27 April, 2024

Blog

‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි?

අශාන් වීරසිංහ –

එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, ‘මහින්ද දෘෂ්ටිවාදය’ තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන් අප සමාජයේ සුලභව දැකිය හැකි සංස්කෘතික පසුගාමීත්වයෙහි තරම පසුගිය කාලය පුරාවටම අත්දැක ඇති හා එයින් උපායමාර්ගික වාසි රැසක්ම ලබා ගැනීමට සමත් වූ මහින්ද විසින් ජාතක කරන ලද ලෝක දෘෂ්ටිය මේ වන විට මහින්දවාදීන්ගේ පොදු ‘දැක්ම’ බවට පත්ව තිබෙන අයුරු පෙනේ. මේ අනුව, මහින්ද දෘෂ්ටිවාදය යනු මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයා සිතන පතන ආකාරය පමණක්ම නොවේ. එය, සමාජයේ සුවිශේෂී පිරිසක් අවට ලෝකය බලන කණ්ණාඩිය බවටද පත්ව තිබේ. ශිෂ්ටාචාරවත්භාවයේ මූලික නිර්ණායක පවා උල්ලංඝනය කරන මේ ප්‍රාථමික චින්තන රටාව අන්ධානුකරණයෙන් වැළඳගත් පිරිසක්ද තවමත් අප අතර සිටින බව උග්‍රතර මහින්ද භක්තිකයන්ගේ හැසිරීමෙන් හා අදහස්වලින්ද මනාව පසක් වෙයි. අප මෙය පරාජය කළ යුත්තේ ඇයි? මිථ්‍යාව, මායාව, ආගමික අවභාවිතය, ව්‍යාජ දේශප්‍රේමය, ජාතිවාදය ආදී ශිෂ්ටාචාරයට පටහැනි අංගලක්ෂණවලින් පිරී පවතින මේ දෘෂ්ටිවාදය සමාජයෙන් තුරන් කළ යුත්තේ, එසේත් නැතහොත් එය සමාජය තුළ අඩපණ කළ යුත්තේ නැවත වරක් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දේශපාලනික අවශ්‍යතාවක් ලෙස පමණක් සලකා නොවේ. අනාගත පරපුර දෙස බලන විට, එසේ කිරීමේ සමාජ-සංස්කෘතික වගකීමක්ද අප ඉදිරියේ පවතී. මෙම ලිපියේ අරමුණ, මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයාගේ මානසික මට්ටම හා චින්තන රටාව “මහින්ද දෘෂ්ටිවාදයක්” ලෙස සමාජගත වීමේ අභාග්‍යයෙන් ගැලවීමේ කාලීන වැදගත්කම අවධාරණය කිරීමයි.

Mahinda Sri Maha bodhi 1මහින්ද රාජපක්ෂ යනු ආගම බොරුවක් බවටත් බොරුව ආගමක් බවටත් පත් කළ අයෙකි. සිය සෑම කතාවකදීම කිහිප විටක් පාහේ ‘අපෙ හාමුදුරුවනේ’ යැයි කීමට අමතක නොකරන ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ තමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ බෞද්ධයෙකැයි ජනතාවට ඒත්තු ගැන්වීමටය. නැතහොත්, බුදු දහමේ වත්මන් ‘නිල ඒජන්තවරුන්’ බවට පත්ව සිටින භික්ෂූන් මුල්තැන තබමින් කටයුතු කරන බව මවා පෑමටය (මහින්දට කහින මේ භික්ෂූන්ගේ බෞද්ධකමද වෙනම ප්‍රශ්න කළ යුත්තකි.) එහෙත් බුද්ධාගම පිළිබඳ අති සරල කියවීමක් ඇති කෙනෙකුට පවා මහින්දගේ බෞද්ධකම බුදුසමයේ මූලධර්මවලට පටහැනි විකෘතියක් බව තේරුම් ගැනීම අපහසු නොවේ. මහින්ද “හොඳ” බෞද්ධයෙකු වන්නේ වචනයෙන් හා ඔහු කියන ඕනෑම හරුපයක් අති භක්තියෙන් ඇත්ත ලෙස ගැනීමට පූර්ව සූදානමකින් පසුවන මහින්ද ව්‍යාධියෙන් පීඩා විඳින්නන්ගේ මනෝභාවය තුළ පමණි. මහින්දගේ රෙද්ද පල්ලෙන් බේරෙන බෞද්ධකමේ දිග පළල පසුගිය කාලය පුරාවටම අපි අත්දැක ඇත්තෙමු. මෑතකදී පන්සල් ගානේ යමින් ඔහු විසින් පවත්වන ලද ඊනියා ‘බෝධිපූජා’ ව්‍යාපාරය ඊට ආසන්නතම නිදසුන් සපයයි. අඩුම තරමින් වාච්‍යාර්ථයෙන් ගත් කල පන්සලක් යනු මිනිසුන්ට පිනක් දහමක් කර ගැනීමට අවස්ථාව සලසන ස්ථානයක් වුවද මහින්ද මෙකී ආගමික ආයතන ව්‍යුහය යොදා ගත්තේ මොනතරම් නින්දිත හා ගෝත්‍රික ස්වභාවයෙන්ද? මේ අතරම, මුහුණුපොතේ මහින්ද වෙනුවෙන් හඬ නගන අය නිතරම ඉස්මතු කරන සාම්ප්‍රදායික තර්ක කිහිපයෙන් එකක් වන්නේද සිංහලකමත්, බුදු දහමත් රැක ගැනීමට නම් අප්පොච්චාට රට පවරා දිය යුතුය යන්නයි. ඔවුන් මතු කරන අදහස් වචනවල තේරුම් ඇසුරින් කියවන විට නම් පෙනී යන්නේ මොවුන් ඉතාම භක්තිමත්, ආගමික බෞද්ධයින් පිරිසක් බවයි. එහෙත්, මේ සා විශාල බෞද්ධකමක් හද පත්ලේම පුරවාගෙන සිටින ඔවුන්ට මහින්දගෙන බුදු දහමට සිදු වන හානිය හා නිග්‍රහය නොපෙනෙන්නේ ඇයි? ඔවුන් බුදුදහම රැකීම යන්නෙන් අදහස් කරන්නේ දේශපාලනික වාසි තකා එය අවභාවිත කිරීමද? ඔවුන් රකින්නට උත්සාහ කරනුයේ කාගේ බුදු දහමද? වඩාත් සරලව අසනවා නම්, ඔවුන් අදහන්නේ බුදුදහමේ කාගේ version එකද?

ව්‍යාජ ආගමිකත්වය හැරුණු විට මහින්ද දෘෂ්ටිවාදයේ තවත් නෛසර්ගික ලක්ෂණයක් වන්නේ යථාර්ථයට මුහුණ දීමට ඇති බිය හෙවත් අවිද්‍යාව වැළඳගැනීමයි. පසුගිය ජනපතිවරණයේදී සිය ඉල්ලා කෑම වසර දෙකකින් ඉදිරියට දමා ගැනීමට මහින්ද උනන්දු කළේද ඔහු තුළ වූ මේ මිථ්‍යාකාමී මානසිකත්වය බව නොදන්නා කෙනෙකු නැත. හැම විටම අතේ ගුලිකරගෙන මිරික මිරිකා ඉන්න වශී බෝලය ඔහුගේ ඉන්ද්‍රිය පද්ධතියේම කොටසක්දැයි අපි විටෙක සිතන්නෙමු. මේ හැරුණු විට, ඔහුගේ ශරීරයේ නොපෙනෙන තැන්වල තවත් වශී උපකරණ කීයක් එල්ලාගෙන සිටිනවා දැයි අපි නොදනිමු. පෞද්ගලිකව ඕනෑම කෙනෙකු ඕනෑම මතවාදයක් හෝ ඇදහිල්ලක් විශ්වාස කළාට අපට කමක් නැත. එහෙත්, එයින් සමස්ථ සමාජ ක්‍රමයටම සිදු වන්නේ හානියක් නම් එහිදී අප ඇස් කන් පියාගෙන සිටිය යුතුද? නැත. මහින්දගේ පාලන කාලය තුළ කිසිම වැදගැම්මකට නොමැති ගුරුකම්කාරයෙකුට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ තනතුරක් පිදීමට පවා හේතු වූයේ රාජපක්ෂ වසාගෙන පැතිරුණු අවිද්‍යාවයි. මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් තිබේ. යම් සමාජයක් මිථ්‍යා විශ්වාසවලින්, වැදගැම්මකට නැති ඇදහිලිවලින් දූෂණය වීමෙන් අදහස් වන්නේ එම සමාජය නූතනත්වය, දියුණුව, ප්‍රගමනය වැනි සංසිද්ධීන්ගෙන්ද ඈතට යන බවයි. එහි වගකීම භාරගත යුත්තේ කිසියම් තනි පුද්ගලයෙකු පමණකැයි අප සිතිය යුතු නොවුණද මහින්ද විසින් අත්පත් කරගනු ලදුව තිබූ අසීමිත බලය හේතුවෙන් මෑත කාලීන අපේ සමාජය තුළ එවැනි විශ්වාස වැපිරීමට තීරණාත්මක සහායක් ඔහුගෙන් ලැබුණු බව සියුම් ලෙස කල්පනා කරන විට පෙනී යයි. මා මෙහි වරින් වර “මහින්ද දෘෂ්ටිවාදය” යන්න යොදා ගන්නේ එහෙයිනි.

මේ හැමෙකකටම වඩා මහින්ද විසින් ශ්‍රී ලාංකීය සමාජය වෙත එල්ල කරන ලද මරු පහර ලෙස සැලකිය යුත්තේ ඔහු විසින් ඉතා සූක්ෂ්ම ලෙස පැළ කරන ලද අසීමිත ජාතිවාදයයි. මෙහි පැති දෙකක් දැකිය හැක. පළමුවැන්න නම්, පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ බුර බුරා නැගෙන්නට වූ දමිළ විරෝධයයි. දෙවැන්න, සිංහල බහුතරයේ අන්තගාමීත්වය උපක්‍රමික ලෙස යොදාගෙන වපුරන්නට උත්සාහ කළ මුස්ලිම් විරෝධයයි. මෙකී ජාතිවාදී ව්‍යාපාරයන් දෙක විසින්ම කාලාන්තරයක් තිස්සේ සිංහලයා තුළ මුල්බැස ගෙන තිබෙන, මහාවංශයේ සිටම දිගහැරෙන, තමන්ගේ ‘සංස්කෘතික අන්‍යයා’ ඉවසීමට ඇති නොකැමැත්ත වඩාත් තීව්‍ර කරනු ලැබිණ.

ජාතිවාදී අදහස් සමාජය තුළ ව්‍යාප්ත කර ඉන් අනවශ්‍ය ලෙස දේශපාලනික වාසි අත්කර ගැනීමට මහින්ද දැරූ උත්සාහය අවසානයේදී ඔහුගේම අවාසියට හේතු වූ ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී සුළුජාතීන්ගේ දේශපාලනික මැදහත්වීමෙන් පෞද්ගලිකවම වටහා ගැනීමට තීරණාත්මක අවස්ථාවක් මහින්දට ලැබුණද ඔහු ඉන් පාඩම් උගෙන පුනරුත්තාපනය වූ බවක් අදටත් නොපෙනේ. ඇතැම් විට මීට හේතුව, පැවති තත්ත්ව නිරීක්ෂණය කරන විට හා දිගු ඉතිහාසයක් ඇති ඓතිහාසික අන්තවාදයක් ලෙස බහුතර සිංහලයන් තුළ මුල්බැසගෙන පවතින සුළුතර විරෝධය සලකා බලන විට ‘දෙමළාට හා මුසල්මානුවාට කිසිවිටෙක හඬක් නැගීමට විභවයක් නොමැත’ යන්න ඔහු ඕනෑවට වඩා විශ්වාස කිරීම විය හැක. අධිතක්සේරුව තරමටම අවතක්සේරුවද නරකය!

සාමාන්‍යයෙන් අන්තවාදයේ මූලික ලක්ෂණය වන්නේ ඕනෑම දෙයක තවත් පැති ඇති බව නොපෙනී යාමයි. මහින්දත්, ඔහුව අදහන මහින්දවාදීනුත් අදටත් පොදුවේ කල්පනා කරන අදහසක් ඇත: “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි. දෙමළා පිටස්තරයෙකි. සිංහලයන්ගේ රටේ ඔවුන්ට මේ ආකාරයෙන් හෝ ඉන්නට ඉඩ හැරීම සිංහලයාගේ මනුස්සකමේ ප්‍රතිඵලයක් මිස දෙමළා විසින් ඕනෑවට වඩා නැටීමට හේතුවක් කරගත යුතු කාරණයක් නොවේ”. අදටත් මුහුණුපොතේ මහින්දවාදීන් ඔහුගේ දේශපාලනික ආගමනය සමාජයීය අවශ්‍යතාවක් ලෙස ඉස්මතු කිරීම සඳහා යොදා ගන්නා එකම අවිය දමිළ විරෝධය වීමෙන් මහින්ද දෘෂ්ටිවාදයෙන් සමාජය තුළ ජාතිවාදය ඉස්මතු වීම කෙරෙහි ලැබී ඇති සහයෝගය කදිමට ඔප්පු වේ. ඔවුන්ට අනුව, “දෙමළා” සහ “කොටියා” යනු පර්යාය පද දෙකකි. මේ රටේ ‘අහිංසක සිංහල වැසියන්ට/උරුමක්කරුවන්ට’ ඔවුන්ගෙන් එල්ල විය හැකි තර්ජනය කවදා කොතැනක කෙලෙස ඉස්මතු වනු ඇතිද යන්න ගැන හැමවිටම ඔවුන්ට ඇත්තේ සැකයකි. මෑතකදී අහිංසක දෙමළ වැසියන් පිරිසක් (කුඩා දරුවෙකුද ඇතුළත්ව) සාහසික ලෙස ගෙල කපා මරා දැමීමට වරදකරු වූ යුධ හමුදා සෙබළෙකු මහා ජාතික වීරයෙකු ලෙස හුවා දක්වමින් එම තීන්දුවට විරෝධය පළ කරන අතරම උග්‍රතර කොටිවාදයක් මත පදනම් වූ සිය ගණනක් සටහන් හා ඡායාරූප මුහුණුපොතෙහි පළ කිරීමටත්, මධ්‍යස්ථ අදහස් දක්වන අයගේ දැඩි පිළිකුල මධ්‍යයේ වුව ඒවා තමන් වැනිම මරාවාදීන් හා හුවමාරු කර ගනිමින් කාලකණ්ණි සතුටක් විඳීමටත් පෙළඹුණු සිංහලයන් ගැන සිතන විට ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඇති විය යුත්තේ දැඩි ආත්ම ලැජ්ජාවක් හා ස්වයං-සාපරාධී හැඟීමකි. අනෙක් අතට, ඔවුන් මොනතරම් පුන පුනා කියන්නට හැදුවද සත්‍ය වශයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ උතුරේ දමිළ ජනයා බව අපි දනිමු. එක් අතකින් කොටින්ගේ පීඩාවට ලක් වන අතරම අනෙක් අතින් මහජාතියේ නිරන්තර වෛරයට හා ද්වේශයට ලක් වෙමින් දිවි ගෙවන්නට සිදු වීමේ අභාග්‍යය අප රටේ දමිළ ප්‍රජාවට අත්විඳින්නට සිදු වීම මනුෂ්‍යත්වය අතින් ඛේදයකි!

අනෙක් අතින් පසුගිය වකවානුව පුරාවටම ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව මෙරට පුරවැසි පිරිසක් ලෙස භාර ගැනීමට තරම් මධ්‍යස්ථභාවයක් මහින්ද තුළ නොවීය. තමන් වටා සිටින අවිචාරවත් අනුගාමිකයන්ද යොදාගෙන හැකි සෑම විටම මුසල්මානුවාට පහර ගැසීමට ඔහු අමතක නොකළේය. සිවුර මෙහිදී ඉටු කරන ලද්දේ ඉතාම තීරණාත්මක කාර්යභාරයකි. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ තමන්ගේ ධර්මය වුවද ප්‍රශ්න කිරීමකින් තොරව ගැනීමෙන් වළකින ලෙස වුවත්, අප රටේ බෞද්ධයන්ගේ අති බහුතරය සාම්ප්‍රදායික, උප්පැන්න සහතික-බෞද්ධ ගණයට අයත් වන නිසා මුස්ලිම්වරුන්ට එරෙහි ජාතිවාදී ව්‍යාපාරයේදී සිවුර නමැති සංකේතය යොදාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ සූක්ෂ්ම අවබෝධයක් මහින්ද රාජපක්ෂ සතු විය. බොදු බල සේනාව නමැති ආගමික ත්‍රස්ත කල්ලිය විසින් ඔහුගේ මූලධර්මවාදී හෙජමොනිය සඳහා අවශ්‍ය සමාජ අනුමැතිය (social consent) ඒකරාශී කරන ලද්දේ ඉතාම නින්දිත හා ම්ලේච්ඡ ආකාරයටය. අලුත්ගම දර්ගා නගරය වනසා දැමීමෙන් පසුව වුවද ගලගොඩ අත්තේ ඥානසාර නමැති චීවරධාරියාට ‘අබ සරණ’ පන්නයේ වාග් ප්‍රහාර මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කිරීමට අවශ්‍ය නිදහස් වාතාවරණය සහ ‘හයිය’ ඇතිකර දුන්නේ මහින්ද රෙජීමය හැර අන් කවරක්ද? (මේ චීවරධාරියා විසින් රචනා කළැයි ප්‍රචාරය කෙරෙන ‘නිවන් මග’ නමැති කෘතියක පසුවදන ලෙස එක් මහනායක හිමිනමක් විසින් තබන ලද සටහනට අනුව මොහු විසින් අගනා සාමයික මෙහෙවරක් ඉටු කර තිබේ!).

මහින්දගේ අන්තවාදය හා මුග්ධකම ‘මහින්ද රාජපක්ෂ’ නමැති තනි පුද්ගලයාට පමණක් අදාළ දේවල් ලෙස අප වටහා නොගත යුත්තේ මෙවැනි පසුබිමක් තුළය. න්‍යායික ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉතාම නිදහස් ලෙස හැසිරීමට අවකාශයක් ජනමාධ්‍ය හා අදහස් සමාජගත කිරීමේ හැකියාවක් ඇති අනෙකුත් පාර්ශ්ව සතු වුවද, ප්‍රායෝගික කරුණු අතින් බලයේ පවතින දේශපාලනික දෘෂ්ටිවාදය යම් සමාජයක පොදු ලෝක දෘෂ්ටිය සකස් වීම කෙරෙහි ඍජුව බලපාන බව ප්‍රකට කරුණකි. අනෙක් අතට, මහින්දගේ කාලයේ තිබුණු නල්ලමලේ මාධ්‍ය නිදහසට පින් සිදුවන්නට රටේ බහුතර ජනතාවට එදිනෙදා සිදුවීම් ගැන දැනුවත් වීමට හැකි වූයේ රජයේ හෝ රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනවලින් මවන පුවත්මය ආඛ්‍යාන හරහා පමණි. නිදහස් හා විකල්ප අදහස් පළ කරන සියලුම මාධ්‍ය කොටි හිතවාදී හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබන බටහිර ගැති මාධ්‍ය ලෙස එවක හංවඩු ගසා තිබිණ. කණගාටුවට පත්විය යුතු කාරණය වන්නේ අද පවා මහින්ද දෘෂ්ටිවාදයේ ආභාසයට ලත් සැලකියයුතු ජනකායක් මෙරට දිවි ගෙවීමයි.

අපගේ මීළඟ ඉලක්කය, ඉදිරි මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය පුළුල් මට්ටමේ එකක් විය යුත්තේ එහෙයිනි. දේශපාලනික සංස්කෘතියක් අසලටවත් පරිණාමය නොවී ඇති අප රටෙහි මහින්ද පරාජය කළ පමණින් දේශපාලනික පරමාදර්ශ බිහිවනු ඇතැයි සිතීම මුළාවකි. “මහින්ද දෘෂ්ටිවාදය” පරාජය කිරීම සමස්ථ ජාතියක් වශයෙන් අපට වැදගත් චින්තනමය විප්ලවයක් වන්නේ එය, සමාජ යථාර්ථය දෙස බැලිය හැකි තවත් ආකාර ඇති බව පිළිගැනීමට තරම් නිහතමානී විචාරවත් සමාජ මනසක් ස්ථාපිත කිරීමේ වැදගත්ම පූර්ව කොන්දේසිවලින් එකක් වන හෙයිනි.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    5

    stupid article and backbone less writer is trying to promote tamil and muslim terrorism

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.