18 October, 2021

Blog

මැතිවරණ පිරිවැය ආපදාව

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය. මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව ආරංචි වීමය. අනික් කරුණ වන්නේ අපේ රටේ මැතිවරණ සඳහා දරන වියදම ය. එනම් රාජ්‍යය වියදම් සහ අනෙකුත් පාර්ශව මැතිවරණයක දී කරන වියදම් අවසාන වශයෙන් රටේ බරපතල වැය ශීර්ෂයක් වී ජාතික ආර්ථිකයට පාඩුවක් වී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැනසී විකාරයක් වී සහ ජන ජීවිතයට පීඩා ඇති කිරීමේ පැහැදිලි හේතුවක් වන බව කාලාන්තරයක් තිස්සේ අත් විඳිමින් සිටීම ඒ දෙවැනි කරුණය. 

සෑම ආයතනයකට ම එකවර නියෝජිතයින් තෝරා ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රමයක් සම්පාදනය කර නොගැනීමේ ප්‍රතිපලයක් වී ඇත්තේ දරාගත නොහැකි සහ රටේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා වැය කළ හැකි මුල්‍ය සහ අනෙකුත් සම්පත් විශාල ප්‍රමාණයක් ඍණ ප්‍රතිපලයක් ලැබෙන කාර්යයක් සඳහා වියදම් කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදයට මිළක් තිබීම සහ තිබිය යුතු වීම ඇත්තක් වුවත් ඒ මිල ආයෝජනයක් වී සමාජයට ලාභ හෝ ප්‍රතිලාභ ලැබෙන්නක් විය යුතු ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු පිරිවැයක් නැතහොත් වියදමක් පමණක් වන රටක අඩුම තරමින් පිරිවැය අවම කර ගැනීමේ සරළ ආර්ථික විද්‍යා සිද්ධාන්තයවත් භාවිතයට ගත යුතු ය. ධනෝපායන මාර්ග ගැන නොහිතන, තිබෙන අවම ධනය අර පිරිමැස්මෙන් වියපැහැදම් කිරීමේ පිළිවෙළ ගැනවත් නොහිතන අපේ රටේ තීරකයින්ගේ අසූනව අවුරුදු පාලන ක්‍රියාවලිය, මේ මැතිවරණ පිරිවැය ගැන තීරණාත්මකව නොසිතුවද පොදු ජන අප ඒ ගැන අවධානය යොමු කළ යුතුම ය.

මැතිවරණ පිරිවැය මූලික වශයෙන් කොටස් පහකට බෙදා දැක්වීමට මා කැමතිය. එනම් මැතිවරණ සඳහා දරන රාජ්‍ය පිරිවැය, දේශපාලන පක්ෂ පිරිවැය, අපේක්ෂකයින් දරන පුද්ගලික අපේක්ෂක පිරිවැය, මැතිවරණ අනුග්‍රාහකයින් දරන අනුග්‍රාහක පිරිවැය, සහ පොදු ජනයා කාලය-ශ්‍රමය-මුල්‍ය වශයෙන් දරන පොදුජන පිරිවැය වශයෙනි. 

මේ පිරිවැය අතරින් ජනයා දරන පිරිවැය ද ඉතිරි පිරිවැය හතරේ ම බර සහ වන්දිය ද ගෙවීමට සිදුවන්නේ  මහජනයාට ම ය. එබැවින් මැතිවරණයකින් පසු නොව ඊට පෙර කල්තියාම මේ මැතිවරණ පිරිවැය පිලිබඳ පුළුල් ගැඹුරු සාකච්ඡාවක් සහ ඒ පිරිවැය හැකි උපරිමයෙන් අවම කිරීමේ වැඩපිළිවෙලක් සකසා ගැනීම අත්‍යවශ්‍යය ය. මැතිවරණ පැවැත්වීම ගැන පමණක් නොව ඒවායේ පිරිවැය අඩුකරගැනීමේ උපායමාර්ග සහ තාක්ෂණික විධික්‍රම සඳහා වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වන්නේ මේ පිරිවැය ආපදාව රටක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියෙහි සියලු මුල් උගුල්ලා දැමීමට සහ ණය වාරික නොව පොලිය වත් ගෙවා ගැනීමට නොහැකි අප වැනි රටක බරපතළ ආර්ථික ගැටළුවලට හේතුවන නිසා ය. 

මැතිවරණ සඳහා වැය වන රාජ්‍ය වියදම් කෙරෙහි අවධානය යොමු කරමු. 2012, 2013 2014 වසරවල පැවති පළාත් සභා නවයේ ඡන්ද විමසීම් සඳහා වූ රාජ්‍ය මුල්‍ය වැය පමණක් ගත් විට එය මිලියන 2835 කි. 2018 ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීම (පලාත්පාලන ඡන්ද විමසීම) සඳහා වැය වූ මුදල් ප්‍රමාණය මිලියන 3600 කි. ආසන්නතම උදාහරණ දෙකක් ගතහොත් 2019 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසමට වැය වූ ප්‍රමාණය මුදලින් පමණක් මිලියන 4500 කි. එනම් කෝටි 450 කි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගිය වියදම මිලියන 6500 කි. එනම් කෝටි 650 කි. ඒ අනුව 2012 සිට අවුරුදු අටක් තුළ පැවති මැතිවරණ සඳහා ගිය මුල්‍ය වියදම මිලියන 17435 කි.  එනම් රුපියල් කෝටි එක්දහස් හත්සිය හතලිස් තුනහමාරකි. මේ දැක්වූයේ මැතිවරණ සඳහා ඍජුව වැය වූ රාජ්‍ය මුදල් ප්‍රමාණය ය. බලයේ සිටින ආණ්ඩුවල පාලකයින්, ඔවුන්ට සහය දක්වන නිලධාරීන්, පාලකයින් විසින් පත්කරන ලද අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල ප්‍රධානින්, විසින් මැතිවරණ වලදී වියදම් කරන රාජ්‍ය දේපොළ සහ මුදල් ප්‍රමාණය මේ වියදමට එකතු කළ විට ඉහත ගණන තෙගුණයකින් වැඩි ය.    

සත්‍ය වශයෙන්ම අප වැනි රටවල මැතිවරණ වනාහි ආර්ථික අවපාත සහ ඒ නිසාම ඇතිවන ආර්ථික සහ වෙළඳපොළ පීඩනය, පොදු සම්පත් අවභාවිතාව, දුෂණය, වංචාව, සහ අක්‍රමිකතා, පක්ෂග්‍රාහීතා, සහ ඥාති-මිතුරු සැලකිලි වැඩිකරන අව ක්‍රියාවලියකි. රටේ පැවැත්වෙන මැතිවරණ සඳහා පුද්ගලික අපේක්ෂක පිරිවැය ගැන විමසිලිමත් වීමෙන් පමණක් වුවත් එය පසක් කරගත හැකිය. මෙරට මැතිවරණ දේශපාලනය දුෂිත වී ඇත්තේ හොර ඡන්ද දැමීමෙන් නොවේ. මැතිවරණ සඳහා වියදම් කිරීමේ දුෂ්ට චක්‍රය නිසා ය. අපේක්ෂකයින් ට මැතිවරණ වල දී අති විශාල වියදමක් දැරීමට වුයේ සමානුපාතික ක්‍රමයට අමුණා ඇති මනාප ක්‍රමය නිසා ය. විශාල මුදලක් නොමැති අයෙකුට ජය ගැනීම තබා අපේක්ෂක ලැයිස්තුවට නම දමා ගැනීම පවා අතිශයින් ම අසීරු ය.

ඒ නිසාම මැතිවරණ දේශපාලනය තුළ අපේක්ෂකයෙකු වීමට නම් ඒ බොහෝ අය තම මුල්‍ය ශක්තිය පෙන්නුම් කළ යුතු ය. එබැවින් එසේ පෙන්වීම සහ වියදම් කිරීම  සඳහා මුදල් සෙවිය යුතු ය. ඒ සෙවීමේ ක්‍රියාවලිය අතිශයින් ම දුෂිතය, හෝ දුෂිත වීමට ඉඩ ඇති එකකි. යම් හෙයකින් තේරී පත් වුවහොත් මැතිවරණයට ගිය වියදම් පියවා ගැනීමට මුදල් සෙවිය යුතු ය. ඒ ක්‍රියාවලිය ද දුෂිත හෝ දුෂිත වීමට ඉඩ ඇති එකකි. ඊ ළඟ පියවර වන්නේ ඉදිරි මැතිවරණ සඳහා මුල්‍ය සංචිත තරකර ගැනීමේ ක්‍රියාවලිය ය. එනම් ඒ සඳහා කෙසේ හෝ මුදල් ඉපයිය යුතු ය. ඒ සඳහා වූ ක්‍රියාවලිය අතිශයින් ම දුෂිතය. මුදල් පමණක් නොව ඡන්ද දායකයින් ට මැතිවරණ සමයේ බෙදිය හැකි භාණ්ඩ සහ උපකරණ ද රැස්කර තබා ගත යුතු ය. ඒ සඳහා රාජ්‍යය ට අයිති ගොඩනැගිළි පවා අවභාවිත කරන අය සිටී යන්න ජනයාගේ අදහසක් ය. මේවාට අමතරව විවිධ අයගේ මුල්‍ය සහ සම්පත් අනුග්‍රහ ද ලබා ගැනීමට සිදු වේ. ජයගත් පසු ඒ අයට විශේෂ ලාභ වරප්‍රසාද ලබා දිය යුතු ය. ඒවා දීමට සිදුවන්නේ මහජන වුවමනා නිර්දය ලෙස නොසලකා හරිමින් සහ පොදු සම්පත් කලාප දුෂණය කිරීම මගින් ය.

බරපතලම කරුණ වන්නේ මේ ඡන්ද විමසීම් සහ මැතිවරණ සඳහා පුද්ගලිකව අපේක්ෂයන් වියදම් කරන මුදල් ප්‍රමාණය රාජ්‍ය වියදම්වලටත් වඩා වැඩි වීමය. මාධ්‍ය වාර්තා කරන ආකාරයට පසුගිය 2018 ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීමේ දී දුෂ්කර දිස්ත්‍රික්කයක එක් අපේක්ෂයෙකු වසම් දෙක තුනකින් යුත් තම ඡන්ද කොට්ඨාශය සඳහා කෝටි හතරක එනම් මිලියන හතලිහක මුදලක් වැය කොට ඇත. සීමිත පවුල් ගණනකින් යුත් කුඩා ඡන්ද කොට්ඨාශයක ට එවැනි මුදල් ප්‍රමාණයක් වැය කරන විට ඒ ඡන්ද විමසීම කෙසේවත් නිදහස් සහ සාධාරණ එකක් වන්නේ නැත. සිදුවන්නේ ඡනදායකයාගේ කැමැත්ත සල්ලිවලට ගැනීම මිස වෙන කිසිවක් නොවේය. අතිශයින් ම දිළිඳු ජනකායක් සිටින කොට්ඨාශයක ඒ තත්ත්වය තවත් භයානක ය. එවිට ප්‍රජාතන්ත්‍රවාදය මාරාන්තික අනතුරකය. 

එසේම ප්‍රාදේශීය ආණ්ඩුවේ ඉතාම කුඩා කොටසකට තරඟ කරන කෙනෙකු ගේ වියදම එසේ නම් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට තරඟ කරන්නෙකුගේ වියදම කෙසේ විය හැකි ද? පළාත් සභා සඳහා තරඟ කළ ඇතැමෙකුගේ වියදම් ප්‍රමාණය කෝටි දෙසීයකට වඩා වැඩි වූ බවට කට කතාවක් පැතිර ගියේ වයඹ පළාත් ඡන්ද විමසීම් සමයක ය. 

කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණ පවත් වන විට මේ තත්ත්වය වඩාත් බැරෑරුම් වන්නේ ධනය හිමි අපේක්ෂකයින්ට ඉතා කුඩා කොටසක ජනයා මුදලින්ම මිලට ගත හැකි වීමය. එවිට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුවන්නේ අතිශයින්ම අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී ගත නොහී නිෂ්ක්‍රීයව බලා සිටීම ට ය. ප්‍රජාතන්ත්‍රවාදයට පිරිවැයක් යන බව මා ඉහතින් මතු කළා ඔබට මතක ඇති. එහෙත් ඒ පිරිවැය වැදගත් ආයෝජනයක් මිස හුදු නාස්තියක් නොවිය යුතු ය. ආයෝජනයකින් ලැබෙන්නේ වඩාත් වැඩි ප්‍රතිලාභයකි. එනම් මැතිවරණ සඳහා දරන පිරිවැය වඩා වැඩි ගුණාංග සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලබා ගැනීම සඳහා විය යුතු ය. නැතහොත් අප වැනි දිළිඳු රටක් අනෙකුත් මූලික ජනතා අවශ්‍යතා කැප කොට අති වියදම්කාරී මැතිවරණ පැවත් වීමෙන් ලබන සමාජ ලාභයක් නොමැත.

කෝවිඩ් වසංගතය නිසා අසරණ කමේ අඩියටම වැටී සිටින අප වැනි රටක් මැතිවරණයකට පෙර මේ රාජ්‍ය මැතිවරණ වියදම් අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකසා ගත යුතුමය. එසේම පුද්ගල අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳලන ආයුධයක් නිසා එකී වියදම් අවම කොට සීමා කිරීමේ නීති රෙගුලාසි සකස් කළ යුතුම ය. එවිට ඡන්ද මුදලාලිලා ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනු ඇත. මැතිවරණ පිරිවැය ආපදාවෙන් ජන සමාජය ගැලවෙනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    අපේ රටේ මිනිසුන් කිසිම විදියකට නැතිව “ අප්පි කුට්ටි කන්කානම්ගේ ධනපාල “ කියල ගමක ජීවත් වුන මිනිසෙකු අද “ධම්මික බන්ඩර“ කියල “ ඉතාම නූගත් වඩුබාස් “ කෙනෙකු යොදා ගෙන මේ රටේ ඉන්න අහින්සක මිනිසුන් “බල්ලො බලල්ලු වාගෙ“ මෙලෙස පහත විදියට හසුරුවන එක, කෝවිඩ් වලින් බැට කන … අතර තුර, හරිය ගහෙන් වැටුන මිනිසකුට ගොනා ඇනීමක් වැනි දෙයකි.
    මම මේ සම්බන්දයෙන් දින කිහිපයක්, දත්ත සොයන අතරතුර මට දන ගැන්න ලැබුන දෙයක් තමයි… ඉතාම ප්රෝඩ කාරි විතියට මේ පුත්ගලය, රටේ මැති ඇමති වරු පවා.. මෙලෙස හසුරුවන මට්ටමට රට අන්දන තත්වයක් වෙලා… මේ දේවල් අරය බැට කාපු “යහපාලනය“ කාලයේදී ඉඩක් ලැබුනේ නැහැ… ඒ අනුව අපිට සිහි කල්පනාවක් ඇති නම්, සිතන්න ඕන මේ ඔක්කොම, රාජපක්ශ බලවේගත් එක්ක ඇති වෙන දෙයක්. මේ රට ජනතාව, අහින්සක මිනිසුන්… හරියට දඩයම් කරගෙන මේ රට යන මගා ඉතාමත්ම බයානකයි.
    https://www.youtube.com/watch?v=KetS6Mv5MnE

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.