25 April, 2024

Blog

රාජපක්ෂවාදය අහෝසි කිරීම හා රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ එකම කාසියේ පැති දෙකකි

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

එක්දහස් නමසිය අසූ ගණන්වල දකුණේ බෙලිඅත්තේ ජීවත් වූ උක්කුවා ප්‍රසිද්ධ මැරයෙකි. මං පැහැර ගැනීම් කරමින් ගම්මු බයෙන් භීතියට පත් කළ හේ ග්‍රාම්‍ය චණ්ඩි චරිතයකි. උක්කුවාගේ ජීවිත කතාව ලියූ “දිවයින” පුවත් පත සදහන් කරන පරිදි වරක් තම සතුරා මරණයට පත් කිරීම උක්කුවා විසින් ප්‍රමාද කරන්නේ මුල්කිරිගල අතුරු මැතිවරණය අවසන් වන තෙක් ය. සතුරා රාජපක්ෂවාදියකු නිසා ඔහුව ඝාතනය කළහොත් ඔහුගේ සහාය රාජපක්ෂලාට අහිමිව යෑම ගැන උක්කුවාට තක්සේරුවක් තිබී ඇත . ඒ අනුව පැහැදිලි වන්නේ ප්‍රසිද්ධ මැරයකු වූ උක්කුවාත් රාජපක්ෂවාදියකු බව ය.

මගේ මතකය නිවැරදි නම් තංගල්ල බන්ධනාගාරය තුළ දරුණු කළකෝලාහලයක් ඇති කරමින් එක් ප්‍රසිද්ධ සිරකරුවකුගේ නායකත්වයෙන් කැරැල්ලක් පැන නැගුණේ 2003 දී ය. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහගේ රජයට තත්ත්වය පාලනය කර ගැනීම අපහසු වූ නිසා දෝ විපක්ෂ නායකයා වූ මහින්ද රාජපක්ෂගේ සහාය ඊට ලැබුණි. හේ තංගල්ල බන්ධනාගාරයට ගොස් කැරැළි නායකයාට නමෙන් ආමන්ත්‍රණය කර ඔහුව මෙල්ල කර තත්ත්වය සමනය කිරීමට සමත් වුණි.

ජුලංපිටියේ අමරේ ද යහමින් ප්‍රචණ්ඩත්වය යොදා ගත් කැරැළිකරුවෙකි. ඔහු ජනඝාතන කිහිපයකටම වගකිව යුතු නිසා පොලීසියට අවශ්‍යව සිටි අයෙකි. එහෙත් රාජපක්ෂලාගේ පිහිටෙන් නීතියේ ඇස් වලට වැලි ගසා ප්‍රචණ්ඩත්වයෙන්ම ජීවත් වුණි. අවසන බෙලිඅත්ත ප්‍රදේශයේ රාජපක්ෂ විරෝධී දේශපාලන රැළියකට අමරේගේ ප්‍රධානත්වයෙන් එල්ල කළ ප්‍රහාරයකින් පසුව අත් අඩංගුවට ගැනීමට රජයට සිදුවුණි. එතෙක් රාජපක්ෂලාගේ පිහිට හා කරුණාව යහමින් ලැබෙමින් ජුලංපිටියේ අමරේ තම ප්‍රචණ්ඩත්වය මුදා හලේය.

Mahinda Rදශක කිහිපයක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වූ දේශපාලන ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු එල්ටීටීඊ සංවිධානය සමූල ඝාතනය කළත් දකුණේ තම උපන් බිමේ ප්‍රචණ්ඩත්වය නැති කිරීමට රාජපක්ෂලා අසමත් වුණි. ඒ අර්ථයෙන් හම්බන්තොට හා ඊට ආසන්න ප්‍රදේශ තවදුරටත් “මුදා නොගත් ප්‍රදේශ ” වුවත් “රට බේරා ගත් නායකයා” යැයි කිරුළු පැළදීමට රාජපක්ෂවරු සමත් වුණි.

ලාංකික සමාජයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් එකට ඈදා කතා කිරීමට යොදා ගන්නේ 1978 මේ රටේ සිදුවූ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයයි. ආර්ථික ප්‍රසංස්කරණ මගින් පාදඩ ආර්ථිකයක් නිර්මාණය වූ අතර ඒ නිසා පාදඩ සමාජ තීරුවක් ද බිහිවුණි. මේ පාදඩ සමාජ තීරුවට රාජ්‍යයේ සහාය උපරිම ලෙස ලැබුණි. මේ ජනප්‍රිය විග්‍රහය තුළ විත්තිකරුවා වූයේ රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය වුවත් ඊට බාහිරව තවත් පාදඩ සමාජ තීරුවක් විපක්ෂ බලවේගයන් හා ගොනු වුණි. එහෙත් කිසිම සමාජ දේශපාලන විවේචකයෙක් මේ තත්ත්වය විග්‍රහ නොකිරීමට පරිස්සම් වුණි.

එක්සත් ජාතික පක්ෂ පාලනය තුළ ගෝනවල සුනිල්ලා නිර්මාණය වෙද්දී ඊට සමාන්තරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය තුළ උක්කුවාලා, වම්බොට්ටලා හා ජුලංපිටියේ අමරේලා නිර්මාණය වුණි. එසේම ජනාතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ ද ප්‍රචණ්ඩ චරිත ඉස්මතු වුණි.

එක් එතිහාසික තත්ත්වයන් තුළ ප්‍රචණ්ඩත්වය හා ප්‍රති ප්‍රචණ්ඩත්වය සමාජයක් තුළ නිර්මාණය විය හැකිය. ඒ අනුව ගෝනවල සුනිල්ලා මර්දනය කිරීමට කැළණිය විශ්ව විද්‍යාලය තුළ බද්දේගම සමිතලා ද මුල්කිරිගල අතුරු මැතිවරණයේ යූඑන්පී ප්‍රචණ්ඩත්වය තුළ මහින්ද රාජපක්ෂලා ද ඉස්මතුවීම ස්වභාවිකය. එහෙත් මුළුමහත් සමාජයක් ප්‍රචණ්ඩත්වය කරා තල්ලු කිරීමට සමත් වන පරිදි රාජ්‍යයේ බලය ඊට දායකවීම කනගාටුදායක ය.

එල්ටීටීඊ ප්‍රචණ්ඩත්වය පරදා රාජ්‍යයේ බලය මුළු දිවයින කරා පැතුරූ පමණින් “රට බේරා ගත් වීරයා” යැයි ඉහළට එසවීමට තරම් මහින්ද රාජපක්ෂ සුදුසු නොවන්නේ එනිසාය. රාජ්‍යයට එරෙහිව කැරළි ගැසූ එල්ටීටීඊය සමූල ඝාතනය කිරීම ලාංකික දකුණට ඉස්පාසුවක් විය හැකි වුවත් එමගින් රාජපක්ෂ පාලනයට සුජාත බවක් අත් නොවන්නේ ඊට වෙනස් ප්‍රචණ්ඩත්වයක් එම පාලනය මගින් උතුරේත් දකුණේත් ස්ථාපිත කළ බැවිනි. රාජපක්ෂ මොඩලයේ ඒ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියට එනම් මහින්ද චින්තන සංස්කෘතියට දේශපාලන තිත තැබුවේ ජනවාරී අට වැනිදා මෙරට සිදු වූ සමාජ විප්ලවයෙනි.

මිනීමැරීම්, මංකොල්ලකෑම්, රාජ්‍ය දේපළ පැහැර ගැනීම්, සොරකම් කිරීම්, දූෂණ වංචා කිරීම් ආදී අට අනූවක් සමාජ විරෝධී හැසිරීම් වලට එරෙහිවීමක් සමාජයෙන් පැන නැගුන ද ජනවාරී අට වැනිදා සමාජ විප්ලවයේ මූලික හරය ලෙස මතු වූයේ ඒකාධිපති ප්‍රචණ්ඩත්වය රාජ්‍ය පාලනයේ මොඩලය කර ගත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කිරීමේ අවශ්‍යතාවයි. ඒ අනුව ජනවාරී අට වැනිදා සමාජය ගත් සම්මුතිගත තීන්දුව වූයේ මහින්ද චින්තන සංස්කෘතිය පරාජය කිරීමෙන් තොරව ශ්‍රී ලාංකික සමාජයට තම ගමන් මගේ වෙනසක් ඇති කර ගත නොහැකි බවයි.

එහෙත් ජනවාරී අටවැනිදා සමාජය පිළිගත් සම්මුතිය තේරුම් ගැනීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධිමත් නොවීමත් ඊට මුහුණ දීම සදහා උපක්‍රමශීලී නොවීමත් නිසා මහින්ද චින්තන සංස්කෘතිය නැවතත් වටයකින් පරාජය කර ජනවාරී අටවැනිදා විප්ලවීය පණිවුඩය සමාජය තුළ ස්ථාපිත කිරීමේ වගකීම මේ මොහොතේ මතුව තිබේ.

මහින්ද චින්තනය මුහුණ දී ඇති අභියෝග තුළ තමන්ට අහිමි වන දේශපාලන කීර්තිය හෝ තම පුත්‍රයාගේ දේශපාල අනාගතය ගැන හෝ සිතමින් කාලය කා නොදමා තමා ආරක්ෂා කළ දේශපාලන ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ඒම හැර වෙනත් විකල්පයක් මේ මොහොත තුළ මහින්ද රාජපක්ෂ සතුව නැත. එනිසා සමහරවිට රාජපක්ෂ පාර්ශ්වය ජනාධිපතිවරයා හා සම්මුතිගතව එකම ලැයිස්තුවකින් තරග කළ හැකිය. නො එසේනම් ජනාධිපතිවරයා හා සම්මුති විරහිතව වෙනම ලැයිස්තුවකින් තරග කළ හැකිය. කෙසේ වුවත් ජනවාරී අටවැනිදා පරාජය කළ දේශපාලන ව්‍යාපාරය මොනයම් හෝ හේතුවක් නිසා නැවත හිස එසවීම සිදුවන්නේ නම් ඊට මුහුණදීම සදහා මුළුවැර යොදා මහන්සිවීමත් ඒ පරාජිත දේශපාලනයේ අනතුර අවම කර ගැනීමට කටයුතු කිරීමත් සමාජය මුහුණ දෙන අභියෝගයයි.

සිංහල සමාජයේ මධ්‍යම පන්තිය කේන්ද්‍ර කර ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය ව්‍යුහාත්මකව වෙනස් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඈ ඒ සදහා මෙහේය වූයේ එක්සත් ජාතික පක්ෂය 1978 දී සිදු කළ පරිවර්තනයයි කිව හැකිය. ඒ පරිවර්තනයට මුහුණ දීමට නම් එතෙක් ආ ගමන් මග වෙනස් කිරීම අනිවාර්ය සාධකයක්ව තිබුණි. 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පක්ෂය තුළ සිදු කළ වෙනස 1994 දී ජයග්‍රහණයට පදනම් වුණි.

චන්ද්‍රිකා තම පක්ෂය තුළ හරයාත්මක වෙනසක් කිරීමේ දී එතෙක් පක්ෂයට ආවේනිකව තිබූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨියෙන් ද විතැන් වුණි. එසේ නොවී පැවැති සමාජ දේශපාලන ධ්‍රැවීකරණයන්ට මුහුණදීම අපහසුව තිබුණි. තවදුරටත් පසුගාමී හරයකින් ගෝලීය අභිලාෂයන් හා එක්ව ගමන් කිරීමට අපහසු වන්නට ඇත. ඒ සදහා ගෝලීය ප්‍රාග්ධනයේ මගපෙන්වීම ද ලැබෙන්නට ඇත.

එහෙත් 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය වෙනස් කරමින් දේශපාලන පාදම අලුතින් සකස් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨියට අවශ්‍ය පරිදි ය. කලින් පැවතියේ එහි ග්‍රාම්‍ය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයක් නම් මහින්ද රාජපක්ෂ විසින් හදුන්වා දුන්නේ පාදඩ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයකි. ඒ නිසා 1978 දී ඇති කළ එක්සත් ජාතික පක්ෂයේ පාදඩ ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි සමාජ ප්‍රතිඵල අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාදම බවට පත් වුණි.

මේ අනුව මහින්ද චින්තනවාදය සමාජය තුළ ශක්තිමත් බලවේගයකි. එය සමාජ ප්‍රවර්ධනට අගතිගාමී ලෙස දායක වුවද එමගින් යැපෙන සමාජ තීරුවක් පවතින නිසා මහින්ද චින්තනය සජීවීව පවතියි.වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ රාජ්‍යයේ දේපල කොල්ල කා ධනවත් වූ වෙළෙද ප්‍රජාවක් ක්‍රියාකාරීව එය ආරක්ෂා කරයි. එනිසා ජයග්‍රහණය පතා අවශ්‍ය ඕනෑම මුදලක් පොම්ප කරමින් වෙහෙස වී කටයුතු කිරීමට සමත් ශක්තියක් එය ගොඩනගා ගෙන තිබේ.

අක්මුල් බැස ගත් හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ. රාජපක්ෂ සංස්කෘතියට කෙතරම් එරෙහි වුවත් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රාජපක්ෂ සංස්කෘතියේ මූලික හරයන්ගෙන් වියුක්ත වී ඇති බවක් දක්නට නැත. එහෙත් රාජපක්ෂ පාලනයේ දශ වසරකට ආසන්න කාලය තුළ ලැබූ අත්දැකීම් මත යහපත් සමාජ සංස්කෘතියක අඩිතාලම් දමා ගැනීම සදහා රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවිය යුතු බවට එම පක්ෂයන්ට ද බලකිරීමක් එල්ල වී තිබේ.

ගෝලීය දේශපාලනය තුළ ජාතිකවාදී ප්‍රතිපත්ති වලට ඇත්තේ උපක්‍රමික වලංගුතාවක් පමණි. සංස්කෘතියක් ලෙස ජාතිකවාදී පදනමකින් රාජ්‍යය සකස් කිරීම අගතිගාමී වේ. ලෝකය පුරා ජාතිකවාදී සංකල්පයන් ඉස්මතුව ඇතත් එමගින් ගෝලීය ප්‍රාග්ධනයේ සංචලනයට බාධා ඇති වේ නම් දේශපාලනිකව ඒ බලවේගයන් දියවී යෑම අනිවාර්ය කරුණකි. ඒ අනුව සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වන රාජපක්ෂ සංස්කෘතියට ද දේශපාලන පැවත්මක් තිබිය නොහැක.එහෙත් කෙටි කාලීනව හෝ සමාජයට විනාශකාරී ගැටළු ඇති කිරීමට ඊට ඉඩක් පවතින බැවින් එය අහෝසි කිරීම වහා කළ යුතුය.

රාජපක්ෂ සංස්කෘතිය වහා අවලංගු කිරීමෙන් අදහස් වන්නේ එය බැහැර කළ යුතු බව නොවේ. එය දේශපාලනිකව අහෝසි කළ යුතුය. බැහැරකිරීම තුළ ආන්තික ප්‍රතිපල ලැබිය හැකි වුවත් අවනත කර ගැනීම තුළ එම මතවාදය නිශ්ක්‍රීය කළ හැකිය. ආන්තිකවාදී රාජපක්ෂ සංස්කෘතිය අවනත කර ගත හැක්කේ ක්‍රම දෙකකිනි. එකක් ඊට පදනම් පවුරු සපයන පාදඩ ආර්ථික ක්‍රියාකාරීත්වය අහෝසි කිරීමෙනි. දෙවැන්න සීමීත දැක්මක් සහිත ජාතිකවාදී අදහස් පරාජය කරන පුළුල් අන්තර්ජාතික දැක්මක් කරා යෑමයි. මේ සදහා ශ්‍රී ලාංකික රාජ්‍ය ව්‍යුහයේ පළල් වෙනසක් ඇති කිරීම අවශ්‍යම කරුණකි. ඒ වෙනස සමාජ බෙදීම් වලින් ඔබ්බට ගිය පුළුල් හරයකින් විය යුත්තකි. සිංහල, දෙමළ හා මුස්ලිම් වූ ජාතිකත්ව අනන්‍යතා තබා ගනිමින් පුළුල් ජාතික අවශ්‍යතාවක් මත රාජ්‍යයේ අභිලාශ ගොනු කර ගැනීම ඊට හොද පදනමකි.

මෙත්‍රීපාල සිරිසෙන ජනාධිපති ධූරයට පත්වීමත් සමග රාජ්‍යයේ හරයාත්මක වෙනසක් සදහා මූලික අත්තිවාරම වැටී ඇතැයි පෙනන්නට තිබේ. මෙතෙක් කොළඹ ආණ්ඩුව හා එක්ව එහි ආධිපත්‍යවාදී මතයට නතුව වැඩ කරන්නැයි තිබූ බලහත්කාරකම තවදුරටත් උතුරු පළාත් සභාව මත එල්ල් නොවේ. එහෙත් ස්ව කැමැත්තෙන් ඔවුන් කොළඹ ආණ්ඩුව හා එක්ව කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකි. උතුරත් දකුණත් මෙලෙස එක්වීම ආන්තිකවාදයට බාධාවකි. ඒ නිසා රාජපක්ෂ සංස්කෘතිය අවලංගු කිරීමේ මෙහෙයුම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි පැවසිය හැකිය.

shan.info1978@gmail.con

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    1

    [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.