Colombo Telegraph

මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය

අශාන් වීරසිංහ

යමක් කිරීම සඳහා ඍජු තීරණයක් ගත යුතු තැන එසේ නොකිරීමෙන් ඉතිරි වන්නේ පශ්චාත්තාපයක් හා අනවශ්‍ය කරදර ජාලයක් පමණි. 2015 ජනවාරි 08 දින එළැඹි ඓතිහාසික හැරවුම් ලක්ෂය පෙනි පෙනී බහුතර ශ්‍රී ලාංකික පුරවැසියෝ ඒ මොහොතේ ගත යුතුව තිබුණු හොඳම තීරණය, හොඳම ආකාරයට ගත්හ. ශ්‍රී ලංකා ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව මෙම ජනතා තීරණයයි. ජනතාව මෙහිදී පෙන්වා දුන්නේ එකම කරුණකි. එනම්, ‘මහින්ද දෘෂ්ටිවාදය සහිත’ සහ ‘මහින්ද දෘෂ්ටිවාදය රහිත’ ලෙස වර්ග කළ හැකි යුග දෙකක් ඇති බවත්, තමන් මේ දෙකෙන් තෝරා ගැනීමට කැමති ‘මහින්ද දෘෂ්ටිවාදය රහිත’ යුගය බවත් ස්වකීය ජනතා පරමාධිපත්‍යය ඇසුරින් පෙන්වා දුන් ඔවුන් කිසි විටක ‘පශ්චාත්-මහින්ද-දෘෂ්ටිවාදී යුගයක්’ තමන්ට අවශ්‍ය බවට ඉඟි පළ කිරීමක්වත් සිදු කළේ නැත. මේ කාරණයේදී පුරවැසියා ප්‍රකට කළ වැදගත්ම හා වඩාත් සාධනීය දේශපාලනික ප්‍රවණතාව ලෙස හැඳින්විය යුත්තේ රට සහ සමස්ථ ජාතිය වෙනුවෙන් යළි උදා නොවන තීරණාත්මක වරයක් තමන් ඉදිරියේ ඇති මොහොතක ‘රට’ සහ ‘පක්ෂය’ යන සාධක දෙකෙන් පළමුවැන්න තෝරා ගැනීමට දෙවරක් නොසිතිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජරාජීර්ණ දේශපාලන ක්‍රමය පිළිබඳ දැඩි පිළිකුළකින් පසු වූ අය පවා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එදින ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කළහ. එතෙක්, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සමග දැඩි ලෙස බැඳී සිටි අය පවා තමන් අපේක්ෂා කළ ‘පොදු පරිවර්තනය’ වෙනුවෙන් සිය පක්ෂවාදය වෙනස් කරගත්හ. ජනතාවට එදින ඇත්තටම අවශ්‍ය වූයේ ඉහත කී කවර යුගයද යන්න අනුමාන කිරීමට පහසුම ආකාරය මේ බව සිහිපත් කිරීමයි. ජනවාරි 09 වැනිදා සිට දූෂිත මහින්ද රෙජීමය හා ඊට දරදිය ඇදීමෙහි නිරත වෙමින් සාහසික ලෙස රට සූරා කමින් සිටි තවත් දූෂිතයින් රැළක්ම බලයෙන් පහ කර ‘අදහස් මාත්‍රික යහපාලනයක්’ ඇති කිරීමට හැකි වූයේ ජනතාව විසින් ගනු ලැබූ මෙම තීරණය නිසාය.

එහෙත් එය ‘අදහස් මාත්‍රික යහපාලනයකින්’ ඔබ්බට ගිය දෙයක් නොවන බව කීමට සිදු වන්නේ ඊට ඉතාම කෙටි කලකට පසුව රජය විසින් ගනු ලැබූ ඇතැම් තීරණ සලකා බලමිනි. දේශපාලන විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් හා පරිචයක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා good governance හෙවත් යහපාලනය යන සංකල්පයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න ගැඹුරින්ම දැන සිටින බවට සැකයක් නැති නමුදු වත්මන් ආණ්ඩුවේ පොදු න්‍යායපත්‍රය තුළ එයද තවත් එක් දේශපාලනික සන්නාමයකට වැඩි යමක් නොවන බව පෙනී යයි. මට පෙනෙන හැටියට ඔවුන් එය භාවිත කරන්නේ ‘හොඳ පාලනය’ යන අති සරල අර්ථයෙනි. එහෙත්, දේශපාලන විද්‍යාව තුළ යහපාලනය යන්න ගැඹුරු කතිකාවක් බව වත්මන් ආණ්ඩුව දැන සිටි යුතුය. ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස් වාතාවරණයක් තමන් නිර්මාණය කළ නිසා තම ආණ්ඩුව යහපාලනය ගරු කරන බවට නොයෙක් පම්පෝරි ගැසීම්වල මේ අය නිරත වුවද ලෝක බැංකුව හා එක්සත් ජාතීන් විසින් පළ කර තිබෙන විග්‍රහයන්ට අනුව ‘යහපාලනයේ’ නිර්වචනීය ලක්ෂණ ගැන මොවුන් සිහිනෙන්වත් කල්පනා කර තිබේද යන්න සැක සහිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ඇති ආකාරයට යහපාලනයේ මූලික ලක්ෂණ අටක් ඇත: (1). ජනතා සහභාගීත්වයට ගරු කිරීම, (2). පොදු එකඟතාව, (3). වගවීම, (4). විනිවිදභාවය, (5). ප්‍රතිචාරාත්මකභාවය, (6). සාර්ථක හා දක්ෂ බව, (7). සාධාරණත්වය සහ (8). නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම එම ලක්ෂණ අටයි.

2015 ජනවාරි 08 වැනි දා පොදු අපේක්ෂකයා වටා ඒකරාශී වූ ජනතාව ඔහුව ජනාධිපති කරනු පිණිස ඡන්දය පාවිච්චි කළේ එතෙක් පැවති මහින්ද රෙජීමයේ දූෂිතභාවය වචනයෙන් විස්තර කළ නොහැකි තරමට රටේ පුරවැසියාව පීඩනයට ලක් කර තිබුණු හෙයිනි. අසීමිත මූල්‍ය වංචා, මිනීමැරුම්, දේශපාලනික පළිගැනීම්, ජාතිවාදය, රැවටීම, බොරුව, මාධ්‍ය මර්ධනය හා රාජ්‍ය මාධ්‍ය අවභාවිතය වැනි මහින්ද දෘෂ්ටිවාදයේ නෛසර්ගික ලක්ෂණ තවදුරටත් දරා සිටිය නොහැකි මට්ටමකට උච්ච වීමෙන් අනතුරුව එය පරාද කළ යුතුය යන තැනට රටේ පුරවැසියෝ පැමිණියහ. එහෙත්, ඒ මහින්ද රාජපක්ෂ නමැති තනි දේශපාලඥයාව පරාජය කිරීමේ අරමුණින් පමණක් නොවේ. මෙම ඓතිහාසික මොහොතේදී ජනතාවට අවශ්‍ය වූයේ මහින්ද රෙජීමය, එනම් මහින්ද දෘෂ්ටිවාදයේ දේශපාලනික බලවේගය, වඩාත් සරලව කියනවා නම් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සාටකයේ එල්ලීගෙන හොරකමේ හා මැරකමේ යෙදුණු ඔහුගේ සහචරයින් පිරිස පන්නා දැමීමයි. රට තුළ අමුතු දේශපාලනික වෙනසක් අවශ්‍ය බව ජනතාවගේ මතය විය. සිය පාලන කාලය තුළදී ඉතාම අන්තවාදී ඒකාධිපති පාලනයක් ගෙන යමින් තමාගේත් තම පවුලේත් හිතසුව පමණක් සිහි තබාගෙන ජනතාව බියවද්දමින් සුළු ජාතීන් අසීමිත පීඩනයකට හා හිංසනයකට පත් කරමින් මහින්ද ගෙන ගිය පාලනයට උඩගෙඩි දුන්නේ මෙරට දේශපාලනයේ පැලපදියම් වී ඇති ධර්මතාවක් වන අවස්ථාවාදී දේශපාලනය සිය එකම දහම බවට පත්කර ගත් දූෂිත දේසපාලුවන් පිරිසක් හා ඔවුනට කඩේ යාම තුළින් පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට පුරුදුව සිටි නිලධාරීන් පිරිසක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මහින්ද හොරා කෑවේ තනිවම නොව ඔහුගේ හොර රංචුවද එකතු කරගෙනය. ජනතාවට එපා වී තිබුණු දෙය මෙයයි. ‘මහින්ද තවදුරටත් එපා’ යැයි සිතන්නට හා ඒ අනුව කටයුතු කරන්නට ඔවුන්ට අවශ්‍ය වූයේ මේ හේතුව මතයි. එහෙත් අවසානයේදී සිදු වූයේ කුමක්ද?

ජනාධිපති භූමිකාව තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම මහින්ද රාජපක්ෂගේ රස්තියාදුකාර හා මැර හැසිරීමට වඩා සහමුලින්ම වෙනස් වුවද, ඔහු මහින්දට වඩා අතිශයින්ම සභ්‍ය, ශිෂ්ට හා සංස්කෘතිකවත් අයෙකු වුවද, ඔහු මහින්ද මෙන් ආගම අවභාවිත කරමින් මිථ්‍යා විශ්වාස පසුපස හඹා යමින් බුදුසමයට නින්දා කළ අයෙකු නොවූවද, ජනාධිපති තනතුරට පත් වීමෙන් අනතුරුව ගනු ලැබූ ඇතැම් තීරණවලදී ‘මහින්ද දෘෂ්ටිවාදය’ අභිබවා යාමට අවශ්‍ය දේශපාලනික නිර්භීතකම ඔහුට තිබුණේද? ජනාධිපතිවරයා වශයෙන් කොන්ද පණ ඇති තීරණ ගත හැකිව තිබූ අවස්ථා කිහිපයක්ම මග හරින්නට ඔහුට සිදු වූයේ ඇයි?

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් වැඩි කල් යන්නට ප්‍රථම පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් හා වෙනත් තනතුරු දරමින් ජනතාවට දේශපාලනය යන වචනය පවා අප්‍රසන්න තැනට පත් කළ, දිනන පැත්තට පනින දේශපාලනික ගෙම්බන් කිහිප දෙනෙකුටම ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දීමට තීරණය කළේ ඇයි? මීට එකම හේතුව ජනාධිපතිවරයා වශයෙන් පක්ෂවාදයෙන් මිදෙන්නට පෞරුෂයක් මෛත්‍රීට නොමැති වීමද? ජනවාරි 08 වැනි දා ජනතාව සිය ඡන්දය පාවිච්චි කරමින් මහින්ද හා ඔහුගේ හොර නඩය පළවා හැරියේ තවදුරටත් තමන්ට ඔවුන් අනවශ්‍ය නිසා බව දැන දැනම තමා යටතේද ඔවුන් වෙත තාන්න මාන්න දීමට සිදු වන තැනට ඔහු වැටුණේ ඔහුද මේ දූෂිත දේශපාලනයේම ගොදුරක් හෙයින්ද?

රට තුළ ඇති වූ වෙනස තවදුරටත් ස්ථාපිත කරනු පිණිස එඩිතර තීන්දු ගැනීමේ පසුබිම මෛත්‍රී වෙනුවෙන් ඉතා ශක්තිමත්ව නිර්මාණය වී පැවති බව අප සිහිපත් කළ යුතුය. එය පෙර කිසි දිනක දැකිය නොහැකි වූ තත්ත්වයකි. පෙරද සඳහන් වූ පරිදි, අවසාන අඩියේදී මහින්ද රෙජීමයේ දූෂණය පැවතියේ තවදුරටත් ජනතාවට දරාගත නොහැකි තරම් උච්ඡස්ථානයකය. මේ තත්ත්වය තුළ පෙරළිකාර දේශපාලනික වෙනසක් අප රටට අවශ්‍ය බව බොහෝ දෙනාට ඒත්තු ගොස් තිබුණි. මේ නිසා, දූෂණය, වංචාව හා දේශපාලනික අසංස්කෘතිකවත්භාවය තුරන් කිරීම වෙනුවෙන් මෛත්‍රී ගන්නා ඕනෑම තීරණයක් සඳහා විද්වතුන්, සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන් ආදී බොහෝ පාර්ශ්වයන්හි සහාය සූදානමින් පැවතුණි. එවැනි පසුබිමක් තුළ මෛත්‍රී විසින් ගත යුතුව තිබුණේ පක්ෂයේ පැත්ත නොව රටේත් සමස්ථ ජාතියේත් පැත්තයි. එහෙත්, ජනාධිපතිවරයා වශයෙන් රටට නායකත්වය දෙන අතරම සිය දේශපාලන පක්ෂය රැක ගැනීමේ අවශ්‍යතාවක්ද ඔහුට ඇති බවක් ප්‍රකට විය. මෙය කණගාටුදායක තත්ත්වයකි. එසේම, රටේ ජනාධිපතිවරයා මෙලෙස දේශපාලන පක්ෂයක සුරක්ෂිතභාවය සහතික කරනු පිණිස කැප වී කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක නොවන්නේද මේ රටේ සියලුම දෙනා ශ්‍රීලනිප කාරයන් නොවන හෙයිනි. පක්ෂ දේශපාලනය අභිබවා යමින්, සියලු අභියෝග භාරගන්නට තමන් සූදානම් බව කියමින්, රටටම යහපතක් වන ‘පොදු’ අරමුණක් වෙනුවෙන් මෛත්‍රී ඉදිරිපත් වූයේ අවංක හැඟීමෙන් නම්, ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව ඔහුගේ දේශපාලනික චින්තනයේ ‘පොදු’ බවද රැක ගනිමින් ඇතැම් අවස්ථාවල රට වෙනුවෙන් කෙලින් තීරණ ගැනීමට ඔහු පැකිළෙන බවක් හැඟෙන අයුරින් කටයුතු කිරීම පුදුමසහගතය.

මහින්දට සාපේක්ෂව බලන කල මෛත්‍රී ශිෂ්ටසම්පන්න පුද්ගලයෙකු බව පිළිගත හැකි වුවද ජනතා පරමාධිපත්‍යය විසින්ම ප්‍රතික්ෂේප කරනු ලැබූ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් තරග කිරීම සඳහා නාමයෝජනා දීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?. අප යමක් හෝ යමෙකු ‘එපා’ කියන්නේ එපාම නිසා මිස ‘ටිකක් එපා’ නිසා නොවේ. වාච්‍යාර්ථයෙන් ගත්තද ‘එපා’ යනු ‘ඕනෑ’ යන්නෙහි විරුද්ධ පදයයි. එහෙව් මහින්දට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් නාමයෝජනා දීම සැලකිය යුත්තේ තමා වෙනුවෙන් අභීතව ගොඩනැගුණු පුරවැසි පිබිදීම නින්දිත ලෙස පාවා දීමක් ලෙසයි.

මේ පිළිබඳව ජනතාව අතර විවිධ අර්ථකථන තිබේ. ඇතැම් අය මෙය දකින්නේ මහින්ද විසින්ම මහින්දව විනාශ කර ගැනීමට ඉඩ දීමක් ලෙසය. තවත් අයට අනුව, මෙය මහින්දට සිය කැමැත්තෙන්ම පිරිහීමට අවස්ථාව දීමකි. තවත් අය සිතන්නේ තවමත් මහින්දට කිසියම් ආකර්ෂණයක් (දූෂිත හොරුන් අතර පමණක්) ඇති හෙයින් ඔහුට අපේක්ෂකත්වය නොදීම මත ඇති විය හැකි අභ්‍යන්තර ගැටළු නිසා පක්ෂය දෙකඩ වේය යන සැකය හේතුවෙන් අකැමැත්තෙන් වුවද ඔහුට මෙම තීරණය ගැනීමට සිදු වන්නට ඇති බවයි. එහෙත් මට නම් මේ පසුපස ඇත්තේ වචන කිහිපයකින් කිව හැකි සරල හේතුවකි. එනම්, රට වෙනුවෙන් කෙලින් වැඩ කිරීමට ඉඩ නොදෙන අවස්ථාවාදී දේශපාලනික කුහකකමයි.

කවර හේතු ඉදිරිපත් කළද, මහින්දට නැවත නාමයෝජනා දීමට සදාචාරාත්මක අයිතියක් මෛත්‍රීට කිසි ලෙසකින්වත් නැත. මන්ද, මහින්ද යනු මා පෙරද සඳහන් කළ පරිදි තනි පුද්ගලයෙකු පමණක්ම නොව, සිය පාලන කාලය තුළ වන්දිභට්ට නලාකරුවන්, රාජ්‍ය මාධ්‍ය හා මැර බලය ආදී බලවේග ඇසුරින් සමාජය වෙත කාවද්දන ලද දෘෂ්ටිවාදයක් බව අපි හොඳාකාරවම දනිමු. එහි ක්‍රියාකාරී බලවේගය අන් කවරක්වත් නොව ජාතිවාදයයි. සිංහල බෞද්ධ ආගමික ත්‍රස්තවාදයයි. සෑම විටම සිය ‘සංස්කෘතික අන්‍යයා’ පිළිබඳ අනියත බියක් මෙරට බහුතර සිංහලයන්ගේ සිත් තුළට කාවැද්දීම තුළින් සුළු ජාතීන් පීඩනයට පත් කොට, ඔවුන්ගේ මානව හිමිකම් කතා කිරීමට තරම්වත් නොවටිනා නිසරු දේවල් තත්ත්වයට ඇද දමනු ලැබුවේ මෙම දෘෂ්ටිවාදය විසිනි. ශ්‍රී ලංකාව ලෝකයේ හුදෙකලා ඉසව්වක පිහිටි, මනුස්ස වාසයකින් තොර, තවම ශිෂ්ටාචාරයේ මායිම වෙතවත් නොපැමිණි ගෝත්‍රික හා ම්ලේච්ඡ රාජ්‍යයකි යන අදහස ජාත්‍යන්තරය තුළ ඇති වීමට අවශ්‍ය සෑම පසුබිමක් එය විසින් නිර්මාණය කර තිබිණ. තමාගේ හා තම පවුලේත්, තමා වටේ සිටින දුෂිත දේසපාලුවන්ගේත් හිතසුව පිණිස රටේ ජනතාවගේ අදහස් දූෂණය කොට තබා ගැනීමට හැකි සෑම නින්දිත උත්සාහයක්ම මහින්ද රෙජීමය විසින් ගනු ලැබිණ. බොදු බල සේනාව, රාවණා බලය වැනි බොරුව, වෛරය හා ම්ලේච්ඡත්වය මත පිහිටන ත්‍රස්ත කල්ලි බිහි වන්නේද එම පසුබිම තුළයි. අපට මෙය කෙටියෙන් ‘මහින්ද දෘෂ්ටිවාදය’ ලෙස හැඳින්විය හැකිය.

ඇත්තෙන්ම, 2015 ජනවාරි 08 වැනිදා මෙරට වැසියන්ගෙන් වැඩි පිරිසක් සිය ජනතා පරමාධිපත්‍යය යෙදවූයේ මෙම දෘෂ්ටිවාදය හා එහි සෙවණැලි පරාජය කිරීම සඳහාය. මෛත්‍රී කියන පරිදි මහින්ද ජයග්‍රහණය කළද ඔහුට අගමැතිකම නොදී සිටිය හැකිය. එහෙත්, ජනතා ඡන්දයෙන් පන්නා දැමූ දූෂිත මිථ්‍යාදෘෂ්ටික රෙජීමයක් පාලනය කළ අයෙකු නැවතත් දේශපාලන කරළියට ගෙන ඒමෙන් ගම්‍ය විය යුත්තේ ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපතිවරයා සකලාර්ථයෙන්ම සූදානම් නැති බව නොවේද? එය, නැවතත් මහින්ද දෘෂ්ටිවාදය යම්තාක් දුරකට හෝ බලාත්මක වීමට උඩගෙඩි දීමක් නොවේද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් මීට පෙර සිදු කරන ලද ‘විශේෂ ප්‍රකාශය’ සම්බන්ධයෙන් මගේ විග්‍රහය වෙනම ලිපියකින් මම පළ කළෙමි. මට නම් එය, ඉහත කී උඩගෙඩි දීම හේතුවෙන් තමා තුළම උපදින ස්වයං-සාපරාධී හැඟීමෙන් මිදීම අරමුණු කරගත් පවු සමාකර ගැනීමේ ප්‍රකාශයක් බඳු දෙයක් පමණි. ‘පක්ෂයට පෙර රට’ යන ස්ථාවරයේ කෙලින් සිටගෙන සිටියේ නම්, ජනතාව එපා කී අයෙකු ජනාධිපතිට අවශ්‍ය වන්නට හේතුවක් නැත. අනෙක් අතට, සෑම අතින්ම ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය වී පැවති, කිසිම අයෙකුට පවතින ආණ්ඩුව විරුද්ධ අදහසක් ප්‍රසිද්ධියේ කියන්නට බැරි පසුබිමක් පැවති මහින්ද දෘෂ්ටිවාදයේ පක්ෂියා රජ වී තිබුණු මොහොතක නිර්භය තීරණයක් ගැනීමට ජනතාව පෙළඹුණේ ඇයි යන්න මෛත්‍රීට තේරුම් ගැනීමේ අපහසුවක් තිබිය නොහැක. මේ නිසාම, එවැනි ස්වයං-සාපරාධී හැඟීමක් ඇති වීමද හරිම ස්වභාවිකය!

වත්මන් ආණ්ඩුව ‘යහපාලනය’ යන්න යොදා ගන්නේ හුදු දේශපාලනික උදාන වාක්‍යයක් ලෙස මිස සැබෑ යහපාලනවාදීත්වයකින් නොවන බව මා කියන්නේ එක්සත් ජාතීන්ගේ විග්‍රහයේ සඳහන් ඉහත කී ලක්ෂණ අතරින් මුල්ම ලක්ෂණ තුනම මෛත්‍රී විසින් උල්ලංඝනය කර ඇති බවට පැහැදිලිවම තර්ක මතුකළ හැකි පසුබිමක පිහිටාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය මා දකින්නේද එහිම දිගුවක් ලෙසයි. ඔහු එම ලිපියේදී වැඩිපුරම අවධාරණය කරන්නේ ‘ජාතිවාදය අවුස්සමින් දේශපාලනයේ යෙදෙන්න එපා’ යන අදහසයි. එක් අතකින් මෙය විහිළුසහගත ප්‍රකාශයකි. ජාතිවාදය සිය එකම දේශපාලනික පලිහ කරගත් ප්‍රතික්ෂේපිතයෙකුට නැවත වරක් තරග කරන්නට ඉඩ දෙන විටම එහි අනාගත ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ හැකියාවක්, මෛත්‍රී ඔබට නොතිබුණේ මන්ද? අනෙක, මේ මැසිවිල්ල නගන්නට මැතිවරණය කට ළඟටම එනතුරු ඔබ බලා සිටියේ මන්ද?

මිථ්‍යා දෘෂ්ටිකත්වය, ජාතිවාදය හා ව්‍යාජ ආගමිකත්වය යනු මහින්ද රාජපක්ෂව නිර්වචනය කරන ප්‍රධාන නිර්ණායක අතරින් වැදගත්ම කිහිපයක් බව අපි දනිමු. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඔහු මේවාට අසීමිත ලෙස ඇබ්බැහි වූ අයෙකි. ඔහු යනුම ඒවායෙහි නිර්මිතයකි. එවැන්නෙකුගේ දේශපාලන ව්‍යාපාරයේ ස්වභාවය කෙබඳු ස්වරූපයක් ගනු ඇතිද යන්න අනුමාන කිරීමට මෛත්‍රීට හැකියාවක් තිබිය යුතුව පැවතුණි. නාම යෝජනා දුන් දා සිට මේ දක්වාම, මහින්දගේ දේශපාලන ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය හා අනිවාර්ය කොටසක් වශයෙන් මහින්දෝන්මාදය නමැති දුර්ලභ රෝගය වැළඳුනු අන්ත මහින්දවාදීන්ගේ කටවල්වලින් මෙරට සුළුජාතීන් අනේක වාරයක් පීඩාවට පත් වූ අයුරු සමාජ මාධ්‍ය හරහා අපි නොදුටුවෙමුද? මේ සියල්ල වෙන්නට අවශ්‍ය පරිසරය සකසා දී දැන් ‘ජාතිවාදය එපා’ යැයි මැසිවිලි නැගීමෙන් ඇති ඵලය කුමක්ද?

අනෙක, මේ අප ගත කරමින් සිටින්නේ මැසිවිලි ලිපි ලියමින් ජාතිවාදයට එරෙහි ආයාචනා අභියාචනා ඉදිරිපත් කළ යුතු මොහොතක නොව, කොන්ද පණ ඇති තීරණ තුළින් අනාගතය ඉලක්ක කරගත් දෘෂ්ටිවාදීමය විප්ලවයක් හරහා යහපාලනය යන වචනයේ සැබෑ අරුත ජයග්‍රහණය කළ යුතු මොහොතකි.

බල්ලන් සමග නිදාගතහොත් බලු මැක්කන් සමග නැගිටීමට සිදු වන බව අපගේ සාමාන්‍ය ජනවහරේ ජනප්‍රිය කියමනකි. මෙහි විවිධ ගම්‍යාර්ථ ඇත. අපට මෙය දැනට පවතින දේශපාලනික තත්ත්වය වෙතද ඉතාම හොඳින් අදාළ කරගත හැකිය. විමල් වීරවංස, ගම්මන්පිල, වාසුදේව, ඥානසාර වැනි මෑත කාලයේ බිහිවූ ම්ලේච්ඡම වනචාරීන් ඇසුරින් මේ බව කදිමට තේරුම්ගත හැකිය. මැක්කා සෑම විටම උත්සාහ කරන්නේ සුනඛයෙකුගේ ඇඟේ එල්ලී පෝෂණය වීමටයි. යම් දිනෙක මෙලොව සුනඛගහණය සහමුලින්ම වඳකර දැමීමට තීරණය වේ නම්, එසේම මැක්කන්ටද මිනිසුන්ට මෙන් කතා කිරීමට හා සිතීමට හැකි නම්, එම තීරණය හකුළා ගන්නා ලෙස බලකරමින් මුලින්ම පාරට බසින්නේ මැක්කන් වනු ඇත. මීට එකම හේතුව බල්ලාට ඇති ආදර කැක්කුම නොව තමාගේ පෞද්ගලික රඳා පැවැත්ම පිළිබඳව ඇති අනාරක්ෂිතතාව මත උපදින භීතිකාවයි. අද විමල් හා ගම්මන්පිල වැනි ජාතිවාදී උම්මන්තකයන් දෙස බැලූ විට පැහැදිලිවම පෙනෙන දෙය මෙය නොවේද? බුදු දහම රැකැගනීමට යැයි කියමින්ම එය අමු අමුවේම ඝාතනය කිරීමට උත්සාහ ගත් ඥානසාර වැනි දුෂ්ට ජාතිවාදීන් මේ මොහොත වන විටත් කරමින් සිටින්නේ එල්ලෙන්නට බල්ලෙකු සොයන මැක්කා කරන දෙයම නොවේද?

මෛත්‍රීගේ පැත්තතෙන් පමා වූවා වැඩි වුවද, රටේ අනාගත දේශපාලනය වෙනුවෙන් ජනතාව තේරුම් ගත යුත්තේ මෙයයි: මැක්කන් එල්ලෙන්නේ බල්ලන්ගේ සිරුරුවල පමණි. එසේම, මැක්කන් මිනිසුන්ට හරිම කරදරයකි. ඔවුන් වඳ කිරීමටද අසීරුය. මැක්කන් බෝ වූ විට මනුෂ්‍යයින්ට සුව සේ නිදා ගැනීමටත්, කරදරයකින් තොරව අවදි වීමටත් නොහැක. මන්ද, ඔවුන් දෂ්ට කරන හෙයිනි. එහෙත්, අමාරුවෙන් වුවද මැක්කන් වඳ කිරීම වැදගත් පියවරකි. හැමදාම බලුමැක්කන් සමග නැගිටීමද කළ නොහැක්කකි!

එසේ නම්, අප කළ යුත්තේ කුමක්ද?

ashanweerasinghe@gmail.com

Back to Home page