16 December, 2017

Blog

හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත.

බලයට පත්වීමෙන් හරියටම වසරකට පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රටේ ව්‍යවස්ථාව නැවත සම්පාදනය කිරීම සඳහා වූ ක‍්‍රියාදාමයකට මුල පුරා තිබේ. තවද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකච්ඡන්දයෙන් සම්මත කරගත් යෝජනා සම්මතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව සංක‍්‍රමණීය යුක්තියට අදාළ ක‍්‍රියාවලීන් ද ඉදිරියට ගෙන යමින් සිටී. ඓතිහාසික වශයෙන් එකිනෙකාට එරෙහිව සිටියා වූ පක්ෂ දෙකකට අයත් ජනාධිපති සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර ඉහත කී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය සහ සංක‍්‍රමණීය යුක්තිය සම්බන්ධ පෙරමුණු ගැන පොදු එකඟතාවයක් පවතී. කෙසේ වූවද එම ක‍්‍රියාවලීන් දෙකම විශාල වශයෙන් රටේ ආර්ථික අනාගතය මත රැඳි පවතී. ග‍්‍රාමීය ආර්ථිකය සමඟ ජනාධිපතිට දැඩි බන්ධුතාවයක් තිබෙන සහ අග‍්‍රාමාත්‍යවරයා ආර්ථික ලිබරල්කරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින සන්දර්භයක් තුල, බලය සංකේන්ද්‍රණය කරගැනීමට රෙජිමයට තිබෙන හැකියාව සහ ආණ්ඩුවට ස්ථාවර විය හැකි පරිමාණය කෙරෙහි නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය දැඩි ලෙස බලපෑම්සහගත වනු ඇත.

ජීවන වියදම ඉහළ යාම, රැකියා අවස්ථා අප‍්‍රමාණවත්වීම සහ ආදායම් අසමානතා දැඩි වීම ආදී ප‍්‍රශ්නවලින් සංලක්ෂිත පවතින ආර්ථික තත්වය පැවැති රෙජිමයේ මැතිවරණ පරාජය සඳහා කේන්ද්‍රීය ලෙස බලපෑ කරුණකි. ජනවාරි මාසයේ මුල් සතියේ ශ‍්‍රී ලංකාවේ පැවැති ආර්ථික සමුලුවට සත්කාරකත්වය සැපයීම සඳහා ගෝලීය මූල්‍ය සම්පාදකයෙක් හා දානපතියෙක් වන ජෝර්ජ් සොරෝස් ආරාධනා ලැබූයේ මෙම ආර්ථික තත්වය ආමන්ත‍්‍රණය කිරීම රජය ඉදිරියේ අභියෝගයක් බවට පත්වී තිබෙන සන්දර්භය තුලය. අගමැතිගේ සංකල්පයක් වන මෙම ආර්ථික සමුලුවේ අභිප‍්‍රාය වූයේ ලංකාව තුලට ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ගෙන ඒම හා ශ‍්‍රී ලංකාව ගෝලීය මූල්‍ය සිතියම මත පිහිටුවීම මගින් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට උපයෝගී කොට ගැනීමය. මෙම සමුලුව සඳහා ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වූ හාවඞ් විශ්ව විද්‍යාලයේ මධ්‍යස්ථානය සහයෝගය ලබාදුන් අතර එම ආයතනය සමුලුවට ජාත්‍යන්තර විශේෂඥයින් කැඳවීම සඳහා සිය ජාලය යෙදවීය.

ආණ්ඩුවේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය පසුගිය රාජපක්ෂ රෙජිමය විසින් ක‍්‍රියාවට නැංවූ මූල්‍යකරණය මත පදනම් වූ නාගරික සංවර්ධන ප‍්‍රතිපත්තීන්ගෙන් එතරම් වෙනස් නොවේ. ගෝලීය මූල්‍ය වෙළඳපොලවලින් වැඩි වැඩියෙන් ණය ගැනීම, අලංකරණ ක‍්‍රියාවලියකට සමගාමීව කොළඹ නගරය තුල සිදුවූ නාගරිකකරණය සහ පශ්චාත් යුද අවුරුදුවල ඉහළ වර්ධන වේගයක් ඇති වීම කෙරෙහි තුඩු දුන් අති විශාල යටිතල පහසුකම් ඉදිකිරීමේ ක‍්‍රියාවලිය යන පදනම් මතය නව ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජය ගොඩනගනු ලැබ තිබෙන්නේ. කෙසේ වූවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියමයන් අනුව ඉඩම්, ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය යන ක්ෂේත‍්‍රවල මූලික පරිවර්තනයක් ඇති කිරීම සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්ති පැකේජය වඩාත් ආක‍්‍රමණශීලී ස්වභාවයක් උසුලයි.

ඛේදජනක සංදර්ශනයක්

ආර්ථික සමුලුවක නාමයෙන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ හාවඞ් සංදර්ශනය කෙසේ වූවද ඉතාම කණගාටුදායක එකක් ලෙස අවසාන වී යැයි කිව හැක. ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින දේශපාලන ආර්ථික අභියෝග පිළිබඳ ඌන අවබෝධයක් සහ ලංකාවේ ඉතිහාසය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව හාවඞ් හි රිකාඩෝ හවුස්මන් විසින් මෙහෙයවනු ලැබූ, අමොන්ටෙක් සිං අලුවාලියා ආදී ආර්ථික ප‍්‍රතිසංස්කරණඥයින් හා වෙනත් අන්තර්ජාතික සම්පත්දායකයින්ගෙන් සමන්විත වූ විශේෂඥයින් පිරිසක් හුදෙක් වෙනත් රටවල සමාන්තර තත්වයන් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට වඩා වැඩි දෙයක් කිරීමට සමුලුව තුල දී අසමත් වූහ. ඒ අදහස් ද ලංකාවේ සංවර්ධන මාවත සමග ඉතා අඩු සම්බන්ධයක් තිබෙන හුදෙක් ආර්ථික විද්‍යා පාඨ ග‍්‍රන්ථවල හා ජනප‍්‍රිය ආර්ථික විද්‍යා සගරාවල දක්නට ලැබෙන වර්ගයේ අදහස්ය. ගෝලීය ආර්ථික තත්වය ගැන හෝ වේවා 2008 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු පශ්චාත් යුදකාලීන රටක් සංවර්ධනය කිරීමේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ගැන හෝ වේවා සාකච්ඡුා නොවූ තරම්ය. ඒ වෙනුවට සිදුවූයේ කොළඹ ප‍්‍රභූ පංතිය අතර ප‍්‍රචලිත ජනප‍්‍රිය සාද කථාවක් වන සිංගප්පූරුවක් බවට ලංකාව පත්කිරීමේ අභිලාෂය හාවඞ්වල සිට පැමිණි විශේෂඥයින්ගේ ද සහභාගිත්වය සහිතව නැවතත් ප‍්‍රතිරාවය කිරීමකි.

මෙහිදී ගෝලීය ආර්ථික තත්වයන් පිලිබඳ අනතුරු හඟවමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දී සිටින අති විශාල අභියෝග පිළිබඳ අදහස් දැක්වීමට මැදිහත්වීම් කරනු ලැබූයේ ජෝර්ජ් සොරෝස් සහ ප‍්‍රවීණ ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් පමණි. චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම, ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනය පොලී අනුපාතික වැඩි කිරීම විසින් ප‍්‍රාග්ධන ගලනයේ ඇති කොට තිබෙන ආපසු ගැලීමේ ප‍්‍රවණතාවය සහ කෙටි කාලීන ප‍්‍රාග්ධනය ගලා ඒම් හා ප‍්‍රාග්ධනය ආපසු ගලා යාම නිසා ඇති වන සාර්ව ආර්ථික අභියෝග ආදිය පිළිබඳ ඔවුහු ප‍්‍රශ්න මතුකළහ. අනුක‍්‍රමික ඉඩම් බදු ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය, සුඛෝපභෝගී පරිභෝජනය මත වූ බද්දක අවශ්‍යතාවය සහ සංවර්ධන රාජ්‍යයක වැදගත්කම යන කරුණු ස්ටිග්ලිට්ස් විසින් විශේෂයෙන්ම මතු කරනු ලැබිණ.

අභියෝග සහ ෆැන්ටසීන්

ශ‍්‍රී ලංකාව මේ මොහොතේ දැවැන්ත සාර්ව ආර්ථික අභියෝගයකට මුහුණ දී තිබේ යන්න නොරහසකි. ලංකාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක් තරම් අතිශය අඩු අගයකි. එයද ආණ්ඩුවට ලැබෙන්නේ ආදායමෙන් සියයට 80 ක් පමණ වක‍්‍ර බදු හරහා ගලා එන ප‍්‍රතික‍්‍රමික බදු ප‍්‍රතිපත්තියක ප‍්‍රතිඵලයක් ලෙසය. අපනයන වෙළඳාම ඇඟලුම්, තේ හා රබර් ආදී සීමිත ක්ෂේත‍්‍ර කිහිපයකට සීමා වී තිබෙන අතර අපනයන මට්ටම පහළය. එය පියවනු ලැබෙන්නේ මැද පෙරදිගට අපනයනය කරනු ලැබෙන ලාභ ශ‍්‍රමය හරහා උපයා ගන්නා මුදල්වලින්ය. තවද කොළඹ නගරය කේන්ද්‍ර කොට ගෙන සිදුවන අසමාන සංවර්ධනය සහ වැඩෙන සමාජ අසමානතා රැකියා හිඟය සහ ශිෂ්ට සම්පන්න රැකියා අවස්ථා හිඟවීම පිළිබඳ ප‍්‍රශ්නයේ බලපෑම වඩාත් නරක් කොට තිබේ. මේ ප‍්‍රශ්න තේරුම් ගැනීමට හාවඞ්වල රොකට් යානා විශේෂඥයින් අවශ්‍ය නොවේ.

ශ‍්‍රී ලංකාව තුල විවාදයට හා විවිධ අරගලවලට විෂය වී තිබෙන්නේ මෙබඳූ ප‍්‍රශ්න තිබේ යන නිරීක්ෂණය නොව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බුද්ධි පර්ෂදයන් මේ ප‍්‍රශ්නවලට ඉදිරිපත් කරනු ලබන විසඳූම්ය. ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබෙන්නේ බාහිර මූල්‍ය ගලා ඒම් වැඩි කිරීම සහ ආර්ථිකය වඩ වඩාත් මූල්‍යකරණයට ලක්කිරීමය. මේ සඳහා ඉඩම් හා දේපළ වෙළඳම් වෙළඳපොල ප‍්‍රවර්ධනය කරනු ලැබේ. ආණ්ඩුව වෙළඳාම තවත් ලිබරල්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන අතර දැනටමත් අපනයන මෙන් දෙගුණයක මට්ටමක ආනයන පවතී. එවැනි තත්වයක් තුළ තවදුරටත් වෙළඳාම ලිබරල්කරණය කිරීමට යෝජනා වන්නේ ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් අන්තර්ජාතික ආයතන සතුටු කිරීමට වීමට පුලුවන. ඉදිරි මාස කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි ණය මුදලක් ලබාගැනීමටත් ඉන්දියාව සමග නව වෙළඳ ගිවිසුමකට ඇතුලත් වීමටත් ආණ්ඩුව අපේක්ෂා කරන අතර මෙකී ක‍්‍රියාමාර්ග විසින් ලංකාව ගෝලීය ප‍්‍රාග්ධන හා භාණ්ඩ වෙළඳපොල සමග වඩාත් සමීපව ආබද්ධ කරනු ඇත.

ආර්ථික සමුලුව තුල රැකියා මිලියනයක් උත්පාදනය කිරීම සම්බන්ධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ අදහස් ඉදිරිපත් කෙරුණු නමුත් එය ඉටු කරගන්නේ කෙසේද යන්න ගැන එකදු හෝ සංයුක්ත ප‍්‍රකාශයක් ඉදිරිපත් නොවීය. කෙසේ වූවද ආණ්ඩුවේ ප‍්‍රමුඛතම ආර්ථික සංවර්ධන වැඩසටහන වී තිබෙන මෙගාපොලිස් ව්‍යාපෘතිය පිළිබඳ බොහෝ කථා බහ ඇති විය. බස්නාහිර පළාතේ වඩා වැඩි පදාසයක් ආවරණය වන ලෙස කොළඹ නගරය කේන්ද්‍ර කොට ගත් නාගරික ප‍්‍රසාරණයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂිත අතර ප‍්‍රාග්ධන ගලා ඒම් අවශෝෂණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වේ. කොළඹ ඇතැම් ප‍්‍රදේශවල ඉඩම් මිල ගණන් දෙගුණ වී තිබීම හා තවත් ඇතැම් තැන්වල එය තෙගුණ වී තිබීම සාධනීය දෙයක් ලෙස නිරීක්ෂණය වූ අතර මෙය මහා පරිමාණ නාගරික යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය වීම සම්බන්ධයෙන් යහපත් කරුණක් යැයි සලකන ලදී. කෙසේ වූවද ඉඩම් වෙළඳපොල බුබුලක් නිර්මාණය වීම කෙටිකාලීනව දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රය තුල සමපේක්ෂණමය ආයෝජනය වැඩි වීමට හේතුවිය හැකි වූවත් එය අවසානාත්මකව අර්බුදකාරී තත්වයකට හා භුක්තිය අසන්තක වන තත්වයකට මෝරා යාමේ ඉහළ අවදාමක් ගැබ් කරගත් වර්ධනයකි. 1990 ගණන්වල අගභාගයේ නැගෙනහිර ආසියාවේ ඇති වූ මූල්‍ය අර්බුදය සහ මෑතකාලීන ගෝලීය ආර්ථික අර්බුදය විසින් පෙන්නුම් කරනු ලැබූයේ මෙන්න මේ අවදානම පුපුරා යෑමය. මේ කරුණු පිළිබඳ කිසිදු අවධානයක් සමුලුව තුළ දී යොමු නොවීය.

අනාගත අවදානම්

ජාතික මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිට ගම්බද ගෘහ ඒකක දක්වා ආර්ථිකයේ සෑම තලයක්ම ණයගැතිභාවයෙන් පරිපීඩිතව පවතින මොහොතක ඉහළ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳ ලංකාවේ දැක්ම ප‍්‍රශ්නකාරී එකක් වන්නේය. රට තුළ මෙන්ම රටෙන් බාහිරව ද විවිධ වූ පාර්ශවවල සහයෝගය සහ මැදිහත්වීම මේ ප‍්‍රශ්නයට අදාලව ශ‍්‍රී ලංකාවට අවශ්‍යයය. රට තුළ සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් දුලභ වීම තුළ කලාපයේ ප‍්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයින්ගේ සහයෝගය මේ සඳහා ලංකාවට වැදගත් වනු ඇත. කෘෂි හා ධීවර ක්ෂේත‍්‍රවලින් සමන්විත රටේ ග‍්‍රාමීය ආර්ථිකය තුළ පුනර්ජීවනයක් ඇති කිරීම, යෝග්‍ය නිෂ්පාදන හා කාර්මික රැකියා නිර්මාණය කිරීම සහ රාජ්‍ය මූල්‍ය රාමුව අලුත්වැඩියා කිරීම සඳහා විවේචනාත්මක දේශපාලන ආර්ථික සිතීමක් අවශ්‍යයය. විශේෂයෙන්ම ලංකාව පසුකරමින් සිටින දුර්වල දේශපාලන මොහොතට අදාලව මෙය වඩාත් වැදගත්ය. ඓතිහාසික උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රමය ප‍්‍රගතිශීලී ලෙස වෙනස් කිරීම සඳහා 1950 ගණන්වල ඉදිරිපත් වූ යෝජනා කෙරෙහි ප‍්‍රබල ලෙස බලපෑවේ ඉන්දියාවේ හා ලංකාවේ බදු ක‍්‍රමය ආශ‍්‍රිත ගැටලු පිළිබඳ අධ්‍යනයෙහි යෙදී සිටි කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ නිකොලස් කැල්ඩෝර් ගේ අදහස් හා නිර්දේශයන්ය. කැල්ඩෝර් නිර්දේශ පසුකාලීනව අසාර්ථක වූ එක් හේතුවක් වූ කලී ලංකාවේ දේශපාලන ආර්ථිකය වටහා ගැනීමේ දී සිදුවූ දුර්වලතාවයන්ය. හාවඞ් ආර්ථික විද්‍යාඥ රිකාඩෝ හවුස්මන් ආර්ථික සමුලුවට පෙර ලංකාවේ ගත කොට තිබුණේ එක් දවසකටත් වඩා අඩු කාලයකි. මේ වර්ගයේ විශේෂඥයින්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට අප පොළඹවන වර්ගයේ මනා සිහි කැඳවීමකි කැල්ඩෝර් අත්දැකීම.

කොළඹ ප‍්‍රභූ තන්ත‍්‍රය බටහිර වෙත ආකර්ෂණය වී සිටින්නේ ඕනෑම මිලක් ඒ වෙනුවෙන් ගෙවීමට සූදානමිනි. වසර දහ හතරකට පෙර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ කෙටි කාලීන පාලන යුගය සමයේ ජනවාර්ගික ගැටුම සමථයකට පත් කිරීම සඳහා ඇමරිකානු ආධිපත්‍යයේ පිටුබලය සහිතව නෝර්වීජියානු විශේෂඥයින්ට ලංකාවට ඇරයුම් කෙරිණ. නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් හා අතිනත ගෙන ක‍්‍රියාත්මක වූ එම නෝර්විජියානු සාම ප‍්‍රයත්නය අවසාන වූයේ ඛේදනීය ලෙසය. මහපොළොවේ තිබෙන දේශපාලන හා ආර්ථික යථාර්තයන් පිළිබඳ නොසලකා සිදුවන ජාත්‍යන්තරකරණය අවසානයේ උපකාරී වූයේ දෙපාර්ශවයේම සන්නද්ධ කොටස් බලගැන්වීමට, යුද්ධය ඛේදනීය ලෙස අවසාන වීමට, අධිකාරිවාදී මිලිටරිවාදී රෙජිමයක් ශක්තිමත් වීමට හා අවසාන වශයෙන් වාර්ගික ධ‍්‍රැවීකරණය වඩාත් තීව‍්‍ර වීම කෙරෙහිය. ලංකා ආර්ථිකයේ දුක් වේදනාවලට අදාලව සිදුවන වත්මන් ජාත්‍යන්තර මැදිහත්වීම් නිසා ඇති විය හැකි ඒ හා සමාන දුර්විපාකයන් අතිශය පැහැදිලිය. මේ තුළ අවදානමට ලක්වීමට නියමිත ආණ්ඩුවේ සුජාතභාවය සහ ආර්ථික ප‍්‍රතිපත්තිවල විශ්වසනීයත්වය පමණක් නොවේ. දැනට නිර්මාණය වෙමින් තිබෙන අර්බුද භරිත නව ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුලින් ඇති කළ හැකි දේශපාලන විසඳූම සහ යුද්ධය විසින් ඇති කළ දේශපාලන හා සමාජ උරුමය ආමන්ත‍්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය ද අනතුරේ හෙලීමට නියමිතය.

*පරිවර්තනය – රමිඳූ පෙරේරා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.