20 April, 2024

Blog

ලසන්තගේ දියණිය අහිම්සා මෛත්‍රීට යැවූ ලිපිය

2018 නොවැම්බර් 20 දින

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 

ජනාධිපති ලේකම් කාර්යාලය 

ගාලුමුවදොර 

කොළඹ 1 

හිතවත් සිරිසේන ජනාධිපතිතුමනි ,

පොලිස් පරීක්ෂක ඒඩ්රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ඔබ ගත් තීරණය 

2018 නොවැම්බර් මස 18 වන ඉරිදා දිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ 73 වන උපන්දිනයයි. එම දිනය සැමරීමට ජනාධිපති රාජපක්ෂ ඔහුගේ නිල නිවාස අසල පන්සලක සිදු කළ පින්කමට ඔබගේ පොලිස්පතිවරයා වන පුජිත ජයසුන්දර ද සහභාගී විය. හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ ද කැටිව සැමරූ පුජිත ජයසුන්දර ඉන් පසු පොලිස් මූලස්ථානය වෙත ගියේය. එහිදී  ඔහු 2018 නොවැම්බර් මස 18 වන දාතමින් අංක D/HRM/ADM/1869/2018 දරන සේවා ස්ථාන මාරු කිරීමේ නියෝගය​ අත්සන් තැබුවේය.

ඔබ ඉතා හොඳින් දන්නා පරිදි එම සේවා ස්ථාන මාරු නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල​ ඒකකය භාර නිලධාරියාව සිටි පොලිස් පරීක්ෂක එඩ්රියන් නිශාන්ත සිල්වා ව අනිර්දිෂ්ට “සේවා අවශ්‍යතාවයක්” මත මාරු කර හැරීමටය. බැලූ බැල්මට නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස්පතිවරයා වුවද, එම නියෝගය ඔහු නිකුත් කළේ ඔබගේ දැඩි ඕනෑකම මත සහ සිය දැඩි අකමැත්ත මත බවට පොලිස්පතිවරයා සැඟවූයේ  නැත. එය කොතරම් කාරුණික උපන්දින තෑග්ගක්ද? නමුත් උපන්දිනය මහින්දගේය; ගෝඨාභය ගේ නොවේය.

2009 ජනවාරි 8 වන දින ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔබ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හරියටම වසර හයකට පෙර මගේ පියා වන ලසන්ත වික්‍රමතුංගව කෲර ලෙස ඝාතනය කරන ලදී. ඔබේ මැතිවරණ වේදිකාව එවැනි සාපරාධි ඝාතන වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දුන් වේදිකාවක් විය. මා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ව හඳුනන්නේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිලිබඳ අපරාධ පරීක්ෂණය මෙහෙයවනු ලැබු නිලධරයා වශයෙනි. 

2009 ජනවාරි මස වවුනියාවේදී තරුණය දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ව අමු අමුවේ ඝාතනය කරන ලදී. ඔවුන්ගේ මල කඳන් අනුරාධපුරයේදී දවා අළු කරන ලද අතර එය එසේ සිදු කළේ ඔවුන් සතු මෝටර් සයිකලය මගේ පියාගේ ඝාතනය කල ස්ථානයේ සාක්ෂියක් වශයෙන් තැබීමටය. මගේ පියාගේ ඝාතකයින් හඳුනා ගැනීමට ඉවහල් විය හැකි ඔහුගේ අවසන් වචන ලියැවුණු දිනපොත් සටහන් විනාශ කර දැමීමට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ක්‍රියා කළෝය​. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වා නිසාවෙනි. පසු ගිය වසර දෙක ඇතුලත ඔහු වෙහෙස නොබලා අනුරාධපුරයේ සහ වවුනියාවෙහි සැරිසරමින් සාක්ෂිකරුවන් දුසිම් ගණන් ප්‍රශ්න කළේය. දශකයකට වඩා පැරණි සාම්පල මත DNA ජාන පරීක්ෂණ සිදු කිරීමට විධානය කළේය. ඒ සියල්ල අවසානයේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයකු ඇතුළු මෙම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් ව අත් අඩංගුවට ගත්තේය.  

2010 ජනවාරි 8 වන දින අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුව විසින් මගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ හෙළිදරව්වක් සිදු කර ගන්නා ලදී. එනම් නුවර එලිය ප්‍රදේශයේ කාර්මිකයකු විසින් “ට්‍රිපොලි” සන්නද්ධ ඔත්තු පාබල ඛණ්ඩයේ සොල්දාදුවකු එම කාර්මිකයාගේ ජාතික හැඳුනුම් පත භාවිතා කරමින් ජංගම දුරකතනයකට සිම් පතක් ලබා ගත් පුද්ගලයා ලෙස හඳුනා ගැනීමය. එම සිම් පත යොදා ගනු ලැබුයේ මගේ පියාගේ ඝාතනය සංවිධානය කිරීමෙහි සන්නිවේදන කටයුතු සඳහාය. එම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් වල තීන්ත වෙලේන්නටත් පෙර සර්වබලධාරී ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කලේ කුමක්ද? ට්‍රිපොලි සන්නද්ධ ඔත්තු පාබල ඛණ්ඩයේ අණ දෙන නිලධාරියාව සැණින් ඩැහැ ගෙන තානාපති සේවයේ රැකියාවක් සඳහා විදේශයකට පිටත් කර යැවීමය. රැය පහන් වෙන්නට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙම පරීක්ෂණය ඉවත් කරන ලද අතර එය ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙන ලදී. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉහත සඳහන් අහිංසක කාර්මිකයාව අත්අඩංගුවට ගෙන ට්‍රිපොලි පාබල ඛණ්ඩයේ ඇති සියලු සම්බන්ධතා වැසෙන පරිදි සාක්ෂි මවන ලදී. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වා ට ස්තුති වන්නටය. එම අසරණ කාර්මිකයා 2011 ඔක්තෝම්බර් මස රිමාන්ඩ් භාරයේදී අභිරහස් ලෙස මිය නොයන්නට අපට මීටත් වඩා කරුණු දැනගන්නට හැකි වන්නට තිබුණි.  

මා විසින් නිශාන්ත සිල්වා හඳුනා ගනු ලැබුයේ මගේ පියාගේ ඝාතනය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු මෙල්බර්න් නුවරදී මා හමු වූ අවස්ථාවේදීය. මා ඔහු හට පැවසුයේ මගේ පියා මට විවිධ අවස්ථා වලදී ප්‍රකාශ කර සිටියේ මිග් ගණුදෙණුවේ දූෂණය හෙළි කිරීම නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ වීසින් තමාව ඝාතනය කරනු ලබනු ඇති බවට ඔහු විශ්වාස කරන බවය. නිශාන්ත සිල්වා නිර්භයව මගේ ප්‍රකාශය ගල්කිස්ස අධිකරණයට වාර්තා කළේය. මගේ පියාගේ ඝාතනයට අණ දුන්නේ කවුද යන්න තීරණය කල හැක්කේ අධිකරණයකට පමණි. නමුත් මිග් ගණුදෙණුව පිළිබඳව මගේ පියා නිසැකයෙන්ම නිවැරිදි විය. ඒ මක් නිසාද යත්, බරපතල මුල අපරාධ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙවූ මුදලින් අඩක් අතරමැදියන් වීසින් පවත්වාගෙන ගිය රහස් කොම්පැනියක් මගින් සොරා ගන්නා ලදී. මගේ පියා විසින් මෙම​ හෙළිදරව්ව සිදු කරන අතර තුර එම ගනුදෙනුවේ හරි මැද සිටියේ කවුරුන්ද? ගොටාභය රාජපක්ෂගේ ඥාති සොයුරා වන උදයංග වීරතුංග ය. 

මා නිශාන්ත සිල්වා හඳුනා ගත දින සිටම ඔහුගේ සෞම්‍ය, නිහතමානි ගතිගුණ සහ රැකියාවට ඇති කැපවීම නිරීක්ෂනය කලෙමි. ඔහු විසින් සිදු කරගෙන යනු ලබන ඉහල ඝනයේ අපරාධ පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව මම පුදුම වුනෙමි. 2008 මැයි මස කීත් නොයාර් ව කෲර ලෙස පැහැර ගෙන ගොස් වධ හිංසා කිරීමේ අපරාධයද විමර්ශනය කරනු ලැබුයේ නිශාන්ත සිල්වා විසිනි. පැහැර ගත් කීත් නොයාර්ට දරුණු වධ හිංසා සිදු කිරීමට සම්බන්ධ මිලියන ගණනක් දුරකථන සංවාද වාර්තා සාක්ෂිකරුන්ගෙන් වාර්තා කර, සිය ගණනක් ප්‍රකාශ සොයා ගනු ලැබුවේද, රහස් ඔත්තු සේවයට අයත් ආරක්‍ෂිත නිවසක් තුලදී නොයාර්ව කෲර වධ බන්ධයන්ට ලක් කිරීම පිළිබඳව සාක්ෂි සොයා ගනු ලැබුවේද, ඒ හා සම්බන්ධව හිටපු හමුදා ප්‍රධානියෙකු (chief of staff) ඇතුළු හමුදා නිලධරයන් අත් අඩංගුවට පත් කරනු ලැබුයේද එම විමර්ශනය භාරව සිටි නිශාන්ත සිල්වා විසිනි. මෙම සක කරුවන් අතරින් 7 දෙනෙකු මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ කුප්‍රකට “ට්‍රිපොලි” සුදු වෑන් පාබල ඛණ්ඩයට අයත් වූවන් විය. 

වෙන මොනවත් අවශ්‍ය​ නැත! නිශාන්ත සිල්වා එම කුප්‍රකට සුදු වෑන් රථයද සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඔබේ ජනාධිපතිවරණ චන්ද ව්‍යාපාරය තුල “මරණයේ රිය” ලෙස විරුදාවලි ලැබූ , ඔබේ ප්‍රතිවාදියාගේ කෲරත්වයේ සංකේතය ලෙස ඔබ හැඳින්වූ ඒ වෑන් රිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුගේ වෘත්තීමය ජීවිතයට අකුල් හෙළනවා වෙනුවට ඔහුට ඔබ උසස් වීමක් ලබා දෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්නට ඇත. “ජාතික ආරක්ෂාව” හේතු වශයෙන් දක්වා ඔබ පෞද්ගලිකවම හමුදාවට නියෝගයක් නිකුත් කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය විසින් ඉල්ලා සිටි හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට අයත් වාර්තා සහ අත්‍යවශ්‍ය ලිපි ලේඛන ඔවුන්ට ලබා නොදෙන ලෙසය. ඔබගේ එම විධානය නොවන්නට මෙම අපරාධයන් විධානය කළවුන් සහ ට්‍රිපොලි පාබල ඛණ්ඩය අතර සම්බන්ධතාවය දැනටමත් සොයාගෙන තිබෙනු ඇත.   

කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ ව 2010 ජනාධිපතිවරණය සිදු වූ රාත්‍රියේ දී පැහැරගෙන ගොස් ඝාතනය කල හමුදා බුද්ධි අංශ ඛණ්ඩය හඳුනා ගෙන ඔවුන්ව අත් අඩංගුවට පත් කරන ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. තවද ඔහුගේ විමර්ශන කණ්ඩායම විසින් දස දහස් ගණන් දුරකථන සංවාද, වාර්තා, සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ දහස් ගණනක් පීරමින් මෙම විමර්ශනය සිදු කරන ලදී. අවම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් විසින් ප්‍රකාශ කරනු ලැබුයේ එම ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විධානය පරිදි සිදු වූ බවය. 

2005 වසර මුල් භාගයේ ඇවන්ට් ගාර්ඩ් අවි ගබඩාව පිළිබඳව නිරාවරණය කිරීම තුලින් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම පැනවීම දක්වා දිවුණු  විමර්ශනය සිදු කරනු ලැබුවේ නිශාන්ත සිල්වා විසිනි. ඔහු සහ ඔහුගේ වීමර්ශන කණ්ඩායම ඇති විශාල කාර්යභාරයක් සිදු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ අණින් ශ්‍රී ලංකා වෙරල තීරයේ ගිල්වා සඟවන ලද පුපුරන ද්‍රව්‍ය, එම අවි ගබඩාවට අයත් අවි ලයිසතු, බැංකු ගිණුම් විස්තර සොයා ගන්නා ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ නීතිපතිවරයා විසින් 2015 ජූනි මස ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, ගිනි අවි පනත සහ පුපුරන ද්‍රව්‍ය පනත යටතේ සිදු වුනු අපරාධ පිලිබඳ කරුණු නිරාවරණය නොකළ හැකි බවට තීරණය කල අවස්ථාවේ එම වටිනා විමර්ශනය ශුන්‍ය භාවයට පත් විය. 

2008 සහ 2009 වසර තුල තරුණයන් 11 දෙනෙක් කෲර ලෙස පැහැර​ ගෙන යන ලදී. ඔවුන් ව නිදහස් කිරීමට ඔවුන් ගේ පවුල් වලින් කප්පම් ඉල්ලා, ඉන්ඳ නොනැවතී ඔවුන්ව අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව නාවුක හමුදාවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කිහිපදෙනෙක් ගේ සම්බන්ධය ඉතා සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස සොයා ගන්නා ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. එම නාවුක හමුදා නිලධරයන් අත්අඩංගුවට පත් වූ අතර හිටපු නාවුක හමුදාපති හෙවත් වත්මන් Chief of Defence Staff එම දරුණු අපරාධයට සම්බන්ධ වුවන් රැකගැනීමට සහ ඔවුන්ව ආරක්‍ෂිත ලෙස රටින් පිටතට ගෙන යාමට සම්බන්ධය. 

දෛවයේ සරදමක් ලෙස ඔබ හට නිශාන්ත සිල්වා LTTE අතකොළුවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති “කරුණු” ඉදිරිපත් කර ඇත්තේ නිශාන්ත සිල්වා විසින් අත්අඩංගුවට ගැනීමට ඉදිපත් කල හමුදා ප්‍රධානියාමය (Chief of Defence Staff) ! ශ්‍රී ලංකා පොලිසියේ සිටින වඩාත්ම සේවට කැපවුණු නිර්භීත රහස් පරීක්ෂකයකුගේ කීර්ති නාමය​ විනාශ කිරීමට ඔබ ඔබගේ පොලිස්පතිට බලෙන් ගිල්ලවූ “ඔත්තු සහ සාක්ෂි” පැමිණියේ එවැනි හමුදා නිලධාරියෙකු ගෙනි. 

මම නිශාන්ත සිල්වා ගැන විශේෂයෙන්ම කනගාටු වෙමි. මගේ ජීවිතය පුරාවටම මා දුටුවේ මගේ පියා කිසිවකුගේ දූෂණයක් හෙළි කල විට, දිදුලන සත්‍යය විසින් සිය ප්‍රතිරූප සුනු විසුනු කර ගත්තවුන් කිසිදු සාක්ෂියකින් තොරව මගේ පියාට “LTTE අතකොලු” ලේබලය ඇලවීමයි. ඔහු විසින් මිග් ගනුදෙනුව හෙළි කල විට ආරක්ෂක අමාත්යංශය විසින් සිදු කලේ ඔහුගේ පුවත්පත LTTE සංවිධානයේ අංගයක් බව ප්‍රචලිත කිරීමය. නමුත් සත්‍යය නිරාවරණය වෙයි. සත්‍යය සැමවිට අවසානයේ නිරාවරණය වෙයි. 

සත්‍යය නම් නිශාන්ත සිල්වා යනු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ඉතිහාසය පුරාවටම LTTE සංවිධානයට සිටින ලොකුම කරදරකාරයාය. කනිෂ්ට නිලධරයකු ලෙස ඔහු LTTE බුද්ධි අංශයේ ජාලයන් සුනු විසුනු කල පරීක්ෂණ වලට සහභාගී විය. ඒ අතර 2000  වසරේදී කටුනායක ගුවන් තොටුපොල ප්‍රහාරය දියත් කල LTTE බුද්ධි අංශ ජාලයද වෙයි. 2006 වසරේදී ගොටාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා ට එල්ල කල LTTE ප්‍රහාර සහ 2008 වසරේ ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ විමර්ශන තුලින් එම LTTE බුද්ධි ජාල සොයා ගොස් ඒවා දැදුරු කරනු ලැබුවේද ඔහු විසිනි.  

ජාතික වීරයකු බඳු වූ නිශාන්ත සිල්වා නැමති රාජ්‍ය සේවකයාව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීමට දත කෑමට තරම් ඔබ පිරිහී ඇත්තේ ඔබගේ අලුත් දේශපාලන සඟයන් ව සතුටු කර ඔවුන්ගෙන් “ලකුණු දමා ගැනීමට” විය යුතුය. නමුත් එසේ කිරීම තුලින් ඔබ ඔබගේ පූර්ව ප්‍රාප්තිකයන් කිසිවෙකුත් නොවැටුණු පහත තැනකට ඔබගේ ධූරයේ ගෞරවය ඇද දමා ඇත. මගේ පියා විවිධ කාල වලදී ජනාධිපති කුමාරතුංග සහ රාජපක්ෂ වැනි ජනාධිපතිවරුන් සමඟ​ ඉතා දරුණු විවාද වල එල්බ සිටියේය. ඔවුන් ඔහුට විවිධ කෲර වචන භාවිතා කල අතර ඇතැම් විට එසේ නොකීවා නම් හොඳ යයි ඔවුන්ම සමහර විට සිතනවා ඇත. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක අයෙකුවත් මගේ පියා LTTE හිතවාදියකුයි හංවඩු ගැසීමට තරම් පහත් තත්ත්වයකට ඇද වැටුනේ නැත. එතරම් ම ගර්භිත මිනිසුන් සිටින්නේ දෙදෙනෙකි. ඒ ගොටාභය රාජපක්ෂ සහ ඔබය.  

ඔබ විසින් මේ රටෙහි ව්‍යවස්ථාව සුරැකීමට ප්‍රතිඥා දී ඇති බව මා ඔබට මතක් කර දෙන්නෙමි. ඔබ හමුදාපතිවරයකු හෝ සුදු වාන් වලින් රාජ්‍යය පවත්වාගෙන ගිය වුන් ආරක්ෂා කිරීමට ප්‍රතිඥාවක් දී නැත. මොවුන් මේ අපරාධ වලට සැබවින්ම වගකිව යුතුයි මම නිශ්චිතව දන්නේ නැත. එය ඔබ දන්නේ ද නැත. ඔය නිශාන්ත සිල්වා වැන්නවුන් විමර්ශනයට ලක් කර අධිකරණයක කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් තහවුරු කල හැක්කකි. ඒ සඳහා වෙහෙස​ නොබලා සිය රාජකාරිය ඉටු කරමින් සිටි නිශාන්ත සිල්වාගේ දණහිස් බිඳ දැමීමය ඔබ විසින් කර ඇත්තේ. අපගේ යුතුකම වන්නේ එවැනි විමර්ශන සිදු කරන්නවුන්ට කවර ආකාරයකින් හෝ උපකාර කිරීමය. එහි තේරුම නම්, සාක්ෂිකාරියක ලෙස මා විසින් සම්පූර්ණ සත්‍යය හෙළි කිරීමය. ඔබගේ කාර්යය නම් රාජ්‍ය නායකයා ලෙස නීතිය ඔබගේ පෞද්ගලික බැඳීම්, දේශපාලන අවශ්‍යතා සහ සිතු මනාපයන්ට වඩා ඉහලින් තැබීමය. ඔබ විසින් සිදු කළ යුත්තේ මෙම විමර්ශනයන් සිදු කරන්නවුන්ට අධිකරණය ඉදිරියේ සත්‍යය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන සම්පත්, දේශපාලන ආධ්‍යාශය සහ උපකාරයන් සැපයීමය. ඒ සියල්ලටමත් වඩා, ඔබගේ කාර්යභාරය වන්නේ නිශාන්ත සිල්වා විසින් කළ පරිදි යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති කැපවීම ගෙන දෙන්නේ පූජනීයත්වයක් මිස පළිගැනීමකට ලක්වීමක් නොවන බව, රට පුරා සිටින පොලිස් නිළධාරීන්ට ඒත්තු යන ලෙස හැසිරීමය.

මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම සහ ව්‍යවස්ථා කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙමි. ඔවුන් කිසි දිනක ඔබ විසින් මහා දවාලේ සිදු කරන මේ බලය අයුතු ලෙස භාවිතාව නොඉවසනු ඇත. 

ජනාධිපති තුමනි, ඔබ ඉදිරියේ තෝරාගැනීම් දෙකක් ඇත. සිය වැරදි මතයක් වහා නිවැරදි කර ගෙන වහාම නිශාන්ත සිල්වා ගේ මාරුකර යැවීම නවතවා ඔහුට ඔහුගේ රාජකාරිය කරගෙන යාමට ඉඩ දුන් ජනාධිපතිවරයා ලෙස ඔබට ජනතාවගේ මතකයේ රැඳෙන්නට ඉඩ ඇත. එසේ නැතහොත්, ස්වාධීන පොලිස් කොමිසම හෝ අධිකරණයක් විසින් ඔබගේ විධානය විශ්ලේෂණය කර එය වළක්වාලනු බලා සිටීමටද ඔබට පුළුවන. එසේ වුවහොත් රටෙහි ඉතා වැදගත් අපරාධ පරීක්ෂණයක් නවත්වන්නට තැත් කර පැරදුනු ජනාධිපති ලෙස ඔබ සදා මතකයේ රැඳෙනු ඇත. 

අමතක නොකරන්න ජනාධිපතිතුමනි, මගේ පියා ඇතුළු කෲරත්වයේ ගොදුරු බවට පත් වූ අන් සියලු මිනිසුන් වෙනුවෙන් ඇරුණු යුක්තියේ මග අහුරන්නට තැත් කළහොත් ඔබ නියත වශයෙන්ම පරදිනු ඇත.

මීට විශ්වාසී 

අහිම්සා වික්‍රමතුංග 

පිටපත්: සභාපති, ව්‍යවස්ථා සභාව​

: සභාපති ජාතික පොලිස් කොමිසම 

: පොලිස්පති 

:අධ්‍යක්ෂක, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව

අහිම්සා වික්‍රමතුංග විසින් යවන ලද ඉංග්‍රීසි ලිපිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ගෘෂා ඇන්ඩ්රූස් 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.