26 April, 2024

Blog

MCC ගිවිසුම: මිත්‍යාව සහ සත්‍යය

අනුරුද්ධ පෑබොටුව –

අනුරුද්ධ පෑබොටුව

ඇමරිකානු ආධාර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බිය පිලිබඳ ඉතිහාසය 1950දී මුලින්ම ලංකාවට තිරිඟු පිටි සහනාධාර ලබා ගැනීම සඳහා අත්සන් කල PL480 ගිවිසුම දක්වා දිවේ. එතැන් සිට අද දක්වා ගතවූ සමස්ත කාල පරිච්චේදයම ගතවී ඇත්තේ එක් අතකින් ඇමෙරිකන් හිතවාදී කඳවුරක් සහ අනෙක් අතින් බලය අහිමි කල්හි ඇමෙරිකා එක්සත් ජනපදය යම් කිසි ආකාරයකින් ලංකාව අල්ලා ගැනීමට උත්සහ දරන්නේය යන බිය ජනතා සිත් තුළ ජනිත කරවන සහ බලය ලද කල්හි එම සටන් පාඨය හකුලා ඇමෙරිකානු හිතවාදීව ක්‍රියා කරන දේශපාලනඥයින් කඳවුරක් අතර රාජ්‍ය බලය හුවමාරු වෙමිනි. 

චීනය සමග පවතින්නේ ද මේ හා සමානම තත්වයකි. 1952 දී කොමියුනිස්ට් චීනය කොමියුනිස්ට් නොවන රාජ්‍යයක් සමග අත්සන් කල ප්‍රථම ද්විපාර්ශ්වික ගිවිසුම වූ චීන – ලංකා රබර් – සහල් ගිවිසුමට ඇමෙරිකන් හිතවාදී D S සේනානායක රජය වෙනුවෙන් එහි වෙළෙඳ අමාත්‍ය R G සේනානායක විසින් චීන රජය සමග අත්සන් අත්සන් කලේ එහි මුදල් අමාත්‍ය උග්‍ර ඇමරිකානු හිතවාදී J R ජයවර්ධනගේ විරෝධය මධ්‍යයේ ය. මෙම ගිවිසුම ලංකාව ලද ඇමෙරිකානු ආධාර විශාල ලෙස කප්පාදු කරනු ලැබීමට ද හේතු විය. මෙම ඉතිහාසය සලකා බැලීමේදී පෙනී යන්නේ ඓතිහාසිකව අමෙරිකාවත් චීනයත් ලංකාවට ඇතුවත් බැරි නැතුවත් බැරි මිතුරන් දෙදෙනෙකු ලෙස ක්‍රියා කරන බවය.

සහස්‍ර අභියෝග සහයෝගිතා නැතහොත් MCC ගිවිසුම පදනම් කරගෙන විවිධ දේශපාලන අභිමතාර්ථ සහිත කණ්ඩායම් විසින් ජනතාව අතර දුර්මත ගොඩනැගීම නිසා එහි අඩංගු සත්‍යය විකෘති වී ප්‍රචාරය වන බව පැහැදිලි වේ. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර තොරතුරු ඇතුළත් සටහන්, පෝස්ටර්, පත්‍රිකා ප්‍රචාරය වන අතර මේවායේ අඩංගු තොරතුරු ඇත්ත වශයෙන්ම එකී යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු නොව වෙනත් ක්‍රියාත්මක ගිවිසුම් සහ යෝජිත ගිවිසුම් වල ඇතුලත් ප්‍රතිපාදන පදනම් කරගෙන ප්‍රචාරය කර ජනතාව අතර බිය, අවිශ්වාසය සහ අසහනය ගොඩනැගීම මගින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම පදනම් කරගත් සැලසුම්සහගත ප්‍රචාරණ ව්‍යාපෘතියක කටයුතු බව පැහැදිලිව පෙනේ.

කෙසේ වෙතත් මෙම බිය ගැන්වීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම වැඩසටහන තුළ ඇතුළත් තවදුරටත් පැහැදිලි කරගත යුතු සහ තවදුරටත් අවධානය යොමුවිය යුතු කරුණු අවධානයෙන් ගිලිහී ගොස් ඇති බවත් සහ එය අවදානම් සහගත තත්ත්වයක් බවත් අවධාරණය කල යුතුයි.

වැඩසටහනේ අරමුණු

ලංකාවේ දිළිඳු බව පිටුදැකීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ප්‍රධාන ව්‍යාපෘති දෙකකින් සමන්විත වේ. පළමුවැන්න වන කොළඹ නාගරික කලාපයේ ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම මගින් අනෙකුත් ප්‍රදේශවල සිට වරාය සහ වෙළඳපොළට ඇති ප්‍රවේශය කාර්යක්ෂම කිරීම සහ වියදම අඩු කිරීම අපේක්ෂා කරන අතර දෙවැන්න මගින් පුද්ගලික සහ ඌණ-භාවිත රාජ්‍ය ඉඩම් සම්බන්ධ තොරතුරු ලබාදීම වැඩි කිරීම මගින් ඉඩම්වල වෙළෙඳපොළ ක්රියාකාරිත්වය වැඩි කිරීම අපේක්ෂා කෙරේ. හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අරමුණු හඳුනා ගෙන ගෙන ඇත. තදාසන්න ප්‍රදේශවල සිට කොළඹ නාගරික කලාපයට දිනපතා රැකියා සදහා හා ව්‍යාපාරික කටයුතු සඳහා ගමන් ගන්නා ජනතාවට ප්‍රවාහන පද්ධතියේ පවත්නා අකාර්යක්ෂම ස්වභාවය සහ ඒ නිසා මහා මාර්ගයේ ගත කරන්නට සිදුවන කාලය ගැන මනාව අවබෝධයක් ඇතිවාට සැකයක් නැත. එසේම ඉඩම් වල අයිතිය සම්බන්ධයෙන් නිරවුල් තාවයක් නොමැති නිසා එම ඉඩම් ආයෝජන සහ ආර්ථික කටයුතු වලට යොදාගැනීමට නොහැකිවීමෙන් දිළිඳුකම පිටුදැකීමටත් රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් බාධාවක් බව පැහැදිලි කරුණකි.

දුර්මත 

MCC ගිවිසුම පිළිබඳව අනියත බිය පලකරන කණ්ඩායම් ප්‍රචාරය කරන සමහර කරුණු පහත පරිදි ය.

1. ලංකාවට ඇමෙරිකානු හමුදාවන්ට නිදහසේ පැමිණීමට අවකාශ ලැබේ – හමුදා සම්බන්ධව ඇති එකම ප්‍රතිපාදනය වන්නේ 2.7.a වගන්තිය පරිදි වැඩසටහන යටතේ ලබාදෙන අරමුදල් කිසිදු ආකාරයකින් හමුදාව, පොලිසිය හෝ වෙනත් කිසිදු අර්ධ මිලිටරි ආයතනයක් වෙනුවෙන් වැය නොකළ හැකි බවයි.

2. ඇමරිකානු හමුදාවන්ට ලංකාවේ භූමිය තුළ ආයුධ අතැතිව නිදහසේ ගමන් කිරීමට අවකාශ ලැබේ – සම්පුර්ණ අසත්‍යයකි.

3. එම ඇමෙරිකානු හමුදාවන් ලංකාවේ නීතියට යටත් නොවේ – අදාළ නොවේ.

4. ඇමරිකාවට ලංකාවේ භූමිය හෝ ඉන් කොටසක් විශේෂිත ආර්ථික කොරිඩෝවක් ලෙස පවරා දෙනු ලැබේ – ආර්ථික කොරිඩෝව සහ ඊට අදාලව සංසරණය වන සිතියම ජාතික භෞතික සැලැස්මේ යෝජනාවක් වන අතර මෙම වැඩසටහනට අදාළ නොවේ (පහත සිතියම බලන්න).

 

5. ඇමරිකාව ලංකාවේ බදු නීතියෙන් නිදහස් වේ – ගිවිසුමේ 2.8 වගන්තිය සහ එහි උප වගන්ති අනුව ආධාර අරමුදල් රජයට බදු ගෙවීමට යොදා ගත නොහැක. මෙය සියලු විදේශාධාර ව්‍යාපෘතීන්ට පොදු ප්‍රතිපාදනයකි.

6. ඇමරිකාව ලංකාවට මේසා විශාල ප්‍රදානයක් ලබා දෙන්නේ සැඟවුණු බලාපොරොත්තු ඇතිවය. – එක් අතකින් මෙය රටේ සංවර්ධනයට අකුල් හෙලන සිය දේශපාලන ජයග්‍රහණ පමණක් සලකන අවස්ථාවාදී දේශපාලනඥයින් ඉතිහාසය පුරා ඇමෙරිකාවට විරුද්ධව කරන ලද චෝදනාවකි. අනෙක් අතට මෙවැනි බොරු බිය ගැන්වීම් වලින් සැබෑ අනතුර වසන් කිරීමක් ද සිදු වේ. මේ පිළිබඳව බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ කොටසින් සාකච්ඡා කෙරේ.

මහජන ව්‍යාකුලත්වය

මෙලෙස ලංකාව ඇමෙරිකාවේ යටත් රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි බිය පළ කරන බොහෝ කරුණු මෙම ගිවිසුමට සම්බන්ධිත කරුණු නොවන අතර ඊට අදාල නොවන 2007දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු තානාපති රොබට් ඕ’බ්ලේක් සමග අත්සන් කරන ලද ACSA ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදනද, දැනට සාකච්ඡා කරමින් පවතින ACSA ගිවිසුමේ විස්තාරණයක් ලෙස යෝජිත SOFA ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන මුල්කොටගෙන ඇතිවිය හැකි යයි උපකල්පිත ප්‍රතිවිපාකයන්ද සහ වසර 2000 සිට දේශීය විශේෂඥයින් දහස් ගණනක සහභාගිත්වයෙන් සම්පාදනය කොට පසුගිය වසරේදී යාවත්කාලින කරන ලද “ජාතික භෞතික සැලැස්ම – 2050” ප්‍රතිපත්ති සහ සැලැස්මේ යෝජිත ප්‍රතිපාදනයන් එක්කොට “නිර්මාණය කරන ලද” බිය ජනිතකිරීමට සමත් හිතළු දාමයකි.

MCC වැඩසටහන මෙම කිසිදු කරුණකට දායක නොවන අතර අනෙකුත් සෑම විදේශාධාර ව්‍යාපෘතියකට මෙන්ම ඒ මගින් දරනු ලබන වියදම් සඳහාද බදු නිදහස ලබා දෙන්නේ ව්‍යපෘති අරමුදල් රජයට බදු ගෙවීමට භාවිතා කිරීමට නොහැකි බැවිනි.

මෙම බියවැද්දීම් වලින් ඉදිරිපත් කරන අසත්‍යයන්ට වෙනස්ව මෙකී ප්‍රදාන වැඩසටහන මගින් ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන දායකත්වය නිවැරදිව ජනතාව අතරට පත් නොකිරීම දේශපාලන කඳවුරු වලට සම්බන්ධ නොවූ මධ්‍යස්ත ජනතාව අතර කුහුලක්, අනියත බවක්, කලකිරීමක්, මෙන්ම අපේක්ෂා භංගත්වයක් ඇති කිරීමට හේතු වී ඇත.

හඳුනාගත් ව්‍යපෘති

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් කරන ලද අධ්‍යයනයෙන් හඳුනාගත් වැඩසටහනේ මුලික ව්‍යාපෘතීන් දෙක – ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය රටේ සහ ජනතාවගේ ආර්ථික අභිවෘද්ධියට බාධාකාරී ලෙස බලපාන සාධක ඉවත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් මගින් තාක්ෂණික සහයෝගය, ගොඩනැගීම් සහ අලුත්වැඩියාවන්, ආයතනික ව්‍යුහ සංශෝධනය සහ අලුතෙන් ඇතිකිරීම සහ නෛතික සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.

ප්‍රවාහන ව්‍යාපෘතිය

ප්‍රවාහන ව්‍යාපෘතිය කොළඹ නාග නාගරික කලාපයේ පටු කපොලු මාර්ග සහ රටේ තෝරාගත් මහා මාර්ග දියුණු කිරීම මගින් වාහන තදබදය අඩුකොට රටේ ප්‍රධාන නාගරික කලාප දක්වා ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, රථවාහන හැසිරවීමේ පද්ධතිය නවීකරණය කිරීම, මාර්ග ප්‍රවාහන පද්ධතියේ කාර්ය සාධනය දියුණු කිරීම, මගීන්ට සහ පදිකයින්ට සිදුවන අතවර ඉවත්කොට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ මධ්‍යම ප්‍රදේශය සහ බාහිර ප්‍රදේශ අතර ගමනාගමනය වැඩිදියුණු කිරීම යන අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක කරන වාහන ගමනාගමන උසස් කළමනාකරණය පද්ධතිය, බස් ගමන ගමනාගමන සේවාව නවීකරණය කෙරේ කිරීම සහ මධ්‍යම කව මාර්ග ජාලය (පහත සිතියම බලන්න) යන ප්‍රධාන කාර්යයන් 3න් සමන්විත වේ.

මාර්ග ව්‍යාපෘතියේ වැදගත් අංගයක් වන්නේ පහත සඳහන් මාර්ග කොටස්වල කරනු ලබන වැඩිදියුණු කිරීම් ය. 

අවිස්සාවේල්ල – රත්නපුර කි.මී. 40

බෙරගල – වැල්ලවාය කි.මී. 31

දඹුල්ල – නාඋල කි.මී. 20

දඹුල්ල – මධ්‍යම සහ උතුරුමැද පළාත් මායිම කි.මී. 18

රත්නපුර – පැල්මඩුල්ල කි.මී. 22

ඊට අමතරව දැනට පවතින තරඟකාරී ඒකල බස් සේවා ලාභ වර්ධනය කරගැනීමේ ආකෘතිය කාර්යසාධනය පදනම් කරගෙන බස් සේවා දායකයින් අතර අදායම බෙදාගැනීමේ ආකෘතියකට පරිවර්තනය කිරීමේ ආයතනික ප්‍රතිසංස්කරණය මහාමාර්ග වල පවතින අනතුරුදායක තරඟකාරීත්වය ඉවත් කිරීමට දායක වනු ඇත.

ඉඩම් ව්‍යාපෘතිය

ඉඩම් ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පුද්ගලික සහ ඌණ භාවිත රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ලබාගැනීමට සැලැස්වීම මගින් ඉඩම් වෙළඳාම් කටයුතු වැඩි දියුණු කිරීමයි. මෙහිදී කුඩා ඉඩම් හිමියන්, කාන්තාවන් සහ ආයතන වල ඉඩම් භුක්තිය ආරක්ෂාවත්, ඒවායේ විකිණීමේ හැකියාව දියුණු කිරීමත් ප්‍රතිපත්තිමය සහ නීතිමය ප්‍රතිසංස්කරණ මගින් සිදු කිරීමට බලාපොරොත්තු වේ. ව්‍යාපෘතියේ ඉඩම් සම්බන්ධ කාර්යයන්, දැනට ක්‍රියාත්මකත්මක වන ඉලෙක්ට්‍රොනික රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය, ඉලෙක්ට්‍රොනික ඉඩම් ලේඛනාගාරය සහ බිම්සවිය යන සම්පත් ඌනතාවයන් නිසා පසුබා ඇති වැඩසටහන් ශක්තිමත් කිරීම මුල් කරගත් ප්‍රධාන කාර්යයන් 5ක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.

1. ඉඩම් කට්ටි නිර්මිත සිතියම සහ රාජ්‍ය ඉඩම් වට්ටෝරුව

2. ඔප්පු ලේඛනාගාරය වැඩිදියුණු කිරීම 

3. ඉඩම් තක්සේරු කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම

4. ඉඩම් ප්‍රදාන ලියාපදිංචිය සහ ඔප්පු පරිවර්තනය (ඉඩම් අයිතිය ඔප්පු ලියවිල්ල පදනම් කරගත් ක්‍රමයෙන් හිමිකම පදනම් කරගත් ක්‍රමයට හැරවීම

ඉඩම් ප්‍රතිපත්තිය සහ ඉඩම් පාලනය

රාජ්‍ය ඉඩම් සහ පුද්ගලික ඉඩම් සම්බන්ධ අංගසම්පූර්ණ ඉලෙක්ට්‍රොනික් දත්ත පද්ධතියක් ඇති කිරීම මගින් විශේෂිත ඉඩම් කලාප හඳුනා ගැනීමට ඉඩ ලැබීමෙන් ක්‍රමවත් සහ විද්‍යාත්මක පදනමක් මත රටේ භෞතික සංවර්ධනය සැලසුම් කිරීමට හැකිවීමත්, පුද්ගලික ඉඩම් ඔප්පු සහ හිමිකම් පරිගණකගත කිරීම මගින් ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වීමත්, ඉඩම් සම්බන්ධ කටයුතු වලදී භෞතික ලේඛන ගබඩා කිරීමේ සහ සෙවීමේ ප්‍රමාදයන් සහ ඒ ආශ්‍රිත සොරකම්, ගිනිගැනීම්, වෙනස් කිරීම්, සන වංචා නිසා ඇති වියහැකි අපහසුතා වළක්වා ගැනීමට හැකි වීමත්, ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම මගින් ඉඩම් වල ආර්ථික භාවිතය වැඩි දියුණු කිරීමෙන් පුද්ගලික සහ ජාතික ආර්ථික වර්ධනයට දායකත්වයක් ලැබීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ අතර ප්‍රධාන තැනක් ගනී.

ක්‍රියාත්මක කිරීම

මෙම වැඩ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ බලයලත් ආයතනය ලෙස සමාගම් ආඥා පනත යටතේ MCA ශ්‍රී ලංකා නමින් පුද්ගලික සමාගමක් පාර්ලිමේන්තු පනතක් මගින් ඇති කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සමාගමේ මෙහෙයවීමේ බලය හිමි අධ්‍යක්ෂක මණ්ඩලයට ජනාධිපතිවරයා ගේ නියෝජිතයකු, අග්‍රාමාත්‍ය වරයාගේ නියෝජිතයකු, වැඩසටහනට සෘජුවේ සම්බන්ධ අමාත්‍යාංශ හයක ලේකම්වරු, පුද්ගලික අංශයේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙනෙකු අයත් වේ. මෙම සමාගම ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ඉ-ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද අයි සී ටී ඒ (ICTA) ආයතනයට සමාන ආයතනයක් බවට අපේක්ෂා කළ හැක.

පාරදෘශ්‍යභාවය

MCC ප්‍රදාන ගිවිසුම ක්‍රියාත්මක කිරීම පාරදෘශ්‍ය භාවයකින් යුතුව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිවිසුමට අන්තර්ගත කොට ඇත. ඒවා අතර ගිවිසුම් ප්‍රදානයන් යටතේ සිදුකෙරෙන මිලදී ගැනීම් පිළිබඳ ප්‍රතිපාදන, ගිණුම් තැබීම පිළිබඳ ප්‍රතිපාදන සහ විගණනය පිළිබඳ ප්‍රතිපාදන ප්‍රධාන තැනක් ගනී.

MCC ප්‍රදාන ගිවිසුම යටතේ සිදුකරන මිලදීගැනීම් සියල්ල “MCC වැඩසටහනේ මිලදීගැනීම් මාර්ගෝපදේශ” මත පදනම්ව සිදු කල යුතුය. එම් මාර්ගෝපදේශ අතර පහත් සඳහන් ඒවා වැදගත් තැනක් ගනී.

1. භාණ්ඩ, වැඩ සහ සේවා මිලදී ගැනීම් සඳහා මිල ගණන් කැඳවීම, කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සහ පාලනය කිරීම සඳහා විවෘත, සාධාරණ සහ තරගකාරී ක්‍රියාපරිපාටි පාරදෘශ්‍ය භාවයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතුය.

2. මිල ගණන් කැඳවීම, එසේ මිලදී ගැනීමට අපේක්ෂිත භාණ්ඩ, වැඩ සහ සේවා පිළිබඳ පැහැදිලි සහ නිවැරදියි විස්තර කිරීමකින් සමන්විත සිදු විය යුතුය.

3. කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම එම කොන්ත්‍රාත්තු පිරිවැය-ඵලදායී සහ කාලීන පදනමකින් සිය කොන්දේසි මත ක්‍රියාත්මක කිරීමට ශක්‍යතාවය සහ කැමැත්ත ඇති සුදුසුකම් ලත් සැපයුම් කරුවන්ට පමණක් කල යුතු ය. 

4. භාණ්ඩ, වැඩ සහ සේවා මිලදී ගැනීම සඳහා වාණිජමය වශයෙන් සාධාරණ මිලට වැඩ වැඩි මිලක්, නිදසුනක් ලෙස ඉදිරිපත් කර ඇති මිල සහ වෙළෙඳපොල මිල සසඳා, නොගෙවිය යුතුය.

5. ගිවිසුමට අදාළ ගිණුම් තැබීම ඇමරිකානු එක්සත් ජනපදයේ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව සිදු කල යුතු ය. 

ශ්‍රී ලංකා රජය විසින් වැඩ සටහනේ අරමුදල් උපයෝගී උපයෝජනය අර්ධ වාර්ෂිකව ස්වාධීන විගණකයෙකු විසින් විගණනය කළ යුතු අතර විගණන කාලසීමාව ඉක්මවා දින අනුවක් ගතවීමට ප්‍රථම MCC ආයතනයට ලබාදිය යුතුය.

ගැටළු සහගත ප්‍රතිපාදන 

ගිවිසුම පාර්ලිමේන්තුව මගින් අනුමත කල යුතු බව 

ගිවිසුමේ 7.1 වගන්තියෙන් දැක්වෙන්නේ “මෙම MCC ගිවිසුම සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම (PIA) බලාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු දේශීය අවශ්‍යතා සපුරාලීමට නොපිරිහෙලා ක්‍රියා කල යුතු ය. මෙහි 7.3 වගන්තියේ දැක්වෙන මෙම ගිවිසුම බලාත්මක කිරීමට අවශ්‍ය සියලු දේශීය අවශ්‍යතා සපුරා ඇති බව දැනුම්දෙමින් රජය විසින් යැවිය යුතු ලිපිය යැවීමට පෙර මෙම ගිවිසුම ලංකාවේ නීතියට අනුකුල ලෙස පාර්ලිමේන්තුවට යොමුකොට නීතිගත කිරීමට අවශ්‍ය බව මෙහි පාර්ශ්වයන් අවබෝධ කරගෙන ඇත” යනුවෙනි.

ශ්‍රී ලංකා නිතිය අනුව විදේශ ආධාර ආයතන සමග අත්සන් කරන ගිවිසුම් බලාත්මක වීමට අවශ්‍ය වන්නේ කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එකී ගිවිසුම රජය වෙනුවෙන් අත්සන් කිරීමට මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයාට ජනාධිපති වරයාගේ අත්සනින් ලබාදෙන අධිකාර පත්‍රය පමණි. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ මෙම විශේෂයෙන් නීතිගත කිරීමේ අවශ්‍යතාවය දෙපාර්ශ්වය විසින්ම අවබෝධ කරගෙන සිටී යන්න ගැටළු සහගත ය. මෙම “අවබෝධය” නිවැරදිද යන්න නැවතත් තහවුරු කොට ගෙන එම වගන්තිය සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කල යුතු ය.

බුද්ධිමය දේපොළ අයිතිය MCC ආයතනයට ප්‍රදානය කල යුතු බව 

MCC ගිවිසුමේ අඩංගු ඉතා කුඩා 3.9 වගන්තියේ සඳහන් බුද්ධිමය දේපොළ පිලිබඳ වන ප්‍රතිපාදනය, රටේ ආරක්ෂාවට හානියක් වන ලෙස ගිවිසුමේ ඇතැයි අනුමාන කොට විශාල විරෝධතාවයක් දැක්වූ කරුණු තරම් අවධානයක් යොමු නොවූ මුත් සත්‍ය වශයෙන් ඊටත් වඩා අවධානය යොමු කල යුතු වගන්තියක් ලෙස සැලකිය යුතුය. එය මෙසේ ය:

 

එහි සඳහන් වන්නේ වැඩසටහනේ කවර කරුණක් සඳහා හෝ දැනට දන්නා හෝ ඉදිරියේදී නිපදවනු ලබන කවර හෝ බුද්ධිමය දේපොලක් සම්බන්ධයෙන් නිත්‍ය, අවලංගු කළ නොහැකි, පුරස්කාරයෙන් නිදහස්, ලෝක ව්‍යාප්ත, සම්පුර්ණයෙන් ගෙවන ලද, පැවරිය හැකි අයිතිය සහ භාවිතා කිරීමේ සහ රජය වෙනුවෙන් භාවිතා කරනු ලැබීමේ බලය (නිෂ්පාදනයට, ප්‍රතිනිෂ්පාදනයට, ප්‍රකාශනයට, වෙනත් අරමුණක් වෙනුවෙන් භාවිතයට අනුවර්තනය කිරීමට, භාවිතා කිරීමට, ගබඩා කිරීමට, වෙනස් කිරීමට හෝ ලබාගැනීමට හැකියාව ලබාදීම ඇතුළුව) රජය විසින් MCC ආයතනයට ප්‍රදානය කරන බවයි.

මෙහි සංක්ෂිප්ත අදහස වන්නේ වැඩසටහන දැනට දන්නා හෝ ඉදිරියේදී ඕනෑම අරමුණක් වෙනුවෙන් ගොඩනගන ඕනෑම මාධ්‍යයක අඩංගු දෑ පිලිබඳ බුද්ධිමය දේපළ හිමිකම අවශ්‍ය පරිදි භාවිතය සඳහා MCC ආයතනයට හිමි වන බව ය.

මේ අනුව නිදසුනක් ලෙස MCC ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ ගොඩනගන සහ දැනට ගොඩනගා ඇති තොරතුරු පිළිබඳ බුද්ධිමය දේපොළ අයිතිය MCC ආයතනය ඔස්සේ ඇමරිකානු රජයට හිමිවීම ලංකාවේ ජාතික ආරක්ෂාවටත් ජාතික අභිලාෂයටත් හානිකර බව පිළිබඳව මෙම ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවේ සමාලෝචනයට ගනිද්දී ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට ගැනුනේ දැයි සැකයක් පැන නැගේ.

නිදහසෙන් පසුව ඇමෙරිකාව සහ චීනය අතර පමණක් එළඹගත් ගිවිසුම් පිළිබඳව ඓතිහාසිකව සලකා බැලීමේදී එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මෙම රාජ්‍ය දෙකම තීරණාත්මකව අවශ්‍ය අවස්ථා වලදී අප රටට උපකාර කර ඇති ආකාරය පෙනී යන අතර ඒ සමගම එම රාජ්‍යයන්ගේ ජාතික අභිලාෂයන් ඒ ඔස්සේ ඉටු කර ගැනීමටත් කටයුතු කර ඇති බව ද පෙනී යන කරුණකි. මෙම කරුණ සිත්හි තබාගෙන පටු දේශපාලන අරමුණු පසෙකලා මාතෘභූමියේ ජාතික අභිලාශය මුල් තන්හි තබා අවදානම් සහගත වගන්ති නැවත සුදුසු පරිදි සංශෝධනයට කටයුතු කිරීම මගින් මෙම ගිවිසුමෙන් රටේ අභිවෘද්ධියට ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබාගැනීම ඒ සඳහා වගකීම් දරන නිලධාරින්ගේත් දේශපාලන නායකත්වයේත් වගකීමකි.

The writer was an official of the Department of External Resources of the Treasury, that holds the mandate of aid coordination including negotiation, signing and monitoring of external loan and grant agreements with almost 2 decades of experience in the capacities of Assistant Director, Deputy Director and Director before his early retirement. He was also the first Project Manager of eLand Registry Project, that’s a part of this agreement under the Land Project, then commenced by ICTA in collaboration with Registrar General’s Dept in the year 2008.

ලියුම්කරු විදේශ ආධාර ණය සහ ප්‍රදාන ගිවිසුම් සමායෝජනය සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ බලයලත් ආයතනය වන මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ දශක දෙකක පමණ කාලයක සහකාර අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂක තනතුරු වල අත්දැකීම් ලබා ඇති විශ්‍රාමික නිලධාරියෙකි. එසේම මෙම ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ අන්තර්ගත ICTA ආයතනය විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපත්තමෙන්තුවේ සගයෝගිත්වයෙන් 2008 වසරේදී ආරම්භ කරන ලද “ඉලෙක්ට්‍රොනික ඉඩම් ලේඛනාගාරය” ව්‍යාපෘතියේ පළමු ව්‍යපෘති කළමනාකරු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

මුලාශ්‍ර / Reference:

ජාතික භෞතික සැලැස්ම – 2050 https://drive.google.com/file/d/1dkr0yI01gyeUTue1j3dlkHXKo7ryV2wU/view

හමුදාවන්ගේ අයිතිය පිලිබඳ ගිවිසුම් (SOFA) පිලිබඳ විවරණයක් https://en.wikipedia.org/wiki/Status_of_forces_agreement

MCC ගිවිසුම http://www.treasury.gov.lk/documents/10181/519892/MCC+Rescan1.pdf/a5d28fac-22cc-4139-a88e-a37311bafb6b

හාවර්ඩ් ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව කරන ලද ශ්‍රී ලංකා සංරෝධක විශ්ලේෂණය https://assets.mcc.gov/content/uploads/constraints-analysis-sri-lanka.pdf

2007 වසරේ අඩු ප්‍රසිද්ධියක් සහිතව අත්සන් කරන ලද ACSA ගිවිසුම පිළිබඳව http://www.asiantribune.com/index.php?q=node/5019

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.