25 April, 2024

Blog

නැවතත් ඉපදෙන 1977 ඉතිහාසය

අනුරුද්ධ පෑබොටුව

අනුරුද්ධ පෑබොටුව

කාල් මාර්ක්ස් කී පරිදි ඉතිහාසය වරක් ඛේදාන්තයක් ලෙසත් දෙවැනි වර විකාරයක් ලෙසත් නැවත පැමිණිය හැක. අප පියනගමින් සිටින්නේ ඛේදාන්තයේ අවධියටද?

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් ඉදිරිපත් කරමින් සුළු පක්ෂ සඳහා අසුනක් ලබා ගැනීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය 5% (1/20) සිට 12.5% (1/8) දක්වා ඉහල දැමීමටත් විධායක ජනාධිපති ධූරයට 19වන සංශෝධනයෙන් ඇති කරනු ලැබූ සීමාවන් ඉවත් කිරීමටත් විජේදාස රාජපක්ෂගේ පුද්ගලික පනතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. මේ ඔස්සේ සුළු ජාතික සහ විකල්ප ධාරාවේ දේශපාලන මතවාදයන් සඳහා පාර්ලිමේන්තුව තුල ඇති හඬ නිහඬ කිරීමත්, ඔවුන්ගේ නියෝජනය අවසන් කිරීමත්, ඔවුන් මහා ධාරාවට යටත් කිරීමටත් සහ 19වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කරන ලද විධායකය සතු වූ අසීමිත බලතල නැවතත් ජනාධිපති වරයාට පවරා දී 1977දී බලයට පත් ජේ ආර් ජයවර්ධන වැනි “පිරිමියෙක් ගැහැණියක් කරන්නටත් ගැහැණියක් පිරිමියෙක් කරන්නටත් පමණක් නොහැකි” ජනාධිපති වරයෙකු නැවතත් ඇති කරන්නටත් ඇති අභිලාශය පැහැදිලිව පෙනේ.

1977 මහා මැතිවරණයෙන් පැවති සමගි පෙරමුණු රජයේ ආසන සංඛ්‍යාව 8 ට බස්සා ඊට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ද්‍රවිඪ එක්සත් පෙරමුණේ නායක ඒ අමිර්තලිංගම්ට විපක්ෂ නායක බවට පත් වෙන්නට ඉඩ සලසමින් “ධර්මිෂ්ට සමාජයක්” තේමාව කොට ගත ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටවුයේ ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ 5/6ක බහුතර බලයක් දිනා ගනිමිනි. එසේ බලයට පැමිණි ජේ ආර් “ධර්මිෂ්ට සමාජයක්” ගොඩනැගීම ඇරඹුවේ තම පක්ෂයේ ගහලයින්ට විපාක්ෂිකයින්ට සිත්සේ පහර දීමටත්, ඔවුන්ගේ දේපොළ ගිනි තබා විනාශ කිරීමට සහ කොල්ලකෑමටත් හැකි වන ලෙස පොලිසියට සතියක් නිවාඩු ලබා දෙමිනි. මෙලෙස කරන ලද විනාශයේ එක් නෂ්ටාවශේෂයක් ලෙස ගිණි තබනු ලැබූ උඩුගම්පොල පිහිටි වර්තමාන පොහොට්ටු කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ පියාණන් වූ අප හිතවත් රෙජි රණතුංගගේ නිවසේ වහල රහිත සැකිල්ලත්, මෝටර් රථයත්, ශිතකරණයත් සහිතව 80 දශකයේ මැද භාගය වන තෙක්ම දක්නට ලැබුණි.

එම බලයෙන් උමතුව ක්‍රියා කළ ජේ ආර් තම බලය තහවුරු කර ගත්තේ 1978 සැප්තැම්බර් 07 වෙනි දින සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ පාලනයට යටත් නොවන විධායක ජනාධිපති ධුරයක් ඇති කරමින් නොනිල ලෙස රාජාභිෂේක ලබමිනි. ඔහුගේ පාර්ලිමේන්තු බලය සහ බලෝන්මාදය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාපිස්නක් බවට පත් කලේ සම්මත කොට මාස දෙකක් ඇතුලත එයට පළමු සංශෝධනය ගෙන එමින් ද, එම 5/6ක බහුතර බලය පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තුවේ වාර කාලය තවත් වසර 6කින් දීර්ඝ කිරීමට 4වෙනි සංශෝධනය මගින් ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ලබාගැනීමෙන්ද සහ සිය පාලන කාලය 1988දී අවසාන කරන විට එය ක්‍රියාත්මක වූ වර්ෂ 10 තුළ ඊට සංශෝධන 16ක් හඳුන්වා දෙමිනි.

අයෝමය හස්තයකින් සිය පාලනය මෙහෙයවූ ජේ ආර් ජයවර්ධන හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම් සමග ජීවිකාව ගැටගසාගත්, බූමිතෙල් ගඳැති රෙදිවලින් මසාගත් ඇඳුම් ඇඳි, කුණු බක්කි වල ආහාර සොයන මිනිසුන්ගෙන් පිරි රටේ පදනමක් තිබුනත් ඔහුගේ පාලනයේ හරය වූයේ විරුද්ධ මතධාරීන් මර්ධනයයි. 1980දී පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් කුටප්‍රාප්තියට පත් මෙම මර්ධන සහ පළිගැනීමේ දේශපාලනය ජාතිකවාදී තලයෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දෙමළ ජාතියට පහර දීම මගින් ක්‍රියාත්මක කරනු ලැබුවේ කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී කළුවාදේවගේ සිරිල් මැතිව් විසිනි. ප්‍රාදේශීය වශයෙන් මෙම මැර බලය රට පුරා පැතිරවීමට තග් හමුදාවක් දිස්ත්‍රික් සංවර්ධන අමාත්‍ය නමින් පත්කළ ඇමති වරුන් යටතේ ඇති කරන ලදී. ජේ ආර්ගේ දුර්දාන්ත පාලනයට එරෙහි පළමු සංවිධිත විරෝධය වූ 1980 මහා වැඩ වර්ජනය සමතලා කොට දැමුවේ රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින් 40,356කගේ රැකියා අහිමි කරමින් ඔවුන්ගේ අඹුදරුවන් සිඟමනට පත්කරමිනි. අනතුරුව 1981දී පැවැත්වූ සංවර්ධන සභා මැතිවරණය කෙසේහෝ ජය ගැනීම සඳහා දකුණෙන් මැරයින් උතුරට යවා සිදුකල ක්‍රියාවලියේ උච්චස්ථානයක් ලෙස යාපනයේ හදවත බඳු වූ යාපනය පුස්තකාලය ගිණිතබා විනාශ කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාපිස්නක් කරගෙන කුමන්ත්‍රණකාරී ලෙස සිය 5/6 බලය තවත් සය වසකට 1982 දී බලහත්කාරයෙන් දීර්ඝ කර ගැනීමෙන් පසුව ඊට විරුද්ධව කොල්වින් ආර් ද සිල්වා සහ ප්‍රින්ස් ගුණසේකර නීතිවේදීන්ගේ සහායෙන් අධිකරණය ඉදිරියට ගිය ජ වි පෙ නායක රෝහණ විජේවීර ඉදිරිපත් කළ පෙත්සම පිලිබඳ රජයට අවාසිදායක තීන්දුවක් ලැබීමට නියමිතව තිබුණි. මේ වනවිට එවකට උතුරේ දෙමළ ජාතියට විරුද්ධව දකුණේ ගොඩනැගු ජනමතයේත් සහ දකුණේ දේශපාලන ආර්ථිකයට සාපේක්ෂව උතුරේ ඇතිවූ ප්‍රතිචාරයේත් ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර එකක් වූ LTTE සංවිධානය විසින් හමුදා නිලධාරීන් 13දෙනෙක් ජයවර්ධන රජය බලයට පත්ව 6 වසක් සපිරූ දිනට පසු දින ඝාතනය කරන ලද්දේ දශක තුනක් තිස්සේ ඇදී යන මහත් විනාශයකට මග පාදමිනි. මෙම ඝාතනයට දකුණේ ප්‍රතිචාරයේ ලෝක ප්‍රසිද්ධිය “Black July” යන්න Google හි සෙවීමෙන් 80 දශකයෙන් පසුව ඉපදුනු පරපුරට සොයා ගතහැකි වනු ඇත. රජයේ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ මේ සාහසික සංහාරය මැඩලීමට බලය පොලිසියට හා හමුදාවට දින ගණනක් යනතුරු නොපැවරූ අතර මෙලෙස රට පුරා ක්‍රියාත්මක වූ දෙමළ ඝාතන සහ “ජාත්‍යාලය” ලෙස එකල හැඳින්වූ දෙමළ දේපොළ කොල්ලකෑමේ ව්‍යාපෘතිය අවසන් වූයේ සිංහලයින් අතිශය ම්ලේච්ඡ ජාතියක් ලෙසට ලොවට හඳුන්වා දෙමින් සහ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ලංකාව හුදෙකලා කරමිනි.

ජනමතවිචාරණය පිලිබඳ මැතිවරණ පෙත්සමෙන් රජයට පරාජය අත්වෙන බව පෙනෙද්දී බොරු නැක්සලයිට් කුමන්ත්‍රණයක් පිලිබඳ බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරමින් ජයවර්ධන රජය විසින් ජනතා විමුක්ති පෙරමුණත්, නවසම සමාජ පක්ෂයත්, ශ්‍රී ලංකා මහජන පක්ෂයත් තහනම් කොට පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට පත් කරද්දී (වාසුදේව නානායක්කාර, විජය කුමාරණතුංග, රත්නසිරි වික්‍රමනායක, ෆීලික්ස් පෙරේරා ඇතුළුව) ජ වී පෙ පමණක් එතෙක් නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදී දහරාවෙන් නික්මී අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට නැවතත් යටිබිම්ගත දේශපාලනයට තල්ලු වූයේ ජේ ආර්ගේ ඉලක්කය විජේවීර ඇතුළු ජ වි පෙ නායකයින් බව ඔවුන් දැනසිටි හෙයිනි. කෙසේ වෙතත් ජේ ආර්ගේ මූලික අපේක්ෂාවක් මේ ඔස්සේ ඉටු කර ගැනීමට හැකි වූයේ පැමිණිලිකරු නොවීමෙන් මැතිවරණ පෙත්සම ඉවත දැමීමෙනි. අත්අඩංගුවට ගත් අනෙකුත් පක්ෂ නායකයින් පසුව චෝදනා විරහිතව නිදහස් කරන ලදී.

අනතුරුව, තමන් විසින්ම නිර්මාණය කරන ලද “කළු ජුලිය” දඩමීමා කරගෙන තමන්ට පාර්ලිමේන්තුව තුල හිසරදයක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්තිවරුන් ඉවත් කිරීම ඉලක්ක කරගෙන 1983 අගෝස්තු මාසයේ සම්මත කළ 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නියම කරන ලද “භෞමික අඛණ්ඩතාවය” පිලිබඳ දිවුරුම ලබා නොදීමෙන් අපේක්ෂා කල පරිදිම එම මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රීධුර අහෝසිවී පාර්ලිමේන්තුව තුළ උතුරේ දෙමළ නියෝජනයත් අවසන් වීමෙන් එ ජා ප පමණක් වූ සිංහල පාර්ලිමේන්තුවක් බිහි විය. එක් වියරු මිනිසෙකුගේ බල තණ්හාව හේතුවෙන් සුළු ජාතික කණ්ඩායම් සහ විකල්ප දේශපාලන මතවාදයන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ඉවත් කිරීමෙන් පසු රට මුහුණදුන් උතුරේ සහ දකුණේ තරුණ අරගල සහ ඒ මගින් රටට සහ ජනතාවට අත්කරදුන් ඛේදනීය ඉරණම පිලිබඳ ඉතිහාසය බොහෝ දෙනෙකුට අමතකව ඇති ආකාරය අද දවසේ නැවතත් හිස ඔසවන ඊට සර්වසමාන ක්‍රියාවන්ගෙන් සහ මතවාදයන්ගෙන් පැහැදිලිව පෙනේ.

එදා ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ එ ජා පය විසින් කරන ලද අපරාධ වෙනුවෙන් දේශපාලන වශයෙන් වන්දි ගෙවනු ලැබුයේ රනිල් වික්‍රමසිංහ රජය විසිනි. ජේ ආර් ගේ පාලනයට හාත්පසින්ම වෙනස් අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යමින් එකල ඇතිකළ විනාශකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ආපසු හැරවීමට මෛත්‍රිපාල සිරිසේන සමග සාධනීය ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබූයේ සෑම පුරවැසියෙකුටම තම අභිමානයෙන් ජිවත් වන්නට සුදුසු පරිසරයක් ඉතාමත් අභියෝගාත්මක පරිසරයක සිට ඇති කරන්නට ක්‍රියා කරමිනි. ඩඩ්ලි සේනානායක රජයෙන් පසුව ලංකාවේ බිහිවූ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රජය ලෙස යහපාලන රජය අකාර්යක්ෂමතාවය මුල්කරගෙන ඊට එල්ලවූ ඉමහත් චෝදනා මධ්‍යයේ වුවද සටහන්කොට තැබිය යුතු ය.

නමුත් පිරිසිදු සිංහල බෞද්ධ දේශප්‍රේමී පාලනයක්ඇති කිරීම වෙනුවෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් නැවතත් ජේ ආර්ගේවිනාශකාරී මාවත තෝරා ගනිමින් සිටින බව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබේ. 1989දී දකුණේ තරුණ නැගිටීම ලෙයින් මර්ධනය කිරීමෙන් අනතුරුව ජනාධිපති ප්‍රේමදාස මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස්ගේ සභාපතිත්වයෙන් පත්කළ තරුණ අසහන ජනාධිපති කොමිසමේ නිර්දේශ මත මැතිවරණ නිතිය සංශෝධනය කරමින් තරුණයින් සහ කුඩා පක්ෂ සඳහාපාර්ලිමේන්තුවේ ඉඩක් ලබාදීම වෙනුවෙන් අසුනක් සඳහා ලබා ගතයුතු අවම චන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කරන ලදී. එම සංශෝධනය එම මහාචාර්ය ජී එල් පීරිස්ම සභාපතිත්වය දරන පොහොට්ටු පක්ෂයේ රජයකින් ආපසු හැරවුවහොත් එය දෛවෝපගත සිදුවීමක් වනු නියත ය. අනෙක් අතට එදා ජේ ආර්ගේ එ ජා පය නියෝජනය කළ ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ මැර නායකයින් සහ මැර කණ්ඩායම් වලට සමාන කණ්ඩායම් පොහොට්ටු පක්ෂයේ ආරක්ෂකයින් බවට පත්ව සිටී.

එසේම”ශ්‍රී ලංකා මාතා” යන පදවැලම තමන්ට තේරෙන බසින්, තමනුත් ලක් මාතාවගේ සාඩම්බර දරුවන් බවටත් දැනෙන ලෙස ගයන්නට තිබූ අවස්ථාව දෙමළ ජනතාවට අහිමි කිරීමට තීරණය කිරීමේ සිට, කැබිනට්මණ්ඩලයට මුස්ලිම් ජාතිකයින් ඇතුලත් කර නොගැනීම සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසංශෝධන දෙක මගින් ජේ ආර් කළ පරිදිම සුළු ජාතික සහ විකල්ප මත නියෝජනයට ඇති අවස්ථාඅවුරා ජේ ආර් සතුවූ අසීමිත බලතල නැවතත් පවරා ගැනීමෙන් නොනැවතී දැනට සිදුකරගෙන යනචිරස්ථායි නොවන බදු අඩුකිරීම්ද ඇතුළුව රාජ්‍ය ආයතන වලට කඩා පැනීම, රජයේ ආයතන වලින් චායාරුප ඉවත් කිරීම, වීදිඅලංකරණය වැනි ජනප්‍රිය ක්‍රියාමාර්ග ඔස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3ක බලයක්ලබා ගැනීමට විපක්ෂය නිද්‍රාගතව සිටිද්දී උපරිම මට්ටමින් කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිළිව දැකිය හැක.

ගෝලීය මෙන්ම දේශීය ආර්ථිකයේ මන්දගාමී වර්ධනයත්, දේශීය ආර්ථිකයේ වර්ධනයට ස්ථිරසාර වැඩපිළිවෙලක් නොමැතිව තිබියදී ඉතිහාසයේ විශාලම ණය වාරික ප්‍රමාණය ඉදිරි වසර 5 තුළ ගෙවන්නට සිදුව ඇති පරිසරයක ඒ වෙනුවෙන් ගත යුතු දැඩි තීරණ ගැනීමටත්, ඊට එරෙහිව ඇතිවන විරෝධතා නිර්දය ලෙස මර්ධනය කිරීමටත් අවශ්‍ය විධායක බලය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය ඔස්සේ ලැබීමෙන්  මුලින් සඳහන් කල දුෂ්ට චක්‍රයම නැවතත් ක්‍රියාත්මකවීමේ හෙවත් ඉතිහාසය නැවතත් ඛේදාන්තයක් ලෙස ක්‍රියාත්මක වීමේ අවස්ථාවට රට මුහුණ දෙන අන්දම පිලිබඳ අනාගතය විසින් සාක්ෂ්‍ය දරනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    දිවයිනේ මෙම අතිශය තීරණාත්මක තත්වය තුළ රට විසින් ගෙවිය යුතු විශාල ණය ප්‍රමාණයකට මුහුණ දීමට නොහැකි වීම සහ ලබන වසරේදී ආධාර කළ හැක්කේ රට වෙත පියාසර කරනු ලබන අරමුදල්වලින් පමණි. නමුත් වර්තමාන එක් වරක් කොල්ලකරුවන්ට නැවත බලය ලබා දීම, එය හිසේ කැක්කුම සමනය කිරීම හා සමානයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පිම්මට පෙර සිතා බැලිය හැක්කේ ඔවුන් මහජනයාට සැබවින්ම ආදරය කරන්නේ නම් සහ මේ රටට වඩා හොඳ අනාගතයක් දැකීමට අවශ්‍ය නම්. මම හිතන්නේ ගෝටා විසින් දේශපාලනයේ බිම් මට්ටමේ මට්ටම පිළිබඳව නිසි දැනුමක් නොමැති තත්වය විනාශ කරනු ඇත. මහින්ද රාජපක්ෂේට පටහැනිව, ගෝටා හිටපු රාජ්‍ය අංශයේ සේවකයෙකු ලෙස දූෂිත නොවිය හැකි නමුත් දූෂිත රුධිරය විවිධ අනුපාතවලින් වුවද බෙදා ගනී. බටහිර රටවල ජීවත් වන මම, අපේ මාතෘ භූමිය ගැන බොහෝ අශුභවාදීව සිටිමි.

  • 1
    0

    ජේ.වී.පී. සහ අනෙකුත් බලවේග රාජපක්ෂේ කොල්ල කෑ බව කියමින් ඉදිරියට ගිය නමුත් කිසිදු චෝදනාවක් තවම ඔප්පු වී නැත. අත්දැකීම් වලින් අපි එය දනිමු, දුමාරයක් නොමැතිව ගින්නක් නැත. කෙසේ වෙතත්, ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පැවැත්වූ පොහොට්ටා විශාල ප්‍රමාණයෙන් අරමුදල් සැපයිය යුතුය. මහින්ද රාජකෂේ කිසි විටෙකත් ඔහුගේ උපක්‍රම පිළිබඳ කිසිදු සත්‍යයක් හෙළි කර නැත. ඔහු ඒවා ජාතිය සමඟ බෙදා ගැනීම වෙනුවට සෑම විටම ජාතිය නොමඟ යවා තිබේ. ඔහු ඒ වෙනුවට සමාජයේ ඔවුන්ට ලබා දී ඇති ස්ථානය දැනගෙන බෞද්ධ පැහැදිලි භාවය අපයෝජනය කරයි. මෑත කාලීන ව්‍යාපාර සඳහා ඔවුන්ට විශාල අරමුදල් ලැබුණේ කොහෙන්ද? එම්.ආර්.ගේ දෙවන ධූර කාලය තුළ සොරකම් කළ අරමුදල් වලින් නොවේ නම්. ජර්මනියේ මෙන්ම වෙනත් මනසක් ඇති රටවල මෙන් ඕනෑම දේශපාලන ician යෙකු වියදම් කරන මුදල් ගණනය කළ හැකි පරිදි නව නීති ගෙන ආ යුතුය. මීට වසර කිහිපයකට පෙර ජර්මානු ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය සඳහා උපයා ගත් අරමුදල්වලින් සුළු කොටසක් සඟවා ඇති බව කියැවේ. සති දෙකකින් ඔහු ඉල්ලා අස් වූ අතර ජර්මානු රජය ඊළඟට පත් කළේය. අපේ දෙවියන්ට ද ished ුවම් කළ රට තුළ එවැනි ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද? අරමුදල් සම්පාදනය නීතිය ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පද්ධති වෙත නැවත පැමිණෙන්නේ මිනිසුන්ට පමණි. ඔවුන්ගේ නායකයන් නීතිවලට අනුකූලව හැසිරෙන බව ඔවුන් දුටුවහොත්, මිනිසුන් ස්වයංක්‍රීයව ඒවා අනුගමනය කරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.