25 April, 2024

Blog

දමිළ කාන්තාව පශ්චාත් යුධ සන්දර්භය තුල ආස්ථානගත කිරීමේ දේශපාලනය

අනුෂ්කා කහඳගම

අනුෂ්කා කහඳගම

අනුෂ්කා කහඳගම

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික අධ්‍යයනික කව තුල මෙන්ම තවත් බොහෝ අවකාශ තුළ වැදගත්කමක් අත්කරගත් මාතෘකාවකි. ස්ත්‍රී වාදීන්ගේ සහ සිවිල් සමාජයේ මහත් ශ්‍රමයක ප්‍රතිපලයක් ලෙස සමාජයක් වශයෙන්, කාන්තාවන් වෙනුවෙන් අප බොහෝ දේ අත්කරගෙන ඇත්තෙමු. කෙසේවෙතත්, ශ්‍රී ලාංකේය පශ්චාත් යුධ තත්ත්වය තුළ කාන්තාව ආස්ථානගතවීම සහ ආස්ථානගතකිරීමේ දේශපාලනය අහිංසක අවකාශයක් නොවන්නේමය.

යුධමය සහ පස්චාත් යුධමය තත්ත්වය තුළ කාන්තාව ආස්ථානගතකරන සංවාද මණ්ඩප බොහෝමයක් තම අවධානය යුධ වැන්දඹුව කෙරෙහි රඳවා ගෙන ඇත. යුද්ධය තුළ කාන්තාවගේ පීඩාව දැඩි වන්නේ සතුරු හමුදාවන්ගේ ලිංගික අතවරවල ගොදුරක් බවට කාන්තාව පත් වීම සහ තමාට සම්බන්ධ පුරුෂයින් යුද්ධයේ ගොදුරක් බවට පත් වීම හේතුවෙනි. ජාතික රාජ්‍ය ආකෘතිගත වන්නේ ජීව-දේශපාලනිකවය, අනෙක් අතින් පුරුෂාධිපත්‍යමයවය. එනම් සරලව කිවහොත් බහුතර ජනවාර්ගික, ආගමික හෝ ජනවාර්ගික-ආගමික සමුහයට ජාතික රාජ්‍යයේ බලය හිමි වන්නේය. උපතින් ලැබෙන මෙම ලේබලය තීරණය වන්නේ පුරුෂයා මුලික කරගෙනය.

එනයින්, ජීව- දේශපාලනිකව, ප්‍රජාවිද්‍යාත්මකව සහ පුරුෂාධිපත්‍යමය ලෙස ආකෘතිගතවන ජාතික රාජ්‍ය සංකල්පය තුළ, තමන්ගේ ගොඩ වැඩි කිරීමේ චේතනාව සහ යුද්ධය විසින් සීමා කරනු ලැබූ ලිංගික ආශයන්ගෙන් එළවනු ලබන මනසක් සහිත සටන්කරුවාගේ ගොදුරක් බවට ‘සතුරා’ට ‘හිමිකම්’ දක්වන කාන්තාව පත් වෙයි. අනෙක් අතට, වීරත්වය විසින් සරසනු ලදුව ආර්ථික අපහසුතා සහ විරැකියාව විසින් යුද්ධය වෙත තල්ලු කරනු ලබන පිරිමි වීරයන් මිය ගිය විට ඉතිරිවන වැන්දඹුවන්, මව්වරුන් සහ සොහොයුරියන්ගේ තත්ත්වය ඛේදවාචක බවට පත්වෙයි.

srilanka_war_widowsමෙම කරුණු සියල්ල තුළ ගොනුවන ශ්‍රී ලංකේය ඉතිහාස මතකය අධ්‍යයනය කිරීම, ලේඛනගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන්නා සේම එම මතකය සුවපත් කිරීම සමාජ වගකීමකි. සිවිල් සංවිධාන, කාන්තා සංවිධාන, පර්යේෂණ ආයතන සහ තවත් විවිධ සමාජ සත්කාරක ආයතන මෙම කාර්යයේ මහත් ක්‍රියාකාරී ලෙස නියුතුව සිටින බව පැහැදිළිය. නමුත් සළකා බැලිය යුතු කරුණ වන්නේ, බොහෝ සංවිධාන විසින් තම අසධානය යොමුකරන කාරණා නීරස හෝ ඒකාකාරී ස්වරුපයක් ගැනීමයි. මෙම විද්වත් කතිකාව තුළ බොහෝ අවස්ථාවලදී පශ්චාත් යුධ ශ්‍රී ලාංකේය කාන්තාව ‘යුධ වැන්දඹුව’ ලෙස ආකෘතිගතකර ඇත. රාජ්‍යයට අයත් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට අයත් හෝ වේවා, යුධ බිමේ සටන්කළ ගැහැණිය, මෙම ජනප්‍රිය අවකාශ තුළ අදෘශ්‍යමානය. පශ්චාත් යුධ තත්ත්වය තුල ඔවුන්ගේ පැවැත්ම, විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව සිට නැවත සමාජගතවන ගැහැණිය මුහුණ දෙන්නාවූ ගැටළු සහ අපහසුතා සියල්ල මගහැරී ගොස් ඇත.

එමෙන්ම, නැවත විවා පත් වීම හේතුවෙන්, මිය ගිය සොල්දාදුවාගේ නමින් තමන්ට ලැබෙන මාසික වේතනය අහිමි වන බැවින් ඇතිවන අස්ථිරතාවට මුහුණ දිය නොහැකිව, තම ජිවිත කාලය පුරාම වැන්දඹුවක් ලෙස ගත කරන්නට සිදු වීම තුල, මිය ගිය සොල්දාදුවන්ගේ බිරින්දෑවරුනට මුහුණ පෑමට සිදුවන ලිංගික අඩත්තේට්ටම් කෙළවරක් නැත. එමෙන්ම ඔවුන් මුහුණ පාන සමාජ මෙන්ම මනෝවිද්‍යාත්මක ගැටළු පිළිබඳ ප්‍රමාණවත් කතිකාවක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට නැත.

මෙම කාන්තාවන්ගේ ගැටළු සඳහා සරල පිළිතුර වන්නේ වන්දියක් ලබා දිමා සහ මාසික වේතනය ලබා දීමයි. මෙම කතිකාව තුල කාන්තාව, සිතුවිලි සහිත, ක්‍රියාකාරී, ආශාවන් සහිත ජීවියෙකුගේ සිට වන්දියක් සහ වේතනයක් මගින් ගනුදෙනුවක යෙදිය හැකි භාණ්ඩයක් බවට ලඝුකර ඇත. සිංහල වීරයා තරම් ‘සිංහල යුධ වැන්දඹුව’ කතිකාවට මාතෘකාවක් නොවන්නේය. අනෙක් අතින් ‘යුධ වැන්දඹුව’ ද්‍රවිඩය. තවත් ආකාරයකට පශ්චාත් යුධ ද්‍රවිඩ කාන්තාව ‘වැන්දඹුවකි’. මේ සියලු කතිකා අවසානයේ කේන්ද්‍ර වන්නේ ‘පුරුෂයා’ වටාය. සිංහල වීරයා අනවශ්‍ය තරම් ශ්‍රී ලංකේය සමාජයේ දෘශ්‍ය වී සිටි අතර, අදටත් එම ජනප්‍රියතාව ඒ අයුරින්ම හෝ මදක් අඩුවෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ දක්නා ලැබෙන්නේය. යුද්ධයෙන් පරාජිතකර නිර්පුරුෂ කරන ලද ද්‍රවිඩ සමාජයේ ‘යුධ වැන්දඹුව’ දෘශ්‍ය කිරීම තුළ, යුද්ධය විසින් සිංහලයා මත හෙලනු ලැබූ ‘වීරත්වය’ එලෙසින්ම පවත්වා ගැනීමේ මානසික කාර්යයට යම් රුකුළක් ලැබෙන්නේදැයි සංකා ඇති වෙයි. මක්නිසාදයත් මෙය අවිඥානික කාරණාවක් විය හැකි බැවිනි. මෙහිදී තවත් කරුණක් මතක් කරනු කැමැත්තෙමි. ‘ද්‍රවිඩ කාන්තාව’ වෙනුවෙන් මාගේ මතවාදය පෙනී නොසිටින බව මේ ලිපියෙන් කිසි විටකත් කියන්නට උත්සහ නොකළෙමි. එහෙත් ඇය ‘වින්දිතයෙකු’ ලෙස පමණක් දෘශ්‍ය කිරීම අසාධාරණය. ඇය පුරුෂයාගෙන් තොරව ‘කිසිවක් නොවන්නේය’, ‘අවලංගුය’, ‘අවධානමක පසුවන්නිය’ සහ ‘වැන්දඹුවක්ය’ යන්නට ලඝු කිරීම ‘ඇය’ නොවන්නේමය. එය ඇය මත හෙලනු ලැබූ බාහිර සෙවනැල්ලක් පමණකි. මෙම ලිපිය, ‘කාන්තාව’ පිළිබඳ වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින කතිකාවේ දේශපාලනය යම් තාක් දුරකට විග්‍රහ කිරීමේ ප්‍රයත්නයක් පමණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.