30 September, 2020

Blog

පුරවැසි දෘෂ්ටිවාදයේ සිදුරු අතරින් අපි ආයෙත් හූල්ලමුද?

අශාන් වීරසිංහ

ජනවාරි 08 විප්ලවයෙන් පසුව එළැඹුණු මීළඟ තීරණාත්මක මැතිවරණයද දැන් අහවර වී තිබේ. මෙය අප රටේ මැතිවරණ ඉතිහාසයේ වැඩියෙන්ම කැපී පෙනෙන මැතිවරණය ලෙස හැඳින්විය හැක්කේ සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක්ම අවසානයේදී අනිවාර්යයෙන්ම අසන්නට සිදු වන මැතිවරණ දූෂණ පිළිබඳ චෝදනා හා මැසිවිලි සැලකියයුතු මට්ටමින් නොනැගෙන තරමට මැතිවරණ කොමසාරිස්වරයා හා ඔහුගේ සමස්ථ කාර්යමණ්ඩලය සිය රාජකාරිය අකුරටම ඉටු කර ඇති හෙයිනි. පුරවැසියන් වෙනුවෙන් ඒ ගැන ඔවුන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය. මෙයද අප සැලකිය යුත්තේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහි වූ දූෂිතම හා අශිෂ්ටම රාජ්‍ය පාලකයා පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය රාජ නාමාවලිය සලකා බැලුවද (ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක අවබෝධයක් නොමැති මහින්දම ස්වකීය දේශපාලනික ගොබ්බකම ප්‍රකට කරමින් තමා වැඩසවම් රජෙකු ලෙස හඳුන්වා ගැනීමට පහත් රුචිකත්වයක් දක්වන සෙයක් ප්‍රකට කළ හෙයින්) දැකිය හැකි ඉතාම ආත්මාර්ථකාරී රජවරුන් අතරින් කෙනෙකුද ලෙස කිසිදු සැකයකින් තොරව සැලකිය හැකි මහින්ද රාජපක්ෂගේ ෆැසිස්ට් රෙජීමය පළවා හැරීමෙහි තවත් එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙසය.

Mahinda Maithriහො.රා. මහින්ද අප රටට හුරු කර තිබුණේ දේශපාලන ගතිකයන් දෙස හැකි උපරිම ගෝත්‍රිකවාදී දෘෂ්ටියකින් බැලීමටය. දේශපාලන කරළිය මත සිදු වන දහසකුත් එකක් දූෂණ, වංචා, මැරකම්, හොරකම් හා තක්කඩිකම් ‘ඒ තරම් අමුතුවෙන් ගත යුතු ඒවා නොව සාමාන්‍යයෙන් දේශපාලන ලෝකයට පොදු ධර්මතා’ ලෙස ජනතාව වටහා ගත යුතුය යන ආස්ථානයේ පිහිටා පාලකයා කටයුතු කළ පසුබිමක් ජනවාරි 8ට පෙර මෙරට වැසියෝ අත්දුටුවහ. මේ නිසා, රාජ්‍ය දේපළ යොදා ගැනීම අවම මට්ටමක පැවතුණු සාපේක්ෂ මට්ටමින් සාධාරණ යැයි ගිණිය හැකි මැතිවරණයක් පැවැත්වීමට පාර කපා දීම වෙනුවෙන් දහදිය හෙළූවන් වශයෙන් මෙරට වැසියන්ගෙන් බහුතරය අඩම්බර විය යුතු බවද කිව යුතුය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සෑම කරුණක්ම අතින් තීරණාත්මක එකක් විය. විශේෂයෙන්ම, 2015 ජනවාරි 08 දින එතෙක් පැවති අති දූෂිත මහින්ද රෙජීමයේ මැර පාලනය පෙරළා දැමීම තුළින් උදා වූයේ තාවකාලික ප්‍රජාතන්ත්‍රවාදයක් හා යහපාලනයක් බව කිව හැක. එහෙත් ඒ කාලය තුළ බලාපොරොත්තු වූ තරමටම නොවුණත් සැලකියයුතු මට්ටමේ දේශපාලනික ජයග්‍රහණ කිහිපයක්ම අත්කර ගැනීමට හැකි විය. ජනාධිපතිවරණයෙන් පසුව යෝජිත (එහෙත් කී ලෙසටම ක්‍රියාත්මක නොවූ) දින සියයේ වැඩසටහනෙහි අරමුණ වූයේද පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමයි. මේ නිසා පසුගිය 17 වැනි දා උදා වූයේ ජනවාරි 08 වැනිදා අප පටන් ගත් යහපාලන යුගය මීළඟට ගමන් කරන්නේ කොයිබටද යන්න තීරණය කිරීමේ අවස්ථාවයි.

පුරවැසියාගේ පැත්තෙන්ද මෙය ඉතාම සුවිශේෂි හා තීරණාත්මක මැතිවරණයක් බව කිව මනාය. සාමාන්‍යයෙන් දශක ගණනාවක් මුළුල්ලේ මැතිවරණ සම්බන්ධයෙන් ජනතාවට විඳින්නට සිදු වූ අත්දඇකීම ඒතරම් සුභ ඒවා නොවේ. සරලව කියනවා නම් ඡන්ද යනු යුද්ධ මෙනි. සාමාන්‍යයෙන් රාජ්‍ය මාධ්‍ය ඇතුළු ආයතන මැතිවරණ කාලවලදී හැසිරුණේ බලයේ පවතින ආණ්ඩුවේ අතකොලු ලෙසිනි. ජාතික රූපවාහිනිය වැනි මාධ්‍ය අද පවා හැසිරෙන ආකාරය බැලූ විට මෙම පුරුද්දට රාජ්‍ය මාධ්‍ය මොනතරම් ඇබ්බැහිව තිබේද යන්න පහසුවෙන් සිතාගත හැකිය. ‘ජාතික’ යන ලේබලය නාමික වශයෙන් අලවාගෙන සිටියද කොන්දේසි විරහිතව පවතින ආණ්ඩුවට කැහීමේ පුරුද්ද ජාතික රූපවාහිනිය හා ලේක්හවුසිය වැනි මාධ්‍ය ආයතන වලට පුරුදු කර තිබිණ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ තත්ත්වයද මීට දෙවැනි නොවීය. සිය හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීමේ අවකාශයක් නොතිබූ තැන ‘මම මාර ආතතියකින් වැඩ කළේ’ යන්න පවසන්නට සිදු වන තැනට මැතිවරණ කොමසාරිස්වරයා බලු කරනු ලැබුවේද දූෂිත මහින්ද රෙජීමය විසින්මය. එහෙත්, මහින්ද රෙජීමය සැදුම්ලත් සෑම ලක්ෂණයක්ම පිළිකුල් කරමින් නැගී ආ පුරවැසි බලය හමුවේ මැතිවරණ කොමසාරිවරයා මැතිවරණ කාලයේ මහා බලවතා බවට පත් විය. මෙවර අපට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අත්දකින්නට සිදු වූයේද ජනවාරි විප්ලවයේ මෙවැනි ප්‍රතිඵල හේතුවෙනි. කෙසේවෙතත්, මින් පෙර නොවූ විරූ පරිදි අනවශ්‍ය බලපෑම්වලින් තොරව නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ ලැබීම අප තේරුම් ගත යුත්තේ පුරවැසියාට ලැබුණු ‘වරප්‍රසාදයක්’ ලෙස නොව රටේ ජාතික දේශපාලනයේ හැඩරුව තීරණය කිරීමේදී පුරවැසියා සතු බලය හා වගකීම පිළිබඳ පුළුල් කතිකාවකට මග විවර කළ අවස්ථාවක් ලෙසයි.

මැතිවරණයෙන් පසු තත්ත්වය දෙස අප බැලිය යුත්තේ මෙම පසුබිම මත පිහිටාය. සාමාන්‍යයෙන් මැතිවරණවලින් පසුව අප රටේ වැසියන් අතර නිතර ඇසෙන්නට පටන් ගන්නා ජනප්‍රිය මැසිවිල්ලක් තිබේ. ‘කවුරු බලයට ආවත් වැඩක් නෑ, අන්තිමට උන් ඔක්කොම එකයි, අපි පරාදයි’ යන්න එම මැසිවිල්ලයි. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් මේ චෝදනාව නැගීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් පුරවැසියන් සතුව නැති බව පිළිගත යුතුය. මන්ද, සිය ජනතා පරමාධිපත්‍යය තම අභිමතයට අනුව හැසිරවීමට අවශ්‍ය වාතාවරණය රටේ සැකසී තිබුණ පසුබිමක් තුළ අර ”එකයි” කියන “උන්” පාර්ලිමේන්තුවට යැවීමෙන් වැළකී සිටීමට කදිම අවස්ථාවක් ඔවුන්ට ලැබුණු හෙයිනි. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගෙන පවතින තත්ත්වයට එරෙහිව හූල්ලමින් කල්ගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුරවැසියාගෙන් අපේක්ෂා කරන ප්‍රතිචාරය නොවන බව අවධාරණය විය යුතුය.

රටක් හරිහැටි පාලනය නොවන්නේ නම් එහි සම්පූර්ණ වගකීම දේශපාලඥයින් භාරගත යුතු වුවද ඉන් අදහස් වන්නේ එරට ජීවත් වන ජනතාව ඉන් නිදහස් හරිම අහිංසක පූස් පැටවුන් බව නොවේ. යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙනුත්, එය ඉදිරියට පත්වාගෙන යාම වෙනුවෙනුත් ඔවුන් අතින්ද ඉටු විය යුතු වගකීම් කොටසක් තිබේ. මැතිවරණයකින් සුදුසුම අය පාර්ලිමේන්තුවට පත්කරමින් දූෂිතයන් හා නූගත් අධමයන් ප්‍රතික්ෂේප කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. දේශපාලඥයා යනු අහසින් කඩා වැටෙන්නෙකු නොව ජනතාව විසින් නිර්මාණය කරනු ලැබෙන ප්‍රතිරූපයකි. පවතින දේශපාලන ක්‍රමය ගැන සෑම විටම මැසිවිලි නගමින් අදේශපාලනික වන්නට උත්සාහ කරන ජනතාව පරිස්සමට තේරුම් ගත යුතු සත්‍යයද මෙයයි. ශ්‍රී ලංකා ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලබන්නේ වසර පහෙන් පහටය. මේ නිසා, මැතිවරණයකදී තමා ගන්නා තීරණය තවත් වසර පහක් පුරාවට රටේ දේශපාලන තත්ත්වය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපැවැත්වෙන බව ජනතාව තේරුම් ගැනීම වැදගත් වේ.

රටේ සියලුම දෙනා මැතිවරණ සමයේදී එකම ආස්ථානයක පිහිටීම පිළිබඳ යුටෝපියානු සිහිනයක් දැකීම මින් අදහස් නොවේ. පළමුව ජනතාව ආධානග්‍රාහී ලෙස දේශපාලන පක්ෂ වන්දනාවෙන් ඈත් විය යුතුය. 1948 න් පසුව මේ දක්වාම අපේ රට තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම් පුරවැසියන් කවර හෝ දේශපාලන පක්ෂයක වහලුන් ලෙස කල් හැරීමට කැමැත්තක් දැක්වීමයි. මෑතක් වන තුරුම මැතිවරණ ආසන්නයේදී අප මේ තත්ත්වය අත්වින්දේ ඉතාම නින්දිත අයුරිනි. සිය පෞද්ගලික සුඛවිහරණය අරමුණු කරගෙන, එහෙත් ජනතා සුභසිද්ධිය පිණිස යැයි හුවා දක්වමින්, ඡන්දයට ඉදිරිපත් වන දේශපාලඥයින් හිස් මුදුණේ තබාගෙන එකිනෙකා සමග ඇණ කොටා ගනිමින් මිනී මරා ගන්නා තැනට පුරවැසියන් පත්වනු දැකීමට සිදු වීම තරම් ඛේදයක් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන රටකට තවත් නොමැති තරම්ය. ප්‍රතිඵල නිකුත් වූ සැණින් අසල්වැසි නිවාසවලට ගල් මුල් එල්ල කරමින්, ඒ දෙසට රතිඤ්ඤා පත්තු කර විසි කරමින් තමා ඡන්දය දුන් ‘පිටස්තරයාගේ’ ජයග්‍රහණය සැමරීමේ පුරුද්දක් පුරවැසි දෘෂ්ටිවාදයට අරක්ගෙන තිබණු අයුරු අප අත්දැක ඇත. මෙම පාදඩ හැසිරීම වත්මන් මැතිවරණ සමයේදී දැකිය හැකි නොවුවද අන්ධ පක්ෂ භක්තිය නම් නොවෙනස්ව පවතී. මැතිවරණයකදී සිය පරමාධිපත්‍යය පාවිච්චි කොට විශ්වාසය තැබිය හැකි, රට වෙනුවෙන් අවංක හඬක් නගනු ඇති බවට අනුමාන කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට තැත් දරනු වෙනුවට බොහෝ අය තවමත් කරන්නේ තමා ‘හොඳ’ යූඑන්පී කාරයෙකු, ශ්‍රී ලංකා කාරයෙකු හෝ ජේවීපී කාරයෙකු බව ඔප්පු කිරීමට මෙන් ඇස් වසාගෙන කතිරය ගැසීමයි. මේ තත්ත්වය මෙවර මැතිවරණයේදීද පැහැදිලිව දක්නට ලැබුණි. විශේෂයෙන්ම, දූෂිතයින්, නූගතුන්, හොරුන්, මැරයින්, පොදු අර්ථයෙන් ගත් කල තක්කඩින් ලෙස රට පුරාම නම් දරා සිටි දේසපාලුවන් රොත්තක්ම පෙරලා පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට සිදු වූයේද තමා ජීවත් වන ප්‍රදේශයෙන් තම පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයින් ඔවුන් වූ නිසාද?

මැතිවරණයක් ජනතාවට ලැබෙන තීරණාත්මක අවස්ථාවකි. එවැනි අවස්ථාවකින් ප්‍රයෝජන ගත යුත්තේ මැදහත් ආස්ථානයක පිහිටා මිස හැඟීම්බර වීමෙන් නොවේ. පවතින ක්‍රමය තුළ ‘දේශපාලඥයා’ යනු සත පහක විශ්වාසයක් තැබිය නොහැකි, හැකි සෑම අවස්ථාවකම සිය ඡන්දය ඩැහැගෙන පලා යාමට ඉඩ ඇති අවිනිශ්චිත පුද්ගලයෙකි යන අදහස පුරවැසි දෘෂ්ටිවාදය සකස් වීම කෙරෙහි බලපාන්නේ නම්, දේශපාලඥයාට කරණම් ගැසීමට ඇති අවකාශය සීමා කිරීමට හැකි වනු ඇත. අඩුම වශයෙන් පුරවැසියන් යනු දේශපාලඥයන් හිතන තරම් මෝඩයින් හා ඇන්දිය හැකි පිරිසක් නොවන බව කියා පෑම වෙනුවෙන්වත් එම පොදු අවබෝධයට එළැඹීම හොඳය.

මෙවර මැතිවරණය අතිශය සාධාරණ හා සාමකාමී වුවද, මේ දින දෙක තුන ඇතුළතම ජනතා පරමාධිපත්‍යය හෑල්ලු වූ සිදුවීමක් ලෙස තෝරාගත් පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට වඩම්මා ගැනීම කැපී පෙනේ. කුමන පදනමක පිහිටා වුව ජනතාව මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන තර්කයෙහි මට නම් කිසිදු පදනමක් නැත. මෙලෙස පරාජයට පත් වූ ඇතැම් දේශපාලඥයින් පරිණත හා ‘පාර්ලිමේන්තුවේ සිටිය යුතු’ අය බවට තර්ක කිරීමේ හැකියාවක් ඒ ඒ දේශපාලන පක්ෂවලට තිබිය හැකි වුවද, ජනතා පරමාධිපත්‍යයේ සරලම සත්‍යය නම් ජනතාව ප්‍රතික්ෂේප කළ අය ”ජනතා නියෝජිතයින්” ලෙස පාර්ලිමේන්තුවට කැන්දාගෙන යාම පුරවැසි තීන්දු හෑල්ලුවට ලක් කිරීමක් බවයි. මැතිවරණයක් අවසානයේදී සිදු කළ යුත්තේ ජනතාව විසින් ගනු ලැබූ අතැම් තීරණ නිවැරදි කිරීමේ ප්‍රයත්නයන්හි නියැළීම නොව ජනතාව ‘ඉල්ලා සිටි සීමා’ තුළ පිහිටා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වීමයි. අනෙක් අතට, තමා විසින් මැතිවරණයේද් ගන්නා ලද තීරණ පිළිබඳ අවංක තක්සේරුවකට යොමු වීමට විචාරශීලී පුරවැසියාට හැකි වන්නේද ඒවා මෙලෙස පරීක්ෂාවන්ට ලක් වීම තුළින් බවටද තර්ක කළ හැකිය.

ජනතාව සිය පරමාධිපත්‍යය කෙසේ භාවිත කළද ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව තම අභිමතය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පසුබිම දේශපාලඥයින් වෙනුවෙන් සකස් කර දෙන්නේද පුරවැසි දෘෂ්ටිවාදයේ අඩුපාඩුම බව වටහා ගැනීම වැදගත්ය. ‘අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන ‘කෑවා කෑවා’ යනුවෙන් බෙරිහන් දීම නිරර්ථක ක්‍රියාවක්’ බව අපගේ ජනවහරේ ජනප්‍රිය කියමනකි.

බිහිවන්නට යන ජාතික ආණ්ඩුව දෙස පුරවැසියාගේ නිරන්තර නිරීක්ෂණාක්ෂිය යොමුව තිබීම වැදගත්ය. මන්ද, රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික දේශපාලනික අරමුණ ඉතාම අවංක හා ජනතාවාදී එකක් වීමට ඉඩ ඇතත්, ඔහු මූලික වී ගොඩනගනු ලැබෙන ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් බහුතරය මෙම දූෂිත දේශපාලන ක්‍රමයේ ඇති පදම් තෙම්පරාදු වූ දේශපාලනික බහිරවයින් බව අප දන්නා හෙයිනි.

දැන් අප කළ යුත්තේත්, කරන්නට ඉතිරිව ඇත්තේත් ඉදිරිය දෙස බලා සිටීම නොව ඉදිරිය වෙනුවෙන් සුපරීක්ෂාකාරීව පසුවීමයි.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.