22 October, 2019

Blog

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප්‍රධාන පෙළේ සමාගමක හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ අදහසයි. එසේ සිතීම සඳහා වන හේතුද ඔහු මා සමග කීවේය. ඔහුට අනුව, දැන් ලංකාවේ සිටින ඉහළ පෙළේ නායකයන් හැමෝම රට ඉදිරියේ අසමත්ව ඇත. මැතිවරණ කාලවලදී මේ නායකයෝ බොහෝ දේවල් දීමට පොරොන්දු වෙති. එහෙත් බලයට පත්වූ පසු ඒ පොරොන්දු පැත්තකට දමති.

ඔහු ඉදිරිපත් කළ ලැයිස්තුව දිග ය. එහෙත් එයින් සමහරක් මෙසේ ය: දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ‘නීතිය මත පාලනය වන රාජ්‍ය පාලන ක්‍රමයක්’ ස්ථාපිත කිරීම සහ යහපාලනික භාවිතාවන් වෙත යළි ගමන් කිරීම ඉන් සමහරකි. ඉතිං, ඒවා ඉෂ්ට වී නැතිකම ගැන මේ පුද්ගලයා සිටියේ බලවත් කෝපයෙනි. ඒ කෝපය විසින් ඔහුව ගෙනැවිත් ඇත්තේ, මේ ප්‍රශ්නවල මුල වන්නේ පාලකයන්ගේ ලිහිල් භාවය යැයි ගත් විශ්වාසයක් වෙතටයි.

ඒ සඳහා ඔහු අපේ කලාපයෙන් උදාහරණ ඉදිරිපත් කෙළේය. දෙන ලද පොරොන්දු ඉටු කර දීමට තරම් දැඩි පාලනයක් ගෙන ගිය අවස්ථා ඔහුගේ උදාහරණවලට ඇතුළත් විය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, ඡන්දයෙන් බලයට පත් නායකයෙකු වුවද, ගෙන ගියේ දැඩි පාලනයකි. කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් දකුණු කොරියාවේ ජෙනරාල් පාක් තවත් එවැනි දැඩි පාලකයෙකි. විනයක් නොතිබුණු දකුණු කොරියානුවන්ව විනයගත කිරීමට ඔහු තම හමුදා ශක්තිය පාවිච්චි කළ බව කියැවේ. එයින් ඇති වූ වෙනස අති මහත් ය. එක පරම්පරාවක් තුළ මේ රටවල් දෙකම පොහොසත් රටවල් බවට පත්විය. ඒ අනුව, අර කී හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට අනුව, ආර්ථික සමෘද්ධියේ ස්වර්ණමය මාවත වැටී ඇත්තේ අධිකාරී පාලන මාදිලියක් ඔස්සේ ය.

විනයක් නැති කම ගැන අන් සියල්ලන්ට දොස් පවරන ජාතියක්

ඒකාධිපතියෙකු ඉල්ලා සිටින එකම පුද්ගලයා මොහු පමණක් නොවේ. ‘ඌබර්’ හෝ ‘පික් මී’ රියැදුරෙකුට කතා කරන්න. නැත්නම්, ත්‍රී-වීලර් රියැදුරෙකුට කතා කරන්න. පාරේ විනය ඇති කිරීම සඳහා දරදඬු පාලකයෙකු අවශ්‍ය කරන බව ඔහු ඔබට කියනු ඇත. එහෙත් ඒ ආකාරයෙන් අනිත් සියල්ලන්ගේ වැරදි ගැන කතා කළත් ඔහුගේ විනයක් නැති කම ගැන ඔහු කතා කරන්නේ නැත. ඒකාධිපතියන් ඉල්ලා සිටින මෙවැනි මිනිස්සු අනන්තවත් සිටිති. සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම වෙලාගෙන ඇති මේ විනයක් නැති කම ගැන, ඔවුන් කවුරුත් ඔබට කියාදෙනු ඇත. තමන්ගේ තර්කය ඔප්පු කිරීමට රාජ්‍ය විශ්ව විද්‍යාලවල අද පවතින කණගාටුදායක තත්වය සහ රෝහල් පද්ධතිය වැටී ඇති දුක්ඛිත තත්වය ඔවුන් ඔබ ඉදිරියේ හුවාදක්වනු ඇත.

රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරී තිබෙනවාට වඩා වැසී තිබේ

විශ්ව විද්‍යල අධ්‍යාපනය නිතරම තිබෙන්නේ මුරණ්ඩු කොටස් විසින් කඩා බිඳ දමමිනි. විවිධ වාර්තා පෙන්වා දෙන පරිදි, මුලින්ම, අලුතෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිරිසන් ආකාරයෙන් නවක වධයට භාජනය කිරීමෙන් මේ කඩාකප්පල්කාරී වැඬේ පටන් ගැනේ. ඒ මගින් පරම්පරාවකම නිර්මාණාත්මක භාවය නසා දමා තිබේ. අනතුරුව එම නවක වධයට භාජනය වන පිරිස, ඔවුන්ව හසුරුවන්නන් අතේ නැටවෙන රූකඩ බවට පත්කරනු ලැබේ. මේවාට වගකිව යුතු අයවළුන්ට එරෙහිව විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා විට, ශිෂ්‍යයන් දඩයමට ලක්කෙරෙතියි කියා ශිෂ්‍යයෝ පංති වර්ජනය කරති. එයින් විශ්ව විද්‍යාලයේ ක්‍රියකාරීත්වය අඩපණ කෙරේ. මෙය, එක විශ්ව විද්‍යාලයකින් නතර වන්නේ නැත. වෙනත් විශ්ව විද්‍යාලවලටත් එය බෝවෙයි. අවසානයේදී සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම එක තැන පල්වෙන තත්වයකට පත්වෙයි.

මේ ප්‍රශ්නය, බොහෝ විට පංති වර්ජනය කොට සිටින සිසුන්ගේ වාසිය පිණිස අවසානයේ විසඳා ගැනුණු පසු, ඊළඟට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ වැඩ වර්ජනය කරති. තමන්ගේ වැටුප් විෂමතා සහ උසස් වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බව ඔවුහූ රටට කියති. කෙසේ හෝ ඔවුන්වත් යම් තරමකට සනසා ගත් පසු, ඊළඟට විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනය කරති.

මේ අනුව, යම් වසරක විශ්ව විද්‍යාලයක් ඇරී තිබෙනවාට වඩා වැසී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ, විශ්ව විද්‍යාලයට ඇතුලු වන ශිෂ්‍යයෙකුට තමන් උපාධියක් සහතිව ඉන් පිටවන්නේ කවදාද යන්න කල්තියා කිව නොහැකි තත්වයක් ඇති වීමයි. වෙනත් රටවල උපාධි ප්‍රදානෝත්සව පිළිබඳ දින වකවානු කල්තියා තීන්දු කොට තිබේ. ඒ අනුව, ශිෂ්‍යයන්ටත් තමන්ගේ අනාගත සැලසුම් සහ වෘත්තීය අපේක්ෂා කල්තියා සකසාගත හැකි වන්නේය.

විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුවත් මේ ශිෂ්‍යයෝ සමාජ සාමයට නිතර බාධා කරති. ඔවුන් ඊළඟට කරන්නේ රැකියා ඉල්ලා නගරයේ ප්‍රධාන පාරවල් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමයි. වාහන තදබදය ඇති කිරීමට අමතරව, ඒ හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීම සඳහා බලය පාවිච්චි කිරීමටත් පොලීසියට සිද්ධ වෙයි. අවසානයේ ඒ සියල්ලට වන්දි ගෙවන්නේ මහජනතාව ය. ඉතිං, මහජනතාව කරන්නේ, මේ තත්වය පාලනය කර ගැනීමට කිසිවක් නොකරන පාලකයන් කෙරෙහි කෝපයට පත්ව ඔවුන් කෙරෙහි පිලිකුළක් ඇති කර ගැනීමයි.

තර්ජනාත්මකව ඇඟිල්ලක් උරුක් කිරීමෙන් පමණක් රෝහල් අකර්මණ්‍ය කළ හැක

ඒ අර්ථයෙන් ගත් විට, රාජ්‍ය රෝහල් පද්ධතිය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට වඩා දියුණුවක් පෙන්නුම් කරන්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටිගමන් වැඩ වර්ජනය කොට රෝහල් පද්ධතිය අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකට ය. ජීවත් වීමේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදී සිටින, පෞද්ගලික රෝහල්වලට යාමට තරම් වත්කමක් නැති දුප්පත් ජනයා තම රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රජයේ රෝහල් පද්ධතියම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් නිතර අඩපණ කෙරේ.

වෛද්‍යවරුන් වැඩ වර්ජනය නොකරන වෙලාවට, හෙදියෝ වර්ජනය කරති. නැත්නම්, වෙනත් කාර්ය මණ්ඩල සේවකයෝ වර්ජනය කරති. මේ සියල්ලෙන් අවසාන වශයෙන් බැටකන්නේ, ශිෂ්ට සම්පන්න සමාජයක මොන මිණුම් දණ්ඩෙන් මැන්නත්, පොදු සෞඛ්‍ය සේවා වැඩියත්ම අවශ්‍ය කරන අහිංසක රෝගීන් ය. ශිෂ්ට සම්පන්න සමාජවල ගිලන් රථ සේවාවන්ට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ එබැවිනි. එපමණක් නොව, යුද්ධයකදී තුවාල ලබන හතුරු පාර්ශ්වයේ යුද සිරකරුවෙකුට පවා, ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් ශිෂ්ට ලෝකයා සලකන බව අපි දනිමු.

විනයක් නැති කම ගැන නායකයන් කරන්නේ කටින් බතල කොළ සිටුවීමක් පමණි

ඉහතින් සඳහන් කෙළේ ශ්‍රී ලාංකිකයන් දෛනිකව මුහුණදෙන ප්‍රශ්නකාරී ක්ෂේත්‍ර දෙකක් ගැන පමණි. මේ ප්‍රශ්න මතුවන විට රට කරවන දේශපාලන නායකයෝ ඒවාට විසඳුම් ඉදිරිපත් නොකරති. ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන්නේ, දේශපාලඥයාට බලයේ සිටීම සඳහා ඡන්දදායකයා පස්සේ යන්නට සිදුවන තත්වයක් නිර්මාණය කිරීමයි. ඉතිං, ඡන්ද නැති වෙතියි බියෙන් දේශපාලඥයෙන් කරන්නේ මෙසේ නීතිය කඩන පුද්ගල කණ්ඩායම් සම්බන්ධයෙන් අහක බලාගෙන සිටීමයි. එයින් පීඩාවට පත්වන සාමාන්‍ය මහජනයා, මේ තත්වය නිවැරදි කර ගැනීම සඳහා, සැර නායකයෙකු බලයට පත්කොට හෝ ගැලවීමක් ලබා ගැනීමට සිතති.

එවැනි දැඩි නායකයෙකු බලයට පත්කර ගැනීම පිළිබඳව ඉදිරිපත් කෙරෙන යෝජනා විවිධාකාර ය. සමහරුන්ට අවශ්‍ය කරන්නේ එම අධිකාරීවාදී දැඩි තැනැත්තාව ඡන්දයෙන් බලයට පත්කර ගැනීමටයි. තවත් අයට, හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් එවැනි පුද්ගලයෙකු බලයට පත්කර ගැනීමට අවශ්‍ය කරයි. තවත් අය කියන්නේ, රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව දැඩි පාලනයක් ගෙන යා යුතු බවයි. එහෙත් මේ සියල්ල පසුපස ඇති පොදු සාධකය වන්නේ, අධිකාරීවාදී පාලකයෙකු යම් නිශ්චිත කාලයක් රට පාලනය කොට, රටේ විනය සහ යහපත් චර්යාව ස්ථාපිත කොට, සිවිල් නායකත්වයකට පසුව රට බාරදිය යුතු බවයි.

*ඉතිරිය හෙට…..

*2019 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Demand For A Dictator Is On The Rise & It Is A Dangerous Sign නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.