
විජයානන්ද ජයවීර
පූර්ව නූතන යුගයේදී දුප්පත් වීම ගැන දුප්පතුන්ට දෝෂාරෝපණයක් නො කෙරුණි. එකල දුප්පත් කම සැලකුණේ දෛවෝපගත උරුමයක් හෙවත් කරුමය හෝ තත්කාලීන සමාජය ස්තරගතව පවත්වාගැනීමේ වැඩවසම් අවශ්‍යතාවයක් වශයෙනි. එහෙත් වර්තමානයේ දේපළ උරුමය, තරාතිරම, වරප්‍රසාදිත අධ්‍යාපන අවස්ථා, දේශපාලන බලපුලුවන්කාර කම්, කුණුකොල්ලයට රාජ්‍ය දේපළ අත්පත් ගැනීම, අනිටු බදු සහන, බදු නිදහස් රටවල වත්කම් සඟවා තැබීම සහ අල්ලස් දීම ද ඇතුළුව විවිධ නිස්සාරක(extractive) උපක්‍රම මත සිය ව්‍යාපාර කටයුතු සඳහා විශේෂ වරප්‍රසාද ලබා ගන්නා බොහෝ සුපිරි ව්‍යාපාරිකයෝ දෛවය වෙනුවට සිය ධනවත්කම සාධාරණීයකර ගැනීමට නෛපුණ්‍යතන්ත්‍රය (meritocracy) හෙවත් නිපුණතාව සහ ව්‍යවසායකත්වය (entrepreneurship) වැනි යෙදුම් වැඩි වසයෙන් යොදා ගනිති. ඒ සුපිරි ව්‍යවසායකයින් වීම පිණිස තමන්ට කිරීමට සිදු වූ අයථා කටයුතු වසන් කිරීමටත් වරප්‍රසාද රහිත සෙස්සන් නිපුණතා නැති මන්දෝත්සාහි අය වශයෙන් හෙළාදැකීමටත් ය. මේ අතින් බැලූ විට නූතන සමාජය නැති බැරි කම් සාධාරණීයකරණය කිරීමට දරන තැතද පූර්ව නූතන සමාජය දුප්පත් කම සාධාරණීය කරණය කිරීමට දරන ලද තැත මෙන්ම අසික්කිත ය.
ධනවාදය රජයන සමාජයක නෛපුණ්‍යතන්ත්‍රය අනුව සාර්ථක ව්‍යවසායකයෙකු වීමට හැකිය යන්න අතිශයෝක්තියකි. ඇමෙරිකානු ව්‍යවසායකයෙකු වූ ජනාධිපති අපේක්ෂක ඇන්ඩෲ යන්ග් පෙන්වා දෙන පරිදි “කෙනෙකුගේ සමාජ පසුබිම සහ සාර්ථක සමාගමක් ආරම්භ කිරීමට ඔහුට ඇති හැකියාව අතර දැඩි සහ-සම්බන්ධයක් පවතී. එක්සත් රාජධානියේ දී කරන ලද සමීක්ෂණයකට අනුව ව්‍යවසායකයන් අතර දක්නට ලැබුණු පොදු සාධකයක් වූයේ පවුලේ සමාජ තත්වය, දේපළ උරුමය, පැටිකිරිය සහ සමාජ සම්බන්ධතා නිසා ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන්ට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට හැකි වූ බවයි. 2014 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකට අනුව සමාගම් ඇරඹුව අයගෙන් 80%ක්ම එසේ තමන්ගේ ම වූ අරමුදල් ආයෝජනය කරමින් සමාගම ආරම්භ කළ බව තහවුරු විය. වඩා මෑතක දී එක්සත් ජනපදයේ කළ තවත් සමීක්ෂණයකට අනුව ඉහළ වර්ධන ප්‍රවනතාවක් ඇති ව්‍යවසායකයින්ගෙන් 84% ක් ම සුදු ජාතිකයින් වූ අතර ඔවුන්ගෙන් 74%ක් සුපිරි අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා ගත් අය වූහ. එම සමීක්ෂණයේ එක් කතුවරයෙක් පෙන්වා දුන් පරිදි “යම් කෙනෙකුට සල්ලිකාර පවුලෙන් උරුම වූ අරමුදල් නැති නම් ව්‍යවසායකයෙකු වීමේ හැකියාව බෙහෙවින් අඩුය.”[1] ලංකාවේ නම් සල්ලිකාරකම ද දේශපාලන අනුග්‍රහයෙන් ලබා ගත හැකිය.
අමෙරිකානු සමාජයේ නෛපුණ්‍ය බල තන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරමින් නෛපුණ්‍ය බලතන්ත්‍ර උගුල (The Meritocracy Trap)යනුවෙන් පොතක් ලියූ යේල් සරසවියේ මහාචාර්ය ඩැනියෙල් මැස්කොවිට්ස් පවසන අන්දමට සමාජ තරාතිරම කුමක් වුවත් අප සියල්ලන්ට ම එක හා සමාන ව හුදෙක් නෛපුණ්‍ය බල තන්ත්‍රය මත පමණක් තරඟ කිරීමට ඇමරිකානු සමාජයේ ඉඩ ඇතැයි යන මතය හුදු මිරිඟුවක් පමණි. සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන ඇත්ත තත්වය නම් වරප්‍රසාදලත් පොහොසත් පැළැන්තියේ අයට හොඳ ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ ඇති බවත් ඒ නිසා යහමින් මුදල් අය කරන හොඳ විශ්ව විද්‍යාල වලට ඇතුලු වීමටත්, කලක් ගත වූ විට විශාල වශයෙන් වැටුප් සහ පාරිතෝෂික ගෙවන සුපිරි රැකියාවන් ලබා ගැනීමටත් හැකි වීමයි. සිය දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වශයෙන් ආයෝජනය කිරීම මගින් තම පැළන්තිය තුළම ආර්ථික හා ව්‍යාපාරික කළමනාකරණයට අවශ්‍ය මානව ප්‍රාග්ධනය ගොඩ නගා ගැනීමට පොහොසතුන්ට හැකිවෙයි. ඒ අනුව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඩොලර් මිලියන ගණනින් වැටුප් හා පාරිතෝෂික ගෙවන සමාගම් වල ප්‍රධාන විධායකයින් වැනි සුපිරි රැකියාවන් ඔවුන්ගේ බුක්තියට හිමි වෙයි.
මෙහි ඇති අනෙක් පැත්ත නම් සම්ප්‍රදායික ධනපතියන්ට මෙන් නොව ඔවුන්ට ඉතා මහන්සිවී වැඩ කිරීමට සිදුවීමයි. තම පැළැන්තියේ තරාතිරම හා ආයෝජන වලින් නිසි ඵල ලබා ගැනීමට නම් තමන්ට සොයා ගත හැකි වැඩිම වැටුප් හා පාරිතෝෂික ගෙවන සුපිරි රැකියාවල දිවා රෑ නොතකා වැඩ කිරීමට මේ ඊනියා නෛපුණ්‍යතා බලත්‍රාන්ත්‍රිකයන්ට සිදුව තිබේ. නෛපුණ්‍යතා බල තන්ත්‍ර ආඛ්‍යානය සුපිරි රැකියා වල අධිආදායම සාධාරණියකරණය කරන අතරම විධායකයින්ගෙන් පමණක් නොව අවෙශ්ෂ සේවකයන්ගෙන් ද උපරිම කැපවීමක් බලාපොරොත්තු වෙයි.
නෛපුණ්‍ය බල තන්ත්‍රය පිළිබඳ ආඛ්‍යානයේ තවත් අරමුණක් වූයේ කලින් පැවති පංතිමය සමාජයක් පිළිබඳ අදහස වෙනුවට පුද්ගලයන් ස්වකැමැත්තෙන්ම ස්වයං සූරාකෑමට ලක් වීම සාධාරණීකරණය වෙන නව ලිබරල්වාදී ආඛ්‍යානයක් බිහි කිරීමයි. ඒ මෙසේයි. සාමාන්‍යයෙන් සම්භාව්‍ය තේරුමට අනුව නිදහස යනුවෙන් අදහස් වන්නේ කෙනෙකුට බලකිරීම් විරහිතව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබීමයි. පැරණි ස්වාමි-සේවක සම්ප්‍රදාය තුළ සේවා ගිවිසුම් තුළ සේවකයාගේ කාර්ය සටහන් ව තිබූ අතර ඒ හැරෙන විට ව්‍යවසාය හා වෙනත් ඓන්ද්‍රීය බැඳිමක් සේවකයාට නොතිබුනි.
එහෙත් නව ලිබරල්වාදී නෛපුණ්‍යතා බලතන්ත්‍ර ආඛ්‍යානයට අනුව නිදහස යනු එක්තරා ආකාරයකට ස්වාමියෙකුගේ සෘජු නිරීක්ෂණයකින් තොරව කෙනෙකුට ව්‍යවසාය තුළ තරඟකාරීව ස්වයං සූරාකෑමට ලක් කර ගැනීමට කෙරෙන බලකිරීමකි. එහිදී ජීවනෝපාය යනු රැකියාවක් නොව ආයතනයේ කාර්යසාධනය ඉලක්ක කරගත් පුද්ගල ව්‍යාපෘතියකි. එනිසා හැම කෙනෙක්ම කටයුතු කළ යුත්තේ තමන් ආයතනයේ ස්වයං ව්‍යවසායකයෙකු බව ඓන්ද්‍රීය වශයෙන්ම සලකමිනි. ඒ නිසා නව ලිබරල්වාදී පුද්ගලයාට ආයතනය හා සම්බන්ධ ව්‍යවසායක අරමුණකින් තොරව තවත් අය සමග පුද්ගල සබඳතා පවත්වා ගැනීමට නිදහසක් නැත. තමාද කොටස් කරුවකු වශයෙන් සලකා ගනිමින් දිවා රෑ නොතකා තම දායකත්වය ආයතනයේ ව්‍යවසායික ඉලක්කයන්ට කැප කිරීම ඔහුගේ පරම යුතුකමයි. මේ ව්‍යවසායක චින්තනය මහාඅපේක්ෂා සහිත නූතන පරම්පරාව තුළ විශාල බලපෑමක් ඇති කරයි. බැලූ බැල්මටම මෙහි වරදක් නැත. එහෙත් නෛපුණ්‍යතා බලතන්ත්‍රය පිළිබඳ පරමාදර්ශයක් ලෙස සලකන ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බෙසෝස් කිසිදු ආදායම් බද්දක් නොගෙවමින් ලෝකයේ පොහොසත්ම පුද්ගලයා වූයේත් එම සමාගමේ බොහෝ සේවකයන්ට අඩු වැටුපකට සේවය කිරීමට සිදුව ඇත්තේත් මන්ද යන්න එමගින් පැහැදිලි නොවේ. ඇත්ත වශයෙන්ම නෛපුණ්‍යතා බලතන්ත්‍රය මගින් අසාධාරණ ලෙස සාධාරණීකරණය කිරීමට තැත් කරන්නේ දිනෙන් දිනම ධනසම්පතින් ආඩ්‍ය වන ධනකුවේර නව ලිබරල්වාදී පැලැන්තිය සහ බහු ජනතාව අතර පවතින අති විශාල විෂමතා සහ ආදායම් පරතරයයි.
නෛපුණ්‍යතා බලතන්ත්‍ර ආඛ්‍යානය මගින් කරන්නේ ජනමාධ්‍ය, දේශපාලනය පමණක් නොව බදු ක්‍රමය සකස් කිරිම සම්බන්ධයෙන්ද විශාල බලපෑමක් කළ හැකි අති-ධනවත් සුපිරි ව්‍යවසායක සුළුතරයක් ඇති කිරීම සාධාරණීයකරණය කිරීමයි. අනෙක් අතට අසමානතාවය අවම කිරීම සම්බන්ධයෙන් පවතින ආර්ථික ක්‍රමයේ ඇති පද්ධතික අසාර්ථකත්වය (systemic failure) තනි තනි පුද්ගලයන්ගේ පෞද්ගලික අසාර්ථකත්වයක් ලෙස නිරූපණය කිරීමට නෛපුණ්‍යතා බලතන්ත්‍රය තැත් කරයි.
[1] Excerpt From: Andrew Yang. “The War on Normal People: The Truth about America’s Disappearing Jobs and Why Universal Basic Income Is Our Future”.
“There’s a substantial correlation between one’s socioeconomic background and starting a successful company. A UK study found that the most common shared trait across entrepreneurs is access to money via family, an inheritance, pedigree, and/or connections. A U.S. survey found that in 2014 over 80 percent of startups were initially self-funded—that is, the founders had money and invested directly. A recent demographic study in the United States found that the majority of high-growth entrepreneurs were white (84 percent) males (72 percent) with strong educational backgrounds and high self-esteem. One of the authors commented, “If one does not have money in the form of a family with money, the chances of becoming an entrepreneur drop quite a bit.”-
leelagemalli / January 10, 2024
අතීතයේ නොසිටීම මෙන් අද මම ව්‍යාකූල වී සිටිමි. මම ජීවත් වෙන්නේ රටින් පිට. රටේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එය කෙසේ කියවයිද කියා මම නොදනිමි. . සීටී එකේ මේ අයද කුලය, ආගම්වාදය, ජාතිවාදය පසුපස හඹා යද්දී ඊනියා සිංහල බෞද්ධයෝ තව තවත් වළ හාරමින් සිටිති.
–
සමහර කාන්තාවන් බලු පුතෙකුගේ දෙපා නිරන්තරයෙන් ලෙවකන්නේ ඔහු “බෝධිසත්වවරයෙකු” ලෙස හඳුන්වා ගන්නා බැවිනි. ඇත්ත කතාව නම් මිනිහා ගොඩක් මානසික රෝගියෙක්. මේ සියල්ල සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රටේ වෙනත් ඕනෑම ආරක්ෂක ජාලයක් බිහිරි සහ අන්ධව සිටියදීය.
පසුගිය දශක 1.5 තුළ මම හිතුවේ සාමාන්‍ය මිනිස්සු අපි ඇත්තටම මෝඩයි කියලා. මගේ උපකල්පනය අද වන විට සත්‍යයක් බවට පත්වේ. රාජපක්ෂලා එය නැවත නැවතත් සිතා තම වාණිජ වාසි තකා ඔවුන්ව ඉලක්ක කර ගෙන ඇත්තේ එබැවිනි. අපේ මිනිස්සුන්ට වඩා ගොවිපලවල් වල ඉන්න හරක් උනත් හිතයි. සාමාන්‍ය මිනිසුන්ගේ (70% හෝ ඊට වැඩි) ඔළු වලට යන්නේ කුමක්දැයි මම ඇත්තටම නොදනිමි.
https://www.youtube.com/watch?v=ybo0-ZvSYBE
https://www.youtube.com/watch?v=tkhY4N2XWOQ
/
Jit / January 11, 2024
“ව්‍යවසායකත්වය නමැති වෙස්මුහුණ” කියලා ඔබ ඔප්පු කරන්ට යන්නේ කුමක්ද කියල ඉතාම අපැහැදිලියි. සමහර විට ව්‍යවසායකත්වය වෙස් මුහුණක් සේ පාවිච්චි කරන ව්‍යාජ චරිත සිටින්ට පුළුවන්, හැබැයි මම හිතන්නේ නෑ එහෙම අයට දිගු පැවැත්මක් තියේද කියල. මොකද, ව්‍යවසායකත්වය කියන්නේ ඉතා සංකීර්ණ, අධිෂ්ටානගත, නිපුණතාවයක්. ඒ නිසා “ව්‍යවසායකත්වයට” බොරු කරලා ව්‍යවසායකයකුට පැවැත්මක් තියේද කින එක ප්‍රශ්නයක්!! නමුත් ඔබ කියනා “නෛපුණ්‍යතා බලතන්ත්‍ර ආඛ්‍යානය” තුල ඇත්තේ කුමන සංඝටකයක්ද? එය හුදෙක් තණ්හාව පමණක් ද, මහන්සි වී වැඩ කිරීමද, උගත් කම ද නැතිනම් නියම තැන නියම කාලයේ සිටීම ද, හෝ වෙනයම් දෙයක්ද කියන එකට ඔබ හරියාකාරව පැහැදිලි කර නැති බවයි පෙනෙන්නේ. මොකද, මේ ව්‍යවසායකත්වය කියන සංකල්පය බොහෝ උගතුන්, විද්වතුන් ඉතා නරක ලෙස අනවබෝධ කර ගැනීමයි. ව්‍යවසායකත්වය කියන සංකල්පය කොහෙත්ම නරක දෙයක් නොවෙයි. සමාජවාදී රුසියානු සමූහාණ්ඩුවේ පවා LADA මෝටර් රථය තැනුවේ නූතන ව්‍යවසායක කළමනාකරණ න්‍යායයන් අනුව, ලාභය කියන කොටස විතරක් අයින් කරලා.
ඔබ කියනා Daniel Markovits ලිවූ The Meritocracy Trap යන කාරණා වලම තව පැත්තකුයි Prof Joseph Stiglitz ගේ People Power and Profits පොතෙහිත් Malcom Harris විසින් Palo Alto පොතේත් කියන්ට තැත් දරන්නෙත්. ඒ කියන්නේ ඇමෙරිකන් ධනවාදයේ විනාශකාරී පැත්තත් ඇමෙරිකන් තාක්ෂණික ව්‍යවසායකයේ ඇති දුෂ්ට ශ්‍රම සූරාකෑම ත් ගැන. මේ කතුවරුන්ගේ අදහස් සමහරකට මා එකඟ වෙනවා, මොකද ඒවා යතානුරූපී නිසා. හැබැයි සමහර අදහස් අන්තයකට හිහිල්ල තියෙන නිසා ඔක්කොටම එකඟ වෙන්ට අමාරුයි. සාම්ප්‍රදායික ධනවතුන්ට ඇමෙරිකාවේ විතරක් නොවෙයි ලෝකයේ ඕනෑම තැනක, මේ ශ්‍රී ලංකාවේත් ව්‍යාපාර කරන්ට හරිම ලේසියි. Contd…
/
Jit / January 11, 2024
…….හැබැයි ඒකෙන් අපිට කියන්ට බෑනේ දුප්පතුන්ට නැත්නම් මධ්‍යම පාන්තිකයන්ට ව්‍යාපාර ජය ගන්ට බෑ කියලා? මේ විශ්වයේ එදත් අදත් ඕන තරම් දුප්පතුන් නැත්නම් මධ්‍යම පාන්තිකයන් ව්‍යාපාර ඇති කරනවා, කරගෙන යනවා නේ? ඒ වගේම පාරම්පරික ධනවතුන් ගේ ළමයින් ඒ ව්‍යාපාර ඕන තරම් බංකොලොත් කරලත් තියෙනවා, ඒ නිසාම උපතින් ලැබූ ධනවත් භාවය හැම විටම ව්‍යවසායික ජගතෙක් වීමට ලැබූ බලපත්‍රයක් නොවෙයි.
අපි කවුරුත් නිතරම අසන්නා වූ දෙයක් නම් ඇමෙරිකන් ව්‍යාපාරික බලවේග ගැන බොහෝ වාමාංශික හෝ මද්‍යස්ථ විචාරකයන්ගේ තියුණු විවේචන. මේක ඉතාම සුලභ, කරන්ට ඉතා ලෙහෙසි දෙයක් බවයි මට නම් හිතෙන්නේ. ඒ මොකද සමස්ත විශ්වයේම ඇමෙරිකන් ව්‍යාපාර තරම් බලපෑමක් කළා වූ හෝ කරන්නා වූ තවත් ආර්ථික බලවේගයක් නැති තරම්. ඉතාම අවංකව හිතුවොත් අද ඔබ මේ ලිපිය නිර්මාණය කල පරිගණකයේ සිට ඔබ, අප බොහොමයක් දෙනා කරන ජීවනෝපායන්, රැකියාවන්, ගමන් බිමන් යන විදිය, නිවෙස් වල ජීවත් වෙන විදිය, ඉගෙනීම් කටයුතු, විනෝදාශ්වාදය යනාදී අපේ ජීවිතයේ සෑම අංගයක් පිටුපස ම ඔය කියන ඇමෙරිකන් ව්‍යවසායකත්වය අඩුවක් නැතුව තියෙනවා. හැබැයි අපි එක පිළිගන්ට කැමති නෑ ඒ නිසාම ඊට විවේචන එල්ල වීම ඉතා සුලභ දෙයක්. නමුත් අපි කවුරුත් හිතන්න ඕනා දෙයක් තමා මෙවැනි තත්වයක් ඇති වෙන්ට නම් කොච්චර ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම්, Angel ආයෝජකයින් සහ හොඳින් සංවර්ධිත ප්‍රාග්ධන වෙලඳපොලවල් තිබිය යුතුද කියලා.. Contd….
/
Jit / January 11, 2024
……මොකද මේ සියල්ල මධ්‍යගත රජයක් විසින් කරන්ට ගිහිල්ලා 1917 ඉඳන් Soviet block එකේ, චීනයේ, කියුබාවේ අන්තිමට වුනේ මොනවාද කියල අපි කවුරුත් දන්නවානේ? බොහෝ වාමාංශිකයන් බොහෝ කල් සිට බලා හිටියත් US $ එක තාමත් බිඳ වැටුණේ නෑ ඒ වගේම තවමත් ලෝකයේ මූලිකම විණිමය ඒකකය හැටියට පිලි ගන්නේ ඒකයි.
ඒ වගේම, ඇමෙරිකන් ව්‍යවසායකත්ව න්‍යෂ්ටිය තුල ඇත්තේ research & development කියන සංකල්පයයි. MIT, Stanford සහ Harvard වැනි ලෝක මට්ටමේ පර්යේෂණ ආයතන නවීනතම පර්යේෂණ සහ නවෝත්පාදනයන් නිර්මාණය කරනවා පමණක් නොව ඒ දැනුම් සම්භාරය ව්‍යාපාර, කර්මාන්ත සහ රාජ්‍ය ආයතන අතරට ද පුළුල් විදියට විදාරණය කරනවා. එසේම, ඇමෙරිකන් ව්‍යාපාරිකයන් සතුව බොහෝමයක් incubators , accelerators සහ shared අවකාශයන් ඇති අතර ඒවා සාර්ථක වීමට අවශ්‍ය සම්පත් සහ සහාය රජය මගින් පවා ලබා දෙනවා. කුඩා ව්‍යාපාර පරිපාලනය, ණය පහසුකම් ඇතුළුව කුඩා ව්‍යාපාරවලට සහාය වීම සඳහා වැඩසටහන් සහ සේවා රාශියක් ඇතුළුව නොයෙකුත් ප්‍රදාන, සහ උපදේශක සේවාවනුත් තියෙනවා. නව නිපැයුම් පිපාසය සමග ඇති අවදානම් ගැනීමේ සංස්කෘතිය, තාක්ෂණික දියුණුව සහ බුද්ධිමය දේපල ආරක්ෂණය, ගෝලීය බලපෑම් සහ වෙළඳපල ප්‍රවේශය, ව්‍යවසායක අධ්‍යාපනය සහ ජාලකරණ අවස්ථා ඉතා සුලභව ඇති නිසයි බොහෝ ඇමෙරිකන් ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය. ඔවුන ලාභ උපයන එක අරුමයක් නොවෙන අතර අපට වැදගත් වන්නේ ලෝකයේ සෙසු රටවල් මේ සියල්ලෙන්ම තම තමන්ගේ උපයෝගිතාවන් සපුරා ගෙන පියවරෙන් පියවර ඉදිරියට යාමයි. අප එකඟ වූවත් නැතත් කාර්මික විප්ලවයෙන් පහුවූ සියවස් ගණනාවක් තුල සිදු වූයේ එයයි.
/