12 February, 2026

Blog

දියවන්නාවේ ගිළී ගිය දුක්විදින්නාගේ අවසන් හෝරාව    

ආනන්ද ජයවික්‍රම –

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

අප සිටින්නේ වසර 76ක තරම් කාලයක් මේ රටම වෙළාගෙන අහිංසක ජනතාව ගොදුරු කරගත් බූවල්ලන් ගෙදර යවා ඔවුන් හොරකම් කළ යටිමගටි ගහපු මේ රටින් පන්නපු ධනස්කන්දය නැවත රටට ගෙනැවිත් රටේ ජනතාව සුඛිතමුදිත  කිරීමට කැප වු ආණ්ඩුවක් යටතේ ය. පසුගිය වසරේ සැප්තැම්බර් 21 වෙනිදාට කලින් ජනතාව දුක් විදින පෝය ගණන ගණන් කළ ඔවුන් අද වන විට බලය ලබාගෙන පෝය 8ක් 9ක් ගෙවා හමාරය. තමන්ට බලය නැති විට සහල් මාෆියාව පාලනය කරන්න බැරි ආණ්ඩුවක් මොකට ද? සහල් ආනයනය කරන්නට නම් ආණ්ඩුවක් මොකට ද? ඕක දෙන්නකෝ පිටකොටුවේ වෙළෙන්දෙකුට කියලා කියන කථා ඇහුණා වගේ මතකයක් අපිට තිබෙන්නට පුළුවන්. අපි ආපුවම රජයේ සේවකයාට ලක්ෂ 20කට කාර් එකක් ගන්න වටපිටාව හදනවා කිවු අය අද අපි නම් එහෙම කිව්වේ නෑ කියලා කියන තැනට වැටිලා. සියයට 300ක බද්දක් වාහනවලට ගහන එක අන්තිම අසාධාරණයි ඒක මාර්කට් ඉකොනොමි ද? කියලා අහපු අය ලක්ෂ 40ට ගත හැකිව තිබුණු වාහනය එක්කෝටි හතලිස් ලක්ෂයකට හදලා දුන්න එකම මාරම මාර සුපිරියි.

ඔවුන් රටට පොරොන්දු වුයේ පුනරුදයක් ය. පුනරුදයක අර්ථය කුමක් ද? පුනරුද යුගයක සෑම දෙයක් ම හොද පැත්තට හැරී ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කටයුතු සිදු වෙයි. ආර්ථික පුනරුදයක් නම් රටේ අහේනිය දුරු වි ජනතාව යහමින් කා බී ජොලි කර දැහැමින් සෙමින් ජීවත් වේ. ජනතාව අත මුදල් යහමින් ගැවසේ. බඩු භාණ්ඩ සුලභ වි මිල ගණන් අඩු වි ජනතාව අත දිගහැර වියදම් කර ලෝස් නැති ජීවිතයක් ගත කරයි. ණය තුරුස් ගෙවි ජනතාව බරින් නිදහස් වෙයි. කොටින්ම කිව්වොත් ජනතාව ඇඩම්ස්මිත්ටත් වෙළෙදපොල යාන්ත්‍රණය ගැන කියා දෙනු ඇත. ඒ තරමට ම ජනතාව ශක්තිමත්ය, නිදහස්ය, නිවහල්ය.  ආණ්ඩුවට පන්නපන්නා බදු පැනවිමට අවශ්‍ය වන්නේ නැත. ජනතාව ස්වේච්ඡාවෙන් ම බදු ගෙවයි. ගනුදෙනු පුළුල් වි ආර්ථිකය ප්‍රසාරණය වන විට තමන්ගේ ඇඟට නොදැනී ජනතාව රජයට බදු ගෙවනු ඇත. එහෙම වෙන කොට ඇත්තටම ආණ්ඩුවට පුළුවන් අහස උසට නංවා ඇති බදු අනුපාත හා කප්පරක් වු බදු ගණන අඩු කරන්න. එහෙම වෙනකොට මිල අඩු වි ජනතාව තව තවත් ශක්තිමත් වනු ඇත. පුනරුදය ඇවිත් කියා කියන්න කවුරුවත් අවශ්‍ය නැත. ජනතාවගේ ඇඟට පුනරුදය දැනෙනු ඇත

පුනරුදයේ සහෝ ඇවිත් දැන්  මාස 9ක් 10ක් වෙලාය. ජයටම හොරුන් අල්ලන බව කියයි. හොරු කියලා ඇල්ලුවට හොරා කාපු ධනය එනපාටක් පෙනෙන්න නැත. නාස්තිය, වංචාව, දූෂණය නැති කර ඇති බව කියයි. දැන් කොමිස් කාක්කන් නැති බව කියයි. ඒත් එහෙම ඉතිරි වු මුදලක් ගැන ගණනක් මිනුමක් නැත. ඒ මුදල්වලින් ජනතාවට කළ සෙතක් නැත. ඒ වාසිය ජනතාවට ලැබිය යුතුයි. වැට් අඩු කළ යුතුයි. ආදායම් බදු අනුපාත අඩු විය යුතුයි. ඉන්ධන මිල අඩු විය යුතුයි. විදුලි බිල, ජල බිල, දුම්රිය හා බස් ගාස්තු සහ වෙනත් ගාස්තු පහළ දැමිය යුතුයි. බඩු මිල අඩු විය යුතුයි. අපි බලමු එහෙම වෙනව ද එහෙම වෙලා ද කියලා. බඩු මිලට මොකද වෙන්නේ කියලා.

2017 වසරේ සිට 2025 වසර දක්වා වසර 9ක කාලය තුළ වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහ තුළ භාණඩ වර්ග කිහිපයක මිල වෙනස් වි ඇති ආකාරය මෙහි දී විශ්ලේෂණය කරමු. මේ සදහා පහත දැක්වෙන භාණ්ඩ කාණ්ඩ යොදාගනිමු.

සහල් මිල යනු රතු කැකුළු, සුදු කැකුළු, නාඩු සුදු, නාඩු රතු සහ සම්බා යන සහල් වර්ග පහේ සාමාන්‍ය මාසික මිලයි.

වෙනත් මූලික භාණ්ඩ මිල යනු සීනි, පිටි, පරිප්පු, අර්තාපල්, රතු ළුෑණු සහ බී ළුෑණු යන භාණ්ඩ වර්ග 6ක සාමාන්‍ය මාසික මිලයි.

පහතරට එළවලු මිල යනු බණ්ඩක්කා, කරවිල, පතෝල, වැටකොලු, කැකිරි, වට්ටක්කා, වම්බටු සහ තක්කාලි යන එළවලු වර්ග 8ක සාමාන්‍ය මාසික මිලයි.

උඩරට එළවලු මිල යනු බෝංචි, කැරට්, ලීක්ස්, ගෝවා සහ බීට්රූට් යන එළවලු වර්ග 5ක සාමාන්‍ය මාසික මිලයි.

පොල් මිල යනු මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මාසික මිලයි.

පොල්තෙල් මිල යනු පොල්තෙල් බෝතලයක සාමාන්‍ය මාසික මිලයි.

මාළු මිල යනු කෙළවල්ලා, බලයා, හුරුල්ලා, ලින්නා සහ සාලයා යන මාළු වර්ග 5ක සාමාන්‍ය මාසික මිලයි.

කරවල මිල යනු කට්ටා, හාල්මැස්සෝ සහ සාලයා යන කරවල වර්ග 3ක සාමාන්‍ය මාසික මිලයි.

මාංශ ආහාර මිල යනු කුකුල් මස්, හරක් මස් සහ ඌරු මස් යන මස් වර්ග 3ක සාමාන්‍ය මාසික මිලයි.

බිත්තර මිල යනු රතු සහ සුදු බිත්තරවල සාමාන්‍ය මාසික මිලයි.

මෙම විශ්ලේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ මෙම භාණ්ඩයන්හි මිල ගණන් කෙසේ හැසීරී ඇද්ද යන්න විමසීමයි. එහි දී පසුගිය 2024 වසරටත් 2021 වසරටත් සාපේක්ෂව 2025 දී සිදු වු මිල ගණන් වෙනස විස්තර කෙරේ. 2021 වසර යොදා ගන්නේ එය ආර්ථික බිදවැටිමට පෙර වර්ෂය වන නිසා ය. 2024 වර්ෂය ආර්ථික අර්බුදයෙන් යම් ගැළවිමක් ලැබු වර්ෂය ලෙස සැළකේ. මෙහිදි භාවිතා කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසිකව ඉදිරිපත් කරන දත්තයන්ය.

Screenshot

දුක් විදින පෝය ගණන ගණන් කළ ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් 2025 වර්ෂයේ මුල් මාස පහ තුළ සහල් මිල ඉතාමත් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. සහල් කිලෝවක සාමාන්‍ය මිල රු 238 ඉක්මවා ඇත. සටහන අ මගින් පෙන්නුම් කරන ආකාරයට එය 2024 පැවති සාමාන්‍ය සහල් මිලට වඩා 9.3%ක වැඩි විමකි. 2021  වසරේ දී ගෝඨාභය රාජපක්ෂ සහල් අර්බුදයක් නිර්මාණය කරන විට සහල් කිලෝවක සමාන්‍ය මිල වුයේ රු 114කි. එයට සාපෙක්ෂව 2025 වන විට සහල් කිලෝවක සාමාන්‍ය මිල 108%න් ඉහළ ගොස් ඇත. නමුත් ජනතාවගේ පැතුම වුයේ 2025 වසරේ සිටවත් සහල් මිළ නැවත පහළ ගොස් සහල් කිලෝ එකක් රු 100 110ට මිලදී ගැනීමට ය. එමෙන්ම අප සලකා බැලු අත්‍යවශ්‍ය භාණ්ඩ හයක සාමාන්‍ය මාසික මිල 2024 වර්ෂයේ මුල් මාස පහේ දී රු 359ක් වු අතර එය 2025 වසරේ මුල් මාස පහේ දි රු 307 දක්වා 14%කින් පහත බැස ඇත. සටහන ආ බලන්න. මෙය ජනතාවට යම් සහනයකි. නමුත් අර්බුදයට පෙර මෙම භාණ්ඩයන්හි කිලෝවක සාමාන්‍ය මිල වුයේ රු 188කි. එයට සාපේක්ෂව 2025 මුල් මාස පහේ දී මෙම භාණ්ඩවල මිල 184%කින් ඉහළ අගයකි. ඒ අතින් බලන කළ ජනතාව පැතු අලුත් වෙනස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැළකිය යුතු ලෙස පහළ දැමීමක් සිදු වි නොමැත.

රූපසටහන් () සහ () මගින් පිළිවෙලින් පහතරට එළවලු වර්ග 8ක සහ උඩරට එළවලු වර්ග 5ක කිලෝවක වසරේ මුල් මාස පහක කාලය තුළ පැවති සාමාන්‍ය මිල දැක්වේ. ඒ අනුව පහතරට එළවලු කිලෝවක මිල 2025 වසරේ මුල් මාස පහේ දී රු 445ක් වි ඇත. එය පසුගිය වසර නවයක කාලය තුළ පැවැතුණු ඉහළම මිලයි. 2024 වසරේ දී එහි මිල රු 391ක් වු අතර එයට සාපේක්ෂව 2025 දී මිල 14%ක ඉහළ යාමක් පෙන්නුම් කරයි. ආර්ථික අර්බුදය ආරම්භයට පෙර එනම් 2021 වසරේ මුල් මාස පහේ දී එහි අගය රු 202ක් වු අතර ඒ අනුව 2021ට සාපේක්ෂව 2025 දී පහතරට එළවලු කිලෝවක මිල රු 243කින් ඉහළ ගොස් ඇති අතර එය 120%ක ඉහළ යාමකි.

උඩරට එළවලු මිලට ද ඒ සන්තෑනියම අත් වි ඇති සැටි පෙනී යන්නේ සටහන () දකින විටය. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් සහ බීට්රූට් යන එළවලු පහේ කිලෝ එකක සාමාන්‍ය මිල රු 544ක් විය. එය 2024 මිලට සාපේක්ෂව 2%ක පමණ වර්ධනයකි. කෙසේ වුවත් මේ දිනවල බෝංචි කිලෝ එකක මිල රු700 ඉක්මවා ඇත. කැරට් කිලෝ එකක මිල රු 900කට ඉහළය. එළවලු මිල නොකඩවා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර අර්බුදයට පෙර එනම් 2021 දී රු 206ක් වු උඩරට එළවලු කිලෝ එකක මිල මේ වන විට රු 544ක් දක්වා රු 338කින් ද ප්‍රතිශතයක් ලෙස 164%කින් වැඩි වි ඇත.

Screenshot

ජනතාවට පොල් පෙනෙන තවත් දෙයක් තමයි පොල් මිල. 2024 වසරේ මුල් මාස පහ තුළ රු 112ක් වු මධ්‍යම තරමේ පොල් ගෙඩියක මිල මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් රු 210ක් පමණ වි ඇති බව සටහන () මගින් පෙන්නුම් කරයි. එය 86%කින් පමණ ඉහළ යාමකි. වසරක් තුළ වැඩිම ගණනකින් පොල් මිල ඉහළ ගිය එකම කාලය බවට 2025 ජනවාරි මැයි කාලය පත්ව ඇත. 2021 වසරේ මුල් මාස පහ තුළ මධ්‍යම තරමේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රු 87ක් වු අතර 2025 දී එය රු 210ක් වි ඇත්තේ 139%කින් පමණ වැඩි විමෙනි. පොල් මිල ඉහළ යාමත් සමග ම පොල් තෙල් මිල ඉහළ යාම ද සිදු වේ. පසුගිය වසරට සාපේක්ෂව පොල්තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගිය කාලයක් ලෙස 2025 වසරේ මුල් මාස පහ සටහන් වේ. මේ වන විට පොල් තෙල් බෝතලයක වෙළදපල මිල රු 1200 ඉක්මවා ගොස් ඇත. කෙසේවුවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව 2025 මැයි මස 4වන සතියේ දී පොල්තෙල් බෝතලයක මිල රු 689ක් ලෙස සටහන් විය. ඒ අනුව මුල් මාස පහට ගණනය කළ සාමාන්‍ය මිල වුයේ රු. 632කි. එය 2024 මුල් මාස පහේ දී රු 450කි. ඒ අනුව 2025 මුල් මාස පහේ දී පොල්තෙල් මිල 40%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත. 2021 සිට මේ දක්වා කාලය තුළ පොල්තෙල් බෝතලයක මිල රු 200කින් පමණ සාමාන්‍ය අගයක් ලෙස ඉහළ ගොස් ඇත. අද වෙන කොට පොල් මිල හා පොල්තෙල් මිල ජනතාවට දරාගන්න බැරි මට්ටමට පත්වි ඇති බව නොකියාම බැරිය.

එමෙන් ම මාලු වර්ග, කරවල වර්ග, මස් වර්ග මිලෙහි හා බිත්තර මිලෙහි සිදු වි ඇති වෙනස්කම් ද මෙහි දී සන්සන්දනය කෙරිණි. කෙළවල්ලා, බලයා, හුරුල්ලා, සාලයා හා ලින්නා යන මාලු වර්ග 5හේ කිලෝ එකක සාමාන්‍ය මිල 2025 ජනවාරි මැයි කාලයේ දි රු 932ක් විය. 2024 වර්ෂයේ දී එම මාලු වර්ග 5හේ කිලෝ එකක සාමාන්‍ය මිල රු 859ක් විය. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ මාලු මිලෙහි සාමාන්‍ය අගය 9%කින් ඉහළ ගොස් ඇති බව  සටහන () මගින් පෙන්නුම් කරයි. 2021 වසරේ එම කාලයට සාපේක්ෂව මාලු මිල ඉහළයාම 79% ඉක්මවා යයි. එමෙන් ම කරවල මිල ද 2024 මිලට සාපේක්ෂව පහළ ගොස් නොමැත. කට්ටා, හාල්මැස්සෝ සහ සාලයා යන කරවල වර්ගවල කිලෝ එකක සාමාන්‍ය මාසික මිල 2024 දී රු 1551 ක් වු අතර 2025 දී එය රු 1571 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත. ආර්ථික අර්බුදය ආරම්භ විමට පෙර මෙම කරවල කිලෝ එකක සාමාන්‍ය මාසික මිල රු 1008ක් වු අතර 2025 මුල් මාස පහ වන විට එය 56%කින් වැඩි වි ඇත.

Screenshot

එමෙන් ම පොදුවේ පරිභෝජනය කරන මස් වර්ග තුනක සාමාන්‍ය මාසික මිල මට්ටමෙහි වෙනස්කම් ද මෙහිදි සැළකිල්ලට ලක්විය. අදාළ මස් වර්ග තුනෙහි ඉහළම සාමාන්‍ය මිල වාර්තා වන්නේ 2025 ජනවාරි මැයි කාලය තුළ දීය. ඒ කිලෝවක මිල රු 1785ක් බවට පත් වෙමිනි. 2024 මුල් මාස පහ තුළ මෙම මස් වර්ගවල සාමාන්‍ය මිල රු 1682ක් වු අතර එය 2025 දී 6% ඉක්මවු ඉහළයාමක් පෙන්නුම් කරයි. 2021 මුල් මාස පහේ සාමාන්‍ය මිල වු රු 873 සිට 2025 මුල් මාස පහ වන විට 105%ක පමණ වැඩිවිමක් පෙන්නුම් කරයි.

පසුගිය මාස කිහිපය තුළ වැඩිම කථාබහට ලක් වු කරුණක් වුයේ බිත්තර මිලයි. රු 45-50 ගණන්වල තිබුණු බිත්තර මිල රු 28-30 දක්වා අඩු විය. බිත්තරවලින් ඇතැමුන්ට ගිය කොමිස් නැති විම මෙයට හේතුව බව බොහෝ දෙනෙකගේ මතය විය. නමුත් එම අඩු වු මිළ ගණන්වල බිත්තර මිල වැඩි කල් තිබුණේ නැත. නැවතත් බිත්තර මිල ඉහළ යන්නට විය. එයින් කොමිස් කතාව අතේ රෝලක් බව තහවුරු විය. තමන්ට ඇති වු අවමානය වසා ගැනීමට ආණ්ඩුව බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය. සහල් මිල පාලනය කරන්න බැරි ආණ්ඩු සහල් ආනයනය කරනවා යැයි පසුගිය ආණ්ඩුවලට බැණවැදුණු අය සහල් විතරක් නෙමෙයි බිත්තරත් දිය ලුණුත් තොගපිටින් ඉන්දියාවන් ගෙනෙන්නට විය. බිත්තර ආනයනය කිරීම හරහා බිත්තර මිල පහළ මට්ටමක තබාගැනීමට හැකි වි ඇත. ඒ අනුව 2024 වසරේ මුල් මාස පහ තුළ රු 51 ක් පමණ ඉහළ අගයක තිබුණු බිත්තරයක සාමාන්‍ය මිල 2025 ජනවාරි මැයි කාලයේ දී රු 30 දක්වා 41%කින් අඩු වි ඇත. නමුත් මේ වන විට එය නැවතත් රු 35ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. 2021 අදාළ කාලයේ දී බිත්තරයක සාමාන්‍ය මිල වු රු 17ට වඩා වර්තමාන මිල දෙගුණයකින් පමණ තවමත් ඉහළ අගයක් වුවද මෙය ජනතාව ලැබු ජයග්‍රහණයකි. සැමරිය යුතු කරුණකි. අහසට උසට මිල ඉහළ ගොස් ඇති නිසා ජනතාවට බත් නැතිව, එළවලු නැතිව, පොල් නැතිව, අර්තාපල් නැතිව, මස් මාලු කරවල නැතිව, බිත්තර කා ජීවත් විය හැකි යුගයක් නිර්මාණය කර ඇත.

පොරොන්දු වු ආකාරයට බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව අසමත් වි ඇත. සහල් මාපියාව ඉවත් කිරීමට ආණ්ඩුව අසමත්ව ඇත. අනුර දිසානායක ජනාධිපති මැතිවරණ වේදිකාවේ කියු දෙයක් මෙසේය. නුවරඑලියේ එළවලු කොටුවෙන් කඩන ගෝවා ගෙඩියක් පුට් බෝලයක් තරම් විශාලය. එය පළමු අතරමැදිකරුට ලැබෙන විට කොළ දෙකක් ගළවා ඉවත් කරයි. එය ලොරිකරුට භාර දෙන විට තව කොළ දෙකක් ගළවා ඉවත් කරයි. එය ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිකරුට ලැබෙන විට තවත් කොළ දෙකක් ගැළවෙයි.  මේ ආකාරයට පුට් බෝලයක් තරමින් නුවරඑලියෙන් නෙළා ගන්නා ගෝවා ගෙඩිය පිටකොටුවේ වෙළෙන්දා ළගට එන විට ටෙනිස් බෝලයක් වෙලා එන්නේ. අනුර කුමාර ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ද දැන් 1/10ක් පමණ ගෙවි ගොස්ය. දැන් තත්ත්වය වෙනස් වෙලා ද? එහෙම නම් ගෝවා මිලත් අඩු විය යුතුය. ඒ ගෝවා නිෂ්පාදනයේ පසු අස්වනු හානිය අඩු කළ නිසාය. එය එසේම ද? 2024 මැයි මාසයේ දී රු 288ක් වු ගෝවා කිලෝව 2025 මැයි මාසයේ අලෙවි වුයේ රු 536කට ය. ඒ කියන්නේ 88%කින් ගෝවා මිල 2025 මුල් මාස පහ තුළ ඉහළ ගොස්ය. ටෙනිස් බෝලය තවත් කුඩා වි ඇති සේය. දුක් විදින අන්තිම පෝය හෝරාව අවසන් කර සැප විදින්න බලාගෙන සිටි අයගේ එම බලාපොරොත්තුව මාලිමාවක් නොමැතිවම දියවන්නා ඔයේ අතරමං වුවා සේය

*මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යානය දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.