20 April, 2024

Blog

මීගහතැන්න, සිදුවීම පිටුපස ඇති “දේශපාලනය”

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

කොළඹට ගිනිකොණ දෙසට වන්නට කළුතර හා ගාලු දිස්ත්‍රික්ක වෙන් කරන මායිමේ පිහිටි මීගහතැන්න පිළිබඳව මෑත කාලයේදී වැඩි වශයෙන් රටේ කතාබහට ලක් වූයේ එහි ඇති ස්වාභාවික සෞන්දර්ය හේතුවෙනි. පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරවලින් ගහන මේ ප්‍රදේශයේ අතිශය රමණීය සුන්දර දියඇලි කිහිපයක්ම පිහිටා තිබේ. “වෙනසක්” සොයන සංචාරකයන්ගේ නිබඳ ආකර්ෂණයට ලක් වන මීගහතැන්න ප්‍රදේශය පසුගිය දින කිහිපයේ රටේ මාධ්‍ය අවකාශයේ “ඉඩ” අල්ලාගෙන තිබුණේ වෙනත් කාරණයක් නිසාය. මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමවුපිය කණ්ඩායමක් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු ක්‍රියාත්මක කළ උපවාසයක් නිසා මීගහතැන්න දෙස මුළු රටේම අවධානය යොමු වී තිබිණ. එම උපවාස ක්‍රියාවලිය තුළ සිදු වූ යම් යම් ක්‍රියාමාර්ග එම උනන්දුවේ තීව්‍රතාව අඩු වැඩි කළේය. මුළු රටම දන්නා එම සිදුවීම පිළිබඳව තවත් අටුවාටීකා ටිප්පනි පැවසීම අවශ්‍ය නොවේ. මෙම සමස්ත සිදුවීම් මාලාව පිටුපස පැහැදිලි “දේශපාලනයක්” දැකගත හැකි වූ අතර එම දේශපාලනය පිළිබඳව කතා කිරීම ඇගේ අරමුණයි.

පස්දුන් කෝරලයේ අගනගරය ලෙස සැලැකෙන මතුගම නගරයේ සිට කිලෝමීටර් දහතුනක් ඈතින් පිහිටි මීගහතැන්නේ ඇති ප්‍රධානතම පාසල වනුයේ මීගහතැන්න මධ්‍ය මහා විද්‍යාලයයි. මෑත කාලයේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී එහි ප්‍රාථමිකයේ දරුවන් පෑ ඉහළ දක්ෂතා නිසා මේ පාසලට විශේෂ අවධානයක් යොමුව තිබිණි. වරක් මුළු දිවයිනෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ දෙවැන්නාට ලැබු දරුවා ද බිහි කළ මේ පාසල පහසුකම් අතින් ඉතාමත් සුපිරි මට්ටමට පැමිණ නොතිබුණත් ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් අතර ඉහළින්ම පවතී. මතුගම නගරයේ ඇති ප්‍රධාන පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට නොහැකි සැම මීගහතැන්න අවට දෙමවුපියන්ගේම සිහිනය වනුයේ තම දරුවා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර ගැනීමයි. ඒ අනුව ආන්දෝලනයට ලක්වූ මේ සිදුවීමට සම්බන්ධ දෙමවුපියන් ද උත්සාහ කළේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට තම දරුවන්ව ඇතුළත් කරගැනීමටය.Palitha Thewarapperuma

පලිතගේ උපවාසය – ඡායා ෆේස්බුක් පලිත තෙවරප්පෙරුම

පෞද්ගලික මට්ටමින් සිදුකරන ලද මැදිහත් වීම් කිහිපයක් අසාර්ථක වූ තැන කණ්ඩායමක් ලෙස ගොනු වී තම ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන් උත්සාහ කළ ද එය ගඟට කැපු ඉනිවලට වඩා වැඩි දෙයක් නොවීය. ඒ තත්ත්වය තුළ දේශපාලන අධිකාරියේ සහාය ලබා ගනිමින් තම ගැටලුවට විසඳුමක් ගෙන ඒමට ඔවුහු තීරණය කළහ. ඒ සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් රජය නියෝජනය කරන දේශපාලනඥයන් ගණනාවක් සමඟ කතා කළ ද ඔවුන්ගේ ඉල්ලීමට “කොළ සංඥාවක්” නිකුත් වූයේ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් පමණි. පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට දේශපාලනඥයන්ගේ සහාය පැතීමේ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව තුළ දැකගත හැකි අතර, එවැනි අවස්ථාවක බොහෝ විට සිදු වනුයේ ඒ අදාළ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් දේශපාලනඥයා විසින් විදුහල්පතිවරයාට දුරකතන ඇමැතුමක් ලබා දීම හෝ ලිපියකින් දන්වා සිටීමය.

එහෙත් මේ කාරණය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රවේශය ඊට වඩා වෙනස් බව මෑත කාලයේදී කිහිප වරක්ම ඔහු පෙන්වා දී තිබිණි. දුරකතන ඇමැතුම් හෝ ලිපි නිකුත් කිරීම වෙනුවට කෙළින්ම ‘ගේමට බැසීම’ පාලිතගේ ක්‍රමය විය.

කළුතර විද්‍යාලයට දරුවකු ඇතුළත් කරමින් ඔහු එය රටටම පෙන්නුවේය. එනිසාම දරුවන්ට පාසලක් සොයමින් සිටි මීගහතැන්නේ දෙමාපියන් තම කාර්යයට සම්බන්ධ කරගෙන තිබුණේ ඊට ගැළපෙන පුද්ගලයාය.

පාලිත තෙවරප්පෙරුම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ මේ පසු කරමින් සිටිනුයේ දහහතර වන වසරය. 2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් තම ක්‍රියාකාරී දේශපාලන ජීවිතය ඇරැඹු තෙවරප්පෙරුම අතිශය අවාසිදායක කොන්දේසි ගණනාවක් ලද කෙටි කාල පරාසයක් තුළ නියෝජ්‍ය අමාත්‍යවරයකු දක්වා ආ ගමන ඕනෑම දේශපාලනඥයකු තුළ ඊර්ෂ්‍යාව ඇති කරනවා නිසැකය. පාලිත දේශපාලන හිණිමගේ පියවරෙන් පියවර ඉහළ ගියේ විදුලි වේගයෙනි. සාමාන්‍යයෙන් දේශපාලනයේදී ඒ සා වේගයෙන් යමෙකුට පියවර තැබීමට අවශ්‍ය කාරණා ගණනාවක් තිබේ. ජනතා කැමැත්තට අමතරව ඥාති සම්බන්ධතා, නායකත්වයට ඇති පක්ෂඵාතිත්වය, ළැදියාව, මිත්‍රත්වය, සමාජ සම්බන්ධතා, ශ්‍රී ලංකාව වැනි රටක ඒ සඳහා අවශ්‍යව පවතී. සෙස්සන්ට සාපේක්ෂව බලන කල පාලිතට එම ගුණාංග පිහිටා තිබුණේ අඩු වශයෙනි. ඒ නිසාම ඔහු මෙතෙක් පැමිණි ගමන කිසිවකුගේ වාරුවකින් තොරව තම ශක්තිය මතින් පැමිණි ගමනක් ලෙස නම් කිරීම අසාධාරණ නොවේ.

ප්‍රදේශයේ සෙසු දේශපාලනඥයන්ට සාපේක්ෂව පාලිත යම් අවංක චරිතයක් බව පොදු පිළිගැනීමය. මහජන සම්බන්ධතා විෂයයේදී රඟපෑම වෙනුවට නිර්ව්‍යාජ බවත් ඔහුගෙන් නිතරම දිස් වේ. එය ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කාරණයකි. තවත් වැදගත් කරුණු දෙකක් පාලිත පිළිබඳව සඳහන් කළ යුතුය. ඒ ඔහු ප්‍රායෝගික මිනිසකු බවය. පාලිතගේ ප්‍රායෝගික බවට වඩාත් හොඳින් මතුගම අගලවත්ත ජනතාව දුටුවේ ඔහු 2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වූ පසුය. ඒ සමය මතුගම ප්‍රාදේශීය සභා පරිපාලන ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස අදටත් සැලැකේ.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ශීත කාමරවලට වී කාලය ගත කිරීම ඔහුගේ සම්ප්‍රදාය නොවීය. කසළ ගෙනියන ට්‍රැක්ටරයේ රියැදුරු නොමැති විට ඔහු එහි රියැදුරු විය. මහාමාර්ග ඉදිකිරීමේදී කම්කරුවන් සමඟ උරෙන්උර ගැටෙමින් කටයුතු කළේය. ඔහුගේ දේශපාලනය තුළ දැකගත හැකි, අනෙක් වැදගත්ම කාරණය වනුයේ පාලිත ජාතිවාදය පිළිකුල් කරන්නකු වීමය.

මීට වසර දෙකකට ඉහතදී බේරුවල දර්ගා නගරය අවට ප්‍රදේශ ජාතිවාදි ගින්නෙන් වැසී යද්දි අන්තවාදි පිරිසකට මැදිව සිටි මුස්ලිම් කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට පාලිත ඉදිරිපත් වූයේ තම දිවි පරදුවට තබමිනි. සැබවින්ම එය බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් සිහිගැන්වීමක් විය. මේ සියල්ල ඔහුගේ දේශපාලනය තුළ දැකගත හැකි සාධනීය ලක්ෂණයි.

එහෙත් පාලිතගේ දේශපාලනය තුළ ඔහුටම ආවේණික වූ දුර්වලතා රැසක් ද දැකගත හැකිය. ඒ අතරින් ප්‍රධානම කාරණය වනුයේ ඔහු බුද්ධියට වඩා ඇ‍ඟේ හයිය මත විශ්වාසය තබා කටයුතු කරන්නකු වීම ය. එවැන්නෝ ස්වභාවයෙන්ම හැඟුම්බරය; ආවේගශීලිය; අවසාන ප්‍රතිඵලය පිළිබඳ තාර්කිකව ගණන් බැලීමක් නොකරයි. හිතුවක්කාරිය. එහු ද එවැන්නෙක් විය. කෙසේ වෙතත් පාලිත මේ වන විට යම් දේශපාලන සාර්ථකත්වයක් ලබා ඇත් නම්, ඊට බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ ද මේ ‘හදිස්සිය’ ය. එය හොඳට මෙන් ම නරකට ද ඔහුට බලපෑවේය. ඕනෑම කාරණයක් පිළිබඳ පාලිතගේ ප්‍රතික්‍රියා වේගවත් විය. ඔහු කිසි විටෙක පිටවීමේ දොරටුව (EXIT POINT) දෙස අවධානය යොමු කළේ නැත. වසා දමා තිබු බදුරලිය රෝහල විවෘත කිරීමට ඔහු ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසයේ දී මෙන් ම දින කිහිපයකට පෙර සිදුකළ උපවාසයේදීත් විදුලි පංකාවක එල්ලි සිය දිවි නසා ගැනීමට තැත්කිරීම වැනි ‘කෝලම්’ දකින්නට ලැබෙනුයේ ඒ තත්ත්වය තුළය.
මෝඩකමක් ලෙස පෙනුණ ද ඔහු නිතරම අවදානම, දෝතින් භාර ගත්තේය; තම අනුගාමිකයන් තනි නොකළේය. මීට වසර 15කට පෙර වූ සිදුවීමක් මේ ලියුම්කරුට මතකය. දොඩන්ගොඩ ප්‍රදේශයේ එජාප කාර්යාලයකට අද ද පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදු පෙරමුණු දේශපාලනඥයකු කළ පහර දීමක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ දී එය මායිම් නොකළ, කළුතර පොලිස් අධිකාරිවරයා සමඟ පාලිත මුහුණට මුහුණ හැප්පුණේය. ඒ වන විට ඔහු අවම තරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක් හෝ නොවීය. විවෘත ද්වන්ධ සටනක් වූ එම සටනේදී පාලිත තමා අගතැන්පත් කරාතේ, චීනඩි සාස්තරයෙන් පහර කිහිපයක්ම පොලිස් අධිකාරිවරයාට එල්ල කළේ විදුලි කොටන්නාක් මෙන් වේගයෙනි. එක දිගට නොනවත්වා එල්ල වූ ප්‍රහාරයෙන්, ඉහළ පොලිස් නිලධාරියා අඩපණ වෙද්දී දුසිමකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ පාලිතව, ‘ආම්බාම්’ කළහ. මීගහතැන්න සිදුවීම, සම්බන්ධයෙන් දරුවන්ගේ මවුවරු අත්අඩංගුවට පත් වූ මොහොතේදීත් රෝහල් ගතව සිටි ඔහු ස්ව කැමැත්තෙන් ඉන් පිටවෙමින් අධිකරණයට භාර වූයේය. අධිකරණ නියෝගවලට බියෙන්, වෙව්ලන ඒ නිසාම නැති ලෙඩ මතුවන දේශපාලනඥයන් බහුල රටක පාලිත ඊට ව්‍යතිරේඛයක් ම විය.

මීගහතැන්න සිදුවීම දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තෙපරප්පෙරුමට ඇඟිල්ල දිගු කරන මුත්, එය රටේ කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ ඔහුගේ මැදිහත් වීම නිසාය. එසේ නොවුණේ නම්, එය තවත් එක් උපවාසයක් පමණක් වන්නට ඉඩ තිබිණි. නියෝජ්‍ය ඇමැතිවරයාට ඇති සිවිල් බලය තුළ ජනමාධ්‍යය ද මෙය විකුණන්නට පටන් ගත්තේය.

පවතින නව ලිබරල් සංස්කෘතිය තුළ ඕනෑම දෙමවුපියකුගේ සිහිනය, තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. එහි මීගහතැන්න කොළඹ කියා වෙනසක් නැත. තම දරුවන්ට හොඳ පාසල් ලබාදෙන ලෙස ඉල්ලමින් සාමාන්‍යයෙන් සෙසු සමාජ තීරුනට වඩා උගත් යැයි සැලකෙන වෛද්‍ය වෘත්තිකයන් “ඉසුරුපාය” වටලද්දී ඒ අයිතිය මීගහතැන්නේ සීලවතිට හෝ පියසේනට නැතැයි යමකුට තර්ක කළ නොහැකිය. ඔවුන් මේ ක්‍රියාත්මක කර ඇත්තේ තමන් සතු වූ ඒ අයිතියයි. මෙහිදී පැන නඟින ගැටලුව වනුයේ එය කෙතරම් යුක්ති සහගත ද යන්නය. ඒ බව සොයා යෑමකදී තම දරුවන් පාසලකට ඇතුළු කිරීමට මීගහතැන්නේ දෙමාපියන් කළ අරගලයේ යම් සාධාරණ බවක් නැත්තේ නොවේ.

තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා “මාරාන්තික” උපවාසයක නිරත වූයේ දරුවන් නවදෙනෙකු පාසලට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමිනි. ඒ දරුවන් නව දෙනාගෙන් පස්දෙනෙකුම ජීවත් වනුයේ මීගහතැන්න නගරයේ සිට කිලෝමීටර් තුනහමාරක් ඈතින් පිහිටි නාවලකන්ද නම් වන අතිදුෂ්කර ගම්මානයේය. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 849D තල්පැදිවල බෝගොඩ කන්ද ග්‍රාමසේවක වසමට අයත් නාවලකන්ද දක්වා වූ ගමනට මීගහතැන්නේ සිට ත්‍රීරෝද රියක් අය කරන ගාස්තුව රුපියල් තුන්සිය පනහක් පමණ වේ. ඒ සා මිලක් නියම වී ඇත්තේ දුර නිසා නොව ගලින් ගල බෙරෙමින් සීරු මාරුවෙන් ගමන යා යුතු නිසාය. තල්පැදිවල බෝගොඩකන්ද ග්‍රාමසේවක වසමේ තල්පැදිවල ප්‍රාථමික විද්‍යාලය නමැති පාසලක් පිහිටා තිබුණ ද නාවලකන්ද ඇත්තේ එහි අනිත් පැත්තේය. උස කන්දකින් ගම බෙදි ඇති අතර නාවලකන්දේ සිට තල්පැදිවල ප්‍රාථමික විද්‍යාලයට යන්නකු විශාල කඳු තුනක් තරණය කළ යුතුය. අතීතයේදී මිනිරන් පතලක් ලෙස පැවැති ප්‍රදේශයක් ද පසු කර යා යුතු බැවින් ගමන තවත් දුෂ්කර කරයි. දැනගන්නට ලැබුණු අන්දමට මේ පාසලේ සිසුන් 20කට 30කට වඩා අධ්‍යාපනය නොලබන අතර ගුරුවරුන් 04 දෙනෙකු පමණක් සේවය කරන බව කියවෙයි. “මරණ තුනක් මැද පැණි කන” මේ පාසල පවත්වාගෙන යන්නන් වාලේ ඔහේ පවත්වාගෙන යනවා මිසක ක්‍රමවත් අධ්‍යාපනයක් එහිදී දරුවන්ට නොලැබෙන තරම්ය. පෙ. ව. 10.30 ට පාසලට පැමිණ 12.30 ට පිටවන ගුරුවරියක් සිටින තත්ත්වයක කෙසේනම් ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කරන්න ද? සැබැවින්ම සිදුකළ යුතුව ඇත්තේ අසීරුවෙන් පවත්වාගෙන යන මෙම පාසල වසා දමා ඒ දරුවන්ව හා ගුරුවරුන්ව අසළ ඇති වෙනත් පාසලකට අනුයුක්ත කිරීමය. මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය යනු ඒ සඳහා හොඳ විකල්පයකි.

විරෝධතාවෙහි නිරත දරුවන්ව මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගත යුතු බව බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ඒ. ඩී. එම්. සී. විජේතුංග ද පිළිගනී. 2016 – 06 – 16 වැනි දින නිකුත් කළ ලිපියකින් ඔහු ඒ බව මතුගම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද දන්වා තිබේ. ගැටලුව උග්‍ර වූයේ ඒ නියෝගය පිළි නොපැදීම නිසාය. මේ දරුවන්ට මුල් අවස්ථාවේදීම පාසල් ලබාදීමට කටයුතු කළ බවට වන තර්කය එයින් බිඳ වැටීමක් සිදු වෙයි. එසේ, පාසල් ලබා දුන්නේ නම් මෙවැනි ලිපියක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟී. මතුවන ගැටලුව එය නොවේ. පසුව එම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලු “දේශපාලනඥයා” කවුරුන් ද යන්නය. තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා හා දෙමවුපියන් ඒ සම්බන්ධව ඇඟිල්ල දිගු කරනුයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්ජිත් සෝමවංශටය. එජාප ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකුට ලකුණු වැටෙතැයි බියෙන්, රන්ජිත් එය සිදුකළ බව ඔවුන්ගේ මතයයි. 1994 වසරේ සිට බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ‍රංජිත් සෝමවංශ, ඇමැති ධුරය ලැබෙන්නට පෙර සෑහෙන කලක් පළාතේ අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළේය. විෂය භාර අමාත්‍යවරයා වීම තුළ තම උපන්ගමට ආසන්න මීගහතැන්න ප්‍රදේශයේ මෙම කාරණය සම්බන්ධයෙන් මැදිහත් වීමක් කිරීමේ පැහැදිලි හැකියාවක් ඔහුට නැත්තේ නොවේ. අප සමඟ කථා කළ සමාජීය මිතුරකුට අනුව සෝමවංශට මීගහතැන්නේ ජනතාව සමඟ “ඓතිහාසික ඇරියස්” එකක් තිබේ. ඒ මූලිකවම “මනාප” පදනම් කරගෙනය. වළල්ලාවිටින්, මතුගමින්, අගලවත්තෙන්, බුලත්සිංහලෙන් තම ඡන්ද පෙට්ටි පිරී යද්දී මීගහතැන්න නගරය අවටින් එසේ නොවීම පිළිබඳ ඔහුට හැමදාමත් තිබුණේ ගැටලුවකි. ඒ අවුල බොහෝ කාරණාවලදී රන්ජිත් පිට කළ බව ඇතැමුන්ගේ අදහසයි.

මීගහතැන්න ප්‍රාථමික විදුහලේ පළමු වසර සඳහා කාලයක් තිස්සේ පන්ති 04 ක් පැවැති මුත් එය මේ වන විට තුන දක්වා අඩු කර තිබේ. මේ පිටුපස ද සෝමවංශගේ “දේශපාලනය” වැඩ කළ බවට ප්‍රබල මතයක් සමාජගතව පවතී. අප මේ පිළිබඳව විමසීමට සෝමවංශගේ ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක්ම ගත්මුත් ඒ එකඳු හෝ අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගත නොහැකි විය.

එදාට සාපේක්ෂව මේ වන විට මීගහතැන්න අවට ප්‍රදේශයේ සජීවි දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි ව ඇති මුත්, ඊට සමාන්තරව දරුවන් පාසල්වලට ඇතුළු කිරීමේ ක්‍රමවේදයක් සකසා නොමැත. ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ තිබෙන පංති සංඛ්‍යාව අඩු කිරීම නොව වැඩි කිරීමය. නමුත් මෙහි සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. චක්‍රලේඛ තුළ සිරවීම නිසා එසේ සිදු වූ බව බලධාරීන්ට පහසුවෙන් පැවසිය හැකි වුවද, ඒ ආකාරයට කටයුතු කළ සෙසු පාසල් මොනවා ද යන්න ඔවුන් හෙළි කිරීම වැදගත්ය.

අනෙක් අතට, දරුවන් නව දෙනෙකුට පාසලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ අරගලය සිදුකළ ද මාස දෙක තුනකට පෙර, මෙම ගැටලුවට දරුවන් විසිදෙනෙකු මැදිව සිටියහ. ඉන් දරුවන් එකළොස් දෙනෙකු එකවර ඇතුළට ගැනීම පිටුපස වැඩ කළ කාරණා පිළිබඳ ඇති කථා බොහෝය. ඒවායේ ‍සත්‍ය අසත්‍යතාව අප නොදන්නේ මුත්, කථාබහට ලක්වූ දරුවන් නවදෙනාට සම්බන්ධ ප්‍රදේශවල දරුවන් ද එසේ තෝරා ගැනීම තුළ එම තෝරාගත් ක්‍රමවේදය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරනු ලබයි. පාලිත තෙවරප්පෙරුමට එරෙහිව චෝදනා කරමින් කාලය කා දමමින් සිටිනවාට වඩා මෙම කාරණා පිළිබඳව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පිළිතුරු බැඳීම වැදගත් වනු‍යේ එවැනි සන්දර්භයකය. එය ඔහුගේ දේශපාලන ශරීර සෞඛ්‍යයට හැමතින්ම යහපත් ය. අනෙක් අතට ඒ පිළිබඳව වගකීමක් ඔහුට ඇත.

වසර 25ක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන මුත්, රන්ජිත් සෝමවංශගේ හැකියාවන්ට නිසි තැනක් හිමි වූයේ “යහපාලන” වෙනස සිදුවීමෙන් අනතුරුවය. 2015 ජනවාරි අට වැනිදා සිදු වූ එම නිහඬ විප්ලවයට දශමයකින් හෝ සම්මාදම් නොවුණ මුත් ඔහු මේ වන විට බස්නාහිර පළාත් අමාත්‍යවරයකු වී සිටී. ඇමැතිකමක් දැරීමට සුදුසුකම් සෝමවංශට නැත්තේ නොවේ. ඒ සුදුසුකම් ඔහුට තිබේ. සැබැවින්ම ඔහුට එම වගකීම හිමි විය යුතුව තිබුණේ 2004 දී හෝ 2009 දීය. නමුත් තාර්කික ඉතිහාසයක් සහිත ශ්‍රීලනිප සාමාජිකයන්ට නොසැලකූ රාජපක්ෂ ක්‍රමය තුළ සෝමවංශට එම අවස්ථාව කිසිදා හිමි නොවුණි. එම තත්ත්වය තුළ ලැබුණු අවස්ථාවෙන් උපරීම “වැඩ” පෙන්නවීමේ යුතුකමක් සෝමවංශට තිබේ. එසේ නොවුණහොත් සිදු වනුයේ තම ජනප්‍රියතාව දිනෙන් දින පිරිහී යාම බව ඔහු අවබෝධ කරගත යුතුය. 2009 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 54099ක් ලැබු සෝමවංශට ඊට වසර 05ක පසුව පැවැති මැතිවරණයේදී ලබාගත හැකි වූයේ ඡන්ද 40563ක් පමණි. ජාතික දේශපාලනයට “රිංගීම”ට සිහින දකින සෝමවංශ එබැවින් තම භූමිකාව නිසි ලෙස කළමනාකරණය කරගැනීම වැදගත් ය.

නමුත් අවාසනාවකට මෙන් රන්ජිත් සෝමවංශ ක්‍රීඩා කරමින් සිටිනුයේ, දුෂ්කර වූ විකට්ටුවකය. සෝමවංශ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ, අමාත්‍යාංශය ඔහුගේ පරිහරණයට ලබා දී තිබු ජීප් රථයක් රියැදුරකු ද සමඟ කුලී පදනම මත වාහන සපයන පෞද්ගලික ආයතනයකට ලබා දී මූල්‍ය වංචාවක් සිදුකළ බවට ඔහුගේ රියැදුරන් තිදෙනෙක් විස්තරාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මාස කිහිපයකට ඉහතදීය. එය ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් හිටපු මන්ත්‍රීවරයාට එල්ල වූ අන්දමේ පොදු දේපළ අවභාවිතය සම්බන්ධ චෝදනාවකි. ඇමැතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ද “සරල ගැමියෙකු” ලෙස බොහෝ දෙනා හඳුනාගෙන සිටි ඔහුගේ ප්‍රතිරූපයට එය එල්ල කළ පහර සුළුපටු නොවේ. අනෙක් අතට පාසලකට බලෙන් ඇතුළු වී, විදුහල්පතිවරයා හා ගුරුවරු බිය ගැන්වූ බව කියමින් පාලිත තෙවරප්පෙරුමට එරෙහිව “තඩි”බාන සෝමවංශ අමාත්‍යවරයාට අමතක වූ එක් කාරණයක් සිහිපත් කර දීමට අපි කැමැත්තෙමු. ඒ මීට වසර කිහිපයකට පෙර මේ මාදිලියේ සිදුවීමක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේම සිදු වූ බවය. එදා නීතිය අතට ගෙන බලෙන් සිසුන් පන්තියකට ඇතුළු කළේ අද ‘මහින්ද සුළ‍ඟේ’ අයිතිකරුවකු වී සිටින වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරලය. උදේනිගේ එම හැසිරීමට විරෝධය පළ කරමින් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට ඒවාට සහාය වීමට තරම් ධෛර්යයක් එදා සෝමවංශට පමණක්, ගුරු සංගම් නායකයන්ට ද නොවීය. එය ද ලියා තැබිය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.