27 September, 2020

Blog

සමන් කැලේගම (1959-2017): ලිබරල් ආර්ථිකයක බුද්ධි මණ්ඩල භූමිකාව   

උදන් ප්‍රනාන්දු

ආචාර්ය උදන් ප්‍රනාන්දු

පසුගිය 23 වන දා දැනගන්නට ලැබුණු ආචාර්ය සමන් කැලේගම මහතාගේ වියෝව බොහෝ දෙනෙකු තුළ කම්පනයක් හා ශෝකයක් ඇති කළා. ආර්ථික විද්‍යාඥයකුගේ වියෝවිමක දී සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් මෙතරම් ශෝක පණිවිඩ ලැබෙනු මා මිට පෙර දැක නොතිබුණු බව කිව යුතුයි. ආචාර්ය කැලේගම ඉතා සරල මිත්‍රශීලි පුද්ගලයෙකු වූ අතර ඔහු නිරහංකාර පුද්ගලයෙකු ලෙස සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ අයෙක්. ඔහුගේ අකල් වියෝව යථාර්තයක් බව පසක් වීමෙන් දැනෙන සංවේගය නිසාත්, අප දෙදෙනාගේ වෘත්තීමය මාර්ගය නිතර එකිනෙකට සමපාත වූ නිසාත්, ශ්‍රී ලාංකීය සන්ධර්භය තුළ ආචාර්ය කැලේගම මෙතරම් ඉහළ මට්ටමේ ආර්ථික විද්‍යාඥයකු වීමට ඉවහල් වූ කරුණු පිළිබඳව  මගේ අදහස්  මෙම ලිපියට අන්තර්ගත කොට තිබෙනවා. අන් සියල්ලන් සේම මා ද ආචාර්ය කැලේගමගේ වියෝවෙන් සංවේගයට පත් වන අතරම අවමංගල්‍ය සටහනකින් ඔබ්බට ගොස් නව දැනුම නිෂ්පාදනය කළ බුද්ධි මණ්ඩලයක (Think Tank) නියමුවෙකු ලෙස ඔහුගේ භූමිකාව විවරණය කරන්නට මා මෙම ලිපියෙන් උත්සාහ ගෙන තිබෙනවා.

ආචාර්ය කැලේගම ආර්ථික විද්‍යාඥයකු ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ඉස්මතු වන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලැබූ විශිෂ්ට පුහුණුවත් සමගයි. ඔහුගේ පියා මෙරට සිටි කීර්තිමත් විද්වතෙකු හා සිවිල් සේවකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ජේ.බි කැලේගම මහතායි.  එනිසාම ආර්ථික විද්‍යාඥයකු ලෙස සිය වෘත්තීමය ජීවිතය ඇරඹීමට අවැසි පදනම කැලේගම මහතාට පවුල් පසුබිමෙන් ම හිමිවී තිබුනා. කෙසේවෙතත් ඔහු තෝරා ගත්තේ සාම්ප්‍රදායික මාර්ගය නොවන අතර සිය පියාගේ අඩි පාරේ යමින් මහා බැංකුවට සම්බන්ධ නොවූ අතර මහා භාණ්ඩාගාරය වැනි තැනක් සිය වෘත්තීය ලෙස තෝරා ගත්තේද නැහැ. ඒ වෙනුවට ආචාර්ය කැලේගම තෝරා ගත්තේ බුද්ධි මණ්ඩල පිළිබඳව මෙරට ඉතා සුළු පිරිසක් පමණක් දැන සිටි අවදියක, බුද්ධි මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයයි (IPS). 1995 සිට සිය වියෝව තෙක් ම ඔහු නායකත්වය දුන් IPS සමග ඔහු ස්වකිය අනන්‍යතාවය ගොඩ ගනා ගත්තා සේම ආයතනයේ වර්ධනයට ද විසල් දායකත්වයක් ලබා දුන්නා.

ආචාර්ය සමන් කැලේගම

මා සිතන ආකාරයට බුද්ධි මණ්ඩල යන්න මෙරට සන්දර්භය තුළ භාවිත යෙදුමක් බවට පත් කරන්නට මුල් වූයේ ආචාර්ය කැලේගමයි. ප්‍රතිපත්ති ආයතනයේ පුරෝගාමියා නොවුනත් එය මෙරට ආර්ථික කටයුතු හා සෙසු සම්බන්ධිත කේෂේත්‍ර පිළිබඳව පර්යේෂණ සිදු කරන හා ප්‍රතිපත්තිය උපදෙස් ලබාදෙන පිළිගත් ආයතනයක් බවට පත් කරන්නන්ට මුල් වූයේ ඔහුයි. 1977 විවෘත ආර්ථිකයත් සමග සිදුවූ කඩිනම් ආර්ථික ප්‍රතිපත්ති වෙනස්වීම්ලින් වසර ගණනකට පසුව IPS ආයතනය බිහිවීම මෙරට සමකාලීන ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නෙදර්ලන්තයේ ජිවත් වන කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය හොවාර්ඩ් නිකලස් මා සමග ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආරම්භය පිළිබඳව පැවසු කතාවක් මට මෙහිදී නොපවසා ඉන්නට බැහැ. එවකට මුදල් අමාත්‍යවරයා වූ රොනී ද මැල් මහතා මතු කළ කරුණක් නම් විවෘත ආර්ථිකයත් සමග ඇතිවී තිබෙන ආර්ථිකයේ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ස්වරූපයන්ට අවැසි ප්‍රතිපත්තිමය උපදෙස් ලබා දීමට ස්වාධීන බුද්ධි මණ්ඩලයක අවශ්‍යතාවයයි. එම අදහස යතාර්ථයක් කරමින් පර්යේෂණ හා ප්‍රතිපත්තිමය උපදෙස් දෙන ආයතනයක් ඇරඹීමේ වගකීම හොවර්ඩ් වෙත පැවරුණු අතර වැඩි ප්‍රසිද්ධියට කැමති කෙනෙක් නොවූ හොවාර්ඩ් ක්‍රමයෙන් 1988 වන විට IPS ආයතනය ඇරඹීමේ මූලික වැඩපිළිවෙල සකසා තිබුනා. ආචාර්ය කැලේගම IPS ආයතනයට පර්යේෂකයෙකු ලෙස​ සම්බන්ධ වන්නේ 1990 දී වන අතර එක්සත් ජාතික පක්ෂ රජයේ අවසන් වසර කිහිපය වූ එම අවදියේ දී විවෘත ආර්ථිකයේ හා ව්‍යූහාත්මක වෙනස්කම් වැඩසටහන නිසා නව තත්ත්වයන් දකින්නට ලැබුනා. 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා කුඩා පක්ෂ එක්ව පිහිටුවා ගත් පොදුජන එක්සත් පෙරමුණ විසින් 17 වසරක එක්සත් ජාතික පක්ෂ රජය නිමාකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවනු ලැබුවා. කැලේගම මහතා 1995 දී IPS ආයතනයේ ප්‍රධානියා බවට පත් වන්නේ මෙම සුවිශේෂි දේශපාලන විපර්යාසයන්ට සමගාමීවයි. මෙම කාල පරිච්ජේදයේ සුවිශේෂි සිදුවීම් මෙරට දේශපාලනයෙන් එපිට ද සිදු වී තිබෙනවා. ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් එක්සත් රාජධානියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිවීම, කොමියුනිස්ට් සමූහයේ හා චීනයේ සිදු වූ දෙවන රැල්ලේ දැවැන්ත වෙන්සවිම්වලට සාපේක්ෂව ප්‍රංශයේ හා ජර්මනියේ ද බරපතල වෙනස්කම් සිදු විය. බ්ලෙයාර්ගේ කම්කරු පක්ෂය ‘රෝස’ පැහැයට වෙනස් වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නව ප්‍රතිපත්තිය නිසා ‘විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්’ යන යෙදුම ද මෙරට දේශපාලන ශබ්ද කෝෂයට එකතු විය. මෙහිදී සැබවින්ම සිදු වූයේ පොදු ජන එක්සත් පෙරමුණු රජයට සහය දුන් ප්‍රමාණාත්මකව කුඩා වුත් සංකේතීය වශයෙන් වැදගත් වු වාමාංශික පක්ෂ සතුටු කිරීමටත් ජනතා ජන්ද ලබාගැනීමේ උනන්දුවෙනුත් එජාපය විසින් ප්‍රවර්ධනය කළ විවෘත ආර්ථිකය වෙනස්කම් කිහිපයක් සමග පවත්වාගෙන යාමයි. මෙම ඓතිහාසික සන්ධිස්ථානයේ වැදගත්ම කරුණ වන්නේ 1970-77 අවධියේ සමාජවාදී ලක්ෂණ පෙන්නුම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එතෙක් එජාපය විසින් රැගෙන ආ ආර්ථික ප්‍රතිපත්තියම පවත්වාගෙන යාමය.

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයට පසුව ඇරඹුණේ IPS ආයතනය පමණක් නොවේ. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (SSA) ද පශ්චාත් 1977 කාලයේ බිහිවූ අතර එය විවෘත ආර්ථිකයට විචාරාත්මක ප්‍රවේශයකින් එළඹුණි. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය අරඹන්නේ මෙරට සිටි වාමාංශික නැඹුරුවක් ඇති විද්වතුන් කීපදෙනෙකුගේ එකතුවෙනි. අනතුරුව නීතිඥයෙකු හා ශාස්ත්‍රඥයෙකු වූ ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතාගේ පුරෝගාමීත්වයෙන් තවත් ප්‍රධාන බුද්ධි මණ්ඩලයක් වූ වාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ICES) ඇරඹේ. කෙසේ වෙතත් දශක තුනකට වඩා කාලයක් ගතවූ වාර්ගික අර්බුධය නිසා ශ්‍රී ලංකාවේ බුද්ධිමය කතිකාව කිසියම් අධිනිශ්චය වීමකට ලක් විය. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, වූ වාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මෙන්ම තිස්ස බාලසුරිය පියතුමා විසින් 1971 දී ඇරැඹු සමාජය හා ආගමික කේන්ද්‍රය (Center for Society and Religion) හා පෝල් කැස්පර්ස් පියනම හා ලියෝ නානායක්කාර බිෂොප්තුමා විසින් 1972 දී ඇරඹු සත්යෝදය වැනි ආයතන මානව හිමිකම්, බලය බෙදීම හා වාර්ගික සහයෝගිතාව වැනි ගැටුම් ආශ්‍රිත කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට විය. මෙනිසා ආර්ථිකය පිලිබඳ කතිකාව සිදු කිරීමට සිදු වූයේ IPS ආයතනය, ශ්‍රී ලංකා ආර්ථික විද්යාඥයන්ගේ සංගමය හා සෙසු විද්වතුන්ටය. මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඩ්ෆ්‍රී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවූ මාර්ග ආයතනය, IPS ආයතනයට පෙර බිහිවූ බුද්ධි මණ්ඩලයක ස්වරූපය ගත් ආයතනයකි. ගෝඩ්ෆ්‍රී ගුණතිලක යනු ආර්ථිකය විවෘත වූ මුල් වසර කිහිපයේ සංවර්ධන සැලසුම්කරණයට අදාළව රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දැරූ අයෙකි. කුමන හෝ හේතුවක් මත විවෘත ආර්ථික සන්දර්භය තුළ ආර්ථික කටයුතු අරබයා බුද්ධි මණ්ඩලයක් ලෙස මාර්ග ආයතනය ඉස්මතු නොවිය. IPS ආයතනය නව ආර්ථික ප්‍රතිපත්ති බිහි වූ  සන්දර්භය තුළ බුද්ධි මණ්ඩලයක් ලෙස මතු වූ අතර සිය කිර්තිය හා පිළිගැනීම පවත්වාගෙන ගියේය. අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස සංස්ථාගත කිරීම නිසා IPS ආයතනය රාජ්‍ය අංශයේ, බහු පාර්ශවීය ආයතන මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ද විශ්වාසය හා අනුග්‍රහය ලබාගැනීමට සමත් විය. අචාර්ය කැලේගමගේ බුද්ධිමය දායකත්වය සිදු වන්නේ මෙම සම්හාව්‍ය බුද්ධි මණ්ඩල පරිසරය තුළ IPS ආයතනය රාජ්‍ය මුහුණුවරකින් යුක්තව වුව ද අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ස්වාධීනව  බුද්ධිමය වශයෙන් ක්‍රියාත්මක වන සන්දර්භයක් තුලයි. මා සිතන ආකාරයට මෙම සුවිශේෂී හා අසීරු මාර්ගයේ බුද්ධි මණ්ඩලයක් ලෙස IPS ආයතනය ස්ථානගත කිරීමට කැලේගම මහතා සුවිශිෂ්ට භූමිකාවක් ඉටු කළ බවයි. IPS ආයතනයේ වෙළඳාම, සංක්‍රමණය, කම්කරු ක්ෂේත්‍රය හා සෙසු විෂය පථයන්ගේ ප්‍රතිපත්ති කේන්ද්‍රීය පර්යේෂණ මගින් රාජ්‍ය ආයතනවල, බහු පාර්ශවීය හා ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවලට දැනුම සම්පාදනය කෙරුණු අතර අදාළ ක්ෂේත්‍රයන්ට අදාළ පොදු මහජන කතිකාව ද ශක්තිමත් කළේය.  IPS ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන සිය බුද්ධිමය මුද්‍රාව ලෙස සැළකිය හැකි ‘State of the Economy’ (ආර්ථිකයේ ස්වරූපය) ප්‍රකාශනය රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ මෙන්ම පුද්ගලික අංශය තුළ ද සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය. කැලේගම මහතා සිය දැක්ම හා බුද්ධිමය නිපුණත්වය නිසා සංකල්පීකරණය කළ එම ප්‍රතිපත්තිමය සටහනට, මහා බැංකු වාර්ෂික වාර්තාව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ ඒ හා සමාන වාර්තාවන්ට ද නිසි ඇගයීම ලැබිය යුතුය. කැලේගම මහතාගේ කාර්යය මහ බැංකුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයන්හි සුපුරුදු ලේඛන හා ප්‍රකාශනයන්හි වැදගත්කම යටපත් නොකළ අතර ඔහු එම ලේඛනයන්හි අන්තර්ගතයන් වඩා විචාරාත්මක ප්‍රවේශයකින් ප්‍රතිපත්ති කේන්ද්‍රීයව නව මානයකින් ඉදිරිපත් කළේය.

අප නොසිතූ මොහොතක සමුගත් කැලේගම මහතාගේ වියෝව නිසා ඔහුගේ විචාරාත්මක දැක්ම හා ක්‍රියාකාරිත්වය පිලිබඳ ඇගයීමේ කාර්යය අපට සිදු කිරීමට සිදුව තිබේ. රජය පාර්ශවකරුවෙකු ලෙස සිටින බුද්ධි මණ්ඩලයක කටයුතු කිරීමේ අභියෝගය ජයගත් කැලේගම මහතා පිළිබඳව මට ඇත්තේ ගෞරවයකි. සිය බුද්ධිමය නිපුණත්වය හා ඉවසීමේ ගුණය නිසා විශ්ලේෂකයෙකු හා සන්නිවේදකයෙකු ලෙස සමබරව කටයුතු කිරීමට ඔහුට හැකි විය. ශක්තිමත් කණ්ඩායමක් හා ආයතනික රාමුවක් තිබුන ද කැලේගම මහතා IPS ආයතනයේ වර්ධනයට පෞද්ගලිකව විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහු විසින් IPS ආයතනය මැනවින් වර්ධනය කළ අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන් පිටතට ද ආයතනයේ විෂය පථය පුළුල් කළේය. සමාජය තුළ ක්‍රියාකාරී පාර්ශවකරුවකු ලෙස  බුද්ධි මණ්ඩල ක්‍රියාකාරිත්වය සඳහා තාර්කික පදනමක් සැපයීම කැලේගම මහතා අපට ඉතුරුකොට යන වැදගත්ම දායාදයයි. මේ කරුණු මගින් අපට විද්‍යාමාන වන්නේ ආචාර්ය සමන් කැලේගම මහතා සමකාලීන ඉතිහාසයේ ආර්ථික විද්‍යාඥයෙකු හා ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු ලෙස සුවිශේෂි ස්ථානයක් හිමිකරගෙන ඇති බවයි.

*Colombo Telegraph හි ජුනි 25 දින ඉංග්‍රීසියෙන් පළ වූ Saman Kelegana (1959-2017): A thinker of a Think Tank මුල් ලිපිය පදනම් ව මෙම පරිවර්තනය ක්‍රිෂාන් ජයශංක සිරිවර්ධන විසිනි

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.