25 September, 2020

Blog

රනිල්ගේ කමිටුව අර්ජුන මහේද්‍රන් නිදොස් යැයි කියයි

ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජේෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වඩාත් හොඳ පාලන යන්ත්‍රණයක් තහවුරු කිරීම සඳහා වන පුළුල් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කොට ඇත.

අර්ජුන මහේද්‍රන්

අර්ජුන මහේද්‍රන්

මේ සඳහා අදාළ ත්‍රිපුද්ගල කමිටුව පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති අතර ඒ අතර මහ බැංකු අධිපතිවරයා ද,මහ බැංකුවේ නිලධාරිහු ද, ප්‍රාථමික ගනුදෙනුකරුවෝ ද, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ද වෙති.

ශ්‍රී ලංකා රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් මෙහෙයවන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා බැඳුණු අඩුලුහුඬුකම් කිහිපයක් මෙම කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

රජයේ අතිශයින්ම සංවේදී තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැවින් එම අංශයට අදාළව විධිමත් සුපරීක්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කළ යුතු බව ත්‍රිපුද්ගල කමිටුව පිටු 19 කින් සමන්විත සිය වාර්තාවේ සඳහන් කොට ඇත.

කෙසේ වෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කොට ඇති පරිදි වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වැනිදා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වා ඇත.

“මූල්‍ය මණ්ඩල ලඝු සටහන් 4/2015 යටතේ වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලියට අනුව එම කාර්යය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවේ” යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත් වසර තිහක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බව කමිටුව ප්‍රකාශ කොට තිබේ.

පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කොට ඇත.

වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chief Dealer) කරුණු විමසිය යුතු බවත් කමිටුව නිර්දේශ කොට තිබේ.

බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය සිදු කළ ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වූයේ

නීතිඥ ගාමිණි පිටිපන (සභාපති ), නීතිඥ මහේෂ් කළුගම්පිටිය හා නීතිඥ චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරුන්ගෙනි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Horage Ammage Theenduwa

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.