Colombo Telegraph

ව්‍යාජ විරුවෝ සහ සැබෑ විරුවෝ

අනුෂ්කා කහඳගමගේ

අනුෂ්කා කහඳගමගේ

විරුවෝ යන සංකල්පය මෑතකාලීන ශ්‍රී ලාංකේය ජනවිඥානයේ නිධන්ගතව ඇත්තේ ‘යුධවිරුවා/ රණවිරුවා’ යන අරුතිනි. ‘රට දැය රුදුරු ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම’ හේතුවෙන් රණවිරුවා දේවත්වයෙහි ලා සැළකෙන අතර ‘ජාතියේ මුර දේවතාවුන්’ ලෙස ඔවුන්ව හඳුන්වා දීමෙන් එය මනාව පැහැදිළිවෙයි. ‘විරුවා’ පිළිබඳ මෙම ආඛ්‍යාන, ශ්‍රී ලංකා දේශපාලනයේ ‘බලය’ සම්බන්ධ තීරක සාධකයක් බවට පත්ව ඇත. පෙරදී ‘රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම’ වැදගත් දේශපාලන කාර්ය වූ අතර, මේ වන විට එය ‘රණ විරුවන් ආරක්ෂා කිරීම’ දක්වා වෙනස් වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, වැනි මතවාදීමය තත්ත්ව තුළ තරඟ බිමට පිවිසෙනවාට වඩා, ජාතිය සහ ආගම වැනි සරල සහ පහසු බෙදීම් පදනම් කරගත් අනන්‍යතාවක් පදනම් කරගෙන තරඟ කරන දේශපාලන පක්ෂ හේතුවෙන්, පරිකල්පනය ශුන්‍ය වී ගිය ජන කොටස් නිර්මාණයකර නඩත්තු කිරීම සිදුවන අතර ඕනෑම සංකීර්ණ තත්වයක්, සුදු කළු ලෙස වර්ග කිරීමට හැකි වී ඇත. මෙවැනි සරල වර්ග කිරීමක් තුළ තම පැවැත්ම පහසු යැයි (වැඩිය සිතීමට දෙයක් නොමැති නිසා) ජනතාවට හැඟී ගියත්, එය තවදුරටත් පහසු යමක් නොවන්නේ, එම තත්ත්ව පහසුවෙන් ගැටුම් සහ යුද්ධ දක්වා වර්ධනය විය හැකි බැවිනි. අවාසනාවන්ත තත්ත්වය වන්නේ, අවුරුදු තිහක යුද්ධය, දහස් ගණනක් තරුණ තරුණයින් අතුරුදහන් වූ සහ මිය ගිය තරුණ කැරළි, සහ තවත් නේක ප්‍රචණ්ඩකාරී ගැටුම් පුපුරා යාමෙන් පසුවත්, රටේ ජනයා එවැනි තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධව අවිඥානික වීමයි. එමෙන්ම තත්ත්වය තවත් ඛේදනීය කරන්නේ එම අවිඥානික භාවය හෝ අන්ධ භාවය දඩමීමා කරගත් දේශපාලකයින් පිරිසක් බිහිව සිටීමියි.

යාපනයේ මිරිසුවිල් හි දී වසර 2000 දී සිදුව ඇති සමූහ මිනිස් ඝාතනයකට වරදකරු වූ යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බලකායේ සෙබලකු

ඉහත කරුණු එසේ තිබියදී නැවත මාතෘකාවට පිවිසෙමි. වත්මන් රජය රණවිරුවන් පාවා දීමට උත්සහ කරන බව විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශ කරමින් සිටී. මෙම කියවීම, වත්මන් රජය පාරිශුද්ධ කිරීමේ ප්‍රයත්නයක් නොවන අතර දැනටමත් පෙනෙන්නට තිබෙන සරල කරුණක් උලුප්පා පෙන්වා දීමට පමණි. වත්මන් ලාංකේය සමාජය තුළ ‘සැබෑ රණවිරුවා’ යනු කවුරුන්ද යන්න ප්‍රශ්න කෙරෙන්නේ නැත. නිල ඇඳුමක් දරන්නේ නම්, හේ නිරායාසයෙන්ම රණවිරුවෙකු වන්නේය. නමුත් සොයා බැලිය යුතු කරුණ වන්නේ නිල ඇඳුමක් දැරූ පමණින් කිසිවකුත් සැබෑ රණවිරුවෙකු වන්නේද යන්නයි. සොරෙක්, මංකොල්ලකරුවෙක්, ස්ත්‍රීන් ලිංගික අපරධයන්ට ගොදුරුකරන්නෙක්, නිල ඇඳුමක් දැරූ පමණින් රණ විරුවකු වන්නේ නම් ඕනෑම මිනී මැරමකට, ලිංගික අපරධයකට හෝ මංකොල්ලකෑමකට හසුව සිටින අපරාධකාරයෙකුට නිල ඇඳුමක් අන්දවා ඔහුව විරුවකු කළ හැකිය. තේරුම් ගත යුතු කරුණ වන්නේ, නිල ඇඳුමක් දැරූ පමණින් කිසිවෙකු ‘විරුවෙකු’ නොවන බවයි. සිවුරක් අඳි පමණින් පුද්ගලයෙකුට භික්ෂුවක් විය නොහැක්කා සේම නිල ඇඳුමක් ඇඳි පමණින් යමෙකුට ‘විරුවෙකු’ විය නොහැකිය. අපරාධකරුවෙකු විරුවෙකු නොවන්නේය. නිල ඇඳුම ඇඳි පමණින් ඕනෑම අපරාධකරුවෙකු ‘විරු’ ලේබලය අලවා සියලු වැරදි වලින් නිදහස් කරන්නේ නම්, අනාගත පරපුරට රටක් වශයෙන් අප ලබා දෙන ආදර්ශය කුමක්ද? ඔබ සමාජයේ පිළිගත් තත්ත්වයක් දරන්නේ නම් ඔබට අපරාධ කළ හැකි බවද?

අනෙක් අතට, අපරාධකරුවන් නොවන රණවිරුවන්ට රටක් වශයෙන් අප ලබා දෙන ගරුත්වය කුමක්ද? ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සිටි බහුතරය අපරාධකරුවන් නොවෙයි. නිල ඇඳුම දරා සැබෑ විරුවන් ලෙස කටයුතු කළ අයත්, නිල ඇඳුම දැරූ අපරාධකරුවනුත් එකම ලේබලය අලවා වන්දනා මාන කිරීම සැබෑ රණවිරුවන්ට කරන අපහාසයකි. මෙම දෙපිරිස අතර පවතින එකම සමානාත්මතාව නිල ඇඳුම පමණි. මෙම දෙපිරිස අතර පවතින බෙදීම, තේරුම් ගැනීමට අපහසු බෙදීමක් නොවෙයි. එය වටහා ගතහැකි බෙදීමකි. නමුත්, පටු වාසි අපේක්ෂාවෙන් සිටින දේශපාලකයින් අපරාධකරුවන් සහ සැබෑ විරුවන් එකම තරාදියක දමා පෙන්වන අතර ජනතාවද එය පිළිගෙන ඇති බව හැඟී යයි.

අපරාධය කවුරුන් කළත් එම පුද්ගලයා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය. වරදකරු දෙවියන් වහන්සේ වුවත්. ‘දේව’ ලේබලයට මුවා වී ඕනෑම වරදක් කරයි නම්, දේවත්වය තවදුරත් වලංගුද යන්න ප්‍රශ්නකාරීය. යමෙකු එවැනි අපරාධකරුවෙකු රකින්නට උත්සහ කරයි නම්, හේ අපරාධයට අනුබල දුන්නා හා සමානය.

Back to Home page