25 April, 2024

Blog

විදේශ ප්‍රතිපත්තිය තුළ විපක්ෂයේ භූමිකාව

අතුලසිරි සමරකෝන්

ආචාර්ය අතුලසිරි සමරකෝන්

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර හා කළාපීය දේශපාලනය තුළ මේ මොහොතේ සිදුවන සංකුලතාවයන්ට කෙසේ මුහුණ දිය යුතුද  යන ඉතා බැරෑරුම් ගැටළුව රාජ්‍යය ඉදිරියේ දැන් තිබේ. ජාත්‍යන්තර දේශපාලනය විසින් පරිධියේ රාජ්‍යයක් වන ලංකාවට ඉතාම දැඩි බලපෑමක් සිදුකරන සමයකි මෙය. ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ගොඩ නැඟී ඇති බල හවුල ඉතා පැහැදිළි එකකි. චීනය ආසියානු බලවතා වීමේ දැවැන්ත සටනට විශාල ජවයක් එක්කරමින් සිටී. දකුණු ආසියානු කළාපය වෙලා පැතිරෙන කොවිඩ් ව්‍යසනය හමුවේ පවා ඉන්දියානු චීන බල තරඟය ක්‍රියාත්මක පරිසරයක අප පැමිණ සිටිමු.

නවීණ සේද මාවත

මෙම පරිසරය තුළ භූ දේශපාලනිකව වැදගත් කළාපයක පවතින ශ්‍රී ලංකාව ගමන් කළ යුත්තේ චීනයේ නවීණ සේද මාවත දිගේද? නැතිනම් ඉන්දුශාන්තිකර සාගර වල බලය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන ඇමෙරිකානු, ඉන්දියානු, සහ බටහිර මිත්‍ර හවුළේ මඟ දිගේ ? නැතිනම් මේ මොහොතේ ශ්‍රී ලංකාව සිටිය යුත්තේ මධ්‍යස්ථව ? මැදුම් පිළිවෙත හෝ නොබැඳි පිළිවෙත යනු තවදුරටත් විදේශ ප්‍රතිපත්තියේ වැදගත් උපායක් නොවිය හැකිද? මේ ගැටළු සියල්ලම විවිධ අවකාශයන්ගෙන් මතුවෙමින් තිබෙන පසු බිමක, විදේශ ප්‍රතිපත්තිය තුළ ඇත්තටම සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? එසේම ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය විපක්ෂයෙන් එල්ලවන බලපෑම කුමක්ද? ඉතා කෙටියෙන් සළකා බලමු.

ඉන්දියානු ජනදිවිය සහ එරට දේශපාලන ස්ථාවර භාවය කොවිඩ් 19 තත්ත්වය නිසා සීග්‍රයෙන් අර්බුදයට යාම හමුවේ කළාපයේ කුඩා රාජ්‍යන් වැඩි වශයෙන් චීනයේ ග්‍රහණයට නතු වීම වැළක්විය නොහැකිය යන මතයක් පවතී. කෙසේමුත් ඉන්දියානු ප්‍රතිරූපයේ ඇතිවුණ තිගැස්ම පිළිබඳව අපට කළබල වීමට තරම් දෙයක් සිදු වී නොමැති බව කිව යුතුය. අනෙක් අතට චීනය හා පවත්වන සබඳතාවයට ඉන්දියාව සිදුකරන බලපෑම බැලූ බැල්මට එතරම් දරඳඩු එකක් නොවෙයි. නැතිනම්  ශ්‍රී ලංකාවට  මේ තරම් චීනය සමඟ සබඳතා තර කර ගැනීමට නොහැකි වනු ඇත. කෙසේ මුත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු ආයෝජකයෙකුට ලබා දීමට එරට සමඟ ඇතිකරගෙන තිබු අවබෝධතාවය කඩවුණ විට ඉන්දියාවේ ක්ෂණික ප්‍රතිචාරය එතරම් සුබදායි නොවින.

ඉන්දියාව මධ්‍යස්ථ වීම

එම වකවානුව තුළ පැතිර ගිය ප්‍රවෘත්තියක් වුනේ මෙරටට ඉන්දියාව ලබා දී තිබු ණය පහසුකමක් කඩිනමින් ආපසු ගෙවන ලෙස ඉන්දියාව මෙරටට බලපෑම් කළ  බවයි. එම ප්‍රවෘත්තිය කෙසේ වෙතත් ශ්‍රී ලංකාව 2020 ජූලි මාසයේ දී ඉන්දියාවෙන් ලබාගෙන තිබු ඩොලර් මිලියන 400ක් වසරකටත් අඩු කාලය දී හදිස්සියේම ගෙවා දැමුණු අතර එමඟින් මෙරට විදේශ මුල්‍ය අර්බූදය තවත් දැඩි විය. ඉන් පසු දිගින් දිගටම චීනයේ ණය  සහ මුල්‍ය හුවමාරු පහසුකම් ලබා ගැනීමට ලංකාවට සිදුවිය. එසේම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත තිබු ඇස්ට්‍රා සෙනෙකා එන්නත් සමුහයක් පමා වීමට බලපෑ සත්‍යම සිදුවීම කුමක්ද යන්නත් තවම හෙළිවී නැත. කෙසේමුත් වරාය ජැටිය පිළිබඳ අර්බූදයේ දී ලංකාව ඉන්දියාව සමඟ එළඹ තිබු අවබෝධතාවය උල්ලංඝණය කළ බවට වන චෝදනාව දැඩිව මතු විය. අවසානයේ දී නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියානු ආයෝජකයාට පැවරීමට ලංකාව එකඟ වී තිබේ. ජපානය සහ මෙරට අතර තිබු ආයෝජන ගිවිසුමක් අහෝසි කිරීම සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් ආණ්ඩුවට එල්ල විය. ඉන්දියාව සහ ජපානය වැනි සම්ප්‍රදායික මිතුරන් සමඟ පවතින සම්බන්ධතාවය එළෙස පලුදු කර ගැනීම මේ ආණ්ඩුව ලැබූ පරාජයකි. කෙසේමුත් එම දෙරටම ජිනීවා මානව අයිතිවාසිකම් සැසියේදී ලංකාවට එරෙහි වනවාට වඩා මධ්‍යස්ථ වීමට කටයුතු කළාය. එම තත්වය සැනසීමට හේතුවක් නොවුනත් එම දෙරටම මෙරට ජනතාවට බලපාන ආකාරයේ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට නොයනබව පැහැදිළිය.

ජෝබයිඩන් පාලනය

ඇමරිකාවේ ජෝබයිඩන් පාලනය පිළිබඳව මෙරට මුල සිටම බියක් ඇතිකරගෙන තිබේ. ට්‍රම්ප් පාලනය තුළ ඔහුව අනුව යමින් මෙරට ආණ්ඩුව ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන ඇතුළු විදෙස් සංවිධාන කෙරෙහි දැක්වුයේ දැඩි ප්‍රතිපත්තියකි. ජිනීවා යෝජනාවලින් ඉවත්වීම පවා මේ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට එල්ලකළ සමච්චලයකි. කෙසේමුත් බයිඩන් ගේ පාලනය ඇරඹීමත් දැන් ජාත්‍යන්තර සංවිධානවලට පහර ගැසීම නැවතී තිබේ. නමුත් සමහර ජාතිකවාදී ආණ්ඩු පාක්ෂික කණ්ඩායම් දිගින් දිගටම ආණ්ඩුව බටහිර කඳවුරෙන් ගලවාගෙන හා ඉන්දීය විරෝධී පිළිවෙතකට අද දැමීමට උත්සහකර ඇත.

සමස්ථයක් වශයෙන් පළාත් සභා සමන්ධයෙන් ඉන්දියාවෙන් එල්ලවන බලපෑමට හා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් බටහිරෙන් එන බලපෑමටත් මේ මොහොතේ බියවී තිබේ. එම බය නිසාම චීනයට වැඩි වශයෙන් මෙරට තුළ පහසුකම් සැළසෙන වාද යන පානය මතු කළ හැක. මේ තත්වය යටතේ ගත හැකි හොඳම විසඳුම නම් චීනය මෙරට ආසන්නයටම ගෙන්වාගෙන ඔවුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමට ආණ්ඩුව සිතන බවට වන සැකය අපට තිබේ. එයට ප්‍රධානම සාධකය වරයා නගර පණත සම්මතකර ගැනීමට ආණ්ඩුව දක්වන විශාල උනන්දුවයි.

තානාපතිවරු හා විපක්ෂ නායක

වරාය නගර පණත එළියට ඒමත් සමඟම චීන ආරක්ෂක ඇමතිවරයා මෙරටට පසුගිය දා දෙදින නිළ සංචාරයකට පැමිණි අතර එය බටහිර රටවල දැඩි අවධානයට ලක්වූ බව පෙනීයයි. චීන ආරක්ෂක ඇමති ආණ්ඩුවේ නියෝජිතයන් හමුවන අතරේ සිදුවූ අනෙක් වැදගත්ම දේ නම් යුරෝපා සංගමයේ, සහ එම සංගමයේ රටවල නියෝජිතයන්, ඇමරිකානු තානාපති, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති ආදී විශාල විදෙස් නියෝජිතයන් පිරිසක් පසුගිය සතිය පුරාම විපක්ෂ නායකවරයා මුණ ගැසීමයි. මෙම බටහිර, ඇමරිකානු, කැනේඩියානු, රුසියානු ආදී රටවල නියෝජිතයන් සේම එක්සත්ජාතීන් ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය වරිය පවා විපක්සහය පැවැත්වූ සාකච්චා වල ඉතා විශාල සංඛේතාත්මක වටිනාකමක් තිබේ.

එනම් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය එක්තර ආකාරයකට විශේෂයෙන්ම බටහිර  කඳවුරේ අභිලාශ සීමාව එහා යන විට හා චීනය සමඟ දැඩි සම්බන්ධතාවයකට අවශ්‍ය නීතිමය පසුබිම ශ්‍රී ලංකාව නිර්මාණය කර ගන්නා විට විපක්ෂය සමඟ එම හමුවීම් පැවැත්වීමයි. එය සමඟි ජන බලවේගය ජාත්‍යන්තරව අවධානයට පාත්‍ර කිරීමට සහ එම පක්ෂය මී ළඟට  ආණ්ඩු බලය හිමි කර ගතහැකි පක්ෂය වශයෙන් එය සමඟ සබඳතා ඇති කරගැනීමක් වෙයි. ආණ්ඩුවේ මාධ්‍ය කුමක් කීවත් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය විපක්ෂයට යොමුවීම යනු පවත්නා ආණ්ඩුවේ පවතින දුර්වල ප්‍රතිපත්තියේ බලපෑම නිසා සිදුවීමකි. එසේම දෛනිකව කඩා වටෙන් මෙරට ජන ජීවිතය හා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව විපක්ෂය සමඟ සාකච්චා කිරීම විදේශ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපෑම් කල හැකි ඉතා වැදගත් අවස්ථාවකි.

ප්‍රජාතන්ත්‍රවාදී කළාපය

ප්‍රධාන වශයෙන් ලොව ප්‍රජාතන්ත්‍රවාදී කළාපය තුළ චීනය යනු විපර්යාසකරණීය බලවතෙකි. යම්හෙයකින් චීනය බලයට පැමිණෙන ලෝක පර්යායක් යනු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සමාජවාදයට ප්‍රමුඛතාවය දෙනු ලබන එකක් විය හැක. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වන මහාචාර්ය ජී ඇල්  පීරිස් අනුව පොදුජන පෙරමුණ හා චීනයේ කොමියුනිස්ට් පක්ෂය අතර ඉතා කිට්ටු අධ්‍යාපනික සබඳතාවයක් තිබේ. මෙම තත්වය පිළිබඳව ආණ්ඩුව උදම් අනන නමුත් බටහිර, ඇමරිකාව, සහ ඉන්දියානු රාජ්‍යයන් එදෙස බලනු ඇත්තේ සැකයෙනි. එම තත්වය ආණ්ඩුව විසින් අවබෝධ නොකරගෙන කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵලය අපට අවාසිදායක එකක් බවට පත්විය හැක.

අනෙක් අතට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සහ ලෝක ප්‍රජාව අතර ඇතිවෙන කිට්ටු සබඳතාවය යනු ආණ්ඩුවේ ඒකපාර්ශවීය විදේශ ප්‍රතිපත්තියට එල්ලවන බලපෑමකි. චීනය සහ අනෙකුත් සියලුම භූගෝලීය හා දේශපාලනික කළාප සමඟ කිට්ටු සබඳතාවයක් අපට ඉතා වැදගත් . නමුත් ආණ්ඩුව චීනය හැර අනෙක් කළාපයන් පිළිබඳව එතරම් විශ්වාස නොකරයි. එවැනි පසුබිමක මෙරට විදේශ ප්‍රතිපත්තියේ ඇතිවී ඇති අසමතුලිත භාවය තුලනය කිරීමට විපක්ෂයට සිදුවීම ඓතිහාසික තත්වයකි. එසේම ලෝක දේශපාලන පොර පිටිය තුළ ශ්‍රී ලංකාව කිසිදු රාජ්‍යක ඉත්තෙකු වීමට ඉඩ නොතබා එය සියළුම රාජ්‍යයන් අතර සාමයට කැපවෙන රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා සමස්ථ විපක්ෂයට විශාල කාර්ය භාරයක් තිබේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.