24 January, 2021

Blog

වාම ජනතාවාදයක් කරා: පහළොස් වන කොටස – බහු-විධ විමුක්ති ව්‍යාපාරයක අවශ්‍යතාව

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ඉදිරි කාලයේදී ප්‍රමුඛතම ප්‍රශ්නය වනු ඇත්තේ ආහාර බව මම මින් පෙර ලියූවෙමි. දැනටමත් අප රටේ නිසි අහරක් නොමැති ජනයාගේ විරෝධතා මතු වන්නට පටන් ගෙන තිබේ. අද දිනයේ ගෝලීය වශයෙන් උද්ගතව පවතින තත්ත්වයද එයයි. මිනිස් වර්ගයා දැන් සිටින්නේ පසුගිය අඩ සියවස තුළදී මුහුණ දුන් බරපතලම ආහාර අර්බුදය ඉදිරිපිට ය. මෙසේ කියන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනේ අලුත්ම වාර්තාවයි. “අප වහ වහාම ක්‍රියාත්මක නොවුවහොත්, ආහාර පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් පැන නගිනු ඇතැයි” එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසා ඇත. ඒ අතර මේ වසරේදී තවත් මිලියන 50 ක පමණ ජනතාවක් අන්ත දරිද්‍ර මට්ටමට ඇද වැටෙනු ඇතැයි එක්සත් ජාතීන් විසින් ගණන් බලනු ලැබ තිබේ.

ඉදිරියේ එන මෙම බරපතල අර්බුදයට මුහුණ දීම සඳහා එක් අතකින් ගෝලීය සහයෝගීතාවත් අනෙක් අතින් ගම් නගර මට්ටමින් ගොඩ නැගෙන ප්‍රජා සහයෝගීතාවත් වුවමනා වේ. වෙනත් ආකාරයකින් කිව හොත්, බාහිරව (පිටත ලෝකයට විවර වීම මගින්) සේම අභ්‍යන්තරිකවද (ප්‍රාදේශීය ප්‍රජාමූලික මැදිහත්වීම් මගින්) ජාතික රාජ්‍යයේ බලය දුර්වල විය යුතුය. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිදු වෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි. එනම්, අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙස ජාතික රාජ්‍යයේ බලය ශක්තිමත් කළ යුතුය යන දෘෂ්ටිවාදය වඩා බලවත් වීමයි. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂක රාජ්‍යයක් කරා පරිවර්තනය වීමේ භයානක පෙරනිමිති දැනටමත් පහළ වී තිබෙන බව පසුගිය “රාවය” පුවත්පතට ලියූ අනර්ඝ ලිපියකින් විදර්ශන කන්නන්ගර පෙන්වා දී තිබිණ.

වඩ වඩාත් ශක්තිමත් වෙමින් පවතින අධිකාරීවාදී රාජ්‍යය සක්‍රීය ප්‍රජා සහභාගීත්වය අධෛර්යමත් කරනු ඇත. මෙරට දැනටමත් සිදුවෙමින් පවතින්නේ එයයි. ඇතැම් වෛරස් ආසාදිතයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමෙන්ද, සැලකිය යුතු රෝගීන් පිරිසක් නිවෙස් තුළ මරණයට පත් වීමෙන්ද ගම්‍ය වන්නේ එයයි. ආසාදිතයින්ව පිළිගැනීම සඳහා පැමිණෙන්නේ මිලිටරිය නම්, ආසාදිතයින් අපරාධකරුවන් යැයි හැඟී යන පරිදි මාධ්‍ය තුළ නිරූපණය කරනු ලබන්නේ නම් ඔවුන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් වීමට බිය වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අනුව, වඩ වඩාත් ශක්තිමත් වන අධිකාරීවාදී රාජ්‍යය වත්මන් අර්බුදය තවත් උග්‍ර කරනු විනා එය ප්‍රශස්ත ලෙස විසඳීමට අසමත්ය. අර්බුදය හුදෙක් ආර්ථිකමය වූවක් පමණක් නොවන්නේ එබැවිනි. එහි වැදගත් දේශපාලනික සහ සමාජමය පැතිමාන රැසක් පවතී.

අර්බුධයේ බහු විධ ස්වරූප

ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙන පරිදි වසංගතය විසින් සිදු කොට ඇත්තේ නව අර්බුධයක් නිර්මාණය කිරීම නොවේ; අප ඒ වන විටත් ගිලී සිටි ධනවාදයේ අර්බුදය වෙත අපව නිරාවරණය කිරීමය. මෙතෙක් කලක් ධනවාදයේ අර්බුධය වසන් කරන්නට දායක වූ දෘෂ්ටිවාදී වහන්තරාව කොවිඩ් 19 හි ප්‍රහාරය විසින් ඉරා දමනු ලැබ තිබේ. දැන් අපව “සැබෑවේ කාන්තාරයට” විසි කර දමනු ලැබ ඇත. මෙහිදී ලුවී අල්තුසර් වැන්නෙකු පැමිණ අපට පෙන්වා දෙනු ඇත්තේ සැබෑ ලෝකය (ඔහුට අනුව, සංයුක්ත තත්ත්වය) තුළ පවතින්නේ එක් ප්‍රතිවිරෝධතාවක් පමණක් නොවන බවයි. සැබවින්ම පවතින්නේ ප්‍රතිවිරෝධතා ගණනාවක අතිපිහිත වීමකි. සරලව කිව හොත්, වත්මන් අර්බුදය වටහා ගත යුත්තේ ආර්ථිකමය ප්‍රතිවිරෝධයට එය ලඝු කිරීමෙන් නොවේ; සෙසු දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය සහ සදාචාරමය අර්බුධයන් දෙසද අපගේ විශ්ලේෂණාත්මක ඇස යොමු විය යුතුය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත හොත්, වික්ටර් අයිවන් නිතර පවසන පරිදි අපගේ සමස්ත සමාජ දේශපාලනික දේහයම පවතින්නේ කුණු වී ගඳ ගහන තත්ත්වයකය. අධ්‍යාපනික ක්ෂේත්‍රය නිදසුනකට ගනිමු. වත්මනෙහි පාසැල් අධ්‍යාපනය විසින් නව පරම්පරාව පුරුදු පුහුණු කරනු ලබන්නේ එකිනෙකා කපාගෙන ඉදිරියට ඒමේ අනවරත තරඟකාරීත්වයක් සඳහාය. එයින් තැනෙන්නේ තෝමස් හොබ්ස් කතා කළ ආකාරයේ “සියල්ලන් සියල්ලන්ට එරෙහි යුද්ධයක්” වැනි තත්ත්වයකි. ලිබරල් අධ්‍යාපනයේ මූලික අරමුණක් වන පොදු පුරවැසි විඥානයක් ගොඩ නැගීම පවා එයින් ගිලිහී ගොස් තිබේ. දවස පුරාම පාසැල් පන්ති කාමර තුළත් පුද්ගලික ටියුෂන් පන්ති තුළත් ගත කරන්නට නියම වී සිටින ශිෂ්‍යයා වනාහී ධනවාදය තුළ ඒකමානීය මිනිසෙකු (One dimensional man) නිර්මාණය වීම පිළිබඳ දුක්ඛිත නිදසුනකි.

මෙරටට අදාළ තවත් සුවිශේෂී ගැටළුවක් වන්නේ 19 වන සියවසේ අග භාගයේ සිට මෙරට ලෞකික අධ්‍යාපනය ආගමික සහ ජනවාර්ගික බෙදීම් පුනර්-නිෂ්පාදනය කරන්නා වූ යාන්ත්‍රණයක් බවට පත් වීමයි. එම ගැටළුවේ මූලයන් ඇත්තේ යටත් විජිතවාදී මිෂනාරී පාසැල්වලට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස එක් පසෙකින් බෞද්ධ පාසැල්ද අනෙක් අතින් හින්දු සහ මුස්ලිම් පාසැල්ද ගොඩ නැගීමේ උත්සුකයයි. ස්වදේශික ප්‍රභූ ජාතිකවාදීන් තම යටත් විජිත ස්වාමියාට ප්‍රතිචාර දැක්වීමේදී යටත් විජිත ප්‍රවේශයම කොපි කිරීමේ ප්‍රතිපලය වී ඇත්තේ එයයි. මීට අමතරව වරප්‍රසාදිත පාසැල් තැනීම මගින් සමාජයීය පන්තිමය අසමානත්වය පුනර්-නිෂ්පාදනය කිරීමේ භූමිකාවට අන් කිසිදු කලෙක නොවූ විරූ තරමින් පාසැල් අධ්‍යාපනය දායක වෙමින් තිබේ. එහි ආන්තික වර්ධනයක් ලෙස අද දිනයේ ජාත්‍යන්තර පාසැල් සහ ජාතික පාසැල් අතර අති විශාල අසමානත්වයක් ගොඩ නැගී ඇත.

මේ ආකාරයෙන් මිනිසුන්ගේ කලා සංස්කෘතික ජීවිතය, ආගම සහ ජනවාර්ගික සබඳතා, පවුල් සහ ඥාතීත්ව සබඳතා, ආදරය සහ මිත්‍රත්වය ඇතුළු බොහෝ කලාපයන් තුළ අර්බුද උග්‍ර වෙමින් ඇත. එබැවින් මෙය සදාචාරමය අර්බුධයක් ලෙස හැඳින්විය හැකිය. එම අර්බුධයෙන් ගොඩ ඒමේ මගක් සොයා ගැනීමට අසමත් වීම මගින් ගම්‍ය වන්නේ ඒ හා සමාන්තරව යන බුද්ධිමය අර්බුධයක්ද පවතින බවය. එම සියලු අර්බුධ නිමා නොවී ඔහේ ඇදි ඇදී යයි. අලෙන්කා සුපැන්ජිච්ව උපුටා දක්වමින් ශිෂෙක් පවසන පරිදි, අවසානය අවසන් නොවේ. අද අප ගෝලීයවත් ස්වදේශිකවත් සිටින්නේ එවන් පර්යාලෝකයක් තුළය.

ධනවාදය ශිෂ්ටාචාරයක් ලෙස ගැනීම

අප අර්බුධය බහු-විධ වූවක් යැයි පිළිගන්නෙමු නම්, එයට විසඳුම් ඉදිරිපත් කිරීමේදී ද වඩා සාර්ව ප්‍රවේශයක් ගත යුතුය. වෙනස් ආකාරයෙන් කිව හොත්, ධනවාදයේ අර්බුධය පිළිබඳ ගතානුගතික මාක්ස්වාදී විශ්ලේෂණයෙන් ඔබ්බට ගමන් කරන්නට වාමාංශිකයින් සමත් විය යුතුය. මේ කාරණය මදක් පැහැදිලි කළ යුතුව ඇත. ගතානුගතික මාක්ස්වාදී ඉගැන්වීම් තුළ ධනවාදයේ අර්බුධය තේරුම් කරනු ලබන්නේ ආර්ථික අර්බුධයක් ලෙසය. ගතානුගතික මාක්ස්වාදී සාහිත්‍ය තුළ බොහෝ වාද විවාද සිදුව ඇත්තේ ආර්ථික අර්බුධය දේශපාලනික අර්බුධයක් බවට පරිවර්තනය වන්නේ කෙසේද යන ප්‍රශ්නය අරභයා ය. නමුත්, ඊට වෙනස් ප්‍රවේශයක් අපට මාක්ස්වාදී සාහිත්‍ය තුළින්ම සොයා ගත හැකිය. ඒ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ “සිර ගෙදර සටහන්” ය.

ග්‍රාම්ස්චි ධනවාදය සලකා බලා ඇත්තේ හුදෙක් දේශපාලන අර්ථ ක්‍රමයක් ලෙස පමණක් නොවේ. ධනවාදය යනු ශිෂ්ටාචාරයකි. ඒ විසින් ධනවාදී මිනිස් සත්තාවක් ද නිර්මාණය කොට තිබේ; ධනවාදී ලෙස සිතන මතන, වැඩ කරන සහ තම දෛනික ජීවිතය සංවිධානය කර ගන්නා මනුෂ්‍යයෙකු නිර්මාණය කොට තිබේ. එම ධනවාදී මිනිසා ගොඩ නංවනු ලබන්නේ (සහ පුනර්-නිෂ්පාදනය කරනු ලබන්නේ) පවුල, ආගම, අධ්‍යාපනය සහ සංස්කෘතිය ඇතුළු දෘෂ්ටිවාදී උපකරණ පද්ධතියක් මගිනි. ඒ අනුව, ධනවාදය අප තුළමත් පවතී. මෙම තේරුම් කිරීම මගින් අපව මෙහෙයවන්නේ ධනවාදයට එරෙහි අරගලය ආර්ථික පන්ති අරගලයට සීමා නොවිය යුතුය යන නිගමනය කරාය.

ප්‍රති-හෙජමොනික අරගලය

හොඳයි. එසේනම් එය වෙනස් කරන්නේ කෙසේද? මා මින් ඉහත ලිපි මගින් පැහැදිලි කළ පරිදි වාමාංශය හුදෙක් විරෝධතා දේශපාලනයේ සිරවී නොසිට ප්‍රතිජනනාත්මක දේශපාලනයකට ප්‍රවේශ වීම මේ සඳහා යෝජනා කළ හැකි ග්‍රාම්ස්චියානු මාවතයි. ග්‍රාම්ස්චි යළි යළිත් අවධාරණය කළ කාරණයක් නම්, ධනවාදයට එරෙහි අරගලයේදී බුද්ධිමය සහ සදාචාරමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි. අදට ගලපා කිව හොත්, පාලක පන්තිය මුළුමනින්ම තම අසමත්භාවය ප්‍රදර්ශනය කොට තිබෙන අධ්‍යාපනික, සංස්කෘතිකමය සහ සදාචාරමය ජීවිතයට අදාළ ගැටළුවලට වම ප්‍රවේශ විය යුතුය. එයද අරගල බිමකි. මින් ඉහත අප සාකච්ජා කළ අධ්‍යාපනික ක්ෂේත්‍රයම යළිත් සැලකිල්ලට ගනිමු. විභාග ඉලක්ක කොට ගත් රේස් දුවන අධ්‍යාපනයට අනියමින් සහාය වන අතුරු කාර්යයන් කිරීමෙන් (ගමේ දරුවන්ට ටියුෂන් දීම, පරිගණක ලබා දීම වැනි) කිසිදු මූලධාර්මික වෙනසක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ වෙනුවට, ජීවිතය සහ ලෝකය පිළිබඳ නව දැක්මක් සපයන ප්‍රජාමූලික අධ්‍යාපනයක් ගැන අපට කල්පනා කළ නොහැකිද?

මගේ අදහස නම් නීරස ඒකාකාරී නිල අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ලෝකය ගැන අලුත් දැක්මක් සපයන අධ්‍යාපනයකට විශේෂයෙන්ම යොවුන් පරපුර ආකර්ෂණය කර ගත හැකිය. වඩා විචිත්‍ර සහ බහු විධ මානවීය සංස්කෘතික නිර්මාණ උරුම කර ගන්නට ඔවුනට වුවමනාය. ගෝලීය විකල්ප දැනුම පිළිබඳ පිපාසයක් ඔවුනට තිබේ. අලුත් චිත්‍රපටයක් ගැන, ගීතයක් ගැන, බුද්ධිමය විවාදයක් ගැන දැන ගන්නට ඔවුන් ආශා කරයි. පුද්ගලිකව, මගේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අතුරින් මට එවන් පිරිස් මුණ ගැසේ. විශ්ව විද්‍යාලයට පැමිණීමේ අවස්ථාව අහිමි වූ තරුණ තරුණියන් අතරද රටේ සෑම පෙදෙසකම එවැන්නන් සිටින බව මගේ විශ්වාසයයි. යෞවන පරම්පරාව ගැන වැඩිහිටි පරම්පරාවේ බොහෝ වාම බුද්ධිමතුන් අතර තිබෙන නිශේධනීය ආකල්පය මම බෙදා ගන්නේ නැත. යෞවනයන් හට දේශපාලන සාක්ෂරතාවක් නොමැති නම්, එය වැඩිහිටි පරපුරේ වාමාංශිකයින්ගේ ගැටළුවකි. අසමත්භාවය ඇත්තේ යෞවනයින් වෙත නව දැනුම සහ සංස්කෘතිය රැගෙන යාමේ විලාසිතාව නොදත් වැඩිහිටි ප්‍රබුද්ධයන් තුළය. අපට සැබවින්ම පවත්නා තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම්, අපට අපගේ අපේක්ෂාවන් රඳවා ගන්නට සිදුවන්නේ පළමුව තරුණයින් මතය. ඔවුන් වෙත ප්‍රවේශ වීමේ සංස්කෘතිකමය සහ බුද්ධිමය පාලම් තනා ගන්නේ කෙසේද යන්න වාමාංශිකයින්ගේ ප්‍රමුඛ අවධානයට ලක් විය යුතුව ඇත.

දුයිෂෙන් ආදර්ශය

ඉහත විස්තර කළ ආකාරයේ වාමාංශික බුද්ධිමය සහ සදාචාරමය ප්‍රතිසංස්කරණයක් කරන්නට නම්, පළමුව වාමාංශය තුළමත් වැදගත් පරිවර්තනයක් සිදු විය යුතු බව පැහැදිලිය. වමේ පක්ෂ කාර්යාල සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් විය යුතු බව මම මින් පෙර පවසා ඇත්තෙමි. එහි අදහස වන්නේ ගමේ නගරයේ මිනිසුන් නව දැනුම සහ සංස්කෘතිය සොයා එන ක්ෂේම භූමීන් බවට ඒවා පත් විය යුතුව තිබේය යන්නයි. නමුත්, ප්‍රශ්නය වන්නේ එය කරන්නේ කව්රුන් ද යන්නයි. මේ ප්‍රශ්නය ගැන කල්පනා කරන විට වත්මන් වාමාංශික දේශපාලන සංස්කෘතියේ තවත් ගැටළුවක් හෙළිදරව් වේ. එනම්, බොහෝ විට සමකාලීන යෞවනයාට/යෞවනියට වමේ ක්‍රියාකාරීන් තුළින් පිළිඹිබු වන්නේ අතීත යුගයක් වීමයි. වත්මන් වමේ ක්‍රියාකාරීන් බොහෝ විට තමන්වමත් නිරූපණය කර ගන්නේ දැන් බොහෝ කලකට පෙර කඩා වැටුණු විසි වන සියවසේ සමාජවාදයේ පිළිඹිබුවක් ලෙසය (වැඩිමනත්ම බෝල්ෂෙවික් ප්‍රතිරූපය). ඉදින්, එය වත්මන් ලෝකය තුළ ආකර්ෂණීය නොවීම පුදුමයක් නොවේ. ශිෂෙක් නැවත නැවතත් පවසන පරිදි විසි වන සියවසේ සමාජවාදය දැන් අවසන්ය. අප නව සියවසේ සමාජවාදයක් ගැන සිතිය යුතුය. වමේ ක්‍රියාකාරිකයා අතීතයෙහි නොව අනාගතයෙහි පිළිඹිබුවක් විය යුතුය. එබැවින්, වමේ නව ඓන්ද්‍රීය බුද්ධිමතුන් පරම්පරාවක් ගොඩ නගා ගැනීමේ අභියෝගය මෙහිදී මග හැර යා නොහැකිය.

මේ විග්‍රහය නිමා කිරීම සඳහා මෙරට වමේ පරම්පරා කිහිපයක් අතරම ජනප්‍රිය වී ඇති “ගුරු ගීතය” නවකතාවේ එන දුයිෂෙන් ආදර්ශය ගෙන හැර දක්වන්නට මම කැමතිය. (වත්මන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අතරද දුයිෂෙන් ගැන සංවාද සිදු වේ. තරුණයින් ගැන අපේක්ෂාවන් අත් නොහළ යුතුය යන්නට එය තවත් කුඩා නිදසුනකි). දුයිෂෙන් යනු රුසියාවේ කුඩා දරිද්‍ර ගම්මානයකට විප්ලවයේ පණිවිඩය රැගෙන ගිය ක්‍රියාකාරිකයෙකි. ඔහු කළේ හුදු විරෝධතාවන්ට සීමා වූ දේශපාලනයක් නොවේ. ඔහු ඒ වෙනුවට යමක් ගොඩ නැගීය. ඒ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් තැනූ කුඩා පාසැලකි. දුයිෂෙන් පසුගාමීත්වයේ ගිලී සිටි දිළිඳු ගම්මානයකට නව ලෝකයේ ආලෝකය රැගෙන ගියේය; ඔහු පාසැලක් ගොඩ නැගීමෙන් නව සංස්කෘතියක පදනම සැකසීමේ සමාජ විපර්යාසකාරක ක්‍රියාවට නායකත්වය දුන්නේය. ඔහු තම සිසුන් සමග එක්ව සිටවූ පොප්ලර් ගස් දෙකින් සංකේතවත් වන්නේ එයයි. දුයිෂෙන් යනු ග්‍රාම්ස්චියානු ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. දුයිෂෙන් යනු අනාගත වාමාංශය යි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ගෝඨාභය රාජපක්ෂට චන්දෙ දුන්නු සිංහල බෞද්ධයන් දැන් වඳුරාගෙයි කිඹුලගෙයි කතාවේ, ගඟ මැද හරියේ ඉන්නේ. කතාව මොකක්ද?
    ඔන්න එකමත් එක ගමක දියේ ඉන්න කිඹුලිට ගොඩ ඉන්න වඳුරගේ හදවත ආහාරයට ගන්න ඕනේ කිව්වහම, කිඹුලා ගිහින් වඳුරට ලොකු මානුෂියභාවයක් පෙන්වල කිව්වා, ඔය ඉවුරේ වැඩිය කෑම නැහැනේ, අර එහා ඉවුරේ අඹ, ජම්බු පිරිලා, එන්න එක්කන් යන්න කියල. කිඹුලා තමන්ගේ ජාතියෙත් නෙමෙයි, කන්නෙත් වඳුරු මස් කියල දැන දැනම ඉතින් වඳුරත් ජම්බු තියෙනවැයි කියන, කලින් නොදැකපු අනිත් ඉවුරට යන්න කිඹුලාගේ පිටට නැග්ග. ටිකක් දුර යනකොට වඳුරට තේරුණා දීපු පොරොන්දු වතුරේ දියවෙලා තමන් ටික ටික ගිලෙන්න යනව, ඒ මොකොද කිව්වා නම් වතුර උඩ ගිය කිඹුලා තමන්ගේ වරිගේ හැටියට ටික ටික වතුර යටට යන්න ගත්ත. වඳුරා ඒ ගැන ඇහැව්වහම කිඹුලා කිව්වා, කිඹුලෝ කවදද වඳුරන්ට ජම්බු දුන්නේ, මම ඔඹව අරන් යන්නේ ජම්බු දෙන්න නෙමෙයි හදවත කන්න කියල.
    දැන් නූතන කතා වස්තුවේ කිඹුලව බලයට ගෙනාපු වඳුරෝ ටික තමන්ව ගිල්ලවන්න ඔන්න මෙන්න තියෙන තැන ඉන්නේ. හැබැයි අතීත කතාවේ වගේ නෙමෙයි, නූතන කතාවේ වඳුරන්ට දැන් කිඹුලගේ පිට උඩ නින්ද ගිහින් තියෙන්නේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.