29 September, 2020

Blog

‘‘වස විස නැති’’ ව්‍යාපෘතිය

ආචාර්ය සී. එස්. වීරරත්න

2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඩේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප‍්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ, කෘෂි රසායන පිළිබඳ සැබෑ දත්ත කිහිපයක් පෙන්වා දීමටයි.

ගොඩගේ කියන පරිදි, ජනාධිපතිවරයා සියලූ කෘෂි රසායන තහනම් කොට ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, කෘෂි රසායන පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කෙළේ නැත. කෙසේ වෙතත්, 2014 දෙසැම්බර් මාසයේ දී, කෘමිනාශක පිළිබඳ රෙජිස්ට‍්‍රාර් ආචාර්ය ජී. ඒ. ඩබ්. විජේසේකර, ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කොලොපයිරිෆෝස් සහ කාබොෆුරොන් නැමැති කෘමිනාශක භාවිතය සහ අලෙවිය තහනම් කෙළේය.

Agriපොහොර යනු කෘෂි රසායන ද්‍රවයන් ය. පොහොර වර්ග ගණනාවක් තිබේ. යූරියා, සුපර්ෆොස්පේට් සහ පොටෑෂ් ආදී වශයෙනි. අද කාලයේ බොහෝ ගොවීහු මේ පොහොර වර්ග භාවිත කරති. ආණ්ඩුව ඒවා නොමිලේ සපයති. හොඳ අස්වැන්නක් සඳහා ඒවා අත්‍යාවශ්‍ය බැවින් විය හැකිය. ගොඩගේ පෙන්වා දෙන පරිදි, ඉස්සර ගොවියන් පාවිච්චි කෙළේ කොළ වර්ග, ගොම සහ කටු පොහොර වැනි දෑ ය.

මේවායේ අඩංගු ශාක පෝෂ්‍යදායීතාව ඉතා අවමයි. ඒ කාලයේ වී වගා කෙළේ වසරකට එක කන්නයක් (මහ) පමණි. එදා ලබා ගත් අස්වැන්න වුණේ, හෙක්ටයාරයකට වී කිලෝ 1000 ක් පමණ ප‍්‍රමාණයකි. එදා වගා කළ දේශීය වී වර්ගයට අවශ්‍ය කළ පෝෂණ අගය, සාපේක්ෂ වශයෙන් අඩු ය. එහෙත් අද ඵලදායීතාව ඉතා ඉහළ ය. එය, එක හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4000 ක් පමණ වෙයි. ඒ, වඩාත් උසස් වී වර්ග සංවර්ධනය කළ බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන්ට ස්තුතිවන්ත වන්නට ය.

මේ වී වර්ගවලට වැඩියෙන් පෝෂණය අවශ්‍ය වෙයි. මේ නිසා ගොවියෝ අකාබනික පොහොර පාවිච්චි කරති. මන්ද යත්, ඒවායේ පෝෂණ ශක්තිය අධික බැවිනි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල දුප්පත් ගොවියන්ට සහ මනුෂ්‍යයන්ට (?) රසායනික පොහොර (අකාබනික පොහොර යනු නිවැරදි යෙදුමයි) භාවිතය නිසා හානි සිදුවෙතැයි කේ. ගොඩගේ කියයි. එහෙත් අකාබනික පොහොර විස සහිත නම්, තුන්වැනි ලෝකයට පමණක් නොව, සියලූ මනුෂ්‍යයන්ට එය විසකුරු විය යුතුය.

අකාබනික පොහොර මනුෂ්‍යයන්ට හානිකර යැයි කියන අතරේම, ‘‘රසායනික පොහොර නිසා, අපේ පැවැත්මට නැතුවම බැරි, වැඩි වන ආහාර නිෂ්පාදනය රසායනික පොහොර මගින් නිසැකවම වර්ධනය කොට ඇති බවත්’ ගොඩගේ කියයි. එසේම කෘෂිකර්මය සඳහා පොහොර (මෙහිදී ඔහු අදහස් කරනවා ඇත්තේ අකාබනික පොහොර විය යුතුය) අත්‍යාවශ්‍ය බවත් ඔහු කියයි. එහෙත් අපේ පසට ඇති වන හානිය වළක්වාලීමටත්, පරිසරයට සහ ජීවිතවලට ඇති වන හානිය වළකාලීමටත් ඇති හොඳම විසඳුම වන්නේ, කාබනික පොහොර භාවිතය බවද ඔහු කියයි. ඉතිං, අප දැන් පාවිච්චි කළ යුත්තේ, කාබනික පොහොරද, අකාබනික පොහොරද?

අප පාවිච්චි කරන අකාබනික පොහොර තුළ අඩංගු ශාක පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ශාක තුළට උරා ගැනේ. ෆොස්පේට් සහ පොටෑසියම් වැනි පදාර්ථ උරා ගැනෙන්නේ පසටයි. යූරියාවලින් කොටසක් වාෂ්පකරණයට ලක්වෙයි. පස වැලි සහිත නම්, සමහර පෝෂ්‍ය පදාර්ථ ක්ෂීරණය වී ජලය අපවිත‍්‍ර කළ හැකිය. පස පරීක්ෂාවට ලක්කොට, අකාබනික පොහොර වගවිභාගයෙන් යුතුව පාවිච්චි කරන්නේ නම් ඒ තත්වය වළකාගත හැකිය. කාබනික ධාතුව මගින් පස භෞතිකව වර්ධනය කොට, යකඩ සහ මැංගනීස් වැනි අංශුමාත‍්‍ර මූලද්‍රව්‍ය සම්පාදනය කරන අතර, අකාබනික පොහොර මගින් එන්. පී. සහ කේ. වැනි සාර්වමාත‍්‍ර පෝෂ්‍ය පදාර්ථ විශාල වශයෙන් ශාකවලට සම්පාදනය කර දෙනු ලැබේ. මේ නිසා, කාබනික මෙන්ම අකාබනික පොහොර යන දෙකම භාවිත කිරීම වඩාත් සුදුසු ය.

අකාබනික පොහොර භාවිතය අඩු කිරීම

අකාබනික පොහොර භාවිතය අඩු කිරීමේ ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම වැදගත් ය. එවිට අකාබනික පොහොර ආනයනය කිරීම සඳහා වැය වන වියදම අඩු කර ගත හැකිය. වායුගෝලීය එන්. පාවිච්චියට ගැනීමෙන්, යූරියා වැනි අකාබනික පොහොර භාවිතය බෙහෙවින් අඩු කර ගත හැකිය. සියයට 80 ක පමණ එන්. අඩංගුවක් වායු ගෝලයේ තිබේ. ඊට අදාළ ශාක පාවිච්චියට ගෙන, එය උරා ගත හැකිය. එහෙත් අවාසනාවකට, බ්ලූ ග‍්‍රීන් ඇල්ගී වැනි ශාක අප ඒ සඳහා පාවිච්චියට ගන්නේ නැත. එන්. මර්දන බැක්ටීරියා සහිත රනිල මුල් මගින්ද ප‍්‍රශ්නය විසඳා ගත හැකි වෙතත්, අප එවැන්නක් කරන්නේද නැත. වියළි කලාපයේ බොහෝ පස්, පොටෑසියම්වලින් සරු ය. ඒ අනුව, එම්. ඕ.පී. භාවිතය අඩු කර ගත හැක. පස පරීක්ෂාවට ලක්කොට ලබා ගන්නා දත්ත මත පොහොර භාවිත කරන්නේ නම්, පොහොර භාවිතය බොහෝ දුරට අඩු කර ගත හැකි බව කිව යුතුය. ඒ අනුව, පොහොර ආනයනයද අඩු කර ගත හැකිය.

කෘමිනාශක

‘වස විස නැති’ ව්‍යාපෘතිය තුළ කෘමිනාශක ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ විට අස්වනු පාළු කරන්නේ කෘමීන් ය. වී ගොවිතැනේදී බ‍්‍රවුන් ප්ලාන්ට් හොපර්ස් ගැන අපට අසන්ට ලැබේ. තවත් පලිබෝධ ද තිබේ. 18 වැනි සියවසේදී ලංකාවේ පැවති කෝපි වගාව විනාශ වුණේ හමීලියා වැස්ට‍්‍රරික්ස් දිලීරය නිසා ය. එවැනි අවස්ථාවකදී කෘමිනාශක පාවිච්චි කිරීමට අපට සිදුවෙයි.

කෘමි වසංගතයට අමතරව, දීලීර, වෛරස සහ වල්පැළවලින්ද අස්වනුවලට හානි සිදු කෙරේ. ජලය, හිරු එළිය සහ පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට, වගා භෝග සමග වල්පැළ තරග වදී. එසේම, විවිධ කෘමි වර්ග සහ රෝගද වල්පැළවලින් බෝ කෙරේ. එසේම, අස්වැන්නේ ගුණාත්මක භාවය අඩු කිරීමටත් වල්පැළ හේතුකාරක වෙයි. එබැවින් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් වල්පැළ මර්දනය කළ යුතුය. ඒ සඳහා නිසි කෘමිනාශක පාවිච්චි කළ යුතු වෙයි.

මා කරන්නේ මොන විදිහකින්වත් කෘමිනාශක භාවිතය ප‍්‍රවර්ධනය කිරීමක් නොවේ. කෘමිනාශක ආනයනය කිරීමට විශාල මුදලක් වැය කෙරේ. එබැවින් විස නැති විකල්ප ක‍්‍රම අනුගමනය කරන්නේ නම් හොඳ ය. නිකොටින්, පිරෙත‍්‍රින් සහ අසඩිරෂ්ටින් වැනි සංයෝග තුළ කෘමිනාශක ශක්තීන් තිබේ. සමහර දේශීය ශාකවල එවැනි ශක්තීන් අඩංගු ය. උදාහරණයක් වශයෙන්, කොහොඹවලින් අසඩිරෂ්ට ඉන්ඩිකා ලබා ගත හැක.

එවැනි දේශීය පැළෑටිවලින් කෘමිනාශක නිෂ්පාදනය කොට කෘමීන් වඳ කිරීම සඳහා ඒවා භාවිත කිරීම මාර්ගයෙන් වියදම අඩු කර ගන්නවා පමණක් නොව, රැුකියාද සම්පාදනය කළ හැකි වන්නේය. එහෙත් වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීම හැරුණු කොට, එවැනි ජෛව-කෘමිනාශක භාවිතය ප‍්‍රවර්ධනය කිරීම සඳහා බලධාරීන් කිසි ක‍්‍රියා මාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. ජෛව-කෘමිනාශක සහ පරිසර හිතකාමී පියවරයන් පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවා සංවර්ධනය කිරීම වැදගත් ය. විකල්ප මාර්ග නොසැපයෙන්නේ නම්, ඉහළ අස්වනු පවත්වා ගැනීම සඳහා කෘෂි රසායන අවශ්‍ය කරන්නේය. සමහර ගොවියෝ කෘෂි රසායන වර්ග මිශ‍්‍ර කොට පාවිච්චි කරති. ඒ මගින් අස්වනු වැඩි වේ යැයි ඔවුහූ විශ්වාස කරති.

එසේ කිරීමෙන් පරිසර දූෂණය සිදු වෙයි. මේ නිසා අදාළ ආයතන මගින් කෘමිනාශක භාවිතය පිළිබඳ රෙගුලාසි ක‍්‍රියාත්මක කරනු වස් යහපත් යාන්ත‍්‍රණයන් සකසා ගත යුතුව තිබේ. නිතර අසන ප‍්‍රශ්න පාදක කරගෙන මාර්ග සිතියම් සකස් කර ගත යුතුව තිබේ. කෘමිනාශකවල අහිතකර ප‍්‍රතිවිපාක අවම කර ගැනීම සඳහා සාර්ථක කෘෂිකර්ම ව්‍යාප්ති ක‍්‍රම සකස් කර ගත යුතුව තිබේ. ඇතැම් පර්යේෂකයන්ට අනුව, සමහර කෘමිනාශක මිනිසාට අහිතකර අන්දමින් බලපායි.

මේ නිසා කෘෂිරසායනවලින් ඇති විය හැකි දීර්ඝ කාලීන පාරිසරික සහ සෞඛ්‍ය ප‍්‍රශ්න ගැන ගැඹුරින් පර්යේෂණ කළ යුතුව තිබේ. ඉහතින් සඳහන් කළ ආකාරයේ ජෛව-කෘමිනාශක වැනි විකල්ප පළිබෝධනාශක සොයා ගත යුතුය.

*2016 අපේ‍්‍රල් 07 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ ”Vasa Visa Nethi” Project’’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.