27 April, 2024

Blog

ඒකාබද්ධ විපක්ෂය: ඔබට සතුටුයිද දැන්?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ඒකාබද්ධ විපක්ෂයේ ‘ඡායා කැබිනෙට්ටු’ විකාරය මහින්ද කල්ලියට නැවත රට පාවා නොදිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නයට කදිම පිළිතුරක් සපයයි. එතැනින්ද නොනැවතී අප මහින්ද රාජපක්ෂත්, ඔහුව ඇම පිණිස කොක්කේ අමුණා ගෙන මාළු බෑමෙහි නිරත සහෝදර බල උන්මත්තකයන් රැළත් විවේචනය කරන විට ඒවා දරාගත නොහැකිව අපට පහර ගැසීමට ඉක්මන් වන අය වෙනුවෙන් අපේ ව්‍යායාමය සාධාරණීකරණය කරයි. අප මහින්ද රෙජීමය වැන්නක් නැවත බිහි වීම වැළැක්විය යුතු බවට මතයක් ගොඩ නගන්නේ ඇයි? යන ප්‍රශ්නය අසමින් සිටි අයට දැන් උත්තර ලැබී තිබේ. මේ නිසාම මේ මොහොතේ මේ වැඩේ කරන්නට ඔවුන් කල්පනා කිරීම හොඳය. කෙසේ නමුත් ළඟම ඉන්නා කවුරුන් හෝ මහින්දව ගජරාමෙට අන්දන බව නම් පෙනේ. කලක් මේ රටේ නමක් දිනා ගත් දේශපාලන ව්‍යාපාරයක නියමුවෙකු (නමට හෝ) ලෙස ප්‍රසිද්ධව සිටි සෝමවංශ අමරසිංහ වුණත් අන්තිම කාලේ පිස්සු නටන්නට පටන් ගත් ආකාරය සිහිපත් කරන විට අධික බලකාමයෙන් වියරු වැටී සිටින මහින්ද මඤ්ඤං වීම ගැන පුදුම වීමට දෙයක් නැත. කෙසේ වෙතත්, පිස්සන්නට හා මානසික ලෙඩ්ඩුන්ට රටක් පාවා දිය යුතු නැත. Vasu Dinesh Wimal Udaya

වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ කොටසක් වන ‘ඡායා කැබිනට්ටුව’ යන්නෙන් අදහස් වන්නේ පවතින ආණ්ඩුවට එරෙහි විකල්ප බලවේගයක් බිහි කිරීම සඳහා කිසියම් විපක්ෂ නායකයෙකු යටතේ පිහිටුවනු ලබන කල්පිත මණ්ඩලයකි. දැනටමත් ලොව රටවල් කිහිපයකම ඡායා කැබිනට් මණ්ඩලය පිහිටුවා ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් එවැන්නක සාමාජිකයන් වීම සාමාන්‍ය සිරිතයි. මේ යටතේ කල්පිත ඇමතිකම්ද ප්‍රකාශයට පත් කරනු ලබන අතර එහි අරමුණ ‘අප බලයට පත් වුවහොත් මේ මේ අය මේ මේ ඇමතිකම් දරනු ඇත’ යන පණිවුඩය ජනතාවට සන්නිවේදනය කිරීමයි. ඒකාබද්ධ විපක්ෂයද එවැනි නල්ලමලේ සන්නිවේදනයක් කර ඇත. නියම බඩු ටිකකට රට භාර දීමට හීන දකින බව පෙනේ. එක අතකින් මෙහෙම වීමෙන් ජනතාවට විශාල සේවයක් සිදු වන්නේ අදාළ අය ගැන පැහැදිලිව වටහා ගැනීමට සහායක් ලැබීමෙනි. කොහොමත් මහින්ද රෙජීමයේ කට්ටිය එහෙමය. වත්මන් ආණ්ඩුව මෙන් පිටට යහපාලනය පෙන්නා ඇතුළෙන් පැවැති පාලනය ක්‍රමයම ඉදිරියට ඇදගෙන යමින් ජනතාවට අක්කා පෙන්නා නගා දෙන්නේ නැත. ‘පළිගැනීමක් වුණා නම් එහෙම වුණේ සරත් ෆොන්සේකාට විතරයි’ යනුවෙන් බැසිල් නොව බැසිල්ගේ කට විසින් කියවන වීඩියෝවක් පසු ගිය දා සමාජ මාධ්‍යවල හුවමාරු විය. මේ එකක් පමණි. මේ රාජපක්ෂලාගේ ‘ජෙනුයින්’ කම ය. එක අතකින් කරන කියන දෑ එළිපිට කෙළින්ම කියා දැමීම මොනතරම් හොඳ ගතියක්ද!

මේ සිද්ධිය ප්‍රසිද්ධ වන්නට පටන් ගැනීමක් සමග අපූරු නාටකීය ස්වභාවයක් ගන්නා ලදි. මේ බව හරියටම පෙනෙන්නේ මේ දවස්වල මහින්දවාදීන්ගේ නිල පුවත් අඩවිය බවට පත්ව ඇති විමල් වීරවංසගේ ලංකා සී නිවුස් වෙත පිවිස බැලූ විටය. දැන් දැන් ‘මම අගමැතිකම ඉල්ලුවේ නෑ, ඕවා මම දන්නෑ, මං බබා’ පන්නයේ කතා මහින්ද කොතෙක් කීවද ඡායා කැබිනෙට්ටු ජවනිකාව ගැන අපූරු කියවීමකට එය අපට ඇරයුම් කරයි. එහි හරි මැද දෙවැනියට තිබෙන පුවතේ හෙඩිම මෙසේය: “මහින්ද අගමැති කර ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන් ඇමතිකම් බෙදා ගනී.. ලයිස්තුව මෙන්න..” මුලින්ම වැඩේ පත්තු කර බැලූ පසුව මෙය හුදු විහිළුවක් බවට හැරුණු ආකාරය වැටහීමෙන් ශේප් න්‍යාය අනුගමනය කිරීම මේ අයට නුපුරුදු දෙයක් නොවේ. කොහොම වුණත් මේ වෙලාවේ මහින්ද එකත් එකටම ඒකාබද්ධ විපක්ෂයේ කෙරුමන්ගේ මව්පිය නමස්කාරය කරමින් සිටිනවාට සැක නැත. කිච වුණායින් මෙහෙම කිච වීමක් වෙලා නැත! දැන් මහින්ද ප්‍රසිද්ධ විහිළුවක් බවට පත්ව තිබේ. එහෙත් ඒ තත්ත්වෙට ඔහුව ඇද දැම්මේ කවුද?
කොහොම නමුත්, බලයෙන් මොළේ කුරුවල් වුණු පිස්සන්ට රටක් පාවා දිය යුතු නැත!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.