18 January, 2019

Blog

ව්‍යවස්ථා කුමන්ත්‍ර​ණය අපට කියා දුන් පාඩම්

තිසරණී ගුණසේකර

‘‘තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ’’ – සොෆොක්ලීස් (ඇන්ටිගනී)

මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. අදින් වසරක පමණ කාලයක් තුළ ඊළඟ විධායක ජනාධිපතිවරයාව පත්කර ගැනීමට නියමිත ය.

අතීතයේ කළ වැරදි අනාගතයේ නොකර සිටීමට අපට හැකි වේ ද? අතීතයේ කළ වැරදි කවරේ ද?

මෑතකදී දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණයේ රස්නය තවම නිවී ගොස් නැති තත්වයක් තුළ නිතැතින්ම හිතට එන පිළිතුර වන්නේ, ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේනව තෝරා ගැනීමයි.

යමක් සිදු වූ පසු ඒ දේවල් අවබෝධ කර ගැනීම හෙවත් අපර-අවබෝධය, බොහෝ දේවල් අපට අලූතින් කියා දෙනු ලැබේ. එසේම ඇතැම් විකෘති කිරීම් ද එහිදී සිදුවෙයි. 2015 දී අප ඉදිරියේ තිබුණු තේරීම ඉතා සරළ එකකි. මහින්ද රාජපක්ෂට තුන්වැනි වතාවකුත් දෙන්නේ ද, නැද්ද යන්නයි, ඒ. අපට එදා අවශ්‍ය කෙළේ රාජපක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයෙන් ඉවත් කිරීම නම්, 2015 යනු ඒ සඳහා අපට ලැබුණු අවසාන අවස්ථාවයි. රාජපක්ෂලා තව අවුරුදු හයක් බලයේ සිටියේ නම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතුගෑවී යනු ඇත. එදා අනුර කුමාර දිසානායක කී පරිදි, ‘‘මහින්ද රාජපක්ෂගේ උමතු ඒකාධිපතිත්වය මේ අවස්ථාවේ පරාජය නොකළොත් ආපසු හැරෙන්ට අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට නොලැබෙනු ඇත.’’

ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන තෝරා ගැනීමේ සරළ තර්කණය එයයි. ඒ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය මගින් එම තර්කණයේ නිරවද්‍ය භාවය සනාථ වුණි.

වරද තිබුණේ මෛත‍්‍රීපාල සිරිසේනව තෝරා ගැනීම තුළ නොවේ. ඇත්තෙන්ම 2014 දී කළ හැකිව තිබූ නිවැරදි දෙය එයයි. වරද තිබුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ඔහු දුන් උත්තුංග ප‍්‍රතිඥාව කෙරෙහි ඔහුව බැඳ තබා ගන්ට අප අසමත් වීමයි.

තමාගේ වසර නවයක පාලන කාලය තුළ, ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළ නෛසර්ගිකව පැවති ආඥාදායක අවදානම් කවරේද යන්න මහින්ද රාජපක්ෂ ප‍්‍රදර්ශනය කොට තිබුණි. 2014 වන විට, විපක්ෂයේ විශාල පරාසයක සිටි බලවේග ඒ භයානක අවදානම පැහැදිළිව හඳුනාගෙන තිබුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම විපක්ෂ දේශපාලනය තුළ එදා ප‍්‍රධාන වැදගත්කමක් ගත්තේය.

2014 නොවැම්බර් 21 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේය. ජනාධිපති පොදු අපේක්ෂකත්වය ප‍්‍රසිද්ධියේ භාර ගත්තේය. ඒ සමගම පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී, තමා රටට ප‍්‍රදානය කරන්නේ කුමක්ද යන්න ඔහු පැහැදිළි කෙළේය. ඒවා අතර අංක එකට ගැනුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඒ ක‍්‍රමය, දේශපාලනික සහ සදාචාරමය වශයෙන් රටට වින්නැහියක් බවත්, අයුක්තියේ සහ අසාධාරණයේ තෝතැන්නක් බවත් කියමින් ඔහු එය හම ගැසුවේය. ‘එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි පැහැදිළි එකඟත්වයකට ආවා මේ ක‍්‍රමය ඉවරයක් කරලා දාන්න’ යි එහිදී ඔහු කීය. ‘ඒක නිසා මං රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, දින 100 ක් ඇතුළත ඒක කරන්න මට බලය දෙන්න කියලා.’ යි ඔහු තවදුරටත් කීය.

වරද සිද්ධ වුණේ ඒ ප‍්‍රතිඥාව, ජයග‍්‍රහණයෙන් පසුව, පිළිකන්නට වීසි වීමට ඉඩ හැරීමයි. වරද සිද්ධ වුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අප සෑහීමකට පත්වීමයි. වරද සිද්ධ වුණේ, ඉන් පසුව, විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියක් වෙන එකක් නැතැ යි අප විශ්වාස කිරීමයි.

ඒ වරද පිළිබඳ මුළු මහත් වගකීම සිරිසේන මහතා මත පැටවිය නොහේ. ඒ හා සමානම වරදක වගකීමක් එක්සත් ජාතික පක්ෂයටත් පැවරේ.

රනිල් වික‍්‍රමසිංහ බැලූවේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට ඊළඟ ජනාධිපතිවරණය පහසුවෙන් ජය ගැනීමට ය. එවන් පහසු ජයග‍්‍රහණයක් ගැන ඔහු මොන තරම් විශ්වාසයකින් සිටියේ ද යත්, ජනතාවගේ පොදු අපේක්ෂාව ඔහු නොතකා හැරියේය. යහපාලනයේ ප‍්‍රමිතීන් නැවත නැවතත් කඩ කෙළේය. සජිත් පේ‍්‍රමදාස (සහ සමහරවිට රවී කරුණානායකත්) රනිල් වික‍්‍රමසිංහව ඉවත් කොට එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමට බැලූවේය. ඒ අනුව, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටනට නායකත්වය දීම එක්සත් ජාතික පක්ෂයට මගහැරී ගියේය.

මේ අතර, විධායක ජනාධිපති ක‍්‍රමයේ මහමාරිය මෛත‍්‍රීපාල සිරිසේනටත් බෝ විය. එම ක‍්‍රමය අහෝසි කිරීමේ කතා යාප්පුවෙන් මගහැරිය ඔහු, එක වරක් පමණක් ජනාධිපති ධුරය දැරීමේ අදහසත් හීන් සීරුවෙන් පැත්තකින් තිබ්බේය. ඔහුටත් රෝගය වැළඳුණි. එනම්, නැවත ජනාධිපති වන්නේ කෙසේද යන රෝගයයි.

මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවතුන් අතර සිටියේ නම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රතිඥාව අපේ දේශපාලන කතිකාවෙන් සහ සමාජ මතකයෙන් එසේ බොඳ වී නොයන්ට ඉඩ තිබුණි. ඔහු නැති සමාජය තුළ, ඒ ධජය දැරීමට තරම් ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති චරිතයක් රටට නැතිව ගියේය.

(මේ ලේඛිකාව ද ඇතුළුව) අප කළ තවත් වැරැුද්දක් වුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ක‍්‍රමයේ විස දළ උගුල්ලා ඇති බවත්, තවදුරටත් එය බරපතල උවදුරක් නොවන බවටත් විශ්වාසයක් ඇති කර ගැනීමයි.

මේ අනුව, එතෙක් පැවති සමස්ත පදනම වෙනස් විය. ඒ මගින්, 2018 ඔක්තෝබරයේ දියත් වූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණයට පාර කැපුණි.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණය, වෙස්වළා ගත් ආශීර්වාදයක් වශයෙන්

කුමන්ත‍්‍රණයට කලින් දා, ඔක්තෝබර් 25 වැනි දා රට තිබුණේ කොතැනක ද? 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරන්නේ සැබෑ ලාංකීය සභාගයක එක්සත් ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් වශයෙනි. 2018 වන විට ඒ සභාගය සීසීකඩ ගොසිනි.

ආණ්ඩුව කළ දේවල් සහ නොකළ දේවල් මගින් තමන්ගේ පැරණි සගයන් බොහොමයක් විරසක කරගෙන තිබුණි. ඒ අසාර්ථකත්වයන් බොහොමයක්, ඇත්තෙන්ම වළක්වා ගත හැකිව තිබූ ඒවා ය. ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබා දීම දුෂ්කර කාර්යයක් විය හැකිය. එහෙත් උතුරු නැගෙනහිර දෙපළාතේ යුද්ධයෙන් අසරණ වූ ජනතාවට ප‍්‍රමාණවත් නිවාස සපයා දීමට නොහැකි වූයේ ඇයි? නුවර මුස්ලිම් විරෝධී කලකෝලාහල ආණ්ඩුව අපේක්ෂා නොකළ, හදිසියේ කඩාපාත් වු දෙයක් විය හැකිය. එහෙත්, එහි සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවා වැරදිකරුවන්ට දඬුවම් දිය නොහැකි වූයේ ඇයි? රුපියල කඩා වැටීම මුළුමණින් නතර කිරීම කළ නොහැකි දෙයක් විය හැකිය. එහෙත් ඒ නිසා සාමාන්‍ය ජනතාවට සිදුවිය හැකි අහේනිය ගැන අහක බලාගෙන සිටියේ ඇයි? තමන්ගේ උන් දූෂණයේ යෙදෙද්දී ආණ්ඩුව මුනිවත රැුක්කේ ඇයි? එක දේශපාලනික ඝාතකයෙකු හෝ නීතිය ඉදිරියේ දඬුවමට ලක්කිරීමට අසමත් වුණේ ඇයි? ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ දස වැනි සංවත්සරය යෙදී ඇති මේ මොහොතේ, ඉහතින් කී අවසාන අසාර්ථකත්වය ඉතා නිහීන සිහිකැඳවීමක් වශයෙන් අප ඉදිරියේ අදත් හොල්මන් කරයි.

පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණයෙන් අම්බානකට කෑවත්, පවතින තත්වයේ දිග පළල වටහා ගැනීමට එක්සත් ජාතික පක්ෂය අසමත් විය. ඉන්ධන සම්බන්ධයෙන් ගෙනා විච්චූරණ මිල සූත‍්‍රය, සාමාන්‍ය ඡුන්දදායකයා කෙරෙහි ආණ්ඩුවේ ඇති නොතැකියාව පිළිබඳ අගනා සංකේතයක් විය. ගෝලීය උෂ්ණත්වය ලංකාවට බලපෑම ගැන හෝ රටක් වශයෙන් චීනයට සීග‍්‍රයෙන් යටත් වීගෙන යාම ගැන හෝ (ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප‍්‍රසිද්ධ පුවරු සිංහල, ඉංග‍්‍රීසි සහ චීන භාෂාවෙන් මිස දෙමළ භාෂාවෙන් නොමැති අවස්ථා වාර්තා වන තත්වයක් තුළ), දිනපතා ඝාතනය වන අලි ඇතුන් ගැන හෝ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අනිටු ඵලවිපාක ගැන හෝ දූෂණය හෝ ළමා අපචාර ගැන හෝ ආණ්ඩුවට ගානක් නැති විය. මෑතකදී මීගමුව පළාතේ පුද්ගලයෙකු විසින් අසරණ බල්ලෙකු පුළුස්සා මරණයට පත්කිරීමේ සිද්ධිය, වළක්වා ගත හැකිව තිබූ ආණ්ඩුවේ තවත් එක් අසාර්ථකත්වයක නිරූපණයකි. ඒ මන්ද යත්, ‘සත්ව සුභසාධන පනත’ ආණ්ඩුව නොතකා හැර තිබුණු බැවිනි. අවසානයේ බලන විට ආණ්ඩුව කර තිබෙන්නේ, නින්දෙන් ඇවිද ගොස් විනාශය මුඛයට ඇද වැටීමයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ඒ සමගම ඇදගෙන යාමයි.

අතිශය වැදගත් ‘ව්‍යවස්ථා සභාවට’ චමල් රාජපක්ෂව යෝජනා කිරීමට දෙමළ ජාතික සන්ධානය ගත් (වැරදි) තීරණය, සමහර විට, ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණය දියත් වීමට මත්තෙන් අප සිටි තත්වය වඩාත් හොඳින් නිරූපණය කළ එක් අවස්ථාවක් විය හැකිය. ආණ්ඩුවේ ඔලමොට්ටලකම්වලට ස්තුතිවන්ත වන්නට, බහුත්වවාදී ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ආකල්පය කෙරෙහි රාජපක්ෂලාගෙන් එල්ල විය හැකි අවදානම, රටේ සුළු ජාතික පක්ෂවලට පවා අමතකව තිබුණි.

මෛත‍්‍රීපාල සිරිසේනගේ කුමන්ත‍්‍රණය මොන තරම් හෙනයක් වුවත්, එය නින්දෙන් ඇවිදින එක්සත් ජාතික පක්ෂයට අත්‍යාවශ්‍ය කොට තිබූ හොඳ කණේ පහරක් විය. රාජපක්ෂලා යළි ප‍්‍රාදුර්භූත වීම නැමැති යථාර්ථය කාගේත් ඇස් අරවන සුළු විය. රනිල් වික‍්‍රමසිංහ තමාට නුහුරු හයියක් එහිදී පෙන්නුම් කෙළේය. එක්සත් ජාතික පක්ෂයත් අඩු වැඩි වශයෙන් ඔහු වටා එක්රැුස් වුණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වූ ඒ මාරක තර්ජනය ඉදිරියේ 2015 සභාගය යළි නැගිට්ටේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් අභීතව නැගී සිටීම, සිරිසේන කල්ලියේ පිල්ලිය විසින් ජනනය කරන ලද වඩාත් සාධනීය ප‍්‍රතිඵලයක් වශයෙන් ගිණිය හැකිය. උදාහරණයක් වශයෙන්, එම්. ඒ. සුමන්දිරන් සහ අනුර කුමාර දිසානායක ඒ අරභයා කළ කතා, අත්‍යාවශ්‍ය අධ්‍යයනයන් සේ සැලකිය හැකිය. මන්ද යත්, ඔවුන් මේ ප‍්‍රශ්නය, තම තමන්ගේ හුදු පක්ෂ දෘෂ්ටිවාද වලින් පරිබාහිරව, ජාතික දෘෂ්ටි කෝණයක තබා විශ්ලේෂණයට ලක්කළ බැවිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව නිරායාසයෙන් නැගී සිටීම පසුගිය මාස කිහිපයේ උද්ගත වූ සිදුවීම් විසින් උත්තේජනය කළ තවත් සාධනීය සාධකයකි. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ වැරදි, අමනකම් සහ කුහකකම් නිසා, 2015 දී රාජපක්ෂලාව දෙවරක්ම පරාජය කළ ජනතාව ආණ්ඩුවෙන් ඈත් වූහ. රාජපක්ෂ-විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර අධෛර්යමත් විය. අකර්මණ්‍ය විය. නිස්කාරණේ සීසීකඩව ගොස්, එවැනි කඳවුරක හුදු පැවැත්ම පවා අවිනිශ්චිත භාවයකට පත්කෙරුණි. එහෙත් ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණයෙන් ඒ සියල්ල වෙනස් විය. රට ඉදිරියේ සැබවින්ම පරදුවට වැටී ඇත්තේ කුමක් ද යන්න පැහැදිළි විය. සාමාන්‍ය ජනතාව ඒ නැගීගෙන ආ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ප‍්‍රවාහයට එරෙහිව තමන්ට හැකි පමණින්, විටෙක විරෝධතා පවත්වමින් ද, විටෙක පෙත්සම්වලට අත්සන් ලබා ගැනීමාදියෙන් ද සහාය දක්වමින් නැගී සිටියහ. ඒ සමාජමය මැදිහත්වීම ශ‍්‍රී ලංකාවේ නවමු අත්දැකීමක් විය. මේ අර්බුදයෙන් පසුව පවා ඒ ජීව ගුණය රැුඳෙතැයි අපේක්ෂා කළ යුතුව තිබේ.

කෙසේ වෙතත්, මේ වෘත්තාන්තයේ සැබෑ වීරයා වුණේ අධිකරණයයි. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරු (ඊවා වනසුන්දර විනිසුරුවරිය ද ඇතුළුව) අභියෝගය භාර ගත්හ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් පරිදි, ‘‘කිසිම රාජ්‍ය බලධාරියෙකුට, ජනාධිපතිවරයෙකුට වේවා වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට වේවා, අපේ නීතියෙන් අසීමිත අභිමතයක් පවරා නොමැති බව මේ අධිකරණය අනන්තවත් අවධාරණය කොට තිබේ.’’

කුමන්ත‍්‍රණය හේතුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිය ගැලවීම සඳහා තවත් අවස්ථාවක් සපයා දී තිබේ. ඒ, රාජපක්ෂලාගෙන් නිරතුරුව එල්ල වන තර්ජනය ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට සිහිපත් කර දීමෙන් සහ මෛත‍්‍රීපාල සිරිසේනට වඩා නිර්දය නායකයෙකු අතට පත්වීමට කලින් මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීමේ වැදගත් කම පොදුවේ සිහිපත් කර දීමෙනි.

මෙය, විධායක ජනාධිපති ක‍්‍රමයකට යා දෙන රටක් නොවේ

ශ‍්‍රී ලංකාවේ පුරාතන අතීතය සහ වර්තමානය ගැන බලන විට එය විධායක ජනාධිපති ක‍්‍රමයට ඔබින රටක් නොවන බව පෙනී යයි. විධායක ජනාධිපති ක‍්‍රමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකට යහතින් පවතින්නේ, රජ ක‍්‍රමයක් අතීතයේ පැවත නැති, ඇමරිකාව වැනි රටවල ය. විධායක ජනාධිපති ක‍්‍රමයක් පවතින ප‍්‍රංශයේ අතීත රජ ක‍්‍රමයක් පැවතුණු බව ඇත්ත. එහෙත් එම රට, රජ ක‍්‍රමයට එරෙහිව සමූහාණ්ඩුවාදී විප්ලවයක් දියත් කළ අතර, රජතුමාවත් එක් නිශ්චිත මොහොතකදී හිස ගසා දැම්මේය. ලංකා ඉතිහාසය තුළත් රජවරුන්ව ඝාතනය කොට තිබේ. එහෙත් ඒ, ප‍්‍රංශයේදී මෙන් ‘නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය’ යන ත‍්‍රිත්ව මූර්තිය යටතේ පෙළ ගැසුණු පොදු ජනතාවක් විසින් නොව, බලකාමී අපයෝජකයන් විසිනි. ඉතිං, අපේ රටේ ජනතාව ඒ කාර්යයට උර දී නැති තත්වය තුළ, විධායක ජනාධිපති ධුරයක් බොහෝ විට යොමු වීමට ඉඩ ඇත්තේ රාජත්වය කෙරෙහි වන නැමියාවක් දෙසට ය. අනිත් පැත්තෙන්, දාස භාවය පිළිබඳ මානසිකත්වයක් ද එයින් ජනිත කෙරේ.

ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේ ඇති පැහැදිළි අවදානම වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයකදී රාජපක්ෂවරයෙකු බලයට පත්වීමයි. 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා මහින්ද, බැසිල්, ගෝඨාභය සහ නාමල් රාජපක්ෂ නුසුදුස්සන් කොට ඇතත්, චමල් රාජපක්ෂ සම්බන්ධයෙන් එවැනි බාධාවක් නැත. ආධාරකරුවන් බලමුළු ගැන්වීමත්, විරුද්ධවාදීන් නිර්බල ගැන්වීමත් සම්බන්ධයෙන් ඔහු ඉතා ප‍්‍රබල අපේක්ෂකයෙකු වනු ඇත.

රාජපක්ෂලා පැරදුණත්, දිනන්නේ කවුද? වාසනාවට, මෛත‍්‍රීපාලට දිනිය නොහැක. එවිට ඉතිරි වන්නේ, රනිල් වික‍්‍රමසිංහ ය. තවත් එහාට ගියොත්, සජිත් පේ‍්‍රමදාස හෝ රවි කරුණානායක ය. මේ කියන එක නායකයෙකුවත්, යම් හෙයකින් ජයග‍්‍රහණය කළොත්, මෛත‍්‍රීපාල සිරිසේනට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙතැයි විශ්වාස කිරීමට අපට කිසි හේතුවක් තිබේ ද?

අලූත් ජනාධිපතිවරයා කවුරු වෙතත්, බලයට පත් සැණින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇත. එසේ කරනුයේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණයේ රස්නයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ජය ගැනීමට ය. එහි අදහස වන්නේ, මාර්තු/අපේ‍්‍රල් වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවයි. එවැනි තත්වයක් තුළ ජනාධිපති සහ පාර්ලිමේන්තුව යන දෙකම එක පක්ෂයකට අයත් වීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද තුලන සහ සංවරණ යාන්ත‍්‍රණය කොතෙක් දුරට සාර්ථක විය හැකි ද? එහිදී සිදුවිය හැක්කේ, ජනාධිපතිවරයාගේ සුවච අතවැස්සෙකු බවට අගමැතිවරයා පත්වීමයි.

ලංකාව විධායක ජනාධිපති ක‍්‍රමයක් සඳහා විශේෂයෙන් නුසුදුසු වීමට බලපාන කැපී පෙනෙන සාධකයක් අපේ දේශපාලන ක‍්‍රමය තුළ තිබේ. එනම්, පවතින කිසි දේශපාලන පක්ෂයක් තුළ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොතිබීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත්, විධායක ජනාධිපති ක‍්‍රමයක් පවතින (ඇමරිකාව, ප‍්‍රංශය සහ චිලී වැනි) බොහෝ රටවල ප‍්‍රධාන පක්ෂවලට අයත් නායකයන් අතරින් ජනාධිපතිවරණය සඳහා කෙනෙකු තෝරා ගනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම හෝ සම්ප‍්‍රදායයන් හෝ තිබේ. එම තෝරා ගැනීම සිදු කෙරෙන්නේ, සමස්ත පක්ෂය නියෝජනය කරන පුළුල් සාමාජික පර්ෂදයක් මගිනි. ශ‍්‍රී ලංකාවේ පක්ෂ නායකයන්, හැම දාමත් පක්ෂ නායකයන්ම ය. ඔවුන්ගේ නායකත්ව අධිකාරිය හෝ ප‍්‍රතිපත්ති අභියෝගයට ලක්කළ හැකි ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් අපේ පක්ෂ ක‍්‍රමය තුළ ඇත්තේ නැත. පක්ෂයක අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොපැවතීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය සාර්ථකත්වයන් නිරර්ථක වීමට හේතුකාරක විය හැකිය.

දෙසැම්බර් 13 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෛත‍්‍රීපාල සිරිසේන භාර ගත්තේය. එය අතිශය වැදගත් කාරණයකි. සමහර සිංහල මාධ්‍ය (විශේෂයෙන් ‘ඉරිදා දිවයින’) වාර්තා කළ පරිදි, ඔහුගේ අලූත් දේශපාලනික සගයා වන මහින්ද රාජපක්ෂ ඔහුට උපදෙස් දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොතකා පාර්ලිමේන්තු මැතිවරණයකට යන ලෙසයි. මෛත‍්‍රිපාල සිරිසේන එම උපදේසය පිළිපැද්දේ නම් ඇති විය හැකිව තිබූ ප‍්‍රතිවිපාක මහත් විනාශකාරී වනු ඇත. එහෙත් ඔහු එසේ කෙළේ නැත. එයම වුව, එනම්, තමන්ට ඉතා අවාසි සහගත අධිකරණ තීන්දුවකට හිස නැමීමට සූදානම් ජනාධිපතිවරයෙකු වීමම, පසුගිය මාස දෙක තුනේ අලකලංචි කෙසේ වෙතත්, 2015 කරන ලද තේරීම්වල නිරවද්‍යතාව පෙන්නුම් කරන්නකි.

ඊළඟ ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා කාලය ළං වන විට මේ ප‍්‍රශ්නය තවත් වැදගත්කමින් යුතුව අපට අභිමුඛ වෙයි. එහිදී අප සහයෝගය දක්වන අපේක්ෂකයා තවත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු හෝ ඊටත් වඩා අන්ත කෙනෙකු නොවෙතැයි සිතීමට ඇති සහතිකය කුමක් ද?

එහිදී අප ඉදිරියේ ඉතිරි වන්නේ, එකම ආරක්ෂිත විකල්පයක් පමණි: විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න.

එම ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ප‍්‍රමාණවත් තෙරපීමක් සමාජය තුළ පවතින්නේ නම් සහ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයට එම ඉල්ලීම සඳහා නායකත්වය සැපයිය හැක්කේ නම්, එක්සත් ජාතික පක්ෂයට එය ප‍්‍රතික්ෂේප කිරීම අසීරු වනු ඇත. ජනාධිපතිවරයා, සෘජු ඡන්දයකින් වෙනුවට පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගනු ලබන කෙනෙකු වන, ආණ්ඩුවේ නායකයා නොවන කෙනෙකු වන සහ පක්ෂයක නායකයෙකු ද නොවන කෙනෙකු වන යෝජනාවලියකින් සමන්විත ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ අරභයා යහපත් ආරම්භයක් විය හැකිය.

ඒ ව්‍යායාමය සාර්ථක වීමට හෝ නොවීමට ඉඩ තිබේ. එහෙත්, එය ගත යුතුව ඇති ප‍්‍රයත්නයකි. ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය තුළින් මෙතරම් පාඩම් කන්දක් උගන්වා ඇති තත්වයක් තුළත් එසේ නොකිරීම, සාපරාධී අමනකමක් වනු ඇත.

2019 ජනවාරි 6 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ What The Coup Taught Us නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment