21 January, 2019

Blog

ඔවුන් මගේ තාත්තාව ඝාතනය කළේ ඇයි? – ලසන්තගේ මරණය ගැන දස වසකට පසු දියණිය කියන කතාව

අහිම්සා වික්‍රමතුංග

මට මුලින්ම මිග් ගනුදෙනුව ගැන දැනගන්නට ලැබුණේ 2007 අගෝස්තු මාසයේදී මා පවුලේ ඥාතීන් බැලීමට කැනඩාවට ගොස් සිටියදීය. තාත්තා කොළඹ සිට දුරකථනයෙන් අමතා විස්තර කීවේ ලොකු සතුටකිනි. ගුවන් හමුදාවත් ගෝඨාභය රාජපක්ෂත් සම්බන්ධ රහස් හමුදා කොන්ත්‍රාත්තුවක් ගැන සන්ඩේ ලීඩර් පුවත්පත හෙළිදරව්වක් කළ බව ඔහු කීවේය.

ඒ මිග් ගනුදෙනුවට තමා සම්බන්ධ නැතැයි ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී පවසනු මගේ පියා දැක තිබිණි. තාත්තා මිග් ගනුදෙනුවේ සුලමුල ටෙන්ඩර් පටිපාටිය ණයවර ලිපි අන්තර් රාජ්‍ය ගිවිසුම් ආදි බොහෝ දෑ දිගට හරහට කියාගෙන ගිය අතර මගේ 16 වියැති අහිංසක මනස තුළ සියල්ල තැන්පත් වූයේ සාමාන්‍ය දුවක හා පියකු අතර සංවාදයක් බවට ඒ දුරකථන ඇමතුම පෙරළා ගන්නට මා ගත් අසාර්ථක උත්සාහය මධ්‍යයේය. ඔහුගේ අවධානය යොමු වුණේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කරන්නට යන හෙළිදරව්ව පිළිබඳ වු අතර විශේෂයෙන් ගනුදෙනුවේ මුදල කෙරෙහි ඔහුගේ සිත යොමු වී තිබිණි.

දින කිහිපයකට පසු එනම් 2007 සැප්තැම්බර් 2 වැනිදා ඉරිදා සුපුරුදු පරිදි මම සන්ඩේ ලීඩර් වෙබ් අඩවියට පිවිසුණෙමි. මගේ පියා ලියූ’මිග් ගනුදෙනුව ආරක්ෂක අමාත්‍යංශය මත කඩා වැටෙයි’ යන දැවැන්ත සිරස්තලයෙන් යුතූ ලිපිය එහි විය. ඒ වාර්තාවට අනුව ගෝඨාභය රාජපක්ෂ තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි රූපවාහිනී නාලිකාවකින් අවධාරණය කළ මිග් ගනුදෙනුව සිදු කරනු ලැබ තිබෙන්නේ ඔහුගේම බෑනා වන උදයංග විරතුංග විසිනි. එය ආරම්භ වි ඇතැයි කියන්නේ රාජපක්ෂ, වීරතුංග ගුවන් හමුදාපති සහ ගනුදෙනුවේ යුක්රේන මොළකරුවකු අතර සාකච්ඡාවකිනි.

සන්ඩේ ලීඩර් වාර්තාවට අනුව, රාජපක්ෂ සමඟ එම සාකච්ඡාව වී තිබෙන්නේ පෙබරවාරි 6 වැනි දාය. ගුවන් හමුදාවට හදිසියේම මිග් යානා පිපාසයක් හටගෙන ඇති බව ඔවුන් කියා තිබෙන්නේ ඊට පසු දින හෙවත් පෙබරවාරි 7 වැනි දාය. එදිනම ගුවන් හමුදාපතිවරයා යුක්රේනයේ කුමන්ත්‍රණකරුට ලිපියක් යවමින් මිග් යානා අලෙවි කරන්නට යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි කියා ඇත.

2006 පෙබරවාරි 07 දාතමින් ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා යුක්රේන ජාතික දිමිත්‍රි පෙරෙගුඩෝයි ට යැවූ මේ ලිපිය මම දුටුවෙමි. එය සාමාන්‍ය ලිපී ශීර්ෂයක ලියූ ලිපියක්ද නොවීය. පෙර පාසල් ගුරුවරුන් කුඩා දරුවන්ට පෝස්ටර් සාදන කොමික් සෑන්ස් අකුරුවලින් එය යතුරු ලියනය කර තිබුණු අතර ළමා ලිපියකට වැඩි යමක් එහි නොවූ තරම්ය. එමඟින් කලින් දා ආරක්ෂක ලේකම් කාර්යාලයේදී ස්වකීය ප්‍රධානියාගේ ඥාති සොයුරා ගුවන් හමුදාපතිවරයාට බලෙන්ම ගිල්ලවූ යෝජනාව පසුකාලීනව විධිමත් යෝජනාවක් බවට පත් කිරීම ලිපියෙහි අරමුණ විය.

මා දන්නා තරමින් හදිසියේම මිග් යානා අවැසි බවට එබඳු යෝජනාවක් ගෙන ආවේ ඇයි දැයි මේ වන තුරු කිසිවකුත් ඩොනල්ඩ් පෙරේරාගෙන් විමසා නැත. ඊට සති දෙකකට ඉහතදී හෙතෙම ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් මිග් පමණක් නොව ගුවන් හමුදාවට විකල්ප වැඩි සංඛ්‍යාවක් සලකා බලන්නට අවශ්‍යව ඇති බව දන්වා තිබිණි.

ප්‍රසම්පාදන පටිපාටියේ සම්මත පියවර කිහිපයක් මඟහැරීමේ සිට ලාභය විශුද්දිකරණයට යොදාගත් රහස්‍ය සමාගම හෙළිදරව් කිරීම දක්වා මිග් ගනුදෙනුවේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කැරෙන තවත් ස්ථාන කිහිපයකටම මගේ පියාගේ ලිපියෙන් ඇඟිලි ගසා තිබිණි. රාජපක්ෂ ඥාති සොයුරු වීරතුංග හවුල්වූ අදාළ ගනුදෙනුවේ සෑම තැනක්ම ඉස්මතු කර පෙන්වා දී තිබිණි.

ඉන් මාසයකට පමණ පසු ( 2007 ඔක්තෝබර් 18 දා) ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයෙකු මගේ පියාට එන්තරවාසියක් එවමින් අපහාස කිරීමට එරෙහිව රුපියල් බිලියනයක් ඉල්ලා නඩු පවරන බව තර්ජනාත්මකව දන්වා සිටියේය. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ පය තබන්නට යන්නේ සන්ඩේ ලීඩර් කතුවරයා විසින් ශූර ලෙස අටවන ලද උගුලකට බව ඔහු දැන සිටින්නට ඇතැයි මට සිතා ගන්නටවත් බැරිය. මගේ පියාගේ නිර්භීත වාර්තාකරණය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් කාර්යභාරයට අහිතකර බලපෑමක් ඇති වී තිබෙන බවත් එයින් යුදබිමේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට අහිතකර බලපෑමක් එල්ල වන බවද අදාළ එන්තරවාසියෙහි දක්වා තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් මගේ පියා ලියුවේ එය එසේ නම් රාජපක්ෂ ජාතික ආරක්ෂාවේ යහපත වෙනුවෙන් වහාම සිය තනතුරින් ඉල්ලා අස් විය යුතු බවය. ඉන් නොනැවතී හරස් ඉල්ලීමක්ද ඉදිරිපත් කළ මගේ පියා තමා අඛණ්ඩවම මේ රටේ රැඳී සිටිමින් රටේ යහපත වෙනුවෙන් වැඩ කළ නමුත් රාජපක්ෂ අමෙරිකාවට පැනගොස් එහි පුරවැසිකම ගනිමින් එරටට පක්ෂපාතී බවද ප්‍රතිඥා දීම පදනම් කර ගනිමින් තමාට එරෙහිව නඩු පැවරුවහොත් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා සිටින බව කීවේය.

සිය වෘත්තීය ජීවිතය පුරා නඩු කටයුතුවල දක්ෂයකු වූ මගේ පියා වචන හරඹයේ ප්‍රවීණයෙක් ද විය. ඒ වන විට ඔහු එළැඹ සිටියේ වඩාත් අනර්ථකාරී වදන් හරඹයකය. මේ වචන හුවමාරුවෙන් සති කිහිපයකට පසු 2007 නොවැම්බර් 21 වැනිදා කළු ඇඳුමින් සැරසුණු කොමාන්ඩෝ භටයෝ සන්ඩේ ලීඩර් කාර්යාලය වටලා එහි ආරක්ෂකයන්ට රයිෆල් අමෝරා මුද්‍රණාලයට ගිනි තැබූහ. මේ බියගුලු ක්‍රියාව සම්බන්ධයෙන්කිසිවකුත් අත්අඩංගුවට නොගැනීම හා පරීක්ෂණ සිදු නොවීම පුදුමයක් නොවේ.

මාස තුනකට පසු මගේ පියා බලාපොරොත්තු වූ සටන ඇරඹිණි. 2008 පෙබරවාරි 22 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මගේ පියාට සහ සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේය. මගේ පියා රාජපක්ෂ සම්බන්ධයෙන් පළ කරන ලද කරුණු අසත්‍ය ද්වේශසහගත අපහාසාත්මක ඒවා බව පැමිණිල්ලේ සඳහන් විය. ඒ වන විට මම පියාත් සමඟ නුගේගොඩ කන්දවත්ත ටෙරසයේ පිහිටි නිවසේ විසූයෙමි. නඩු පවරා ඇති පුවතට ප්‍රතිචාර වශයෙන් ඔහු සිනාමුසු මුහුණින් නිවසේ සැරිසරන විට මට පුදුමයක් දැනිණි.

මා කුතුහලයෙන් ඔහු දෙස බැලූ අතර ඔහු එතෙක් නිමග්නව සිටි දුරකථන ඇමතුම අවසන් කර ’මේ බලන්න’ යනුවෙන් ගැඹුරු සංවාදයකට පිවිසුණේය.

දස වසක දුක්බර සමයකින් පසු ඒ පිළිබඳ මගේ මතකය අවුල්සහගත නමුත් ඔහු කීවේ වෙනත් නඩුවලදී හරස් ප්‍රශ්න ඇසීම විසඳිය යුතු කාරණයට පමණක් අදාළව සිදු වන නමුත් අපහාස නඩුවකදි එසේ නොවන බවයි. අපහාස නඩුවකදී අදාළ පුද්ගලයාගේ චරිතය සම්බන්ධයෙන් ඕනෑම පැතිකඩකින් ප්‍රශ්න ඇසිය හැකි බව ඔහු එදා කීවේය. ඔහුගේ කීර්තියට හානිවූ බව ඔහු කීවත් මා කියන්නේ මා ලියූ දේ නිවැරැදි බව හා රටේ පොදු යහපත වෙනුවෙන් ඒවා අනාවරණය කළ බවයි. මගේ පියා නිතිඥයකු බවද අමතක නොකළ යුතුය.

ගෝඨාභය එතෙක් මෙතෙක් කළ කී සියලු දෑ පශ්න කරිමින් හෙළිදරව් කරමින් අදාළ නඩුවේ පූර්ණ වාර්තාව සන්ඩේ ලීඩර් පුවත්පතේ නොකඩවා පළ කිරීමට ඔහු සැලසුම් කර තිබිණි.

සැලැස්ම හෙළි කිරිමෙන් පසු ඔහු මට අවවාදයක් ද දුන්නේය. ‘තමන් සම්බන්ධ එක රහසක් හරි තියනවා නම් කවදාවත් කාටවත් විරුද්ධව අපහාස නඩු පවරන්න එපා’ යනු ඔහුගේ උපදේශයයි. ඔහු දිගින් දිගටම රජයේ වංචා දූෂණ එකින් එක හෙළිදරව් කළේය. ආණ්ඩුවට දුවන්න දෙන බව ඔහු කීවේය. ඔහුගේ පුරසාරම් අප සැලකුවේ තාර බර අඩු කිරීමෙන් පසුවය. ඔහු ඕනෑම ආණ්ඩුවකට දුවන්නට දෙන්නෙකි.

ඔහුගේ ස්වරූපය අඳුරු වන්නට වූයේ රජයේ ආරක්ෂක අංශයට දැඩි විවේචන එල්ල කළ තවත් සහෘද මාධ්‍යවේදියකු වූ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියත් සමඟය. ඒ සිද්ධියේ කිසියම් අමුත්තක් විය. මුද්‍රණාලය ගිනිතැබීමේ සිද්ධියටත් වඩා කීත් නොයාර් සිද්ධියෙන් තාත්තා කනගාටුවට පත් විය. ඔහුගේ මුහුණේ නිරතුරුව රැඳී තිබූ දීප්තිය සිනහව හා සුබවාදය ගොළු වූ සෙයකි. ඉන් පසු ගත වූ දිනවල ඔහු දුරකථනයෙන් ඇතැමුන්ට මුමුනා ජීවිතාරක්ෂාව පතා රටින් පිටවන ලෙස දන්වනු මට ඇසිණි. මහින්ද රාජපක්ෂ හා ඔහු අතර පැවැති සබඳතා පිළිබඳ පිටස්තරයන් ඉදිරියේ ඔහු කතා කළේ ඉතා අඩුවෙනි. කෙසේවෙතත් මේ සිදු වීමෙන් පසු ඔහු ජනාධිපතිවරයාට වඩා සමීප වන බවක් දක්නට ලැබිණි.

ජනාධිපතිවරයා මුණගැසීමේදී හා ඔහුට කතා කිරීමේදී තාත්තා වඩාත් පරෙස්සම් විය. ආපසු හැරී බැලීමේදී මට පෙනී යන්නේ එය බුද්ධි අංශවල උකුසු ඇසින් ගැලවීම උදෙසා ජනාධිපතිවරයාත් මගේ පියාත් යන දෙදෙනාම අනුගමනය කළ පියවරක් බවයි. ඔවුන් දෙදෙනා කතාබස් කළේ මොනවා ගැනද යන්න සම්බන්ධයෙන් ඉඟියක් මා සතුව නැතත් මහින්ද කිසියම් අනාරක්ෂිතබවකින් පෙළුණ නිසා යම් සහනයක් සැනසීමක් ලබාගනු පිණිස දශක ගණනක් දිගු මිතුරුදමට වැඩියෙන් නැඹුරුවූ බවයි මගේ පියා මට කීවේ.

2008 දෙසැම්බර් මස ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලිපි ලිවීම වළක්වමින් දිසා අධිකරණය නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව , තවමත් ගෝඨාභයගෙන් උසාවියේදී හරස් ප්‍රශ්න අසන්නට බලාපොරොත්තු වෙනවාදැයි දිනක් නිවසේ රූපවාහිනි නරඹන අතරතුර මම තාත්තාගෙන් ඇසූයෙමි. ඔහු කෙළින් උත්තරයක් නුදුන්නත් දිනක් පැවසුවේ තමාට එතරම් දුරක් යන්නට ඔවුන් ඉඩ නොතබනු ඇති බවයි. ඉන් අදහස් කළේ කුමක්දැයි මා විමසූ කල මා සිප වැලඳගත් ඔහු තමාට කුමක්හෝ සිදුවුවහොත් අවශ්‍ය උපදෙස් හා මුදල් ප්‍රමාණයක් ඔහුගේ අල්මාරියේ කුඩා සාක්කුවක තබා ඇති බව මට කීවේය. මගේ හුස්ම හිරවුණාක් මෙන් දැනිණි. ඒ මා තැතිගත් නිසාද නැතහොත් ඔහු මා තරයේම වැලඳගෙන සිටි නිසාද යන්න මට මතක නැත.

එහෙත් මගේ පියා ඉදිරියේ බියෙන් සලිතව සිටීම අපහසුය. ඔහු තුළ වූයෙ අමරණීය සියලු තැන සිටින ස්වභාවයකි. සෑම පක්ෂයකම දේශපාලනඥයෝ ඔහු සැම විට සැම තැනම සිටින්නකු යැයි විහිළු කළහ. ඔහු වෙඩි නොවදින ස්පර්ශ කළ නොහැකි අයෙකු යැයි මිතුරෝ පැවසූහ. එහෙත් මගේ පියා කියූ දේ නිවැරැදි බව පසක් වුණේ ඊළඟ මාසයේ එනම් 2009 ජනවාරි 8 වැනිදාය. අන් සියල්ලන් වැරැදිය. එදින හිරු උදාවෙන් මොහොතකට පසු ඔහු අවදි වුණේය.

සුපුරුදු පරිදි එක් අතකින් දුරකථනය කනේ රුවාගනිමින් අනෙක් අතින් උදේ ලෑස්තිවීමේ කටයුතුවල ඔහු නිරත විය. ඔහුගේ අතින් දුරකථනය ගිලිහෙන්නේ උදාසන නෑමට පෙර ව්‍යායාම් කරන අවස්ථාවේදී පමණි. ව්‍යායාම කරන විටදී දුරකථනයේ ලවුඩ්ස්පීකරය ක්‍රියා කරවිය හැකි බව ඔහුට නිනව් නැතිවා විය හැකිය.

අමිහිරි දවස ගැන මතකය

ඔහු ඇඳුම් හැඳගත් පසු අපි උදේ ආහාරය පිණිස බිම් මහලේ කෑම මේසයට වාඩිගතිමු. ඔහු කඩිමුඩියේම ආහාර ලත් අතර මම ඔහුත් සමඟ කාරය දක්වා ගමන් කළෙමි.වෙනදා මෙන් මගේ නළලත සිපගත් ඔහු කිසිදු අමුත්තක් නැතිව උදේ 8.15 පමණ ගෙදරින් පිටත් විය.

මට කෑමට යමක් රැගෙන එන්නැයි නිවසේ රියැදුරු ඩයස්ට මුදල් දුනිමි. තාත්තාට කතා කර තමාගේ දුරකථනය තාත්තාගේ කාරයේ තිබෙන බව දන්වන්නැයි ඩයස් මට කීවේ කෙළින්ම කතා කළොත් බැණුම් අසන්නට වේ යැයි බියෙනි. මම ඩයස් වෙනුවෙන් කතා කළෙමි. ඊට පැය කිහියකට පසු පහත මාලයට පැමිණ මම ඩයස් කෑම ගෙනාවේ නැතිදැයි ගෙදර මෙහෙකාරිය වූ මැණිකාගෙන් විමසූ විට ඇය මදෙස නොබලා මගේ පැනයට පිළිතුරු දීම ද මඟ හැරියාය. ඉන් විමතියට පත් මම ඩයස්ගේ දුරකථනයට කතා කළෙමි. ‘මං හොස්පිටල් එකේ ’ඔහු කලබලයෙන් කීවේය.

මගෙ හදවත හැකිළී රුධිරය කැටි ගැසුණාක් මෙන් දැනුණු අතර මැණිකා රුපවාහිනිය ක්‍රියාත්මක කළ විට සිරස නාලිකාවේ තාත්තාට පහර දීම පෙන්වමින් තිබිණි. එය පහර දීමක්ද වෙඩි තැබීමක් දැයි මට නිච්චියක් නැත. මගේ මතකයේ තිබෙන්නේ ඩයස් රෝහලේ බවත් මැණිකා ගල්ගැසී සිටි ආකාරයත් රූපවාහිනී නිවේදකයා තාත්තාගේ නම කියනවාත් පමණි.

ආපසු උඩු මහලට දිව ගිය මම දුරකථනයෙන් පවුලේ සාමාජිකයන්ට ඇමතුම් දුනිමි. මගේ නැන්දනිය කීවේ එය බොරු ආරංචියක් විය හැකි බවයි. මෙල්බර්න් හි වාසය කරන අම්මාට කතා කර යම් දෙයක් සිදු වී ඇති බවත් ඇය වහාම මගේ සොයුරන්ද රැගෙන කොළඹ පැමිණිය යුතු බවත් කීවෙමි. ඉන්පසු තාත්තා ගෙදර පැමිණෙන තුරු බලා සිටියෙමි. ඔහු පැමිණ ඇඳුම් මාර කර ජනමාධ්‍යවලට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව රූපවාහිනියට ප්‍රකාශයක් කරනු ඇත . කළු ඇඳුමින් පැමිණි කොමාන්ඩෝ භටයන් සිරස නාලිකාව වටකර බෝම්බ ගැසීමේ සිද්ධියේදී කළා මෙන් ඔහු එසේ කරනු ඇතැයි අපේක්ෂා කළෙමි. එහෙත් ඔහු ආවේ නැත. ඉන්පසු මගේ ඥාති සොයුරිය රයිසා පැමිණියාය. ඇගේ දෑසින් කඳුළු වැගිරෙන්නට විය. ඉන්පසු බොහෝ දෙනා පැමිණ ’ අනේ අපොයි ’ කියනවාට වඩා යමක් ඒ ජනවාරි 8 වැනි දා සම්බන්ධයෙන් මගේ මතකයෙහි නැත.

එතැන් පටන් ගතවූ අවුරුදු කිහිපය තුළ මා මෙල්බර්න් හි අම්මා සමඟ කාලය ගත කළත් තාත්තා නැති අඩුව මට ගෙනදුන්නේ කියා ගත නොහැකි පාළුවකි වේදනාවකි. පිය සෙනෙහස අවශ්‍යම වූ යොවුන් වියේ දී මට පියා නැතිකම ගැන සිතමින් සිටින්නට විය. මගේ පියාගේ ඝාතනය ලෝකයෙන් සඟවා තබන්නට කුරිරු බලවේග මොනතරම් දේ කර තිබේද යන්න මට වැටහුණේ ඉන් අවුරුදු 8කට පසු රහස් පොලිසියේ නිශාන්ත සිල්වා සහ සිසිර තිසේරා 2016 දෙසැම්බර් මාසයේදී මුණගැසුණු පසුවය. ඔවුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය මට මගේ පියා වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සපයන බලවේගය බවට පත් විය. 2009 ජනවාරියෙන් පසු පළමු වතාවට යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් දිවි පරදුවට තබන මිනිසුන් දක්නට ලැබීම මට ධෛර්යයක් ගෙන දුන්නේය. මා ඔවුන් සමඟ සිටගත යුතු බව වැටහිණි.

මගේ පියා අවසන් හුස්ම හෙළන මොහොත දක්වාම ජනමාධ්‍යවේදියෙකි. ඔහු සිය අවසාන සටහන සිය සටහන් පොතේ තබා ඇත්තේ හුස්ම හෙළන මොහොතේදීය. ඒ යතුරුපැදි දෙකක අංක තහඩු පිළිබඳ සටහනකි. ඒවා තමාට පහර දුන් අය පැමිණි යතුරුපැදිවල අංක විය යුතුය. ඒ සටහන් පොත අතුරුදන්වී ඇත. 2009 ජනවාරි මාසයේ මැද දිනක සන්ඩේ ලීඩර් මාධ්‍යවේදි නිර්මලා කන්නන්ගර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හමුවූ අවස්ථාවක ඒ සටහන් පොත ගැන විමසා ඇත. ඒ වන විට මගේ පියාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අධික්ෂණය කළේ ඔහුය.

පියාගේ මරණ මංචකයේදී නිර්මලා සියැසින්ම දුටු සටහන් පොත කොහිදැයි ඇසු විට නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවුර දිවුරා කියා තිබෙන්නේ එවැනි පොතක් හමු නොවූ බවත් එය නිර්මලාගේ මතකයේ සිදුවූ වැරදිමක් බවත්ය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළුව පොලිසියේ කිහිප දෙනකුම කියා තිබුණේ තාත්තාගේ සටහන් පොත නානායක්කාර විසින් සාක්ෂි ලේඛනයෙන් ඉවක් කළ බවයි. එසේම එය විනාශ කරන්නටත් හෙතෙම අණ දී තිබිණි. රහස් පොලීසිය නානායක්කාරව අත්අඩංගුවට ගත් නමුත් සාක්ෂි විනාශ කරන්නට තමාට අණ දුන්නේ කවුරුන්ද කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් ඔහු මුනිවත රකී.

මේ අතර 2009 ජනවාරි අගදී මගේ පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ . සුනිල් කුමාර තාත්තා වෙඩි පහරකින් මිය ගිය බවට සාවද්‍ය වාර්තාවක් සකස් කරමින් සිටියේය. වෙඩි උණ්ඩ සිරුරට ඇතුළු වූ හෝ පිටවූ සිදුරු නැතිව එමෙන්ම සිරුරේ කිසිදු වෙඩි උණ්ඩයක් නැතිව සිද්ධිය වූ ස්ථානයේ වෙඩි බෙහෙත් හෝ හිස් පතරොම් කොපු නැතිව එම සාවද්‍ය වාර්තාව අපූරුවට සකස් වෙමින් තිබිණ. ඒ මරණ පරික්ෂණ වාර්තාව වැරැදි බව සනාථ කිරීමට රහස් පොලීසියට තාත්තාගේ සිරුර ගොඩගෙන වෛද්‍ය විශේෂඥයන් තිදෙනකු යටතේ නැවත පරීක්ෂණයක් කරන්නට සිදු විය. ගිනි අවි භාවිතයක් වූ බවට සැක කරන්නට කිසිදු පසුබිමක් නැති බවත් තියුණු ආයුධයකින් කළ කැපුම්වලින් මරණය සිදු වී ඇති බවත් ඔවුහු ඒකමතිකව නිගමනය කළහ.

මරණ පරීක්ෂණ දහස් ගණනක අත්දැකීම් ඇති අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන සුනිල් කුමාර වෛද්‍යවරයා එවැනි සාවද්‍ය නිගමනයකට පැමිණියේ මන්දැයි අපි නොදන්නා නමුත් ඔහු නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරගේ සමීප ඥාතියකු බව හොඳාකාරව දනිමු. එමෙන්ම ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව සැකසෙද්දි දෙදෙනාම සමිපව කටයුතු කළ බවද දනිමු.

තාත්තාගේ මරණයෙන් ප්‍රීතියට පත් ගෝඨාභය රාජපක්ෂ බීබීසී ය සමඟ පිළිසඳරක යෙදෙමින් ‘ලසන්ත වික්‍රමතුංග කියන්නෙ කවුද? තවත් එක ඝාතනයක් පමණයි. මා ඒ ගැන දුක් වන්නේ නැහැ“ යනුවෙන් සිනාසුණේ ද මේ සමයේදීම ය. මගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය අයත් අමාත්‍යංශයේ ලේකම්වරයා ද ඔහුම විය.

ඝාතනයෙන් පසු හෙළි වූ දේ

මා ශ්‍රී ලංකාව හැරදා පැමිණ මාස කිහිපයකට පසු දිනක් මෙල්බර්න් හි සිට අපේ රියැදුරු ඩයස්ට කතා කළෙමි. මා සිතන අන්දමට පියාගේ මරණයට වගකිව යුතු කවුරුන්දැයි ඩයස් ඇසුවේය. තාත්තාගේ අනාවැකි පදනම් කරගෙන මෙය ගෝඨාභය විසින් කරන ලද්දක් විය යුතු යැයි ඩයස්ට කීවෙමි. ඉන්පසු වේදනාව මකා ගන්නට තැබෑරුමකට ගිය අසරණ ඩයස් ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ ගෝඨාභය රාජපක්ෂ යැයි ප්‍රසිද්ධියේ කියා ඇත. ඊට පසු දිනෙක සුදුවෑන් රථයකින් ඩයස්ව පැහැගෙන ගොස් ඇති අතර රහස් නිවෙසකදී මරණ තර්ජණ එල්ල කරමින් යළි කිසි දිනක ගෝඨාභය ගේ නම මේ සම්බන්ධයෙන් නොකියන ලෙස අවධාරණය කර ඇත. ඉන් තැතිගත් ඩයස් කොළඹ හැර පලා ගියේය. තමා එදා පැහැරගත් තැනැත්තා හඳුනාගන්නට අවස්ථාවක් රහස් පොලිසිය විසින් ඔහුට ලබා දුන්නේ 2016 දීය. ඩයස්ව පැහැරගත් තැනැත්තා හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරියකු වන උදලාගම බවට හැරි තිබිණ. ඔහු රාජපක්ෂගේ ජාතික බුද්ධි අංශයේ අධික්ෂණ නිලධාරියෙකි. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී ඩයස් ඔහු හඳුනාගන්නට සමත් විය. එතැන් පටන් ඩයස් අප්‍රසිද්ධියේ ජීවත් වන අතර රජයෙන් මේ දක්වාම ඔහුට කිසිවක් ලැබී නැත.

ඇත්තවශයෙන්ම රහස් පොලීසිය කාත්තාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සියතට ගත්තේ 2009 දෙසැම්බර් මාසයේදීය. එතැනින් මාසයක් ගත වන්නටත් පෙර ඔවුහු වැදගත් තොරතුරක් අනාවරණය කරගත්හ. තාත්තාගේ ඝාතකයන් භාවිත කළ ජංගම දුරකථන සොයාගන්නටත් ඒවා නුවරඑළියේ දුප්පත් වෙළෙන්දකු වන පිච්චෙයි ජේසුදාසන් නමැත්තාගේ ජාතික හැඳුනුම්පත හා සැසඳෙන බවත් අනාවරණය විය. ජේසුදාසන්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ තමාගේ හැඳුනුම්පත ඊට මාස 6කට ඉහතදී හමුදා බුද්ධි අංශ නිලධාරී කන්නෙගෙදර පියවංශ නමැත්තා සොරාගත් බවකි. ඒ ප්‍රශ්න කිරීම සිදු වූයේ 2018 ජනවාරි 18 වැනිදාය. එයින් රහස් පොලීසියට වැදගත් යමක් අනාවරණය වූ බව පෙනෙන්නට තිබිණි. එහෙත් ඉන් පසු වහාම අදාළ පරීක්ෂණ කටයුතු කිසියම් ගුප්ත හේතුවක් නිසා ත්‍රස්ත විමර්ෂණ ඒකකයට මාරු කරනු ලැබීය. එය කවුරුන් විසින් කරන ලද්දේද යන්න කිසිවෙක් නොදනිති.

සිද්ධිය වසන් කිරීමේ සෙසු කටයුතු හමුදාවේ තීක්ෂණ නිවැරැදිතාව යටතේ සිදු විය. ජේසුදාසන් හා පියවංශ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදහ . ජේසුදාසන් අබිරහස් ලෙස අත්අඩංගුවේදී මිය ගිය අතර පියවංශ හමුදා ඉතිහාසයේ පෙර නොවූ වාර්තාවක් තැබුවේය. සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසු වන හමුදා නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ නැති වුවත් පියවංශට වැටුප් මතු නොව උසස්වීමක්ද ඉන් නොනැවතී රුපියල් දස ලක්ෂයකට අධික ණයක් ලබාගන්නටද අත්අඩංගුවේ සිටියදී හැකි විය.

ජනපතිවරණයෙන් පරාජිත සරත් ෆොන්සේකා මගේ පියාගේ ඝාතකයා බවට රජයෙන් ප්‍රචාරයක් දියත් කරන ලදී. එසේ නම් රජය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු යටපත් කරන්නට ඉතාම පරිත්‍යාගශීලීව කටයුතු කොට ඇත. එහෙත් අවසානයේ සාපේක්ෂව සුළු චෝදනාවක් මත ෆොන්සේකා සිරගත කළේ ද ඒ රජය ම ය.

කනගාටුදායක ඇත්ත නම් 2016 දෙසැම්බර් මාසයේ මා රහස් පොලිස් නිලධාරින් හමු වන විටක් ඔවුන් බොහෝ කරුණු අනාවරණය කරගෙන තිබීමයි. එතැන් පටන් ගතවු අවරුදු දෙකක කාලය ඇතුළත ඔවුන් සත්‍යයට ආසන්න වන විට රජයේ කොළ සහ නිල් දෙපාර්ශ්වයෙන්ම එල්ල වන බාධා වැටකඩුලු සංඛ්‍යාව වැඩි වන්නට පටන් ගෙන ඇත. පරීක්ෂකයන්ට ලැබුණු පහසුකම්වලට වඩා වැඩි වරප්‍රසාද සැකකරුවන්ට ලැබී ඇත. ට්‍රිපොලි බුද්ධි ඒකකය මගේ පියාගේ ඝාතනයට මෙන්ම කීත් නොහාර් පැහැරගැනීමේ සිද්ධියටද නම ගෑවුනු ඒකකයකි. රහස්‍ය අයවැය, සුදුවෑන් හා ගිනි අවි කිසිදු වගවීමකින් තොරව ඔවුනට ලැබේ. ගතවු සමය තුළ මාධ්‍යවේදීන් ට පහරදීම් හා ඝාතන සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20කට වැඩියෙන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මේ කල්ලියේ වරප්‍රසාදවලට එරෙහිව රජයත් හමුදාවත් මුනිවත රකී. ජාතික ආරක්ෂාව යටතේ රහස් පොලිසිය විසින් සාක්ෂි අත්හිටුවනුලැබ ඇත. මේ අතර හමුදා බුද්ධි අංශය රහස් පොලිසිය හා එහි සහයකයන් වෙත උකුසු ඇස යොමා සිටී.

විවිධ දේශපාලනඥයන් මගේ පියාගේ ඝාතනය පිළිබඳ රහස් පොලිස් පරික්ෂණය යට ගැසිමට හා ඊට බාධා කිරීමට පියවරගන්නා අතරතුර එෆ් සී අයි ඩීය මිග් යානා ගනුදෙනුව පිළිබඳ පරික්ෂණය මගේ පියා කිසියම් රහසක් අනාවරණය කරගන්නට වෙහෙස දරා ඇති බව සනාථ කොට ඇත. 2007 අගෝස්තුවේ මා කැනඩාවේ සිට පියාට කතා කළ විට ඔහු කී දෑ සැකයෙන් ඔබ්බට ඔප්පු කරගන්නට එෆ්සීඅයිඩීය සමත් වී ඇත. එදා තාත්තා මට කියූ රූපවාහිනී සංවාදය සොයාගන්නට මට හැකි විය.

මිග් ගනුදෙනුව සාධාරණීකරණය කරන විනාඩි 30ක පමණ දේශනාවක් මුලින්ම එහි විය. තුන් වැනි පාර්ශ්වයක් සම්බන්ධ කර නොගත් බවත් තමා මේ ගනුදෙනුවට කිසිසේතම සම්බන්ධ නැති බවත් ඒ පිළිබඳ ලිපිය හුදෙක් එල්ටීටීයට ආධාර කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දමන්නට පළ කළ එකක් බව කියූ ගෝඨාභය රාජපක්ෂ ඉන්පසු මාධ්‍ය නිදහස දෙසට හැරුණේය.

“ඔවුන් මගේ ඡායාරූප දමමින් කුණුකතා ලියනවා” ඔහු කිවේය. “ඔවුනට ඒවා කරමින් මේ රටේ නිදැල්ලේ ඉන්නට පුළුවන් නම් ඊට වඩා මාධ්‍ය නිදහසක් තියෙන්නෙ මොන රටේද ? “

“මේ වගේ දෙවල් ලියලා පළ කරලා ඒ ගොල්ලන්ට අපූරුවට නිදහසේ වාහනවලින් එහා මෙහා යන්න පුළුවන්. ඔවුන්ට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.” ඔහු පුරසාරම් දෙඩුවේ වාහනයක් දවන අයුරු අභිනයෙන් දක්වමිනි. මගේ පියාත් සහෝදරයනුත් මගේ මුළු පවුලමත් පසුව ඉතා වේදනාකාරී ලෙස ඉගෙනගත් පරිදි මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය මිග් ගනුදෙනුව සාධාරණිකරණය කරමින් කළ ප්‍රකාශය තරමටම නිරවද්‍යතාවෙන් තොරය.

*2019 ජනවාරි 8 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, අහිම්සා වික්‍රමතුංග ලියු What They Did To My Father And Why They Did It නැමැති ලිපිය අනුසාරයෙන් – සිංහල පරිවර්තනය සිළුමිණ පුවත්පත​.

Print Friendly, PDF & Email

No comments

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment