Colombo Telegraph

බොදුබල සේනාව හඳුනා ගැනීම

දොස්තර යූ. පෙතියාගොඩ –

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා ඒ ගැන අවධානය යොමු කිරීම වටනේය.

ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන් පිළිබඳ සැකය හටගැනෙන්නේ බොහෝ සෙයින් බටහිර ආකල්පයන් ඇසුරිනි. මුස්ලිම් රටවල්වලින් බටහිරට සංක‍්‍රමණය වන ජන කොටස් හේතුවෙන් එම බටහිර ලෝකයේ ජනවිකාශනය තුළ ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳ තර්ජනය ඊට හේතු වී ඇත. එසේම, අනාගතයේ ඇති විය හැකි යැයි සැක කෙරෙන මුස්ලිම් ආධිපත්‍යයක් සඳහා, තෙල්වලින් පොහොසත් මුස්ලිම් රටවල්වල මූල්‍යමය සහ වෙනත් සම්පත් පාවිච්චි කෙරෙන බවට ඇති සැකයත් ඊට තුඩුදෙයි. ඉස්ලාම් රාජ්‍යයන් ගොඩනැගීමට සහ තමන් සංක‍්‍රමණය වන ආගන්තුක රටවල්වලත් ෂරියා නීතිය ක‍්‍රියාත්මක කැරැුවීම එල්ල කරගත් මුස්ලිම් ක‍්‍රියාකාරීකයන්ගේ අන්තවාදී ප‍්‍රකාශ සහ වෙනත් හැසිරීම් එම සැකය තවත් උග‍්‍ර කරයි. එසේ වෙතත්, අපේ රටේ තත්වය ඊට බොහෝ සෙයින් වෙනස් ය. ලංකාවේ මුස්ලිම්වරුන් මේ සමාජයට අවශෝෂණය වී සිටීම සහ මේ රට තුළ ඔවුන්ගේ දීර්ඝ කාලීන වාසය මෙහිදී අපට අමතක කළ නොහේ.

භීතිය යන්න වැඩිමනත් පදනම් වන්නේ, මනෝමය වශයෙන් සිතා ගත් හිතලූ අනාගතයට ප‍්‍රක්ෂේපණය කිරීම මත ය. මුස්ලිම් ජනතාවගේ අනාගත සංඛ්‍යාත්මක ආධිපත්‍යයක් පිළිබඳ මතය මොන තරම් දුරදිග ගොස් ඇත් ද යත්, බෞද්ධයන් පවුල් පාලන සේවා වර්ජනය කළ යුතු යැයි කියන, දැනුම් තේරුම් නැති සහ මුග්ධ කතා ද අද අපට අසන්නට ලැබේ. එවිට, කර්මය සහ පුනරුත්පත්තිය පිළිබඳ නියාම නවතින්නේ කොතැනද? දුප්පත් පවුල්වල සංඛ්‍යාව වැඩි වන විට එම පවුල් මුහුණදෙන ආර්ථික අඟහිඟකම්වලට ආමන්ත‍්‍රණය කිරීමට මෙවැනි අදහස් දරන්නන් සතුව ඇති විසඳුම කුමක් ද? ඉස්ලාමීය අන්තවාදීන් විසින් සැප්තැම්බර් 11 වැනි දා ඇමරිකාවේ සිදු කළ මහා විනාශය නිසා ඔවුන් පිළිබඳ ඇති සැකය සහ භීතිය තවත් උග‍්‍ර කෙරුණි. මෑතක දී බටහිරට සංක‍්‍රමණය වූවන් එම සමාජවලට අවශෝෂණය නොවී සිටීමත්, විටින් විට තම ප‍්‍රජාවන් උසිගැන්වීමත් නිසා එම රටවල සහ සමාජයන්හි නොවැළැක්විය හැකි අසහනයක් ජනිතව තිබේ.

අවංකවම කිවහොත්, අපේ රටේ දී නම් මාත්සර්ය (ඊර්ෂ්‍යාව) ප‍්‍රධාන සාධකයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. මුස්ලිම් ජාතිකයන් සැළකෙන්නේ, ආර්ථික වශයෙන් වඩාත් සාර්ථක කළමණාකරණයක් සහිත ජන ප‍්‍රජාවක් වශයෙනි. ඔවුන් සතු අරපරෙස්සම, මහන්සිය සහ මූල්‍යමය දියුණුව සඳහා වන අවස්ථා හඳුනා ගැනීමට ඔවුන් සතු ශක්තිය, සෙස්සන්ගේ මාත්සර්යට හේතු වෙයි. එම ප‍්‍රජාවේම ඇතැම් කොටස් අධිකතර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ වෙනත් අපරාධවල නියැලීමත්, අප‍්‍රසාදය වපුරන සාධකයකි.

ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ අවස්ථාවේ කවුරුත් ඊට එරෙහිව හඬ නැගිය යුතුව තිබුණි. එම ප‍්‍රතිපත්තිය ගෙනාවේ ‘ජනතා ඉල්ලීමක්’ මත යැයි කීම මොන තරම් බොරුවක්දැ යි සනාථ වුණේ, තමන්ගේ දරුවන් ඉගෙන ගන්නා භාෂා මාධ්‍ය කුමක් විය යුතු දැ යි තීරණය කිරීමේ අයිතිය දෙමාපියන්ටවත් නොදීමෙනි. මේ ප‍්‍රතිපත්තිය නිසා, සිංහල දරුවන්ට සහ දෙමළ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය මව් භාෂාවෙන් කිරීමට බල කෙරුණු අතර, මුස්ලිම් දරුවන්ට ඊට වඩා ප‍්‍රයෝජනවත් ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව ලැබුණි.

ඊටත් වඩා, එවක අධ්‍යාපන ඇමතිවරයා ආචාර්ය බද්උද්දීන් මොහොමඞ් වීම, තත්වය තවත් උග‍්‍ර කෙළේය. එදා මේ ගැන විරෝධයක් පෑවේ නම් එම විරෝධයේ සාධාරණත්වය පිළිගැනෙන්ටත් ඉඩ තිබුණි. එහෙත් දැන් ඊට ප‍්‍රමාද වැඩි ය. කෙසේ වෙතත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඉංග‍්‍රීසි දැනුම වැදගත් වන අංශවල රැුකියා තුළ අසමානුපාතික බවක් ඇති සෙයක් පෙනෙන්ට තිබේ. ඊළඟට, බොහෝ තැන්වල හොඳින් පෙනෙන්ට ඇති මුස්ලිම් පල්ලි ප‍්‍රමාණයේ වර්ධනයත්, එම ප‍්‍රජාවේ අළුත් ආගමික ඇඳුම් භාවිතයත්, මේ කාරණයේ දී බුද්ධියට වඩා හැඟීම් පාවිච්චි කරන වෙනත් පිරිස් අතර යම් ප‍්‍රකෝපකාරීත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. තවද, මුස්ලිම් ආගමික බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිව, සතුන් මැරීම වඩාත් මානුෂික ආකාරයෙන් කිරීමේ ක‍්‍රම හªන්වා දීම හරහා, අත්‍යාවශ්‍ය නොවන සහ යල්පැනගිය එකී භාවිතයන්ගෙන් දුරු වීමට සහායක් සැපයෙන්ටත් පුලූවනි. බොහෝ දෙනා තමන්ගේ වාසියට හරවා ගත් ‘හලාල්’ ප‍්‍රශ්නයත් එවැන්නකි. ප‍්‍රායෝගික සබුද්ධිය, පූජා වන්දනයකට එහි දී යටපත් කෙරුණි.

වෙනත් ආගමිකයන්ට එරෙහිව දියත් කෙරෙන හිංසනය සහ නින්දා සහගත ප‍්‍රහාරයන්, බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට සපුරා පටහැනි ය. වෙනත් ආගමිකයන්ට සහ වෙනත් ආගමික සිද්ධස්ථානවලට එරෙහි ප‍්‍රහාරයන් සඳහා බුද්ධාගමේ මෙලෝ ඉඩක් නැත. ලෞකික කාරණාවන්ගෙන් ස්වේච්ඡුාවෙන් වියුක්තව සිටිතැ යි කියැවෙන ශුද්ධ වූ සිවුරක් පොරවා ගත් පිරිස් එවැනි ක‍්‍රියාවන්හි නියැළෙනු දැකීම ජුගුප්සාජනක ය.

මේ පාදඩකමට පිටරට ලැබී ඇති ප‍්‍රසිද්ධිය, අඩු වශයෙන්, අවාසනාවන්ත ප‍්‍රතිවිපාක දෙකක් ඇති කොට තිබේ. එක පැත්තකින්, බුද්ධාගමේ උදාරත්වය සහ කරුණාව පිළිබඳ සංකේතයන්ටත්, විනය ප‍්‍රතිපදාවන්ටත් අනුගතව වෙසෙන සහ ආදර්ශමත් ජීවිත ගත කරන බහුතරයක් භික්ෂූන් වහන්සේලාට මෙය නිග‍්‍රහයකි. තව පැත්තකින්, බුද්ධාගම සහ බුද්ධ ධර්මය ගැන බටහිර ලෝකයේ මේ වන විට වැඩෙමින් තිබෙන උනන්දුව කෙරෙහි මෙවැනි ක‍්‍රියාකලාපයන් නිසා ඇති කෙරෙන නිෂේධාත්මක බලපෑම අපමණ ය.

බොදුබල සේනාව හා ඊට සමාන වෙනත් ව්‍යාපාර මොන තරම් පිළිකුල් කටයුතු වෙතත්, එය ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන අවධානය යොමු නොකොට සිටීමට හේතුවක් නොවේ. තමන්ගේ ආගම නොඅදහන මිනිසුන්ට සපයන කෑමබීමවලට තුන් පාරක් කෙල ගසා සැපයිය යුතු බවක් ශුද්ධ වූ කුරානය මගින් වදාරන්නේ යැයි කියන තුච්ඡු බොරුව ඉතා පහසුවෙන් ඔප්පු කොට පෙන්විය හැක්කකි. මේ විදිහටම, සාක්ෂි මගින් බොරු කළ හැකි තවත් නොයෙක් ප‍්‍රවාද තිබේ. ඒ නිසා මේවා සැඟවීම හෝ නිකංම බැහැර කිරීම වෙනුවට කළ යුත්තේ විවෘත සාකච්ඡුා සහ හෙළිදරව් කිරීම්වලට යාමයි. එහෙත්, භයානක කාරණය වන්නේ, සිහිබුද්ධිය ඇති, සාධාරණ මිනිසුන් බොහොමයක් ද, මෙවැනි නිහීන ප‍්‍රකාශයන් ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට තරම් හැඟීම්බර වීමයි.

*2014 ජුනි 17 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Making Sense Of the BBS”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page