28 March, 2024

Blog

වැරදුනේ කොතනද​?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මැතිවරණ ඉතිහාසය උඩුයටිකුරු කරන ප්‍රතිඵලයක් නිකුත් කරමින් පළාත් පාලන මැතිවරණය නිමා විය. දිනූ අයටත්, පරාජය වූ අයටත් හිතන්නට බොහෝ දේ ඉතිරි කරන්නට මේ මැතිවරණය ඉවහල් වූ බව ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී වටහා ගත හැකිය.

යහපාලන ආණ්ඩුව බිහිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, සහජීවනය යනාදී සංකල්පයන් යථාවක් බවට පත්කරනු පිණිස වූ අතර, එකී යහපාලන සංකල්ප කෙරෙහි ජනතා ප්‍රතිචාරය වූයේ මෙවැන්නක් ය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරනු ලබන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යහපාලන ආණ්ඩුව ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ ‘මොඩලය’ නොවන්නට ඇත. ඔවුන් ‘දුඟද’ සොයා යන්නේ නම් ඒ යන්නේ ‘දුඟද’ ඔවුනට අවැසි නිසාය’ යනුවෙන් ෆිඩෙල් කැස්ත්‍රෝ කියා තිබේ. තවදුරටත් තුන්වන ලෝකයේ රටක ස්වභාවය මොනවට ඒත්තු ගන්වමින් ජනතාව මේ ප්‍රතිපඵලය ළඟා කර දී ඇත. ඒ අනුව ජනතාව විසින් ම තමන් අපේක්ෂා කරන තාලයේ ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ කෙරෙහි ස්වකීය නැඹුරුව පෙන්වා තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ආණ්ඩුව මුහුණ දුන් මුල් ම මැතිවරණය මෙය වූ අතර වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි පූර්ව නිගමනයන්ට එළැබ සිටි මැතිවරණය ද මෙය විය.

එතෙක් මෙතෙක් පැවැති පළාත් පාලන ඉතිහාසය තුළ කිසිදු මැතිවරණයක් බලයේ සිටි ආණ්ඩුව පරාජය වී නැති නමුත් මෙවර එය සිදු විය. යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා එක් වූ බලවේග වෙන් වෙන්ව මැතිවරණයට තරඟ කිරීමේ අමතර ‘වාසිය’ පොදුජන පෙරමුණ විසින් ‘තීරණාත්මක’ ලෙස අත්පත් කරගෙන තිබූ ආකාරය ප්‍රතිඵල වලින් ගම්‍ය කරගත හැකිය.

ඕනෑම ආණ්ඩුවක් කුමන ‘නිලයකින්’ හෝ ජනතාවගේ අපේක්ෂා අවබෝධ කරගත යුතු අතර, එසේ නොවන හැම විටෙකම සිදුවන්නේ පෙරලා ජනතාවගේ ප්‍රතිචාරය එල්ල වීම ය. ඒ ප්‍රතිචාරය ඇතැම් විට ආණ්ඩුව බලාපොරොත්තු නොවන විදිහේ එකක් විය හැකි අතර, මේ සිදුව තිබෙන්නේ එබඳු තත්ත්වයකි.

ප්‍රමුඛතම ජනතා අපේක්ෂා ග්‍රහණය කර නොගැනීමේ ආනිසංසය ආණ්ඩුව අත්පත්කොට ගෙන තිබේ.

ගෙවී ගිය තෙවසරක කාලය තුළ ප්‍රමුඛ කොටම ඉටු කළ යුතුව තිබූ කටයුතු කෙරෙහි ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග නැවත සිතා බැලිය යුතු තත්ත්වයට පත්ව තිබේ. කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු තැන මන්දගාමී වීමත්, සමහර ක්‍රියාමාර්ග නොසලකා හැරීමත් ආණ්ඩුව වෙතින් සිදු වූ තීරණාත්මක ‘මඟහැරී යාම් ය.එහි වාසිය අත්පත් කරගත්තේ විපක්ෂය ය. ආණ්ඩුව අතර මුල් වකවානුවේ පැවැති ‘සමඟිය සහ සහජීවනය’ කල් යත්ම ඉරි තලන්නට වූ අතර එකිනෙකා කෙරෙහි ගතු කියා ගන්නටත් එකිනෙකාට චෝදනා කරගන්නටත් ඔවුහූ කාලය වැය කළහ. පොදු හතුරා ‘අනෙකා’ බවට පත් කරගන්නවා වෙනුවට තමාගේ හිතෛෂීවන්තයා ‘අනෙකා බවට පත් කරගෙන ‘එකිනෙකාට බැණ අඬගසා ගන්නා තත්ත්වයට ආණ්ඩුව පත් විය.

මේ ලැබුණේ එහි ප්‍රතිපලය ය; සාක්ෂිය ය.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ශිෂ්ටත්වය යනාදී යහගුණ සංකල්පීය හරයෙන් විනා අර්ථවත් භාවිතයකින් අත් විඳීම කෙරෙහි මෙරට ජනයා තුළ තවදුරටත් පවතින්නේ අවම උනන්දුවකි.

අඩුලුහුඩුකම් මොනවාද යන්න නැවත නැවත සිතා බලන්නට ආණ්ඩුවට මේ ප්‍රතිඵලය එක්තරා අවස්ථාවක් වී තිබේ. එකී අවස්ථාව වඩාත් නිවැරදිව කලමනාකරණය කරගන්නා තරමට ආණ්ඩුවේ ‘පැවැත්ම’ තීන්දු වනු ඇත.

ප්‍රතිඵලයේ අවසන් නිගමනය තහවුරු කරන්නේ මීට තෙවසරකට පෙර ‘යහපාලනය’ වෙනුවෙන් එක් වූ කණ්ඩායම් ඊට තෙවසරකට පසු වෙන් වීමේ ආදිනව ය. එ නිසා කඩිනම් ප්‍රතිසංස්කරණයක් වෙත යොමුවීමේ තීරණාත්මක තැනකට ‘ආණ්ඩුව’ පැමිණ සිටී.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    UNP ඕගොල්ලන්ට හලෝ හැමදාම හැමතැනම වැරදුන.
    .
    චන්දෙ නම් ඉවරයි. දැන් තියෙන්නේ කප්පරක් ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සහ පත් වෙච්ච 8300 ගානක දේසපාලුවෝ රොත්ත නඩත්තු කරන එක. පලාත්පාලන ආයතන වල හිස් මොළ වලට කන්න බොන්න දෙන්න නඩත්තු කරන්න මාසෙකට කෝටි 37ක්ද කොහෙද ඕනේ කියලා තැනක දැක්ක. දේශපාලකයන්ට මොකොද, අතින් පයින් යන එකක්යැ. දැන් ඉතින් පොල් ගෙඩිය රොකට් එක වගේ උඩ ගිහින් පොල් ගහ උඩම නවතියි. අතවශ්‍ය ආහර ද්‍රව්‍ය, එළවලු, ගෑස්, බස් ගාස්තු, බදු මේ හැම එකක්ම වැඩි කරයි ආණ්ඩුව. පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්න පරක්කු වුනොත් ඒ ආයතනත් පාර්ලිමේන්තු සභා ගැබ වගේ හිස් වෙලා යයි. ඒ වුනාට එතැන ඉන්න මිනිහෙක් කිව්වා මන්ත්‍රීවරු සභා ගැබට ආවේ නැතුවට කොරිඩෝ වල, කැන්ටින් එකේ, බිත්ති අයිනේ අතන මෙතන රස්තියාදු ගගහ නිකම් කතා කර කර ඉන්නවලු. ඉස්කෝලේ යන ළමයි school cut කරනවා වගේ මන්ත්‍රීවරු සභා ගැබ cut කරනවා. එක දවසට මිලියන් ගානක් වැය කරනවා පාර්ලිමේන්තුව පවත්වන්න. චන්දෙන් පස්සේ මිනිස්සු බලා ගත්ත අතේ බලා ඉන්න කොට, දේශපාලකයනගේ නම් කටවල් නිකම් signal ad එකට ඉන්නවා වගේ වෙනවා. පව් අහිංසක මිනිස්සු. හැමදාම රැවටෙනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.