26 April, 2024

Blog

දෙයියන්ගෙ රටෙත් සොරකම් කරපු එකාට පොල් සොරකම් කරන එක ලොකු දෙයක් නොවෙයි

රනිල් වික්‍රමසිංහ

අප ජාතික දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වූවා. නිදහස් දින ජාතික උත්සවයක් එදින සවස පැවැත්වූ සංදර්ශනයත් නව යුගයක සංකේතයක් බවට පත් වුණා. අප ඉදිරියට ගෙන යන්නේ එම අලූත් යුගයේ සංකේතයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික දින කතාවෙන්ද එම කරුණ හොඳින්ම පැහැදිලි වුණා. සංස්කෘතික දරුවන් ගැනත් තාක්‍ෂණික දරුවන් ගැනත් ජනාධිපතිතුමා සිය කතාවේදී පැවැසුවා. අප ජාතික ආණ්ඩුව බිහි කර තිබෙන්නේ තාක්‍ෂණික දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමටයි.

ජාතික ආණ්ඩුවේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත් ඉපදුණේ නිදහස් ශ්‍රී ලංකාවකයි. මීට පෙර සිටි ජනාධිපතිවරුන් අගමැතිවරුන් සියලූම දෙනා බිහිවුයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදීයි. අපට යටත් විජිත යුගය අත්දැකීමට ලැබුණේ නැහැ. අප ඉපදෙන විට නිදහස් රටක් බිහිවී තිබුණා. ජනාධිපතිතුමාත් මමත් ඉගෙනුම ලබා ගත්තේ නිදහස් ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන්. අප දෙදෙනාම රජයේ පාසල්වලට ගියා. අප සිංහල භාෂාවෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ගත්තා. එම පසුබිම යටතේ හැඳුණු වැඩුණු අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීමටයි. අපේ රට ඉදිරියට ගෙන යාමටයි. Ranil @ Kuliyapitiya

නිදහසෙන් පසුව බිහිවූ ඝංස්කෘතික දරුවාගෙන් පසු යුගය වන තාක්‍ෂණික දරුවාගේ අනාගතය හැදීම අපගේ අරමුණයි. මෙරට විප්ලව තුනක් තිබුණා. අපගේ ජාතික ආණ්ඩුවෙන් එම විප්ලව තුනම නියෝජනය වනවා.

ඩී.එස්. සේනානායක මහතා මෙරටට නිදහස ලබාදීම එක් විප්ලවයක්. දෙවැනිව බණ්ඩාරනායක මහතා සමාජ විප්ලවයක් ඇති කළා. තුන්වැන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙන ආ නවීකරණ විප්ලවයයි. මෙම විප්ලව තුන නිසා අපේ රට ඉදිරියට ගියා.

එක් විප්ලපයකින් අපට නිදහස ලැබුණා. තවත් විප්ලවයකින් සංස්කෘතික දරුවන් බිහි වුණා. තුන්වැනි විප්ලවයෙන් තාක්‍ෂණික දරුවන්ගේ බිහිවීම සඳහා මඟ පෑදුණා. ඒ යුගයේදී මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආඩම්බර විය හැකි වැඩ කොටසක් කිරීමට අපට අවස්ථාව ලැබුණා. පාසල්වල රූපවාහිනිය, තාක්‍ෂණ අධ්‍යාපනය මෙන්ම පරිගණක අධ්‍යාපනය ලබාදීමට එම යුගයේදී හැකියාව ලැබුණා.

වත්මන් ලෝකයේ ඇතිවී තිබෙන විශාල දේශපාලනික සහ ආර්ථික විපර්යාසය හමුවේ ලෝකය ගෝලීය ආර්ථිකයක් කරා ගමන් කරන අවස්ථාවේදී, තාක්‍ෂණය පදනම් කරගෙන අනාගතය බිහිවන අවස්ථාවේදී අපගේ ජාතික ආණ්ඩුවට හතරවැනි විප්ලවය සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මේ රටේ දුප්පත්කම නැති කරන්න, තරුණ තරුණියන් සඳහා උසස් තත්ත්වයේ රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමට, මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි කිරීමට 2030, 2035 කාලය වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට අප ගමනක් අරඹා තිබෙනවා. ජාතික ආණ්ඩුවේ විප්ලවය එයයි.

එම විප්ලවය ජය ගැනීමට නම් තනි තනිව පක්‍ෂ වශයෙන් කටයුතු කිරීමෙන් හැකියාව ලැබෙන්නේ නැහැ. අප සියලූදෙනා එකට අත්වැල් බැදගෙන යා යුතුයි. තරුණ තරුණියන් අපෙන් ඉල්ලන්නේ කුමක්ද? අපේ ප්‍රශ්න විසඳන්න. අප ඉදිරියට ගෙනයන්න. අපට හැමදාම එක තැන නතරවී ඉන්න බැහැ. අපේ දියුණුව ගැන බලන්න. යනුවෙන් අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටිනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කිරීම සඳහායි.

ජාතික ආණ්ඩුව යටතේ පසුගිය වසරේදී අපේ දේශපාලනික ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාවට තිබූ ප්‍රශ්න විසඳ ගැනීමට හැකියාව ලැබුණා. දැන් අප ආර්ථික සංවර්ධන යුගය ඇරැඹිය යුතුයි. සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අප ඉදිරිපත් කරනවා. නොයෙක් රටවල සහයෝගය අපට ලැබී තිබෙනවා. එමෙන්ම රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආයෝජකයින් සමග සාකච්ඡා කර තිබෙනවා. ආයෝජකයින් ගෙනෙන නව ව්‍යාපෘති පිළිබඳවත් අප සාකච්ඡාවලට එළඹතිබෙනවා. අප මේ සූදානම් වී ඉන්නේ එම වැඩකටයුතු කිරීම සඳහායි.

ආර්ථිකය දියුණු කිරීමේ ප්‍රතිපත්තිවලින් අප කිසි දිනෙක ඈත් වන්නේ නැහැ. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු අප ඉටු කළ යුතුයි.

අපට වඩා වෙනස් අලූත් පරපුරක් බිහි වෙනවා. අපේ පාසල් සමයේදී කොළඹපස්වන පටුමගේ පදිංචි වී සිටි අප ඇතුළු අසල්වැසි සෑම නිවෙසකම පාහේ දුරකතන තිබුණා. එකල එම පෙදෙස ලංකාවේ දියුණුම ප්‍රදේශයකි. නමුත් අද තත්ත්වය කොහොමද? ලංකාවේ සෑම නිවෙසකම ඇතැම් විට දුරකතන හතර පහ පවා තිබෙනවා. සෑම පුද්ගලයකුටම ජංගම දුරකතන තිබෙනවා. ඒවායින් කතා කරනවා පමණක් නොවේ. දියුණු තාක්‍ෂණික ක්‍රමවේද භාවිත කරන්නට හැකිවී තිබෙනවා. ලෝකය වෙනස් වන්නේ මේ ආකාරයටයි. අතීතයේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා වුණේ ඉතා අඩුවෙන්. අද සෑම නිවෙසකම රූපවාහිනී යන්ත්‍රයක් තිබෙනවා. නවීකරණ විප්ලවයේ ප්‍රතිඵලය එයයි.

ඉදිරියේදී අපට සුවිශේෂී වගකීමක් තිබෙනවා. මා මෙහි පැමිණියේ ඒ පිළිබඳව කතා කිරීමටයි. වයඹමධ්‍යම අධිවේගී මාර්ගය සෑදූ විට කුරුණෑගල ප්‍රදේශය බෙහෙවින් දියුණුවට පත්වේවි. එක් අධිවේගී මාර්ගයක් මහනුවරටත්, අනෙක් අධිවේගී මාර්ගය දඹුල්ලටත් ගමන් කරනවා.

එමෙන්ම මීරිගම, දිවුලපිටිය සිට කුළියාපිටිය දක්වා ඉදිකරන ආර්ථික සංවර්ධන කලාපයෙන් මෙම ප්‍රදේශයේ කර්මාන්ත රැසක් බිහි වනවා. එමෙන්ම මත්සය අපනයනය සඳහා ධීවර වරායන් ඉදි කිරීමට නියමිතයි. සංචාරක ව්‍යාපාරය මීට වඩා දියුණු කළ යුතුව තිබෙනවා. වයඹටත් එහි ප්‍රතිලාභ අත්විදින්නට ලැබේවි. අපනයන කෘෂිකර්මයත් දියුණුවට පත් කළ යුතුව තිබෙනවා. එමෙන්ම වී වගා කරන ප්‍රදේශවල වී වගාව වර්තමානයට වඩා දියුණු කළ යුතුයි. අපේ අපේක්‍ෂාව තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. අප මේවා කරන්නේ ඇයි? මගේ මූලික අරමුණ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමයි.

නිකරුණේ බෙර ගසා, කෑ කෝ ගැසීමෙන් ඵලක් නැහැ. අප කරන්නේ මොනවාදැයි සමහරුන් අසනවා. සියලූම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අප දැන් අඩිතාලම දමා තිබෙනවා. දැන් ඇත්තේ පියවර දෙකක් ක්‍රියාත්මක කිරීමට පමණයි. පාර්ලිමේන්තුවේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ඇරැඹිම එම පියවර දෙකයි.

මාසයකින් හෝ මාස එකහමාරකින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නට හැකිවේවි. දැනට බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. අප වගේම ජාතික ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් අපගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවී සිටිනවා. නමුත් ජාතික රජය මෙන්ම එහි ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට විශේෂ වගකීමක් තිබෙනවා.

එක්සත් ජාතික පාක්‍ෂිකයන් ලෙස අප ගමට යා යුතුයි. වසර තුන හතරක් සටන් කොට සමාජ විප්ලවයක් ඇති කිරීමට අප සමත් වුණා. අප දැන් නැවත ලෑස්ති විය යුතුයි. ආණ්ඩුව ඒ අයුරින්ම තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යන අතර එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය විය යුතුයි.

පෞද්ගලික අංශයේ ආයෝජනත් සමග රැකියා බිහිවේවි. අපට තිබෙන කාර්යය පක්‍ෂය හැදීමයි. ගමට යන්න. තාක්‍ෂණ දරුවා ගැන මෙන්ම හතරවැනි විප්ලවය පිළිබඳවත් ගම්මට්ටමේ පාක්‍ෂිකයන් දැනුම්වත් කරන්න. ජනතාව බලාපොරොත්තු වන්නේ එයයි. ඒ වැඩසටහන් අප අලූතෙන් ක්‍රියාත්මක කළ යුතුයි.

අප වෙනුවෙන් වැඩ කළ අපේ පාක්‍ෂිකයන් රැක බලාගත යුතුයි. අපේ පැරණි සාමාජිකයන් පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනවා. ඉදිරි වසර දහය පහළොව ඉලක්ක කරගෙන, තාක්‍ෂණ දරුවන් සඳහා වන පක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කරනවා.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා ඩී.එස්. සේනානායක මහතා 1947 දී මේ පක්‍ෂය හැඳුවා. 1956 දී ලද පරාජයෙන් පසුව දෙවන විප්ලවයට සුදුසු පරිදි ඩඩ්ලි සේනානායක මහතාත් ජේ.ආර්. ජයවර්ධන මහතාත් මේ පක්‍ෂය ගොඩනැගුවා. 1970 පරාජයෙන් පසුව නවීකරණ විප්ලවය ගෙන ඒම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා අප පක්‍ෂය හැදුවා. අප එම පක්ෂය ආරක්‍ෂා කළා. අප නැවතත් බලයට පැමිණ සිටිනවා. ඒ අනුව අප ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ජාතික ආණ්ඩුව ආරක්‍ෂා කරන අතරම පක්‍ෂයත් ආරක්‍ෂා කළ යුතුයි. පැරණි පාක්‍ෂිකයන් මෙන්ම රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ අපේක්‍ෂා ඉටු කළ යුතුයි. ඒ අතරම තාක්‍ෂණ දරුවන් උදෙසා එක්සත් ජාතික පක්‍ෂය ගොඩනැගිය යුතුයි. අපේ ආකල්ප වෙනස් කොට අලූතින් සිතන්න අවශ්‍යයි.

පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන පළමුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රතිසංවිධානය කළ යුතුයි. එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රතිසංවිධානය කොට පක්ෂය ඇතුළේ අලූත් වැඩසටහනක් ගෙනියනවා. පක්ෂයේ වැඩකටයුතු කරන්නන් පිරිසක් සිටිය යුතුයි. සෑම දෙනාම ආණ්ඩුවේ කටයුතු කරන්න ගියොත් පක්ෂය නැති වෙනවා.

ජාතික ආණ්ඩුවේ අනෙක් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ජනාධිපතිතුමාත් අප වගේම රටේ ඉදිරිය ගැන සිතා තීරණ ගන්නවා. අපේ වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෙනම පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අරමුණ නැවත බංකොළොත් දේශපාලනයට යෑමයි. තාක්‍ෂණ දරුවන්ට බංකොළොත් දේශපාලනය, ජාතිවාදය ඵලක් නැහැ.

ගිරව් වගේ කියැවීමෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ. එදා බලය තියෙන කොට මාධ්‍ය අල්ලගෙන වැඩේ කළා. පුළුවන්නම් මේ ප්‍රදේශයේ ජනතාවට උදව් වෙන්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

දැන් වයඹපොල් මිල අඩුවෙලා. මටත් ඉඩමක් තියෙන නිසා ඒ ගැන හොඳින් දන්නවා. පොල් ගහනවා නම් ලංකාව වටේම පොල් වතුවලින් පොල් මිලදී ගෙන පොල් ගෙඩි ලක්ෂ දහයක්වත් ගහන්න. එතකොට පොල් හිඟයක් ඇති වෙනවා. එවිට පොල් මිල වැඩිවෙනවා. පොල් මිල වැඩි වූ විට වයඹ මිනිසුන්ගේ අත මිට සරු වෙනවා. පොල් ගෙඩි දහයක් පහළොවක් ගහලා නතර වෙන්න එපා. රජයේ පොල් වතුවල පොල් සොරකම් කර පොල් ගහන්නත් එපා. සොරකම් කර ගහන පොල්වලින් වැඩක් වෙන්නේ නැහැ. පොල් මිලදී ගෙන පොල් ගහන්න. එලෙස මිලදී ගෙන පොල් ලක්‍ෂ දහයක් ගහන්න. මේ කණ්ඩායමෙන් මම ඉල්ලන්නේ එපමණයි. එවිට මේ ප්‍රදේශයේ පොල් මිල වැඩිවෙනවා. කරුණාකරලා පොල් ගහන්න. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව හරි පොල් ගහන්න. හැබැයි ඒ පොල් ලක්‍ෂ දහයක් මිලදී ගන්න. එහෙම කරනවා නම් අප සියලූම දෙනා සහයෝගය දෙනවා. ඒත් රජයේ පොල් වතුවල පොල් සොරකම් කර මේවා කරන්න එපා. මේවා පුදුමයක් නොවේ. දෙයියන්ගෙ රටෙත් සොරකම් කරපු එකාට මේ පොල් ටික සොරකම් කරන එක ලොකු දෙයක් නොවෙයි. දැන් විපාක විඳින්නේ ඒ සොරකම් වලටයි.

කවුද මේ පොල් ගහන මිනිස්සු, සමහරු දිහා බැලූවාම අවබෝධ කරගත හැකියි. කතරගම ගිහින් පිට්පොකට් ගහලා රුපියල් දහයේ නෝට්ටු සොරකම් කරගෙන තමන්ගේ පූජා වට්ටියට දාලා දෙන මිනිස්සු ඔය ඉන්නේ. මේ බංකොළොත් මිනිසුන්ට, ජාතික රජය සහ අප ගෙනයන වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

යූ.එන්.පී, ශ්‍රී ලංකා, ජෙ.වී.පී, ටී.එන්.ඒ. නිර්පාක්‍ෂික තරුණ තරුණියන්ට පක්ෂ බේද නොතකා රැකියා බිහි කරන්න ඉඩදෙන්න. රැකියා බිහි කරන්නනම් අප විදේශ වෙළෙඳපොළ සොයාගත යුතුයි. ඉන්දියාවට විකුණන්න එපා යැයි සමහරුන් කෑ ගසනවා. ඉතින් විකුණන්නේ කාටද? ෆ්ලෝටින් මාර්කට් එකේද? පටු දේශපාලනය අතහැර එකට එකතු වන්නැයි සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2016.02.06 දින කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී කළ කතාව

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.