Colombo Telegraph

විදේශ විනිමය වෙළඳපොළ සම්පූර්ණයෙන් නිදහස් කිරීම

මහාචාර්ය ඒ.ඞී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න

මහාචාර්ය ඒ.ඞී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න

ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා ගත් පියවර ගැන මම එතුමාට ප‍්‍රශංසා කරමි. එහෙත් එයින් තවත් ඉදිරියට ගොස් මෙසේ කීමට මම කැමැත්තෙමි. වර්තමානයේදී අත්‍යාවශ්‍යව පවතින දුරදර්ශී පිස්කල් මූල්‍ය තත්වය ගැන සළකා බලමින්, එවැනි නාස්තිකාර යෝජනාවක් මොන විදිහකින්වත් ක‍්‍රියාත්මක නොකළ යුතුය.

එක පැත්තකින්, ජංගම ගිණුමට අදාළව දිනෙන් දින පහළ වැටෙන රජයේ ආදායම සහ දැරිය නොහැකි මට්ටමකට පත්වෙමින් තිබෙන අයවැය හිඟයත්, අනිත් පැත්තෙන්, විදේශ සෘජු ආයෝජන ඉතා මන්දගාමී ස්වරූපයක් ඉසිලීම ඉදිරියේ රාජ්‍ය ණය කන්දරාව සහ දැරිය නොහැකි විදේශ ණය බරක් ගොඩගැසෙමින් තිබීමත් අපි අත්දකිමින් සිටිමු. දැනට පවතින ජංගම වියදම් පාලනය කර ගන්නා අතරේම ජංගම ආදායම වැඩි කර ගැනීම සඳහා සියලූ පියවර ගත යුතු බවට පොදු එකඟතාවක් සබුද්ධික ආර්ථික විශේෂඥයන් අතරේ තිබේ. එසේම 2015 පවතින අයවැය පරතරය මේ දශකය අවසානයේදී අඩකින් අඩු කර ගැනීමක් අවශ්‍ය කරන බවද ඔවුන්ගේ මතයයි.

ගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ’ඔරොත්තු නොදෙන ජීවිකාවක්’ මැයෙන්, ශ‍්‍රී ලංකා ආර්ථික සම්මේලනය ඉදිරියේ කළ දේශනයකදී, සම්පත් පරතරය අවම කර ගනු වස් සෘජු බදු ආදායම ඉහළ නැංවිය යුතුව ඇති බවට යෝජනා කළ මම, අපේ බදු පද්ධතිය මීට වඩා ප‍්‍රගතිගාමී විය යුතු බවත්, දැනට සැලසුම් කොට ඇති අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා කිරීමට නියමිත වියදම වසර කිහිපයකට අත්හිටුවිය යුතුව ඇති බවටත් යෝජනා කෙළෙමි. ඒ සන්දර්භය තුළ, පරිපූරක ඇස්තමේන්තු හැකි තාක් වළක්වා ගත යුතු බවත්, යම් පටි තද කර ගැනීමක් අත්‍යාවශ්‍ය බවත් පෙන්වා දුනිමි.

මැති ඇමතිවරුන්ට ඔවුන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා හොඳ වාහන අවශ්‍ය කෙරේ. සමහරුන් කියා ඇති පරිදි, ඔවුන්ට ඉන්දියාවේ නිපදවන මරුටි වාහන දිය යුතු යැයි මම නොකියමි. ඒ වෙනුවට, සෑම අවුරුදු පහකට වරක් ඔවුන්ට, ආණ්ඩුවේ සුඛෝපභෝගී බද්දට අයත් නොවන පෙට‍්‍රල් හෝ ඞීසල් වාහනයක් ඔවුන්ගේ අභිමතය පරිදි සපයා දිය හැකිය. ඉන්දියානු අගමැතිවරයාට ඔවුන්ගේ රටේ නිපදවන සාමාන්‍ය ප‍්‍රමාණයේ ‘ඇම්බැසඩර්’ වර්ගයේ වාහනයක් පාවිච්චි කළ හැකි නම්, අපේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට ජපානයේ නිපදවන ටොයොටා හෝ මිට්ෂුබිෂි ලාන්සර් හෝ නිසාන් සනි වර්ගයේ වාහනයක් පාවිච්චි කළ නොහැක්කේ මන්දැයි මට නොතේරේ.

මේ ලිපිය තුළ අවධානය යොමු කිරීමට මා බලාපොරොත්තු වන ඊට වඩා වැදගත් කාරණය වන්නේ, මේ වසර අවසන් වීමට පෙර විදේශ විනිමය වෙළඳ පොළ මුළුමණින් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවට අගමැතිවරයා කළ ප‍්‍රකාශයයි. විදේශ විනිමයේ නිදහස් සංසරණය හේතුවෙන් විදේශ සෘජු ආයෝජන වැඩි වෙතැයි අගමැතිවරයා සිතයි. ඒ අංශයෙන්, වෙනත් රටවල් ආදර්ශයට ගත යුතුව ඇතැයි මුදල් ඇමතිවරයා කියයි. එහෙත් මගේ අදහසට අනුව, මෙය එය කිරීමට සුදුසු අවස්ථාව නොවේ.

වර්තමානයේ පවතින මේ ඉතා අයහපත් මූල්‍ය තත්වයට අමතරව, රටේ ආර්ථික වර්ධනයත් පහළ ගොස් තිබේ. 2010-2012 කාලයේ පැවති සියයට 8 වර්ධන වේගය, 2013-2015 කාලය තුළ සියයට 5 ටත් අඩු තත්වයට පිරිහුණේය. මේ වසරේත් එම වර්ධන වේගය සියයට 5 ට බෙහෙවින් වැඩි නොවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. මහ පරිමාණ යටිතල ව්‍යාපෘති දියත් කිරීමට යෝජිතව ඇති තත්වය තුළ අපනයන්ට සාපේක්ෂව ආනයනයන් ඉහළ යාමට නියමිත ය. එය සිදු වන්නේ, දුර්වල ජගත් ආර්ථිකයක් අස්සේ බවත් ඒ සමගම මතක තබා ගත යුතුය. එහි අවසාන ප‍්‍රතිඵලය වනු ඇත්තේ, ගෙවුම් ශේෂයේ හිඟය තවත් උත්සන්න වීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබී ඇති සහන ණය ඇතුළු වෙනත් බහු-පාර්ශ්වීය සහ ද්වි-පාර්ශ්විය ණය ආධාර හේතුවෙන් වර්තමාන විනිමය අනුපාතිකයේ හැසිරීම ක්ෂණිකව යහපත් විය හැකි වෙතත්, වැඩි වන ආනයනයන් හේතුවෙන් ඒ වාසිය ආපස්සට හැරිය හැකිය. 2006 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.3 ක් වූ, මාස 3.5 ක කාලයක් සඳහා පමණක් ප‍්‍රමාණවත් වූ අපේ දළ සංචිතය, අද වන විට තවත් පහළ ගොස් තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙතැයි ගණන් බලා ඇති ආදායම පෙරට වඩා වැඩි අගයක් ගත්තද, ගල්ෆ් රටවල්වල ෆිස්කල් ප‍්‍රතිසංස්කරණ නිසා, අපේ රටට ගලා එන විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සැපයෙන ආදායම වැඩි වීමට ඉඩක් නැත. මේ නිසා වර්තමානයේ පවතින දුර්වල විදේශ ආදායම් තත්වය, විදේශ විනිමය පාලනය ලිහිල් කිරීමට පිටුබලයක් සපයන්නේ නැත.

එපමණක් නොව, අගමැතිවරයා අපේක්ෂා කළ තරමට, වැඩිමනත් සෘජු විදේශ ආයෝජන ගලා ඒමක් සිදු වන බවක් පෙනෙන්ටත් නැත. සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා ඒමට බාධාවක් වන්නේ විනිමය වෙළඳපොළේ ලිහිල් භාවයේ ඇති අඩුවක් නිසා නම්, අඩු වශයෙන් ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව හෝ එසේ සෘජු විදේශ ආයෝජන රට තුළට යහමින් පැමිණිය යුතුව තිබුණි. මන්ද යත්, ලාභ රට තුළට ගලා ඒම සහ විදේශ ආයෝජකයන්ගේ ප‍්‍රාග්ධනය පිටරටට ගෙන යාමේ බාධක එදා නොතිබුණි බැවිනි.

සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා නොඑන්නේ වෙන කිසිවක් නිසා නොව, ආයෝජනවලට යහපත් පරිසරයක් රට තුළ නැති නිසා ය. එනම්, පාරදෘෂ්‍ය භාවය සහ වගවීම සහිත යහපාලනයෙන් යුක්ත, නාස්තිය නැති, (ඥාති සංග‍්‍රහය සහ ගජමිතුරුවාදය ඇතුලූ) දූෂණය නැති, රජ මගුල් සහ සෝබන වියදම් නැති, නීතියේ ආධිපත්‍යය ඇති, කාර්යක්ෂම සහ ස්වාධීන රාජ්‍ය ආයතනවලින් සමන්විත, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහිත, ආයෝජන සහ ව්‍යාපාර කටයුතු සඳහා සරළ රෙගුලාසි සහ ක‍්‍රියාපරිපාටිවලින් යුත්, යහපත් ව්‍යාපාරික පරිසරයකි.

මුලින්ම ෆිස්කල් ප‍්‍රතිසංස්කරණ ඇති නොකොට, ආයෝජන සඳහා හිතකාමී යහපාලනික පරිසරයක් රටේ ඇති නොකොට විනිමය වෙළඳපොළ නිදහස් කළහොත් සිදුවන්නේ, ප‍්‍රාග්ධනය සහ සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා ඒම වෙනුවට, ප‍්‍රාග්ධනය රටෙන් පිටතට ඇදී යාමයි. ඒ අතරේ, රුපියල්වලින් හරිහම්බ කර ගන්නා හොර සල්ලිත්, විදේශ මුදල්වලට මාරු කොට පිටරට පැටවීමට අවස්ථාවත් පෑදෙනු ඇත. වර්තමානයේ අප මුහුණදෙන විනිමය අර්බුදය මේ හේතුවෙන් තවත් උග‍්‍ර කෙරෙනු ඇත.

එබැවින්, මුලින්ම ෆිස්කල් ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම අත්‍යාවශ්‍ය කෙරේ. යහපාලනය සහ ඒ ආශ‍්‍රිතව සාධනීය පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කෙරේ. එය අලූත් දෙයක් නොව, වර්තමාන ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ රටේ ජනතාව ඉදිරියේ තැබූ ප‍්‍රතිඥාවකි. එයාකාරයෙන්, අභ්‍යන්තරික අයවැය හිඟය සේම බාහිර ගෙවුම් ශේෂ තත්වයත් තුලනය කරගෙන, මාස හයක කාලයක ආනයනයන් සඳහා ප‍්‍රමාණවත් ආණ්ඩුවේ විදේශ සංචිතයන් ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබෙන්නේය. ඉන් අනතුරුව, විනිමය වෙළඳපොළ නිදහස් කිරීමක් ගැන අගමැතිවරයාට සිතා බැලිය හැක.

*2016 ජුනි 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ “Full Liberalization of the Forex Market” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page