3 December, 2020

Blog

අනුර, රමණය හා ලිංගිකත්වයේ දේශපාලනය 

අරුන්දතී සංගක්කාර –

ගැහැණිය, රමණය, ලිංගිකත්වය, ස්ත්‍රී ස්වස්ථාවය, ප්‍රජනක අයිතීන් ආදී මාතෘකාවන් ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම දිවෙන අතර ඒවා මැතිවරණයම කරකවා අත හැරීමට තරම් ප්‍රබල වී ඇත. කේට් මිලට් 1907දී ඇගේ ලෝක කීර්තිමත් ග්‍රන්ථය වන “ලිංගිකත්ව දේශපාලනය” හි ලියු පරිදි “තමාට පෞද්ගලික වන දෙයම දේශපාලනික වෙයි”. 

රමණය තෝරා ගැනීමකි ඔසප් වීම සිදු වීමකි 

රාජපක්ෂ පුරුෂෝත්තමවාදයෙන් මත් වුණු පොහොට්ටුවන්ට ඉහත මාතෘකා කෙරෙහි සංවේදීතාවයක් නොමැත. පෑඩ්මෑන්ගේ ප්‍රතිමල්ලවයින් ලෙස නාටකීය රැඟුමකට ඔවුන් ඉදිරියට ගෙන ආවේ අපුරු කාන්තාවන් තිදෙනෙකි. 

ඉන් එක අයෙක් නම් තමා ලජ්ජා බයට හැදුනු ශ්‍රී ලාංකික කාන්තාවක් බවද, තමා කලාකාරියක බව ද කියන (ඇය දැනට කවර කලාවක් කරයි දැයි පැහැදිලි නැත) සංජීවනී වීරසිංහ නමැති කාන්තාවයි. ඇය විසින් ඇ“තමාගේ බිරිඳට සනීපාරක්ෂක තුවා අරන් දීමට ජවයක් සැමියන්ට ඉතිරි වී ඇති බව“ කියමින් සිංහල පිරිමින්ව උත්කර්ෂයට නංවන ලදී. 

මගේ ප්‍රශ්නය නම් ජවයක් ඇති සැමියෙක් නැති දැරියන්, අවිවාහක කාන්තාවන්, පසු ප්‍රසව අවධියේ පසු වන මවුවරුන් කුමක්  කරන්නේද යන්නයි. 

මේ “ඊනියා දේශපාලනික කාන්තාවන්“ දේශපාලනයේ “පබා-ගීතා” යුගය අපට සිහි ගන්වයි. මේ මාතෘකාව සාකච්ඡාවට​ පොහොට්ටුවට සොයා ගත හැකිවූ  කාන්තවන් තිදෙනා වන්නේ සංජීවනී වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන් සහ කුසුම් රේණු යන කාන්තාවන්ය. මෙහිදී කුසුම් රේණු පවසන්නේ ඇයට “දෑස පියා ගත් කල ගෝටාබය​ මැතිඳු මැවී පෙනෙන බවය”. මම මනෝ වෛද්‍යවරියක් නොවෙමි. නමුත් එසේ රූප මැවී පෙනීම ස්කිට්සොෆ්රෙනියාවේ ලක්ෂණයක් බව නිකමට මෙන් කියමි. 

තමන්ද මවුවරුන් බව පුන පුනා පවසන මේ කාන්තාවන් පවසන්නේ මෙසේ සනීපාරක්ෂක තුවා කාන්තාවන් ලබා දීමෙන් ඔවුන් තුල හිඟන මානසිකත්වයක් ඇති වන බවය. එතනින් නොනැවතුණු ඔවුහු මෙය අවඥාවට ලක් කරමින් “එතකොට කොන්ඩම් ද නොමිලේ බෙදනවාද” යි ඇසුහ. 

මේ පොහොට්ටු කාන්තාවන් තිදෙනාට මම මෙය හැකි තරම් සරල කර තේරුම් කරමි. 

ඔසප් වන දැරියෝ ස්ව කැමැත්තෙන් ඔසප් නොවෙති.

ඔසප් වීම වනාහි දැරියගේ පාලනයේ නොමැති ස්වභාවික ශාරීරික සංසිද්ධියකි. 

පිරිමි දරුවෙකුට සිය මුහුණේ රැවුල වැවීම පාලනය කර ගත නොහැකි සේම, දැරියකට ඔසප් වීම පාලනය කරගත නොහැකිය. 

රමණය ඔබේ තීරණයකි. 

ඔබ රමණයෙහි යෙදීමට තීරණය කරයි නම් ඔබේ සිරුර ලිංගිකව බෝ වන රෝගයකින් හෝ ගැබ් ගැනීමකින් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියකු ලෙස ඔබේ පෞද්ගලික වගකීම වෙයි. එහෙයින් රමණයෙහි යෙදීමට පෙර කොන්ඩම් එකක් මිලදී ගෙන එම ලිංගික සම්බන්ධතාවය ආරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවයක් බවට පත් කර ගැනීම ඔබේ වගකීමකි. 

නමුත් එයද ඔබට තනිව කර ගත නොහැකි නම් දැනටමත් නොමිලේ රජය එය ඔබට කර දෙයි. 

ඔබ තිදෙනා මේ පිළිබඳව පුපුරු ගසන උනන්දුවෙන් සිටින නිසා මේ ටිකද සටහන් කරමි. ඔබට නොමිලේ කොන්ඩම් අවශ්‍යනම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී අයගෙන් ඒවා ඉල්ලා ගත හැක. ඇය ඊට අමතරව ඔබට නොමිලේ පවුල් සැලසුම් උපදෙස්ද ලබාදෙනු ඇත. ඔබට අවශ්‍ය නම් නොමිලේ ඩිපෝ ප්‍රොවේරා එන්නතක් ලබා දෙනු ඇත (ගැබ් ගැනීම වැලකීමට); නැත්නම් ගර්භාෂය තුල ලූපයක් තැන්පත් කරනු ඇත (ගැබ් ගැනීම වැලකීමට); නැතිනම් පවුල් සැලසුම සඳහා උපත් පාලන පෙති ලබා දෙනු ඇත; ඔබ දැනට ලිංගික සම්බන්ධතාවයක් පවත්වන සහකරුවකු/ සහකරුවන් වෙනුවෙන් කොන්ඩම් අවශ්‍ය නම් එයද ඇය විසින් නොමිලේ ලබා දෙනු ඇත. 

සංජීවනී, නිල්මිණි, කුසුම්, ඔබට ඇති තරම් කොන්ඩම් රජයෙන් ඉල්ලා ගන්න. ඔබ ආර්තවහරණයට ආසන්නයේ නම්, ඔබේ පළාතේ රජයෙන් නොමිලේ පවත්වන සුව නාරි සායනයට යන්න. ඔබට ඒ සඳහා ද නොමිලේ උපදෙස් සහ ඖෂධ ලබා දෙනු ඇත. මා අසා ඇති පරිදි එම සායනයෙන් ලැබෙන මානසික උපදේශනය සහ ඖෂධ ආරත්වහරන අවධියේ වඩාත් හොඳ ලිංගික ජීවිතයක් ලබා ගැනීමට උදවු වෙයි. වඩාත් සුරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට අපගේම බදු මුදලින් බොහෝ සේවා සැපයෙයි. 

සංජීවනී, නිල්මිණි, කුසුම්, ඒවා ලබා ගන්න. රමණයේ යෙදෙන්න!

රමණයේ යෙදීම නිසා සෙනෙහස, රැකවරණය උත්තේජනය කරන හෝමෝන ගැහැණු පිරිමි දෙපාර්ශවයේම සිරුරු තුල වැඩි කරවයි. ඔබගේ ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබට අඩුවෙන් තරහ යාමට එය හේතුවක්ද වනු ඇත. 

නැවත ද  කියමි. 

ඔසප් වීම තෝරා ගැනීමක් නොවේ. 

රමණය තෝරා ගැනීමකි.

සුරක්ෂිත රමණයට අවශ්‍ය සේවා රජයෙන් නොමිලේ ලබා දෙයි. 

ඔසප් ස්වස්ථාවට අවශ්‍ය සේවාව රජයෙන් නොමිලේ ලබා නොදෙයි. 

එය නිවැරිදි විය යුතුය. 

එය තේරුම් ගැනීමට උත්සාහ ගන්න. 

අනපේක්ෂිත පෑඩ්මෑන්: සජිත් 

පළමුව මම මගේ උත්තමාචාරය ආතක් පාතක් නැතිව සිටි සජිත්ට පෑඩ් කතාව කියන්නට ඉගැන්වූ “ඇත්ත පෑඩ්මෑන්ට” පුද කරමි. කවුරුන් හෝ ඒ දක්ෂ මිනිසා මේ අදහස සජිත්ට ඉගැන්වීය. ඒ වන තුරු සජිත්ගේ මැතිවරණය ව්‍යාපාරය පුරාවටම පියාණෝගේ පුතාණෝ සිය පපුවට ගසා ගනිමින්, පෝනි පදිමින්, රෑට දෙපතුල ලඟට එන බවට කියමින් ගත කළේය. පෑඩ්මෑන් කෙසේ වුවත් සජිත්ව මෑඩ්මෑන් කෙනෙකු ලෙස පෙනුනේය. හිටපු ජනාධිපතිවරයකුගේ පුතා මොහු දැයි සිතෙන තරමට ජාතියේම සිනහවට පාත්‍ර වුනු සජිත් ධෛර්යය ගෙන “සනීපාරක්ෂක තුවාය” යන වචනය කියා ගත්තේය. එක රැයකින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනස් විය. ඔහු අලුත් දේශපාලන ජීවියකු ලෙස ඔහුවත් නොදන්නා, නො අදහන ජීවිතයක් ලැබුවේය. 

නමුත් සජිත් ඓන්ද්‍රීයව කාන්තාවගේ සෞඛ්‍ය අයිතීන් පිළිබඳව​ විශ්වාස කරන්නෙක් නම් ඔහු සනීපාරක්ෂක තුවා පිලිබඳ කතාව කරනු ඇත්තේ ඔහුගේ කාන්තා සම්මේලනය දිනයේය. ඔහු එදින කළේ කුමක්ද? සිය මව, සිය ආර්යාව, සිය සොයුරිය සහ යුඑන්පියේ මියගිය පිරිමි දේශපාලකයන්ගේ දූ වරුන්, සොයුරියන් ටිකක් වට කරගෙන කිසිදු හර්දයාංගම බවකින් තොර සුපර් ස්ටාර් පන්නයේ සංදර්ශනයක් පැවැත්වීමය.

සජිත් යුඑන්පී කාන්තා සම්මේලනයේදී කාන්තාවගේ ලිංගික අයිතිවාසිකම් ගැන කතා නොකළේය. 

ඔහු කාන්තාවට සිය සිරුරට ඇති අයිතිය පිළිබඳව කතා නොකළේය.

කාන්තාවගේ ප්‍රජනක අයිතිය වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව වචනයක්වත් කතා  නොකළේය.

පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා ගැන කතා නොකළේය. 

නැත.

සජිත් කිසිවක්ම කතා නොකළේය. 

එක වචනයක්වත් !

සජිත් ස්වප්‍රේමදාස 

සජිත් තරම් ස්ව-ප්‍රේමයෙන් මත වුනු අන් කිසිදු ශ්‍රී ලාංකික දේශපාලකයකු ඔබට හමු නොවනු ඇත. එය රාජපක්ෂවරුන්ගේද ස්ව-උත්කර්ෂය අභිභවා යන ස්ව-ප්‍රේමයකි. 

සජිත් සිය 19 වසරක පාර්ලිමේන්තු ජීවිතය තුල යමෙක් වෙනුවෙන් නැගී සිටියානම් ඒ තමා වෙනුවෙන්මය. අහස පොලව නොඋසුලන බොරු කියමින්, කිසිදා තමා ලබා නොගත් උපාධියක් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London School of Economics and Political Science (LSE)) ලබා ගත්  බව කියමින්, ඉන්ද නොනැවතී එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ගත බවටද බොරු කියන සජිත් සාමාන්‍යයෙන් ඔබට ලංකාවේ හමුවන දේශපාලකයෙකි. සමාජයේ කොන් වීම් රෑසකට මුහුණ දුන් ඔහුගේ දක්ෂ ජනාධිපති පියාට පින් සිදු වන්නට ඔහු පාර්ලිමේන්තුවේ සිටියද, ඔහු ගේ පියා රණසිංහ ප්‍රේමදාස නොවුනි නම් සජිත් රජයේ කාර්‍යාලයක සහයක තනතුරටවත් නුසුදුස්සෙකි. 

නමුත් ප්‍රවේණියට​ පින් සිදු වන්නට ඔහු පෝනි පදියි, පෑඩ් දෙන්නට පොරොන්දු වෙයි, ජනාධිපති අපේක්ෂකයකුද වෙයි. 

(දෙව් පියාණෙනි, ඔබ කෙතරම් ත්‍යාගවන්තද? ) 

සජිත් සිය 19 අවුරුදු දේශපාලන ජීවිතය තුල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වචනයක් කතා කර නැත.

ඔහු මරා දැමු එකදු ජනමාධ්‍යවේදියකු වෙනුවෙන් වචනයක් කතා කර නැත. 

ඔහු රාජපක්ෂ වෙඩි උණ්ඩයෙන් මහා දවාලේ මහමග ඝාතනය කළ එකදු පුරවැසියකු වෙනුවෙන් වචනයක් කතා කර නැත. 

ඔහු රාජපක්ෂවරුන්ගේ බරපත මුල්‍ය වංචා පිළිබඳව වචනයක් කතා කර නැත. 

ඔහු මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව වචනයක් කතා කර නැත. 

ඔහු එකදු දූෂිත දේශපාලකයකුට එරෙහිව එකදු වචනයක් කතා කර නැත.

සජිත් ගේ දේශපාලනය වනාහී මම, මගේ පියානෝ, මා ගැන, මට ඕනේ, මට දුන්නේ නැහැ, මට නායකයා වෙන්න ඕනේ, මම,මම, මම, මම, මම, ය. 

සජිත් මීට පෙර කිසිම දිනක කාන්තාව, කාන්තා ස්වස්ථාව, කාන්තාවගේ සෞඛ්‍යය, ගැන වචනයක් කතා කර නැත. 

සජිත් කර ඇත්තේ දකින දකින කෙනා දෙසට පිනට යමක් විසි කිරීමය. ඔහුට සාමාන්‍ය පුරවැසියාගේ සිට බෞද්ධ භික්ෂුව දක්වා යමෙක් දුටුවද පිනට යමක් දෙයි. ඔහු ප්‍රේමදාස වත්තේ වැවෙන යම් සල්ලි ගසකින් සල්ලි කඩා මිනිසුන්ට පන්සල් වලට සල්ලි බෙදයි. ඒ සල්ලි කොහෙන් ඒ දැයි කිසිවකු නොදනියි. ඔහුට ව්‍යවසායකයකු වීමට සුදුසුකමක් නැත. ඔහු මන්ත්‍රී  වැටුපද නොගනියි. 

අපූරුයි නේද?

අනුර සහ ලිංගිකත්ව දේශපාලනය 

මේ ජනාධිපතිවරණය තුල ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ කතිකාවතෙදී සැබෑවට දිදුලන්නේ එක් අපේක්ෂකයකි. අවිවාදයෙන්ම ඒ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකය. ජාතික ජන බලවේගය පිහිටුවීමත් පෙර සිටම දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ ස්ථාවරය වුයේද සමරිසි , සංක්‍රාන්ති ලිංගිකයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමය. ජවිපෙ මන්ත්‍රීවරයකු සහ වෛද්‍ය වෘත්තිකයකු ද වන නලින්ද ජයතිස්සගේ සමරිසි භීතික ප්‍රකාශ මධ්‍යයේ වුවද ජවිපෙහි සදාචාරාත්මක ස්ථාවරය රැඳී පැවතුනේය. 

සමරිසි භාවය නිර්-සාපරාධි කිරීම දක්වා දිවෙන සමාජ දේශපාලන පරිවර්තනය පිළිබඳව ස්ථාවරය සිට මංගල ජනාධිපතිවරණ රැලියේදීම නිර්භයව ප්‍රකාශයට පත් කලේ අනුර විසිනි. 

කාන්තාවන් දහසකින්වත් පිරුණු කාන්තා සම්මේලනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයකු විසින් කාන්තාවගේ ප්‍රජනක් අයිතීන් පිළිබඳව එයිතිහාසික ප්‍රකාශයක් සිදු කෙරුණි. “මනුෂ්‍යකු වශයෙන් මා හෝ අප කිසිවකු ගබ්සා කිරීමට කැමතියි මා සිතන්නේ නැහැ. නමුත් කාන්තාවකගේ සිරුර ගැන අයිතිය ඇත්තේ පුරුෂයකුට නොවෙයි. තමාගේ ශරීරය පිලිබඳ තීරණය ගත යුත්තේ ඒ කාන්තාවයි”. ඒ ප්‍රකාශය නිකුත් කලේ අනුරය. 

පොදු ප්‍රවාහනයේ දී කාන්තාවට සිදු වන ලිංගික අඩම්තෙට්ටම් පිලිබඳ කතා කරන්නේ අනුරය. 

කාන්තාවන්ට පොදු වැසිකිලි පහසුකම් නැති වීම ගැන කතා කරන්නේ ඔහුය. 

ඔසප් දරිද්‍රතාවය (period poverty) ගැන කතා කරන්නේ අනුරය. සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ විද්‍යාත්මක ක්‍රමවේදය ගැන ඔහු කතා කරයි. ඔහු ඔසප් දරිද්‍රතාවය නොමිලේ “පෑඩ් බෙදීමෙන්” විසඳෙන බව නොසිතයි. ඔහු ඔසප් දරිද්‍රතාවය දැනුමේ සහ සංස්කෘතික දරිද්‍රතාවයක් ලෙස දකියි. අනුර “සනීපාරක්ෂක තුවා ආශ්‍රිත පරිසර දූෂණය (pad pollution) පිළිබඳව කතා කරයි. ඔසප් දරිද්‍රතාවයේම කොටසක් වන ජල හිඟය සහ වැසිකිලි හිඟය ගැන කතා කරයි. මේ මැතිවරණයේදී අනුරගේ හදවත තුල ගැහැනියගේ කඳුල ලැගුම් ගෙන සිටියි.  

දේශපාලනයේ භාෂාව වෙනස් කළ අනුර 

සජිත් සනීපාරක්ෂක තුවාය දෙන්නට හදන්නේ කවුරුන් හෝ ඉගැන්වූ නිසාය. 

ඔහු එය කියන්නේ කුමක් හෝ නිකන් දෙන්නට ඔහු කැමති නිසාය. 

වසර 30ක් පැරණි ඔහුගේ පියාගේ දේශපාලන භාෂාව සජිත් කියවා ගෙන ඇත්තේ එපමණකට පමණි. 

සජිත් දන්නා දේශපාලනය එපමණය. 

මෙම ජනාධිපතිවරණයේ වාග්මාලාව, තුලට ධීමත් බව එන්නත් කලේ අනුරය. සමාජයේ තැලෙන්නන්, කොන් වුවන්, කෘරත්වයට ගොදුරු වන්නන්, අයිතිවාසිකම් උදුරා ගත්තවුන්, දුබලයන්, අමතක වුවන් පිළිබඳව මොලයෙන්, හදවතෙන් සහ අධ්‍යාත්මයෙන් දේශපාලන සංවාදය ඇරඹුයේ අනුරය. දරුවන්ට ශාරීරික හිංසනය කිරීමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කලේ අනුරය. හඬක් නැත්තවුන්ගේ යුක්තියේ හඬ වීමට ඔහුට හැකි විය. 

ලිංගිකත්වය, රමණය, ප්‍රජනනය වැනි මනුෂ්‍ය ජීවිතයට අතිශය කේන්ද්‍රීය වන, එනයින්ම අතිශය දේශපාලනික වන කතිකාවතට ජනාධිපතිවරණ වේදිකාව අනුර විසින් විවර නොකරන්නට මේ මැතිවරණයද පුරුෂමුලික කරුණු වටා කරකැවෙන එකක් වනු නොඅනුමානය. අනුරගෙන් අනුප්‍රාණය ලැබූ යුඑන්පිය ද කාන්තා සෞඛ්‍යය, ස්වස්ථාවය සහ අයිතීන් නමැති බස් රථයට ගොඩවිය (ඔබට මගේ ආචාරය, යුඑන්පී!). වමේ දේශපාලනය දෝතින් බදා ගත යුතුම වටිනාකම් රැසක් තමාගේ කර ගැනීමට අනුර සමත් විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ බලාපොරොත්තුව ඔහු අප තුල දැල්වූයේය. 

අනුරට පින් සිදු වන්න සජිත්ට සනීපාරක්ෂක තුවාය අයිති කරගත හැක. 

නමුත් ඒ පිලිබඳ කතිකාවතට පණ දුන් රුධිරය ගලා ආවේ අනුරගේ සහවේදනීය දේශපාලන ආධ්‍යාත්මයෙනි. 

මේ  වටයේදී සනීපාරක්ෂක තුවාය සජිත් ගේය.

නමුත් ලෙය අනුරගේය. 

*කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවූ , අරුන්දතී සංගක්කාර ලියූ Anura, Sex And Gender Politics ලිපියේ පරිවර්තනයකි. පරිවර්තනය අරුන්දතී සංගක්කාර විසිනි. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.