Colombo Telegraph

ස්වයං-නිර්ණය: වෙනත් වාර්ගික සුළුතරයන් සඳහා වන මාර්ගය ක‍්‍රිමියාවෙන්

වේලූපිල්ලේ තංගවේලූ

වේලූපිල්ලේ තංගවේලූ

මේ දිනවල පුවත්පත් පිටු පුරවන මාතෘකාවක් වන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් විසින් ක‍්‍රිමියාව, රුසියාවේ කොටසක් වශයෙන් ඈඳා ගැනීම ය. මෙම ක‍්‍රියාව, බටහිර ලෝකයේ බලවත් හෙළාදැකීමට ලක්ව ඇති අතර, රුසියාවට එරෙහි තවත් සම්බාධක පැනවීමේ තර්ජනයක් ද ඒ ආශ‍්‍රයෙන් මතුවෙයි. ක‍්‍රිමියාවේ නොසන්සුන්තාවන්ට සම්බන්ධ, රුසියානු සහ යුක්රේන නිලධාරීන් දහ පහළොස් දෙනෙක්, දැනටමත් ඇමරිකාවේ සහ යුරෝපයේ සම්බාධකවලට ලක්ව සිටිති. විදේශයන්හි ඔවුන් සතු දේපළ අත්හිටුවීම සහ එම විදේශ රටවලට ඔවුන්ට පැමිණීම තහනම් වීම, එම සම්බාධකවලට අයත් ය.

මාර්තු 16 වැනි දා ක‍්‍රිමියාවේ ජනමත විචාරණයක් පැවැත්වුණි. එහිදී ප‍්‍රශ්න දෙකක් ඉදිරිපත් කෙරුණු අතර, ඒවාට ‘ඔව්’ හො ‘නැහැ’ යනුවෙන් පිළිතුරු අපේක්ෂා කෙරුණි. ඒවා මෙසේය:

1. ක‍්‍රිමියාව, රුසියානු ෆෙඩරේෂනයේ කොටසක් වෙනවා දැකීමට ඔබ කැමති ද?
2. ක‍්‍රිමියාවේ 1992 ව්‍යවස්ථාව යළි ස්ථාපිත කිරීමට ඔබ කැමති ද?

1992 ව්‍යවස්ථාව අනුව, ස්වායත්ත ක‍්‍රිමියානු ජනරජය, යුක්රේනියානු රාජ්‍යයේ කොටසක් වූ අතර, ද්වි-පාර්ශ්වික එකඟත්වය මත යුක්රේනියානු ආණ්ඩුව සමග ක‍්‍රිමියාවේ සම්බන්ධතාවන් අර්ථකථනය කෙරුණි.

ක‍්‍රිමියාව, යුක්රේනයෙන් වෙන් වෙතැ යි මීට මාස කිහිපයකට පෙර කිසිවෙකු හීනෙන්වත් සිතන්නට නැතුව ඇති. කෙසේ වෙතත්, යුරෝපා සංගමය සමග හවුලකට ඇතුළත්වීම 2013 නොවැම්බර් මාසයේ දී යුක්රේන ජනාධිපති යනුකොවිච් ප‍්‍රතික්ෂේප කෙළේය. ඒ හේතුවෙන්, ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ප‍්‍රචණ්ඩ විරෝධතා සහ මහජන උද්ඝෝෂණ ව්‍යපාර රට පුරා මතු විය. යුරෝපය සමග වන හවුලකට යුක්රේන ජනාධිපතිවරයා ඊට කලින් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව ප‍්‍රකාශ කොට තිබුණත්, රුසියාව සමග ඇති තම රටේ සමීප වෙළඳ සම්බන්ධතාවන් කෙරෙහි එවැනි යුරෝපා සම්බන්ධතාවක් හානිකර විය හැකිය යන තර්කය මත, පසුව ඔහු එයට විරුද්ධ විය. ඔහුගේ එම මතයට විරුද්ධව දියත් වූ වීදි උද්ඝෝෂණ සහ විරෝධතා, ප‍්‍රචණ්ඩ මුහුණුවරක් ගන්නට වූ අතර, ඇමරිකාවේ සහ ඇමරිකානු මිතුරන්ගේ සහයෝගය මත එම විරෝධතාවන් මාස තුනක පමණ කාලයක් තිස්සේ ඇවිලෙමින් තිබුණි.

මහජන උද්ඝෝෂණ වැඩිවත්ම, ජනාධිපතිවරයා කෙළේ, මහත් ආන්දෝලනයට තුඩුදෙන උද්ඝෝෂණ-විරෝධී නීතිරීති ගෙන ඒමයි. ඒ අතර, රටේ මතුවෙමින් පැවති ප‍්‍රචණ්ඩකාරී තත්වය සමනය කරන ලෙස ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් යටතේ, ජනාධිපති යනුකොවිච් සහ විපක්ෂ නායකයෝ, පෙබරවාරි 21 වැනි දා ගිවිසුමක් අත්සන් කළහ. ඒ අනුව, කල් නොයවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමටත්, අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන, සමගි ආණ්ඩුවක් පිහිටුවීමටත් සපථ කෙරුණි. එසේ වෙතත්, ජනාධිපතිවරයාව නෙරපා දැමීමට, මේ අතර, පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එවිට, ජනාධිපතිවරයා අගනුවරින් පළා ගියේය. ඉන් පසු පත්කර ගැනුණු අන්තර්=පාලන ආණ්ඩුව, විරෝධතාකරුවන්ව ‘සමූහ ඝාතනය’ කිරීමේ වරදට, පළා ගිය ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙළේය. පළා ගිය ජනාධිපතිවරයා අනතුරුව මතුවුණේ, රුසියාවෙනි. එහි දී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්, තමා තවමත් යුක්රේනයේ ජනාධිපතිවරයා වන බවත්, යුක්රේනය වෙනුවෙන් දිගටම සටන් කරන බවත් කියා සිටි ඔහු, යථා කාලයේ දී නැවත යුක්රේනයේ බලයට පැමිණෙන බව කියා සිටියේය. එහිදී තමාගේ විරුද්ධවාදීන්ව ඔහු හැඳින්නුවේ, ‘නව ෆැසිස්ට්වාදීන්’ වශයෙනි.

කෙසේ වෙතත්, මේ අර්බුදය තුළ ආණ්ඩු බලයට පත් විරුද්ධ පක්ෂ, මෙහි දී ඉතා අමනෝඥ සහ ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවකට තල්ලූ වුණි. එනම්, අර්ධ-ස්වායත්ත ප‍්‍රදේශයෙක් වූ ක‍්‍රිමියාවේ රුසියානු භාෂාව භාවිත කිරීම තහනම් කිරීමයි. එය, ක‍්‍රිමියානු ජනතාව කෝපයට පත්කෙළේය. එසේම, එම ප‍්‍රදේශයෙන් ජනගහනයෙන් සියයට 58 ක් වන රුසියානු ජනතාව ‘ආරක්ෂා කිරීමේ අවසරය’ යටතේ මෙම ආරාවුලට කෙලින්ම මැදිහත් වීමට රුසියාවට අවස්ථාව පෑදුවේය. ක‍්‍රිමියාව සැළකෙන්නේ, රුසියානු සත්‍යලබ්ධික ක‍්‍රිස්තියානි ආගමේ තොටිල්ල වශයෙනි. එසේම, පැරණි රුසියානු අධිරාජ්‍යය ගොඩනැගුණේ ද, ක‍්‍රිමියාව සඳහා රුසියාව කළ ඓතිහාසික අරගලවලට සමගාමීවයි.

යුක්රේනයේ කොටසක් වන, අර්ධ-ස්වාධීන ක‍්‍රිමියානු ජනරජ අර්ධද්වීපය පිහිටා තිබෙන්නේ, යුක්රේනයේ දකුණුදිග, කළු මුහුද සහ අසෝව් මුහුද අතරේ ය. එය, නැගෙනහිරින් රුසියාවෙන් වෙන්වන්නේ, පටු කර්ෂ් සමුද්‍ර සන්ධියෙනි. 1783 දී, මහා කැතරින්ගේ පාලන සමයේ දී, ක‍්‍රිමියාව රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගැනුණි. උපතින් යුක්රේනියානුවෙකු වන සෝවියට් නායක නිකිතා කෘෂෙව් විසින් 1954 දී ක‍්‍රිමියාව යුක්රේනයට පවරන තෙක් එය පැවතියේ රුසියාවේ කොටසක් වශයෙනි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ග‍්‍රීක සහ රෝම බලපෑමට යටත්ව සිටි ක‍්‍රිමියාව, පසුව ඔටෝමන් අධිරාජ්‍යය යටතට පත්විය.

19 වැනි සියවසේ මැද භාගයේ පසමිතුරු අධිරාජ්‍ය අවශ්‍යතා පෙරදැරිව ක‍්‍රිමියානු යුද්ධය ඇවිළී ගියේය. ඊට හේතුවුණේ, ඔටෝමන් අධිරාජ්‍යය පිරිහෙමින් පැවති අවස්ථාවක, බෝල්කන් රටවල් කෙරෙහි රුසියානු අභිලාෂයන් යොමුවෙමින් ඇතැ යි සැක කළ බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය, සිය සේනා ක‍්‍රිමියාවට යැවීමයි. අනතුරුව, රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයෙන් පසුව ක‍්‍රිමියාව, සෝවියට් දේශයට අයත් ස්වාධීන ප‍්‍රාන්ත රාජ්‍යයක් වශයෙන් පවතිද්දී, 1940 මුල් භාගයේ දී හිට්ලර්ගේ නට්සි හමුදාවන් විසින් ක‍්‍රිමියාව සිය ග‍්‍රහණයට ගත්තේය. එරටේ වාඩිලාගත් ජරමානුවන්ට, ක‍්‍රිමියාවේ වෙසෙන ටාටාර් ජාතිකයන් ආධාර කෙළේ ය යන කෝන්තරයෙන් සිටි ස්ටැලින්, ජරමානුවන්ව පලවා හැරීමෙන් පසුව, 1944 දී ටාටාර් ජාතිකයන්වත් බුරුතු පිටින් සයිබීරියාවට පිටුවහල් කෙළේය. එසේ පිටුවහලට ලක්වූවන්ගෙන් දසලක්ෂයක් හාමතෙන් මියගියහ.

ආපසු ක‍්‍රිමියාවට පැමිණීමට ඔවුන්ට හැකි වුණේ, සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුවයි. 1990 දශකය මුල හරියේ දී, දෙලක්ෂ පනස් දහසක් ටාටාර් ජාතිකයන් ආපසු ක‍්‍රිමියාවට පැමිණ තිබුණි. ඒ වන විට ක‍්‍රිමියාව අයත් වුණේ, නිදහස් යුක්රේන රාජ්‍යයටයි. අළුතින් පැමිණි මේ ජනතාව උග‍්‍ර විරැුකියාවෙන් සහ නිවාස ප‍්‍රශ්නයෙන් පෙළුණි. එසේම, ඔවුන් සහ වෙනත් ජාතීන් අතර නොහොඳකම් පැවති අතර ඉඩම් අයිතිවාසිකම් ගැන බොහෝ ප‍්‍රශ්න ද එක දිගටම නොවිසඳී පැවතුණි.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවෙන් යුක්රේනියාව නිදහස දිනාගත් පසු, ක‍්‍රිමියාවේ වෙසෙන රුසියානු ප‍්‍රජාවේ දේශපාලඥයෝ යුක්රේනයෙන් වෙන්ව තමන්ගේ ස්වෛරීත්වයක් සඳහාත්, රුසියාව සමග වන තම සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සඳහාත් බොහෝ පියවර ගත්හ. ඒවා යුක්රේන පාලකයන් විසින් හඳුන්වන ලද්දේ, ව්‍යවස්ථා විරෝධී පියවරයන් වශයෙනි. 1996 දී යුක්රේනියානු ව්‍යවස්ථාව මගින් ක‍්‍රිමියාව ස්වායත්ත පාලන ප‍්‍රදේශයක් වශයෙන් පිළිගනු ලැබුවත්, ක‍්‍රිමියානු පාර්ලිමේන්තුව සම්මත කරගන්නා අණපනත්, යුක්රේනියානු රාජ්‍යයේ ව්‍යවස්ථාවට පටහැනි නොවිය යුතු බවට උදක්ම අපේක්ෂා කෙරුණි.

ක‍්‍රිමියාවට වෙනම පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් තිබේ. කෘෂිකර්මය, යටිතල සංවර්ධනය සහ සංචාරක ව්‍යපාරය පිළිබඳ බලතල එම පාර්ලිමේන්තුවට හිමි විය. ටාටාර් ජාතිකයන්ට ද, නොනිල පාර්ලිමේන්තුවක් තිබුණි. එහි පරමාර්ථය වුණේ, ක‍්‍රිමියාවේ වෙසෙන ටාටාර් ජාතිකයන්ගේ අයිතීන් සහ අවශ්‍යතා ප‍්‍රවර්ධනය කිරීම බව කියැවේ.

ක‍්‍රිමියාවේ පිහිටි සෙවෙස්ටපෝල් වරාය, ප‍්‍රධාන නාවුක කඳවුරකි. සෝවියට් දේශයට අයත් කළු මුහුදේ නාවික බලඇණිය පිහිටා තිබුණේ එහි ය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු, මේ බලඇණිය රුසියාව සහ යුක්රේනය අතර බෙදා ගැනුණි. කෙසේ වෙතත්, ඉතිරි වූ රුසියානු බලඇණිය එක දිගටම සෙවෙස්ටපෝල් වරායේ තිබීම, රුසියාව සහ යුක්රේනය අතර විවිධ මතභේදවලට තුඩුදුනි. 2008 දී, එදා යුක්රේනයේ ජනාධිපති ධුරය දැරූ, බටහිරට හිතවාදී යුෂෙන්කෝ, කළු මුහුදේ නවතා ඇති එම සේනාංකය ජෝර්ජියාවට එරෙහිව පාවිච්චි කිරීම නතර කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත්, මේ රුසියානු බලඇණිය 2017 දක්වා එහි රැුඳී සිටීම ගැන දෙපාර්ශ්වය එකඟ විය. එහෙත් 2010 දී යුක්රේනෙයේ ජනාධිපති පදවියට පත් වික්ටර් යනුකොවිච්, මේ බදු කාලය, 2017 සිට තවත් අවුරුදු 25 ක් දක්වා දීර්ඝ කිරීමට රුසියාව සමග ගිවිස ගත්තේය. ඒ අනුව, රුසියානු ගෑස් අඩු මිලට යුක්රේනයට සැපයීමට රුසියාව එකඟ විය.

අනිත් අතට, යුක්රේනය සමග ක‍්‍රිමියාවේ සම්බන්ධතාව කිසි විටක යහපත් එකක් වුණේ නැත. රුසියාව ළඟට, යුරෝපයේ විශාලම රට යුක්රේනයයි. ලෝකයේ රටවල් අතරින් විශාලත්වයෙන් 44 වැනි තැන ඊට හිමි වෙයි. එහි ජනගහනය, මිලියන 45.1 කි.

උත්ප‍්‍රාසය වන්නේ, මේ ප‍්‍රශ්නයේ දී රුසියානු ජනාධිපති පුටින්, ජනතාවකට ඇති ස්වයං=නිර්ණ අයිතිය පිළිබඳ ප‍්‍රතිපත්තිය භාර ගැනීමයි. ‘2014 මැයි 16 වැනි දා ක‍්‍රිමියාවේ පැවැත්වූ ජනමත විචාරණය, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ජනතාවකට පැවරෙන ස්වයං=නිර්ණ අයිතිය සෘජුව ප‍්‍රකාශයට පත්වූ අවස්ථාවක්’ වශයෙන් ඔහු හැඳින්වීය. ඒ වූ කලී, එම ප‍්‍රතිපත්තිය උඩම පැවැත්වූ කොසෝවෝ ජනමත විචාරණයෙන් පසු ඇතිව තිබෙන, අංශක 180 ක කරණමකි.

එදා කොසෝවෝ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට රුසියාව විරුද්ධ විය. ඊට පක්ෂව සිටියේ නේටෝ රටවල් සහ ඇමරිකාවයි. දැන් මේ දෙගොල්ලන්ම ඉන්නේ, එදා ප‍්‍රතිපත්තියට සපුරා ප‍්‍රතිපක්ෂයේ ය. යම් ජනතාවකට, නිශ්චිත භූමියක් තිබේ නම් ද, පොදු භාෂාවක් සහ සංස්කෘතියක් තිබේ නම් ද, තමන්ව වෙනම ජාතියක් වශයෙන් සළකන්නේ නම් සහ නිදහස සඳහා ජනමත විචාරණයකින් කැමැත්ත පළ කරන්නේ නම් ද, එම ජනතාවට ස්වයං-නිර්ණ අයිතිය අභ්‍යාස කළ හැකි වන්නේය.

ෆෝක්ලන්ඞ් දූපත් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය අයිතිය පාන්නේ ඒ මූලධර්මය මතයි. දකුණු සුඩානය සහ නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයන් වශයෙන් බිහි වුණේ ඒ මූලධර්මය මතයි. 2013 දී සියයට 92 ක් ඡන්දය පාවිච්චි කළ ෆෝක්ලන්ඞ් ජනමත විචාරණයේ දී, සියයට 99.8 ක් ජනතාව, බි‍්‍රතාන්‍යය රජය යටතේ විසීමට කැමැත්ත පළකළහ.

කොසෝවෝ සහ ක‍්‍රිමියාව අතර පවතින සමානතා සහ අසමානතා කවරේ ද?

ක‍්‍රිමියාව, යුක්රේනයෙන් කැඞී වෙන්වී රුසියාවට සම්බන්ධ වීම යුක්ති සහගත කිරීමට දැන් පුටින් පාවිච්චි කරන ප‍්‍රධාන තර්කය වන්නේ, 2008 දී වෙනම රාජ්‍යයක් වශයෙන් කොසෝවෝ දේශය බිහිවීම යුරෝපය විසින් එදා පිළිගනු ලැබීමේ පූර්වාදර්ශයයි. මේ කියන කොසෝවෝ සහ ක‍්‍රිමියා යන ප‍්‍රදේශ දෙකම නිදහස පතන්නේ, ඔවුන් අයත්ව සිටින යම් මධ්‍යම ආණ්ඩුවක කැමැත්තට පටහැනිවයි. එහෙත් එම තත්වයන් දෙක අතරේ බොහෝ වෙනස්කම් ද තිබේ.

සර්බියාවට අයත්ව තිබූ, ඇල්බේනියානු ජාතිකයන් බහුතරයක් ජීවත් වූ කොසෝවෝ දේශය, ඇමරිකාවේ ප‍්‍රබල සහයෝගය ද සහිතව, මධ්‍යම ආණ්ඩුවේ බලවත් විරෝධය මධ්‍යයේ, සර්බියාවෙන් වෙන් විය. සර්බියානුවන් අයත් වන්නේ, රුසියානුවන් මෙන් ස්ලාව් වාර්ගිකත්වයටයි. ඒ නිසා, රුසියානුවන් සහ සර්බියානුවන්, ඓතිහාසික සගයන් ය. කොසෝවෝ දේශය සර්බියාවෙන් කැඞී වෙන්වීම එකල රුසියාව හැඳින්නුවේ, ලෝකයේ වෙනත් තැන්වලත් එවැනි ජාතිකත්වයන්ට උඩගෙඩි දෙන නරක පූර්වාදර්ශයක් වශයෙන් සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරිමක් වශයෙනි.

දැන් එතකොට ක‍්‍රිමියාව? එය, යුක්රේනයට අයත්, උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්, කළු මුහුදු අර්ධද්වීපයකි. ගිය ඉරිදා යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග ඒකාබද්ධ වීමට ක‍්‍රිමියාවේ ජීවත් වන අති බහුතරයක් ජනතාව ඡුන්දය පාවිච්චි කිරීම පුටින් යුක්ති සහගත කරන්නේ, රුසියාවම එදා විරුද්ධ වූ, කොසෝවෝ සිදුවීම උද්ධෘතයට ගනිමිනි. ඊළඟට, එදා කොසෝවෝ වෙනුවෙන් පෙනී සිටි බටහිර, අද ක‍්‍රිමියාවේ ජනමත විචාරණයේ වලංගු භාවයක් නැතැ යි කියයි.

මේ අවස්ථා දෙක අතර සමානකම් තිබේ. කොසෝවෝ සහ ක‍්‍රිමියාව යන ප‍්‍රදේශ දෙකේම ජීවත්වන්නේ, රටේ සුළුතරයක් වන මුත්, එම ප‍්‍රදේශවල බහුතරයක් වන ජාතියකි. කොසෝවෝහි ජීවත් වූ ඇල්බේනියානු ජාතිකයන්, එදා සර්බියානු ජනාධිපති ස්ලොබොඩඞ් මිලොසොවිච්ගේ පාලනයේ මර්දනය ගැන බියෙන් පසුවූවා සේම, ගිය මාසයේ යුක්රේනයේ බලයට පත් යුක්රේනියානු ජාතිකවාදීන් ගැන, ක‍්‍රිමියාවේ ජීවත් වන රුසියානු ජාතිකයන් ද බියට පත්වන්ට ඇත. කොසෝවෝහි ජීවත්වූ ඇල්බේනියානුවන් මෙන්ම, ක‍්‍රිමියාවේ ජීවත්වන රුසියානුවෝ ද, ප‍්‍රධාන රටෙන් කැඞී වෙන්වීම සඳහා හිස මුදුනින්ම ඡුන්දය පාවිච්චි කළහ. එසේම, කොසෝවෝහි එදා ජීවත් වූ සර්බියානු සුළුතරය සේම, ක‍්‍රිමියාවේ අද ජීවත්වන යුක්රේනියානු සහ ටාටාර් සුළුතරයන් ද, එකී ජනමත විචාරණ බොහෝ දුරට වර්ජනය කළෝය. විදේශ හමුදා මැදිහත්වීම, මේ ප‍්‍රදේශ දෙකේදීම සිදුවිය. කොසොවෝහි දී නේටෝ හමුදා මැදිහත් විය. ක‍්‍රිමියාවේ දී රුසියානු හමුදා මැදිහත් විය.

එහෙත් මේ සිදුවීම් දෙක අතර වෙනස්කම් ද තිබේ.

1999 දී කොසෝවෝ දේශය තුළ නේටෝ සංවිධානය මැදිහත් වුණේ, එහි වෙසෙන වාර්ගික ඇල්බේනියානුවන්ට එරෙහිව සර්බියානු පාලකයන් විසින් බරපතල අපහරණයන් සිදු කෙරෙමින් ඇති බවට, බැහැර කළ නොහැකි සාක්ෂි හරහා හෙළිදරව් වීමෙන් පසුවයි. සමූහ ඝාතන සහ මහ පරිමාණ පිටුවහල් කිරීම් එම අපහරණයන්ට අයත් විය. එහෙත්, රුසියානු හමුදා ක‍්‍රිමියාවට මැදිහත් වන අවස්ථාවේ, ක‍්‍රිමියාවේ වෙසෙන රුසියානුවන්ට එරෙහිව යුක්රේනියානුවන් විසින් මොනම විදිහක හෝ හිංසනයක් හෝ අගතියක් සිදු කෙරෙමින් තිබුණු බවට කිසි සාක්ෂියක් නොවුණි.

බටහිර රටවල් මැදිහත් වී කොසෝවෝ දේශයෙන් සර්බියානු හමුදාවන් පන්නා දැමීමෙන් පසු එම ප‍්‍රදේශයට සාමසාධක හමුදා යැව්වා මිස, එම ප‍්‍රදේශය බටහිරට ඈඳාගත්තේ නැත. එහෙත් රුසියාව, ක‍්‍රිමියාවේ ජනමත විචාරණයටත් කලින් එම ප‍්‍රදේශයට සිය සේනා යැව්වේය.

එසේම, ජාතික නිදහස ප‍්‍රකාශයට පත්කළ කොසෝවෝ දේශය, තමන්ගේම ජාතියේ ඇල්බේනියානුවන් සිටි අල්ලපු රටේ කොටසක් බවට පත්වුණේ නැත. එහෙත්, ක‍්‍රිමියාව දැන් රුසියාවට ඈඳී තිබේ. එසේම, කොසෝවෝ දේශය සිය නිදහස ප‍්‍රකාශයට පත්කෙළේ, එම දේශය කෙරෙහි තිබූ ක‍්‍රියාන්විත සර්බියානු බලය අවසන් වී අවුරුදු 9 කට පසුවයි. එසේම, දීර්ඝ අන්තර්ජාතික රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රියාවලියකින් ද පසුවයි. එහෙත් ක‍්‍රිමියාව, යුක්රේනයෙන් වෙන් වීමට කැමැත්ත දුන්නේ, රුසියානු හිතවාදී යුක්රේනියානු ජනාධිපතිවරයා පළා ගොස් සති කිහිපයකට පසුවයි.

2010 ජුලි මාසයේ දී, එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය, කොසෝවෝ දේශයේ නිදහස නීත්‍යානුකූල බවට තීන්දු කෙළේය. එය, රාජ්‍යයක් වශයෙන් එම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් තවමත් පිළිනොගැනෙන්නේ, වෙන කිසිවක් නිසා නොව, රුසියාව ඊට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කරන නිසාම පමණි.

දැන් රුසියාවට ක‍්‍රිමියාව ඈඳා ගැනීමේ ගිවිසුමට අත්සන් තබමින් රුසියානු ජනාධිපති පුටින් කියන්නේ මෙවැන්නකි:

‘‘කොසෝවෝ පූර්වාදර්ශය ගොඩනැගුවේ අපේ බටහිර සහකාර රටවල් ය. අද ක‍්‍රිමියාවට හැම අතකින්ම සමාන වන එම අවස්ථාවේ දී, කොසෝවෝ දේශය සර්බියාවෙන් කැඞී වෙන්වීම සුජාත ක‍්‍රියාවක් වශයෙන් දුටු ඔවුහූ, ඒක-පාර්ශ්විකව නිදහසක් ප‍්‍රකාශයට පත්කිරීමට, එම රටේ මධ්‍යම අධිකාරියක අවසරයක් අවශ්‍ය නොවන බවට එදා තර්ක කළහ.’’

මෙයින් මතුකෙරෙන සදාචාර පාඩම කුමක් ද? තීරණාත්මක වන්නේ වෙන කිසිවක් නොව, බලයම වන බවයි.

ටිබෙට් දේශය 1950 සිට චීනයේ යකඩ සපත්තුවට පෑගී සිටී. 1950 ඔක්තෝබර් 7 වැනි දා ටිබෙටයට චීන හමුදා ඇතුල් වූහ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය, චීනයේ මේ ආක‍්‍රමණය 1950 නොවැම්බර් 18 වැනි දා හෙළාදකිමින් යෝජනාවක් සම්මත කරගත්තේය. ඉන් පසු අද වන තෙක් ටිබෙටය සම්බන්ධයෙන් කිසිවක් සිදුව නැත. ටිබෙටය වෙනුවෙන් චීනය සමග යුද්ධයකට යන්නට, ඇමරිකාව ඇතුළු කිසි රටක් සූදානම් නැත. කණගාටුදායක යථාර්ථය වන්නේ එයයි.

ජනමත විචාරණයකින් කැමැත්ත ප‍්‍රකාශ කොට සිටීමෙන් පසු, රුසියාව සමග සම්බන්ධ වීමට ක‍්‍රිමියාව තීරණය කර සිටීම මගින් පෙන්වන්නේ, ආරක්ෂක සහ සංස්කෘතිකමය හේතූන් මත, තම වරිගයා සමග එක් වීමට යම් ජනතාවක් දක්වන කැමැත්තකි. මේ ක‍්‍රිමියානු ආදර්ශය, කුර්ද්, ටිබෙට්, කාශ්මීර සහ දෙමළ වැනි, පීඩාවට පත්වන තවත් එවැනිම වාර්ගික සුළු ජාතීන්ට, ස්වයං-නිර්ණ අයිතිය සහ ‘ආරක්ෂා කිරීමට ඇති වගකීම’ (‘‘රෙස්පොන්සිබිලිටි 2 ප්‍රොටෙක්ට්’’) යන එම ප‍්‍රතිපත්තිම යටතේ, තමන්ගේ ජාතික ස්වාධීනත්වය සහ ජාතික ස්වෛරීත්වය අපේක්ෂා කිරීමට ලැබෙන තල්ලූවක් වන්නේය. සමහර විට එය, අද කළ නොහැකි දෙයක් වන්නට පිළිවන. එහෙත් අනාගතේ දී කළ හැකි විය හැක.

*2014 මාර්තු 22 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Self-Determination: Crimea Leads The Way For Other Ethnic Minorities නැමැති ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page