26 April, 2024

Blog

ආණ්ඩුව අඩියක් පස්සට ගත යුතුයි

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව ගිය බදාදා සෞඛ්‍යය අමාත්‍යංශයට කඩා වැදුන උද්ඝෝෂකයන් පසු පස පොලීසිය පන්නමින් සිටී. දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කර ඇති අතර රජයේ දේපල වලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට යොමු කර රිමාන්ඩ් බන්ධනාගාර වල ගාල් කරවමින් සිටී.

ආණ්ඩුවේ මේ නීතිය සුරකීමේ අලුත් උනන්දුව ලිබරල් අර්ථයෙන් යහපත් ය. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් වන නිසා නීතිය කඩ කරන අය තරාතිරම නොබලා අධිකරණයට ඉදිරිපත් කිරීම යහපත් ය. සෞඛ්‍යය අමාත්‍යංශයට කඩා වැදුන උද්ඝෝෂකයන් ශිෂ්‍යයන් ද යන්න නොබලා නීතිය ක්‍රියාත්මක කරවීම ද යහපත් ය. ලිබරල් අර්ථයෙන් එසේ වුවත් ආණ්ඩුවේ මේ තැත නිහීන, බියසුළු ක්‍රියාවක් වන්නේ නීතිය කඩ කරන සියලන්ටම නීතිය ක්‍රියාත්මක නොවන නිසා ය.

අමාත්‍ය මණ්ඩලයට ගාල් වී සිටින රජයේ දේපල වලට හානිකළ හා රජයේ දේපල තමන් සන්තක කරගත් නෝනා මහත්වරුන්ට එරෙහිව ද මෙලෙසම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පෙරලා කීමට තරම් මුග්ධ විය යුතු නැත. සාදවා නිම කළ ඇවිදින මංතීරුවක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ දේපල වලට හානී කිරීමේ චෝදනාව යටතේ ප්‍රබල ඇමතිවරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටීමට තරම් මෝඩ විය යුතු නැත. එහෙත් මේ අන්දමින්ම අමාත්‍යංශයන්ට කඩා වැදී රජයේ දේපල වලට පමණක් නොව රජයේ නිලධාරීන්ගේ රාජකාරියට ද බලපෑම් කළ මැර භික්ෂූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකිවිය යුතුය.

රජයේ දේපල වලට හානි කිරීමේ ආනිසංස

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව මුළුමනින්ම බෞද්ධ දර්ශනයට පටහැනි වූ නිවේදනයක් නිකුත් කරමින් වර්ගවාදී ලෙස හැසුරුණි.  ඥාණසාර භික්ෂුව වාර්ගික හැගීම් අවුස්සමින් නීතිය කඩ කළ අතර දෙවතාවක්ම අධිකරණය මග හරිමින් අධිකරණයට අපහාස කළේය.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින් ඊනියා වෘත්තීය සමිති සටන් ව්‍යාපාරයකට ආ අතර ආචාර ධාර්මික වැරැදි කරමින් වැඩ වර්ජනයක නිරත වුණි. එහෙත් මේ කිසිවකු සමග ආණ්ඩුව ගනුදෙනු බේරා ගැනීමට ගියේ නැත. යන්නේ ද නැත.

ආණ්ඩුව පුන පුනා ඉල්ලා සිටින්නේ ශිෂ්‍ය රුධිරයයි. සමාජය බරපතල ලෙස පසුගාමීත්වයට ඇද දමමින් සමාජයේ වාර්ගික හැගීම් අවුස්සන භික්ෂූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බය ය. එසේම මහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහේය වන වැඩවර්ජන තහනම් කිරීමට ආණ්ඩුව බය ය. ජන මතයන් අබ මල් රේණුවකින්වත් වෙනස් නොකර ජන මතය හා ඒක රාශී වෙමින් කාලය කා දමන ආණ්ඩුව ශිෂ්‍යයන්ගෙන් මර්දනය දියත් කිරීමට උත්සාහ ගැනීම ලැජ්ජා සහගත ය.

මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ ශිෂ්‍යයන් සමග නිවට ලෙස හැප්පීම නොව වර්ගවාදය අවුස්සන භික්ෂූන් පරාජය කිරීමට සමාජ මතය නිර්මාණය කිරීමයි. ඒ අර්ථයෙන් අස්ගිරි පාර්ශ්වයේ වර්ගවාදී ප්‍රකාශයට ඝෘජුව මුහුණදීමයි. ආණ්ඩුවේ ඇමතිවරු අස්ගිරි කාරක සංඝ සභාවේ ප්‍රකාශයට බියට පත්වී නිවට ලෙස සමාව ඉල්ලුවා මිස ආණ්ඩුවක් ලෙස සිංහලබෞද්ධ ස්වෝත්තමවාදායේ පොලා පැනීමට එරෙහිව අවම තරමින් ප්‍රකාශයක් හෝ නිකුත් නොකළේ ය. ඒ තරමට භික්ෂු සංස්ථාවේ අධිපතිත්වයට ආණ්ඩුව බය ය.

ආණ්ඩුව සමාජ සම්මතයන්ට බය ඇයි?

බෞද්ධ සමාජයේ අධිපති මතවාදය නියෝජනය කරන්නේ භික්ෂු සංස්ථාවයි. ඒ භික්ෂූහු එක් කලෙක සමාජ සම්මත නියාමනයන්ට එරෙහිව බෞද්ධ දර්ශනය පැතිරවීමේ ලා වෙහෙසුනහ. එහෙත් තත්කාලීනව සිදුවන්නේ බෞද්ධ දර්ශනය පසෙක ලා සමාජයේ පසුගාමීත්වය හා අත්වැල් බැදගෙන කටයුතු කිරීමයි. ආණ්ඩුව ද භික්ෂු සංස්ථාවේ නිවැරැදි නොවන ගමන් මග විවේචනයට දක්වන්නේ බියකි. ඒ නිසා ඔවුන්ගේ පසුගාමීත්වය ඉඩ දී කර බා ගනී. එසේ වන්නේ ආණ්ඩුව මතවාදීමය ලෙසත් ප්‍රායෝගිකවත් යැපෙන්නට උත්සාහ ගන්නේ භික්ෂු සමාජය විසින් ඉහළට ඔසොවා තබන පසුගාමීත්වය මත නිසා ය.

ඥාණසාර භික්ෂුව නීතියට අතට ගෙන වර්ගවාදය අවුස්සමින් කටයුතු කරන විට කීවේ එය ගෝටාභය රාජපක්ෂගේ ව්‍යාපෘතියක් බවය. එහෙත් අදද ඔහු එලෙසම හැසිරෙන විට ආණ්ඩුවේ බලධාරීහු මුනිවත රකිති. ඥාණසාර භික්ෂුව කට අරින්නේම නීතිය තමා යැයි උපකල්පනය කරමිනි. ඔහු අධිකරණය තුට්ටුවකට මායිම් නොකරයි. සිවිල් නීතිය තුට්ටුවකට මායිම් නොකරයි. එසේම මහජනයාගේ ගෞරවය තුට්ටුවකට මායිම් නොකරයි. මේ සියළු නීති විරෝධී ක්‍රියාවන්හි ඥාණසාර භික්ෂුව යෙදෙන විට ආණ්ඩුව මුනිවත රකී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආචාර ධාර්මික නොවන ලෙස හැසිරෙමින් නිතර නිතර වැඩවර්ජන කැදවයි. එනිසා ජන ජීවිතය අඩාල වන අතර පොදු ජනයාගේ ජීවත්වීමේ අයිතියට බාධා එල්ල කරයි.  වෘත්තීයවේදී රැකියාවක් වන වෛද්‍යවරුන්ට වැඩවර්ජනය කිරීමේ අයිතියක් තිබිය නොහැකිය.  වැඩ වර්ජනය යනු කම්කරු අයිතියකි. එමගින් කරන්නේ ආර්ථිකමය ලෙස රජයට බලපෑමක් කර තම ඉල්ලීම් දිනා ගැනීමයි. එහෙත් කම්කරුවන් නොවන වෛද්‍යවරු මහ ජනතාවට ශාරීරික පීඩා කරමින් ආණ්ඩුවට බලපෑම් කර තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කරති. ආචාරධාර්මික නොවන වෛද්‍යවරුන්ගේ හැසිරීම් හමුවේ ඔවුන්ව ප්‍රශ්න කරන්නට ආණ්ඩුවට දේශපාලන හයියක් නොමැත. ඊට හේතුව වන්නේ වෛද්‍යවරුන්ගේ සිවිල් බලය ඉක්මවා යෑමට ආණ්ඩුවට දේශපාලන පෞර්ෂයක් නොමැති නිසා ය.

මෛත්‍රී – රනිල් ආණ්ඩුවට සමාජයේ දේශපාලන ප්‍රතිසංස්කරණයන් කරන්නට පෞර්ෂයක් ඇති බවක් නොපෙන්වයි. සමාජ පොලා පැනීම් හමුවේ ආණ්ඩුව බොහෝවිට කරන්නේ නිහඩව සිටීමයි. නැත්නම් තම ප්‍රතිවාදීන් සමහ පෞද්ගලික ගනුදෙනුවකට යෑමයි. රාජපක්ෂ යුගයේ දී වන අලින් මංකොල්ල කෑ හොරුන් සමග ආණ්ඩුව පෞද්ගලික ගනුදෙනුවකට ගොස් ඔවුන්ට නිදහස ලැබුනේ එලෙස ය. නීතිය කඩකර අධිකරණය මග හැරි මහේස්ත්‍රාත්වරයකු කිසිම හානියකින් තොරව අධිකරණයේ පස්සා දොරින් නිදහස් වූයේ එනිසා ය.

සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන තහනම් කිරීම

වර්ගවාදය අවුස්සන භික්ෂූන් මේ ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයාගේ ගජ මිතුරන් ය. ඔහු සංවාද ජනක වන්නේ බෞද්ධ දර්ශනයට අනුව භාවිතයක යෙදෙන සමාජයේ සාමග්‍රීයට දායක වන බෞද්ධ යතිවරුන් සමග නොව සිවුර කැහැපට ගහන් ප්‍රතිවාදියාගේ අම්මා මුත්තා මතක් කරමින් මැර භාවිතයක යෙදෙන භික්ෂූන් සමගය. එනිසා මෙවැනි නින්දිත හැසිරීමක යෙදෙන ඇමතිවරුන් තම ආණ්ඩුවේ සිටීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ඔවුන්ගේ බහට රැවටී බොළද දේශපාලනයක යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුව විසින් වහාම නිදහස් කළ යුතුය. රාජ්‍ය් අදේපල වලට හානි කිරීම බරපතල වරදක් බව සත්‍යයකි. එහෙත් රාජ්‍ය දේපල වලට හානි නොවන ලෙස දේශපාලනය කරන හැටි ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සමාජයට කියා දිය යුතුය. එලෙස හැසිරීමට ඔවුන් දෙපලට සත්භාවයෙන් හැකියාවක් ඇත්නම් පමණක් ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නො එසේනම් ජනාධිපතිවර්යාත් අග්‍රාමාත්‍යවරයාත් කරන්නේ තක්කඩි දේශපාලනයක් බව පැවසිය යුතුය.

ශිෂ්‍යයන් සමග දේශපාලන සංවාදයක්.

ශිෂ්‍යයන් කරන්නේ වැරදි අරගලයකි. ශිෂ්‍යයන්ගේ දේශපාලනය තුළ දෘෂ්ඨිමය වරදක් පවතී. ඔවුන් ශිෂ්‍යයන් ය. ඔවුන් තරුණයන් ය. සමාජයේ වැඩිහිටියන් සියල්ල මේ වයස පසුකර ඇත. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මේ වයස පසු කර ඇත. එසේනම් ශිෂ්‍යයන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්නට ඔවුන්ට අපහසු නැත. එසේනම් රාජ්‍ය දේපල වලට හානිකරා යැයි ඔවුන්ට එල්ලව කර ඇති බොලද හා ජනප්‍රිය දේශපාලන චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව නම්‍යශීලී විය යුතුය.

ආණ්ඩුව විසින් ශිෂ්‍යයන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා ඉල්ලා අස්කර ගන්නේ වියුක්තව නොවේ. ඔවුන්ට ඔවුන්ගේ ආකල්පමය රුචිය අනුව දේශපාලනය කිරීමට අවකාශ දිය යුතුය. එහෙත් ආණ්ඩුව වහා ශිෂ්‍යයන් සමග සංවාදයකට යා යුතුය. ශිෂ්‍ය දේශපාලනය සමග සංවාදයකට යෑම ආණ්ඩුවේ අභිමානයට හානියක් කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම ශිෂ්‍යයන් හා දේශපාලන කතිකාවක් ආරම්භ කරන්නට ආණ්ඩුව සමත් වුවහොත් එය දෙපාර්ශ්වයේම අභිමානයට හේතුවකි. එසේම සමාජයේ අලුත් සංස්කෘතියක් ගොඩනැගීමට ද හේතුවකි. එනිසා ආණ්ඩුව අඩියක් පස්සට ගෙන මේ මොහොතේ කළ යුත්තේ ශිෂ්‍යයන් සමග දේශපාලන සංවාදයකට මුල පිරීමයි.

එම සංවාදය සදහා මුල පිරීම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ලා බාධාවක් ලෙස ආණ්ඩුව විසින් තේරුම් නොගත යුතුය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.