17 November, 2018

Blog

ධනවාදය දුරාචාරවත්ද? කොහෙත්ම නැත – අවසාන කොටස

ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

නරක ආර්ථික විද්‍යාඥයන්ට පෙනෙන්නේ දෘෂ්‍යමානය පමණි

බුදුන් වහන්සේගේ දේශනාව අනුව බලන විට, බැස්ටියට් කී නරක ආර්ථික විද්‍යාඥයන් වන්නේ, ඇස් මානයෙන් එපිට දැකීමට අසමත් අයයි. පියවි ඇසින් දකින දේවල් හැරුණු විට, ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ඇති විය හැකි වඩාත් සංකීර්ණ ක‍්‍රියා සන්තතියක ස්වභාවය දැක ගැනීමට ඔවුන් අසමත් ය. මේ නිසා ඔවුන් යෝජනා කරනු ලබන කාරණා තුළින්, අපේක්ෂිත මෙන්ම අනපේක්ෂිත ප‍්‍රතිවිපාකද ගෙන දිය හැකිය.

මා ඕ යුෂි: ගනුදෙනුවකින් ලාභයක් අපේක්ෂා කිරීම අවැඩක් නොවේ

පාම(ර්) සිය කතාවේදී චීන ජාතික ලිබරල් ආර්ථික විද්‍යාඥ මා ඕ යුෂි ගැන සඳහන් කෙළේය. ‘නිදහස ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන මිල්ටන් ෆ‍්‍රීඞ්මාන් සම්මානය 2012 දී දිනාගත්තේ මා ඕ යුෂි ය. ඔහු මෙසේ කියයි: ‘‘සැබෑ ලෝකයේ ව්‍යාපාරික ගනුදෙනුවලදී, ඊට සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම තමන්ගේ වාසිය අපේක්ෂා කරන අතර, ඒ සඳහා වන සාකච්ඡුා තුළින් යමක මිල සහ ගුණාත්මක භාවය ආදිය සම්බන්ධයෙන් වන එකඟතාවකට පැමිණීමට සමත් වන්නේය.’’

දේපල අයිතිය ඇති ක‍්‍රමයක් තුළ, ඒවායේ හිමිකරුවෝ වෙළඳපොළ හරහා තම දේපොල විකුණා ගැනීමට බලති. එම වෙළඳපොල යාන්ත‍්‍රණය පසුපස ඇති අභිප‍්‍රාය කුමක්ද? එය වූ කලී, ස්වකීය ලාභය සහ ස්වකීය වාසියයි. විවේචකයන් දුරාචාරවත් ලක්ෂණයක් වශයෙන් සළකා පහර දෙන්නේ ධනවාදය තුළ පවතින මේ, ස්වකීය ලාභය සහ ස්වකීය වාසියටයි. එහෙත් එවන් ස්වකීය ලාභයක් සහ ස්වකීය වාසියක් නැති වෙතොත්, ආර්ථිකයකට පැවතිය හැකි නොවේ. එවැනි ආර්ථිකයක් අරාජික වන්නේය.

වෙළඳපොලෙන් උදාහරණයක්

මෙය, වෙළඳපොලෙන් සරළ උදාහරණයක් ගැනීමෙන් පැහැදිළි කළ හැකිය. නුවරඑළියේ ගොවියන් කැරට් නිෂ්පාදනය කරන බවත්, කොළඹ පාරිභෝගිකයන් ඒවා පරිභෝජනය කරන බවත් සිතන්න. මේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර වන ගනුදෙනුව පහසු කැරැුවීම පිණිස අතරමැදියෝ ගණනාවක් සිටිති. ඒ අතර, තොග වෙළඳපොළට කැරට් ප‍්‍රවාහණය කරන ට‍්‍රක් රථ රියැදුරන්ද, ඒවා සිල්ලර වෙළඳුන්ට බෙදා හරින තෙක් ගබඩා කර තබන තොග වෙළඳුන්ද, අවසානයේ එම කැරට් කොළඹ පාරිභෝගිකා අතට පත්කරන සිල්ලර වෙළඳුන්ද අපට හඳුනාගත හැක. මේ සෑම කෙනෙකුම කටයුතු කරන්නේ, අනෙකාට තමන් විසින් යම් සේවයක් ඉටු කළ යුතුය යන අනුකම්පාවකින් නොවේ. ඔවුන් එම කාර්යයන් කරන්නේ, තමන්ගේ පැවැත්ම සහ නඩත්තුව ගැනම වන ලාභාපේක්ෂාවෙනි. උදාහරණයක් වශයෙන්, පාරිභෝකියන් ගැන අනුකම්පාවෙන් ඔවුන්ට කැරට් නොමිලේ ලබා දිය යුතු යැයි ආණ්ඩුව හෝ වෙනත් බලධාරියෙකු විසින් අර කී පුද්ගලයන්ට නියම කළොත් සිදුවනු ඇත්තේ කුමක්ද? එසේ වුවහොත්, කොපමණ කලක් එය කළ හැකි වන්නේද? වැඩිම වුණොත්, වරක් දෙවරක් එසේ නොමිලේ දීමට හැකි විය හැක. එහෙත් ඉන් පසු සිදුවන්්නේ වෙළෙන්දා බංකොලොත් වීමයි. එවිට, කොළඹ පාරිභෝගිකයාට කැරට් කොහෙත්ම නොලැබෙනු ඇත. මෙයින් පෙනී යන්නේ, පාරිභෝගිකයාට නිරන්තර කැරට් සැපයුමක් පවත්වා ගැනීමට නම්, ඔහු වෙත එය සපයන ජාලයේ සියල්ලන්ගේ වාසිය සහ ලාභය පිළිබඳ සාධකය ආරක්ෂා කර ගත යුතු බවයි.

එම නියාමය, තමාගේ මුදල ආයෝජනය කරන ධනපතියාට සේම, තමාගේ ශ‍්‍රමය සපයන කම්කරුවාටත් එක සේ අදාළ වන්නේය. මේ දෙපාර්ශවය, යම් පිළිගත හැකි එකඟතාවකට එන්නේ නම්, දෙන්නාගේම පැවැත්ම සහ නඩත්තුව එයින් සහතික වන්නේය. ධනවාදය තුළ ඇති සදාචාරමය දර්ශනය එයයි.

මිනිසුන් හැසිරෙන්නේ අනුන්ගේ සුභසිද්ධිය සඳහාම නම් එය තුඩුදෙනු ඇත්තේ අවුල් ජාලයකට ය

මේ කතාන්තරයේ අනිත් පැත්තත් පාම(ර්) සිය දේශනයේදී ඉදිරිපත් කෙළේය. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙන්නාම අනුන්ගේ සුභසිද්ධිය සඳහාම කටයුතු කළහොත් සිදුවන්නේ කුමක්ද? එවිට එම ආර්ථිකය ක‍්‍රමවත් පිළිවෙලකට පවත්වාගත හැකි වන්නේද?

නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් තමන්ගේ ලාභය සහ වාසිය තකා කටයුතු කරන සාමාන්‍ය වෙළඳපොළක, නිෂ්පාදකයා තම භාණ්ඩයට හෝ සේවාවට වැඩිම මිළක් ලබා ගැනීමටත්, පාරිභෝගිකයා ඊට අඩුම මිළක් ගෙවීමටත් උත්සාහ කරනු ඇත. උසස් පෙළ පංතිවල ඉල්ලූම සහ සැපයුම පිළිබඳ න්‍යාය වශයෙන් උගන්වන්නේ මෙයයි. තමාගේ වාසිය සඳහා දෙපාර්ශ්වයම හෙට්ටු කරන නිසා දෙන්නාටම අතරමැදි තැනකට පැමිණිය හැකි වනු ඇත.

මේ තර්කය තවත් පැහැදිළි කිරීම සඳහා පාම(ර්) එම නියාමය ක‍්‍රියාත්මක නොවන අවස්ථාවක් උදාහරණයට ගත්තේය. එහිදී තමා ඉදිරිපත් කරන මිළටත් අඩු මිළකට තම භාණ්ඩය හෝ සේවාව මිළදී ගන්නැයි නිෂ්පාදකයා පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටී. ඒ, පාරිභෝගිකයා කෙරෙහි නිෂ්පාදකයා තුළ පවතින පරාර්ථ හැඟීම නිසා ය. එහෙත්, පාරිභෝගිකයාද, නිෂ්පාදකයා කෙරෙහි පවතින පරාර්ථ හැඟීම නිසා, නිෂ්පාදකයා ඉදිරිපත් කළ මිළටත් වැඩි මිළකට එම භාණ්ඩය හෝ සේවාව මිළදී ගැනීමට යයි. දැන් දෙන්නාම, තමන් වෙනුවෙන් වෙනුවට අනිකා වෙනුවෙන් කටයුතු කිරීමට යාමේදී එකඟත්වයකට පැමිණිය නොහැකි තැනක හිර වෙයි. එවිට සිදුවන්නේ ව්‍යකූල තත්වයකි.

ධනවාදයෙන් කෙරෙන්නේ සියල්ලන්ගේ වාසිය සහතික කිරීමයි

මේ අනුව, තම තමන්ගේ වාසිය සහ ලාභය අනුව කටයුතු කිරීමේදී දෙපාර්ශ්වයම ඉන් පල ප‍්‍රයෝජන ලබති. එවැනි එකඟතාවක් පාම(ර්) හඳුන්වන්නේ, දෙපාර්ශ්වයටම වාසි සහගත ‘ධනාත්මක තරගයක්’ වශයෙනි. ධනවාදයේ විවේචකයන් කියන්නේ, ධනවදාය තුළ ධනපතියා ‘ජයගන්නා’ බවත්, කම්කරුවා ‘පරාජය’ වන බවත් ය. එහෙත් ආයතන පද්ධතිය ශක්තිමත්ව පවතින සහ ඒ මගින් දුර්වලයාව ආරක්ෂා කරනු ලබන නිදහස් වෙළඳපොළ ආර්ථික ක‍්‍රමයක් තුළ එවැන්නක් සිදු නොවන බව පාම(ර්) පෙන්වා දෙයි. ඔහුට අනුව, ධනවාදය තුළ නිදහස් විනිමයට අමතරව, දේපළ අයිතිය සහිත, නීතියේ ආධිපත්‍යය පවතින, ශක්තිමත් ආයතනික පද්ධතියක්ද පවතින්නේය. ඒ අනුව බලන විට එය හුදෙක් ආර්ථික ක‍්‍රමයක් පමණක් නොවේ. මනාව සැදුම්ලත් නීති පද්ධතියකින් සැදුම්ලත් එක්තරා සංස්කෘතියක්ද වන්නේය.

ධනවාදය හෝ නිදහස් වෙළඳපොළ ක‍්‍රමය හෝ නවලිබරල් ක‍්‍රමය වශයෙන් හැඳින්වෙන්නේ මේ සියල්ල එකට ගන්නා තත්වයයි. එහි ප‍්‍රතිපක්ෂය වන්නේ, පාම(ර්)ට අනුව, නීතියේ ආධිපත්‍යයක් නැති, දේපළ අයිතියක් නැති, ගජමිතුරු ධනවාදයයි.

කුමන ආකාරයක හෝ ගජමිතුරුවාදය ව්‍යාධියකි

ගජමිතුරු ධනවාදය තුළ දේශපාලඥයන් පස්සේ යන ව්‍යාපාරිකයන් තමන්ට වාසි සහගත තත්වයන් ඔවුන් හරහා ඉටු කරගන්නා බව පාම(ර්) පෙන්වා දෙයි. එවිට සිදුවන්නේ තමන්ගේ මිතුරු ව්‍යාපාරිකයන්ට වාසි සහගත සේ තත්වයන් නිර්මාණය කිරීමට දේශපාලඥයන් ඉදිරිපත් වීමයි. පෞද්ගලික අංශයේ මෙය සිදුවන විට ගජමිතුරු ධනවාදය වශයෙනුත්, සමාජවාදය වෙනුවෙන් එසේ කෙරෙන විට ගජමිතුරු සමාජවාදය වශයෙනුත් හැඳින්වෙයි. රාජ්‍යයේ ව්‍යාප්තිය හරහා එය සිදුවන විට, ගජමිතුරු රාජ්‍යවාදය වශයෙන් හඳුන්වනු ලැබේ.

පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ක‍්‍රියාත්මක වුණේ ඉහත සඳහන් අවස්ථා තුනේ සංකලනයක් මිස පාම(ර්) අදහස් කළ සදාචාර ධනවාදය නොවේ. ඔහුගේ රෝග විනිශ්චයට අනුව, ඕනෑම ගජමිතුරුවාදයක් ව්‍යාධියකි. එබැවින් ඔහුගේ ප‍්‍රතිකාර වට්ටෝරුව වන්නේ, නීතියේ ආධිපත්‍යය සහිතව, දේපල අයිතිය ඇති, ශක්තිමත් ආයතන පද්ධතියකින් යුත් නිදහස් වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමයි.

*2015 අපේ‍්‍රල් 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවු Is Capitalism Immoral? Not At All, Says Atlas Network’s Tom Palmer
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස) ‘යහපාලනය ලංකා’ – 

පළමු කොටස කියවන්න

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.