26 April, 2024

Blog

කට්ටියගේ කැරට්ටුව සහ​ පරණ සෙල්ලමට තිත තැබිය යුතු පුංචි ඡන්දය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මැතිවරණ තරගයට ‘පිච්’ සූදානම් වී ඇත. ‘මැච්’ එක ඇරඹී ඇත. 2018 වසර උදාවන්නේ මැතිවරණ තරගයේ උණුසුම නව වසර උදාවේ උත්සවශ්‍රීයද පරයමින්ය. ඉතිහාසයේ නොවූ විරූ තරම් පිරිසක් මෙවර මැතිවරණ ක්‍රියාවලියට සක්‍රියව සම්බන්ධ වී සිටිති. මේ මැතිවරණයෙන් තෝරා ගැනීමට නියමිත මුළු පළාත් පාලන නියෝජිතයන් ගණන 8356කි. ඒ රටපුරා ඇති කොට්ඨාස​ 4840 නියෝජනය කරමිනි. අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයෙන් තෝරාපතකර ගත් මන්ත්‍රීවරුන් ගණන වූයේ 4486කි. මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ පළාත් පාලන නියෝජිතයන් ප්‍රමාණයේ දැවැන්ත වර්ධනයක් මැතිවරණ ක්‍රමයේ වෙනස්වීමත් සමග සිදුව ඇති බවයි.

දේශපාලන සංස්කෘතිය සහ සදාචාරය අතින් අප තවමත් පසුවන්නේ ඉතා පසුගාමී තැනක බව තර්ක විරහිතය. ගුණාත්මකව නියොජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉතා පහළ අඩියක පැවතියද ප්‍රමාණාත්මකව නම් ලංකාව ඇත්තේ ලොව ඉහළම තැනකය. ශ්‍රි ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් මිලියන 21කි. යෝජිත පළාත් පාලන නියෝජිතයන් ගණන 8356කි. මේ වනවිට සිටින පළාත් සභා මන්ත්‍රීවරු ගණන 427කි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 225කි. ඒ අනුව කුමන හෝ මටම්මින් සමස්ථ මහජන නියෝජිතයන් ගණන 9008කි. මේ රටේ ජීවත්වන සෑම පුද්ගලයන් 2350කටම එක් අයෙක් මන්ත්‍රීවරයෙකි, මහජන නියෝජිතයෙකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතින් දියුණු ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ඉහළ අගයකි.ශ්‍රී ලංකාවේ හෘදරෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සිටිනුයේ 25කට අඩු ප්‍රමාණයකි. ඒ අනුව සෑම පුද්ගලයන් 840 000කටම ආසන්න වශයෙන් සිටිනුයේ එක් හෘදරෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් පමණි.

මෙවර මැතිවරණයේදී සිදුවී ඇති විශේෂිතම වෙනස්කමක් වන්නේ කාන්තා නියෝජනය ඉහළ යාමයි. පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය 25%ක් ලෙස අනිවාර්‍ය කර තිබේ.

අඩු නියෝජිත සංඛ්‍යාවක් තෝරාපත් වන දේශපාලන පක්ෂ වෙතින් කාන්තා නියෝජනය සම්බන්ධයෙන් යම් ලිහිල් බාවයක් ලැබුණද මැතිවරණය අවසාන වනවිට මෙවර අනිවාර්‍යෙන්ම කාන්තා නියෝජිතවරියන්ගේ ගණන 2000ට ආසන්න සංඛ්‍යාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් පැහැදිලිවම නැවත වතාවක් සදහන් කළ යුතු කාරණය වන්නේ සංඛ්‍යාත්මක වර්ධනයෙන් සිදුවන අලුත් සෙතක් නොමැති බවය. රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරියන් 13 දෙනෙකු සිටී. නමුත් සමස්ථයක් ලෙස ගත් කළ සක්‍රියව ඵලදායිලෙස මහජන සේවය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදී එකී කාන්තා නියෝජිතවරියන් නීති සම්පාදන ක්‍රියාවලියට දැක්වූ දායකත්වයේ පංගුව ප්‍රතිශතයක් ලෙස 3%කි. මෙම 13 දෙනාගෙන් බහුතරය පාර්ලිමේන්තුවේදී කට ඇර ඇත්තේ ඈනුම් ඇරීමට සහ ආහාර අනුභවය සදහා පමණකි. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සමහර මන්ත්‍රීවරියන් වසර 5ටම එක් වතාවක් වත් පාර්ලිමේන්තුව අමතා නැත.

එබදු වාතාවරණයක් තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට ගෙන ආ ප්‍රතිපාදන ඔස්සේ පළාත් පාලන ආයතන තව දුරටත් සුදු අලියෙක් වීමට වැඩි ඉඩක් ඇත. එය ඇත්ත වශයෙන්ම ප්‍රාදේශීය පරිපාලන ඒකකවලින් ඉස්මතු වූ ඉල්ලීමක් හෝ කාන්තාවන් විසින් ඉල්ලා ලබා ගන්නා ලද නියෝජනයක් නොවේ. මෙය කොළඹ කේන්ද්‍රීය කතිකාවතක් හරහා ගොඩනැගුණ තර්කන මත පදනම්ව නිර්මාණය වූ කෘතිම තත්ත්වයකි. අවසානයේ සිදු වූයේ ගම්වලින් කාන්තා නියෝජිතවරියන් සොයා ගැනීමට දේශපාලන පක්ෂවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වීමය. මේ නිසා කාන්තා නියෝජනය ශක්තිමත් හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පිම්මක් හෝ පළාත් පාලන ආයතන ශක්තිමත් වීමක් සිදු වේ යැයි සිතීම උගහටය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී වඩාත්ම ඉස්මතුවන කාරණය වන්නේ, මෙම මැතිවරණය සදහා ඉදිරිපත් වන බහුතර අපේක්ෂකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ හෙංචයියන් වීමය. ඔවුන්ගෙන් බහුතරයකට දේශපාලනය කෙසේවෙතත් ගමේ මරණාදාර සමිතියක පාලනය ලබාදීමට තරම්වත් සුදුසුකමක් නැත. ජාතික මට්ටමේ දේශපාලකයන් වෙනුවෙන් පෝස්ටර් ඇලවීමට, කටවුට් ගැලවීමට, පෝලීමේ සිට හොර ඡන්ද දැමීමට, විරුද්ධ පාක්ෂිකයන්ගේ දේපළ කඩා බිද දැමීමට නිර්ලජ්ජිතව ඉදිරිපත් වූ බොහෝ දෙනා ප්‍රාදේශිය සහ නාගරික මන්ත්‍රීවරුන් ලෙස තම කුට්ටිය ලබා ගැනීමට ඉදිරිපත් වන අවස්ථාවක් ලෙස පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම අපේ රටේ සම්ප්‍රදාය වී ඇත. මෙලෙස නුසුදුසු, අශ්ශීල පුද්ගලයන්ගේ සහභාගීත්වයක් ඇති පළාත් පාලන ආයතනයකින් යහපත් යමක් සිදු වේ යැයි බලාපොරොත්තු වීමම විහිළුවකි.

පළාත් පාලන නියෝජිතයන් ගැන අප පුවත්පත් මගින් කියනවාටත් වඩා යමක් එම ප්‍රදේශවල ජනතාව දන්නා බව නිසැකය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නාගරික මන්ත්‍රී කියු සැනින් පාරවල් දිගේ පිස්සු නටන, කුඩා ළමුන් අපහරණය කරන, ඉඩම් කොල්ලකන, කුඩු විකුණන, ගංජා ප්‍රවාහනය කරන, හොර හරක් ජාවාරම් කරන, කොන්ත්‍රාත් වලින් ගසාකන තක්කඩියෙකු සිහිවීම පුදුමයක් නොවේ. ඒ පට්ටම් වසා ගැනීමට දේශබන්දු, දේශමාන්‍ය ගරුනම්බු නාම පරයන අමුතුම ගරු නම්බු නාම මුදලට ගෙන තම නම ඉස්සරහ එල්ලා ගැනීමට තරම් මොවුන් අසික්කිත භාවිතයක් ඇති පුද්ගලයන්ය.

මෙම පළාත් පාලන නියෝජිතයන් රංචුව නඩත්තුව සදහා අවම දීමනාව සමග පමණක් රුපියල් දස කෝටියකට අධික මුදලක් මාසිකව වියදම් කිරීමට සිදු වේ. එමනිසා ඔවුන් ‘පිස්සු නටනවා’ නම් එහි අවසාන වගකීම බාරගැනීමට සිදු වන්නේද ඡන්ද දායකයන්ටමය.

පළාත් පාලන නියෝජිතයන්ගේ අශ්ශීල පැවැත්ම ගැන නිදර්ශන ඕනෑතරම් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තෝරා පත්වුන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බැලීමෙන් දැනගත හැකිය. අසියාවේ ආශ්චර්‍ය ලෙස මේ රට ප්‍රවර්ධනය කිරීම සදහා එවකට සිටි ප්‍රාදේශීය දේශපාලකයන් කිහිප දෙනෙකු සිය උපරිම දායකත්වය දැක්වූ අයුරු මෙලෙස පැහැදිලි කළ හැකිය.

1. අනිල් චම්පික ජයසිංහ, දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති – නූරි වත්තේ වතු අධිකාරිවරයාගේ ඝාතනයට මරණ දඬුවම නියම විය.
2. උදේනි අතුකෝරාළ, වලල්ලාවිට ප්‍රා.සභාවේ හිටපු සභාපති – තවත් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගෙන් (බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපති, ගයාන් සිරිමාන්නගෙන්) ලක්ෂ 15ක අල්ලස් ගෙන බන්ධනාගාරගත විය. මොහු දැන් පොහොට්ටුවට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ සංවිධානයේ කැදවුම්කරුවාය.
3. සාරැවා සුනිල්, අකුරැස්ස ප්‍රා. සභාවේ හිටපු සභාපති – බාලවයස්කාර දැරියක කෙලසා සිරගත වීමට සිදු වූ අතර තම හපන්කම් සැමරීම වෙනුවෙන් සාද පැවැත්වූවෙකි .
4. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති – බ්‍රිතාන්‍ය ජාතිකයෙකු (කුරාම් ෂෙයික්) මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කොට වසර 20ක බරපතල සිර දඩුවමක් නියම විය.
5. නලින්ද රාජනායක, පූජාපිටිය ප්‍රා. සභා හිටපු මන්ත්‍රී – තරැණියක් කෙලසා සිරගත විය.
6. ජගත් ඒකනායක, බද්දේගම ප්‍රා. සභාවේ හිටපු උප සභාපති – කුඩු ගැසීමට මුදල් සොරකමේ ගොස් සිරගත විය.
7. දිවුලපිටිය ප්‍රා. සභා හිටපු සභාපති – පස් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගනනා ලදී.
8. ආරච්චිකට්ටුව ප්‍රා. සභා හිටපු සභාපති – රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විදේශිකයෙකුට අලෙවි කොට අත්අඩංගුවට ගන්නා ලදි.
9. රඹෑව ප්‍රා. සභා හිටපු සභාපති – අසරණ ගොවියෙකුගෙන් 75000 අල්ලසක් ගෙන වසර 13කට සිරගත විය.
10. බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී රත්නසිරි කළුපෙරුම කුඩා දරුවක අපයෝජන කිරීමේ වරදට අවුරුදු 7කට සිරගත වීය.

හිටපු පළාත් පාලන නියෝජිතයන් බලයෙන් මත්ව පිස්සු කෙලීම සම්බන්ධව මෙබදු උදාහරණ තවත් අනන්තවත් සැපයිය හැක. නමුත් අප ඒ සියල්ල සදහන් නොකරනුයේ එසේ කළහොත් මෙම සටහන වෙනුවෙන් පිටු කීපයක්ම වෙන් කිරීමට සිදු වන බැවිනි. මේ සියළු තක්කඩි දේශපාලකයින් හට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දුන්නේද මේ රටේ ඡන්ද දායකයන්මය. ඒ ඡන්ද දායකයන් සාතිශය බහුතරය දැනටත් ඡන්ද දායකයන්මය. අද මෙම ඡන්ද දායකයන්ට ඇති අභියෝගය වන්නේ මෙවැනි හොරුන්ට, වංචා කරුවන්ට, තක්කඩින්ට, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකරුවන්ට නොරැවටී තමන්ගේ නියෝජිතයන්ලෙස ගරු මන්ත්‍රීතුමා යැයි කටපුරා කිව ගැකි පිරිසක් පළාත් පාලන ආයතන වලට තෝරා පත් කර යැවීමය.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් තුළ පවා මේ මැතිවරණයේ සාධානීය ලක්ෂණ කිහිපයක්ම දැකගත හැකිය. විශේෂයෙන්ම කේවළ සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමය හේතුවෙන් සෑම කොට්ඨාෂයකටම, එම ප්‍රදේශයට වගකියන පළාත් පාලන නියෝජිතයෙක් හිමිවීමට නියමිතය. එමෙන්ම සෘජුව මැතිවරණ සටනට එළඹීමට අකමැති නමුත් පරිපාලනය සම්බන්ධව යම් හැකියාවක් ඇති සමහර වෘත්තිකයන් සමානුපාතික ලැයිස්තුව හරහා පළාත් පාලනයට හවුල් කරගැනීමේ හැකියාවක් හිමිව තිබේ.

මෙම මැතිවරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් ඇති වැඩිම වැදගත්කම වන්නේ, මෙය වෙනස්වම ජනමතය මැන බැලීමේ කදිම අවස්ථාවක් වීම නිසාය. 2015 අගෝස්තුවෙන් පසු මෙරටේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. මේ කාලය ඇතුළත ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැඩි වෙනස්කම් ගණනාවක් සිදුව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් ඒකාබද්ධ විපක්ෂය යයි නම් කර ගත් කණ්ඩායමක් යටතේ ක්‍රියාත්මක වීමත්, ඔවුන්ගෙන් පිරිසක් පොදුජන පෙරමුණ ලෙස මැතිවරණය ඉල්ලක්කොට ගෙන සංවිධාන කටයුතු ඇරඹීමත් සිදු විණි. අනෙක් පසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තම බලය දිනෙන් දින වර්ධනය කරගනිමින් සිටී . පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට මේ කාලය තුළ චෝදනා බොහොයකට මුහුණ දිමට සිදු විය. කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් දෙදරා ගොස් ඇත. මෙවැනි වෙනස්කම් රාශියකට පසුව එළඹෙන පළමු මැතිවරණය වන මෙම පළාත් පාලන මැතිවරණය ඉදිරි සති කිහිපයේදී දේශපාලන වේදිකාව පමණක් නොව සමස්ථ රටම, නව වසරේ රශ්මිය පරයමින් උණුසුම් කරන බව නම් නිසැකය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Sri lanka is the only country that needs 5000 – 10,000 people to take political decisions. IT is like we assign doctors. NEw york state, which is twice the size of Sri lanka, very rich but not bankrupt like Sri lanka has only two federal politicians and one state govt.

  • 0
    0

    Chamara: this information should reach to the rural people who are the motivated voters. them they understand how ignorant is when they give their vote. I heard, Sri lanka’s computer literacy is about 28%. So, most will not read this information. News that reach public should explain these things.

  • 0
    0

    If you can collect data on how much expenses are for maintaining each of these levels. give some percentage separately their corruption and include criminal activities and financial frauds. There is high demand to be employed in politics. Some identify them as professional politicians. that is scary. Why do we need professional politicians. We need visionary politicians who can help the country. JUst compare with Wanninayakes who lives during the kings’ times. they were not educated but they were honest, visionary and dedicated.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.