18 January, 2018

Blog

සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක්

සරත් ද අල්විස්

වීරයා සහ ප්‍ර​තිවීරයා

සරත් ද අල්විස්

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සහ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ඔවුනොවුන්ගේ ලෝක දැක්මෙන් එකිනෙකාගෙන් වෙනස් වෙති. ඒ වෙනස්කම් කෙතෙක් බරපතලද යත්, ඒවා අතර සැසඳීමක් කිරීමට ගන්නා ප්‍ර​යත්නයම සපුරා දේවාපහාසයක් වනු නියති. හරියට, මහත්මා කෙනෙකු වූ ගාන්ධි සමග මූලධර්මවාදියෙකු වු බින් ලාඩෙන්ව සැසඳීමට යාමේ මිසදිටු කම වැන්න.

ජනාධිපති සිරිසේන සහ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් අතර රහසේ සිදුවිණැ යි වාර්තාගත සාකච්ඡාව, බිය දනවන නිමිත්තකි. චපල දේශපාලනය පිළිබඳ අනතුරු දනවන සංඥාවකි. එය, සෝභිත හාමුදුරුවන්ගේ ජීවිතය, යුගය සහ ප්‍ර​කාශ කනපිට හරවයි. සිරිසේන නම් වූ ජනාධිපතිවරයෙකු අවසානයේදී බිහි කළ, පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කාටත් පිළිගත හැකි යෝජනාවට සෝභිත හාමුදුරුවන් තනියෙන් උර දුන් ආකාරය, අද අප පසු කරමින් තිබෙන සිද්ධි දාමය මැද්දේ, ජාතියක් වශයෙන් මතකයට නංවා ගැනීම අනිවාර්ය කොට තිබේ.

අසම්පාත දෘෂ්ටියක ඇත්තේ, සුවිශේෂී කෝණයකට සාපේක්ෂ දර්ශනයකි. යම් වස්තුවක් දර්ශනය වීම සහ එම වස්තුවේ පිහිටීම, ඒ දෙස බලන කෝණයේ වෙනස අනුව වෙනස් වෙයි. මෛත්‍රීපාල සිරිසේන නැමැති පොදු අපේක්ෂකයා දේවල් දෙස බැලූ යම් කෝණයක් තිබුණි. නිදහස් චතුරශ්‍ර ශාලාවේ දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයා දේවල් දෙස බැලූ යම් කෝණයක් තිබුණි. මෛත්‍රීපාල සිරිසේන නැමැති ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා දේවල් දෙස බලන කෝණය ඊට සපුරා වෙනස් ය.

ඉහත අර්බුදයේ තුන්-තේරවිල්ලෙන් මඩනා ලද මේ ලියවිල්ල, 2015 ජනවාරි 8 වැනි දා ඒ පොදු අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළ මගේ හෘද සාක්ෂිය අස්වසා ගැනීමට ගන්නා ප‍්‍රයත්නයකි. ඒ සමගම, මේ ජනාධිපතිවරයා පිළිබඳ ප‍්‍රශංසාත්මක ලිපි ලිවීමට තරම් හේතුකාරක වූ මේ ලියුම්කරුගේ සුභවාදී අපේක්ෂාවන් විරේචනය කිරීමේ අභ්‍යාසයකි. මෛත්‍රීපාල සිරිසේන වෙනස් ජනාධිපතිවරයෙකු වෙතැ යි විශ්වාසය තැබූ ඒ ගොබ්බ කම ගැන සමාභජනය සඳහා ගන්නා දුෂ්කර ප‍්‍රයත්නයකි.

දවස් 47 කින් වදා ගත් ජනාධිපතිවරයෙක්

2014 නොවැම්බර් 21 වැනි දා, එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වූ ද, මහින්ද රාජපක්ෂගේ කැබිනට්ටුවේ ප්‍ර​බල ඇමතිවරයෙකු වූ ද මෛත්‍රීපාල සිරිසේන, තමා පොදු විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශයට පත්කෙළේය. එහි අදහස වුණේ, විධායක ජනාධිපතිවරයා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වූ මහින්ද රාජපක්ෂ තුන් වැනි වරටත් රටේ පරමත්වයට පත්වීම වැළැක්වීමයි.

දවස් 47 කින් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනුණි.

මේ ලියුම්කරුට දියණියන් දෙදෙනෙකි. දියණියන් පියවරුන්ට ආදරය කරන තරම ඔහු දනී. චතුරිකා සිරිසේන තමාගේ ජනාධිපති තාත්තා ගැන පොතක් ලියා තිබේ. ඇගේ තාත්තාව මෙරටේ ජනාධිපති කැරැුවීම සඳහා සෝභිත හාමුදුරුවන් කළ කාර්ය භාරය ගැන එම පොතේ කිසි සඳහනක් නැතැ යි ප්‍ර​නිශ්චය කිරීම, මේ ලියුම්කරු එම පොත කියවා නැති නිසා, නොමනා ය.

කරුණු එසේ වුව ද, අදාළ කාරණයේ ඇති බරපතල කම නිසාම, ඇගේ තාත්තා ඉතිහාසයේ අනිවාර්ය නිර්මාණයක් වී ය යන මතය සමග එකඟ වීමට ඉඩ නොදෙයි. මන්ද යත්, ඔහු එසේ නොවන බැවිනි. ඔහු වනාහී, ඉතිහාසයේ අහම්බයකි. ඇගේ ටෙලිකොම් බාප්පා, එක් වෙබ් අඩවියක් තහනම් කොට, ඉතිහාසය ආපසු හැරවීමට දැනටමත් තැත් කොට තිබේ. එම වෙබ් අඩවියේ විටෙක දක්නට ලැබෙන අශිෂ්ට අන්තර්ගතය, විනීත සිතැ‘ති සියලු පුරවැසියන් ගර්හාවෙන් යුතුව හෙළාදකිනු ඇත. එම වෙබ් අඩවිය තහනම් කිරීම, ඩිජිටල් ප්‍ර​බුද්ධත්වයෙන් යුත් වත්මන් යුගය තුළ, ඒ හා සමානම ගර්හිත ක්‍රියාවක් වන්නේය.

මහා පාවාදීමක්

ප‍්‍රකාශයට පත්ව ඇති වාර්තාවලට අනුව, ජනාධිපති තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනු වස්, වරක් පළවා හල ප්‍රජා පීඩකයන් සමග සන්ධානගත වීමට දැන් මන්ත‍්‍රණය කරයි. රටේ ආර්ථිකය කඩා වැටීම නිරීක්ෂණය කරමින් සිටි චීනයේ සභාපති මා ඕ සේතුං, ‘මහා විපත්තියක් සිදුවන බව’ දැක දැකත්, ‘තත්වය විශිෂ්ට’ යැයි නරුම තීරණයකට එළැඹියේය. 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයේ උත්කර්ෂය, ආතක්පාතක් නැති සම්මෝහයකට හැරී තිබේ. අප සිටින්නේ ඇත්තෙන්ම මහා අවුලක ය. වළාවේ තිබූ දේදුන්න වියැකි ගොසිනි. වංචාවේ නියඟයෙන් පොළෝ පස වකරැුලි වී ගොසිනි. යහපාලන පැළය කණාටු වී ගොසිනි. වගවීමේ ඔක්සිජන් අහිමි කෙරෙන පාලන කල්ලියක බැමිවලින් ජනතාවගේ හුස්ම හිර කෙරේ. බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමතීම සහ ගෝඨාභය රාජපක්ෂගේ ‘එළිය’ සංවිධානයේ කැඳවුම්කරු වන මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ගේ අනුශාසනා ජනාධිපතිවරයා භාර ගැනීම, මහා පාවා දීමක නිශ්චිත සංඥාවන් ය.

ආපසු හිටි තැනට

ආපසු ආරම්භක අක්ෂයට ගොස්, 2015 ජනවාරි 8 සම්මුතියේ කතුවරයාණන් ද, නිර්මාණ ශිල්පියා ද වන සෝභිත හාමුදුරුවන්ගේ සැලසුම් පිටපත් යළි සමාලෝචනය කරන ලෙස, පවතින තත්වයන් තුළ අපට බල කෙරේ. ජනාධිපතිවරයා අද සාංගම් වී ඇති මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් එදා අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ප‍්‍රකාශිත එදිරිවාදියෙකු විය. ‘ෂාඩන්ෆ්‍රොයිඩ‘ නැමැති ජරමානු වචනය සඳහා වන තනි ඉංග‍්‍රීසි වචනයක් නැත. ඉන් අදහස් වන්නේ, මූලික ජරමානු දාර්ශනික ආස්ථානයකි. අනෙකාගේ අසාර්ථකත්වයෙන් රහස් සතුටක් විඳීම එහි අදහසයි. දැඩි මහින්දවාදියෙකු වන මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් සිටියේ, සෝභිත හාමුදුරුවන් සහ උන්වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය අසාර්ථකත්වයට පත්වන දිනය තෙක් ඇඟිලි ගනිමිනි. ගජමිතුරු අනුග‍්‍රහය එක දිගටම පවත්වා ගැනීම මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ගේ අභිලාෂය විය. සෝභිත හාමුදුරුවන් පෙනී සිටියේ සමාජ සාධාරණත්වය ඇති කර ගැනීමේ ආයාසයක ය.

සෝභිත හාමුදුරුවෝ සමාජ වෙනසකට තුඩුදෙන උත්පේ‍්‍රරකයක් වශයෙන් ස්වකීය ව්‍යාපාරය ගොඩනැගූහ. නිරර්ථක ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකුණහ. තමාගේ බලපෑම අවතක්සේරු කිරීමට මහින්ද රාජපක්ෂට උන්වහන්සේ අනුබල දුන්හ. එම කාර්යයේදී උන්වහන්සේ සාර්ථකත්වය ලැබීම අපේ වාසනාවකි. අලූතෙන් ඉසුරුමත් පැපිලියානේ භික්ෂුවකට, පොදු අපේක්ෂකයා ස්වකීය ආත්මය විකුණන දවස දැක ගැනීමට සෝභිත හාමුදුරුවන් ජීවතුන් අතර නොසිටීම උන්වහන්සේ ලද භාග්‍යයකැ යි ආපසු හැරී බලන විට සිතේ.

තිත්ත ඇත්තට මුහුණදීමේ කාලය

විප්ලව සහ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලීන් පිළිබඳ තිත්ත ඇත්ත ජනාධිපති සිරිසේනට කියා දීමේ කාලය එළැඹ තිබේ. දවස් 47 ක සිල්ලර දේශපාලනයක පිනෙන්, විප්ලව සහ ප‍්‍රතිසංස්කරණ වැනි දේවල්, ඕපපාතිකව මහ පොළොවට වැටෙන්නේ නැත. ජනතාවකගේ සාමූහික විඥානය යනු ඉබේ ඇති වන දෙයක් නොවේ.

පාවා දෙන ලද සහ නොතකා හරින ලද තවත් විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි, සාමූහික විඥානයක සාරය සහ ආකෘතිය වැඩෙන්නේ කෙසේදැ යි අපට කියා දී තිබේ. ඒ මෙසේ ය: ‘‘විප්ලව හටගන්නේ එක්තරා නියාමනයන්ට අනුකූලවයි. විප්ලවයේ නියාමනයන් ගැන ක‍්‍රියාකාරී ජනතාව දැනුවත්ව සිටින බවක් මෙයින් අදහස් නොවේ. එහෙත් ජන විඥානයේ විපර්යාස අහම්බෙන් සිදු වන දේවල් නොවන අතර, විෂයබද්ධ අවශ්‍යතාවකට ඒවා යටත් වෙයි. එය න්‍යායිකව පැහැදිළි කර ගත හැකි දෙයක් වන අතර, ඒ හේතුවෙන්, (සමාජ වෙනස්කම්) පෙරදැකීමට සේම ඒවාට නායකත්වය දීමටත් හැකියාව ලැබෙන්නේය.’’

මේ ලිපියේ උද්ධෘතයෙන් කියැවෙන පරිදිම, මේ වූ කලී, අසම්පාත තක්සේරුවකි. යහපත, අයහපත සහ වෙනස පෙනෙන්නේ වෙනස් කෝණවලිනි. එක ඇසක් වසාගෙන යම් වස්තුවක් දෙස බලන්න. ඊළඟට අනිත් ඇස වසාගෙන එම වස්තුව දෙසම යළි බලන්න. එකිනෙක ඇසේ දෘෂ්ටි කෝණය වෙනස් වන නිසා, අදාළ වස්තුව චලනය වන බවක් එවිට පෙනේ.

ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් තමා අඩි හයක් පොළොව යටට යනු ඇතැ යි ජනාධිපති අපේක්ෂක සිරිසේන සැබවින් විශ්වාස කෙළේය. එවැනි අනතුරක් භාර ගැනීමට තරම් දිරියක් ඔහුට තිබීම ගැන අපි ප‍්‍රශංසා කෙළෙමු. බලය සතු වසඟකාරී ඇල්ම කුමක්ද යන්න, දිව්රුම් දුන් දා ජනාධිපති සිරිසේන හොඳින් දැන සිටියේය. බලය විසින් කෲරත්වයට පත්කොට සිටි යහපත් මිනිසෙකු ඔහු අතින් පරාජයට පත්ව තිබුණි. ඕනෑම මිලක් දරා බලයේ එල්ලී සිටීමට වලිකෑ ස්වරූපරාගී වරිගයකගේ ලෝකය කෙබඳුදැ යි ඕනෑවටත් වඩා හොඳින් සිරිසේන දැන සිටියේය. එවැනි ලෝකයක් තුළ දිග හැරෙන කි‍්‍රයාවලියක් තුළ, සුපිළිපන් භාවය උකස් කෙරෙන සහ සෙස්සන්ව පීඩාවට හෙලීමට සිදුවන මොහොතක් යම් දවසක එළැඹෙන බවත් ඔහු දැන සිටියේය.

එක වරක් පමණක් ජනාධිපති වීමේ ප‍්‍රතිඥාව

ජනාධිපති වශයෙන් දිව්රුම් දෙමින් ජාතිය අමතා කළ කතාවේදී, බලයේ දූෂිත භාවය කවරේදැ යි හඳුනා ගැනීමට තරම් දුලබ ගණයේ ශිෂ්ටත්වයක් ඔහු පෙන්නුම් කෙළේය. යහපත් දේවල් කිරීමෙන් ආරම්භ කෙරෙන ආයාසයකදී, බොහෝ විට, හිටිහැටියේම අපේ පය පැටලෙන බවත් ඔහු හොඳින් දැන සිටියේය. එවිට, දෙන ලද පොරොන්දු පැත්තකට දැමෙයි. අපේම උන්නතිකාමී ආශාවන් සහ පුද්ගලික සැප විහරණ සඳහා පෙළඹෙයි. ඊටත් වඩා නරකට වැටී, නෑසියන්ගේ ධන තෘෂ්ණාවටත් යට වෙයි. බලය තුළ ඇති ඒ විසකුරු උවදුර දුටු ඔහු තමා ජනාධිපති වන්නේ එක වරකට පමණක් බව ප‍්‍රකාශ කෙළේය. කෝට්ටේ පන්සලේ වැඩ සිටි සෝභිත හාමුදුරුවෝ එම කතාව අසා අනුමත කළහ. එහෙත් එක අවවාදයකට එය යටත් කෙළේය: ඒ, ‘හොඳයි, අපි බලමු’ යන, බරසාර, නිශ්ශබ්ද සුසුමකි.

අපේ හිත හොඳ ජනාධිපතිවරයාගේ දුර්දසාව ලූහුඩුව ඉන් විදාරණය කෙරේ. අපේ, එනම් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් අපේ දුර්දසාවේ සමස්ත ගමන් පථයත් ඉන් නිරූපණය කෙරේ. ඔහු සිය ගමන් පථය වෙනස් කොට තිබේ. 2014 නොවැම්බර් 21 වැනි දා තමා අතහැර ආ පක්ෂයේ එකම අපේක්ෂකයා වීමට දැන් ඔහුට උවමනා ය.

කාර්ය සාධනය: හොඳ, නරක සහ තකතිරු

බලයට පත් වූ දා සිට, තමන් කරන හොඳ දේවල් සමග නරක දේවල්, දියාරු දේවල් සහ මුළුමණින් තකතිරු දේවල් ද කිරීමට ඔහු යත්න දරණ බව පෙනේ. යහපාලනය ගෙන ඒමට සහ දූෂණය මුලිනුපුටා දැමීමට පත්කර ගත් ජනාධිපතිවරයා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා වැඩි දුරක් ගොස් නැත. ඇත්ත, ඇතැම් ව්‍යවස්ථාමය විලේපන ආලේප කොට නැතුවා නොවේ. තොරතුරු දැන ගැනීමේ පනත, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන අසම්පූර්ණ සංශෝධන සහ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්’ ඒ අතර වෙයි. එහෙත් කැපවීම ඒ සියල්ලෙන් අතුරුදහන්ව ඇත.

ඔහුගේ අගමැතිවරයා ගර්හාවට පත්ව සිටී. අඬබෙර ගසා පටන් ගත් දූෂණ විමර්ශන, ඒවායේ ජවය අහිමි කරගෙන ඇත. අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියව ඉල්ලා අස්වීමට තල්ලූ කෙරුණි. මන්ද යත්, හිටපු සේනා ප‍්‍රධානියෙකුව මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට කැඳවීම ගැන ජනාධිපතිවරයා විමතියටත්, කම්පාවටත් පත්වූ බැවිනි. ‘‘මේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ අරමුණක් තිබුණා. මේ කොමිෂන් සභාවල සාමාජිකයෝ තමන්ගේ සීමාවන් දැනගෙන ඉන්න ඕනේ. තමන්ට පැවරිලා තියන රාජකාරි වපසරිය දැනගෙන ඉන්න ඕනේ.’’ යැයි, අද වන විට පොදු ජනාධිපතිවරයෙකුට නොහොබිනා පුදුමාකාර වස්ත‍්‍රයක් හැඳ සිටින එදා පොදු අපේක්ෂකයා කීවේය. ‘‘අහුමුළුවල කුමන්ත‍්‍රණය කරන අයට එරෙහිව තීරණාත්මක පියවර ගන්නා’’ බවට තර්ජනය කළ ඔහු, ‘‘මේ හැම කොමිසමකම ලේකම්වරුයි, අධ්‍යක්ෂ ජෙනරාල්වරුයි පත්කරලා තියෙන්නේ මම. ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා, කරන දේවල් ගැන, ප‍්‍රධාන විධායකය වන ජනාධිපතිව දැනුවත් කරන්න’’ යැයි මතක් කර දුන්නේය.

අපිව බූරුවන්ට ගණන් ගන්න එපා

ජනාධිපති දිශානතිය දක්වන මූලික දර්ශක වන්නේ, දියාරුව සහ දෙපිටකාට්ටුවයි. ඔහුගේ ඒකායන ප‍්‍රාර්ථනය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමාගේ දේශපාලනික පදනම දමා ගැනීමයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තනතුර අතහැර එද්දී එම පක්ෂයේ සාමාජිකත්වයත් ඔහුට අහිමි වූ බව කවුරුවත් ඔහුට මතක් කර දී නැත. වේදිකාවේ විවාදවලට වෙනම අරමුණක් තිබේ. එහෙත්, සාමාන්‍ය බුද්ධිය සහ අධිකරණයක් ඉදිරියේ එය වෙනම කාරණයකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආත්මය ගලවා ගැනීමේ ව්‍යාපාරය ඔහු චන්ද්‍රිකාට භාර කළ යුතුව තිබුණි. ජනාධිපතිවරයා අපව බූරුවන්ට භාර ගත යුතු නැත. බොහෝ විට ඔහු අපට මතක් කර දී ඇති ආකාරයට, සෙල්ලම ගැස්සුණේ නම් ඔහු සිටිනු ඇත්තේ කොහේද? ඔහුගේ උපකල්පනය වුණේ, ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ ඔඩොක්කුවට වැටෙතැ යි කියා ය. එය එසේ වුණේ නැත. මේ ලියුම්කරු ද ඇතුළු වෙන කිසිවෙකු සිතුවාට වඩා ඉක්මණින් මහින්ද ගොඩ ආවේය. යක්ෂයාගේ වුව හපන්කම අප පිළිගත යුතුය. පළමු වැටීමෙන් ගොඩ ආ සැණින් මහින්ද වැඩට බැස්සේය. 2015 ජනවාරි 9 වැනි දා පාන්දර, අරලියගහ මන්දිරයේදී රනිල් සහ මහින්ද කුමක් කතා කෙළේ ද යන්න අපි නොදනිමු. එය රනිල්ගෙන් ඇසීමෙන් ද පලක් නැත. ජනතාවට තොරතුරු දීම ඔහුගේ පුරුද්දක් නොවේ. ඔහුගේ කාර්යය, ජනතාවට දේශන තැබීමයි.

ද්‍රෝහී කමේ සංඥා සෝභිත හාමුදුරුවෝ කල්තියා දුටහ

පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනා මොහොතේ, ඉදිරියේ එළැඹෙන ද්‍රෝහීත්වයේ සංඥා වැල උන්වහන්සේ දුටහ. අපේ අහම්බ ගැලවුම්කාර මෛත්‍රීපාල සිරිසේන, අන්තෝනියෝ ග‍්‍රාම්ෂි ලියූ ‘‘නූතන කුමාරයා’’ කියවා නැත. නූතන දේශපාලන පක්ෂයක් සඳහා වන නව නිර්වචනයක්, සංස්කෘතික මාක්ස්වාදියෙකු වන, ග‍්‍රාම්ෂි සපයා තිබේ. ‘දේශපාලන පක්ෂයක් යනු, දැනටමත් ඇරඹී ඇති ක‍්‍රියාකාරීත්වයක් ඔස්සේ පිළිගැනීමට ලක්වූ සහ ආංශිකව තහවුරු කර ගත් සාමූහික අභිලාෂයක් සවිමත් කෙරෙන සංකීර්ණ සංස්ථාපනයක් තුළින්, සැබෑ වූත්, කල් පවත්නා වූත් සුජාත භාවය සාක්ෂාත් කර ගන්නා පද්ධතියකි.’

පක්ෂ යාන්ත‍්‍රණය සහ එහි පාක්ෂිකයන් මත පවතින මහින්දගේ ග‍්‍රහණය බිඳලීමට තරම් ජනාධිපති සිරිසේන සන්නද්ධ නැත. මහින්ද දස වසරක් තිස්සේ අනුග‍්‍රාහකත්වය සපයමින්, කොල්ලකෑ වස්තුව බෙදාහදා ගනිමින්, පක්ෂය මත සිය ග‍්‍රහණය වර්ධනය කරගෙන තිබූ අතර, සමාජ සාරධර්ම අවඥාවට ලක්කොට තිබුණි. දැන් ඔහුගේ අභියෝගකරු වන මෛත‍්‍රීපාල සිරිසේනත්, මහජන කතිකාව තුළ වන සාරධර්ම කෙරෙහි වන සිය අවඥාව ප‍්‍රදර්ශනය කිරීමට පටන්ගෙන තිබේ.

මෛත්‍රීපාලට විකල්පයක් තිබුණි. නව සාරධර්ම පද්ධතියක් ඔහුට ගොඩනැගිය හැකිව තිබුණි. ප‍්‍රගතිශීලී ඓතිහාසික කඳවුරක් ගොඩනැගීමට අවශ්‍ය කරන සමාජ, දේශපාලනික සහ බුද්ධිමය බලවේගවල නානා විධ ගොනුවක් එක්රැුස් කිරීමට තරම් යෝග්‍ය තැනක ඔහු සිටියේය. අලුත් දේශපාලනික වටිනාකම් වැලක් සඳහා වන අවකාශයක් ඔහුට නිමවා ගත හැකිව තිබුණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නේ මොන දිසාවට ද යන්න, කාලයාගේ ඇවෑමෙන් අපට දැන ගත හැකි වනු ඇත.

එය ඇරඹුණේ 2012 දී ය: ‘මහ හෙනය පරදවමු’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීම, ආශ්චර්යමත් ප‍්‍රපංචයක ප‍්‍රතිඵලයක් නොවේ. 2014 නොවැම්බර් 21 වැනි දා නව නගර ශාලාව, අපේ තහීර් චතුරශ‍්‍රය නොවීය. ඔහුගේ පොදු අපේක්ෂකත්වය විසින් 2014 නොවැම්බර් 21 සිට 2015 ජනවාරි 8 දක්වා වූ දින 47 තුළ ජනාධිපති ආශ්චර්ය සඳහා මෛත්‍රී කෙනෙකුව නිෂ්පාදනය කළා නොවේ.

පොදු අපේක්ෂකයෙකු සොයා යාමේ ගවේෂණය පිළිබඳ වාර්තාගත ආරම්භය 2012 මැයි 29 වෙත දිව යයි. රාජපක්ෂ බල පවුර පුපුරුවා හැරීමේ ප‍්‍රහාරය සෝභිත හාමුදුරුවන් දියත් කෙළේ එදා ය. ඔහුගේ ගෝලයන්, අනුගාමිකයන් සහ හිතවතුන් පිරිසක් සෝභිත හිමියන්ගේ 70 වැනි උපන් දිනයට සුභ පැතීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට රැුස්ව සිටියහ. මහින්ද ඒකාධිපතිත්වය අවසන් කිරීමට, ගෝඨාභයගේ දඬු අඬුවෙන් මිදීමට, බැසිල්ගේ ජාවාරම් ඉවරයක් කිරීමට ඔහු ප‍්‍රතිඥා දුන්නේ එදා ය.

නිශ්චිත අධිෂ්ඨානයකින් යුත් සුළු පිරිසකගේ ඓතිහාසික හමුවක් ඉදිරියේ සෝභිත හාමුදුරුවන් නැගූ හඬ චිත්තාකර්ශණීය ය. ‘මහ හෙනය පරදවමු’ යන්න ඔහුගේ සන්තාපවත් විලාපය විය. මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය ඔහු සමාන කෙළේ, දේශයත් එහි ජනතාවත් ගිල ගනිමින් සිටින ‘මහ හෙනයකට’ ය.

වෙහෙසට පත් පරිව‍්‍රාජකයෙක්

මේ ලියමනේ යොමුව වන්නේ, සිරිසේන ජනාධිපතිවරයාගේ තෙවසර කැටි කොට ගැනීමත්, පොදු අපේක්ෂකයා වශයෙන් ඔහු දුන් ප‍්‍රතිඥාවන්ගෙන් පිට පැනීම සැලකිල්ලට ගැනීමත් ය. ‘‘පොරොන්දු දීම අතීතයේ අවශ්‍යතාවක්. පොරොන්දු කැඞීම වර්තමානයේ අවශ්‍යතාවක්.’’ යැයි මකියාවෙල්ලි කියා ඇත.

ප‍්‍රතිසංස්කරණ පොරොන්දු වෙමින් නව රජය බලයට පත්වන අවස්ථාවේ, අපේ සෝභිත හාමුදුරුවෝ, සිදු වන දේවල් දෙස ඇස ගසාගෙන සිටින, වෙහෙසට පත් පරිව‍්‍රාජකයෙකු විය. සදාචාරමය විරූපයක් වූ පැවති රජය පෙරලා දැමීම පමණකින් උන්වහන්සේ සෑහීමකට පත්වුණේ නැත. අප හැම කෙනෙකු තුළම කොහේ හෝ අස්සක ඒ අපරූපියා සැඟවී සිටින බව උන්වහන්සේ දැන සිටියහ.

අවශ්‍ය කළ වෙනස, තමාගේ 47 දවසේ ගැලවුම්කාර භූමිකාව තුළම සිදු විණැ යි යන වැරදි විශ්වාසයක් මෛත්‍රීපාල සිරිසේනට තිබේ. ඔහු තමා දැරූ අවදානම ගැන කතා කරයි. තමා උපයා ගත් ජාත්‍යන්තර හොඳ හිත ගැන කතා කරයි. එහෙත්, තමාගේ ජනාධිපති භාවය මත ඇති කළ සෝභිත බලපෑම ගැන එක වචනයක්වත් මේ දක්වා ඔහු කියා නැත. අපේ මේ විකෘති ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අප හැමෝටම අප කැමති අදහසක් දැරීමේ අයිතියක් තිබේ.

2015 මැයි 29 වැනි දා, සංසාර ගමනේ අලුත් නවාතැනකට යාමට මාස පහකට කලින්, සෝභිත හාමුදුරුවෝ ප‍්‍රසිද්ධ සභාවක මූලාසනය දැරූහ. එම සභාවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකත් වූහ. එහිදී, තමන් ප‍්‍රතිඥා දුන් පොරොන්දු දහයක් ගැන ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් මතක් කර දුනි. එහිදී, ‘අපි ඉන්නේ හොඳට ඇහැ ගහගෙන’ යැයි උන්වහන්සේ කීහ.

කෙමෙන් වෑරෙන සෞඛ්‍ය තත්වය හේතුවෙන් උන්වහන්සේට ක‍්‍රියාකාරීව මැදිහත් වීම අපහසු විය. එබැවින්, යහපාලනය සහ සාධාරණ සමාජයක් පිළිබඳ දස වැදෑරුම් ප‍්‍රඥප්තිය, උන්වහන්සේ මහාචාර්ය සරත් විජේසූරියට භාර කළහ. යහපත් මහාචාර්යවරයා එය හැඳින්වූයේ ‘ඉසිවර මනසක තුන් කල් දැක්ම’ යනුවෙනි.

සෝභිත හාමුදුරුවන්ගේ ජීවිතය වීර කාව්‍යයකි. එවැනි වීර කාව්‍යයක් සොරා ගැනීම ගැන ජනාධිපතිවරයාටවත්, අගමැතිවරයාටවත් ඉතිහාසයෙන් සමාවක් නොලැබෙනු ඇත.

1953 සිදු වූ බර්ලින් නැගිටීම ගැන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියූ කෙටි කවිය මේ ලියවිල්ලට යෝග්‍ය පසු සටහනකැ යි මට සිතේ:

ජුනි 18 නැගිටීමෙන් අනතුරුව
අත්පත‍්‍රිකාවකින් ගතු කී
කතුවර සංගමයේ ලේකම්
ආණ්ඩුවේ හොඳ හිත නැති කර ගත් ජනතාව
යළි එය දිනනු වස්
වැඩි වැඩියෙන් වැඩ කළ යුතුව ඇතැයි කීය.
ඊට වඩා හොඳ නැත් ද,
ඉන්න ජනතාව විසුරුවා හැර
අලුත් ජනතාවක් පත්කර ගත්තොත්?

*2016 දෙසැම්බර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Sirisena Presidency – A Parallax View As Foretold By Sobitha Hamuduruwo” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    MY3 showed his arrogance very open. He came with the word of Yahapalanaya. He wasa not appointed by Ranil wickrmasinhe. Yet, he did not adreess what people saying. How about appointing people that were refused by people S.B. and Thilanga Sumathipala among them. I heard he got money from thilanaga Sumathipala too. so, he allowed sumathipala to own Cricket board. then just fojlow other things he did. they do not know except corruption. It is no point of talkking about them. As for separating the administration from law making. LAw making and administration are one and the same. Administration should be under professionals and not law makers.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.