26 April, 2024

Blog

මෛතී‍්‍ර දේශපාලනයේ බිල්ලා මවා පා රාජපක්ෂ දේශපාලනයේ යක්ෂයා ආරක්ෂා කිරීම – චරිත හේරත්ට පිළිතුරක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2015 ජනවාරී අටවැනිදා මෛතී‍්‍රපාල සිරිසේන රටේ ජනාධිපති ධූරයට පත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධ්‍යාත්මය තදින් අල්ලා ගැනීමට තරම් තවමත් ශක්තිමත් වී නොමැති බව තිත්ත ඇත්තයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිටි හේ සම්ප්‍රදායික පක්ෂ කාඩරය නියෝජනය කළ ද ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ සහාය ගෙන ශ්‍රී,ල.නි.ප.යේ නිල අපේක්ෂකයා පරාජය කිරීම ඔහුට එම පක්ෂයේ අධ්‍යාත්මය වැළද ගැනීමට නොහැකිවීමේ හේතුව වන්නට ඇත. එහෙත් මේ ජනප්‍රිය මතය ඉක්මවා යන වෙනත් ඇත්තක් එහි පවතින බව එදෙස ගැඹුරින් බලන්නෙකුට තේරුම් ගත හැකිය.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මෙහයවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බල හවුල රාජ්‍යයේ බලය ලබා ගන්නා තෙක් ශ්‍රීලනිපය දේශපාලන වේදිකාවේ මුල්ලකට වීසිවී තිබුණේ ලෝක දේශපාලනයට එම පක්ෂය සංවේදී නොවූ බැවින් විය හැකිය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදෙන්නට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පොරොන්දුවෙන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභ සාධනවාදී ආර්ථික දේශපාලන ගමන් මගකය. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූයේ අවංකවම එ.ජා.ප.යේ අධිරාජ්‍යවාදී දේශපාලනයට එරෙහිව යැයි කිව නොහැක. එහෙත් ලෝක දේශපාලනයේ ධ්‍රැවීකරණය වී තිබූ හැඩතල අනුව බණ්ඩාරනායකගේ දේශපාලනයට යම් ඉඩක් විවරව තිබුණි. එහෙත් ඒ අවකාශය 1977 වනවිට අවසන්ව තිබූ අතර ඒ වෙනස 1994 දී ශ්‍රී.ල.නි.ප.ය විසින් තේරුම් ගන්නා තෙක් විපක්ෂයට වී සිටීමට සිදුවීම එතිහාසිකව වැදගත් ය.

Maithripala1994 දී බණ්ඩාරනායක ප්‍රතිපත්ති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කාලානුරූපව ප්‍රතිසංස්කරණය කළ බව ඇත්තකි. එහෙත් ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපිට හරවමින් රාජ්‍යයේ හරය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අගුපිළකට කැදවාගෙන ගියේ මහින්ද රාජපක්ෂ විසිනි. 1978 දී එක්සත් ජාතික පක්ෂය විසින් ශක්තිමත් කළ ලූම්පන් ආර්ථිකයෙන් පොහොසතුන් වූ ධනවත් පන්තිය රාජපක්ෂ රෙජීමයේ හේවායන් වුණි. නව ලිබරල් ආර්ථික ක්‍රමයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථිකයේ පදනම වුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රෙජීමයේ දෘෂ්ඨිමය ආරක්ෂාව වුණි.

ඒ වටපිටාව තුළ බණ්ඩාරනායක විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුපිළ මෙත්‍රීපාල සිරිසේනලාට දි මු ජයරත්නලාට බර්ටි දිසානායකලාට හිමි වුණි. අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂයෙන් ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන. දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේ රජ අසුනේ වාඩි කෙරිණි. ශ්‍රී.ල.නි.ප මැද මාවතේ ආ බළල් පැටවුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, නිමල් ලංසා, ලක්ෂ්මන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම රාජපක්ෂගේ සුරතලුන් වුණි.

දේශපාලන රගමඩල මෙලෙසින් දිස්වූ අතර රාජ්‍ය මෙහය වූයේ ඇමෙරිකාවෙන් ආනයනය කළ බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ සියළු ප්‍රතිවාදී පක්ෂ බේදභින්න කරමින් රෙජීමය ස්ථාවර කර ගැනීමට දේශපාලන අංචි ඇද්දේය. ගෝටාභය රාජපක්ෂ රටම ලේ විලක් කරමින් ඒකාධිපතිවාදය ශක්තිමත් කළේය.

අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය 1978 දී රට පරිවර්තනයකට ලක් කළ අතර එහි වැඩි වාසිය ලබා ගත්තේ රාජපක්ෂ රෙජීමය යැයි කිවොත් එය අසත්‍යයක් නොවේ. ලුම්පන් ආර්ථිකයේ සමාජ තීරුව රෙජීමයේ ආර්ථික ශක්තිය වූ අතර සිංහලබෞද්ධ ජාතිකවාදී පිටපොත්තට මුවා වූ ගෝටාභයගේ ඒකාධිපති හැඩය රෙජීමයේ පාලන ස්වරූපය වුණි. දසවසරකට ආසන්න මහින්ද චින්තන යුගය අවසන් වූයේ මේ ඒකාධිපති ස්වරූපය පුපුරා යෑමෙනි.

ඒ පුපුරා යෑමත් සමග කළු ආර්ථිකයේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ අතර මං වුණි. කොමිස් ආදී වංචා දූෂණ වලින් ඇති දැඩි දේශපාලකයෝ දුප්පත් වුණි. එතෙක් නීතිය නොතකමින් ඒකාධිපති ගති ලක්ෂණ පෙන්වූ සමාජ විරෝධීන් බියෙන් සැලුණි. රෙජීමයට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරමින් පැවැත්ම තහවුරු කර ගත් ලිබරල් මහත්වරු නන්නත්තාර වුණි. ඊට පිළියමක් ලෙස මේ සියල්ලෝම විවිධ ක්‍රම අත්හදා බලමින් “අප්පච්චි සමග යළි නැගිටීමට මාන බැලූහ”. මැතිවරණ දෙකකින් පිට පිට පරාජය වෙද්දීත් බල පෙරේතකම අවසන් නොවුණි.

රාජපක්ෂ රෙජීමයේ දෘෂ්ඨිවාදය ගොඩනැංවීමට, ශක්තිමත් කිරීමට හා යාන්ත්‍රණය බල ගැන්වීමට මහත් වෙහෙසක් දැරූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්/ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්නට අලුත් වෙහෙසකට අත් පොත් තබන්නේ මේ තත්ත්වය තුළය. පසුගිය දා “කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවියට ලියමින් චරිත හේරත් පවසන්නේ නව නායකයා හෝ අනෙකුත් නායකයන් පක්ෂයේ දේශපාලන දිශාව තේරීමේ දී එජාප විරෝධය අවධානයට නොගන්නා තරමට පක්ෂය අර්බූදයට යන බවයි.

පක්ෂයක් අර්බූදයට යන්නේ බලය ලබා ගැනීමේ යහපත් ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයක් ද ගාමක බලයක් ද පක්ෂයක් වටා නොවූ විටය. ඒ අර්ථයෙන් 1977 සිට 1994 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට ගියේය. ඒ අර්බූදයෙන් පක්ෂය ගලවා ගනිමින් ප්‍රතිසංවිධානය දියත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ ප්‍රතිසංවිධානය පක්ෂයට පමණක් නොව සමාජයට ද ධනාත්මකව වැදගත් වුණි. එහෙත් එය ආපිට හරවමින් පක්ෂය යළි අර්බූදයකට තල්ලු කළේ මහින්ද රාජපක්ෂයි. පක්ෂය බලය දැරූවද එහි මුළුමහත් ක්‍රියාකාරීත්වය රදා පැවතියේ ආඥාදායකත්වය මතය. එසේම නව ලිබරක්වාදයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථික ස්වරූපය වුණි. නීතියක් ක්‍රියාත්මක නොවූ අතර මූල්‍ය වංචා හා දූෂණ රජ කෙරිණි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී යහපාලන විරෝධී පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට යැව්වේ නැද්ද?

රාජපක්ෂ රෙජීමයේ මධු සමය වූ 2008 පමණ චරිත හේරත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශකවරයකුව සිටිය දී පවා රාජපක්ෂ අර්බූදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවා ගැනීමට ඔහුට අවශ්‍යතාවක් නොවුණි. එදා ඔහු උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂය කොනිත්තමින් රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමටයි. 2008 දී පවත්වන ලද සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී රත්නපුරයට තරග කළ සුප්‍රක්‍රට මැරවරයකු වූ සර්පයා දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනියාවීමත් පරණ කොමිනිස්ට්කාරයකු වූ දෙයියා අන්තිමයාවීමත් චරිතට ආශ්වාදයක් වුණි. ඒ අවස්ථාවේදී චරිත උත්සාහ ගත්තේ යූඑන්පී දේශපාලනයේ බිල්ලා මවා පා මහින්ද චින්තනයේ යක්ෂයා ආරක්ෂා කර ගැනීමටයි. අට වසරකට පසුත් චරිත හේරත් උත්සාහ ගන්නේ ඒ පටු දේශපාලන උත්සාහයටමවීම උත්ප්‍රාසජනකය.

බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ දා පටන්ම එම පක්ෂය දැරූවේ සේවල මතයන් යැයි කීවොත් වඩා නිවැරදිය. එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍යවාදය නියෝජනය කරන විට ජාත්‍යන්තරවාදී නිර්ධන පන්ති දේශපාලනය නියෝජනය කිරීමට වාමාංශයට තිබූ අවකාශය උදුරා ගත්තේ බණ්ඩාරනායක විසිනි. එහෙත් එජාපයට එරෙහි ශක්තිමත් මතයක් ජාතිකවාදී බණ්ඩාරනායකට නොවුණි. නමුත් ජාතිකවාදී රාජ්‍ය කේන්ද්‍රීය සුභසාධනවාදයට එදා තිබූ ලෝක වලංගුතාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සමාජයේ වලංගු වුණි. චරිත හේරත් කියන පරිදි එජාපයේ ආර්ථික ප්‍රතිපත්තියට 1977 සිටම විවිධ ආකාරයේ අභියෝගයන් කළේ ශ්‍රීලනිපයයි. එහෙත් එම වකවානුව තුළ ශ්‍රීලනිපය සිටියේ එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට අභියෝග කළ හැකි ස්ථාවරයක නොවේ. පාන් කියා ගන්නටවත් බැරි අසරණ තත්ත්වයකට ඒ යුගය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී තිබුණි. පක්ෂයක් ලෙස එසේ අසරණ වූයේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රීලනිපයට නොවූ බැවිනි. එය ශ්‍රීලනිපයට ආවේනික දුර්වලතාවකි.

මහින්ද රාජපක්ෂට බලය නොමැතිවත් පක්ෂ නායකත්වය නොමැතිවත් මහජනතාව ඔල්වරසන් දෙන්නේ ඔහුගේ එජාප විරෝධී දේශපාලනය නිසා බව චරිත හේරත් පවසයි. එහෙත් මහින්ද රාජපක්ෂ එජාපයට එරෙහිවූ තීරණාත්මක මොහොතක් ඉතිහාසයෙන් නම් සොයා ගන්නට නොමැත. ඔහු කරන තරමක් කළේ ශ්‍රීලනිප ආණ්ඩුවල කැබිනට් රහස් එජාපයට ලබාදීමයි. එසේම එජාපයේ අටුවන් බැහැපු චෝදනාලාභීන් ශ්‍රීලනිපයට බදවාගෙන බලවත් ඇමතිකම් ලබාදීමයි. ඒ අර්ථයෙන් චරිත හේරත් පවසන්නේ දේශපාලන බොරුවකි. මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂට ඔල්වරසන් දෙන්නේ නම් එසේ කරන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සතුරා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් සමූල ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ නිසාය. ඒ ලේ හැලීම නොවන්නට මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ සමාජයේ වීරයකු වන්නේ නොමැත. එහෙත් පසුගිය ජනාධිපතිවරණය හා මහාමැතිවරණය වනවිට සිංහලබෞද්ධ මැතිවරණ කොට්ඨාශ වලින් ද මහින්ද රාජපක්ෂ ප්‍රතික්ශේප කිරීම ආරම්භ කර තිබුණි.

අද වනවිට සමාජය ඉදිරියේ පවතින දේශපාලන අභියෝගය වන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම නොවේ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශක්තිමත් කරන මුවාවෙන් රාජපක්ෂ චින්තනය ශක්තිමත් කිරීම ද නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මෙන්ම රාජපක්ෂ චින්තනය ද මේ වනවිට අවලංගු වී අවසන්ය. ඒ අර්ථයෙන් සමාජයට අවශ්‍යව ඇත්තේ නව දේශපාලන දර්ශනයකි. එය නව ලිබරල්වාදය සමග පොර බදිමින් ඊට සපුරා ප්‍රතිවිරෝධී වෙමින් ධනේශ්වර සංවර්ධනයකට ඉඩදෙන දේශපාලනයකි. එසේම නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන යහපාලනයකි. එසේ නොවන්නට ඉතිහාසයේ කුණු බක්කියට සමාජය විසින්ම ඇද දැමූ බණ්ඩාරනායක ප්‍රතිපත්ති හා මහින්ද චින්තන ප්‍රතිපත්ති නොවේ.

රාජපක්ෂ රෙජීමය තුළ ශක්තිමත් වූ සමාජ විරෝධීනට සම්මුතිවාදී ආණ්ඩුව හානිකර විය හැකිය. ඔවුන්ට වඩා ප්‍රියකරු විය හැක්කේත් සනීපජනක විය හැක්කේත් තනි පක්ෂ ආණ්ඩුවකි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩු ව්‍යුහය පක්ෂ දේශපාලන අර්බූදයන් ඉක්මවා සමාජයට අත්කර දෙන්නේ වැඩි වරප්‍රසාදයකි. එය සමාජයට වැදගත්ය. තවදුරටත් සම්ප්‍රදායි පක්ෂ දේශපාලනය තුළ එකිනෙකා බැහැර කරන ස්වරූපය ඉක්මවා රටක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට උත්සාහ දැරීම අතිශයෙන් වැදගත් ය. එහෙත් එය රදා පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන හැකියාව මතය.

පක්ෂ දේශපාලන ගැටුම් උලුප්පා දැක්වීමෙන් වාසි ලබාගන්නේ ගමේ අප්පුහාමිලාය. වහලයට දමන උළු කැටයට, වැසිකිළි කටට හා දරුවාට ලබා ගන්නා රැකියාවට දේශපාලනය කරන ගමේ අප්පුහාමිගේ දේශපාලනය අත්හැරිය යුතුය. එහෙත් වරදානයට, වරප්‍රසාදයට දේශපාලනය කළ නගරයේ අප්පුහාමිලා ද අද හැසිරෙන්නේ ගමේ අප්පුහාමිලා අන්දමින්මය. ඒ අර්ථයෙන් මෛතී‍්‍ර දේශපාලනයේ බිල්ලා මවා පා රාජපක්ෂ දේශපාලනයේ යක්ෂයා ආරක්ෂා කිරීමට චරිත හේරත් දරන තැත භයානකය.

*shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.