21 August, 2019

Blog

මම ජවිපෙට ඡ​න්දය දෙමි

අරුන්දතී සංගක්කාර –

මගේ ලේ කොළ පාටය. සරත් ෆොන්සේකා වෙනුවෙන් හංසයා ඉදිරියේ කතිරය ගසන විට මගේ අතැඟිලි වෙවුලුවේය. 2015 දී වර්තමාන කවට ජනපතියා වෙනුවෙන්ද අර හංසයා ඉදිරියේ කතිරය ගසද්දී මගේ අතැඟිලි නැවතද වෙවුලුවේය. නමුත් මම “යූඑන්පී අපේක්ෂයාට” කතිරය ගැසුවෙමි. ඒ මා යූඑන්පී නිසාය.

යූඑන්පිය සහ ‘ඉහල’ පන්තිය

මා ඉස්සර සිතුවේ මා අයත් යයි මා සිතා සිටි ‘ඉහල‘ පන්තිය නියෝජනය වන්නේ යූඑන්පියෙන් යයි කියාය. සමාජ පන්තිය වනාහී සංකීර්ණ සංකල්පයකි. එයට විවිධ දේ අයත් වෙයි: ඔබේ ලිපිනය, ධනය, පළමු බස, ඉංග්‍රීසි කතා කරන ආකාරය, ඔබ කියවන පොත පත, ඔබ සාකච්ඡාවට බඳුන් කරන කලා කෘති, බලන නාට්‍ය සහ සිනමාව, නිවාඩු ගත කරන තැන, ඔබ හිනා වෙන්නේ මොනවාටද, හිනා වෙන්නේ කා සමගද, ඔබේ විලාසිතාව කුමක්ද, ඔබ හාස්‍යජනයයි සිතන්නේ මොනවාද, ඔබ අපහසුතාවයට පත් වන්නේ කවර දෙයින්ද ආදී සියල්ල ඔබේ “පන්තිය” නිර්වචනය කරයි. යූඑන්පියට ඡ​න්දය දීම එදත්, අදත් ඉහල පන්තියේ ලක්ෂණයකව  තිබුණි.  

යූඑන්පියට ඡ​න්දය දෙන ඉහල පැලන්තිකයන් කොළඹ තුනෙන් සහ කොළඹ හතෙන් ඉබේ පහල වුයේ නැත. ඔවුන්ගෙන් බහුතරය ගම් වලින් නගරයට ආ ගැමි පුරවැසියන්ගෙන් පැවත එන්නන්ය. ඔවුන්ට බුලත් හපන, රා බොන, කසිප්පු පොළවල් වල ලගින, මහින්දට ඡ​න්දය දෙන “ගොඩේ” නෑයෝ වෙති. ඒ ගොඩේ නෑයෝ අටුවා ටීකා සහිත දිග කතා කියති, දුරකතනයෙන් කතා අරන්නේ උස් හඬිනි. ඔවුහු කුලය හා ආගම මත පදනම් ව මිනිසුන්ව විනිශ්චය කරති. අපි අපගේ අනන්‍යතාවය කුමක්දයි අපටම, අපේ පවුලේ යට හෝ යූඑන්පී යහළුවන් ට විස්තර කරද්දී ඉක්මනින් අර ගොඩේ නෑයන්ව අමතක කර දමමු. “යූඑන්පී අය” එවැනි ගොඩයෝ නොවෙතයි අපට උගන්වා තිබුණි. යූඑන්පීකාරයන් ලිබරල් මනසින් යුත්, දක්ෂිනාංශික හෝ ඊට ආසන්න දහමක් අදහන්නන් බව අපට උගන්වා තිබුණි. ඒ නිසා යූඑන්පියට ඡ​න්දය දීම හුදෙක් දේශපාලන ප්‍රකාශනයක් නොව, අප විසින් “අප මෙසේ” යයි හෝ “අපගේ ඉහල පන්තිය මෙය යයි” සිතා සිටි අනන්‍යතාවයේ ප්‍රකාශනයක් විය. 

එමතුදු නොවේ.

යූඑන්පිය මා දුටුවේ මිනීමරු රාජපක්ෂලාට එරෙහිව මා හට තිබු එකම සහ හොඳම අවිය ලෙසය. මම රාජපක්ෂලාව, වීරවංසලාව, චිචිව සහ ඔහුගේ රොකට්ටුව, නාමල් සහ ඔහුගේ නිල් බලකාය, යෝයෝ, ඔවුන්ගේ සොරකම්, මිනී මැරුම් ආදී සියල්ල පිලිකුල් කරමි. නමුත් මම යූඑන්පියේ සොරකම් සහ මිනීමැරුම් පෙන්වූ විට ඒවා දෙස “බලා-නොබලා” අමතක කලෙමි. මා සිතුවේ යූඑන්පිය කුමක් කලද සියලු ජනවර්ග එක්සත් කිරීම සහ සදාකාලික රාජපක්ෂ රෙජීමයක් බිහි වීම වලවා ගත හැකි එකම අවිය යූඑන්පිය බවය. 

ඉතින් මා හැදී වැදුනේ යූඑන්පිය “මගේ යූඑන්පිය” බව සිතාගෙනය. 

රනිල් “මගේ රනිල්” විය. 

රනිල්ට කරන විවේචන මට දැනුනේ මා ගැන කරන විවේචන ලෙසය. රනිල් උපන් ගෙයි නිකමකුයි යමෙකු කිවහොත් මම කඩු අමෝරාගෙන එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කලෙමි. 

මා අදටද සිතන්නේ රනිල් උපන්ගෙයි නිකමෙකු නොවන බවය.

එසේ කීම සාධාරණ නොවෙයි. 

රනිල් යනු “එදිනෙදා නිකමෙකි” ඔහු දිනපතා අපව ද නිකමුන් බවට පත් කරයි. 

රනිල් යනු අසංවේදී, නිර්දය, ජනතාව කවුදැයි නොහඳුනන ඔලමොට්ටලයකු යයි යමෙකු පැවසුවේනම් මම ඊටද එරෙහි වුනෙමි.

රවී කරුනානායක පල් හොරෙකුයි යයි යමෙකු කී හි නම් මම මිස්ටර් ටෙන් පර්සෙන්ට් බැසිල් ගැන ඔවුන්ට කීවෙමි. 

ඉතින් එහෙම නම් “ජවිපෙට ඡ​න්දය දෙමි“ කියා ලිපියක් මා ලියන්නේ මන්ද? 

යූඑන්පිය පාක්ෂිකයන්ව නැතිකර ගන්නා හැටි 

2015 දී යහපාලනය සිදු විය. යූඑන්පිය ලැබුණු අවස්ථාවෙන් තක්කඩි පත්වීම් දීමේ ව්‍යාපෘතිය ඇරඹීය. සිතු ලෙසම යූඑන්පිය මහජන ධනය සොරා කෑමේ ඔවුන්ගේ පුරුද්ද අතහැරියේ නැත (තව මොනවද- බැඳුම්කර වංචාවම​ මදිද?). යූඑන්පියේ අධි දූෂිත ඇමතියන් ඔවුන්ගේ බත් බැලයන් රාජ්‍ය ආයතන වලට අයතා ලෙස පත්  කළහ. රජය පිහිටුවා මාස කිහිපයක් තුල ඔවුහු සිය මැතිවරණ ව්‍යාපාර වියදම ජනතාවගේ ධනය සොරා කා පියවා ගත්හ. මෙය සිදු කලේ රාජ්‍ය ආයතන හරහා දූෂණ, වංචා සහ කොමිස් ගැසීමෙනි. ඒවා කලේ දූෂිත​ පත්වීම් තුලින් ඇටවූ බැලයන් හරහාය. 

මේ විනාශය දැක මහත් කම්පනයට පත් වූ යූඑන්පියට උපන්දා සිට කැප වූ අප කිහිප දෙනෙක් මේ අපරාධයන්ට එරෙහි වීමත් අපගේ ආයතන තුලට යතා ලෙස පත් කල සොරුන් එලවීම්ටත් එක වුනෙමු. අප සිතුවේ අප මේ සටන කල යුත්තේ ස්වාධීන පුරවැසියන් ලෙස බවය; රාජ්‍ය සේවකයන් ලෙස බවය; ‘හැදිච්ච මිනිසුන්’ ලෙස බවය; ‘යූඑන්පීකාරයන් වගේ’ බවය. වසර දෙකක් පුරාවට අපි ලියුම් ලීවෙමු; තොරතුරැ දැන ගැනීමේ ඉල්ලුම්පත් යැවුවෙමු; විගණන​ වාර්තා ඉල්ලුවෙමු. සියලු පරිපාලනමය ක්‍රමවේදයන් අනුගමනය කළෙමු. ඒවා සියල්ල කෙතරම් අසාර්ථක වීද යත් අපි අපගේ ආයතන වල විහිළු බවට පත් වීමු. අප තේරුම් ගත්තේ දේශපාලන ශක්තිය නොමැතිව මෙවැනි දේ වලට එරෙහි විය නොහැකි බවය. තනි තනි පුදගලයන් මෙවැනි සටන් වලදී ඉතා අනාරක්ෂිත වෙති. ජනාධිපති, අගමැති ගේ සිට යූඑන්පී මැති ඇමතිවරුන් සියල්ල අපි විවිධ ක්‍රම වලින් හමු වී මෙම මුල්‍ය අපරාධ සහ පරිපාලනමය දූෂණ ගැන ඔවුන් දැනුවත් කළෙමු. 

යූඑන්පී ලොක්කන් ගෙන් අපට ලැබුණු ප්‍රතිචාරය “සැබවින්ම යූඑන්පී “ ප්‍රතිචාරයක් විය. ඔවුහු හිස වනමින්, අහිංසක ලෙස මුහුණ සදමින්, අප ගැන දුක්වන බව පෙන්වමින් කුඩා දරුවෙක් කියන සුරංගනා කතාවක් අසන්නා මෙන් අපගේ කතාව අසා සිටියහ. අපගේ ආයතන තුල සිදු වන දූෂණ, වංචා සහ අයතා පත්වීම් “ඉතා වැරදි” බවද “වහාම යමක් කල යුතු බව” ද “අතනට ලියුමක්” “මෙතනට ලියුමක්” අප විසින් වහාම යැවිය යුතු බවද ඔවුහු ඉතාම අලංකාර ලෙස අපට කීවහ. නමුත් අවසානයේ නිකමට මෙන් මෙසේද කීවෝය: “ලොක්කට මේ දවස් වල ප්‍රශ්න – අහවල් ඇමති නැතුවම  බැහැ- ඔය දූෂිත නිලධාරීන් එක්ක ඉන්න බැරිනම් ඕගොල්ලන්ට පුළුවන් නේද දෙපාර්තමේන්තුවෙන් පිටතට මාරු වීමක් ඉල්ලන්න ? එතකොට ඉවරයි නේ?”

අපි ග්‍රීන් ටී බොමින්, හිස වනමින් අසා සිටියෙමු. 

මම ජවිපෙ හමුවෙන්න යනවා !

අප ඒ දිනක එක කාර්යාලයින් පිටතට පැමිණ එකිනෙකාට පවසා ගත්තේ මේ යූඑන්පී ලොකු ලොක්කන්ට නටා ගන්නට කිව යුතු බවය. ඔවුන් අපව රවටන බව අප වටහා ගෙන සිටියෙමු. ඔවුන් අපට නොකියා කිව්වේ “අපි යූඑන්පී හොරුන්ව රකින්නෙමු. උඹලා අප හා සමාන බව සිතා ගෙන ඉන්නේ නම් උඹලාට​ වැරදී ඇත. උඹලා කළ යුත්තේ භක්තියෙන් අපට යූඑන්පී ඡන්දය​ පූජා කිරීමය. අපි ඉන්පසු බලයට පැමිණ උඹලා ව පෙළන්නෙමු. උඹලා එයට අපට ස්තුති කල යුතුය.”  

අපි බලාපොරොත්තුවේ අවසානයට පැමිණ සිටියෙමු. 

මගේ මිතුරන්ට මම යමක් කීවෙමි. එනම් උදව්වක් ඉල්ලීමට මම ජවිපෙ වෙත යන බවය. 

අපට කියා දුන් ජවිපෙ 

“ඉහල පන්තියේ” යයි සිතා සිටි අපට ජවිපෙ ගැන කියා දී තිබුනේ මෙලෙසය. “ජේවීපී එකේ ඉන්නේ දුප්පතුන්ය. ඔවුන් දහදියෙන් පෙඟී ඇත. ඔවුන් සුන්දර මිනිසුන්ට වෛර කරති. ලස්සන ඇඳුම්, වාහන වලට ඉරිසියා කරති. ඉංග්‍රීසි කතා කරන්නන්ට වෛර කරති. ජේවීපී කාරයෝ නවා වධය දෙන්නෝය. නවක සිසුන් නිරුවත් කර ලිංගික හිංසනය කරන්නෝය. ඔවුහු අහිංසක බස් රියදුරන්, ග්‍රාමසේවකයන්, කලාකරුවන්, ගුරුවරුන් භීෂණ සමයේ මරා දැමුහ. ඔවුහු පෞද්ගලික​ ව්‍යවසායාත්වයට වෛර කරති. අන්තර්ජාතික ප්‍රජාවට වෛර කරති. ඔවුහු සංවර්ධනයට වෛර කරති. කිසිදා බලයට නොඑන ඔවුන් බලයට ආ රජය කරන දේ විවේචනය කරමින් කකුලෙන් අදිති. ඔවුහු උද්දච්ච, නිරාගමික, ධනවතුන්ට වෛර කරන පිරිසකි. ඔවුන්ව අනුගමනය කරන්නෝ, රැවුල නොකපා, නොනා, පාරවල් අහුරාගෙන උද්ඝෂණය කරති – එදිනෙදා ජීවිතය අවහිර කරති. රජයක් පිහිටුවන්නේ නැති මොවුන්ට සැබෑ ලෝකයේ අභියෝග ගැන දැනීමක් නැත.” 

මේ සියල්ල ජීවිත කාලයක් පුරා අපට කියා දී තිබුණි. අප කරන්නට යන දේ දන ගත්තවුන් නැවතද අපට එයම කියන්නට වූහ. 

කෙටියෙන් කියනවානම් අපි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මුණ ගැසුනෙමු, 

අනුර අපගේ කතාව මහත් අව්‍යාජ සහකම්පනයකින් යුතුව​ අසා සිටියේය. අප ගේ කතාව තුල ගැබ් වුනු නෛතික, පරිපාලනමය, සහ සදාචාරාත්ම උල්ලංඝනයන් පිළිබඳව ඔහුට මනා දැනුමක් විය. ඔහු අපගේ සටන පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් කිරීමට අපට පොරොන්දු විය. සති  කිහිපය තුල අප නොසිතු පරිදි ඔවුහු අවශ්‍ය ලේඛන සකසා දේශපාලන පක්ෂයක් ලෙස තනි තනිව සටන් කිරීමට නොහැකිව සිටි අපට මෙම දූෂණ, වංචා සහ අකටයුතුකම් වලට එරෙහිව නීතිය ඉදිරියට ගියහ. අල්ලස් හා දූෂණ කොමිසම ඉදිරියට ගියහ. පොලිස් විමර්ශන සඳහා චෝදනා ගොනු කළහ. අප තනිව සටන් කරන විට ඒවා කරන්නට බැරි බවට කල් මරමින් බොරු කිවූ සියලු දෙනා ඉද්ද ගැසුවා මෙන් අවදි වුහ. ජවිපෙ අප හා සටන් කල බැවින් මහා සොරුන් සහ අක්‍රමිකතා කරුවන් කිහිප දෙනෙක් පලවා හැරිණි ලැබුහ. ඒ අතරින් කිහිප දෙනෙක් සිරගත වීමට නියමිතය. 

මේ සිදු වීම් අවසානයේ මගේ පුස්තකාලයේ හිඳගෙන මම කල්පනා කලෙමි. යූඑන්පී ලොකු ලොක්කන් සමග මම ජීවිත කාලය පුරා ඇසුරු කර ඇත්තෙමි. දැන් කල්පනා කර බලන විට ඔවුන් කිසිවෙක් මා හට ඇත්තෙන්ම සමානාත්මතාවයෙන් සලකා නැත. අනුර මේ මුළු ප්‍රශ්නය පුරාවට එයට ප්‍රතික්‍රියා දැක්වුයේ ඔහු අපගෙන් වෙලාවක් වෙන් කර ගෙන අප හමු වන්නට ආ ලෙසටය. ඔහු කිසි විටෙක බොරුව කීවේ නැත. ඔහු සිය “වැදගත්බව” අප හට ප්‍රදර්ශනය කලේද නැත. ඔහු අපට සවන් දෙන විට අපෙන් යමක් උගත්තේය. ජවිපෙ අප සමග අවසානය තෙක් සටන් කළහ. එසේ කලද එහි ගෞරවය අත්පත් කර ගැනීමට ඔවුනට අවශ්‍යතාවයක් නොවුනි. අප ඔවුන්ට ඒ සඳහා ණයගැති විය යුතු බවක් ඔවුන් කිසි  විටෙකත් නොපෙන්වුහ. ඔවුන් කල මෙහෙය වෙනුවෙන් ස්තුතියක් වත් ආපසු නොපැතුහ. 

ඓතිහාසික​ වරද නිවැරිදි කර ගැනීම

එක්තරා යුගයක සිය දේශපාලන ව්‍යාපාරයට සාමාජියන් එකතු කර ගැනීමට සහ මොළ සේදීමට ජවිපෙ විසින් විශ්ව විද්‍යාල නවක වධය භාවිතා කරන ලදී. කුප්‍රකට අන්තරේ හෙවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ නවක වධය වර්තමානයේ සිදු කරන්නෝ වනාහී ජවිපෙට අයත් නොවන පෙරටුගාමී පාක්ෂිකයෝ වෙති. ජවිපෙ වර්තමානයේ ගමන් ගන්නේ විශ්ව විද්‍යාලයීය නවක වධය එරෙහි මාවතකය. ජවිපෙ සිය ඓතිහාසික​ වරද නිවැරිදි කරගත් දිශානතියක ගමන් අරමින් සිටිති. 

එසේ සිය වරද පිළිගෙන සිය මග වෙනස් අර ගන්න වෙනත් අය​ දේශපාලනයේ ඔබ දකීද? 

තමාට අර්ජුන් ඇලෝෂියස් ලබා දුන් “පුංචි මහල් නිවාස” අල්ලසක් බව තමා නොදන්නා අහිංසක පුංචි රවී කවදා හෝ පිළිගනු ඇතිද? 

තමාගේ මළ දෙමවුපියන්ගේ සොහොන ජනතා මුදල් වංචා කොට සෑදු බව ගොටාභය කෙදිනක හෝ පිලි ගනීද? 

මහා බැංකු බැඳුම්කර වංචාවට තමා වග විය යුතු බව රනිල් ගේ කටින් කවදා හෝ කියයිද? දෛවෝපගත පාස්කු ඉරු දින ජාතික ආරක්ෂාව පාවා දුන් බව සිරිසේන කවදා හෝ පිළිගනීද? 

සිය තාත්තගේ පුංචි පියරු බබා වන සජිත් තමා සරසවිය ලන්ඩන් ගත උපාධියක් නැති බවත්, තියෙන්නේ තමා එහි පාඨමාලවක​ රෙජිස්ටර් වී සිටි බවට සහතිකයක් බවත්, උපාධිය ලබා ගත නොහැකි වුයේ සරම්ප වැළඳීම නිසා යයි තමා පවසන්නේ අතේ පැලවෙන බොරුවක් බවත් ඔහු කවදා හෝ පිලිගනීද? 

ජවිපෙ උභතෝකෝටිකය: සාමාජිකත්වයද? යතාර්ථයද​? 

අනුර සමග කතාබහේදී මා වැදගත් කරුණු කිහිපයක් පිලිබඳව දැනුවත් වීමි. එකක් නම් සමාජවාදය හෝ මාක්ස්වාදය මත පදනම් වුවද ජවිපෙ මාක්ස්වාදී සමාජවාදී සිහින දේශයක හෝ යුටෝපියාවක​ ජීවත් නොවන බවය. ඔවුහු නූතන ගෝලීය ආර්ථික ප්‍රවණතා ගැන සවිඥානිකය. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවේ සිටිති. නමුත් ඔවුන්ගේ හදවත් වල ඇත්තේ සමාජවාදී ඇදහුම​ වන සමානාත්මතාවය, විෂමතා පිටුදැකීම සහ සමාජ සාධාරණත්වයය. ඔවුහු වර්තමානයේ ප්‍රතිපත්තියක් ලෙස විශ්ව විද්‍යාල නවක වධය පිටු දකිති. ජවිපෙ, ඔවුනට කිරීමට අපහසු බොහෝ දේ කිරීමට උත්සාහ කරති. 

ඔවුහු සිය ජනඝාතක අතීතය වෙනුවෙන් සමාව අයැද ඇත. නමුත් එය සෑහේ යයි මම නොසිතමි. ඒ මක් නිසාද යත් මනුෂ්‍ය ඝාතනයට හිලවු වන සමාව ඇයදීමක් මෙලොව තුල නැති බැවිනි. මගේ පියාව ජවිපෙ මරා දමුවෙනම් ඔවුන් බිම පෙරලී සමාව අයදුවද මා සමාව නොදෙනු ඇත. 

එනමුත්, යූඑන්පිය කල ඝාතන වලට අප සමාව දී නැත්තෙමුද? යූඑන්පිය මරා දැමු මවුවරුන්, පියවරුන්, පුතු, දියණියන් කවුරුන්ද? සජිත් ප්‍රේමදාස යලි ප්‍රේමදාස යුගය ගෙන​ එන බවට පාරම් බාන හැම විටම මම භීතියෙන් ඇලලෙමි. සජිත් ටයර් කීයක් හංගාගෙන ඉන්නවාදැයි මම සිතමි. 

එසේනම් වෙනස කොතනද?

වෙනස නම් යූඑන්පිය, ශ්‍රීලනිපය (සහ පොහොට්ටුව) දේශපාලන බලය අල්ලා ගැනීමට සමත් වීමය. දේශපාලන බලය ඇති තැන ලෙයින් පෙඟුණු ඉතහාසය රාජ්‍ය මාධ්‍ය​, මොළ සේදීම, සහ සුරංගනා කතා කීම ඔස්සේ මකා දැමීම පහසුය. අනෙත් යතාර්ථය නම් දේශපාලන බලය යම් කෙනෙකුට​ ඇති විට තමාගේ මරා දැමු ඥාතියා අමතක​ කර මිනිසුන් තමාගේ වැඩ කර​ගැනීමට ඔවුන් වෙත යාමය. ඔවුහු ඊයේ තමාගේ මතකයන් හෙට ලබා ගත හැකි ලාභ ප්‍රයෝජන වෙනුවෙන් හුවමාරු කර ගනිති. ජවිපෙ ට රජයක් පිහිටුවීමට හැකි වී නැත. එහෙයින් ඔවුහු සිය අතීතයෙන් ගැලවීමට අසමතුන්ය. 

ජවිපෙ බිම් මට්ටමේ ඇතැම් සාමාජිකයන් දර්ශනය සහ එහි නායකයන්ගේ නුතන, මට සිලුටු, පරිනාමනය වූ දේශපාලන දැක්ම අතර විශාල හිඩැසක් ඇත. ජවිපෙ නායකත්වය සැදී ඇත්තේ ගරු කටයුතු ලෙස හැසිරෙන්නවුන්ගෙනි. ඔබට අනුර,සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, ටිල්වින් සිල්වා වැන්නවුන් මුණ ගැසුනහොත් ඔවුන් කෙතරම් ධීමත් සහ කදිම මිනිසුන් දැයි වටහා ගනු ඇත. ඔවුහු අනෙකාට ගරු කරති. සත්‍යය පදනම් වූ තැනක සිට කතා කරති. ඔබේ සත්‍යය ඔවුන්ගේ සත්‍යය නොවුවද ඔවුහු ඔබගේ පීඩාව තේරුම් ගනිති. ඒ ඔවුන් වෙනත් දහස් ගණන් මිනිසුන්ගේ වෙනත් පීඩාවන් කෙරෙහි සහවේදනයෙන් පැවතීමට හුරු වී ඇති බැවිනි. 

ජවිපෙ සාමාජිකත්වය වැඩි දෙනා තරුණ පිරිසෙන් කොටසක් සහ පැරණි වමේ අය වෙති. පැරණි වමේ සාමාජිකයෝ අන්තර්ජාල ලෝකයට සම්බන්ධ නූතනයෝ නොවෙති. මහා වැඩ වර්ජන වලින්, උද්ඝෝෂණ වලින් ආණ්ඩු දන ගැස්විය හැකි බව ඔවුහු අදහති. නූතන ලෝකයේ ආණ්ඩු ද අමුතු සංකල්පයක් බව ඔවුන්ට නොතේරෙනවා වන්නට ඇත. එන.එම්, කොල්වින්, බර්නාර්ඩ්, පීටර් කෙනමන්ලාගේ ප්‍රතිරූප දේශපාලනයේ යුගය මිය ගොස් ඇති බව ඔවුහු නොඅදහති. වර්තමානයේ දේශපාලකයන් මනිනුයේ ඔවුන්ගේ ධීමත් බවේ ආලෝකයෙන් හෝ බුද්ධි ප්‍රභාවයෙන් නොවේ. ඔවුන්ව අන්තර්ජාලයේ කී දෙනෙක් “follow” කරයි ද. “likes” කීයද “shares” කීයද රැලිය බලන්නට කීදෙනෙක් පැමිණියාද ආදියෙන් ඔවුන්ගේ අන්තර්ජාල වටිනාකම මැනෙයි. ගාලු මුවදොර රැලියේ කී දෙනෙක් සිටියේද යන්න ගූගල් ඔබට හරියට ගණන් කර දෙයි. වර්තමානයේ ‘තරුවක්’ යනු අදහස් නොවේ. එය අංකයකි. මාඕ ගේ චීනය, ලෙනින්ගේ රුසියාව ගැන සිහින මවන්නෝ මෙය තේරුම් නොගනිති. අන්තර්ජාල ලෝකය ධනවාදයේ සහ සමාජවාදයේ දේශ සීමා බොඳ කර ඇත. අන්තර්ජාලය එම ගැටුම සංකීර්ණ, මැද-බිමකට රැගෙන විත් ඇත. 

ජවිපෙ නායකත්වය මේ වෙනස දකිති. නමුත් එය අමු අමුවේ කිව හොත් ඔවුන්ගේ සාමාජිකත්වය ක්ෂය විය හැක. ඔවුන්ගේ අභියෝගයනම් ප්‍රභූන්, මධ්‍යම පාන්තිකයන්, වෘත්තිකයන් ආදී ඔවුන් වෙත ආකර්ෂණය කර ගැනීමය. ඔවුන්ගේ සැක​ කටයුතු අතීතය දේශපාලන වත්සුණු වලින් සඟවා නැත. යූඑන්පිය, ශ්‍රීලනිපය, පොහොට්ටුව ඔවුන්ගේ ක්‍රෑර​ අතීතයන් දේශපාලන ප්ලාස්ටික් සැත්කම් වලින් සඟවා ගෙන ඇත. 

ජවිපෙ සිය අවංකත්වය වෙනුවෙන් ඉහල මිලක් ගෙවා ඇත. 

නමුත් ජවිපෙ හි අවංකත්වය රටට අවශ්‍යය. 

සමරිසි භීතිකාවට එරෙහි ජවිපය 

වර්තමාන දේශපාලන පක්ෂ අතරින් සමරිසි භීතිකාවට එරෙහි එකම පක්ෂය ජවිපෙය. විවෘතවම සමරිසි ශාස්ත්‍රඥයකු වන වරදස් ත්‍යාගරාජා ව සිය දේශපාලන වේදිකාවට  නැග්ගවීමට ජවිපෙට ධෛර්යය තිබිණ. සුළු ජන කොටස් වලට අයත් කාන්තාවන්ට වේදිකාව විවර කරන්නේද ජවිපෙය. 

යූඑන්පියේ සිටින රෝසි, චන්ද්‍රානි බණ්ඩාර වැනි දේශපාලන මල් සැරසිලි දැකුම්කලුය. නමුත් ජාතික ආපදාවකදී ඔවුහු වචනයක් කතා නොකරති. කතා කරන්නේ යූඑන්පියේ කාණු කට වන හිරුනිකා ප්‍රේමචන්ද්රය. ඇය සිතා සිටින්නේ මිනිසුන්ට නයා, පොළඟා, අසික්කිතයා කීම සහ ජනාධිපති සහ ඔහුගේ අනියම් සහකාරිය යයි කියවෙන කාන්තාව සමග සිදු වුයයයි ය කියන ලිංගික දර්ශන වචන වලට පෙරලමින් මාධ්‍ය සාකච්ඡා වලදී තලු මැරීම කථිකත්වය  කියාය. 

වමේ දේශපාලනය නොවන්නට අපට පැය අටක වැඩ දිනයක් නැත; නිදහස් සෞඛ්‍යය නැත; නිදහස් අධ්‍යාපනය නැත; සර්වජන ඡන්දය​ නැත. ලොව පුරාම වමේ දේශපාලන පක්ශ වලට බලය ඇල්ලීම වලක්වන අභියෝග රැසකි. නමුත් මා අවසානයේ තේරුම් ගත පරිදි වමේ දේශපාලනය අපගේ අයිතිවාසිකන් සහ යුක්තිය දිනා ගැනීමේ අවසාන බලාපොරොත්තුවය.  

ජවිපෙට දෙන ඡන්දය අපතේ යන චන්දයක්ද?  

ජවිපෙට දෙන ඡන්දය අපතේ යන ඡන්දයක් බව මට බොහෝ දෙනා කියති. එය රාජපක්ෂවරුන් ශක්තිමත් කරනු ඇති ඔවුහු කියති. ඉතින් මා යූඑන්පියට ඡන්දය දුනහොත් කුමක්  සිදු වනු ඇතිද? එය යූඑන්පියට තවත් අපෙන් සොරකම් කර, ඔවුන්ගේ තක්කඩි සොරුන් ආයතන වලට පත් කරවා ඔවුන් ලවා අපගේ ආයතන දූෂණය කිරීමට කරන ආරාධනාවක් පමණක් වනු ඇත. ඔවුන් අපගේ හිසට ඇත සෝදනු ඇත. අප එයට ඔවුනට ස්තුති අරනු ඇත, යූඑන්පී දේශපාලනය යනු එයයි. ඔවුන් රාජපක්ෂ බිල්ලා පෙන්වා අපගේ ඡන්දය ඩහැ ගනිති. ඉන්පසු අපව පෙළමින් එය කරන්නේ අපේ ප්‍රජාත්නත්‍රවාදී අභිවෘද්ධිය වෙනුවෙන්යැයි අපටම කියති. බිල්ලා එලවා සාතන්ව අපේ හිස මත ඇත හරිති. 

මා ජවිපෙට ඡන්දය දෙනුයේ ඔවුන් හට ශක්තියක් වන්නටය. අවංක මිනිසුන්ගෙන් සහ ගැහැණුන්ගෙන් තොර අපගේ ප්‍රජාතන්ත්‍රය කෙතරම් හිස්ද? උසස් පන්තියෙයයි සිතා ගෙන සිටින, වෘත්තිකයන් වන, තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු, සමානාත්මතාවය සොයන අප ඔවුන්ට සහය නොවුනහොත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හෘද​ සාක්ෂිය මිය යනු ඇත. මා ජවිපෙට ඡන්දය දෙනුයේ ඉදිරි පාර්ලිමේන්තුවේදී හය දෙනෙක් වෙනුවට ජවිපෙ මන්ත්‍රීවරුන් 20ක් සහ මන්ත්‍රීවරියන් 20ක් දකින්නටය. 

මම එළඹෙන ජනාධිපතිවරනයේදී ජපිපෙට ඡන්දය දෙමි. 

මහා මැතිවරණයේදීද ඡන්දය දෙමි. 

මා මෙය කරන්නේ මගේ ලෙය තුල දිවූ යූඑන්පිය ඔවුන් කෙතරම් නිර්දය, කෲර, වංක, ආත්මයක් නැති කුණු වුණු පිරිස දැයි මා හට අමතක නොවන ලෙස උගන්වා ඇති නිසාය. 

මම ජවිපෙට ඡන්දය දෙමි. 

(පසු ලිපි: “ඉහල පැලැන්තිය” යනු ඔබේ සිතෙහි ලෙඩකි. අප සියලු දෙනා ඇවිදින්නේ ශරීරයේ අසුචි රඳවාගෙනය. ඔබේ සිතේ ලෙඩෙන් මිදෙන්න). 

*කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවූ අරුන්දතී සංගක්කාර විසින් රචිතI Will Vote For JVPලිපියේ පරිවර්තනයකි. පරිවර්තනය අරුන්දතී සංගක්කාර විසිනි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    4

    1971,1988,1989, භිංෂනය ඹඛේ ලිපියට ඇතුලත් වුවානම් අගනේය.

  • 4
    2

    ප්‍රමාදවූ යතාර්ථය. මිනිසුන් වෙනස්වෙමින් ඇත. ඔබට ශන්තිය හා ධෛර්ය පතමි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment