
දෙමළ ප‍්‍රජාව, රජයේ ආරක්ෂක අංශ සහ එල්.ටී.ටී.ඊ. යන දෙපාර්ශ්වයෙන්ම විනාශයට පත්වූහ. පශ්චාත්-යුද සන්දර්භය තුළ, පීඩිත කුලවලත්, වන්නියට අවතැන් කළ කඳුරට දෙමළ ජනතාවගේ සහ පවුල් බර කර ගසාගෙන යන දෙමළ කාන්තාවන්ගේත් ප‍්‍රශ්න පිළිබඳ වගකීම, ආණ්ඩුවට සේම ඔවුන්ගේ ප‍්‍රාදේශීය ප‍්‍රජාවන් මතද පැවරෙයි. කෙසේ වෙතත්, දෙමළ ජාතිකවාදීන් මේ දෙමළ ‘වින්දිතයන්ගේ’ දුක්ගැනවිලි ස්ථානගත කරන්නේ, ‘සිංහල රාජ්‍යයට’ එරෙහි කාරණයක් වශයෙනි.
සිංහල ප‍්‍රජාවෙන් විශාල කොටසක් අයිතීන්ගෙන් අස්වාමී කිරීම දෙමළ ජාතිකවාදීන්ගේ සැළකිල්ලට යොමු නොවේ. එය සිංහල ප‍්‍රජාව තනිව උරදිය යුතු ප‍්‍රශ්නයක් වශයෙන් ඔවුහූ සළකති. කොටින්ම, වින්දිතයන් පිළිබඳ ඔවුන්ගේ නිර්ණායකය වන්නේ වාර්ගිකත්වය වන අතර, ඊට විසඳුම ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පවරයි.
‘එලූග තමිල්’ විරෝධය සහ එහි ඉල්ලීම් හරහා ඉදිරිපත් කරන්නේ යැයි කියන දෙමළ දුක්ගැනවිලි දෙමළ ජාතිකවාදීන් අතේ ලෙළවෙන්නේ, දෙමළ වාසභූමිය, ජාතිය සහ ස්වෛරීත්වය යන ප‍්‍රතිගාමී ආස්ථානයන් ඔස්සේ ය. ඒ අතින් ගත් විට එය, ඔවුන්ගේ දේශපාලනික නිවුන් සොහොයුරා වන සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් වැඩි වෙනසක් නොපෙන්වයි. විරෝධතා රැුලියට කලින් ‘දෙමළ ජනතා කවුන්සිලය’ විසින් පුළුල්ව බෙදා හැරුණු ප‍්‍රචාරක පත‍්‍රිකාව තුළ සිංහල-විරෝධී සහ බෞද්ධ-විරෝධී වාගාලාප දක්නට ලැබුණි. බුද්ධ ප‍්‍රතිමා සහ සිංහල ජනපදකරණය මෙන්ම යුද අපරාධ සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටීමේ වගන්ති තද කළු අකුරින් මුද්‍රණය කොට භීතිකාව තීව‍්‍ර කරන අතරේ, ඉඩම් ප‍්‍රශ්නය සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය සටහන් කොට තිබුණේ කුඩා අකුරිනි. ආණ්ඩුව මෙන්ම ජාත්‍යන්තර සාධක කෙරෙහිද අවධානය යොමු කරන බව ප‍්‍රකාශනය තුළ කියැවෙන අතරේම, හමුදාවට සහ සිංහල-බෞද්ධ ජනපදකරණයට එරෙහිව පාවිච්චි කොට ඇති ජනාන්දෝලක භාෂාව, ‘බොදුබල සේනා’ වැනි සංවිධාන පාවිච්චි කරන භාෂාවෙන් වෙනසක් නොපෙන්වීය.
සමාජ පදනම
‘එලූග තමිල්’ විරෝධය අරභයා නැගුණු ව්‍යාකූලත්වයෙන් විශාල පදාසයක හේතුව, ‘දෙමළ ජනතා කවුන්සිලයේ’ සමාජ පදනම පිළිබඳව පවතින අඩු අවබෝධයයි. ‘දෙමළ ජාතික ජනතා පෙරමුණ’, ‘දෙමළ සිවිල් සමාජ මණ්ඩපය’ සහ ‘දෙමළ ජනතා කවුන්සිලය’ සතු පටු සමාජ පදනම බොහෝ කොට සමන්විත වන්නේ, යාපනේ නාගරික වෘත්තීය පංතියෙනි. ඊට, නීතිඥ, වෛද්‍ය, කථිකාචාර්ය, ක‍්‍රිස්තියානි පූජක සහ මාධ්‍යවේදී ආදී කොටස් අයත් වෙත්. මොවුන් නිත්‍ය ආදායම්ලාභී, ආර්ථික ස්ථාවරත්වයක් සහිත සමාජ කොටසකි. යුද්ධයෙන් බැටකෑ සමාජයේ සෙසු කොටස්වල, විශේෂයෙන් යාපනේ ග‍්‍රාමීය පළාත්වලත්, වන්නියේ සහ නැගෙනහිර පළාත්වලත් ආර්ථික වශයෙන් දිළිඳු ජන කොටස් මුහුණදෙන දුෂ්කර ජීවන තත්වයන් ඔවුන්ට අදාළ නැත. ඔවුන්ගේ පංති පදනම සහ දෙමළ ඩයස්පෝරාව සමග දක්වන සම්බන්ධතා ඔස්සේ විදේශයන්ගෙන් ආදායම් ලබන, එක පයක් ඩයස්පෝරාවේ තබාගෙන සිය දරුවන් විදේශගත වීම කෙරෙහි අපේක්ෂා දල්වාගෙන සිටින සමාජ කොටසක් බවට ඔවුන් පත්ව ඇත. මේ නිසා ප‍්‍රාදේශීය සමාජ ජීවිතය නඩත්තු කෙරෙන සහ දේශපාලන විසඳුමක් සඳහා අර්ථවත් මාර්ගයකට යොමු වන සමාජ ආයතන යළි ගොඩනැගීම වෙනුවට, අන්තවාදී සහ අතාර්කික දෙමළ ජාතිකවාදී එල්ලයන් මත එල්ලී සිටීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබේ.
ඔවුන්ගේ වාගාලාප, දෙමළ මාධ්‍ය තුළත්, ජාතිකවාදී දෙමළ ඩයස්පෝරා වේදිකා මතත්, ඉහළින්ම වරනැගේ. ඒ ඔස්සේ, තමන් වෙත පුළුල් ජනතා නියෝජනයක් ඇතැයි යන මායාව ගොඩනංවනු ලැබේ. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ, දෙමළ සමාජයේ පවතින ගතානුගතික සහ දක්ෂිණාංශික දෘෂ්ටිවාදීමය නිර්මිතයන් ඔවුන් විසින් ගසාකනු ලැබීමයි. එය, දෙමළ ජාතිකවාදී දේශපාලනයට ගැටගසනු ලැබීමයි. ඒ අර්ථයෙන්, සමස්තයක් වශයෙන් ගත් විට, ඔවුන් ‘දෙමළ ජාතික සන්ධානයෙන්’ බරපතල වෙනසක් නොපෙන්වයි. සිංහල සහ මුස්ලිම් ජාතික ‘පීඩක අනෙකා’ පිළිබඳ භීතිය මත යැපෙන ඔවුන්ට, දෙමළ ගැහැනිය පාගාගෙන සිටීමට වලිකන ‘සංස්කෘතික නායයාමේ’ කතිකාව පිළිබඳ විවේචනයක් ඇත්තේම නැත. එපමණක් නොව, දෙමළ සමාජය තුළ පවතින කුල පීඩනය ගැන කතා කිරීම පවා ඔවුහූ එක දිගටම ප‍්‍රතික්ෂේප කරති.
එවැනි දක්ෂිණාංශික කතිකාවන්ට දෙමළ සමාජයේ ඇතැම් කොටස් තුළ ඉඩක් තිබේ. මේ විරෝධයට යම් හයියක් සැපයුණේ, ප‍්‍රගතිශීලී විකල්පයක් පිළිබඳ අදහසක් නැති තරුණයන්ද ඇතුළත්, එවැනි ගතානුගතික සමාජ කොටස් වෙතිනි. ඇත්ත වශයෙන්ම, මැතිවරණ කාලවලදී ‘දෙමළ ජාතික සන්ධානය’ සංවිධානය කරන දෙමළ ජනතා පෙළ ගැස්වීම්වලට මෙය වෙනස් නැත. ඔවුන් සියල්ලන්ම ප‍්‍රයෝජනයට ගන්නේ, දෙමළ සමාජයේ පවතින එවැනි ගතානුගතික ප‍්‍රවණතාවන් ය.
මේ කතිකාවන් සරුවට පවත්වාගෙන යන්නේ, අගතිගාමී සහ ප‍්‍රතිගාමී දෙමළ මාධ්‍ය ඔස්සේ ය. ‘දෙමළ ජාතික සන්ධානය’ සහ ‘දෙමළ ජනතා කවුන්සිලය’ අතර කෝන්තරය නිසා, ජනප‍්‍රිය ‘උදයන්’ පුවත්පත ‘එලූග තමිල්’ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමෙන් වැළැකී සිටි අතරේ, උතුරු පළාත් සභා මහ ඇමති විග්නේෂ්වරන්ගේ හින්දු ජාතිකවාදී අනුග‍්‍රහය මත, ‘වාලම්පුරි’ පුවත්පත මේ විරෝධය සඳහා උපරිමයෙන් සහයෝගය දුන්නේය.
‘එලූග තමිල්’ ව්‍යාපාරය පසුපස සිටින සමාජ බලවේග පිළිබඳ අධි-තක්සේරුවක් ඇති කර ගත යුතු නැත. ඔවුන්ගේ සීමිත ජන පදනම සහ මැතිවරණමය අදාළත්වයේ තරම, 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵලවලින් මොනවට පෙන්නුම් කෙළේය. එදා විග්නේෂ්වරන්ගේ පුර්ණ සහාය ඇතිව පවා, ‘දෙමළ ජාතික ජනතා පෙරමුණට’ එක ආසනයක්වත් ජයගත නොහැකි විය. ඔවුන්ව එහිදී අන්තයටම පරාජය කෙරුණි.
දැන් විග්නේෂ්වරන් සහ ඔහුගේ කාර්යාලය ඉදිරියට දමාගෙන තමන් සඳහා වන දේශපාලන වේදිකාවක් තනා ගැනීමට තැත් කරන්නේ, එදා එම මැතිවරණයේදී පරාජයට පත්කරන ලද අයවළුන් ය. මෙහිදී තවත් වැදගත් කාරණයක් වන්නේ, විග්නේෂ්වරන් නායකත්වය සපයන උතුරු පළාත් සභාවේ අසාර්ථකත්වයයි. (තමාගේ බලතල යටතේ පවතින) අත්‍යාවශ්‍ය අනපණත් ඔස්සේ සිය පරිපාලනය ක‍්‍රියාත්මක කැරැුවීමට පවා ඔහු අසමත්ව තිබේ. උතුරේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පැහැදිළි දැක්මක් තවම ඔහු ඉදිරිපත් කොට නැත. එපමණක් නොව, ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා වන වෙනත් ප‍්‍රයත්නයන් ඔහු අහුරනු ලැබේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද පරාජයත්, උතුරු පළාත් සභාව හරහා පෙන්නුම් කරන අසාර්ථකත්වයත් නිසා, දැන් ඔවුන්ට වෙනම දේශපාලන ප‍්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට අවශ්‍යව තිබේ.
මැතිවරණ දෙකකින්ම එක පිට එක පරාජය වී, දේශපාලනිකව කොන් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාලනය තුළ වැජඹුණු අතුරුබිතුරු, එම හුදෙකලාවෙන් ගොඩ ඒම සඳහා එකට එක්ව ගෙන ගිය ‘පාද යාත‍්‍රාවට’ මෙය වෙනස් නැත. රාජපක්ෂගේ සහ විග්නේෂ්වරන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයන් ගොඩනගා ගැනීමට බලන්නේ, ජනතාව පාරට බැස්සවීමට තමන්ට ඇති හැකියාව මත පමණක් නොව, තම තමන්ගේ වාර්ගික ප‍්‍රජාවන්හි සැබෑ ගැලවුම්කරුවන් වශයෙන් ප‍්‍රක්ෂේපණය වීමටද ඇති හැකියාව මත ය. එහිදී රාජපක්ෂ දෙමළ ජනතාවට ගරහයි. විග්නේෂ්වරන් සිංහල ජනතාවට ගරහයි.
ප‍්‍රතිගාමී බළමුළු ගැන්වීම්
‘එලුග තමිල්’ විරෝධය මගින් එක් වෙනසක් සනිටුහන් කෙරේ. එනම්, ප‍්‍රතිගාමී ප‍්‍රකාශන සහ යෝජනා සම්මත කර ගැනීම් මෙන්ම, ජනතාව බෙදා වෙන් කරන මැතිවරණ වාගාලාප දෙඩවීමේ සිට අද වන විට එය, මිනිසුන් පාරට බස්සන අදියරට පැමිණ තිබීමයි. එය බරපතල තත්වයකි. මන්ද යත්, ආවේගශීලී ජනතා බළමුළු ගැන්වීම්වල ප‍්‍රතිවිපාක, ඒවා ආරම්භ කළ අයවළුන්ට පවා පාලනය කළ නොහැකි මට්ටමකට පත්විය හැකි බැවිනි. ඉතා මෑතක උදාහරණයක් සපයන්නේ නම්, ගිය වසරේ විද්‍යා සිවලෝගම් නැමැති පාසල් ශිෂ්‍යාව ලිංගික අපරාධයකට ලක්කොට ඝාතනය කළ අවස්ථාවේ මුළු යාපනය පුරාම ඊට එරෙහිව විරෝධය ඇවිළුණු අතර එය අවසන් වුණේ, සැකකරුවාට මරණ දඬුවම පමුණුවන ලෙස ඉල්ලමින් ජනතාව අධිකරණයට ගල් ගැසීමෙනි. නීතිය තමන් අතට ගැනීමට සැහැසි ජනයා එහිදී උත්සාහ ගත්හ. ඒ විරෝධතාවයේ දේශපාලනය, දෙමළ සමාජය තුළ පවතින කාන්තා පීඩනය පිළිබඳ ගැඹුරු අන්තරාවලෝකනයක් වෙත යොමු වෙනවා වෙනුවට, දෙමළ ගැහැනිය බේරා ගැනීමේ පුරුෂවාදී දෙමළ කතිකාවකට ලඝු විය.
(ඉතිරි කොටස ඊළඟට)
*2016 ඔක්තෝබර් 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Nationalist Mobilisations & Eluga Thamil: First As Tragedy, Then As Farce” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස)‘යහපාලනය ලංකා’