10 October, 2026

Blog

අමනාපකම් ජාතිවාදී මුහුණුවරක් ගැනීම වැළැක්වීම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

සෞදි අරාබියේදී දේව අපහාස චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික පුරවැසියකු වන සිවරාසා අනෝජන් පිළිබඳ පුවත පසුගිය සති කිහිපය පුරා ජාතික අවධානයේ ප්‍රධාන තැනක් ගෙන තිබේ. පසුගිය මාසයේ පළමු වරට වාර්තා වූ තැන් සිට එය ප්‍රධාන පුවතක් බවට පත්විය. සෞදි බලධාරීන්ගෙන් ලිහිල් දඬුවමක් ලබාගැනීම සඳහා දේශීය වශයෙන් බොහෝ උත්සාහයන් ගෙන ඇත. එසේම, මෙම දඬුවම පැනවීමට මුල් වූ සංස්කෘතිය සහ ආගම යන දෙකම විවේචනය කරන යටින් දිවෙන ප්‍රවණතාවක් ද පවතී. ජාතික වශයෙන් මෙම ගැටලුවට ලැබෙන පුළුල් ප්‍රචාරණය පවත්වාගෙන යෑමට මෙය ද හේතු වේ. ඊට වෙනස්ව, යාපනයේ තිලීපන්ගේ පිළිරුව බලහත්කාරයෙන් ඉවත්කිරීම නිසා ඇති වූ ආන්දෝලනය ජාතික අවධානයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර නොමැත. වෙනත් සිදුවීම් හමුවේ යටපත් වී ගිය මෙම සිදුවීම පිළිබඳව ජාතික ජනමාධ්‍යවල සඳහන් වූයේ අල්ප වශයෙනි.

කෙසේවෙතත්, රටේ උතුරේ සහ නැගෙනහිර මෙන්ම විදේශයන්හි වෙසෙන දෙමළ ජනතාව අතර ද තිලීපන් පිළිරුව ඉවත්කිරීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. එය විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු විරෝධතා පාගමන් සහ සිවිල් සමාජ හා දේශපාලන කණ්ඩායම්වල පුළුල් හෙළාදැකීමට හේතුවිය. තිලීපන් පිළිරුව පිටුපස ඇති කරුණු, විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ මනස තුළ කාලයට පවා මකාදැමිය නොහැකි ගැඹුරු මතකයන් ලෙස පවතී. ශ්‍රී ලංකාව වැනි බහු-ජාතික, බහු-ආගමික සමාජයක සහජීවනයේ සැබෑ පරීක්ෂණය වන්නේ කිසිදු ආන්දෝලනාත්මක දෙයක් නොමැති විට සමූහයන් සාමකාමීව සහජීවනයෙන් සිටීම නොවේ. ඒ වෙනුවට, යම් සිදුවීමක් ඔවුන්ගේ අනන්‍යතාවන්ට සහ අමනාපකම්වලට බලපාන විට ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයයි. සෞදි අරාබියේදී අනෝජන්ට නියම වූ මරණ දඬුවම සහ යාපනයේ තිලීපන් පිළිරුව ඉවත්කිරීම මුළු මහත් ප්‍රජාවන්ගේම අමනාපකම් බවට පත්වීමේ අවදානමක් ගෙනදෙයි.

අනෝජන්ගේ සිද්ධියේදී, තරුණ දෙමළ සංක්‍රමණික කම්කරුවකු වන ඔහුට ෆේස්බුක් සටහනක් හේතුවෙන් මුලින්ම වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම විය. ඔහු සහ සෞදි පැමිණිලි පාර්ශවය යන දෙපිරිසම ඊට එරෙහිව අභියාචනා කළ අතර, අභියාචනා අධිකරණය විසින් එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවන ලදී. මෙය ශ්‍රී ලංකාව තුළ ඔහු කෙරෙහි ජනතා අනුකම්පාවක් ඇති කිරීමට හේතු වී තිබේ. ජනාධිපතිවරයා, රජය සහ විපක්ෂ නායකයන්, සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂය සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් සමාවදීමේ ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ඒ අතරම, මෙම සිදුවීම මුස්ලිම් විරෝධී මතවාදයක් හෝ පොදු චෝදනාවක් බවට පත්කිරීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවක් ද පවතී. එබැවින් සාමසාධනය යනු රාජ්‍යතාන්ත්‍රික මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද සිදුවිය යුත්තකි. මුස්ලිම්, බෞද්ධ, හින්දු සහ කතෝලික නායකයන් ප්‍රසිද්ධියේ එකට සිටගන්නා අතරම, නිකරුණේ පැතිරෙන කටකතා මර්දනය කිරීමට රටේ ආගමික නායකයන් සහ සිවිල් සමාජය සූදානම් විය යුතුය.

තිලීපන් පිළිරුව

තිලීපන් ආන්දෝලනය වෙනස් මගක් ගෙන තිබේ. දින දොළහක උපවාසයකින් පසු 1987 සැප්තැම්බර් 26 වැනි දින මියගිය එල්.ටී.ටී.ඊ.යේ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන් හට බොහෝ දෙමළ ජනතාව ගෞරව කරති. ඔහුගේ ඉල්ලීම් ඉන්දියාව වෙත යොමුකර තිබුණද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින පිරිස් නිදහස් කිරීම ඇතුළු ශ්‍රී ලංකා රජයට අදාළ කරුණු ද ඊට ඇතුළත් විය. මෙවර සැමරුම අතරතුර ස්ථාපිත කරන ලද පිළිරුව, සැමරුම් කටයුතු අවසන් වී දිනකට පසු, එනම් සැප්තැම්බර් 27 වැනි දින අලුයම පොලිසිය විසින් ඉවත්කරන ලදී. රජයේ ප්‍රකාශකයා විසින් පැහැදිලි කරන ලද පරිදි රජයේ නෛතික සැලකිල්ල වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස පැවතීමයි. පිළිරුව ඉවත්කිරීමට පෙර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එහෙත් නීතිය සහ මතකය යනු වෙනස් ප්‍රශ්න දෙකකට ලැබෙන පිළිතුරු වන අතර, දෙමළ ජනතාවගේ ගැඹුරු කම්පනය නොසලකා හැරිය නොහැක.

බොහෝ දෙමළ ජනතාවට, තිලීපන් සැමරීම යනු ඔවුන්ගේ අහිමිවීම් සහ ඓතිහාසික මතකය සමඟ සම්බන්ධ වූවකි. මෙම ස්මාරකය එක් වරකට වඩා විනාශ කර නැවත ගොඩනඟා ඇති අතර, සෑම විනාශයකින්ම එය නියෝජනය කරන අර්ථය තවත් වැඩි විය. තිලීපන් වෙනුවෙන් ශෝකවන බොහෝදෙනෙක්, හිංසනයෙන් තොරව තමන්ගේම උපවාසයෙන් මියගිය තරුණයකු වෙනුවෙන් ශෝක වෙති. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ ස්වයං නිර්ණය සඳහා වූ අරගලයේ අහිමිවීම් යුගයක් වෙනුවෙන් ද ඔවුහු ශෝක වෙති. තිලීපන් යනු එහි සංකේතයක් බවට පත්ව ඇත. 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පිළිබඳ පනත මගින් සමූහ හානිපූරණය සඳහා විධිවිධාන සලසා ඇති අතර, ස්මාරකකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හානිපූරණය සඳහා වන කාර්යාලයට භූමිකාවක් ලබා දී ඇත. මෙයින් අදහස් කරන්නේ යම් නිශ්චිත පිළිරුවක් සඳහා ස්වයංක්‍රීයව අවසර ලැබෙන බව හෝ පොදු ස්ථාන හෝ තහනම් සංවිධාන පිළිබඳ නීති අභිබවා යන බව නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ හානිපූරණය සහ සංහිඳියාව සඳහා වන රාමුව තුළ ස්මාරකකරණය පිළිගෙන ඇති බව මෙයින් පෙන්නුම් කෙරේ. එසේම මෙහිදී සමානාත්මතාව පිළිබඳ පුළුල් ප්‍රශ්නයක් ද පවතී. දැනට ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ ද දස දහස් ගණනක් මියගිය, රාජ්‍යයට එරෙහි සන්නද්ධ අරගලයක යෙදී සිටියදී දිනෙක තහනම් කර තිබූ අතර, පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වී, දැන් වසර ගණනාවක් තිස්සේ මියගිය තම සගයන් ප්‍රසිද්ධියේ සමරනු ලබයි. මියගිය අය සිහිපත් කිරීමට ඇති ඉඩකඩ එක් ප්‍රජාවකට පමණක් සීමා නොවිය යුතුය.

සමාන පුරවැසිභාවය සහ සමාන අයිතිවාසිකම්වලට අර්ථයක් ලැබීමට නම්, එක් ප්‍රජාවක හිටපු සන්නද්ධ සාමාජිකයන් කෙරෙහි තැබූ විශ්වාසයම අනෙකුත් ප්‍රජාවන්ගේ සාමාජිකයන් කෙරෙහි ද තැබිය යුතු බව සාමසාධනය වෙනුවෙන් වන කැපවීම තහවුරු කරයි. තවද, හානිපූරණය සඳහා වන කාර්යාලය පිළිබඳ පනත මගින් ජීවනෝපාය මාර්ගයෙන් හානිපූරණය සැලසීමට විධිවිධාන සලසා ඇත. රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලියට ලක් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබාගැනීම දුෂ්කර වී තිබීම අද පවතින සත්‍යයකි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සේවයේ යෙදවීම නිසා පරීක්ෂාවට ලක්වීමට පෞද්ගලික අංශයේ පත්වීම් ලබාදෙන්නන් අකමැති වෙති. රැකියා සඳහා සමාන ප්‍රවේශයක් තිබිය යුතු අතර සාධාරණීකරණය කළ නොහැකි බාධක ඉවත් කළ යුතුය. අවශ්‍ය තැන්වලදී ඉලක්කගත රාජ්‍ය වැඩසටහන් තිබිය යුතුය. මෙම තත්ත්වය ප්‍රායෝගිකව සාක්ෂාත් වන තෙක්, රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලියට ලක්ව තවමත් සුදුසු රැකියාවක් සොයාගැනීමට නොහැකිවූවන්ට රැකියා ලබාදීමට රජය අවධානය යොමුකළ යුතුය.

පවත්නා සාමය

යුද්ධය අවසන් වී වසර 17කට පසු, යුධ පශ්චාත් ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගය වන්නේ, පවතින සැකය තවදුරටත් ගොඩනැගීම නොව ප්‍රජාවන් අතර විශ්වාසයේ පදනම ශක්තිමත් කිරීමයි. අනෝජන් යනු වෙනත් රටකදී දරුණු දඬුවමකට මුහුණදෙන තනි ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහුගේ සිදුවීම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට චෝදනා කිරීමට හේතුවක් නොවිය යුතුය. තිලීපන් විවිධ ප්‍රජාවන් විසින් වෙනස් ලෙස සිහිපත් කරනු ලැබුවද, ඔහුගේ ස්මාරකය පිළිබඳ අර්බුදය අතීතයේ ජාතිවාදී බෙදීම් නැවත නැඟී සිටීමට හේතුවක් නොවිය යුතුය. මෙම සිදුවීම් දෙක වැදගත් අංශයකින් එකිනෙකට ප්‍රතිබිම්බයක් බඳුය. අනෝජන්ගේ සිද්ධියේදී, රාජ්‍යය යනු තවත් රජයක් ඉදිරියේ ඉල්ලා සිටින පාර්ශවයයි. තිලීපන්ගේ සිද්ධියේදී, රාජ්‍යය යනු තීරණ ගනු ලබන අතර, එහි තීරණය විනිශ්චයට ලක්වන නළුවා වේ. පළමුවැන්න නිහඬ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ප්‍රසිද්ධ කතාවලදී සංයමයක් ඉල්ලා සිටියි. දෙවැන්න සාධාරණත්වය සහ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින අතර, එහිදී රාජ්‍යය මත ඇති වගකීම වඩාත් බරපතල වේ.

මෙම සිදුවීම් දෙකෙහිම පොදු මුල පවතින්නේ එක් ප්‍රජාවකට පමණක් සීමා නොවූ අවිශ්වාසය තුළය. විවිධ ප්‍රජාවන් විසින් වෙනස් ලෙස අර්ථකථනය කරන ලද වෙනස්කම් කිරීම්, හිංසනය, අනාරක්ෂිත බව සහ අහිමිවීම්වල අත්දැකීම් මගින් මෙය නිර්මාණය වී ඇත. යම් පුද්ගලයකු යම් ප්‍රජාවක නියෝජිතයකු ලෙස සලකන විට, ආයතන විසින් ප්‍රජාවන්ට අසමානව සලකන බව පෙනෙන විට සහ ජනතාවගේ වේදනාව හඳුනානොගන්නේ යැයි හැඟෙන විට අමනාපකම් ජාතිවාදී මුහුණුවරක් ගනී. මේ එක එකකට පිළියම් යෙදිය හැකිය. 2024 දී ශ්‍රී ලාංකික ජනතාව ඡන්දය දුන් පද්ධතිමය වෙනසට (system change), පොදු චෝදනා ප්‍රතික්ෂේප කරන, ශෝකය හඳුනාගන්නා සහ සිය තීරණ විවෘතව පැහැදිලි කරන රජයක් ඇතුළත් විය යුතුය. කිසිදු පුරවැසියකුට නීතිය මගින් ඇතැම් ප්‍රජාවන් අන් අයට වඩා ආරක්ෂා කරන බව නොහැඟෙන පරිදි, රාජ්‍ය ආයතන විනිවිදභාවයෙන් හා ස්ථාවරව කටයුතු කිරීම ද ඊට අවශ්‍ය වේ.

මෙම සාමසාධක අවශ්‍යතාව සඳහා නෛතික බලතල මෙන්ම බුද්ධිමත් නායකත්වයක් ද අවශ්‍ය වේ. දේශපාලනික වශයෙන් අපහසුතාවයක් ඇති විට පවා, අගතියට එරෙහිව සිය ප්‍රජාවන් සමඟ කතාකරන නායකයන් මෙයට අවශ්‍ය වේ. ආගමික සීමාවන් ඉක්මවා සහයෝගීතාව පෙන්නුම් කරන ආගමික නායකයන් ඊට අවශ්‍ය වේ. තවද, සාමසාධනය යනු නොසන්සුන්තාවන් ඉහළ ගිය පසු හිංසනය වැළැක්වීම පමණක් නොව, මුලින්ම නොසන්සුන්තාවන් ඇතිවීමට ඉඩ සලසන අවිශ්වාසය සහ අමනාපකම්වලට පිළියම් යෙදීම බව වටහාගැනීමට සිවිල් සමාජයට අවශ්‍ය වේ. ආරම්භයේදී සිදුවන සිදුවීම්වලට වඩා ජාතිවාදී බෙදීම් බෙහෙවින් විශාල විය හැකි බව ශ්‍රී ලංකාව මහත් විනාශයන් මතින් ඉගෙනගෙන ඇත. අනෝජන් සහ තිලීපන් සිදුවීම් මගින් ශ්‍රී ලංකාවට සිය අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බව පෙන්වීමට අවස්ථාවක් ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ පවත්නා සාමයේ පරීක්ෂණය වන්නේ, දුෂ්කර අමනාපකම් ජාතිවාදී මුහුණුවරකට හරවා නොගෙන ඒවාට පිළියම් යෙදිය හැකිද යන්නයි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment