16 December, 2017

Blog

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩාවැටීම

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක‍්‍රියාත්මක කිරීමට පවා ශ‍්‍රී ලංකා රජය අසමත් වූ බව අවසානයේ ඔප්පු කෙරුණි. අනතුරුව, රටේ බුද්ධ ශාසන ඇමතිවරයා ද වන අධිකරණ ඇමතිවරයා, කිතුණු පල්ලිවලට එල්ල කළ පහරදීම් ගණනාවක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකු කළ ප‍්‍රකාශයකට එරෙහිව එම නීතිඥයවරයාගේ ලෝගුව ගලවන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කෙළේය. අවසානයේ මේ නාටකය මස්තකප‍්‍රාප්ත වුණේ, අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම පාර්ශ්වයේ සංඝ කාරක සභාව ඉහත සඳහන් භික්ෂුවගේ ක‍්‍රියා කලාපය අළලා මතු වූ චෝදනාවන්හි හරි වැරැුද්ද පිළිබඳ ස්වකීය විනිශ්චය ප‍්‍රකාශයට පත්කරමින්, ඇතැම් පුද්ගලයන්ව නම් කොට හෙළාදකිමින් සහ ඔවුන්ට අනතුරු අඟවමින්, අවශ්‍ය වෙතොත්, ස්වකීය අරමුණු ජය ගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව ජනතාව බලමුළු ගන්වන බවට ද තර්ජනය කරමිනි.

යුරෝපයේ බුද්ධි ප‍්‍රබෝධ යුගය සේ ගැනෙන කාල පරිච්ඡේදය​ වනාහී, රාජ්‍යයන්හි ලෞකික කටයුතුවලට පූජ්‍ය පක්ෂය විසින් කෙරෙමින් තිබූ අතපෙවීම්වලට එරෙහිව ගෙන ගිය අරගලයකි. එම අරගලයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණයක් වුණේ රාජ්‍යයෙන් පල්ලිය ඉවත් කිරීමයි. 18 වැනි සහ 19 වැනි සියවසේ යුරෝපය ලද ප‍්‍රගතියේ විශාල කොටසක් සමන්විත වන්නේ, සියවස් ගණනාවක් තිස්සේ පැවති පල්ලියේ බල පරාක‍්‍රමයට එරෙහිව ගොඩනැගුණු ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන්ගෙනි.

පල්ලියේ බලධාරීන් ලෞකික කටයුතුවලට ඇඟිලි ගැසීම්වල ඇති මුග්ධත්වය මැනවින් ප‍්‍රකාශයට පත්වුණේ පල්ලිය විසින් ගැලීලියෝව දණ්ඩනයට ලක්කිරීමේදී ය. පෘථුවිය කේන්ද්‍ර කර ගත් පල්ලියේ මතවාදය ප‍්‍රතික්ෂේප කරමින්, ඒ වෙනුවට විද්‍යාව මත පදනම්ව සූර්යා වටා භ‍්‍රමණය වන පෘථුවියක් ගැන ස්වකීය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම, ගැලීලියෝව පල්ලියේ උදහසට ලක්කළ හේතුවයි. මෙහිදී ගැලීලියෝ වැරදිකරු බවට පල්ලිය තීන්දු කළ අතර, අන්ධ භක්තියෙන් එම මතය පිළිගැනීමට සියල්ලන්ට බල කෙරුණි. ඒ බල සබඳතාව අවසානයකට පත්කරමින් නිදහසේ නව යුගයක් උදා කිරීමට සමත් වුණේ ප‍්‍රබුද්ධ යුගයේ අනුහසිනි.

නිදහසේ මූලික සංඝටකය වන්නේ, චින්තනමය කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක විය යුත්තේ විචාරශීලී හේතුවාදය මිස පල්ලිය ඇතුලූ කිසිවෙකුගේ බලාධිකාරයක් නොවිය යුතු බවයි. පාප් වහන්සේ යනු කිසිවක් නොවරදින සුළු මහ බලවතා වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණත්, ලෞකික ලෝකය එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. මේ සියලූ අරගලවල අවසාන සාධනීය ප‍්‍රතිඵලය වුණේ, ලෞකික කාරණා සම්බන්ධයෙන් පල්ලියේ අදහස් උදහස් සහ නිගමන වැදගත් නොවන බව පිළිගැනීමට පල්ලියට සිදුවීමයි.

ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන් තවත් තීව‍්‍ර කෙරුණේ, මුලින් බි‍්‍රතාන්‍යයේ සහ ප‍්‍රංශයේ බිහි වී, පසුව සමස්ත යුරෝපයටත් ඇමරිකාවටත් ව්‍යාප්ත වූ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයන් ය. බලතල බෙදීමේ සිද්ධාන්තය මත පදනම්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ප‍්‍රවර්ධනය වීම, ප‍්‍රබුද්ධ යුගයේ දීර්ඝ අරගල සහ දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවූ, නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ අරගලවල ප‍්‍රතිඵලයකි. නිදහස යනු ඕනෑම මිලක් ගෙවා අත්පත් කර ගත යුතු දෙයකැයි මේ මිනිස්සු තරයේ ඇදවූහ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පයේ වර්ධනය තුළින් බිහි වූ එක් මූලධර්මයක් වන්නේ, නීතිය රජ විය යුතු බවයි. රජ කෙනෙකුවත්, පල්ලියවත්, නීතියට ඉහළින් තිබිය යුතු නැත. සමාජ ස්ථාවරත්වය ගොඩනැගුණේ, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අදහස් මත ය. නීතිය පිළිබඳ අවසාන විනිශ්චයකරුවා විය යුත්තේ, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ එක් ප‍්‍රධාන කුළුණක් වන, නීතිය සහ හේතුවාදය මතම පදනම්ව ආරාවුල් නිරාකරණය කරන, අධිකරණ බලාධිකාරයයි.

ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ප‍්‍රබුද්ධ යුගයේ මෙවැනි අදහස් ය. ඒ අනුව, නිදහස් ස්වෛරී ලංකාවට ලැබුණු ප‍්‍රථම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පය අන්තර්ගත විය. එසේම, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සංකල්පත් ඒ නූතන ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ප‍්‍රධාන කුළුණු වශයෙන් පිළිගැනුණි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇති කරගන්නා තෙක් මේ තත්වය ස්ථාපිතව තිබුණි. එහෙත් 1978 ව්‍යවස්ථාව තුළින් ඉහත කී ප‍්‍රබුද්ධ යුගයේ සංකල්ප බොහොමයක් වෙනත් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් පසෙක ලන ලදි. මේ අලූත් ව්‍යුහය, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හැඳින්වූ පරිදි, මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍ය නායක ජොන් බෙදෙස් බොකාසා ගේ අදහස් මත පදනම් වූවකි. එහි අවසන් ප‍්‍රතිඵලය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයේ කඩා වැටීමත්, අරාජිකත්වය කරා රට ක‍්‍රමයෙන් පල්ලම් බැසීමත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යය කඩා වැටුණු තරම සහ අරාජිකත්වයේ තරම, මේ ප‍්‍රකාශනය ආරම්භයේ සටහන් කරන ලද, ගිය සතියේ ඇති වු සිදුවීම් තුළින් මනාව නිරූපණය විය.

දැන් අස්ගිරියේ උත්තරීතර සංඝ සභාව, නීතියට ඉහළින් සිටී. අධිකරණයට සහ අධිකරණ ක‍්‍රියාවලියට නියෝග නිකුත් කිරීමට ඊට හැකිය. අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන්ද, නොගත යුත්තේ කවුරුන්ද යන වග කියා දීමටත් ඊට පිළිවන. ඇතැමුන් වැරදිකරුවන් වශයෙන් හඳුන්වමින්, එවැනි පුද්ගලයන්ව යටපත් නොකිරීමට එරෙහිව රාජ්‍යය හෙළාදැකීමටත් ඊට පිළිවන.

මේ සතිය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ සහ අධිකරණයේ ස්වාධීනත්වයේ අනාගතය සම්බන්ධයෙන් පමණක් නොව, ශ‍්‍රී ලාංකීය ලෞකික රාජ්‍යයේමත් අනාගතය පිළිබඳ ඉතා බියකරු සතියක් සනිටුහන් කෙළේය. මේ ක‍්‍රියාවලියට හවුල් වූ බෞද්ධ පැවිදි නායකයෝ තමන් දේශපේ‍්‍රමයෙන් සජ්ජිතව මේ කටයුතු සිද්ධ කරන්නේ යැයි කියත්. ඇත්ත වශයෙන්ම, මේ වනාහී අතිශය දේශද්‍රෝහී ක‍්‍රියාවකි. එහි ප‍්‍රතිවිපාක වර්තමාන පරම්පරාවට මෙන්ම අනාගතයේ බිහිවන පරම්පරාවන්ට ද භුක්ති විඳීමට සිදුවනු ඇත. මේ සතියේ ශ‍්‍රී ලංකාව දීර්ඝ පියවරක් තැබුවේ, අඳුරු යුගයක් දිසාවටයි.

තමන් කරන ලද මේ ක‍්‍රියාව පිළිබඳව නැවත වරක් බරසාරව සළකා බැලිය යුතු බවට අස්ගිරි පාර්ශ්වයේ සංඝ කාරක සභාවෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු. එසේම රට ඇද වැටෙමින් පවතින මේ යෝධ අවදානම ගැන සිහිබුද්ධිය ඇති සියලූ දෙනා එළැඹුණු සිහියෙන් යුතුව කල්පනා කර බැලිය යුතු බවත් අපි කියා සිටිමු.

*2017 ජුනි 23 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ මගින් නිකුත් කළ “Sri Lanka/World: Rapid Collapse of the Secular State” නැමැති ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මෙරට සිංහල බොද්ධ පදනම ඉරි තලා දැමීම තම පරමාර්ථය කොට ගත් මෙම පාංඩු ආණ්ඩුවට රතු එළි දැල්වූ, එන් ජී ඕ පිසාචයින්ට තාවකාලිකව හෝ තම පර හිස හංගා ගැනීමට අවකාශ සැලසූ ගෙ!රවනීය අස්ගිරියට තව වරක් නමස්කාර කිරීමට, මේ පල් හෑල්ල වුව ප්රමාණවත් ය!

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.