියත් පළාත් සභාවල දෝෂයක් ලෙස ඇතැමුන් හඳුන්වා දී තිබීමයි. ඒ අර්ථයෙන් ගත් කල මුලින්ම අහෝසි කල යුත්තේ ජනාධිපතිධූරය සහ පාර්ලිමේන්තුවයි. ජනවාර්ගික ප‍්‍රශ්නයට පළාත් සභා සහ 13 වැනි සංශෝධනය පරිපූර්ණ විසඳුමක් යැයි අපි විශ්වාස නොකරමු. නමුත් පළාත් සභා අහෝසි කිරීම හෝ ඒවා දුර්වල කිරීම යනු ගැටලූව තවදුරටත් සංකීර්ණ කිරීම සහ බරපතල ප‍්‍රතිවිපාක ගෙන දෙන්නක් බව සිකුරුය.

පළාත් සභාවලට එරෙහි වන්නන් ගෙනෙන ප‍්‍රධානතම තර්කය වන්නේ එමගින් රට බෙදෙන බවය. නමුත් එසේ වීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් කල හැකි ඉතාම සරල ප‍්‍රතිතර්කය වන්නේ මධ්‍යම රජයට (විශේෂයෙන් ජනාධිපතිවරයාට) අවශ්‍ය ඕනෑම මොහොතක පළාත් සභා විසුරවීමේ බලය ඇත. එම අර්ථයෙන් ගත්කල පළාත් සභා යනු සැබෑ බලය විමධ්‍යගත කිරීමේ ව්‍යුහයන් නොවේ. පළාත් සභාවලට එරෙහිව මතුවන තවත් තර්කයක් වන්නේ, බලය විමධ්‍යගත කිරීමට තරම් ශ්‍රී ලංකාව ප‍්‍රමාණයෙන් විශාල නොවන බවයි. නමුත් ස්විට්සර්ලන්තය වැනි ශ්‍රී ලංකාවට වඩා ප‍්‍රමාණයෙන් කුඩා රටවලත් බලය බෙදීම සාර්ථකව අත්හදා බලා ඇති අතර වැදගත් වන්නේ භූමියේ විශාලත්වය නොව එක් ජනවර්ගයකට හෝ ජනවර්ග කිහිපයකට මධ්‍යම රජය යටතේ, එසේත් නැත්නම් බහුතර ජනවර්ගයේ පාලනය යටතේ තම අයිතීන් සුරක්ෂිත වන බවට ඇති සහතිකයයි. වෙනත් ආකාරයකට කියතහොත් රාජ්‍ය පාලනයට අදාලව සුළු ජනවර්ගයන්ගේ දායකත්වය සැහීමකට පත්විය හැකි මට්ටමක පවතීද යන්නයි. ඒ අර්ථයෙන් ගත්කල, සංඛ්‍යාත්මකව ශ්‍රී ලංකාවෙහි ජනවර්ගයන් කිහිපයක් පමණක් ජීවත් වුවද රාජ්‍ය පාලනය තුල තම අයිතීන් සුරක්ෂිත නොමැති බව නිදහසින් පසුව ඇතිවූ ඓතිහාසික තත්වයන් හරහා සුළුජන විඥානයෙහි සනිටුහන් වී තිබේ. වසර තිහක් පුරාවට පැවති ආයුධ සන්නද්ධ අරගලය එහි මූලික ප‍්‍රථිඵලයක් වන අතර යුද්ධයෙන් පසුව වුවද එම ආකල්පය තුරන් වන ආකාරයේ ක‍්‍රියාමාර්ගයන් රජය විසින් අනුගමනය කරන බවක් මෙතෙක් පෙනෙන්නට නොමැත.

පළාත් සභා අහෝසි කළයුතුයැයි පවසන්නන් සැබෑ ලෙසම කල යුත්තේ බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය අහෝසි කර දැමීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමයි. එනම්, සුළු ජාතීන්ගේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික අයිතීන් සුරක්ෂිත කරන ලෙස රජයට බල කිරීමයි. ඒ වගේම, ජනවාර්ගික අර්බුදය සමාජවාදී පාලන ක‍්‍රමයක් තුල විසඳෙන තුරු බලා සිටින ”සමාජවාදීන්”ටද යමක් කිව යුතුයි. සමාජවාදය ලඟා කර ගැනීමට අද්භූත හෝ විස්මයජනක මාර්ගයක් නොමැති අතර වර්තමානයේදී පීඩිත ජනයාගේ (ජනවර්ගය මත හෝ පංතිය මත හෝ වෙනත් ඕනෑම කාරණයක් මත පදනම්ව හෝ පීඩනයට පත් වූවන්) විමුක්තිය වෙනුවෙන් සිදු කරන මැදිහත්වීම් අනාගතයේදී සමාජවාදය උදා කර ගැනීමට තීරණාත්මක සාධකයක් වන බැව් අවබෝධ කර ගැනීමට ඔවුන් තවදුරටත් ප‍්‍රමාද නොවිය යුතුය.

ඔබට සැබවින්ම එක්සත් ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමට අවැසි නම් සියළු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත කෙරෙන, සියළුම ජාතීන්ට ස්වාධීනව නිදහසේ ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් පෙනී සිටින්න. අරගල කරන්න. එහිදී, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ආරක්ෂා කිරීම වෙනුවෙන් වර්තමානයේදී පෙනී සිටීම වැදගත් වන්නේ එය ජනවාර්ගික අර්බුදයට අංග සම්පූර්ණ විසඳුමක් නිසා නොව එමගින් තම අයිතිවාසිකම් යම් දුරකට හෝ සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාවෙන් රාජ්‍ය බැඳී ඇති බවට සුළු ජාතීන්ට යම් සහතිකයක් ලැබෙන අතර එය ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ මුලික අඩිතාලමක් ලෙස භාවිත කළහැකි නිසාවෙනි.

භෞතික විද්‍යාවේදී අනුනාදය යනු (Resonance), ඉතා සරල අර්ථයෙන්, එකිනෙකට අනුරූපී සංඛ්‍යාතයන්ගෙන් යුත් තරංග දෙකක් හෝ කිහිපයක් අතිපිහිත වීමෙන් වඩා තීව‍්‍ර සංඛ්‍යාතයකින් යුත් සම්ප‍්‍රයුක්ත තරංගයක් ජනනය වීමය. තුර්කියේ මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ එක්තරා දුරකට දේශපාලන අනුනාදයකි (Political Resonance). එනම්, නගර උද්‍යානයක් වෙළඳ සංකීර්ණයක් බවට පරිවර්තනය කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවයන් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීය ඉල්ලීම් දිනා ගැනීමේ අරගලයක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාව තුල 13 වැනි සංශෝධනය ආරක්ෂා කිරීම සහ බලාත්මක කිරීමේ අරගලය තුල එවන් දේශපාලනික අනුනාදනීය තත්වයක් දක්වා වර්ධනය කිරීමේ ශක්‍යතාවය ගැබ්වී නොමැතිද?

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපිට එපා ආයේ මේ රටේ ත්‍රස්තවාදයක්.ජනාදිපතිතුමා හදන්නේ මේ රට සාමකාමී රටක් ලෙස පාලනය කරන්න.එතුමා ගන්නේ හැමවිටම නිවැරදි තීරණ.13 සංශෝධනය කල යුතුයි අනිවාර්යෙන්ම.මේ රටට අදරේ නැති අය තමා 13 සංශෝධනය කරන්න එපා කියන්නේ.අපේ මවුබිම කාගෙවත් යටත් විජිතයක් නොවන බව මතකයේ තබා ගත යුතුයි.කවුරුත් කෑ ගැහැව්වට ජනාදිපතිතුමා ඔය කාටවත් බය නැති බව මතකයේ තබා ගත යුතුයි.එහෙම උනානම් අද මේ රට කොටියට ගිහින්.

  • 0
    0

    උපුල් මල්ලි ඔයත් රනිල් අයියට හොදට ගොටුව තදකරලම අල්ලනවා නේද??

    • 0
      0

      එක නම් ඇත්ත වැඩේ හොදට කරලා තියෙනවා රනිල් අයියා මේකට සැහෙන්න ගෙවන් න ඇති

  • 0
    0

    මේ මිනිහගේ ඇස කන් වැහිලද තියෙන්නේ ඒ ල් ටි ටි සංවිදානය හදා ගත්තේ සිංහල එවුන් ඇ ??කොටි අපේ මිනිස්සුන්ව මැරුවේ සිංහල දෙමළද කියල බල ලා නෙමේ…මේ මිනිහට ඕනේ අයෙත් රට කොටියට දෙන්න..මේ මනුස්සයට කියක් මේකට ගෙව්වද දන්නේ නැ

  • 0
    0

    උපුල් ඔබේ නිවැරදි දැක්මට ස්තූතියි

    • 0
      0

      නිවැරදි නෙමෙයි බන් ගොන් දැක්ම කියල කියන්න ඕනේ.

  • 0
    0

    Vathman Janapathi saha anduwa ratata metharam vinayak karala thibunath
    mehi comment karana vedi pirisa jathivadiva adhas demeema gena kanagatui.
    rate vinashayata meweni moda minisunuth vagakiva yuthuyi

  • 0
    0

    ජනාදිපතිතුමා හදන්නේ රටේ නිදහස ඒ විදියට පවත්වාගෙන යන්න….ඒත් සමහරක් අයට ඕනේ ඒ නිදහස නැති කරලා විදේශිකයන්ගේ බලවේග වලට යටත් වෙන්න…එත් අපිට එහෙම වෙන්න කිසිම වුවමනාවක් නෑ….

  • 0
    1

    අපිට නැවත ත්‍රස්තවාදයක් ඕනේ නෑ…ජනාදිපතිතුමා මැදිහත් වෙලා අපිට නිදහසක් අරන් දුන්නා….ඒ ලබාදුන්නු නිදහස නැති කර ගන්න අපි කැමති නෑ..රටට මොනවා උනත් කිසිම ගානක් නැතුව තමන් ගැන විතරක් හිතන මිනිස්සු ටිකක් නිසා රට නැවත අගාදයකට වැටීමට ඉඩ දීමට නොහැක…

  • 0
    0

    එතකොට දැන් මේ ගොල්ලෝ ගොට්ට අල්ලන්නේ කාටද කියලත් කිව්වා නම් හොඳයි නේද

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.