3 May, 2024

Blog

තීරණාත්මක ඌව

සැප්තැම්බර් 20 වෙනිදා පැවැත්වෙන ඌව පලාත් සභා මැතිවරණය කළින් නොසිතූ තරම් තීරණාත්මක එකක් බවට පෙරළී ඇත. ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති නමුත් කූමන අවස්ථාවක දී එය පැවැත්විය යුතූ දැයි තවම තීරණය කර ඇති බවක් නොපෙනේ.

පාප් වහන්සේ ගේ පැමිණීම මැතිවරණයක දී තමන්ගේ වාසියට හරවා ගැනීමට රෙජීමය බලාපොරොත්තු වූව ද එයේ කිරීම කොතරම් දුරට හැකිවේ ද යන්න පිළිබඳව ප‍්‍රශ්න මතුවී ඇත. පාප් වහන්සේ උතුරු පලාතේ පිහිටි මඩු දේවස්ථානයට වැඩම කිරීමට නියමිත අතර ඒ ප‍්‍රදේශයේ බිෂොප් තුමා වන්නේ රායප්පු ජෝශප් හිමිපානෝය. එතුමා දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳ විශේෂයෙනුත් පොදුවේ ලාංකීය සමාජයට බලපාන ආණ්ඩුකරණය පිලිබඳ කරුණුවලදීත් නොබියව අදහස් ප‍්‍රකාශ කළ අයෙකි. මැල්කම් රංජිත් කාඩිනල් තුමාට වඩා බොහෝ ඉදිරියෙන් සෙසු බිෂොප්තුමන්ලා සහ ජේ්‍යෂ්ඨ පියතුමන් ලා සිටින බව නොරහසකි. රායප්පු ජෝෂප් සහ අනික් ජේ්‍යෂ්ඨ පූජක පිරිස රටේ පවතින නියම තත්ත්වය ගැන වතිකානුව දැණුවත් කර ඇති බව නිසැකය. මානව හිමිකම් පිළිබඳව කවදත් විවෘතව කථාකර ඇති වත්මන් පාප්වහන්සේ සිය ශ‍්‍රී ලංකා සංචාරයේ දී මෙරට මානව හිමිකම් තත්ත්වය පිලිබඳව සිය අදහස් පළ කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී වූවාක් මෙන් පාප් වහන්සේගේ සංචාරය ද රෙජීමයට පාරා වලල්ලක් වීමට ඉඩ ඇතැයි රෙජීමයේ බොහෝ දෙනා සැක සාංකා පළකරති. නත්තල් සමයේ සිටම පාප් වහන්සෙගේ සංචාරයට සමගාමීව විශේෂයෙන්ම කතෝලික ප‍්‍රදේශවල පාප්වහන්සේ සහ මහින්ද රාජපක්ෂගේ පිංතූර සහිත ප‍්‍රචාරක පුවරු ප‍්‍රදර්ශනය කිරීමට දැනටමත් සූදානම් කර ඇතැයි ආරංචි ය. මේ බව ඉව වැටුණු කතොලික සභාව මෑතකදී ඒ පිළිබඳව තම අසතුට රජය වෙත දන්වා ඇතැයි ද දැනගැනීමට ඇත.

Mahinda Raja -colombotelegraphපාප්වහන්සේගේ පැමිණිමට දින කිහිපයකට පෙර හෝ මාර්තු මාසයේ දී හෝ ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති නමුත් ඒ පිළිබඳව අවසාන තීරණයක් ගැනෙන්නේ ඌව මැතිවරණ ප‍්‍රතිඵල සලකා බැලීමෙන් පසුව යැයි රෙජීමයේ ආරංචි මාර්ග පවසති.

මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ ආණ්ඩුව ඉදිරියෙන් සිටිය ද බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිඵලය 2009ට සාපේක්ෂව ආණ්ඩුවට අයහපත් වීමට බොහෝ ඉඩකඩ ඇත. දෙමළ සහ මුස්ලිම් සෑහෙන ජනගහනයක් බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ සිටින අතර එජාපයේ වතු කම්කරු සමිතිය වඩාත්ම ශක්තිමත් වන්නේ එහි ය. හරින් ප‍්‍රනාන්දු තරඟයට බැසීම සහ වතු කම්කරු නායක වේලායුදම් ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යෑම එජාපයට වාසිදායක සාධකය. පසුගිය පලාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත‍්‍රික්කය තූල ආණ්ඩුවට ගතහැකි වූයේ සියයට හතලිස් පහක් තරම් අඩු ඡුන්ද ප‍්‍රමාණයක් පමණි. එහෙත් එහි වාසිය ගියේ එජාපයට නොව ෆොන්සේකාට සහ ජවිපෙට ය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කිරීමට ඇති සැලැස්ම ට ද ඌව ප‍්‍රතිඵලය බලපානු ඇත. ආණ්ඩුව ඌවේ දි ලබන පසුබැස්මේ වාසිය එජාපයට නොගියහොත් රනිල්ගේ සැලසම් අඩාලවනු ඇත. මේ අතර සජිත් පේ‍්‍රමදාස සමග එකඟත්වයකට ඒමට රනිල් උත්සාහ කරයි. එහෙත් සජිත් ඉදිරිපත් කරන කොන්දේශි පිළිගැනීමට නායකත්ව මණ්ඩලය මැලිකමක් දක්වයි. මැතිවරණයට සහභාගිවීමට පූර්ව කොන්දේසියක් ලෙස නියෝජ්‍ය නායකකම ඉල්ලා සිටිම අනාගත අපේක්ෂා ඇති නායකයෙකුට තරම් නොවේ යැයි බොහෝ එජාප පාක්ෂිකයෝ සිතති.

රනිල් තරග කළ යුත්තේ අලියා ලකුණෙන් පමණක් යැයි සජිත්ගේ මතයයි. එසේ වුවහොත් එයම රෙජීමයට ජයග‍්‍රහණයකි. සජිත් ඇත්තෙන්ම අපේක්ෂා කරන්නේ මෙවර රනිල් ඉදිරියට දමා ඔහුව පරාජයකර අනාගතයේ දී තමන්ට පාර කපාගැනීමට බව ඉතා පැහැදිළි ය. මේ සඳහා ප‍්‍රධාන මාධ්‍ය ආයතන දෙකක සහය ඔහුට ලැබේ.

රනිල්ගේ අපේක්ෂකත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්න ඇත. එයින් ප‍්‍රධාන වන්නේ ඔහුට දිනන්නට නොහැකි බවට ඇති පුළුල් හැගීම ය. පොදු අපේක්ෂකයෙකු ජයග‍්‍රහණය කිරීමට නම් ආණ්ඩුවේ යම් පිපිරීමක් අත්‍යවශ්‍ය ය. රාජපක්ෂ පවුල ශ‍්‍රීලනිපය විනාශකරන බව එම පක්ෂය තුළ සිටින විසම්මුතික පිරිසගේ මතයයි. ආණ්ඩුවෙන් කැඞී ආවොත් ඔවුන් කරණුයේ පක්ෂය බේරා ගැනීමට තමන් සමග එක්වන ලෙස පාක්ෂිකත්වයට ආයාචනා කිරීමයි. එසේ කරන අතරම රනිල්ට ඡුන්දය දීමට කෙසේ කිවහැකි ද යන ප‍්‍රශ්නය පැනනගී. මේවාද සැලකිල්ලට ගතයුතු කරුණු ය.

ශ‍්‍රීලනිපය තුළ ඇති අර්බුදය තීව‍්‍රවන බව නම් පැහැදිළි ය. ගලගොඩ අත්තේට එරෙහිව මැතිඇමතිවරු පිරිසක් මහානායක හිමිවරුන් හමුවීමද එක් සංඥාවකි. එසේ හමුවීමට යෑම පිලිබඳව රාජපක්ෂ තම අප‍්‍රසාදය පලකර ඇතැයි ද කියැවේ. මේ අතර පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් විද්වතුන් කිහිප දෙනෙකු කර ඇති විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත්තේ සිංහළ බෞද්ධ නොවන ජනකොටස් රජයෙන් ඈත් වී ඇති පරිසරයක සිංහළ බෞද්ධ ඡුන්ද මත පමණක් පදනම් වී ජයග‍්‍රහණය කිරීමට රාජපක්ෂට ඉතා අසීරු වන බවය. මෙම විශ්ලේෂණයේ ප‍්‍රතිඵල ශ‍්‍රිලනිප විසම්මුතිකවාදී කොටස් අතර සාකච්ඡුාවට භාජනය වී ඇත.

මේ සියල්ල අතරේ වමේ පක්ෂ දිනෙන් දිනම අර්බුදයට යමින් පවතී. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ශ‍්‍රීලනිපයට අදහසක් නොමැති බව පසුගිය සතියේ පැවති එජනිස මාධ්‍ය සාකච්ඡුාවේ දී ශ‍්‍රීලනිප ලේකම් සිරිසේන ඩියු ගුණසේකරද පසෙක තබා ගෙන කියා සිටියේ ඉහළින් ආ උපදෙස් අනුව බව ට සැකයක් නැත. ඒ අතර කතුවරුන් හමු වූ රාජපක්ෂ කියා ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම එය ගෙන ආ එජාපය ලවාම කරගතයුතුබව ය. ජනාධිපති ක‍්‍රමයෙන් බැටකන මධ්‍යස්ථ ජනතාව එජාපය දෙසට තල්ලූ කරන මෙම ප‍්‍රකාශය ගැන වමේ නායකයින් කියන්නේ කුමක් ද? ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා තවදුරටත් රාජපක්ෂට ආයාචනා කිරීමේ නිෂ්පලකම දැන්වත් වමේ නායකයන් තේරුම් ගතයුතුය. සමහර නායකයින් නිශ්චිත වශයෙන් කියන්නේ විපක්ෂයේ අපේක්ෂකයා රනිල් බව ය. රෙජීමයට ද අවශ්‍ය වන්නේ එයම ය. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කැප වූ වෙනත් අපේක්ෂකයෙකු පිළිබඳ වමේ නායකයින්ට කිසිම අදහසක් නැත. ප‍්‍රසිද්ධියේ කිරීමට නොහැකි නම් අඩුම වශයෙන් අප‍්‍රසිද්ධියේ හෝ ශ‍්‍රීලනිප විසම්මුතික කොටස් සහ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කැප වූ වෙනත් කොටස් සමග සාකච්ඡුා කිරීමටවත් වමේ නායකයින්ට ශක්තියක් නොමැති විම කනගාටුදායක ය. කොටියෙන් කිව්වොත් රාජපක්ෂ හැර ඔවුන්ට විකල්පයක් නැත. ජනාධිපති ක‍්‍රමය අහෝසි කලත් නැතත් තමන් සිටිය යුත්තේ රාජපක්ෂ සමග යැයි ඔවුහු විශ්වාස කරති. ජාත්‍යන්තර කුමණත‍්‍රණ කථාව සහ කිසිවෙකු ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකරන බව කියමින් මේ සැරසෙන්නේ රාජපක්ෂටම නැවත සහාය දීමට නොවේ ද යැයි වමේ ජනතාව මතුකරන සැකය සාධාරණ ය. එය එසේ නොවේ යැයි පෙන්වීමෙ වගකීම දැන් ඇත්තේ නායකයින්ට ය. නොයෙකුත් හේතු නිසා රෙජීමයට බය හෝ පක්ෂපාති කම දක්වන මොවුන් මේ කරන විනාශයෙන් වම ගලවා ගැනීම සියළු වාමාංශිකයින්ගේ යුතුකම ය.

සංස්කාරක මණ්ඩලය – වමේ වේදිකාව​

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.