22 September, 2018

Blog

අලුත්කඩේ කෆ්කා

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

2009 ජුලි 9 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළවී තිබූ එක් ප‍්‍රවෘත්තියක සිරස්තලය මෙසේ විය: ‘‘කළු කෝට්කාර ද්‍රෝහියෝ කල්ලි ගැසෙති’’

මේ ප‍්‍රවෘත්ති වාර්තාව තුළ නීතිඥයන් පස් දෙනෙකුව හඳුනාගෙන තිබුණි. එදා ගල්කිස්ස අධිකරණයේ විභාගයට ගැනුණු ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතට එරෙහි නඩුවක ඒ නීතිඥයන් පස් දෙනා පෙනී සිටියේ එම පුවත්පත වෙනුවෙනි. මේ වාර්තාව තුළ ඔවුන්ව තවදුරටත් හඳුන්වා දී තිබුණේ, ‘‘එල්.ටී.ටී.ඊ. ගරිල්ලාකරුවන්ව ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටීමේ ඉතිහාසයක් ඇති’’ නීතිඥයන් පිරිසක් වශයෙනි.

ඔවුන් අතුරින් තුන් දෙනෙකුගේ ඡායාරූප ද එම වාර්තාවට ඈඳා තිබුණි. ඊට අමතරව, අපේ අධිකරණ ඉතිහාසයේ අපූරු තවත් යමක් ද එම වාර්තාවේ ගැබ් විය. වගඋත්තරකාර පුවත්පත වෙනුවෙන් කලින් පෙනී සිටි නීතිඥයන්, ‘‘ශ‍්‍රී ලංකාව නිදහස් රටක් බවට පත්කළ’’ ජාතික වීරයෙකු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මේ පුවත්පත වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම තමන්ගේ ආචාර ධාර්මික සහ සදාචාරමය හෘද සාක්ෂියට එරෙහි වන කාරණයක් හෙයින් එම පුවත්පත වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වී ඇති බව එයින් කියා තිබුණි. අර ‘‘කළු කෝට්කාර ද්‍රෝහීන්’’ වශයෙන් හංවඩු ගසා තිබුණේ, ඉහත කී පුවත්පත වෙනුවෙන් අනතුරුව පෙනී සිටි නීතිඥ කණ්ඩායමයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා පළවූ වාර්තාවකට අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබන ජුනි 25 වැනි දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින බවට අභියාචනාධිකරණය ඉදිරියේ ප‍්‍රතිඥා දී තිබේ.

අද අලුත්කඬේ පැත්තේ හොල්මන් කරන චරිතයක් සිටී. ඔහුගේ නම, ෆ‍්‍රාන්ස් කෆ්කා ය. ඔහු ලෝක පූජිත වන්නේ, ලජ්ජාව සහ වරද සහගත හෘද සාක්ෂිය පිළිබඳ උත්කෘෂ්ට නිර්මාණ බිහි කළ ලෝක සාහිත්‍යයේ දැවැන්තයෙකු වශයෙනි. විශේෂයෙන්, බලය සහ අධිකාරීත්වය හොබවන පුද්ගලයන් තුළ ලැජ්ජාවක් සහ හෘද සාක්ෂියක් නැති කම ගැන ඉතා තියුණු නිරීක්ෂණ ඔහුගේ නවකතා තුළ අන්තර්ගත වෙයි.

ව්‍යක්ත භාෂාවෙන්, බොහෝ විට භයංකාර ගුප්ත ස්වරයෙන් යුතුව චිත‍්‍රණය වූ මනුෂ්‍යයාගේ හුදෙකලාව, නෂ්ටාපේක්ෂාව සහ පරාරෝපණය, ඉතා සියුම්ව ඔහු පාඨකයාට අභිමුඛ කොට තිබේ. සදාචාරමය උදාසීනත්වයෙන් යුත් සමාජ පද්ධති සහ යුක්තිය පසිඳලීමේ පරිපාටි ඔහු නිර්දය ලෙස හෙලාදැක්කේය. ඔහු වනාහී, ‘අධි-සෝදිසි රාජ්‍යයක’ ප‍්‍රතිරූප වැසියෙක් විය.

ඉංග‍්‍රීසි භාෂාවේ අදටත් පාවිච්චි වන කෆ්කියානු නැමැති විශේෂණයෙන් අදහස් කෙරෙන්නේ, අධිකරණ ඉදිරියේ දිග හැරෙන අතාර්කික තත්වයන් වටහා ගැනීමට සමත් එකම පුද්ගලයන් වන විනිසුරුවරුන් සහ නීතිඥයන් සතු, එහෙත් සාමාන්‍ය මිනිසාට කොහෙත්ම නොවැටහෙන, බිහිසුණු නෛතික ආලවට්ටම් ය. එසේම, බලාධිකාරියට අභියෝග කරන ඕනෑම පුරවැසියෙකු පරාජය කරලීම සඳහාම සැකසුණු නෛතික පරිපාටි අස්සේ වල්මත් වන අසරණයන්ව, මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රය විසින් හෙම්බත් කරවනු ලබන ක‍්‍රමයත් එම වචනයෙන් අදහස් කෙරේ.

අද අපේ විනිසුරුවරු, විභාග වෙමින් පවතින නඩු ඇසීමෙන් ඉවත් වෙති. මාස හය හත ආදී වශයෙන් නඩු විභාග කල් යවති. පිටරට පදිංචි යැයි හොඳින් දන්නා පුද්ගලයන්ට පවා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ අවසරය යටතේ ඇප ලබා දී, අනතුරුව එම පුද්ගලයන්ව ආපසු රටට ගෙන්වා ගැනීම සඳහා ‘රතු වරෙන්තු’ නිකුත් කරති.

2006 දී ආරක්ෂක අමාත්‍යාංශයේ මිග් යානා මිලදී ගැනීමකට අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් ගැන ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හෙලිදරව්වක් පළවිය. ඒ මගින් තමන්ට අපහාස කෙළේය යන චෝදනාවක් මත එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතට එරෙහිව 2009 දී ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එහෙත් නඩුවට සාක්ෂි දීම සඳහා ඒ අධිකරණය ඉදිරියට පැමිණීමට ඔහු නොකැමැති විය. ඒ වෙනුවට, එදා රාජපක්ෂ පාලන තන්ත‍්‍රය තුළ සර්ව-බලධාරී පුද්ගලයෙකු වූ ගෝඨාභය රාජපක්ෂට මේ නඩුව කොළඹ දිස්ත‍්‍රික් අධිකරණය වෙත මාරු කර ගැනීමට අවශ්‍ය විය. එහිදීත් ඔහුට අවශ්‍ය කෙළේ, තමන්ගේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ සිට වීඩියෝ සම්බන්ධතාවක් හරහා සාක්ෂි ලබා දීමටයි.

දේශප්‍රේමී, ද්විත්ව-පුරවැසි, ‘වියත්’ ජනාධිපති අපේක්ෂක, ඩිජිටල් යුගයේ පුද්ගල ව්‍යවසාය ශාස්තෘ එම ගෝඨාභය රාජපක්ෂම. එතැනින් වසර නවයක් ගතව ඇති අද පවා, බල කේන්ද්‍රයට පිටතින් සිටිමින් පවා, වෙනත් පුරවැසියන්ට බලපාන නීති හස්තයෙන් නිදහස්ව, ප‍්‍රීතිමත් රැුකවරණයක සැතපී සිටී.

ෆ‍්‍රාන්ස් කෆ්කා ලියූවේ අන්න එවැනි දේශයක් සහ ජනතාවක් ගැන ය.

යුක්ති ධර්මයේ රෝද කුසීතව ඇඹරෙන සැටි එක දිගටම බලා සිටීමෙන් වෙහෙසට පත් ජනතාවක් තුළ වැඩෙන නියුරෝසියාව හෙවත් ස්නායු විකාරය මේ යැයි, කලාව හරහා ලොවට විසද කළ ප‍්‍රබුද්ධයා ෆ‍්‍රාන්ස් කෆ්කා ය.

අද අපේ රටේ යුක්ති ධර්මය පසිඳලන අමන ක‍්‍රමය ගැන බලවත් ශෝකයටත්, වික්ෂිප්ත භාවයටත් පත්ව සිටින මේ ලියුම්කරු, කෆ්කාගේ ප‍්‍රකට නවකතාව වන ‘නඩු විභාගය’ නැමැති කෘතියේ අත්දැකීම මේ රටේ ජනතාවත් සමග බෙදාහදා ගැනීම මැනවැයි සිතයි.

‘‘යුක්තිය සොයාගෙන ගැමියෙක් නගරයට එයි. උසාවියට ඇතුල් වීමේ දොරටුව ළඟ මුරකාරයෙක් සිටී. තමාට උසාවියට ඇතුල් වීමට ඉඩ දෙන්නැයි ගැමියා බැගෑපත්ව ඉල්ලා සිටී. දැන් ඔහුට අවසර දීමට ඉඩක් නැති බවත්, වෙනත් අවස්ථාවක එන ලෙසත් මුරකරුවා ගැමියාට දන්වා සිටී.

තරමක් කල්පනා කරන ගැමියා පසු අවස්ථාවක තමාට ඒ සඳහා අවසර ලැබේදැ යි මුරකරුවාගෙන් විමසයි. ‘සමහර විට පුළුවන් වේවි.’ මුරකරුවා උත්තර දෙයි. ‘ඒත් දැන් බැහැ.’

නීතියට අවතීර්ණ වීමේ දොරටුව සුපුරුදු පරිදි විවරව ඇති බව දකින ගැමියා, මුරකාරයා ටිකක් එහා මෙහා වන තෙක් බලා සිට, උසාවිය තුළට හොරෙන් එබී බලයි. එය දකින මුරකරුවා සිනාසී කියන්නේ මෙවැන්නකි: ‘ඔය තරං රුදාවක් තියනවා නං, මගේ අවසරය නැතුව ඇතුල් වෙලා බලමුකෝ… හැබැයි මතක තියාගන්නවා. මම බලවන්තයෙක්. ඒත් මම තමයි පහළම මට්ටමේ මුරකාරයා. මේ උසාවියේ ශාලාවෙන් ශාලාවට, හැම දොරක් ළඟම ඉන්නවා, ඊට කලින් මුරකාරයාට වැඩිය බලසම්පන්න තව මුරකාරයෙක්. මට පවා ඒ දිහා බලන්න බැරි තරමට, ඒගොල්ලෝ බලසම්පන්නයි.’

මේ වනාහී, ගමෙන් පැමිණි මිනිසා අපේක්ෂා නොකළ අවහිරතාවන් ය. ඔහු සිතන්නේ, නීතිය කාටත් විවෘතව තිබිය යුතු බවයි. ලොම් කබායක් හැඳ සිටින මුරකාරයා දෙස ගැමියා තවත් පරීක්ෂාවෙන් බලයි. ඔහුට තඩි, උල් නහයක් තිබේ. ඒ මිනිසාගේ උදහසට ලක් නොවී සිටීමට ගැමියා ඉටා ගනී. එබැවින්, අවසර ලැබෙන තෙක් ඉවසා සිටීම යෙහෙකි.

මුරකාරයා, දොර පසෙකින් බංකුවක් තබා ගැමියාට ඉඳ ගැනීමට ඉඩ හරී. මේ බංකුව උඩ, දවස් ගානක්, අවුරුදු ගානක් ඒ ගැමියා වාඩි වී බලා සිටී. ඒ අතරේ ඇතුල් වීමට ඔහු නොගන්නා උත්සාහයක් නැත. ඒ සඳහා මුරකාරයාට ඔහු නොවඳින වැªම් වඳියි.

මේ අස්සේ බොහෝ විට මුරකාරයා ගැමියා සමග කතාබහේ යෙදේ. ඔහුගේ ගේ-දොර ගැන, පවුලේ විස්තර ගැන විමසයි. එහෙත් ඒ සෑම ප‍්‍රශ්නයක්ම අසන්නේ, ලොක්කන් සොක්කන්ගෙන් දේවල් අහන යාන්ත‍්‍රික පිළිවෙලට ය. ඒ සෑම ප‍්‍රශ්න කිරීමක්ම අවසානයේ මුරකාරයා එළැඹෙන නිගමනය වන්නේ, තවම ගැමියාට ඇතුලූ වීමේ අවසරය දිය නොහැකි බවයි. දුරු කතර ගෙවා පැමිණි මේ ගමන උදෙසා ගෙනා සියල්ල, ඒවා මොන තරම් වටිනා දෑ වුවත්, මුරකාරයා නම්මවා ගැනීමේ අභිලාෂයෙන් ගැමියා පාවිච්චි කරයි.

ඒ සියල්ල මුරකාරයා භාර ගත්තත් අවසානයේ ඔහු කියන්නේ: ‘මං මේ හැම දෙයක්ම බාරගන්නේ, තමුන්ට කරගන්න දෙයක් තාම තියෙනවා කියන එක තමුන් මතක තියාගන්න ඕනේ නිසයි.’

මේ දීර්ඝ වසර ගණනාව තිස්සේ ගැමියා නිරතුරුවම මුරකරුවාව පරීක්ෂාවට ලක්කරයි.

අනිත් මුරකරුවන් ගැන දැන් ඔහුට මතක නැත. ඔහුට සිතෙන්නේ, තමා සහ නීතිය අතර පවතින එකම බාධකය මේ මුරකරුවා බවයි. මුල් වසර කිහිපය තුළ ඔහු තමාගේ අබග්ගයට හයියෙන් ශාප කෙළේය. එහෙත් වයසට යද්දී, ඒ අඬවැඩියාව තමාටම මුමුණා ගන්නා ස්වයං-භාෂණයක් බවට හැරුණි. දැන් ඔහු ළාමක විය. දීර්ඝ කාලයක් මුළුල්ලේ මුරකාරයා දෙස ඇස ගසාගෙන සිටීමෙන් ගැමියා ලද පරිචය කෙතෙක් ද යත්, මුරකාරයාගේ ලොම් කබායේ කර වටා වසා සිටි මැක්කන් පවා ඔහු දැන හඳුනා ගත්තේය. තමන්ට පිහිට වන්නැයි ඒ සෑම මැක්කෙකුගෙන්ම ඉල්ලා සිටින ගැමියා, මුරකාරයාගේ හිත වෙනස් කර දෙන ලෙස උන්ගෙන් ද ඉල්ලා සිටියේය.

අවසානයේ ඔහුගේ දෑස් කෙමෙන් නිලංකාර වෙයි. ලෝකය කළුවර වෙමින් යන්නේ ද, නැත්නම් තමාගේ ඇස් තමාව රවටයි ද යන්න ඔහුට නොතේරේ. එහෙත් අන්ධකාරය තුළ දැන් ඔහුට දර්ශනය වෙන එක දෙයක් තිබේ. ඒ, නීතියේ ද්වාරයෙන් විහිදෙන අජරාමර දිස්නයයි.

දැන් ඔහුගේ ජීවිතය නිමාවට පත්වෙමින් තිබේ. මියෙන්නට කලින්, ඒ සා කාලයක් තිස්සේ, තමන්ගේ සමස්ත චාරිකාව තුළ අත්දුටු සියල්ල, එතෙක් මුරකරුවාට ඉදිරිපත් කොට නැති තනි ප‍්‍රශ්නයක් තුළ, ඔහුගේ සිතේ ගොනු වෙයි. වෑරෙමින් පවතින සිරුර තවදුරටත් වාරු නැති තත්වය තුළ ගැමියා මුරකරුවාට හිසින් සංඥා කරයි. ගැමියාට කන් දීම සඳහා මුරකරුවා දැන් දෙකට තුනට නැමිය යුතුය. ඒ තරමට, දෙදෙනා අතර තරම පත වී ඇත.

‘දැන් මොකක්ද දැනගන්න ඕනේ?’ මුරකාරයා ප‍්‍රශ්න කරයි. ‘තමුසේ නං කවදාවත් සෑහීමකට පත්වෙන මිනිහෙක් නෙවෙයි.’

‘හැම කෙනෙක්ම බලන්නේ නීතියේ පිහිට..’ ගැමියා කියයි. ‘එහෙම නං, මෙච්චර කාලයක් මං ඇර වෙන කවුරුවත් මෙතන්ට නාවේ ඇයි?’

ගැමියා ජීවිතයේ අවසානයට ළඟා වෙමින් සිටින බව මුරකාරයාට පෙනේ. ඔහුගේ කන් ඇසීමත් දැන් හොඳටම දුර්වල ය. එබැවින් ඔහුගේ කනට කර මුරකාරයා මොරදුන්නේය: ‘තමුන්ට ඇර වෙන කෙනෙකුට මේ දොරෙන් යන්න බැහැ. මොකද, මේ දොර හදලාම තියෙන්නේ තමුන්ට. දැන් මං ඒක වහන්නයි යන්නේ.’

මේ පාඨය තුළ, අතිශය හෘදයග‍්‍රාහීව සහ චාරුමත්ව කෆ්කා ප‍්‍රතිනිර්මාණය කරන්නේ, නීතියේ අභූත රූපයයි. ඒ වනාහී, ලෝකයේ පරමාර්ථයම, ඒ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා ගොඩනැගූ ක‍්‍රියාවලිය විසින් අභිබවා ගිය, අවලංගු කළ සහ පරාජයට පත්කළ, විපරීත ලෝකයකි.

කෆ්කා ගොඩනැගූ නෛතික ලෝකය, මූසල ලෝකයකි. යුක්තිය පිළිබඳ වික්ෂිප්ත සිහින දකින අප වැනි පුරවැසියන්ව අවසානයේ පාගා පොඩි කර දැමෙන්නේ එවැනි ලෝකයක ය. උසාවි යනු, නීතියේ නිලධර සමුච්ඡුයේ ප‍්‍රතිමූර්තියයි. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් වන අතරේ, කෆ්කාගේ ගැමියා, මුරකාරයා ඉදිරියේ අඩු සමානයෙකි.

දැන් අපි ආපස්සට යමු.

ඝාතනය වූ ලසන්ත වික‍්‍රමතුංගගේ අයියා ද, ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රකාශකයා ද වූ ලාල් වික‍්‍රමතුංග, ගල්කිස්සේ පිහිටි ඒ කෆ්කියානු උසාවිය විස්තර කොට තිබුණේ මෙසේ ය:

‘‘නඩුව අහන මුල්ම දවසේ ගෝඨාභය රාජපක්ෂ ගල්කිස්සේ උසාවියට ආවේ හමුදාපතිවරු තුන් දෙනා සහ පොලිස්පතිවරයා එක්ක. ඊට අමතරව, ආණ්ඩුවේ තවත් ලොකු ලොක්කොත් ආවා. පත්තරේ වෙනුවෙන් උසාවියේ පෙනී හිටියේ මම තනියෙන්. උසාවිය අවට පාරවල්වල, ගොඩනැගිලි වහලවල් උඩ සහ අධිකරණ භූමිය ඇතුළේ, සන්නද්ධ පිරිස් වැහි වැහැලා. ගල්කිස්සේ උසාවියේ වැඩ කරන කිසි නීතිඥයෙකුට එදා තමන්ගේ වාහන අධිකරණ භූමිය තුළට ගේන්න දුන්නේ නැහැ. ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් මගේ වටේට වාඩි වෙලා හිටියා. මගේ නීතිඥයෝ අපි වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වුණා.’’

කෆ්කා පරිකථාවෙන් මේ කාලයට පාඩමක් ගත්තොත්, ඒ මෙසේ වනු ඇති: දොරටුවෙන් ඇතුලූ වීම සඳහා වසර තුනකටත් වැඩි කාලයක් දොරටුපාලයා සමග සාකච්ඡුා කරමින් අප නාස්ති කොට ඇත. අවලම් දොර අප සඳහාම වන බව තාම අප තේරුම් ගෙන නැත. අප එළියේ තබා එය වසා දැමීමට දොරටුපාලයාට අප ඉඩ දිය යුතු නැත.

‘නඩු විභාගය’ නැමැති නවකතාව තුළ කෆ්කා නීතියේ පරිපාටිය පිළිබඳ අවුල සහ අභූතය තුළට කිමිදෙන්නේ, මිග් යානාවක් සතු අධි-බලැති සූක්ෂමතාවයෙන් යැයි මට සිතේ.

2018 ජුනි 17 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Hulft’s Dorp Or Kafka’s Dorp? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    vishistayi

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.