5 August, 2020

Blog

උතුර දේශපාලනිකද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

මනුෂ්‍ය වර්ගයා විවිධ ව්‍යසනයන්ට මුහුණ පාන සිදුවීම් බරපතල ඛේදවාචක වනවා සේම සීමා විරහිතව මිනිස්කම් පිළිබඳ ගම්‍යාර්ථ රැසක්ම ඉස්මතු කරන තීරණාත්මක අවස්ථා ලෙසද කෙනෙකුට තේරුම් ගත හැක. කිසිදා හමුව නැති මිනිසුන් පිරිසක් වෙනුවෙන් බත් පාර්සල්, වියළි ආහාර, ඇඳුම්, බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු සහන භාණ්ඩ එක්රැස් කරමින් මහත් උද්වේගකර හා හෘදස්ඵන්දනයේ අමුතු වෙනස් වීමක් දනවන මනුෂ්‍යත්වයක් ප්‍රකට කරන මිනිසුන් පිරිසක් සේම සහෝදර ජනකායක් අවතැන්ව සිටින මොහොතක “flood selfie” ගසා ෆේස්බුක් ප්‍රොෆයිල යාවත්කාලීන කොට කාලකණ්නි සතුටක් භුක්ති විඳින (නො)මිනිසුන් පිරිසක්ද, අතිශයෝක්තිගත රඟදැක්වීම් ඇසුරින් පවතින ආපදා තත්ත්වය ratings වැඩි කර ගැනීමේ ඉල්ලමක් කරගත් මාධ්‍ය කරුවන් පිරිසක්ද, අනුන්ගේ ආපදා සහන වැඩසටහන්වලට බලෙන් මෙන් මුහුණ රිංගවා එක දා ගැනීමට වළිකන ආත්මාර්ථකාමී දේශපාලඥයන් පිරිසක්ද අප අතර සිටින බව අමතක කළ නොහැක. ඇති වී තිබෙන හද කකියවන ස්වභාවික ආපදා තත්ත්වයට දක්වන ප්‍රතිචාරයේදී ශ්‍රී ලංකාවේ ජනතාව පළ කරන අති හැඟීම්බර උද්‍යෝගයත්, එකමුතුකමත්, මිනිස්කමත් බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් දිනා ගැනීම වෙනුවෙන්ද උපායමාර්ගිකව භාවිත කළ නොහැකිද යන පැනය ඉස්මතු වන්නේ මට පමණක්දැයි නොදනිමි. ඒ කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී සමහර වැදගත් පණිවුඩ එකිනෙකාගේ හදවත්වලට වැඩිපුර දැනෙන්නට සන්නිවේදනය කරගත හැකි යැයි මට සිතේ. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පවා තීරණාත්මකම අවස්ථාවලදී සිදු විය යුතුව තිබුණු සන්නිවේදනයන් එසේ නොවීමෙහි ප්‍රතිඵලයක් ලෙසද කෙනෙකුට වටහා ගත හැක.

සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම විපක්ෂ නායකයා වන සම්පන්දන්

සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම විපක්ෂ නායකයා වන සම්පන්දන්

යුද්ධයෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව වෙත සිංහලයාට හිමි සම පුරවැසිභාවය ප්‍රතිපත්තිමය වශයෙන් ලබා දීමට දකුණේ දේශපාලන බල කේන්ද්‍රය අපොහොසත්ව ඇති බව මෙන්ම තම වාර්ගික-සංස්කෘතික අන්‍යයා මනුෂ්‍යත්වයෙන් භාර ගැනීමට සූදානම් නැති තැනට බහුතර සිංහල සමාජය පුරාවට විෂ බීජ පතුරුවා හැරීමද යෙහෙන් සිදු කෙරී ඇති බව අපි එදිනෙදා අත්දකින සිදුවීම් ඇසුරින්ම පෙනෙයි. දකුණේ කතා කිරීමට මට අවශ්‍ය නැත්තේම මේ කියවන පාඨකයාට එහි ඇති අවස්ථාවාදීත්වය හා දූෂිතකම ගැන අමුතුවෙන් කරුණු කීම අනවශ්‍ය හෙයිනි. උතුරේ දේශපාලනික නායකත්වය එක්කෝ ඔවුන් නියැළී සිටින බව ගම්‍ය කරන අරගලයටත්, තමන් නියෝජනය කරන ‘දෙමළාගේ හෘද සාක්ෂියටත්’ අවංක නැත, නැතහොත් වාර්ගිකාගමික ජාතිකවාදය (ethnoreligious nationalism) විසින් බහුතර සමාජ මනස ගිල ගැනීමෙන්ද නොනැවතී ‘රට’, ‘ජාතික ආරක්ෂාව’, ‘ආගම’ වැනි සංකල්ප මුවාවෙන් පුරවැසි දෘෂ්ටිවාදය ඛේදනීය තත්ත්වයකට ඇද දමා ඇති පශ්චාත්-යුද සන්දර්භයක් තුළ අරගලය වෙනුවෙන් උපායමාර්ගික වීමේ වැදගත්කම නිසි පරිදි වටහා ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාව සම-පුරවැසිභාවය වෙනුවෙන් සිදු කරන අරගලය සහමුළින්ම නවතා දමා, පරාජය භාර ගෙන පසුබැසිය යුතු බවක් මින් කිසිසේත්ම අදහස් නොවේ. එහෙත්, ඇණේ ගැසිය යුත්තේ තැනේ හැටියට බව මම නම් නොකියාම බැරිය.

මා දරන පෞද්ගලික මතයට අනුව ලංකාවේ වාර්ගික ගැටළුවට නියම විසඳුම ඇත්තේ ෆෙඩරල් ක්‍රමය, ඒකීය රාජ්‍ය ප්‍රවාදය, ව්‍යවස්ථාමය සංශෝධන හා ප්‍රතිපාදන යන මේ කිසිවක් තුළ නොව සිංහල දෙමළ ප්‍රජාවන් දෙකම එකිනෙකා පිළිබඳව දරන ආකල්පය වෙනස් කරගෙන තමන්ගේ අන්‍යයා වෙත සහෘද වීම තුළ පමණි. යුද්ධයක් තිබූ බව ඇත්තය. සිංහල හා දමිළ යන සාමාන්‍ය ප්‍රජාවන් දෙකෙහිම වැසියන් ඉන් දැඩි පීඩාවන්ට ලක් වූ බවද ඇත්තය. එහෙත් මේ ප්‍රවාදයම මත පදනම්ව තව කොතෙක් කලක් එකිනෙකාට දොස් පවරමින් අපට මේ ගමන යා හැකිද යන පැනය තීරණාත්මක එළැඹුම්වලින් ජනතාවට අභිමුඛ කළ යුතුය. විග්නේශ්වරන් මේ මොහොතේ කුමක්ද කීවද ‘ඇහැට ඇහැක් ඉල්ලන ප්‍රවේශවලින්’ සිදු වන එකම දෙය දෙමළා පිළිබඳව දකුණේ සිංහල-බෞද්ධ බහුතරය තුළ ඇති එදිරිවාදීකම තවදුරටත් ඔද්දල් වීම පමණි. උතුරට වඩා දකුණේ සිංහල-බෞද්ධ හෙජමොනික දේශපාලන සමාජයට වැඩි නෑකම් ඇති විග්නේශ්වරන්ට යාපනයේ අහිංසක දෙමළා වෙනුවෙන් හෘදයාංගම කැප කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න මට නම් දැඩි කුකුසකි. එවැනි කැප කිරීමක් තිබේ නම් මේ මොහොතේ ඔහු කළ යුත්තේ උපායමාර්ගික හා මතවාදීමය අරගලයක් හරහා තම ජනයාට සිංහලයා අතර අහිමිව තිබෙන දේ හිමි කර දීමට කැප වීමය. ලංකාවේ දමිළ ජනතාවට හිමි විය යුතුව ඇති පුරවැසි අභිමානය ඔවුන්ගෙන් උදුරා ගනු ලැබුවේ සාමාන්‍ය සිංහල සමාජය නොව වාර්ගිකාගමික ජාතිකවාදය බළල් අතක් කොට ගෙන පටු දේශපාලනික වාසි වෙනුවෙන් පුරවැසි දෘෂ්ටිවාදය ඉතාම පහත් ලෙස කෙළෙසා දමන ලද ඊනියා දේශප්‍රේමීන් බව වඩා පුළුල් අර්ථයකින් වටහා ගත යුතුය. මා දකින බොහෝ සිංහල-බෞද්ධ ජාතිවාදීන් ජාතිවාදී වන්නේ ඇයිද යන ප්‍රශ්නයට ඍජු උත්තර ඔවුන් සතුවවත් නැති බව වෙනත් තැනක මා ලියා ඇත.

දකුණේ කුහක දේශපාලඥයන් විසින් බහුතර සිංහල සමාජය ඉදිරියේ ගොඩනගා ඇති ‘දෙමළාගේ චිත්‍රය’ කෙබඳු එකක්දැයි අපි හොඳාකාරවම දනිමු. මෙය ඉතාම ම්ලේච්ඡකමක් ලෙස මා දකින්නේ හුදෙක් ඡන්දයක් දිනා ගැනීම, මුදල් ටිකක් කොල්ල කා ගැනීම වැනි අරමුණක් වෙනුවෙන් සමස්ථ ජන ප්‍රජාවකගේම ඉරණම අනතුරේ හෙළීමක් ඉන් සිදුව ඇති හෙයිනි. මේ පසුබිම තුළ දෙමළ ජනතාව වැඩි වශයෙන්ම දිනාගත යුත්තේ දෘෂ්ටිවාදීමය ජයග්‍රහණයන් බව මට සිතේ. මේ සඳහා ඊනියා ජයග්‍රහණවලින්, රණකාමීත්වයෙන්, මවා ගත් ඉතිහාසකාමීත්වයකින් ඔද වැඩී ඇති සිංහල-බෞද්ධ බහුතර මනස ආමන්ත්‍රණය කළ හැකි භාෂා සහ විලාස දෙමළ සමාජ ක්‍රියාකාරීන් හදුනා ගෙන ඇති බවක් නොපෙනේ.

අඩුම තරමින් දකුණේ ප්‍රදේශ රැසක් විනාශ කරමින් මේ සිදුව ඇති ස්වභාවික ආපදාවල ඛේදනීය තත්ත්වය ගැන දමිළ ප්‍රජාව හදවතින් කම්පා වන බවත්, වින්දිතයන්ට නැගිටීම සඳහා හැකි පමණින් අත දීමට තමන් සූදානම් බවත් සිංහල බහුතරය වෙත අවංකව සන්නිවේදනය කරන්නට දමිළ දේශපාලනික නායකයන් කටයුතු කළ යුතුව තිබිණ. සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම විපක්ෂ නායකයා වන සම්පන්දන්ද විපතට පත් වූවන් වෙත සහෝදරත්වයේ දෑත දිගු කරන්නට දමිළ සමාජය සංවිධානය කළ යුතුව තිබිණ. මෙය උතුරේ දෙමළා දකුණේ සිංහලයාට “දෙක” වීමක් ලෙස කෙනෙකුට අර්ථ ගන්වා ගැනීමට හැකි වුවද මා දැඩි ලෙස විශ්වාස කරන කරුණක් නැවත සඳහන් කරන්නේ නම්, එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් ඇද ගැනීමේ යථාර්ථය සහජීවනයක් වෙනුවෙන් වෙනස් කරන්නට නම් මිනිසුන්ගේ හදවත්වලට සමහර පණිවුඩ සන්නිවේදනය කළ යුතුමය. මා දෙමළ සමාජය නියෝජනය කරන ක්‍රියාධරයෙකු වුණා නම් මේ මොහොතේ කරන්නේ මේ ලිපිය ලිවීම නොව “සිංහලයිනි, දෙමළා යනු උඹලාගේ කුහක දේශපාලඥයන් විසින් උඹලාට උගන්වා ඇති ප්‍රජාවක් නොවේ” යන පණිවුඩය බහුතර සමාජය වෙත ගෙන යන්නට තැත් කිරීමයි. දිනාගත යුතු බොහෝ දේ ඇත, කළ යුතු බොහෝ අරගල ඇත. එහෙත්, හුදු හඬ නැගීම් වෙනුවට ජයග්‍රහණ බවට ඒවා පත් කර ගැනීමට නම්, සමහර තීරණාත්මක අවස්ථාවල නිකුත් කෙරෙන තීරණාත්මක පණිවුඩ අතිශය වැදගත් වනු ඇත. එහෙත් ඒ පණිවුඩය ගෙන යන්නට තරම් දෙමළ සමාජයේ දේශපාලන නායකත්වයද දකුණේ දේශපාලඥයන් පරිදිම පුරවැසි කේන්ද්‍රීය නැති බව කිව යුතුය. අඩුම තරමින් අරගලයට අවංක නැත, අරගලකාමී නැත. මන්ද, සැබෑ අරගලකාමියා සෑම විටම උපායමාර්ගික වීමට තෝරා ගන්නා බැවිනි

විමුක්තිය යනු දිනා ගැනීම පමණක් නොව උපයා ගැනීම සඳහාද වන දෙයකි!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    යුද්ධයෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව වෙත සිංහලයාට හිමි සම පුරවැසිභාවය ප්‍රතිපත්තිමය වශයෙන් ලබා දීමට දකුණේ දේශපාලන බල කේන්ද්‍රය අපොහොසත්ව ඇති බව —–

    ඔලුවේ අමාරුද?

    උතුරේ දේශපාලකයෝ කොටි සිංහලයෝ මරද්දි හුරේ දදා හිටියේ …උතුර පට්ට දේශපාලනිකයි….දැන්වත් තේරුම්ගන්න

  • 0
    0

    Great point.

    How ever it must be noted that tamil political elite failed to organise support for the war displaced at the end of the conflict as well.

    Looking at the issue from outside Tamil upper caste elite is heavily responsible to the state of affairs we have now. One of the most important steps to sustainable reconciliation and political empowerment is to empower Tamil population so that they can bring down and eliminate the caste and social class based political system in their community.

    How ever the article gives a excellent point too.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.