Colombo Telegraph

බුදු දහමේ තිරසාර පැවැත්ම උදෙසා…

උපුල් වික්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

“…if it (Catholicism) had not been restored to its starting point by Saint Francis and Saint Dominic, would have become quiet extinct”– Niccolo Machiavelli

“Negri on Negri” නමැති පොතේ ඉතාලි ජාතික මාක්ස්වාදී චින්තකයෙකු වන අන්තෝනියෝ නෙග්‍රී විසින් 16 වන ශත වර්ෂයේ ඉතාලියෙහි වාසය කල තවත් දේශපාලන චින්තකයෙකු වන නිකොලෝ මැකියාවෙල්ලි ගේ ඉහත ප්‍රකාශය උපුටා දක්වන්නේ අනාගත විප්ලවකාරී තත්වයක් ඇතිවීමට ඇති ඉඩ පිලිබඳ තමන් තුල පවතින විශ්වාසය සනාථ කිරීමටත් ඒ සඳහා අප විසින් සිදුකල යුතු මැදිහත් වීමේ වැදගත්කම අවධාරණය කිරීමටත්ය. මැකියාවෙල්ලි ට අනුව ශාන්ත ෆ්‍රැන්සිස් සහ ශාන්ත ඩොමිනික් වැන්නන් විසින් පසුකාලීනව සිදුකල මැදිහත් වීම් නොවන්නට කතෝලික ආගම මේ වන විටත් ලෝකයෙන් වඳවී ගොස් හමාරය.

ශ්‍රී ලංකාවේ බුදු දහම ආශ්‍රිතව පසුගිය ශත වර්ෂයකට ආසන්න කාලයක සිට වර්තමානයේ මේ මොහොත දක්වා පෙළ ගැසෙමින් තිබෙන කරුණු කාරණා දෙස බැලු විට මැකියාවෙල්ලි විසින් මතු කරන ඉහත කාරණය බුදු දහමට ද අදාළ කල හැකි යයි මා හට කල්පනා විය. නමුත් එය පහත අයුරින් සංශෝධනය කිරීම උචිතය.

“කතෝලික දහමට අදාලව ශාන්ත ෆ්‍රැන්සිස් සහ ශාන්ත ඩොමිනික් වැන්නන් විසින් සිදුකල ආකාරයේ මැදිහත්වීම් බුදු දහම සම්බන්ධයෙන් සිදු කිරීමට සමත් භික්‍ෂුන් වහන්සේලා නොසිටීම නිසා ක්‍රම ක්‍රමයෙන් බුදු දහම වඳවී ගිය දහමක් බවට පත්වනු ඇත.”

කුලය මත පදනම් වූ නිකාය බේදයේ සිට ජාතිකවාදය සහ ජාතිවාදයත් (ජාතිකවාදය සහ ජාතිවාදය යනු දෙකක් බවත් සංඝයා වහන්සේලා ජාතිකවාදීන් මිස ජාතිවාදීන් නොවන බවත් ඇතැම් ජාතික/ජාතිවාදීන් තර්ක කරනු දැකිය හැකිය. ජාතිවාදයෙන් තොරව ජාතිකවාදයක් පැවතිය හැකිද යන්න වෙනම සාකච්ඡා කල යුතුය.), පරිභෝජනවාදයත්, භික්‍ෂුන් වහන්සේලා දේශපාලනික අතකොලු සහ වේදිකා සැරසිලි බවට පත්වීම මෙන්ම සංස්කෘතිකමය වශයෙන් සංඝ සමාජයේ පරිහානියත් පිළිබඳව ගණනාත ඔබේසේකර, ස්ටැන්ලි ජේ. තම්බයියා, එච්.එල්.සෙනවිරත්න, ජොනතන් ස්පෙන්සර් ඇතුළු විද්වතුන් රැසක් විසින් පර්යේෂණ සහ ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්කොට ඇත.

භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සංඝ සමාජය තුලින්, විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලාගෙන්, මෙන්ම ගිහි සමාජයෙන්ද නොයෙකුත් ආකාරයේ විවේචනයන් පසුගිය ශත වර්ෂය පුරාවටමත් අතීතයේත් එල්ල වූ බව The Works of Kings නමැති ග්‍රන්ථය තුලින් එච්.එල්.සෙනවිරත්න විසින් මතුකර දක්වයි. එම විවේචනයන් ලෞකික ජීවිතයට මෙන්ම ලෝකෝත්තර ජීවිතයට ද අදාළ පුළුල් පරාසයක විහිදී පවතින අතර භික්ෂූන් දේශපාලනයට සම්බන්ධ වීම සහ දේශපාලනඥයින්ගේ අතකොළු සහ වේදිකා සැරසිලි ලෙස භාවිත වීම, භික්ෂූන් දේපල, ධනය සහ බලයට කෑදර වීමෙන් පරිභෝජනවාදයට නතු වීම (සමන්තභද්‍ර යනු එහි මෑත කාලීන එක් නිදසුනක් පමණි), ජාතිකවාදයේ මුවාවෙන් ජාතිවාදයට ගොදුරු වීමත් (ජාතිකවාදීන් සහ ජාතිවාදීන් අතර වර්තමානයේ පවතින වෙනස, සත්‍ය වශයෙන්ම ඔවුනොවුන් අතර පවතින්නේ වෙනස්කම් වලට වඩා සමානකම්ය. ජාතිකවාදය, ජාතිවාදය නමැති කේක් ගෙඩියේ අයිසින් තට්ටුව වැනිය) ඒ හරහා අන්‍ය ජාතීන් කෙරෙහි වෛරය වපුරන යුධකාමීන් බවට පත්වීම (ප්‍රක්සිස් සාමුහිකය විසින් මෑත කාලයේදී “රණකාමී ජාතිකවාදය” ලෙස සලකුණු කලේ මෙම ප්‍රවනතාවයයි) සහ නිර්වාණය වැනි ලෝකෝත්තර මාර්ග ඵල ලැබීමට ප්‍රගුණ කළයුතු මාර්ගයෙන් බැහැර වීම වැනි විවේචනයන් ඒ අතර ප්‍රමුඛ වේ. 1940 දශකයේ මතු වූ විනයවර්ධන ව්‍යාපාරය එවැනි සංඝ සමාජය තුලින්ම පැන නැගුනු එක්තරා දුරකට ආන්තික විවේචන ප්‍රවණතාවයකි.  නමුත් එවැනි විවේචනයන් කෙරෙහි නායක භික්ෂූන් වහන්සේලාගේ අවධානය යොමු වූයේ ඉතාම සුළු වශයෙන් වන අතර ඒවාට අදාලව ක්‍රියා මාර්ග ගැනීම සිදුවූයේ ඊටත් වඩා අඩු මට්ටමකිනි.

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රධානතම ගැටළුවක් වන්නේ විවිධ ජනවර්ගයන් අතර පවතින දුරස්ථභාවයන් සහ විරසකභාවයන් තුලින් ගොඩ නැගුන ජාතික අසමගිය සහ ඔවුනොවුන් අතර ඒකාබද්ධතාවයක් නොපැවතීමයි. මෙයට හේතූන් පිරික්සා බැලීමේදී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගත හැකිය. බැලූ බැල්මට මෙය විරුද්ධාභාසයක් (Paradox) ලෙස කෙනෙකුට හැඟුණහොත් එය විස්මයට කරුණක් නොවේ. මන්ද බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන්නේ සියළු ජාතීන්ට පමණක් නොව සියළු සතුන්ට මෛත්‍රිය කරන්නටය. බෞද්ධ දර්ශනය යනු එක් ජාතියකට හෝ ජනවර්ගයකට පමණක් සීමාවූවක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම අදාළ වූ දර්ශනයකි. එසේනම් එවැනි වටිනාකම් වලින් යුක්ත වූ දර්ශනයක් විවිධ ජාතීන් අතර අන්‍යෝන්‍ය විරසකබාවයන් වර්ධනය කිරීමට හේතු වුවා යයි පැවසීම පරස්පර විරෝධී නොවේද?

මෙයට අදාලව බොහෝ “බෞද්ධයින්” ගේ ප්‍රතිචාරය වන්නේ බෞද්ධ දර්ශනය නිවැරදි බවත් ගැටළුව පවතින්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගන ආකාරය සහ ක්‍රියාවට නගන පුද්ගලයින්ගේ ගැටළුවක් බවය. වර්තමානයේ බුදු දහමේ නාමයෙන් කෙරෙන බොහෝ දේවල් දෙස බැලූ විට එම ප්‍රකාශයේ සත්‍යයක් නැතුවා නොවේ. නමුත් ගැටළුව වන්නේ ඔවුන් ඊළග පියවරට නොයාමයි. එනම්, එවැනි බෞද්ධ දර්ශනයට පටහැනි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයන් සහ පුද්ගලයින් නිවැරදි කිරීමට මැදිහත් නොවීමයි. අඩුම තරමින් එයට උත්සහයක්වත් නොගැනීමයි.

පසුගිය ශත වර්ෂයකට ආසන්න අතීතය විමසා බැලීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ බුදු දහම හුදෙක් සිංහලයින්ගේ ආගමක් බවට රුපාන්තරණය වීමයි. අන්‍ය ජාතීන් සහ ආගමිකයින් ගේ අදහස් සහ ක්‍රියාකලාපයන් එයට එක්තරා දුරකට බලපෑම්සහගත වුවා වන්නට පුළුවනි. උදාහරණයක් ලෙස මුස්ලිම් ජාතිකයින්ගේ පරම ආගම ඉස්ලාම් ආගම ලෙස සාතිශය බහුතරයක් මුස්ලිම් ජනතාව විශ්වාස කිරීම තුල මුස්ලිම් ජාතිකයින් බෞද්ධ වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. නමුත් මෙම රුපාන්තරණයට ප්‍රධානතම හේතුව භික්ෂුන් වහන්සේලා සහ බහුතරයක් ගිහියන් විසින් බුදු දහම යනු සිංහලයාට පමණක් අයිති ආගමක් බව සවිඥානිකව හෝ අවිඥානිකව විශ්වාස කිරීමත් එම විශ්වාසය මත පදනම්ව ක්‍රියා කිරීමත්ය. මෙවැනි දෘෂ්ටිවාදයකින් මෙහෙය වනවිට එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අන්‍ය ජාතීන් සහ ආගමිකයින් අතර සහ සිංහල ජනතාව සහ බුදු දහම අතර ඇති පරතරය තවදුරටත් පුළුල් වීම මිස අවම වීම නොවේ. දශක තුනකට ආසන්න කාලයක් පැවති වාර්ගික යුද්ධයට අවැසි දෘෂ්ටිවාදීමය පස සකස් කිරීමේ මුලික කාර්යභාරය ඉටු කලේ භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ජාතිකවාදී යයි කියා ගන්නා අමරසේකර, නලින් ද සිල්වා වැන්නන්ය. යුද්ධය මිලිටරිමය ලෙස නිමා වීමෙන් පසුවත් ජාතීන් අතර සංහිඳියාවට බාධා වන පරිදී තවදුරටත් භික්ෂූන් වහන්සේලා ක්‍රියාත්මක වීම සුලභ දසුනක් වී ඇත. ඊට මෑතම උදාහරණය නම් ශ්‍රී ලංකාවේ සැබෑ ධජය විය යුත්තේ සිංහල කොඩිය යයි කියමින් මහනුවර මගුල් මඩුවේදී වෙනත් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් උත්සහ දැරීමයි.

1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියළුම දෙනාගේ පොදු සතුරා වුයේ යටත්විජිතවාදීන්ය. නමුත් නිදහසට පසු එය අන්‍යෝන්‍ය ජාතීන් අතර ගැටළුවක් දක්වා වර්ධනය විය. එතැන් සිට වර්තමානය තෙක්ම සාතිශය බහුතරයක් භික්ෂූන් වහන්සේලා අන්‍ය ජාතිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වී ඇති ආකාරය නිරීක්ෂණය කල හැකිය. වර්තමානයේ අප අත් විඳින බොදුබල සේනා, රාවණා බලය වැනි අතිශයින්ම අන්තවාදී “බෞද්ධ” ක්‍රියාකාරිත්වයන් යනු අතීතයේදී එවැනි ප්‍රවණතාවයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයන්ය. ඉහතින් සඳහන් කල පරිදී එවැනි ප්‍රවණතාවයන්ට එරෙහිව යම් යම් විවේචනයන් සහ ක්‍රියාමාර්ගයන් මතු වූවත් බෞද්ධ ශාසනය තුල හෙජමොනික ආධිපත්‍යය හිමිව තිබුනේ, වර්තමානයේදීත් හිමිව පවතින්නේ එවැනි අන්තවාදී සහ බෞද්ධ දර්ශනයට පටහැනි දෘෂ්ටිවාදයන් කරපින්නා ගත් බලවේග වලට බැවින් එවැනි විවේචනයන් බලාත්මක නොවීය. අවම වශයෙන් බෞද්ධ ශාසනය තුල, විශේෂයෙන් සංඝ සමාජය තුල පවතින කුල බේදය සහ බුදු දහමට පටහැනි අනෙකුත් ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් බලපෑම්සහගත අභ්‍යන්තරික විවේචනයක් ගොඩ නැගීමටවත් වල්පොල රාහුල හිමි වැනි අතලොස්සක් භික්ෂූන් වහන්සේලා හැරෙන්නට බහුතරයක් භික්ෂූන් වහන්සේලා අසමත් විය.

මෙහිදී තවත් වැදගත් නමුත් එතරම් ප්‍රශ්න නොකෙරුණු සංසිද්ධියක් හඳුනා ගත හැකිය. එනම්, සමහර බෞද්ධයින් විසින් බොදුබල සේනා, රාවණා බලය වැනි සංවිධාන මෙහෙයවන පුද්ගලයින් භික්ෂූන් වහන්සේලා නොව චීවරධාරීන් බවත් ඔවුන් හුදෙක් සිවුරක් දමා ගත් පමණින් භික්ෂූන් වහන්සේලා නොවන බව විශ්වාස කිරීමත් එම අදහස වෙනුවෙන් පෙනී සිටීමත්ය. එමනිසා ඔවුන් විසින් සිදු කරන ක්‍රියාවන්ගෙන් බුදු දහමට හානියක් නොවන බව ඔවුන්ගේ කල්පනාවයි. එහි මුලික අදහස පිලිබඳ එකඟ විය හැකිය, එනම් යමෙක් සිවුරක් දමා ගත් පමණින් භික්ෂුවක් නොවේ. නමුත් මෙහිදී අප මතු කල යුතු කාරණා වන්නේ එසේ නම් යමෙක් භික්ෂූවක් වන්නේ කෙසේද? ඒ සඳහා අනුගමනය කලයුතු වත් පිළිවෙත් මොනවාද? එවැනි සැබෑ අරුතින් භික්ෂූන් වන පුද්ගලයින් මෙවැනි චීවරධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ග මොනවාද? එවැනි චීවරධාරීන් සංඝ සමාජයෙන් නෙරපා හැරීමට “සැබෑ භික්ෂූන්” විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද? අඩුම තරමින් ඒ පිලිබඳව සමාජයේ සැලකිය යුතු කතිකාවක් හෝ ගොඩ නැගීමට දායක වී තිබේද? මෙවැනි ප්‍රශ්න වලට දැනට තිබෙන පැහැදිලි පිළිතුර වන්නේ “නැත”යන්නයි. අවාසනාවකට එවැනි තත්වයක් නුදුරු අනාගතයේදී හෝ ඇති වන බවට කිසිදු සලකුණක් හෝ පෙනෙන්නට නොමැත.

අයි.එස්.අයි.එස්. (ISIS- Islamic State of Iraq and Syria) සහ තලේබාන් වැනි මුස්ලිම් අන්තවාදී සංවිධාන තම සියළු ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නේ ඉස්ලාම් ආගමේ නාමයෙනි. නමුත් මැදහත් මුස්ලිම්වරුන් පවා පිළිගන්නා කාරණයක් නම් එවැනි අන්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ඉස්ලාම් ජාතියට දැවැන්ත හානියක් බවයි. එය එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ අනෙකුත් දෙමළ ජාතිවාදී සංවිධාන වලට පවා අදාලය. ඔවුන් පෙනී සිටියේ දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා බව පැවසුවත්; ඔවුන්ගේ අරගලයේ මුලික පදනම සකස් වී තිබුනේ දෙමල ජනයා මුහුණ දෙන සැබෑ ගැටළු මත ය යන්න වෙනම කරුණකි, බොහෝ මැදහත් දෙමළ ජාතිකයින් විශ්වාස කරන පරිදී දෙමළ ජනයාගේ යහපැවැත්මට එල්.ටී.ටී.ඊ. සංවිධානය අනුගමනය කල ඇතැම් ක්‍රියාමාර්ග හානිකර වූ බවය. (කියවන්න “Internal Political Power Bashing In The Name of Justice for War Victims” by Rajan Hoole, N. SIvapalan, Ahilan Kadirgamar, and K. Sritharan)

එබැවින්, සිංහල ජාතිය සහ බුදුදහම රැක ගැනීම වෙනුවෙන් හුදෙක් අන්‍ය ජාතීන්ට එරෙහිව කටයුතු කිරීම නොවෙයි සිදු විය යුත්තේ. ඒ වෙනුවට, බුදු දහමේ නාමයෙන් සිදු කෙරෙන බෞද්ධ දර්ශනයට පටහැනි ක්‍රියාවන්වලට එරෙහිව හඬ නැගීමත් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමත්ය. එහිදී බෞද්ධ දර්ශනයේ ජීවමාන නියෝජිතයින් ලෙස පෙනී සිටින සංඝයා වහන්සේලාට පැවරෙන්නේ බරපතල වගකීමකි. සංඝ සමාජය තුල පවතින කුල බේදය වැනි සංස්කෘතික අගතීන් සහ පරිභෝජනවාදී නැඹුරුවත් සංඝයා වහන්සේලා ඇතුළුව පොදුවේ බෞද්ධයින් තුල පවතින “සිංහල-බෞද්ධ” එනම් බෞද්ධයන් යනු සිංහලයින් සහ සිංහලයින් යනු බෞද්ධයින් ය යන ආකල්පයත් අභියෝගයට ලක් කර පරාජය කිරීම අනාගතයේ බුදු දහමේ සුරක්ෂිතබාවය වෙනුවෙන් වර්තමානයේදී කල යුතුව පවතින මූලික කාර්යය ලෙස මම සිතමි. එසේ නොවුන හොත් බෞද්ධ දර්ශනය හුදෙක් පොත් වලට සීමා වන යුගය වැඩි ඈතක නොවේ. එබැවින්, මැකියාවෙල්ලි අර්ථයෙන් ශාන්ත ෆ්‍රැන්සිස්ලා සහ ශාන්ත ඩොමිනික්ලා වැඩි වැඩියෙන් බුදු දහමට අවැසි කරන යුගයකි මෙය.

*උපුල් වික්‍රමසිංහ – අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන

Back to Home page