21 September, 2020

Blog

අගෝස්තු ඡන්දය: මැතිවරණමය පරිණත භාවය ප‍්‍රදර්ශනය වීමක්

සී. නාරායනස්වාමි

සී. නාරායනස්වාමි

සී. නාරායනස්වාමි

මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු. දකුණේදී මෙන්ම උතුරේදීද, ඔවුන් උදක්ම සිය ඡන්දය පාවිච්චි කර ඇත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සහ යහපාලනය බලගැන්වෙන ආකාරයෙනි. එසේ වතුදු, අනිත් අතට, එක්සත් ජනතා නිදහස් සන්ධානය අවලංගු සාධකයක් නොවන බව ඔවුන් ලබාගත් ඡුන්ද ප‍්‍රතිශතය හරහා කියාපෑවේය. ඉදිරියටත් ‘සටන්’ කිරීම සඳහා ඔවුන් නිරුපද්‍රිතව සිටින බවක් පෙනෙන්ට තිබේ. සංවර්ධනය, සාමය, ප‍්‍රගමනය සහ සියල්ලටමත් වඩා, සංහිඳියාව සහ යහපාලනය ඇති කරලීමට තමන් සතු හැකියාව, නව ආණ්ඩුව විසින් සිය ආණ්ඩුකරණ ආකෘතිය සහ ව්‍යුහය හරහා රටට ප‍්‍රදර්ශනය කළ යුතුව ඇත්තේ එහිදී ය.

ඡන්දය පාවිච්චි කළ ප‍්‍රතිශතය සියයට 70 කට වැඩි අගයක් ගැනීම තුළින් පෙනී යන්නේ, සාමාන්‍ය උනන්දුවට වැඩි දෙයක් ජනතාව අතරින් ප‍්‍රදර්ශනය කෙරුණු බවකි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැටුණු ඡන්ද ප‍්‍රමාණය සැළකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් තිබීම, මෙකී උනන්දුව එක්සත් ජාතික පක්ෂයට වාසිදායක අන්දමින් බලපා ඇති බව කියාපායි. ඒ අතරම, එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 දී ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට ආසන්නව සිය ඡුන්ද ප‍්‍රතිශතය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටින බවකුත් පෙනෙන්ට තිබේ. මෙවර ඔවුන් ලබාගත් ඡන්ද ප‍්‍රමාණය, එනම්, ලක්ෂ 48 කට ආසන්න ඡන්ද ප‍්‍රමාණය අඩු වන්නේ, 2010 දී ඔවුන් ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා ලක්ෂයකින් පමණි. තරුණ පරම්පරාව වෙනසක් වෙනුවෙන් කැමැත්තක් දක්වන බවකුත්, තිරසාර සාමයක් සහ සංවර්ධනයක් ඇති කර ගැනීම කෙරෙහි, පොහොසත් ජන කොටස්වල සේම දුප්පත් පිරිස් අතරේත් යම් විශේෂ උනන්දුවක් ඇති බව, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෙවර විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කිරීම මගින් පෙන්නුම් කෙරේ.

Ranil Maithreeකෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රතිශතය බොහෝ දුරට ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබීම මගින් පෙන්නුම් කරන්නේ, මිථ්‍යාමය ජාතිකත්වයක් සහ පසමිතුරු ආකල්පයක් ශ‍්‍රී ලාංකීය ජනතාවගෙන් සෑහෙන කොටසක් තුළ තවමත් නොනැසී පවතින බවකි. බලය බෙදා හැරීම, ජාතික සංහිඳියාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගන්නා යම් ආකාරයේ සුළු හෝ වෑයමක් ව්‍යර්ථ කරලීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙකී බලය පාවිච්චියට ගැනීමේ තර්ජනයක් පවතින බව ඒ අනුව පෙනී යයි. නව ආණ්ඩුවේ එවැනි ඕනෑම වෑයමක් බෙදුම්වාදී ප‍්‍රයත්නයක් වශයෙන් හුවාදැක්වීමේ සූදානමක් නිදහස් සන්ධාන නායකයන් තුළ ඇති බව, මැතිවරණයෙන් පසු ඇතැම් සන්ධාන නායකයන් කරන ලද ප‍්‍රකාශවලින් පෙනී යයි. මේ නිසා වෛරය වැපිරීම සහ ජාතිවාදය පැතිරවීමට එරෙහිව ගත යුතු නීතිමය පියවර කෙරෙහි නව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුව තිබේ. සෑම ප‍්‍රජාවකගේම ස්වෛරී අයිතීන්ට ගරු කරන බහුත්වවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ශ‍්‍රී ලංකාව බැඳී සිටිය යුතු බව දැන්වත් පොදුවේ පිළිගත යුත්තකි. ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය තුළ යුක්තිගරුකව කටයුතු කිරීම සහ සමානාත්මතාවයෙන් යුතුව සැළකීම සහතික කෙරෙන නිසි ප‍්‍රතිපත්ති සහ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති කරගන්නේ නම්, ඒ තුළින්, අනාගතයේ හෝ මැතිවරණ ව්‍යපාර තුළ ජාතිවාදී තුරුම්පුව පාවිච්චි කිරීමේ ඉඩකඩ අවම කළ හැකි වනු ඇත.

ඉහත කී සීමාවන් එසේ තිබියදී, මෙම මැතිවරණයේදී විශාල වශයෙන් ඡන්දදායකයා ඡන්ද පොළට පැමිණීමට අමතරව, උතුරේ මෙන්ම දකුණේද ඇතැම් තැන්වල අන්ත ජාතිකවාදී සහ ජාතිවාදී කොටස් පරාජයට පත්කරනු ලැබ තිබීම ආශ්වාදනීයයි. බොහෝ ආසනවල ප‍්‍රදර්ශනය කෙරුණු මේ පරිණත ලක්ෂණය, කළු වළාවක් තුළ දක්නට ලැබුණු රිදී රේඛාවක් වැන්න.

ජනවාරි 8 වැනි දා සහ අගෝස්තු 17 වැනි දා පැවැත්වූ මැතිවරණවලින් පැහැදිළිව පෙන්නුම් කරන ප‍්‍රධාන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, ශ‍්‍රී ලංකාවේ පවතින නොබෙදිය හැකි භාවයයි. දෙවැන්න වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලිය සහ යහපාලනයේ සාර්ථකත්වය සහ ස්ථායී භාවය සඳහා සුළුතර ප‍්‍රජාවන්ගේ සහයෝගය නැතිවම බැරි සාධකයක් වන බවයි. ශ‍්‍රී ලංකාවේ බහුත්වවාදී සමාජයට අත්‍යාවශ්‍ය මූලිකාංග ජනතාව විසින් වටහා ගැනීමට පටන්ගෙන ඇති බව එයින් ගත යුතු පාඩමයි. නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ ආර්ථික සංවර්ධනය චිරාත්කාලීන වීමට නම්, සාමය සහ ජාතීන් අතර එකමුතුව පැවතිය යුතු බව ඒ අතරේම ජනතාව අවබෝධ කර ගනිමින් සිටින බව අනිත් අතින් පෙන්නුම් කෙරේ.

අගෝස්තු 17 වැනි දා මැතිවරණය තුළ ලැබූ තවත් වැදගත් සාර්ථකත්වයක් වන්නේ, දශක ගණනාවකින් පසු ප‍්‍රථම වතාවට ප‍්‍රචණ්ඩත්වයෙන්, බියෙන් සහ සැකයෙන් තොර නිදහස් ඡන්දයක් පැවැත්වීමට හැකියාව ලැබීමයි. එය අත්පත් කරගත්තේ, රටේ දැනට පවතින ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන රාමුව තුළ ය. සාමකාමී සහ ආරක්ෂිත වටාපිටාවක් ඡන්දදායකයාට අත්කර දීමට එය සමත් විය. අතීතයේදී මෙන්, හමුදාව මේ මැතිවරණය තුළ කැපී නොපෙනුණි. ජයග‍්‍රාහකයාගේ මෙන්ම පරාජිතයාගේද සෑහීමකට පත්විය හැකි යහපාලන ප‍්‍රතිපත්ති මේ මැතිවරණය තුළ ක‍්‍රියාත්මක කිරීමට හැකි වීමේ ගෞරවය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හිමි වෙයි. එසේම, මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරයත් ඉතා ගෞරවාන්විත වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එය මීට පෙර මැතිවරණ තුළදී අප දැක නැති තත්වයකි.

මිනිස්සු කතා කළහ. ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පුරවැසියන්ගේ සිත් අරක්ගත් පැනය විය. මේ මැතිවරණයේ ප‍්‍රතිඵල විසින් ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවස්ථාව උදා කෙළේය. එවැනි ආණ්ඩු මාදිලියක් තුළින්, වෙනත් දේවල්වලට අමතරව, එක්සත් භාවය ගොඩනැගීම, වාර්ගිකත්වය සහ භූගෝලීය පිහිටීමෙන් පරිබාහිරව, මුළු රටේ සෑම පෙදෙසකම සංවිධිත සංවර්ධනයක් සඳහා වන පොදු ඉලක්ක සාධනය කර ගැනීමටත් හැකි වනු ඇත. ආර්ථික සංවර්ධනය, රැුකියා සම්පාදනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යටිතල සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමේ ජනතා අභිලාෂයන්ට මුල් තැන ලැබෙනු ඇත. ශ‍්‍රී ලංකාව දැන් සිටින්නේ අළුත් කඩඉමකයි. නව දේශපාලනික සන්ධානයන් ගොඩනගා ගැනීම, සමාජ-ආර්ථික ප‍්‍රතිපත්ති තුළ නව මානයන් සොයා ගැනීම සහ දුරදක්නා විදේශ ප‍්‍රතිපත්තියක් කෙරෙහි යොමු වීම, මේ මොහොතේ රට ඉදිරියේ ඇති අනාගත සංවර්ධන ශක්‍යතා කෙරෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

*2015 අගෝස්තු 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “August Elections: A Display Of Electoral Maturity?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.