24 April, 2024

Blog

ඥානසාරගේ ම්ලේච්ඡකම ඉදිරියේ පොලිස්පතිගේ “පූජිතකම”

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන් ගෙන තිබේ. පසුගිය 21 දා ‘සත්‍යග්‍රහයක්’ යැයි ඔවුන් විසින් හඳුන්වා ගන්නා අවස්ථාවකට සහභාගී වෙමින් ම්ලේච්ඡ අලුත්ගම සංහාරයේ ‘දෙවන සංවත්සරයක්’ ගැන සිහිපත් කිරීමේ පුවතක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය මගින් වාර්තා කෙරිණ. ඊට අදාළ වීඩියෝවක්ද පළ වූ අතර එම වීඩියෝවේදී ඥානසාර පුන පුනා මතු කරන අනතුරු හැඟවීම් හුදෙක් පිස්සෙකුගේ කටමැත දෙඩවීම් ලෙස පමණක් ගෙන නොසලකා හැරීමට නොහැකි හේතු කිහිපයක් තිබේ. එක අතකින් ඔහු මේ සාපරාධී ප්‍රකාශ කරන්නේ මහින්ද රෙජීමය ප්‍රතික්ෂේප කොට ඊට විකල්පයක් ලෙස බලයට පැමිණි (න්‍යායික කරුණු කිහිපයක් අතින් පමණක් වුවද!) ‘යහපාලන’ ආණ්ඩුවක් විසින් පාලනය කරනු ලැබෙන ශ්‍රී ලංකාවකය. අනෙක් අතින්, සකලාර්ථයෙන්ම ‘පූජිත’ බවට ඇතැම් අය පසුගිය කාලය පුරාවට වර්ණනා කළ පොලිස්පතිවරයෙකු පත්ව සිටින පසුබිමකය. මේ කරුණු දෙකටම වඩා, ඥානසාරලාගේ ම්ලේච්ඡකම් හේතුවෙන් අලුත්ගම පැතිරී ගිය තිරිසන් භීෂණයක මතක මැද්දේය. දැන් මේ කරුණු තුනම එකට ගෙන කියවා බැලූ කල ඥානසාරලාගේ වත්මන් හැසිරීම ගැන ඇති විය යුත්තේ කවර හැඟීමක්ද? පසුගිය අලුත්ගම සිද්ධිය ම්ලේච්ඡ එකක් බවට මහා සමාජයක් ලෙස පිළිගැනීමෙන් පසුව පවා එයම නැවත නැවතත් ප්‍රසිද්ධියේ සඳහන් කරමින් නොබියව පුරාජේරු ගසන්නට ඥානසාරලා වැනි රස්තියාදුකාරයන්ට හැකි වී තිබෙන්නේ ඇයි?

ඥානසාර

ඥානසාර

මහින්ද රෙජීමය ජාතිවාදී එකක් බවත්, වාර්ගික හිංසනය නවතා දැමිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘යහපාලන’ වේදිකාවල නිතර නිතර කියවුණි. ඇත්තෙන්ම මේ ආණ්ඩුවට බලය අත්කර දෙන්නට පුරවැසියන් බහුතරය පෙළ ගැසුණේද සිංහල-බෞද්ධ මූලධර්මවාදය රති කෙළි මඬලක් කරගත් මහින්දලාගේ මැරකම් සහ හොරකම් දෙස තවදුරටත් බලා සිටීමේ අවශ්‍යතාවක් නොවූ හෙයින් බව දැන් ලියලාම කටපාඩම්ය! සාපේක්ෂව ගත් කළ යහපාලන ආණ්ඩුව මහින්ද රාජාණ්ඩුවේ ආගම බඳු ජාතිවාදයෙන් සෑහෙන දුරකට ඈතින් සිටීමට උත්සාහ ගන්නා බව පෙනුණද (එහෙත්, සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය රාජ්‍ය පාලන මූලධර්මය ලෙසම පවත්වා ගනිමින්!) අපි ඒ බව නිතර නිතර මතක් කරමු. මෙහිම අනෙක් තර්කය වන්නේ බලකාමයෙන් වියරු වැටී තිබුණු මහින්ද රෙජීමයේ ‘සාමාන්‍ය/නෝමල් දේවල්’ යහපාලන ආණ්ඩුවක් යටතේද නැවත නැවතත් දකින්නට අවශ්‍යතාවක් අපට නැති බවය. ඥානසාර, සද්ධාතිස්ස ඇතුළු චීවරධාරී අබෞද්ධ මැරයන්ට එළිපිටම අන්‍ය වාර්ගිකයන් කායිකව හා වාචිකව පීඩනයට ලක් කරන්නට ලයිසන් ලැබුණේ මහින්ද රාජපක්ෂ අතින් බව අප දනිමු. එනිසාම ඒ ලයිසන් අවලංගු කිරීම යහපාලන ආණ්ඩුවේ වගකීමකි. ජනවාරි 08 හැරවුම්කාරකය වඩා මානුෂීය ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීම වෙනුවෙන් භාවිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුවට පක්ෂව තම ඡන්දය පාවිච්චි කළ පුරවැසියන් අති බහුතරයේ ‘යහපාලන බලාපොරොත්තු’ බොහොමයක් බිඳ දමා ඇති පසුබිමක පවා ජාතිවාදීන් මර්දනය කරන ලෙස බල නොකර සිටීමට අපට බැරිය.

මෑතකදී පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුර සඳහා පත් කෙරෙන විට ඇතැම් අය මහත් අතිශයෝක්තියෙන් ‘පූජිත පොලිස් සේවයක’ බලාපොරොත්තු දල්වා ගෙන සමාජ මාධ්‍යවල අදහස් පළ කළේ දියසේන එනතුරු බලාගෙන සිටි පිරිසක් මෙනි. පූජිත් ජයසුන්දර මහතා ගැන මවා පාමින් තිබුණු ප්‍රතිරූපයට අනුව ඒ මහතා ඉතාම ‘හොඳ, ධාර්මික’ පුද්ගලයෙකි. පොලිස්පති පුටුවේ වාඩි වී දින කිහිපයකට පසුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලන තුරු තමන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයට නොයන බවද නව පොලිස්පතිතුමා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. මට ඒ කිසිවක් ගැන විවේචන නැත. පූජිත් හොඳ කෙනෙකු ලෙස දකින්ට කැමැති අය එසේ කළාට මට කම් නැත. එහෙත්, පූජිත් වඩා හොඳ වන්නේ ක්‍රියාවෙන්ම ඒ බව ඔප්පු කළ විටය. සමහර විට මේ සිද්ධියද එවැනි අවස්ථාවක් වීමට ඉඩ නොමැත්තේද? “තවත් මිනිස් සංහාරයකට අප සූදානම්ය” යන පණිවුඩය ස්පීකර් හඬින් ප්‍රසිද්ධියේ කියන්නේ චීවරධාරී ඥානසාර නොවී දෙමළ හෝ මුස්ලිම් මිනිසෙකු නම් කතාව අවසන් වීමටත් පෙර අත්අඩංගුවට නොගන්නේද? අත්ඩංගුවට ගැනීම කෙසේ වෙතත් අඩුම තරමින් අදාළ රැස්වීම විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කරන බව අපට විශ්වාසය.

ලංකාව වැනි රටක රෙජීමයක් පවත්වා ගෙන යාම සඳහා චීවරධාරී මැරයන්ගේ උපායමාර්ගික උපයෝගීතාව වෙනම කතිකාවකි. ‘දේශපාලනික බුද්ධාගම’ සහ ලංකාවේ දේශපාලනික හෙජමොනිය අතර ඉතිහාසය පුරාවටම දිග හැරී ඇති සම්බන්ධය නිසාම ‘සිවුර’ යනු තවත් එක් ඇඳුමක් හෝ අකුරු තුනක් නොව තීරණාත්මක බල සාධකයකි. සරලවම කියනවා නම් සිවුරට අත තැබීමට මිනිස්සු ‘බය’ වෙති. බුද්ධ, ධම්ම, සංඝ යන සංකල්ප අතර ඇති සබඳතාව මෙහිදී ප්‍රති-අර්ථකථනයට ලක් කෙරෙනුයේ ‘මොන පහත් වැඩේ කරත් සිවුරට ගරු කරන්න ඕන’ යන අර්ථයෙන් නිසාම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ හැසිරීම කොතෙක් නරක එකක් වුවද ‘සිවුරට’ (සහ තමන්ගේ පාංසකූලෙට නොහොත් මරණින් මතු බදා ගැනීමට ඇති ආසාවට) ඇති බිය නිසාම පන්සලට දානය රැගෙන යාමට උපාසක මහත්තුරු සහ නෝනලා පෙළඹෙති. මහජනතාව ගොනාට ඇන්දවීමට ඥානසාරලා යොදා ගන්නා උපක්‍රමය වන්නේද එකී බියම නොවේද? චීවරධාරියෙකු මහ පාරට බැස බුද්ධාගම ගැන විටින් විට සඳහන් කරමින්, අන්‍ය වාර්ගිකයන්ට කුණුහරුපෙන් බැන වැදුණද ඒ හැසිරීම එම පුද්ගලයාගේ තක්කඩිකම ලෙස නොව, බුද්ධාගමේ නාමයෙන් කරන සත් ක්‍රියාවක් ලෙස භාර ගැනීමට සූදානම් අය අප අතර සිටිති.

ජාතිවාදී පිස්සු බල්ලන් මරා දමන්න යැයි අප ඉල්ලන්නේ නැත. අප ඉල්ලන්නේ උන් මහ පාරට බැස වියරුවෙන් මොර දෙන විට කුදලාගෙන ගොස් කූඩුවට දමන්න කියා පමණි. දැන් එන්න, ඥානසාර වෙනුවෙන් හැප්පෙන්න!

*Email – ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Thanks for the EYE Opening Letter. Dear IGP Sir, it is time to take action now or Regret later.

    United One SriLanka.

  • 1
    7

    මේ යකාට පිස්සු කියල හිතෙන්නෙ මට විතරද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.