15 December, 2017

Blog

දොස් දැකීමේ ඇබ්බැහිය: ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම

එම්. එස්. එම්. අයුබ් –

දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය සහ කොටි සංවිධානය හෝ ඊලාමය අතර යම් සම්බන්ධයක් ඇතැයි විරුද්ධ පක්ෂය විසින් සොයා ගනු ලැබීමයි.

GL-Peiris-colombo telegraphදැනුත්, වර්තමාන යහපාලන ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට යත්න දරද්දී, ඒ වෙනුවෙන් වන යෝජනා මාලාවක් ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කිරීමටත් කලින්ම, රටේ ඒකීය භාවය නැති කිරීමට සහ බුද්ධාගමට දී ඇති තැන නැති කිරීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවට, මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම මේ අලූත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ හිල් සෙවීමට එසේ බලන අතරේ, මුලින්ම ආණ්ඩුවේ යෝජනා රට ඉදිරියේ තැබිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.

මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ආණ්ඩුවක් ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක් හමුවේ, පවතින විපක්ෂය පටු දේශපාලනික පරමාර්ථ පෙරදැරිව ඊලාම් ගෝනි බිල්ලා මැවීමට කටයුතු කළද, එම විපක්ෂය බලයට පැමිණි පසු ඔවුන්ද යන්නේ අර කී මාවතේමයි. උදාහරණයක් වශයෙන්. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම, අතීතයේ ඔවුන් බලයේ සිටි යම් එක් අවස්ථාවකදී හෝ ෆෙඩරල් ක‍්‍රමයක් ගැන කතා කොට ඇත. ඒ සෑම අවස්ථාවකදීම, 2002 දී හැරුණු කොට, පවතින විපක්ෂය ඊට එරෙහිව මහා ඝෝෂාවක් නගා තිබේ.

ෆෙඩරල් ක‍්‍රමයක් අනුදත් ප‍්‍රථම දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මහා විරෝධතා මැද්දේ, 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාරව, පළාත් සභා ක‍්‍රමය ගෙනාවේ ඔවුන් ය. පළාත් සභා ඇති කිරීම මගින්, ව්‍යවස්ථාදායක සභා එකකට වැඩි ගණනක් පත්කර ගැනීම හරහා ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විණැයි එදා පාලනය හෙබැවූ ජේ. ආර්. ජයවර්ධන පිළිගත්තේ නැත. මේ අතර, සී.ජී. වීරමන්ත‍්‍රී වැන් නීති විශාරදයෝ, ෆෙඩරල් මැලේසියාවට වඩා ලංකාව බලතල බෙදාහැර ඇතැයි පෙන්වා දුන්හ.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයක් බලයට පත්විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡුා මාර්ගයෙන් සාමයක් ඇති කර ගැනීමට ගත් ප‍්‍රයත්නය ව්‍යර්ථ වූ තැන, 1995 දී ඇගේ ආණ්ඩුව, ප‍්‍රකට ‘පැකේජය’ ඉදිරිපත් කෙළේය. ඒ වූ කලී, එදා ව්‍යවස්ථා කටයුතු භාර ඇමති මහාචාර්ය ජී. ඇල්. පීරිස් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, ජාත්‍යන්තර කීර්තිමත් ආචාර්ය නීලන් තිරුචෙල්වම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවකි.

මේ ‘පැකේජය’ තුළ, ඒකීය රාජ්‍යයක් පිළිබඳ කතාවක් නොවුණි. එවැන්නක් නොතිබුණා පමණක් නොව, ඒ වෙනුවට එයින් යෝජනා කෙරුණේ, ‘පළාත් සංගමයකි’. එහෙත් එවැනි ‘පැකේජයක්’ ඉදිරිපත් කිරීම ගැන හෝ බලය බෙදා හැරීමට එවැනි ප‍්‍රයත්නයක් ගැනීම ගැන හෝ, අද කෑගසන එදා එම ආණ්ඩුවේ සිටි කිසි නායකයෙකු හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි නායකයෙකු කිසි දවසක කටක් හොල්ලා නැත.

අනතුරුව, ජාතික ප‍්‍රශ්නය විසඳීම අරමුණු කර ගත් දීර්ඝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලියකින් පසු එම තේරීම් කාරක සභාවේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් විසින් 1997 ඔක්තෝබර් 24 වැනි දා, එදා සන්ධාන ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනා මාලාවක් ඉදිරිපත් කෙළේය. එම යෝජනා මාලාව තුළවත්, ‘ඒකීය රාජ්‍යයක්’ යන යෙදුමක් දක්නට ලැබුණේ නැත.

ඊළඟට නැවතත්. 2000 අගෝස්තු 3 වැනි දා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුව අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එය ෆෙඩරල් ව්‍යවස්ථාවක්ය යන්න සැඟවීමට එදා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කිසි උත්සාහයක් ගත්තේ නැත. එසේම, එහි අඩංගු කිසි යෝජනාවකට විරුද්ධව එදා එම ආණ්ඩුවේ සිටි කිසි ඇමතිවරයෙකු කිසිවක් කීවේද නැත. එම කෙටුම්පත තුළින්, උතුරු නැගෙනහිර දෙපළාත තවත් අවුරුදු 9 ක කාලයකට ඒකාබද්ධ කිරීමටත් යෝජිතව තිබුණි.

ලංකාවේ ආණ්ඩුවක් විසින් ෆෙඩරල් මාදිලියේ ආණ්ඩු ක‍්‍රමයක් භාර ගැනීමේ වඩාත් විවෘත ප‍්‍රකාශනය වුණේ, 2002 දෙසැම්බර් මාසයේ නෝර්වේ අගනුවර ඔස්ලෝහිදී ඇති වූ සාකච්ඡාවන්හි තුන්වැනි වටයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇති වූ එකඟත්වයයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ සිටියදී ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි ජී. ඇල්. පීරිස්ම, මේ අවස්ථාවෙදීත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් මේ සාකච්ඡා වටයේ නායකත්වය දැරීය.

2003 අප්‍රේල් 21 වැනි දා එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ සාකච්ඡුාවලින් ඉවත් විය. අනතුරුව, 2003 අවසාන භාගයේදී, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වන අන්තර්වාර පරිපාලනයක් සඳහා ‘‘අන්තර්වාර ස්වයං පාලන අධිකාරියක්’’ පිළිබඳ සැලැස්මක් එල්.ටී.ටී.ඊ, සංවිධානය ඉදිරිපත් කෙළේය. උතුරු නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් සඳහා වන සැඟවුණු සැලැස්මක් එම යෝජනාව තුළ ඇතුළත් වුවත්, ඒ මගින් ජනාධිපතිවරයාගේ, පාර්ලිමේන්තුවේ සහ රටේ අධිකරණයේ බලාධිකාරය හෑල්ලූ කිරීමේ ශක්‍යතාවක් පෙන්නුම් කළත්, එම යෝජනාව මත පදනම්ව යළි සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවත්, ආණ්ඩුවේ සාම නියෝජිත කණ්ඩායමත් සූදානම්ව සිටියේය.

ඉන් අනතුරුව, 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල් විසඳුමක් සඳහා වන ඔස්ලෝ එකඟතාවට අනුගත වීමේ අවශ්‍යතාව සිය මැතිවරණ ප‍්‍රකාශනය තුළින් කියා සිටියේය.

ප‍්‍රධාන පක්ෂ දෙකම, ෆෙඩරල්වාදය, රට බෙදීම සහ ඒකීය රාජ්‍ය ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ ගෝනි බිල්ලෙකු විටින් විට මැව්වත්, එම පක්ෂ දෙකම 1980 දශකයේ අවසානයේ සිට බලය බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිගෙන ඇති බව ඉහත කී නිදසුන්වලින් පැහැදිළි වෙයි. විටෙක ඒකීය ස්වභාවය අවධාරණය කර ඇති අතර එම පක්ෂ දෙකම, තවත් විටෙක ෆෙඩරල් ක‍්‍රමයත් භාරගෙන ඇත. කෙසේ වෙතත්, ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමය යන්නෙන් මොවුන් සියල්ලන්ම අදහස් කරන්නේ එකම දෙයක්දැයි පැහැදිළි නැත. වරක් පුවත්පතක විශේෂාංග ලිපියක් සඳහා විවිධ පක්ෂ නායකයන්ගේ අදහස් විමසා සිටි මට හැඟුණේ, ෆෙඩරල් ක‍්‍රමය ඔවුන් අර්ථ ගන්වන්නේ, අන්ධයෙකු විසින් අලියෙකු හඳුනා ගන්නා ක‍්‍රමයට සමාන ආකාරයකින් බවයි.

1986 දී මුල් වරට පළාත් සභා ක‍්‍රමය ගැන කතිකාව මතුවූ අවස්ථාවේ, ජාත්‍යන්තර අධිකරණයේ හිටපු උප සභාපති, මහාචාර්ය සී. ජී. වීරමන්ත‍්‍රී ඉදිරිපත් කළ පැහැදිළි කිරීමේ ලියවිල්ලක අදාළ වාක්‍ය කිහිපයක් උපුටා දැක්වීම මෙහිදී ප‍්‍රයෝජනවත් විය හැකිය.

‘‘රාජ්‍යයක් ඒකීයද නැද්ද යන්න නිශ්චය කරනු ලබන්නේ, එම වචනය පැහැදිළි කෙරෙන යෙදුම්වලට වඩා, රාජ්‍යයක් තුළම වන බලය බෙදා හැරීමේ යථාර්ථයන් විසිනි.’’

‘‘ආණ්ඩුක‍්‍රම නීතිය තුළ ඒකීය යන්න පාවිච්චි කෙරෙන්නේ ‘ෆෙඩරල්’ යන්නට ප‍්‍රතිපක්ෂවයි. ෆෙඩරල් යනුවෙන් අදහස් වන්නේ, බල කේන්ද්‍රය සහ පරිවාර ඒකක අතර ස්වෛරී බලය බෙදා හැරීමක් සහිත, අර්ධ-ස්වතන්ත‍්‍ර ඒකකවල සංගමයකි.’’

‘‘ඒකීය රාජ්‍යයක් තුළ, ස්වෛරී ව්‍යවස්ථාමය බල විභජනයක් නැත. අධීක්ෂණ බලය කේන්ද්‍රය තුළ තබා ගනිමින්, රාජ්‍ය බලයේ විවිධ ආකෘති, නියෝජිත ව්‍යවස්ථා සම්පාදනයේදී මෙන්, (වෙනත් ඒකකවලට) පවරා දිය හැකිය. බලය පවරා දෙන ලද නියෝජිතයාට, ඔහුගේම බලයක් අභ්‍යාස කරමින් ව්‍යවස්ථා සම්පාදනයේ යෙදිය නොහැක.’’

‘‘නිර්දේශිත විෂයයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ යෙදීමට පළාත් සභාවලට බලය තිබේ. ඒ අනුව ගත් විට, යෝජිත වැඩපිලිවෙල, පැහැදිළිවම ෆෙඩරල් ක‍්‍රමයකි. එහිදී පවා, වෙනත් සමකාලීන ෆෙඩරල් ක‍්‍රමවලට වඩා වැඩි බලයක් පර්යන්ත ඒකකවලට මෙහිදී පවරා දෙනු ලැබේ.’’

‘‘වෙනත් වචනවලින් කිවහොත්, ෆෙඩරල් ක‍්‍රමයක් අන්ත දෙකක් වෙත විහිදිය හැකිය. එකක් වන්නේ, ඒකීය රාජ්‍යයකට ආසන්නයේ වන තත්වයකි. අනික වන්නේ, බොහෝ දුරට ස්වාධීන වන ඒකකවලින් සමන්විත ලිහිල් සහසන්ධීනයයකි.’’

මෙහි අදහස වන්නේ, 1988 පළාත් සභා ක‍්‍රමය ඇති කර ගැනීමේ සිට ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍ය භාවය අහිමි කරගෙන තිබෙන බවක් ද?

*2016 ජනවාරි 15 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “The Habit of Getting it Wrong by Design: Demonising Constitutional Changes the Pot Calling the Kettle” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.