

ආචාර්ය අහිලන් කදිරගාමර්
2024 මැතිවරණය දෙස මෙතැන් සිට දශකයකින් හෝ දෙකකින් අපි ආපසු හැරී බලන්නේ කෙසේද? එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 1956 මහ මැතිවරණය තරම්ම වැදගත් වනු ඇතැයි මම තර්ක කරමි. මම පහත ලියන්නේ ශ්‍රී ලංකාවේ සෑම විටම උද්යෝගයෙන් හා පිරී ඇති මැතිවරණ සංදර්ශනය ගැන නොව, මහා ඓතිහාසික අවස්ථාවන්හිදී මැතිවරණ වලින් පසුව සිදුවන දේශපාලන ආර්ථික වෙනස්කම් ගැන ය.
1956 සහ අද
1956 මහ මැතිවරණය රටේ දේශපාලන ආර්ථිකයේ දැවැන්ත මාරුවීමක් පෙන්නුම් කළේය. අගමැති ඩඩ්ලි සේනානායකගේ ඉල්ලා අස්වීමෙන් කූටප්‍රාප්තියට පත් වූ 1953 අගෝස්තු මහා හර්තාලයෙන් වසර දෙකහමාරකට පසුව මැතිවරණය පැමිණියේය. ඊට වසරකට පෙර 1955 දී, බැන්ඩුං සමුළුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ එහි සංවර්ධන ආධාරයේ ස්වභාවය වෙනස් කළ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීම සඳහා වේදිකාව සකසා තිබුණි. යන්තම් වසර පහකට පෙර පිහිටුවා ගත් සහ පෙර 1952 මැතිවරණයේදී ආසන 9ක් පමණක් දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සිංහල බෞද්ධ සහ ග්‍රාමීය මැතිවරණ කොට්ඨාශ බලමුලු ගන්වමින් බලයට වේගයෙන් විදින ලදී. ඉදිරි දශක දෙක සඳහා සමාජ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කරමින් ආනයන ආදේශන දෙසට ආර්ථික ප්‍රතිපත්ති මාරු කිරීම මෙම මැතිවරණය සටහන් කළේය. නිදහසින් වසර අටකට පසු සහ කඳුරට දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමෙන් පසු ආගමනය වූ සිංහල පමණක් ප්‍රතිපත්තිය බහුතර රාජ්‍යයක් දැඩි කරමින් ජනවාර්ගික ගැටුමෙන් කූටප්‍රාප්තිය වූ සමාජ බෙදීම් දක්වා ගැඹුරු කළේය; සුළු ජාතීන් බැහැර කිරීම රටේ කේන්ද්‍රීය නොවිසඳුණු ප්‍රශ්නයක් වශයෙන් තව දුරටත් පවතියි.
1956 ඓතිහාසික සංධිස්ථානය සහ අද අතර බොහෝ සමාන්තරකම් තිබේ. අගමැති ඉල්ලා අස්වීමට තුඩු දුන් මහා හර්තාලය මෙන් දෙවසරකට පෙර අරගලය විරෝධතා ව්‍යාපාරය ක්‍රම වෙනසක් ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීය. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් අඩකට බලපාන ණය අර්බුදය ශ්‍රී ලංකාව එහි පළමු ණය පැහැර හැරීමත් සමඟ ගිලගෙන තිබේ. ගෝලීය මූල්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමඟ නව ගෝලීය දේශපාලන ආර්ථික පර්යායක අවශ්‍යතාවය ශ්‍රී ලංකාවේ අනාගත විදේශ ප්‍රතිපත්ති සහ සංවර්ධන ගමන් මඟ හැඩගැස්වීමට ඉඩ ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් සිටින පක්ෂයක් වන ජාතික ජන බලවේය (ජාජබ), ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂකයෙකු ඉදිරියට තල්ලු කරනු ලැබ ඇත.
1956 දී මෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සන්ධිස්ථානයක පවතින අතර බහුතරවාදයේ අනාගතය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශක්තිමත් කරන ලද නව ලිබරල් මාවත හෝ ස්වයංපෝෂිතභාවයේ සහ සමාජ සුබසාධනයේ විකල්ප මාවතක් විය හැකිය. වසර පහකට පෙර පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ප්‍රජාවට එල්ල වූ දැවැන්ත මර්ධනය සහ උතුරු නැගෙනහිර දිගින් දිගටම සිදුවන හමුදාකරණය කළ සහ බහුතරවාදීමය ඉඩම් කොල්ලය රටේ සුළු ජාතීන්ගේ අනාගත දේශපාලන ස්ථාවරය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. පසුගිය දෙවසර තුළ සහ වත්මන් මැතිවරණ ව්‍යාපාරය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී වාචාල කතාවලට එතරම් පිළිගැනීමක් නොලැබුණද, ඉදිරි වසරවලදී එය යළි තම කැත හිස ඔසවයිද?
1956 සහ මේ වසරේ මැතිවරණ අතර මෙම සමාන්තරකම් මා මෙහි ඉදිරිපත් කරන්නේ ඉදිරි වසරවලදී අප ඒ සඳහා සූදානම් විය යුතු පුළුල් වෙනස්කම් ගැන සිතීම ආරම්භ කිරීමටයි.
මැතිවරණ විච්ඡේදනය කිරීම
සර්වජන ඡන්ද බලය 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය දක්වා ආපසු දිවෙන ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වන අතර මැතිවරණ සහ ඒවායේ ඵලවිපාක විශ්ලේෂණය අපගේ විද්වත් සම්ප්‍රදායේ වැදගත් අංගයකි. නිව්ටන් ගුණසිංහගේ සහ කුමාරි ජයවර්ධනගේ දේශපාලන ආර්ථික හා ඓතිහාසික විග්‍රහයෙන් මම බොහෝ විට ආභාෂය ලබා ගන්නෙමි.
දැන්, මැතිවරණ සහ ඒ ආශ්‍රිත ඓතිහාසික වෙනස්කම් විච්ඡේදනය කිරීමට බොහෝ ක්‍රම තිබේ. ප්‍රභූ දේශපාලනයේ ඓතිහාසික සැකැස්ම තුළ පන්ති හා කුල අන්තර්ඡේදනය පවතී. එමෙන්ම
සංක්‍රමණික කාන්තාවන් ඇඟලුම් අංශයේ ශ්‍රම බලකායට සහ විදේශයන්හි ගෘහ සේවිකාවන් ලෙසට ඇතුළු වීමට හේතු වූ 1977 මැතිවරණයෙන් පසුව සිදු වූ වෙනස්කම් තේරුම් ගැනීමට පංතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය උපකාරි වෙයි.
මැතිවරණවලින් කවුරුන් ජයග්‍රහණය කළත් අප අනිවාර්යයෙන්ම මුහුණ දීමට බැඳී සිටින විශාල අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා පන්ති සහ ජනවාර්ගික සුළුතරයන්ගේ සම්බන්ධතාවන්ගේ අන්තර්ඡේදනය පිළිබඳ කෙටි අදහස් කිහිපයක් මම පහතින් ඉදිරිපත් කරමි. වත්මන් ජනපතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මාධ්‍ය තුළ කෙස් පැලෙන විග්‍රහයට ලක්වන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, ජයග්‍රාහකයා ආණ්ඩුකරණයේ යථාර්ථයන්ට මුහුණ දෙන බැවින්, මෙම පුප්පන ලද ලේඛන දෙකම ඉක්මනින් කුණු කූඩයට දමනු ඇතැයි මම විශ්වාස කරමි.
සමාජ අතෘප්තිකරභාවය
මෙය තව තවත් එසේ වන්නේ ඔවුන් ආර්ථික හා සමාජීය වෙනසක් සඳහා කිසිදු සංයුක්ත දේශපාලන වැඩපිළිවෙළක් වටා ජනතාව බලමුලු ගන්වා නොමැති බැවිනි. ඒ වෙනුවට, මැතිවරණ, පන්ති, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජනවාර්ගික අතෘප්තිකරභවාය රටේ පාලනය හැඩගස්වන සමාජයේ ගැඹුරු අනුනාදයන්ගේ සංඥාවක් වනු ඇත. මෙහි ලා කේන්ද්‍රීය වන්නේ වැඩකරන ජනතාවගේ ජීවනෝපායයන් කඩාකප්පල් කිරීම, පටිතදකරගැනීම නොහොත් කප්පාදුව ස්ත්‍රීන් කළමනාකරණය කරන ගෘහයන් මත පැටවීම මෙන්ම බහුතරවාදී ප්‍රතිපත්ති වැලඳ ගන්නා සෑම නව පාලන තන්ත්‍රයක් ගැනම සුළු ජාතීන් තුළ ඇති බියයි.
මෙම සන්දර්භය තුළ ජනාධිපතිවරණ ජයග්‍රහණය විවිධ පංතිවලට ප්‍රබල සංඥාවක් වනු ඇත.
තම ඵලප්‍රයෝජන සුරක්ෂිත කරනු ලැබ ඇති කොළඹ ව්‍යාපාරික ප්‍රභූ පැළැන්තිය සහ දැවැන්ත පොලී අනුපාත ඉහල දැමීම් සහ බලශක්තියේ වෙලඳපොල මිලකරණයෙන් බැට කෑ කුඩා ව්‍යාපාර අතර ආතතිය පවතී. පොහොර සහ භූමිතෙල් සඳහා ලබාදී තිබූ සහනාධාරය හදිසියේ අවසන් කිරීම නිසා ගොවීන් සහ ධීවර ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. රාජ්‍ය වියදම් නැවැත්වීම සහ ආයෝජන නොමැතිකම නිසා ඉදිකිරීම් කටයුතු විශාල වශයෙන් අඩුවීමත් සමඟ නාගරික අවිධිමත් සහ ග්‍රාමීය වැටුප් ජීවනෝපායන්ට බාධා පමුණුවනු ලැබ ඇත. ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යාමත් සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ සහ තේ වතුවල වැඩ කරන කාන්තාවන්ගේ සැබෑ ආදායම අඩකින් අඩු වී ඇත. ගුරුවරුන් ඇතුළු අතෘප්තියට පත් රාජ්‍ය අංශයේ සේවකයන්, ගේ ප්‍රවාහන වියදම් සහ ජීවන වියදම් ඔවුන්ගේ වැටුප් වලට වඩා වැඩිය. නව පාලන තන්ත්‍රයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන සහ ඒවා හැඩගස්වන පන්ති ඵලප්‍රයෝජනයන් එවැනි ආතතීන් සහ අතෘප්තීන් ගෙන් සැදුම්ගනු ඇත. එම ඵලප්‍රයෝජනයන් තෘප්තිමත් කිරීමට ඉඩදෙනු නොලැබෙන්නේ නම් පෙරළා පාලන තන්ත්‍රය විසින් මර්දනය කරනු ලැබීම හෝ එය පෙරළා දැමීම සිදුකෙරෙනු ඇත.
වාර්ගික ධ්‍රැවීකරණය
දැන් සහ 1956 අතර වෙනස වන්නේ ආණ්ඩු පිහිටුවන්නේ එක මහ මැතිවරණයකින් නොව ජනාධිපතිවරණයකින් සහ පාර්ලිමේන්තු මැතිවරණයකින් වීමයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තීරණය කිරීමේදී ජනාධිපතිවරණය සැලකිය යුතු ගම්‍යතාවක් ලබා දෙන අතරම, ආණ්ඩුව පිහිටුවීමේදී සහ එහි න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ජනවාර්ගික සුළුතර පක්ෂවලට ද වැඩි හඬක් තිබිය හැකිය. කෙසේ වෙතත්, මෙය ජනවාර්ගික සුළුතර ඡන්ද කොට්ඨාශ සමඟ අනන්‍ය කරනු ලැබ ඇති දේශපාලන පක්ෂවල කැළඹිලි සහ අවුල් ලිහා දැමීමේ ද විශාල කාලයකි. මේ අනුව සභාග දේශපාලනය ඉදිරියේදී වෙනස් වීමට ඉඩ ඇත.
ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මඟින් අපේක්ෂා කරන පටු දෙමළ ජාතිකවාදය යළි තහවුරු කිරීම දෙමළ දේශපාලනයේ ඛණ්ඩනය මධ්‍යයේ සිදුවන එවැනි එක් ව්‍යාපාරයකි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර තුළ යටපත් කරනු ලැබ ඇති සිංහල බෞද්ධ ජාතිකවාදය පාර්ලිමේන්තු මැතිවරණය සමඟ හෝ ඊට පසු වසර කිහිපයකින් යළි හිස ඔසවනු ඇති ද? ඇත්ත වශයෙන්ම, මෙම ජාතිකවාදී අන්ත දෙකම, ඔවුන්ගේ ධ්‍රැවීකරණමය දේශපාලනය නොතකා, ඔවුන්ගේ පැවැත්ම සඳහා එකිනෙකාට අවශ්‍ය දේශපාලන සගයන් වේ.
වියපත් දෙය මියැදෙමින පවතියි
ජනතාව මහත් බලාපොරොත්තු ඇතිව උණුසුම් වූ ජනාධිපතිවරණය, ඉන් පසුව එනු ඇති වෙනස්කම් පිළිබඳ සංඥාවක් පමණක් වනු ඇත. දිගු කලක් බලා සිටි අපකීර්තියට පත් නියෝජිතයින් පාර්ලිමේන්තු මැතිවරණය හරහා පිරිසුදු කිරීම නව සභාග සඳහා අවකාශය ලබා දිය හැකිය. එය ආර්ථික ප්‍රතිපත්ති ගමන් මග මාරු කිරීමටත්, මෑත කාලයේ සම්මත කර ඇති කුරිරු නීති අහෝසි කිරීමටත්, සුළු ජාතීන් සමඟ බලය බෙදා ගැනීම සඳහාත් තීරණාත්මක වනු ඇත.
විවිධ පන්ති සහ සුළු ජාතීන් නව ජනාධිපතිවරයකු සමඟ පෙළ ගැසෙනු ඇත්තේ කෙසේද? බටහිර ඛණ්ඩය, ගෝලීය මූල්‍ය සහ කොළඹ ප්‍රභූ පැළැන්තිට සජිත් පාලන තන්ත්‍රයක් සමඟ වඩාත් සුවපහසු වනු ඇත. පළාත්බද අධිපති පංති සහ වෘත්තිකයන් අනුර පාලනයක් සමඟ වඩාත් පෙලගැසෙනු ඇති නමුත් සුළු ජාතීන්ගේ කොටස් ඔවුන් දෙස බලනු ඇත්තේ යම් සැකයකිනි. අනාගත පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ සාපේක්ෂ ශක්තීන් සමඟ, බලයේ හෝ විපක්ෂයේ හෝ සිටිනු ඇති, බලයට පත් විය හැකි පාලන තන්ත්‍ර දෙකටම මෙම ඓතිහාසික සංධිස්ථානය තුළ නොවැළැක්විය හැකි ලෙස වෙනස් වෙමින් පවතින පන්ති හා ජනවාර්ගික සබඳතා අභිබවා යාමට අරගල කිරීමට සිදුවනු ඇත.
විවිධ පන්තිවල සහ ජනවාර්ගික සුළුතරයන්ගේ දුක්ගැනවිලි සහ අභිලාෂයන් මධ්‍යයේ, ඔවුන්ගේ එකට එකතුවීම සහ ඔවුන්ගේ බැහැර කිරීම් තුළ, රට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ගොඩනඟනු ඇත්තේ හෝ නැතහොත් ෆැසිස්ට් ප්‍රවනතාවන් කරා ඇද වැටෙනු ඇත්තේ එවන් යටින් දිවෙන සමාජ අනුනාදයන් සමඟ ය.
අන්තෝනියෝ ග්‍රාම්ස්චිගෙන් අදහසක් ණයට ගන්නේ නම්, පැරණි දේ මිය යමින් පවතී, නමුත් අලුත් දේ තවමත් ඉපදීමට ඇත. සජිත් හෝ අනුර යන දෙදෙනාගෙන් කවරෙකු වුවත්, මෙම අර්බුදකාරී කාල වකවානුවන්හිදී, අපි නව පන්ති සහ සුළු ජාතීන්ගේ සභාග නිර්මාණය කිරීමට සහ බලමුලු ගැන්වීමේ සහ ප්‍රතිරෝධයේ අවකාශයන් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුය. මෙම මැතිවරණය සමානාත්මතාවය සහ නිදහස සඳහා වන අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ආරම්භය පමණි.
*2024 සැප්තැම්බර් 16 දින Daily Mirror පුවත් පත Elections, Classes and Minorities මැයෙන් පළ කළ ලිපියේ පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.