23 October, 2017

මෙය පොලිස්පතිවරයාගේ ‘කොන්ද’ පිළිබඳ ප්‍රශ්නයකි

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි සේම ඇතැම් අවස්ථාවල ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි අය නොසලකා සිටීමටද හැකිය. ජනාධිපතිවරයා පවා සුවිශේෂී අවස්ථාවල තීරණ ගැනීමට පෙර ඔහුගේ අදහස් විමසයි. මේ හැරුණු විට රාජ්‍ය උත්සවවලදී ජනපතිගේ පස්සෙන් සිටගෙන සිටීමේ වරප්‍රසාදයද ඔහුට හිමි වෙයි. මේ සියල්ලම පොලිස්පති පුටුවට අදාළ පිළිගැනීම, වරප්‍රසාද, වගකීම් සහ අභිමානය පිළිබඳ කාරණාය. ඉබේම පුටුවට ලැබෙන එකී වරප්‍රසාද හා පිළිගැනීම පුටුවෙන් නැගිටින විටද රැක ගැනීම පුද්ගලික කාරණාවකි. සාමාන්‍යයෙන් තමා යටතේ සිටින්නන් පිස්සු නටමින් අයාලේ යන විට ඔවුන් පාලනය කර ගැනීමට නායකයෙකු අසමත් වන්නේ එක්කෝ නිවටකම නිසාය, නැතහොත්, තම ආයතනය මහජන සේවයට කැප වූ එකක් බව සහතික කරනු වෙනුවට පාලකයන් පිනවමින් පෞද්ගලික වරදාන පැතීමේ පහත් කැමැත්ත නිසාය (එයද නිවටකමේම දිගුවකි).

රාජ්‍ය සේවකයා සෑම විටම දේශපාලඥයා විසින් යටකරනු ලැබ ඇතත්, තමා යටතේ පවතින අභ්‍යන්තරික ආයතන ව්‍යුහය තම අභිමතය පරිදි පාලනය කරගත හැකි සෑම විටම එසේ කිරීමට මැළි නොවීම තුළින් නිවටයන් නොවී සිටීමට උත්සාහ ගන්නා ඉහළ රාජ්‍ය නිලධාරීන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ජනවාරි 08 වැනි දා මැතිවරණ කොමසාරිස්තුමා විසින් මීට අදාළ හොඳම නිදසුන සපයනු ලැබිණ.

පොලිස්පතිවරයා මේ පාරවල් දෙක තුනෙන් එකක් තෝරා ගැනීමට තව තවත් පමා විය යුතු නැත. 2015 ජනවාරි 08 දින මෙරට පුරවැසියන් අති බහුතරය විසින් ගනු ලැබුවේ ඉතාම තීරණාත්මක හා ඓතිහාසික තීරණයකි. එය මහින්ද රාජපක්ශ නමැති තනි දේශපාලඥයාට එරෙහි වෛරයකින් ගනු ලැබූවක් නොව ඔහු විසින් ව්‍යාප්ත කරන ලද හානිකර දෘෂ්ටිවාදයම පරාජය කර අඩපණ කිරීමේ පුරවැසි අවශ්‍යතාවක් ඉටු කිරීමක් ලෙස වටහා ගත යුත්තකි. කෙසේ වුවද, මහින්ද රෙජීමයෙන් පසුව බලයට පත් වූ ආණ්ඩුවේද තිබෙනවා යැයි කියූ ‘ඡන්දෙට පෙර යහපාලනකාමීත්වය’ දිය වී ගොස් 48 න් පසු ලංකා දේශපාලනයට සුපුරුදු හිවල් ගතිය ඉස්මතු වන්නට වැඩි කල් ගත වූයේ නැත (එහෙත් ඉන් අදහස් වන්නේ මහින්ද රෙජීමයේ පරාජය පිළිබඳව අප පසුතැවිලි විය යුතු බව නම් නොවේ). IGP Police

යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ යුතුව තිබූ, එහෙත් මේ වන විට අමතක කර දමා ඇති තත්ත්වයට පත්ව ඇති වැදගත්ම ප්‍රතිසංස්කරණ කිහිපයෙන් එකක් නම් මහජනයාට අතිශයින්ම වැදගත් හා අදාළ වන ආයතන සම්බන්ධ ආයතනික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම බව මීට ඉහතදීද මා විසින් ලියා තිබේ. විශේෂයෙන්ම, පොලීසිය වැනි ආයතන සම්බන්ධයෙන් මේ කරුණ වඩාත් අදාළ වේ. පසුගිය කාලය පුරාවටම පොලීසිය පිළිබඳ අපගේ අත්දැකීම කිසිසේත්ම සුභදායක එකක් නොවේ. මෑත ඉතිහාසයේ බොහෝ සිදුවීම්වලදී පොලීසිය හැසිරුණේ කිසිදු පාලනයක් හෝ හික්මීමක්, නීතියක් හෝ සදාචාරයක් නොමැති රස්තියාදුකාර මැරයෙකු පරිද්දෙනි. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ආයතනයක් හුදෙක්ම ජන ජීවිතය අඩාළ කරන හා ප්‍රජා පීඩක කරුමයක් බවට පත්වීම පිළිබඳ උදාහරණ ආසන්නතම සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන් පවා වටහා ගැනීම අසීරු නැත.

මේ සියලු සිදුවීමකදීම අප දුටු තවත් පොදු ලක්ෂණයක් නම්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම තවත් උසස් යැයි කියා ගන්නා නිලධාරීන් රංචුවක් කොහේ හෝ මාධ්‍ය හමු කැඳවා පොලීසියේ සුදු හුණු ගෑමට පටන් ගැනීමයි. සේයා දැරිය ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලදී, HNDA සිසු උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයේදී සහ මීට දින කිහිපයකඒ ඉහතදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේදී ‘නිසි පරීක්ෂණ පවත්වා සාපරාධී පාර්ශ්වවලට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කරන’ බව කීම වෙනුවට පොලීසිය පැත්තෙන් නැගුණු ප්‍රතිචාරය වූයේ ‘පොලීසිය හරි, ජනතාව වැරදි’ යන්නයි. පරීක්ෂණයකට පෙර හරි වැරැද්ද ගැන පාරම්බෑමට උත්සාහ කරන්නේද ස්වයං-සාපරාධීභාවය නිසා හෘද සාක්ෂියට මුහුණ දීමේ අපහසුවෙන් පෙළෙනවුන්ය. ඇඹිලිපිටිය සිද්ධිය ගැන මාධ්‍ය ප්‍රකාශකට හැදුණු අසාමාන්‍ය කුලප්පුවෙන්ම පොලීසිය ගැන අමතර සැකයක් ජනතාවගේ සිතට ඇතුළු වීම නොවැළැක්විය හැක්කක් විය. මේ අතරම, පොලීසියට එරෙහිව නඩුවක් ඉදිරිපත්ව තිබියදී නීතීඥ ඇඳුමට මුවා වී පොලීසිය වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයට යන පුද්ගලයාම රාත්‍රී පුවත් විකාශය අතරතුරදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුව මත අපට හමු වීමද පුදුම එළවන සුළු සිදුවීමකි. යහපාලනයේ මූලික ලක්ෂණයක් වන වගවීම පැහැදිලිවම උල්ලංඝනය වන අවස්ථාවකි.

මේ සියල්ලම මහින්ද දෘෂ්ටිවාදයේ ගතිලක්ෂණ බව වත්මන් ආණ්ඩුවත්, පොලිස්පතිවරයාත් වටහා ගන්නා තුරුම මේ පරිහානිකර තත්ත්වයෙන් පොලීසිය ගලවා ගැනීම හිතළුවක් පමණක් වනු ඇත. පොලීසියේ පිරිහීම ගැන කැක්කුමක් පුරවැසියාට නැත. එහෙත්, පොලීසිය යනු පුරවැසි ජීවිතයට ඇඟිලි ගසන මර්ධන යාන්ත්‍රණයක් ලෙස රාජ්‍ය දෘෂ්ටිවාද ක්‍රියාවට නංවන ආයතනයක්ද වේ. කැක්කුම උපදින්නේ මෙතැනය. වත්මන් ලංකාවේ පොලීසිය යනුම ‘අමනකමින් සදාචාරය වෙත’ මෙහෙයවිය යුතු ආයතනයක් බවට පත් වී හමාරය. නිල ඇඳුම ඇඳගත් සැණින් ලෝකය තමන් අතේ වැනි හැඟීමකින් මඬනා ලදුව හැසිරෙන ‘නූගත් මැරයන්’ නෛතික වශයෙන් බැඳ තැබීම කාලීන අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි. කතා කිරීමට නොදන්නාකම, නීතිය පිළිබඳ හරිහමන් අවබෝධයක් නොමැති කම, උද්දච්ඡකම ආදිය වර්තමාන ලංකාවේ පොලිස් නිලධාරීන් බොහොමයකගේ ආවේණික ලක්ෂණ බඳුය. වාසනාවකට මෙන් මෙය සමාජ මාධ්‍ය යුගයක් නිසාම පොලීසියේ අමනකම් ගැන ප්‍රසිද්ධ සංවාද ඇති වීමද හොඳ ප්‍රවණතාවකි.

යහපාලන ආණ්ඩුවෙන් අප තවමත් බලාපොරොත්තු වන්නේ මීනී මරන හා මැරීමට අනුබල දෙන, පුරවැසියන්ට වෙඩි තියන මහින්ද ශෛලියේ රස්තියාදුකාර පොලීසියක් නොවේ. මහින්ද රෙජීමය යටතේ දූෂිතභාවයේ පතුලටම කිඳා බැස තිබූ පොලීසිය ඇතුළු තීරණාත්මක රාජ්‍ය ආයතන විෂයික ජනහිතකාමී ප්‍රතිසංස්කරණ රැසක් සිදු වනු ඇත යන බලාපොරොත්තුව පුරවැසි මනස තුළ තදින්ම ඉස්මතු වූවකි. එක්කෝ රෙජීමයේ දේශපාලඥන් නැතහොත් පොලීසිය විසින්ම සිදු කරන ලද මැරකම් හා අසාධාරණකම් අවසන මාධ්‍ය හමු කැඳවා ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් ජනතාව ගොනාට ඇන්දීමට අමූලික බොරු කී අජිත් රෝහණ වැනි විහිළුකාරයෙකු වත්මන් ආණ්ඩුව යටතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවේ වාඩි ගෙන පොලීසියට අරක්ගෙන ඇති සුපුරුදු වනචාරී ගතිය දිගටම ගෙන යනු දැකීමට අපට තවදුරටත් අනවශ්‍ය බවද සමාජය තුළින්ම අවධාරණය විය. ජනවාරි 08 වැනි දා බහුතර පුරවැසියන් විසින් මෛත්‍රීපාල සිරිසේන යන නම ඉදිරියෙන් සලකුණු කරන ලද කතිරයෙන් ඒ සියල්ලම අදහස් වූ බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය.

පොලීසියට සමාජය ඉදිරියේ තවදුරටත් පිරිහෙන්නට අඩියක් නැත. එය අන්තෙටම පිරිහී හමාරය. මේ අත්තනෝමතික හැසිරීම අත්හැරීමට පොලීසිය දිගටම මැළි වන්නේ නම් ජනතාව තවදුරටත් පොලීසිය ගැන විශ්වාසය තබා කටයුතු කිරීම සහමුළින්ම අත්හැර දමන දිනයක් එළැඹීම ඉක්මන් වනු ඇති බවද අවධාරණය නොකරම බැරිය. සාමාන්‍යයෙන් මිනිසුන් අවනතභාවය දක්වන්නේ තමන්ට විශ්වාස කළ හැකි හා ගරු කළ හැකි ආයතන හා පාර්ශ්ව වෙත පමණි. ඇතැම් විට ඇඹිලිපිටිය සිද්ධියේදී එහි වූ පිරිස් පොලීසියට එරෙහි කලහකාරී හැසිරීමක් ප්‍රකට කළා නම් (ඔවුන් කියන හැටියට) එයද කාලාන්තරයක් තිස්සේම ‘පොලීසියේ කෙරුවාව’ විසින්ම ජනයා අතර ස්ථාපිත කර ඇති පිරිහීමේ කලඑළි බැසීමක් වන්නටද බැරි නැත. පොලීසිය කී සැණින් ජුගුප්සාවක් ඇති වීම දැන් සාමාන්‍ය දෙයකි. මෙය ප්‍රායෝගිකව මැන ගැනීම සඳහා ‘පොලීසිය’ යන වචනයම පවා මේ වන විට සිතට නගන්නේ කෙබඳු අදහස් දැයි පෞද්ගලිකව සිතා බැලීමම ප්‍රමාණවත්ය.

මේ පොලීසිය විෂයික ආයතනික-ප්‍රතිපත්තිමය පරිවර්තනයක් සිදු කිරීම කෙරෙහි පොලිස්පතිවරයාගේ නොමඳ අවධානය ඉක්මනින්ම යොමු විය යුතුය. අඩුම කරමින් පොලීසිය හෑල්ලු කීරීමට කටයුතු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු කැපී පෙනෙන මෑතකාලීන විහිළුකාරයින් තම මේසය ඉදිරියට කැඳවා ‘තමුසෙලට ඇත්තටම පිස්සුද ඕයි?’ යන්නවත් ඇසීම පවා වැදගත් බව ඔහුගේ අවධානයට යොමු විය යුතුය. අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණක් වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යනු ලංකාවේ සිවිල් සේවය දේශපාලන මඩගොහොරුවේ ගිලෙන්නට පෙර ඉතාම ස්වාධීන හා ගරු කටයුතු ආයතනයක් ලෙස පැවති එකක් බවය. මෙම සිවිල් සේවයට ඊට ආවේණික නම්බුවක් තිබිණ. මේ නිසාම, එහි පිරීහීමට පාර කැපූ අවස්ථාවාදී දේශපාලඥයින්ම එම පිරිහීමෙන් පොලීසිය ගලවා ගෙන එය ජනහිතකාමී එකක් බවට පරිවර්තනය කරනු ඇති බව සිතීම මුළාවකි. මන්ද, එවැනි උත්සාහයක ප්‍රතිඵල අවශ්‍යයෙන්ම ඔවුන්ගේ අනාගත හැසිරීමට බාධාකාරී වනු ඇත යන සරල සත්‍යය වටහා ගත හැකි තරම් ඔවුන් කපටි නිසාය.

මෙහි ඉහතද දැක්වුණු පාරවල් කීපයෙන් එකක් පැහැදිලිව තෝරා ගැනීමට පොලිස්පතිවරයා දැන් කටයුතු කළ යුතුය!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.