
ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන
එක මිටට රට අනුරට
පසුගිය දා පැවති මැතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අපේක්ෂකයන් සාතිශය බහුතර ඡන්ද දායකයන්ගේ ඉතා ප්‍රබල වරමකින් තවත් අවුරුදු පහක් සඳහා ව්‍යවස්ථා සම්පාදනය පිණිස තෝරා පත් කරගෙන ඇත. ජනාධිපතිවරණ සමය තුළ ඔහුගේ ආධාරකරුවන් ගැයූ තේමා ගීතය වූයේ “පොහොසත් රටක් නිර්මාණය කිරීම සඳහා අද මුළු රටම එක මිටට අනුරට බවයි”. නමුත් මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනී ගියේ උඩරට, උතුරු සහ නැගෙනහිර සමහර ප්‍රදේශවල ජනතාව ජනාධිපතිවරයා සමඟ සිට ගත්තේ නැති බවයි. සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ඔහු තම විජයග්‍රාහී කතාවේ දී පවසා සිටියේ සමාජයේ සමහර කොටස් ඔහුව පිළිගත්ත ද තවත් සමහර කොටස් එසේ නොමැති බවයි. කෙසේ වුව ද, කිසිම වෙනස් කොට සැලකීමක් හෝ බෙදීමක් නොමැතිව සමස්ත ජනතාවට එක සේ සේවය සලසන බව ඔහු පවසන ලදී.
ඔහු පැවසීමට උත්සාහ කළේ රටේ දකුණු ප්‍රදේශයේ ජනතාව පමණක් ඔහුට ජනවරම ලබා දුන්න ද ඊළඟ වාරයේ දී එසේ කැමැත්ත ලබා නොදුන් ජනතාවගේ කැමැත්ත ද දිනා ගනිමින් ජනාධිපතිවරණයේ පොදු අරමුණ සාක්ෂාත් කර ගන්නා බවයි. කෙසේ වුව ද, මෙය මාසයක් පමණ කාලයක් ඇතුළත උදා කර ගත නොහැකි ඉලක්කයක් සේ පෙනුණ ද ජයග්‍රහණය ගිලිහී ගිය දිස්ත්‍රික්කවල ජනතාවගේ හදවත් දිනා ගැනීමට මෙවර ඔහුට හැකි විය. එනයින් බලන විට මෙවර පාර්ලිමේන්තු මැතිවරණය රට අනුරට යන ඔහුගේ තේමා ගීතය අර්ථවත් කිරීමට සමත් වී ඇත.
බමුණු කුලයේ බිඳ වැටීම
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම මූලික වශයෙන් සැලකෙනුයේ අද්‍යතන සමාජයේ අඩු වරප්‍රසාදලාභී පවුල් වලින් පැවත එන්නන් ලෙසයි. ඔහුගේ ප්‍රතිවාදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තත්වය මදි පුංචිකමක් ලෙස සලකමින් කුරුණෑගල පැවැත්වූ ව්‍යාපාරික සහ විද්වත් සම්මේලනයක දී ප්‍රකාශ කළේ යැයි වාර්තා වූයේ වික්‍රමසිංහ මහතා ආරම්භ කළ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ආරම්භ කළ කැලණිය විශ්ව විද්‍යාලයේ අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපනය ලද බවයි. කිසිවෙකු අභියෝග නොකළ ද මෙම ප්‍රකාශ දෙකම සාවද්‍ය වේ. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය 1880 සිට පැවති අතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 1940 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. කැලණිය විශ්ව විද්‍යාලය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පිහිටුවූයේ 1875 සිට විද්‍යාලංකාර පිරිවෙන ඉටු කරන ලද සේවයට උපහාරයක ලෙසය.
රනිල් වික්‍රමසිංහගේ ගම්‍යමාන පණිවිඩය වූයේ කොළඹ වරප්‍රසාදලාභී පාසල් වලින් පැවත නොඑන්නන් රටේ රාජ්‍ය බලය දැරීමට සුදුසු නොවන බවයි. මාටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය ලෙස හැඳින්වූයේ මෙම ප්‍රභූ පැලැන්ති මානසිකත්වයයි. 1956 දී ප්‍රභූ පැලැන්තියේ සිට දේශපාලන බලය පොදු ජනතාව අතට පත් වූ පෙරළිය ඔහු හැඳින්වූයේ බමුණු කුලය බිඳ වැටීම ලෙසය. එවක පැවති ජනතා අපේක්ෂා එසේ වුව ද, එය එලෙසම සිදු වූයේ නැත. නිදහස ලබා ගත් දා සිටම රට පාලනය කළ මෙම ප්‍රභූ පිරිසම අවසානයේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමට මෙම අතිමහත් බලය ලබා දීමට කටයුතු කළෝය. එබැවින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වගකීම වනුයේ මෙම ප්‍රභූ පැලැන්තිය ට යලි හිස එසවීමට ඉඩ නොතැබීමත්, ධනය සහ සෞභාග්‍ය සමව බෙදී යන සමාජයක් ඇති කරලීමත්ය. යම් හෙයකින් මෙම කර්තව්‍යයේ දී ඔහු අසමත් වුවහොත් ඔහුගේ පූර්වගාමීන් මෙන්ම ඔහුට ද ජනතාවගේ ඡන්ද බලය හමුවේ රාජ්‍ය බලයෙන් පසුබැසීමට සිදු වනු ඇත.
ආර්ථික අභියෝග
ඔහු සහ ඔහුගේ කණ්ඩායම උර දිය යුතු බරපතල වගකීම වනුයේ පෙර නොවූ ආර්ථික අභියෝග ජය ගැනීමට ඉහළ ප්‍රමුඛතාවයක් දීමත්, කල් පවත්නා ආර්ථික සමෘද්ධියක් උදෙසා මූලික අඩිතාලම දැමීමත්ය.
ආර්ථික පරිවර්තන පනතේ විලංගු
අභිනව ජනාධිපතිවරයා මුහුණ දෙන පළමු සහ බරපතල අභියෝගය වන්නේ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ආසන්නයේ ලහිලහියේ ගෙන ආ ආර්ථික පරිවර්තන පනතේ රෙගුලාසි මඟින් දමා ඇති විලංගු බිඳ දැමීමයි. ආර්ථික පරිවර්තන පනත නමින් අරුත් ගන්වා ඇති, 2024 අගෝස්තුවේ සම්මත කළ මෙම පනත මඟින් ආර්ථික පරිවර්තනය පිළිබඳ කළ හැකි දෙයක් නොමැති බවත්, ඊළඟ අවුරුදු පහ සඳහා පනතින් පනවා ඇති ව්‍යවස්ථාපිත අනුකූලතා සහ ඉලක්ක ළඟා කර ගැනීම ජනාධිපතිවරයා මුහුණ දෙන බරපතල ගැටළුව බවත් මාගේ පසුගිය ලිපි මඟින් පෙන්වා දුනිමි. ව්‍යවස්ථාදායකය හා බැඳි නොපැවතිය යුතු ආර්ථික පරිවර්තනයට අදාල ඊළඟ අවුරුදු පහ කාලය තුළ ළඟා කරගත යුතු ප්‍රමාණාත්මක ඉලක්ක මඟින් ජනාධිපතිවරයාගේ අත් පා ගැට ගසා ඇති බව ද මම පෙන්වා දුනිමි.
සංඛ්‍යාත්මකව අත් කරගත යුතු ආර්ථික ඉලක්ක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප වෙත ලබා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාල ගිවිසුම හා සබැඳුණු ඉලක්ක සහ ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යාත්මක ඉලක්ක මෙම ආර්ථික පරිවර්තන පනතට ඇතුළත් කර තිබේ. සියලු ශ්‍රී ලාංකිකයනට සෞභාග්‍ය උදාවන ආකාරයක ආර්ථික සංවර්ධනයක් කරා ශ්‍රී ලංකා ආර්ථිකය ව්‍යුහාත්මකව පරිවර්තනයකට ලක් කළ යුතුය. ආර්ථික පරිවර්තන පනතට අනුව නව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ආර්ථිකය 2027 දක්වා 5% මූර්ත ආර්ථික වර්ධනයක් යටතේ පවත්වාගෙන ගොස් ඉන් ඔබ්බට ඊට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය කළ යුතුව ඇත. පළමු රූප සටහන පෙන්වා දී ඇති පරිදි පහළ මට්ටමක පවතින වත්මන් ආර්ථික වර්ධනය සහ ධාරිතාවය අනුව මෙම ඉලක්කය වෙත ළඟා වීම විශ්මය දනවන්නක් විය හැකිය.
ආර්ථිකය ව්‍යුහාත්මකව වෙනස් කිරීමේ අවශ්‍යතාව
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ව්‍යුහාත්මකව වෙනස් කිරීමේ හේතු තුනක් පවතී.
පළමුවැන්න වන්නේ අප තවමත් සරල තාක්ෂණයක භාණ්ඩ ලෝක වෙළඳපොළට නිෂ්පාදනය කිරීමයි. අප දැනට අපනයනය කරන භාණ්ඩ 95% ම මෙම ගණයට වැටේ. ලෝකයේ එක් එක් රටවල ආර්ථිකයන් අරභයා හාව(ර්)ඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය වාර්ෂිකව සම්පාදනය කරන ආර්ථික සංකීර්ණතා දර්ශකය මඟින් මේ බව පෙන්වා දී ඇත. මෙම දර්ශකයට අදාල තොරතුරු 2021 වර්ෂයට අදාලව සිතියමක ආකාරයෙන් දෙවන සටහනෙහි දක්වා ඇත. මැද ලා පැහැයෙන් දැක්වෙන්නේ සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදන ප්‍රමාණයයි.
හතරවන කාර්මික විප්ලවයට දැවැන්ත පිම්මක්
දෙවන හේතුව වන්නේ මේ වනවිට ලෝකය පළමුවන කාර්මික විප්ලවයේ සිට පැමිණ හතරවන කාර්මික විප්ලවය ද පසු කරමින් පස්වන කාර්මික විප්ලවයේ දොරකඩට ම පැමිණ සිටීමයි. ශ්‍රී ලංකාව තවමත් මූලික වශයෙන් විදුලි බලයෙන් දිවෙන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් භාණ්ඩ හා සේවා නිපදවමින් දෙවන කාර්මික විප්ලවය අවදියේ පවතී. ශ්‍රී ලංකාව මෙතැන් සිට තුන්වන කාර්මික විප්ලවය මඟ හැර හතරවන කාර්මික විප්ලවය දක්වා දැවැන්ත ඉදිරි පිම්මක් පැනීම මඟින් ගෝලීය වෙළඳපල තුළට තම ආගමනය සලකුණු කළ යුතුය. (03 රූපසටහන)
ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම
වඩා සිත් ඇදගන්නා තුන්වන හේතුව පුද්ගලිකවම වඩාත් අදාල වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. 2022 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුව ඇමතූ ඔහු පැවසුවේ රජයේ ඉලක්කය ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 100ක් ගතවන 2048 වසරේ දී රට දියුණු රාජ්‍යයක් වනු දැකීම බවයි. මෙම දිගුකාලීන ඉලක්කය තවත් අවුරුදු 25 ක් හෙවත් පරම්පරාවක් ගත කර ප්‍රායෝගිකව අත් කරගත හැකිය. අනුර කුමාර දිසානායක මහතා මෙම 2048 සශ්‍රීක ඉලක්කය ඒ ආකාරයට වැළඳ ගැනීමට ඉඩ නැත. ඒ වෙනුවට ඔහු එක් පරම්පරාවක් හෙවත් අවුරුදු 25 / 30 කාලය තුළ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ඔහුගේ ආණ්ඩුව අවංකව මෙම ඉලක්කය අවබෝධ කරගත යුතුය. දෙවන කාර්මික විප්ලවයේ නිෂ්පාදන ක්‍රම මත පදනම් වී ඇති වර්තමාන ආර්ථික ව්‍යුහය මඟින් උක්ත ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර හෙයින් ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් උදෙසා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය.
දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය අනුපාතය පහළ හෙලීම
ආර්ථික පරිවර්තන පනතට අනුව නව ජනපති ඇතුළු ඔහුගේ කණ්ඩායම පහත සඳහන් ප්‍රමාණාත්මක ඉලක්කයන් ද අත් කර ගත යුතුව ඇත. 2032 වන විට මධ්‍යම රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95% ක් දක්වා පහත හෙලිය යුතුය. ආයාත සීමා පනවා ණය ගැනීම ද තහනම්ව පවතින වර්තමානයේ මෙම අනුපාතය 2023 අවසානයේ දී 119% ක් විය. 2023 දී ගෙවීමට හිඟව පවතින ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ප්‍රමාණය ද මෙම ණය ප්‍රමාණයට එකතු කළ විට අනුපාතය 127% දක්වා ඉහළ යනු ඇත. මෙම ගෙවීමට හිඟව ඇති ණය ප්‍රමාණය කපා හැරීමට ණය හිමියන් එකඟ නොවුණහොත් ජනාධිපති ඇතුළු ඔහුගේ රජයට උක්ත ඉලක්ක ළඟා කර ගැනීමට වෙහසකාරී ආයාසයක් දැරීමට සිදුවනු ඇත.
වියදම් සීමා කර ගැනීම
රජයේ දළ මූල්‍ය අවශ්‍යතාවය හෙවත් තවදුරටත් ණය නොගන්නවා යන උපකල්පනය මත රජයේ ආදායම් සහ වියදම් අතර වෙනස 2032 වන විට 13% දක්වා පහතට ගෙන ආ යුතුය. ණය තහනම පවතින වර්තමානයේ මෙම අනුපාතය 2024 අයවැයෙන් යෝජනා වී ඇති පරිදි 24% කි. නමුත් ණය තහනම නොමැති අවස්ථාවක දී මෙය 33% දක්වා ඉහළ යනු ඇත.
ණය සේවා අනුපාතය
වඩාත් ගැටළු සහගත තුන්වන ඉලක්කය වන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය පොලී ගෙවීම 2027 වන විට 4.5% දක්වා අඩු කර ගැනීමයි. මෙය වර්තමානයේ 1.7% මට්ටමක පැවතියත් නව ණය තහනම අහෝසියත් සමඟ 10% දක්වා ඉහළ යනු ඇත.
ජංගම ගිණුමේ හිඟය අඩු කර ගැනීම
හතරවන ඉලක්කය වන්නේ ගෙවුම් ශේෂ ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 1% මට්ටමක පවත්වා ගැනීමයි. වර්තමානයේ එය 2% ක අතිරික්ත මට්ටමේ පවතින්නේ ණය තහනමක් පවතින තත්වයක් තුළ බැවින් නිදහස් තත්වයක දී එය 5% ගෙවුම් ශේෂ හිඟයක් බවට පත්වන බැවින් එය නව රජයට අපහසු ආරම්භයක් වනු ඇත.
ප්‍රාග්ධන වියදම කපා හැරීම මඟින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වීම
වඩාත් මතභේදයට තුඩු දෙන ඉලක්කයක් වන්නේ 2032 වසර දක්වා ප්‍රාථමික ගිණුමේ 2.3% අතිරික්තයක් සහ ඉන් ඔබ්බට 2% අතිරික්තයක් පවත්වාගෙන යාමයි. ප්‍රාථමික ගිණුමෙහි ශේෂය යනු රජයේ මුළු දළ ආදායම සහ ණය සහ පොලී ගෙවීම හැර මුළු ශුද්ධ වියදම අතර වෙනසයි. ණය සහ පොලී ගවීම අනිවාර්ය බැවින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාම යනු අනෙකුත් රාජ්‍ය වියදම් කපා හැරීමකට රජයට බල කිරීමයි. 2023 දී වාර්තා කළ 0.6% ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ජා.මු.අරමුදලේ ප්‍රසාදයට සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්කර්ෂයට හේතු විය. නමුත් මෙම තත්වය අත් කර ගත්තේ 2023 අයවැය ලේඛනයේ අඩංගු ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 1220 සිට රුපියල් බිලියන 657 දක්වා ප්‍රබල කප්පාදුවකට ලක් කිරීමෙන් බව 2023 ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පෙන්වා දෙයි.
ප්‍රාග්ධන වියදම් කපා හැරීම මඟින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වීම අපේක්ෂිත අරමුණ නොවේ. එවන් පොදු සංවර්ධන වියදම් කපා හැරීම් මගින් ආර්ථිකයේ ප්‍රවර්ධනය ඇන හිටී. 2024 වසරේ දී මෙවැනි අදූරදර්ශී සංවර්ධන වියදම් කපා හැරීම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇත. 2024 අගෝස්තු වන විට ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියන 432 කි. නමුත් පසුගිය අයවැය ලේඛනය මඟින් අනුමත කර ඇති ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,260 කි. වියදම් කරන ප්‍රවණතාවය අනුව මෙම වසර තුළ වියදම් කළ හැකි ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 648 ක් වනු ඇත. එවිට රුපියල් බිලියන 612 ක ඌණ ආයෝජනයක් ඇතිවේ. මෙවැනි කාරණා මඟින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වීමට උත්සාහ දැරීම අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයේ සැලකිල්ලට ලක් විය යුතුය.
ආදායම් උත්පාදනය
තවත් ඉලක්කයක් වනුයේ 2027 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% මට්ටමකට ළඟා කරවීමයි. එය වර්තමානයේ 13% ක් වන අතර 2024 අයවැය ඉලක්ක වලට අනුව 10% ක පමණ පහළ ක්‍රියාකාරීත්වයකි. අනුර කුමාර රජය සීග්‍ර ධාවනයකට අවතීර්ණ වෙමින් රජයේ බදු ආදායම 15% දක්වා වැඩි කර ගැනීම සඳහා එක් පැත්තකින් පවත්නා බදු දැල ප්‍රසාරණය කිරීමත් අනෙක් පැත්තෙන් දේපල බද්ද වැනි නව බදු හඳුන්වා දීමත් සිදු කරනු ඇත. රජයේ සේවකයනට පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි කිරීමත් අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමත් සිදු වුවහොත් කළමනාකරණය කර ගැනීමට අසීරු ආදායම් ඌණතාවයකට රජය මුහුණ දෙනු ඇත. මෙම ඌණතාවය පිරවීම සඳහා නව බදු පැනවීමට සිදුවනු ඇත. මෙම නව බදු මඟින් ජනතාව හිටියාටත් වඩා අපහසුතාවයකට පත් නොවිය යුතුය. එබැවින් මෙම තත්වය දැඩිව සිත් හි තබා ගනිමින් සුදුසු ආදායම් මාර්ග තෝරා ගත යුතුය.
දරිද්‍රතාවය පහත හෙලීම
2027 වන විට දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවගේ සීමාව 15% ට අඩු මට්ටමට ගෙන ඒම තවත් දුෂ්කර ආර්ථික ඉලක්කයකි. වර්තමානයේ සමස්ත ජනතාවගෙන් 26% දරිද්‍රතාවයෙන් පෙලේ. ලෝක බැංකු නිර්ණායකයන්ට අනුව පුද්ගලයෙකුට දිනකට ඇ.ඩො.3.65 අවම ආදායමක් අවශ්‍ය වේ. යම්කිසි ආර්ථික පීඩනයක දී මෙම අවශ්‍යතාවය ඇ.ඩො.6.85 ලෙස ගතහොත් යලි දරිද්‍රතාවයට පත්වන ප්‍රමාණය ජනගහනයෙන් 67% ක් වනු ඇත.
ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීමට සැලසුම් කිරීම
ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික සෞභාග්‍ය සහ සුභසාධනය ඉහළ නැංවීම සඳහා අප ආර්ථිකය 2027 දක්වා අවම වශයෙන් 5% ක වර්ධනයක් සහ ඉන්පසුව ඊට ඉහළ වර්ධනයක් වාර්තා කළ යුතුය. මෙම ඉහළ වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය ව්‍යුහාත්මක පරිවර්තනයකට ලක් කළ යුතුය. පළමුවන රූප සටහනෙන් පෙන්වන ආකාරයට 2027 අප ආර්ථිකයේ වර්ධන ප්‍රවණතා දැකීම අසීරුය.
ශ්‍රී ලංකාව ඉලක්ක කළ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා ආයෝජනය කළ යුතු මට්ටමට ප්‍රමාණවත් ඉතුරුම් පරිමාවක් අප රට තුළ නොමැති බැවින් ඉතුරුම් සහ ආයෝජන අතර හිඩැස පිරවීම සඳහා විදේශ ණය ලබා ගැනීම අවශ්‍ය වී ඇත. එබැවින් රටේ ණය ප්‍රමාණය පාලනය කර ගත නොහැකි මට්ටමට ඉහළ යනු ඇත. අනෙක් වැදගත් ඉලක්කය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියම කර ඇති පරිදි 2050 වන විට කාබන් විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙන ඒමට අනාගත රජය කටයුතු කළ යුතු වීමයි.
ආර්ථික පරිවර්තන පනත විලංගුවකි
නිලධාරී තන්ත්‍රය විසින් සකසන ලද මෙම පනතට කිසිදු මහජන දායකත්වයක් නොමැත. මෙයින් පනවා ඇති ඉලක්ක, ණය සීමා සහ ආනයන සීමා ඉවත් කරන තත්වයක් තුළ ළඟා කර ගැනීම උගහටය. ළඟා කර ගැනීමට අපහසු මෙම ඉලක්ක නව ජනපති ඇතුළු රජය නොතකා හැරීමට ඉඩ ඇති අතර එසේ නොතකා හැරිය ද ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නොමැත. මේ හා සමාන තත්වයක් 2003 සම්මත කෙරුණු පිස්කල් කළමනාකරණ වගකීම් පනතින් ද ඇති වුණි. එහි දී අනාගත ආණ්ඩු දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය අනුපාතය 13% මට්මක තබා ගත යුතු යැයි නීතියක් පැනවිණි. පසුව පැමිණෙන කිසිම රජයක් මෙම අවශ්‍යතාවයන්ට අනුකූලතාවක් දැක්වීමට අපොහොසත් වූ අතර 2013 දී සහ 2021 දී ඉලක්ක ළඟා කරගත යුතු දිනයන් ප්‍රායෝගික හේතු මත කල් තැබීම සිදු විය. අද වන විට එම පනත රාජ්‍ය මූල්‍ය පනත මඟින් අවලංගු කර ඇත. වර්තමාන ආණ්ඩුව විසින් අනාගතයේ පත්වන ආණ්ඩු, නීතිරීති මගින් නිශ්චිත ඉලක්ක ළඟා කර ගැනීම සඳහා බන්ධනය කළ විට එම නීති රීති වලට අත්වන ඉරණම මෙබඳුය.
අනුර කුමාර රජයේ ප්‍රධානම ප්‍රතිරෝධය වනුයේ පසුගිය පාර්ලිමේන්තුව මඟින් ඔහු වෙත ලබා දී ඇති ප්‍රමාණාත්මක ඉලක්ක ළඟා කර ගැනීමේ ගැටලුවයි.
කෙසේ වුව ද, අනාගතයේ පත්වන ආණ්ඩුවල දෙපයට යදම් දැමීම වර්තමාන පාර්ලිමේන්තුවලට කිසිසේත් නොගැලපෙන සදාචාර විරෝධී ක්‍රියාවක් වන අතර මෙවැනි විලංගු වලින් උපක්‍රමශීලීව ගැලවී යාමට හැකි නම් නව ජනපතිගේ පාලනය සාර්ථක වනු ඇත.
*ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ.විජේවර්ධන.
පරිවර්තනය: සුනිල් චන්ද්‍රසිරි