20 June, 2021

Blog

වසංගතය: වඩාත් සුවපත්වීමට නම් මානව අයිතිවාසිකම් අනිවාර්යයයි

අසංක අබේරත්න

අසංක අබේරත්න

සෑම වසරකම දෙසැම්බර් 10 දිනට අන්තර්ජාතික මානව හිම්කම් දිනය යෙදී තිබේ. මෙවර තේමාව “Recover Better – Stand Up for Human Rights” (වඩාත් හොඳට සුවපත්වන්න – මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න) යනුවෙන් එක්සත් ජාතීන් විසින් ප්රකාශයට පත්කර තිබේ. මානව අයිතිවාසිකම් ලෝකයටම පොදු දෙයක් වුවද එය බටහිර සංකල්යකි යන දැක්මෙන් මිදීමට ආසියාතික රටවල් තවමත් අපොහොසත්ව සිටී. මානව අයිතිවාසිකම් සංකල්පය හා භාවිතය පිළිබඳව පෙරදිග රටවල පවතින දුප්පත්කමට එම පසුගාමී ආකල්පය බලපා 

තිබේ. බොහෝමයක් ආගමික ඉගැන්වීම් තුළ යුතුකම් පිළිබඳව නිරන්තරයෙන් අවධාරණය කළද අයිතිවාසිකම් ගැන අඩු සැලකිල්ලක් දක්වයි. එහෙත් වසංගතයෙන් ගැලවීමට අවශ්‍ය සෞඛ්ය ආරක්ෂාව තුළ මානව අයිතිවාසිකම් වෙන කවරදාටත් වඩා අදාළවී තිබේ. ප්‍රජා සෞඛ්‍ය අර්බුදයෙන් නොනැවතී වසංගතය සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙන අතර මානව හිමිකම් කඩකිරීම අර්බුදයේ ප්රකාශනය බවට පත්ව තිබේ. නමුත් වසංගතයට ප්රතිචාර දැක්වීමේදී මානව අයිතිවාසිකම් නොසලකා හැරීම සෑම අතින්ම අනතුරුදායක වේ.

අයිතිවාසිකම්වලට අගුලු දමා වසංගතය පාලනය කළ නොහැකියි

අධි අවධානම් මොහොතක සම්ප්‍රදායික පිළිගැනීම් සහ විශ්වාසයන් මත තවදුරටත් යැපෙනවාද? නැතිනම් වසංගතයට දක්වන හදිසි ප්‍රතිචාර තුළට මානව පැවැත්ම හා ගරුත්වය ඒකාබද්ධ කරනවාද? වඩාත් නිවැරදි තේරීමක් අවශ්‍යයි. ජලය හා පී.සී.ආර් පරීක්ෂණ ඉල්ලූ බන්ධනාගාර රැදවියන්ට වෙඩිතබා ඝාතනය කිරීම, හුදෙකලා කළ අටලුගම ජනතාවගේ පී.සී.ආර් පරීක්ෂණ හදිසියේම නවතා දැමීම සෞඛ්‍ය ආරක්ෂාවට තිබෙන අයිතියට අගුලු දමා වෛරසය නිදහස් කිරීමක් වැනිය. දෛනික පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කළ වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රජා සෞඛ්‍යයට මූලිකත්වය දීම වැදගත් වන්නේ ඒ නිසාය. කළ යුත්තේ සෞඛ්‍ය සේවාවට ප්‍රවේශවීම සම්බන්ධයෙන් පවතින දැඩි කොන්දේසි ලිහිල් කිරීමයි. එහෙත් සිදුවීම්වලින් පැහැදිළි වන්නේ වසංගතය තුළ හානිකර නීති හා ප්‍රතිපත්ති සෞඛ්‍ය සේවාවේ ප්‍රවේශයට අගුලු දමා ඇති බවයි.

වසංගතයට දක්වන ප්‍රතිචාරවලදී පළමුවෙන්ම තේරුම්ගත යුත්තේ ජීවිතයට තර්ජනය වෛරසය මිස ජනතාව නොවන බවයි. එහෙත් ආසාධිතයන් පිළිබඳ වාර්ථාකරණයේදී බලධාරීන්ගේ ප්‍රකාශ මානව ගරුත්වයට හාත්පසින්ම පටහැනිය. ආසාදිතයින් කොටුකර ගැනීමසහආසාධිතයින්ගේ පවුලේ අයවලුන්වැනි කථනයන් ආසාධිතයින්ගේ පවුල්වල  ගරුත්වයට හානිකරයි. රෝගය සැගවීමට මූලිකම හේතුව නම් බලධාරීන්ගේ අපහාසත්මක කථනයන්ය. ආසාධිතයෙක් යනු අපරාදකරුවකු නොවේ. ඔහු රෝගයෙන් පීඩා විදින, හඳිසි සෞඛ්‍ය ප්‍රතිකාර සහ උපකාර අවශ්‍ය පුද්ගලයකි. වෛරීසහගත කථනයෙන්, තර්ජනය කිරීමෙන් හෝ කොටුකිරීමේ මෙහෙයුම්වලින් වෛරසය පාලනය කළ නොහැකිය. පුද්ගලයන් සැක කිරීම සහ ආසාධිතයින් භිය වැද්දීමෙන් වසංගතය තව තවත් ව්‍යාප්තවීම ඉක්මන් කරවයි. මානව පැවැත්ම සහ ගරුත්වය නොසලකා ආසාධිතයින් සතුරන් හෝ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් ලෙස සැලකීම වෛරස පාලනයේදී අවාසිදායකයි. වසංගතය යුද්ධයට සමාන කළ නොහැකිය. යුද්ධය ඉතා සංවිධානත්මක ක්‍රියාවලියක්. සංවිධානය වීමකින් මිස යුද්ධයක් කළ නොහැකිය. නමුත් වෛරසය ඇසට නොපෙනේ. යුද්ධ කිරීමට පුහුණුවක් අවශ්‍ය නමුත් කිසිත් නොකර සිටීමෙන් වසංගතයට පැවැත්මක් ලැබේ. වසංගතයට තව තවත් ප්‍රජා සෞඛ්‍ය අනතුරේ හෙළිය හැකිය. වසංගතය කොතරම් අවධානම් වුවත් බලය යෙදවීම, අත්තඩංගුවට ගැනීම, රදවාතබා ගැනීම, සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහතික කළ යුතුය. වෛරසයට මිස යුක්තියට, සර්ව සාධාරණත්වයට, ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් හා වටිනාකම්වලට අගුලු දැමිය යුතු නැත. එහෙත් වසංගතයට දැමූ අගුලු ප්‍රජාතන්ත්‍රවාදයටද වැටී ඇත. 

ඩ්‍රෝනවලට අපව ආවේක්ෂණය කළ හැකියි, වෛරසය පාලනය කළ නොහැකියි

හමුදාව විසන් යොදා ගන්නා අධි තාක්ෂණික පියාසර කැමරාවලින් අඳුරේ වුවද පුද්ගලයන්ගේ චර්යා හසුකරගත හැකියි. වසංගතය තුළ චීනය විසින් ඩ්‍රෝන ආවේක්ෂණ බහුලව භාවිත කිරීම නිසා මානව හිමිකම් සහ මූලික නිදහස උල්ලංඝණය කිරීම් ඉහළ ගියේය. චීනයේ වැනි දැඩි අධිකාරිවාදී පාලන තන්ත්‍ර පෞද්ගලිකත්වය සහ නිදහස සීමා කිරීමට, අවවාද කිරීමට හා දඩුවම් කිරීමට පවා ඩ්‍රෝන තාක්ෂණය අවභාවිතකර තිබෙනවා. ලංකාව තුළද වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී රජය අධි තාක්ෂණික පියාසර කැමරා හුදෙකලා ප්‍රදේශවලට යෙදවීම මානව අයිතිවාසිකම් හා මූලික නිදහස අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙගුලාසි ඉවත දමමින් ආරක්ෂක අංශවල ඩ්‍රෝන මෙහෙයුම් පුද්ගලයන් භියවද්දන සුලුයි. හමුදාවේ ඩ්‍රෝන හුදෙකලා කළ ප්‍රදේශයක මිනිස් හැසිරීම් ආවේක්ෂණය කරයි. නමුත් අගුලු දැමීමෙන් පීඩාවට පත් ජනතාවට එමඟින් ප්‍රථමාධාර රැගෙන නොයයි. එබැවින් රජයේ පියාසර කැමරා ස්වයං-නිරෝධානයවන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කරනවා මිස නිරෝධානයට පහසුකම් නොදෙයි. මෙය ඉතාම භයානක තත්ත්වයක්. දැඩි ලෙස අගුලු දැමීමකදී අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් වෙනුවට ජල හා විදුලි බිල්පත්, ලීසිං හෝ නිවාස ණය වාරිකපත් ඩ්‍රෝන මඟින් වුව බෙදා හැරීමට රජයට හැකිය. එහෙත් රජයේ පියාසර කැමරාවලට වෛරසය කොටුකර ගත නොහැකිය. 

2020 මැයි මස පැරිස් අධිකරණය විසින් ඩ්‍රෝන ආවේක්ෂණය අත්හිටුවන ලදි. වසංගතය පැතිරීම පාලනය කිරීමට බලධාරීන් ඩ්‍රෝන භාවිත කිරීම “පැහැදිළිවම පෞද්ගලිකත්ව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්”. පැරිස් අධිකරණය එහිදී අවධාරණයකර තිබේ. පුද්ගලික ගැටළු සඳහා වන නීතියකින් විසඳුම් ලබාදෙන තෙක් පැරීසියේ තවදුරටත් ඩ්‍රෝන භාවිත කළ නොහැකිය. ඇfරිකාවේ ප්‍රාන්ත කිහිපයකද වසංගත පාලනයට මුවාවෙමින් ඩ්‍රෝන තාක්ෂණය අවභාවිත කිරීමට එරෙහිව ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ලංකාවේ හුදෙකලා කළ ප්‍රදේශවල පියාසර කරන කැමරා තාක්ෂණයට ආවේක්ෂණය කරගන්නා පෞද්ගලික තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලබාගනී. එහෙත් පෞද්ගලිකත්වයට වන හානිය රජය හෝ ආරක්ෂක අංශ භාර නොගනී. දේශපාලන ප්‍රතිවාදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයන්ට හමුදාවේ ඩ්‍රෝන ආවේක්ෂණය ජීවිත තර්ජනයක් බවට පත්ව තිබේ. 

ජල හිගය හා ඌන සනීපාරක්ෂාව වසංගතයට උත්තේජකයක්

වසංගත ව්‍යාප්තිය තුළ වඩාත් පීඩාවට පත්ව සිටින දිළින්දන්, යාචකයින් හා වැඩිහිටි ප්‍රජාව දිවි ගලවා ගැනීමේ දෛනික අරගලය තුළ ජල හිගයට මුහුණ පා සිටී. ලෝක ජනගහණයෙන් බිලියන 2.2 කට වැඩි පිරිසකට නිතර සබන් යොදා අත් සේදීම වෛරසයෙන් ගැලවීමට විකල්පයක් නොවන්නේ ජලය ප්‍රමාණවත් නොවීම නිසාය. පිරිසිදු ජලය නොමැතිව වසංගත වැලැක්වීමට නොහැකිය. සනීපාරක්ෂාවට ජලය තිබිය යුතුමය. පිරිසිදු ජලයෙන් තොර සනීපාරක්ෂාවක් නැත. එහෙත් දුප්පත් ජනතාව තවමත් සුරක්ෂිත ජල ප්‍රභවයන් වෙත පිවිසීම, පැය ගණන් පෝලිම් ගැසීම හෝ දුර ගමන් කිරීම සහ දූෂිත ජල භාවිතය නිසා සෞඛ්‍යමය බලපෑම්වලින් පීඩාවිදී. වෛරසයේ අවධානම දන්නා නමුත් උග්‍ර ජල හිගයෙන් පෙලෙන ඔවුන් ඉතා අසිරුවෙන් ලබා ගන්නා ජලය නිතර අත් සේදීමට නාස්ති නොකරයි. එසේනම් වසංගතයෙන් මිදීමට ඔවුන් නිතර අත් සෝදන්නේ කෙසේද? අනාරක්ෂිත ජලයෙන් ඇති වන රෝග සහ මූලික සනීපාරක්ෂාව නොමැතිකම සෑම වසරකම යුද්ධය ඇතුළු සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයට වඩා වැඩි පිරිසක් මරණයට පත් කරයි. 

බිලියන 2.3ක ජනතාවකට සනීපාරක්ෂක වැසිකිළි හෝ කැසිකිළි පහසුකම නොමැත. ලොව පුරා අපජලයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් පිරිපහදු නොකර පරිසරයට එකතු වේ. හදිසි අවස්ථාවකදී ජලය අතහැරී ගියහොත් ඉන් අපි පිපාසිතව මියයා හැකිය. සෑම දිනකම වයස අවුරුදු පහට අඩු ළමුන් 800 කට වැඩි ප්‍රමාණයක් අපිරිසිදු ජලය නිසා ඇති වන පාචන රෝගයෙන් මියයයි. 2030 වන විට ලොව පුරා මිලියන 700ක ප්‍රජාවක් දැඩි ජල හිඟයකින් අවතැන් විය හැකි බවට විශේෂඥයින් අනතුරු අගවයි. වසංගතයෙන් දිවි ගලවා ගැනීමට ආරක්ෂිත ජල සැපයුමක් ලබාදීම සහ ප්‍රජා සෞඛ්‍ය අවදානම් අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. හදිසි වසංගත තත්ත්වයකදී විශේෂ පුහුණුවක් සහිත ඉංජිනේරුවන් සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින් සිටිය යුතුය. ඉතා දුෂ්කර අවස්ථාවන්හිදී මහා පරිමාණ ජල සැපයුම් පද්ධති සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් බිද වැටීමේ හැකියාව ඉහළයි. ස්වභාවික ආපදාවලදී මෙන්ම වසංගතයේදී සෞඛ්‍ය ආපදාවට ලක්වන ප්‍රජාවට මූලික අවශ්‍යතා සැපයීමේදී ජනාධිපති කාර්යසාදන බලකායකට හෝ යුද්ධ හමුදාවකට වඩා ප්‍රජා වෛද්‍ය විශේෂඥ බලකායක් ගුණදායකයි.  

හදිසි තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ හොඳ මගපෙන්වීමක් මානව අයිතිවාසිකම්වලින් සපයයි. වෛරසයට එරෙහිව සටන් කිරීමට ප්‍රජා දායකත්වය සහ හැකියාව එමඟින් ඵලදායිව ලබාගත හැකිය. වඩාත් වැදගත් වන්නේ මනුෂ්‍යත්වය, අන්‍යෝන්‍ය ගරුත්වය හා සාමුහිකත්වය තුළින් වසංගතය ඉදිරියේ එකම ප්‍රජාවක් ලෙස ශක්තිමත්වීමයි. අපි යථා තත්ත්වයට පත්වන විට පෙර සිටියාට වඩා යහපත් විය යුතුයි.

*අසංක අබේරත්න – මානව අයිතිවාසිකම් අධ්‍යයන කේන්ද්‍රය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.